Thursday, April 24, 2014

" ඔබ මේඝයක් "



කිසි දිනක සිත් අහසෙ නොරැදුන

ඝණ සළුවෙ කළු පැහැය පැතිරුණ

ඔබ මේඝයක්....මේඝයක්

චණ්ඩ ගෙරවුම් අකුණු සැරයෙන්

හිත් අහස ඉරිතලා දෙපසට කෙරූ

එක තැනක නොරැදුණ

ඔබ මේඝයක්....මේඝයක්...



විසිරිලා සී සී කඩව යන්නට  සැදූ

පැරදිලා හඬන පොළවටම කඳුලෙන් ගැසූ

ජීවිතේ හුස්මටත් ඉරෙහිව බිය ගෙනා

ඔබ මේඝයක්....මේඝයක්..

ඝණ සළුවෙ කළු පැහැය ඇතිරුව

ඔබ මේඝයක්...මේඝයක්..



කැඩී අතපය රිදෙන මල් පෙත්තේ

විලාපය කිසි දිනක නොඅසා

කැඩූ කූඩුවෙ නටබුන්ද උදුරලා ගත්තේ

විනාසයෙ හැඩ වැඩ බල බලා
සිනාසුණු ඔබ මේඝයක්...මේඝයක්...මේඝයක්... 

Tuesday, April 22, 2014

අතීතයේ සුවඳ සොයා

ඇල් මැරුණ කවි හිත ළගින් මං අතීතයට ඇස් හරෝනව. හරියටම මගෙ උපන් දිනයක් දවසක මං නාරාහේන්පිට පොලිස් රෝහලේ හෙඳ සිසුවියක් විදිහට හා හා පුරා කියල පුහුණුවට ගිය දවස. එදා අපෙ අයියා ( මගෙ නැන්දගෙ පුතා ) මාව එක්කගෙන ගිය හැටි අදත් මතක් වෙනව. මම මුලින්ම රෝගීන් එක්ක ගැවසෙන්න පටන් ගත්තෙ පොලිස් රෝහලේදි. ඒ භයානක යුද්ධය ඇවිලෙන කාලෙ. කොයි වෙලේ බ්ලාස්ට් එකක් වෙලා ඇම්බියුලන්ස් එයිද කියල කවුරුත් හරිම සෝදියෙන් ඉන්නෙ.


එහෙට පැද්දි පැද්දි මෙහෙට පැද්දි පැද්දි රෝහලේ ගේට්ටුව ගාවින් යන දුම්රිය වෙලාවකට මහම මහ කරදරයක්. ගේට්ටුව ගාවම තිබුණ ඉන්ජෙක්ෂන් රූම් එක මගේ පලමු පුහුණු ස්ථානය වුනා. කොයි අත බැලුවත් කටු කටු කටු විතරයි. ලේ ගන්නව බෙහෙත් විදිනව මගේ හිත ගැස්සෙනව ඒ හැම පාරකම. ඇයි ඉතින් අපි පන්ති කාමරයෙදි පුහුණුවට කලේ එක එක්කෙනාට B12 එකක් විදල අතට ඉන්ජෙක්ෂන් කට්ට ගත්ත විතරයි.


එදා ඒ ඉන්ජෙක්ෂන් කාමරේ හිටිය ආදරණියම හෙඳිය තමයි නන්දනි මිස්. ඒක බාරව හිටියෙ කුලතුංග සර්. සහායට හිටියෙ වාසනා මිස්. ඊලග කෙනා තමා අලුතෙන්ම ගිය පුංචි මං. ලොකු සද්දන්ත ඇගවල් තියෙන පොලිසියෙ අයත් ඇවිත් එන්නත් විදින්න ඉදගන්න පුටුවෙ ඉදගත්තම මුහුණවල් හැකිලෙනව. පුංචි තිගැස්මක් එනව. ඒව මං දැක්කා. මට මුලින්ම කිවුවෙ පුලුන් බෝල කරල තියන්න කියල. ඊට පස්සෙ ඒ අය කරන දිහා බලා ඉන්න කිවුව. එදා දවසම මගෙ රාජකාරිය වුනේ ඒ දේ තමා.


