Friday, January 20, 2012

ආදරණිය අප්පච්චිට....

මායිමේ ඉදන්.... 1987/10/25
ආදරණීය සුදු දෝණිට...............

තල් වැට ගිනිබත් වෙලා. ඒ ගින්න ඇවිලුණේ අපි කවුරුත් අතින් නෙමෙයි. රුදුරු ත්‍රස්තවාදීන් මේ අහිංසක මිනිසුන් ඉන්න ගම්මානෙට නපුරු අවි ප්‍රහාර වලින් ගහන වෙලාවෙ රතුපාට ගිනි දැල් නගිමින් ඒ ගෙවල් දොරවල් උඩු හුලගට අහුවෙච්ච අළුදූවිලි විතරක්ම වුනා. ජීවිත රකින්න අපි පුලුවන් තරම් උත්සහා ගත්තා දුවේ.. මේ මිනිස්සුත් හිස් ලූ ලූ අත දිවුවා. ඇදගෙන ඉන්න ඇදුමවත් ඉතුරුවකට නැතිව අසරණ වෙච්ච මිනිස්සු හාමතේ කැලේ වැටිලා හිටියා. අහිංසක කිරි දරුවො තුරුල්ලෙ තියාගෙනම සමහර අම්මලා දිව්‍යලෝකෙ ගිහින්. මේවා දකිනකොට මගෙ හිත පත්තුවෙනවා දුවේ. තව කොයි තරම් කාලයක් මෙහෙම කාලෙ ගෙවෙයිද...

‍මගෙ දූට මෙහෙම කියන්නෙ අප්පච්චි හුගක් ආදරේ හින්දා.. මම දන්නවා මගෙ දූ දවසක මේවා තේරුම් ගනියි.. දු දන්නවද ගෙදරක ලිප් ගල් 3ක් මැද්දෙ උයන බතක රසයි මේ කල්දේරම් බතයි හරියට අහසට පොළව වගේ.. මේ පුංචි මල් කැකුලු අද අසරණ වෙලා... කඳවුරු වලට ඒ සමනල් ලෝක සීමා වෙලා.. ඒ පුංචි පැටවු දකිද්දි මගෙ දූ මගෙ හිතට එබෙනවා...

 දු දන්නවද අතට ගන්න බත් කට කටට ගන්න හදනකොට වෙඩි සද්දෙකට බෝම්බ සද්දෙකට ගැස්සිලා වීසි වෙලා යනවා.  වෙන මිනිස්සු ඇස් පියාගෙන සිහින දකිනකොට මේ නොකළ වරදකට දඩුවම් විදින පැටවු ඇස් පනාපිටම නපුරු හීන දකිනවා..කදුළක ලුණ රස කදුළක බර කරදිය වගේම ඇති මේ හිත්වල... මේ අහිංසක ළමයි පවු නේද සුදු දෝණි... අප්පච්චි අසාධාරණ නැහැ කියලා මගෙ දෝණිට තේරෙයි....

  ඔයාගෙ අම්මා කිවුවා ඔයා ගේ පුරාම කෑ ගහනවලු. අප්පච්චි කවදද එන්නෙ කිය කිය අහ අහා අම්මගෙ කන් දෙක ළග එකම කරච්චලයයිලු ..ඒත් මගෙ දුව දන්නවද මගෙ දුවට වගේම මේ පැටවුන්ටත් බයක් නැතුව හුස්ම ගන්න පුලුවන් බිමක් හදන්න අප්පච්චිත් මේ එකතු වෙලා ඉන්නෙ. මේක අහක දාලා එන්න බැහැ මගෙ දුවේ.
            
වෙන මිනිස්සුන්ගෙ පපුව පැයකට 72 වාරයක් ගැහෙනකොට මේ මිනිසුන්ගෙ ඒවගේ දහදොලොස් වාරයක් වැඩියෙන් ගැහෙනවා ඇති..

