Saturday, January 14, 2012

දෝණියේ.....

පිටාරය යයි සොරොව්වේ දිය 
කදුළු කෙණ්ඩි පිපිරිලා 
තාම ගම නා කාරණේ කිම
පැංචියේ නුඹ කියාපන්.....
සංදියේ නුඹව එල්ලන්
ඇවිද ගිය ගම් මණ්ඩියේ
තාම පා පොඩි තනි රකියි
දූට අමතක වංගියේ....

වැඩිය ගණදෙව් දූගෙ අහසට
සෙයිලමේ අද සරස්වතී....
ගෙපැල එළිකල ලක්ෂ්මියේ
යළිදු එනුමැන හිනැහිලා...
යළිදු එනුමැන හිනැහිලා.....

සත් වටක් කර ගසන් පැන් කල
තාම පැදකුණු කරමි බෝ මැඩ
වැවේ සුළගින් නුඹේ සුවඳත්
ඔතාගෙන ගම වරෙන් දෝණී
ඔතාගෙන ගම වරෙන් දෝණී....

පිටාරය යයි සොරොව්වේ දිය
කදුළු කෙණ්ඩි පිපිරිලා
තාම ගම නා කාරණේ කිම
පැංචියේ නුඹ කියාපන්.....
සංදියේ නුඹව එල්ලන්
ඇවිද ගිය ගම් මණ්ඩියේ
තාම පා පොඩි තනි රකියි
දූට අමතක වංගියේ....

සංගීතය - ධනුක අමල්ෂ
ගායනය - ධනුක අමල්ෂ
පද - දිනිති දීපිකා

               මේ ගීතය මම ලිවුවෙ මගේ කුලුදුල් ගීත නිර්මාණ එකතුව කරපු හීන කුමාරි සීඩී එකට.... මේක ගීතයක් විදිහට තෝර ගන් වුනු හේතුව මම මගෙ සීඩී එක කලේ විවිධ තේමාවන් යටතේ ගීත ඇතුලත් කරලා.... ඉතින් මේ ෆේස්බුක් එකේම ධනුක අමල්ෂ කියන අයියා මට දවසක් කතා කරනකොට කිවුවා මගෙ නංගිට මම මට පුලුවන් දෙයක් කරන්නම් කියලා....ඒ අයියා පුද්ගලිකව සංගීතය උගන්වන කෙනෙක්...මගේ අදහස කිවුවම ඒ අයිය මෙන්න මේ කවිය තෝර ගත්තා.......

     ඔන්න දැන් මම කියන්නම් මෙහෙම ගීතයක් ලියන්න හේතුව.... මේ මුහුනු පොතේ හුගක් අය දන්නවා මම පිය සෙනෙහස අහිමි දරුවෙක් කියලා.... ඒ කියන්නෙ මම මගෙ අම්මගෙ බඩේ ඉන්නකොට මගේ තාත්තා වෙන කසාදයක් බැදලා තියෙන්නෙ.... කවමදාවත් මගේ ඇස් දෙකට නොදැක්ක තාත්තා ගැන මගෙ හිතේ පුංචිම අමනාපයක්වත් නැහැ...මොකද මම අද මේ ලෝකෙ ඉන්නෙ ඒ තාත්තගෙ පරිත්‍යාගයක් නිසා....

        ඉතින් එහෙම වුනාට පිය සෙනෙහස ළග තවමත් හිත අසරණ වෙන වෙලාවල් නැතුවම නෙමෙයි..... ඔහොම දවසක් මම කවියක් ලියන්න කිසිම සිතුවිල්ලක් නැතුව හිත මහ පාලුවෙන් තියෙන වෙලාවක  මෙන්න මේ පොටෝ එක මගෙ ඇස ගැසුන අන්තර් ජාලයේ සැරිසරන කොට... 
 
ඒ ඔස්සෙ මට හිතුන සිතුවිලි ටිකක් තමයි මෙහෙම ගීතයක් වුනේ..
පිටාරය යයි සොරොව්වේ දිය
කදුළු කෙණ්ඩි පිපිරිලා
තාම ගම නා කාරණේ කිම
පැංචියේ නුඹ කියාපන්.....
සංදියේ නුඹව එල්ලන්
ඇවිද ගිය ගම් මණ්ඩියේ
තාම පා පොඩි තනි රකියි
දූට අමතක වංගියේ....

ඈත ගමක ඉන්න තාත්තා කෙනෙක් මගේ හිතේ මැවුනා.... ඒ තාත්තගෙ දුව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න යන්න ඇති... ඉතින් එහෙම ගිය දුව කාලෙකින් ගෙදර ඇවිදින් නැහැ.... හැබැයි දුවත් අතේ එල්ලගෙන ගම පුරාම ඇවිද ගිය හැටි මේ තාත්තගෙ හිතේ තියෙනවා..... ඒවා තාම මේ තාත්තගෙ හදවතට තනි රකිනවා..... ඔන්න මුලින්ම මට තාත්තගෙ සිතුවිලි දැනුන හැටි...මට පිනක් නැති වුනාට මගේ හිතෙන් මම තාත්තා කෙනෙක් වුනා...මගේ මනෝ ලෝකයේ.... වැවේ වතුර පිටාරය යනවා වගේ ඇස් දෙකේ කදුළු උතුරලා යනවා දුව මතක් වෙලා.....මේ තාත්තා ඇත්තටම දුව ගැන මෙහෙම හිතනවා....