පස්සෙ දවස් දෙකකින් විතර බෙහෙත් ජාති ගැන කියල දිල ඔන්න මටත් එන්නත් කටුව අල්ලන්නෙ මෙහෙමයි ඒකට බෙහෙත් දාන්නෙ මෙහෙමයි කියල කියල දුන්නා. ඔන්න මුල්ම එන්නත මට විදින්න ලැබුණ දවස. ඒක එන්නත් කරන්න වුනේ ගැහැණු කෙනෙක්ට. ඒකත් ඩීප්‍රොප්‍රොවේරා එකක්. හප්පා කිරි සුදු පාට කුප්පිය අරගෙන දැන් සිරිංජරයට ගන්නව මං. මගෙ පපුව ඩිග් ඩිග් ගානව. කකුල් දෙක පණ නැහැ වගේ. බය වැඩි කමටම දාහඩියත් දැම්ම මට. පිට දිගේ දහඩිය බිංදු යනව මට දැනෙනව. මුහුණු රතු කරගෙන අත ගැහෙද්දි මං දැන් පුලුන් කෑල්ලෙන් අතේ ඒ එන්නත ලබා දෙන තැන පිරිසිදු කලා. නන්දනි මිස් මං ගාවම දකුණු පැත්තෙ හිටගෙන නැමිල උදව්වට බලා ඉන්නව. ඇයගෙ හුස්ම ටික මගෙ මුහුණට වදිනව.. "රෝගියෙක්ට අපි බය බව දැනුනොත් ඔවුන් එන්නත ගන්න එක ප්‍රතික්ෂේප කරනව" කියල මට මුලින්ම නන්දනි මිස් කියල තිබුණ. අනේ ඉතින් දෙවියන් බුදුන් සිහිකරගෙන එන්නත විදින්න යද්දි මෙන්න දඩස් බඩස් ගගා කෝච්චියක් යනව. මාව නිකන්ම ගැස්සුණා. කෝ ඕක විදින්න කියල නන්දනි මිස් කියද්දි කොහේවත් නැති හයියක් අරන් එක හුස්මට මං එන්නත ශරිරගත කලා. ඊට පස්සෙ රිදුණද කියලත් ඇහුව.  :-D  නෑ මිස් කියල ඇය කියද්දි තමා මං ඉහළට අරන් තිබුණ හුස්ම පාරක් නිවි හැනහිල්ලෙ පහලට දැම්මෙ. 


එන්නත් කාමරේ හොදම එක ඒක නෙමෙයි. පිලිගැනීමේ කවුන්ටරය ඉදිරිපසින් තියෙද්දි එතනට එන සෑම සියළු දෙනාවම පේන්න පුටුවක් තියන් වැඩක් නැති වෙලාවට බල බලා ඉන්න එක. ඒ දවස්වල වයසත් අවුල්නෙ ඉතින්. ලස්සන තරුණ පොලිස් කාරයො එද්දි චුට්ටක් ඇස් උස්සල බලනව තමයි. ඒත් ඉතින් මගෙ පවුලෙ නෑදැ කෙනෙක් ඉහළම තනතුරක් දරපු නිසා මට දඟ වැඩක් කාරිය කරන්න බැහැ. මොකද එයා හිටි ගමන් පොලිස් රෝහලට එද්දි හතර වටේම අය සැලියුට් ගහල ඇයව පිලිගනිද්දි මං ඉතින් අර නම්බුවද මොකක්ද එක රකින්න එපැයි.  :/ 

මේ මතක වල මං වැඩියම ආස ඔෆිසර් වාට්ටුවට තමා. ඒකෙ එකක් සංවේදිම කතාවක්. අනික මට සමිප කතාවක්. සංවේදිම කතාව මං කියන්නම්කො. ඒ උතුරෙ බ්ලාස්ට් එකකින් පිරිමි ඇඟ එහෙම නැත්නම් පුරුෂ ලිංගයට හානිවෙලා හිටිය විශේෂ කාර්ය බලකායෙ නිළධාරිය. ඔහුට දවසක් ඇර දවසක් තුවාල වලට බෙහෙත් දමද්දි ඔහු විදින වේදනාව දෙවෙනි වෙන්නෙ අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන එකට විතරයි කියල මට හිතුණ වාර අනන්තයි. ඒ වගෙම ඔහුගෙ දකුණු කකුලත් නැහැ ඒ බ්ලාස්ට් එකෙන්ම. මට රැට හිනෙන් ඉදන් පේන තත්වෙට ඒ දේ පත්වුනා. 