දන්නවද සුදු දුවේ මිනිස්සු අඬගෙනම ඉපදුනාට ජිවිත කාලය පුරාම අඩාගෙනම ජිවත්වෙන්න ඕනිද.? රත්තරන් ගානට මිළාඩික වෙච්ච සිනහව ඇබින්දක් හරි මේ මිනිස්සුන්ට දෙනවනම් එදාට අපිට හදවතින්ම හිනා වෙන්න පුලුවන් නේද.......

  අ යන්න ආ යන්න ලියපු පොත්පත්වල අලුවත් හොයාගන්න නැති මේ දරුවන්ට පාසැල් සිහිනෙ මිරිගුවක් වගේම වෙලා... මම වගේම අනික් සොල්දාදුවොත් ඉඩ ලැබෙන පුංචි වෙලාවල් වලදි මේ අයට කතන්දර සිංදු කියලා දෙනවා. මම මගෙ දුවටත් කියලා දෙන්නෙ නිවාඩුවට ආවහම. ඒවා තමා. ඔන්න ඇස් දෙක රතු කරගෙන කදුලු පුරවගන්න එපා සුදු දු... එයාලට ආදරය කරන්න මගෙ දුටත් පුලුවන්. දුව ලොකු වුනාම තේරෙයි.

කඳවුරේ කම්බි වැටේ එල්ලිලා මේ අය හොයනවා දුවේ ලෝකය බලන්න. එහෙම මල් දිහා බල බලා මේ ගමන නතර කරන්න බැහැ මගෙ දුවේ........... ඒක නිසා මගෙ කෙලි පොඩ්ඩ අම්මා ගාව ආදරෙන් දග කරන්නෙ නැතුව ඉන්න.

 දුව ලොකු වුන දවසක දූට මේවා තේරෙයි තව හොදට. දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගෙ දුවට.
අප්පච්චි

මතක පුස්තකය වගේ ළගම තියන් රත්තරන් වගේ අදත් මම පරිස්සම් කරනවා අප්පච්චි මේ අකුරු. මේ අකුරු නෙමෙයි මගෙ අප්පච්චිගෙ හදවතින්ම ආපු නැගුනු දෝංකාරයන් කියලා දැන් මට හිතෙනවා....

අප්පච්චි අද ඔයා ළගක නැහැ. හොරු අරන් ගිහින් වගේ. පාලු සොහොනක තනියම නිදා ගන්න මගෙ අප්පච්චි වගේ අප්පච්චිලා තව ඉන්න ඇති කියලා දැන් මට හිතෙනවා.  ලේ විලක් වෙලා රතුපාටින් දිලුනෙ මේ පොළව අප්පච්චි වගේ විරුවන්ගෙ රුධිරයෙන්. ඒ උඩක අද සුළගට යන්තම් වැනෙන පොපි මල් අතරින් පතර පිපෙනවා තමයි අප්පච්චි.

  තමන් ගැනම නොසිතපු හසලක ගාමිණි වගේ විරුවො මේ පොළවට මැණික් මිනිරන් වගේ වටින්නෙ ඇයි කියලා ඔයාගෙ දුවට තේරෙනවා දැන් අප්පච්චි..........ඒකයි ඔබ නැතත් මම මේ තරම් දරාගෙන ඉන්නෙ...

ජීවිතේ කියන්නෙ හමුවීම් වෙන්වීම් කියලා මගෙ අප්පච්චිම මට දවසක කියලා දුන්නා ඔඩොක්කුවෙ තියාගෙන මගෙ ඔලුව අත ගගා... ඒ දවස්වල හිනාවෙවි අහගෙන ඉදියා විතරමයි නේද මම අප්පච්චි... අද ඔයාගෙ දුවට ඒ හැමදේම තේරෙනවා මගෙ අප්පච්චී.

     සමහරු කියයි රස්සාවක් නැති කමට මිනිස්සු හමදුවට ගියා කියලා.. තව අය කියයි කාත් කවුරුත් නැති කමට හමුදාවට ගියා කියලා.. ඒ කොහොම ගියත් ඒ හැමෝම එකතුවෙලා රකින්න හැදුවෙ රැක්කෙ මේ මුතු ඇටය නේද අප්පච්චි....

