Saturday, February 20, 2016

කතාවක් - කවියක් වගේ

අභිෂේක්ගෙ හිනාවට ආස කරන මං
බොළඳියක් කියල කිවුව ඇසලයියා
දන්න නොදන්න කතා ගොඩාක්
පපුව මැද්දෙන් කන්දක් වගේ ඉස්සිලා කියල
පෙන්වන්න හදනකොට
"අද බිසි හෙට යමු" කියන
sms පණිවිඩය සංගීතය නැගුව
ආඳ දොළ කියන්නෙ ආඳෙ ඉන්න හින්ද
විතරක් නෙමෙයි
හීතල නිල් කැටේට වතුර ටික දැක්කම
කුමරුන් පැන්න ගලෙන් පැන්න වගේ
සංතෝසයක් මට දැනෙන්නෙ
ක්ලෝරීන් වතුර මල යට ගැට ගැහිච්ච
කෙස් ගුලි පේනකොට
" මේ මං පැතුව ජිවිතේද ඇසලයියෙ, "
ඕලු නෙළුම් මානෙල් කුමුදු
අත වනල අඬගහන හැටි පේන්නෙ
එකම පෝච්චිය අස් කර කර පුරවන
කඩෙන් ගේන මල් මිටිය දැක්කම
වැවේ මල් මං නැතුව දුකෙන් ඇති කියල
ඔයාට කියන්න හිතද්දි
"හෙටත් ඔෆිස් ධරණී" කියද්දි
"මේ මං පැතුව ජීවිතේද ඇසලයියෙ"
ලේනෙක් කාපු අඹ කොටයක්
ඉත්තෑවෙක් හළල ගිය ඉත්තැ කූරක්
වදුරෙක් කාපු වරකා ගෙඩියක්
හිතෙන් අත ගගා සුවඳ අල්ල අල්ල
ඔයා ගේන පෙයාර්ස් ඇපල් ගෙඩි අතර
මං පැද්දෙන්නෙ
" මේ මං පැතුව ජිවිතේ ද ඇසලයියෙ "
අන්නාසි පිත්තක් උල්පතකට තියල
කොළපතකටම ඉරිච්ච පස්ස පැත්තක්
දණක් ඉපනැලි හැපි හැපි එල්ලෙ ගහන
අයියගෙ කොට කලිසමක් ඇදන්
පිඳුරු ගොඩේ බඩ පිනුම් ගගහ සර්කස්
සංදර්ශන කියා දඟලපු මං
ඔයාගෙ ළඟින් ඇවිදින්නෙ
ලයිට් එලි මැද දිලිසෙන විනෝද උද්‍යනයෙදි
හදවත අහන්නෙම
"මේ මං පැතුව ජීවිතේම ද ඇසලයියෙ "
" අපේ ළමයි මං ගිය ඉස්කෝලොටම දාගන්න
ඔයත් පදිංචිය මෙහෙටම ගේන්න" කියල
ඔයා කිවුව දවසෙ මං මගෙ පාසැල ගාව
ලොකු කඳුළක් තියල ආවෙ "මං වගේ කෙනෙක්
ඔයාට දුන්නෙ මේ දුප්පත් ඉස්කෝලෙන් "
කියල හිත හිතම තනියමම
හීන කඳු ගොඩ ගැහෙන්නෙ මේ පපුවෙ ඇසලයියෙ
ඔයාට කියාගන්න බැරි, අභිෂේක්ගෙ හිනාවට
වශීවෙච්ච කෙල්ල හූල්ලන්නෙ තාමත්
"මේ මං පැතුව ජිවිතේ ද ඇසලයියෙ "
ජීවිතේ කියන්නෙ,
මැක්ඩොනල්ඩ්, පාර්ටි, ඩිනර් ඩාන්ස්
හිප් හොප්, මැජෙස්ටික් සිටි නෙමෙයි
කවි කතා කියන ගහ කොළට
ගී සිංදු ගයන කුරුළු කෙවිලියන්ට
ඇස් වහගෙන හුස්ම පුදන මඳ නලට
අව්ව, වැස්ස එක්ක රන්ඩු කරන
ගල් වැලි පස් එක්ක යටි පතුල පෙම් කරන
සුන්දරම හීන පිරුණ ලෝකයක්
විතරමයි මං පැතුවෙ ඇසලයියෙ.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...