      ඊගාව පද ටික...

වැඩිය ගණදෙව් දූගෙ අහසට
සෙයිලමේ අද සරස්වතී....
ගෙපැල එළිකල ලක්ෂ්මියේ
යළිදු එනුමැන හිනැහිලා...
යළිදු එනුමැන හිනැහිලා.....

    වැඩිය ගණදෙව් දූගෙ අහසට...අපි ගණ දෙවියන් කියන්නෙ නුවණට අධිපති දෙවියන්ව...ඉතින් ඒ දෙවියො මේ තාත්තගෙ දුවගේ ලෝකෙට ඇවිත්... සරස්වති දෙවියන් ඒක නිසා අද නගරෙට ගිහිල්ලා....තව වැඩියෙන් ඉගෙන ගන්න... ඒ වුනත් මුලු ගේම එළිකලේ...ලස්සන කලේ ලක්ෂ්මි දෙවියන්... කවුද මේ ලක්ෂ්මි දෙවියො..මේ තාත්තගෙ දුව...... ඉතින් මේ තාත්තා අහිංසකව කියනවා අර ඉස්සර වගේම හිනාවෙලා ආපහු එන්න කියලා... ඇත්තටම මෙහෙම තාත්තලා අද සමාජයෙ ඉන්නවා නේද..... මට නම් හිතෙන්නෙ ඉන්නවා කියලා.....

          
සත් වටක් කර ගසන් පැන් කල
තාම පැදකුණු කරමි බෝ මැඩ
වැවේ සුළගින් නුඹේ සුවඳත්
ඔතාගෙන ගම වරෙන් දෝණී
ඔතාගෙන ගම වරෙන් දෝණී....


ඊගාවට මේ තාත්තා කියනවා බෝධිය වටේ වට හත ගානෙ පැන් කල කර ගහගෙන තාමත් දුව නමින් ආශිර්වාද කරනවා කියලා.... එහෙමයි තාත්තලා....අම්මලත්.... ඉතින් එහෙම කර කර ආශිර්වාද කරන ගමන් මේ තාත්තා අහිංසක ඉල්ලීමක් කරනවා වැවේ සුළගට නුඹේ සුවදත් ඔතාගෙන ගමට වරෙන් කියලා....කාටද කියන්නෙ අර සිදාදියට ඉගෙන ගන්න ගිය දුවට.... මෙහෙම මේ හැමදේම මගේ හිතේම මැවුන දේවල් විතරයි අර පින්තුරය දැක්කම.... ඔන්න ඕකයි මේ සිංදුව මගෙ අතින් ලියවෙන්න වුනේ..... ඒ නැතුව වෙන පුද්ගලික හේතුවක් මට නැහැ.... මගේ මනෝලෝකය...හැබැයි මම හිතුනවා ඇත්තටත් සමාජයෙ මෙහෙම දේවල් අනන්තවත් ඇති කියලා..... නැති වෙන්න බැහැ...මට නම් අත්දැකීමක් නැහැ මගෙම කියලා......
  ඉතින් ධනුක අයියා මේකට තනුවක් දාලා මට දුන්නා..... මම එතකොට සයිප්‍රස්... පලවෙනි තනුව මට හරි ගියෙ නැහැ... ඔන්න ආපහු දවස් ගානකින් තව එකක් දුන්නා..ඒකට හිත ගියා... මම කිවුවා අපි මේක ගමු කියලා... ඊට පස්සෙ තව දෙයක් වුනා මේ සංදුව සීඩී එකේ පයිනල් එක ගන්න දවස් 2ක් තියෙද්දික් රෙකෝඩින් කරලා තිබුණෙ නැහැ. මගෙ සීඩී එකේ හුගාක් සංගීතය කලේ චාමර හපන්ගම කියන මිතුරා...ඔන්න මම අන්තිම මොහොතෙ කිවුවා චාමර තව සිංදුවක් තියෙනවනේ කියලා.... මෙන්න මගෙ යාලුවා ඔලුවෙ අතගහගෙන මට බැනපි... දිනිති ඕක අනිද්දටම කිවුව නම් හරි කියලා... අනිත්මට ධනුක අයියාට කෝල් කලා එදාම එන්න කියලා.. ඒ අයියා වෙහෙස නොබලා රත්නපුරේ ඉදන් ආවෙ එවෙලෙම පිටකෝට්ටෙ..ඒ ඇවිත් රෙකෝඩින් කරලා අපි අවසාන නිමාවකට ගත්තෙ...

ඔන්න මම හදිස්සියට ලිවුවෙ..නිසදැස් සහ කවි පිටුවෙ මට කරපු ඉල්ලීම ඉටු කරන්න..මම හිතුනවා ඔයාලා අමනාප වෙන්නෙ නැතිවෙයි..මෙයින් සෑහීමකට පත්වෙයි කියලා...
හැමෝටම ස්තුතියි..
මම
දිනිති දීපිකා.

සිංදුව අහන්න මෙතනින්  http://www.youtube.com/watch?v=phkt6tOUrfA&feature=youtu.be


2 comments:

  1. harima lassanayi akke i wish u from my deep heart

    ReplyDelete
  2. ස්තුතියි නංගා..

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...