ඔයා දිව්‍යලෝකෙ ඉදන් දුව දිහා බලාගෙන ඉන්න.. ඔයාගෙ දුව අද ලොකු රස්සාවක් කරන්න ඉගෙන ගන්නවා. ලොකු රස්සාවක් කිවුවෙ මගෙ අප්පච්චි මේ පින්බිමටම වටිනා දෙයක් කරන්න දුගේ හිතේ තියෙනවා අප්පච්චි...

   විශාලා මහ නුවර වගේ තුන්බියක්ම නාවට දැන් මේ මිනිස්සු අතපය දිග ඇරලා මගතොට ඇවිදිනවා අප්පච්චි.... හුලං පොදටත් උකුසු ඇස් වගේ විමසිලිමත් වෙච්ච මිනිස්සුන්ගෙ ඇස් දැන් පරඩැලුන් වගේ අහිංසකව තියෙනවා

  දන්නවද අප්පච්චි මම නම් පාරතොටේ ඇවිද යන්නෙ හරි උජාරුවෙන්. අහංකාර කමට.. අප්පච්චි හදලා දුන්න ලෝකය කියලා මතක් වෙනකොට මේ ඇගට අලුතෙන් රුධිරය ගලාගෙන ඇවිත් තැන්පත් වෙනවා අප්පච්චි....

      සමහර වෙලාවට දුක එනවා අර ඉර මුදුන් වෙන වෙලාවට ඇස් නිලංකාර වෙලා ගිහින් කදුලු බිංදුවක් දෙකක් එනවා වගේ... ඇයි දන්නවද අපිට නැතිවුන අප්පච්චිගෙ අඩුව කාටවත් පුරවන්න බැහැයි කියලා දැනෙනකොට. පෙරහැරක යන හස්ති රාජයෙක් වගේ අප්පච්චි ගැන අභිමානය අනික් පැත්තෙන් ඇවිත් හිතට එඹෙනවා....

 ඒත් අප්පච්චි අන්තිමටම මම මේ ටික විතරක්ම කියන්නම්...

තල්වැට ගිනි ඇවිලිලා
දූවිලි ගියෙ හුලගේ...
හෙමිහිටවත් නෑසුනි
සුසුමන් සද්දේ...
බැහැ අමතක කරන්නට
කිසිදා ඔබ ගැන දිවියේ....

පැරදුනෙ සතුරො අප්පච්චියෙ
අපි ලබා දිනුම්
මල් පිපිලා පලබර වුනෙ
අප සැමගෙ පැතුම්...

දැන් නම් නැතිවුනත්
පෙරවගෙම උදම්
අමතක කරනු කෝමද
ඔබ පණය අපේ.....

මගෙ රට බෙදා දෙන්නට
බැරි බව කීවෙ නුඹයි...
ඔබටත් මටත් ඇති
එක උරුමෙ මෙයයි...

තවකෙක් මරා තවකෙක්
රජ කරන රටයි
ඔබ ගැන ඔවුන් නොසිතන
බව මගෙ හිතම කියයි......


4 comments:

  1. කඳුලු ඉනුවා!
    අක්කගෙම අත්දැකීමක්ද? :'(

    ReplyDelete
  2. අනේ මට මෙහෙම අත්දැකීම් කොය්නද මල්ලි.. මම මගේ තාත්තවත් දැකලා නැහැ කියලා අනන්තවත් කියන්නෙ.. හිතේ සිතුවිලි විතරයි මල්ලි...

    ReplyDelete
  3. ඔයාට ලස්සන හිතුවිලි තියෙනවා දිනිති.
    අද තමා මේක දැකල ආවේ .. එකත් බුකිය හරහා දන හැමදාම එනවා තව දේවල් ලියන්න ඔබට ජය.

    ReplyDelete
  4. ස්තුතියි ශානු... පුලුවන් වෙලාවට ඇවිත් යන්න.. මේ දිරිය මට පුදුම සවියක් තව අකුරු ගැට ගහන්න...

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....