Monday, June 20, 2016

තම සැමියාට බයිපාස් සැත්කමක් කරන්න වුනු හදවත් වෛද්‍යවරිය මොහොතකට


පිරිමි පපුවක අලුත් උණුසුම
වින්ද සුන්දර සවස් යාමෙක
කිති කැවෙන ඝන ලෝම අස්සෙන්
ඇඟිලි තුඩු මං යැවුවෙ තිස්සේ
එහෙම මොහොතක ඇස් වසාගෙන
නුඹත් වින්දා හිතින් සුවසේ
ඔහොම දවසක් දෙකක් නොව
සිය ගණන් අපි ගෙවී ගිය විට
මෙහෙම දවසක් කොහොම ආවද?


පුංචි දහදිය බිංදු ඇවිදින්
මගේ කම්මුල සිඹින විටකදි
නුඹේ පපුමත තියා හෙමිහිට
මගේ හිස පිරිමැද්ද මිහිරෙන්
අවදි වී මං අරන් කතුරක්
කොහොම ඔය පපුවට තියන්නද?


එදා මා දෙස විහිළු කියමින්
හාදු වැසි මට නිතර දුන් නුඹෙ 
දොතොළ පියවී තියෙන විට මං
 දරාගන්නේ කොහොම හිමියනි
එකම වදනක් කියනවානම් 
හිතේ බර මගෙ ටිකක් අඩුවෙයි 
මාව දැනුනත් නොදැනුනා සේ
ඔහොම ඉන්නට ඔබට හැකිමද ?

කොළම කොළ පාට තිර රෙදි 
නුඹ ආස කළ පාට කොළමයි
අතින් ඇද ඇස්වලින් කඳුළු පොඩි 
දුර ගමන් මගෙ කොපුල් මැද්දෙන් 
ලයිට් එළියට කිසිත් නොකියම
දෑස් යුග ඔබ තදින් පියවා
ඉන්න විට කටු ඇණෙන හදවත
නුඹෙ නොවෙයි මගෙ දන්නවද ?


හදවතට හදවතක් දෙන්නට
තිබුණ නම් මම නොයමි පස්සට
පපුව මැද්දෙන් දෙකට පැලුවම
නහර අස්සෙත් ආදරය කඳු කඳු
තියෙන විට අහකටම පෙරලා
කොහොම අල්ලන් සීරුවට
තවත් ගැටයක් දමන්නද අද?

Thursday, June 9, 2016

මතක දැවිල්ලයි - පැණි රහයි

නාවල වුනත් තැන
නාගන්නවත් ඉඩ නැති
නාකි ඇන්ටිගෙ ගෙදර
නම් හද හදා ඇන්ටිටම බැනපු
නම ගිය නඟරවල ගම කියපු
නැහැදිච්ච වැනි හැදිච්චම කෙල්ලන්
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
කාමරේ තුන් දෙනයි
මාසෙකට තුන්දහයි
තුන් වරක් තුන එක වරයි
ඇන්ටිටම තුප්පහි වචන
මාසෙ මුල සතියෙම රහසින් බෙදන
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
කැඩුණු සිංහල විහිළු දොඩවන
දමිල අයියගෙ අලුත් එලවලු
සුප් එකට විතරක් ජාති
කළු අතින් සුදු අතට මාරුවෙන
ගාන රුපියල් විස්සයි
ගෑණු වුන පලියට ඒ දවස එහෙමයි
නැමි නැමී කඳුළු වක්කරන
භූමිතෙල් මොනතරම් සුවඳද
භූමියක් නැති උන් වුනේ මොකටැයි
බීඩියක් උරන එකෙක්වත් නොහිටියැයි
බන්ටියත් සැලුන් විස්තර පවසයි
භූමිතෙල් ලිපෙන් අලුත් බත් ඇට ලස්සනයි
ප්ලේන්ටියවත් නැති මාසෙ අන්තිම දවස්
හාංකවිසියක්වත් නොදන්නා බව දැන දැන
රඟපාන රඟමඩල ජීවිතය උලුප්පන
"ලයිට් බිල හරි සැරයි දැන් නිදාගන්නකො ළමයි"
අල්ලපු වැටෙන් ආටානාටියයි, රතිඤ්ඤයි
සැර බීම බිපු උන් වගේ කෙල්ලන් නිදයි
නැමි නැමී හිනාවුන දවස්වල තිබුණ දේවල් ඔහොමයි
බස් එකට රුපියල් පහක් මොකටද
හිස් වෙච්ච පොකට්වල ලස්සන විතරමද
ඇස් අස්සෙ හංග ගත් කවි පොකුරු
උස් සිනාහඩ මව මවා පයින් යන දවස්වල
කඩාගත්තා නම් එකමෙක මලක්වත්
මේ වගේ පිපේවිද කවි වෙලා අද
කුණු ඇල දිගේ දික් අතට කැම්පස් කුලුණුවල
රතු අකුරු පාන්දර ඔච්චමම දුන්නෙත් අපිට
පඩි දාට තඩි ටෝක් එක්කලා
තෝසෙ, සම්බල්, කරි ජාති පිරිලා
වටකරන් එක මේසෙ ඉඟි බිගිය පාමින්
බෝඩිමේ බෝඩරෙන් ඇන්ටිගේ පුතාටම
වීසි කර කර මායමින් මායමට හැට හතර වැඩිකර
ජීවිතේ අමුණාපු තැන්වලින් හිරවෙච්ච
මතක එනවා උගුරට දැවිල්ලට පැණි රහට