මට ටිකක් සමීප දේ කියන්නෙ උණ හැදිල ඒ වාට්ටුවට ඇතුලත් වෙලා හිටිය ජනාධිපති ආරක්ෂක අංශයෙ කෙනෙක්. එයා දකුණෙ තෙලිජ්ජවිල හරි කඩවම් කෙනෙක් ඇහ්. ඔහුට ප්‍රතිකාර කරන්න යන වාරයක් පාසා මොකක්දො ගතියක් මටත් දැනුණ. අන්තිමට ඔහු වාට්ටුවෙන් යද්දි  ලිපිනය දෙන්න චුටි මිස් කියල මගෙන් ඉල්ලගෙනම ගියා. ඊට මාස තුනකට විතර පස්සෙ මෙන්න මට ලියුමක් ආව. පස්සෙ අපි හුගාක් සමීප අය වුනා. ඒත් අද නම් ඔහු කොහෝ කොතන ඉන්නවද කියල මං දන්නෙ නැහැ. 

ඉතින් පොලිස් රෝහලේ මෙස් එකට වෙලා යෝගට් කකා මගෙ හොදම යාලුව වුන හෂිනි එක්ක කියෝපු දේවල් අනන්තයි. අප්‍රමාණයි. ඒ දයාබර මිතුරිය අද කොහේද දන්නෙ නැහැ. හැමදාම හවස 3ට වැඩ නිමාවුනාම අපි දෙන්න කොහුවලට ඇවිත් පළතුරු කඩෙන් පළතුරු නොබිවු දවසක් නැහැ. ඒ සැහැල්ලු අතීතය අද එන්නෙ නැහැ.


ඩොක්ටර් මංජුලා රත්නවීර මැඩම්ගෙ ක්ලිනික් දාට ක්ලිනක් එකේ ෆයිල් එහෙ මෙහෙ ගෙනිහිල්ලම කකුල් කඩෙත්තුව හැදුනම පඩිපෙලේ හොරාට කොච්චර වාඩිවෙලා ඇද්ද... මේට්‍රන් මැඩම්ගෙ තොප්පිය ඈතින් පෙනෙද්දි නැති වැඩක් හරි හොයන් කරපු හැටි මතක් වෙද්දි අද හොදටම හිනා යනව. ඒ හැමදේටම වඩා සුන්දර ඩ්‍රෙසින් රූම් එකේ විහිළු කතා කිය කියා ඩ්‍රෙසින් කරපු හැටි. බෙතඩීන් සුවඳට මං දන්නදා හිටන් හරි ආසයි. ඉතින් ආසාවෙන්ම උන්න එක තැනක් එතන. 

තුංමුල්ලෙ පොලිස් ක්‍රිඩාංගනයෙ පවත්වපු පොලිස් රෝහලේ අවුරුදු උත්සවයෙදි කණාට කණා කිරි කවල දිනපු හැටි. අපේ එන්නත් කාමරේම වාසනා මිස් අවුරුදු කුමාරිය වෙච්ච හැටි. හප්පේ.... අතීතෙ සුවඳ අස්සෙ ඇවිදිද්දි පුදුම තරම් ආදරේ හිතෙනව. නුගේගොඩ පාරවල් දිගේ හවසට ඔෆ්වෙලා මායි යාලුවයි රස්තියාදු ගහල ගහල බර්නාඩ් එක ගාව තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගිහින් හෂිනිගෙ අයියගෙන් බැනුම් අහනකම් කකා බිබි ඉදපු හැටි. ( ඇයගෙ අයියා ඒ දව්වල ඒකෙ රැකියාව කලේ ඒකයි ) 


කවදාවත් නැතිව අද හිත ආපස්සට ගියෙ ඇයි කියල මටවත් හිතාගන්න බැහැ. ඒත් මේ ලිපිය හදිස්සියෙව් අහම්බෙන් හරි මගෙ යාලුව හෂිනිට දකින්නට ලැබුණොත් එයයි මගෙ තියෙන සතුට. ඈ කොහේ කොතනද කියා මංවත් දන්නෙ නැහැ. පිලියන්දල මඩපාත බොල්ගොඩ ගඟ ඇගේ නිවසෙ ඉදිරිපසම තිබුණෙ. ඉතින් මොනයම් හෝ හාස්කමකින් ඇය මෙය දකීවා කියායි මගේ එකම පැතුම.

"දිවි මගේ ඉසිඹුවක හුන්....දයාබර ඈ මට හමුවුනෝතින් "

Wednesday, April 9, 2014

විඳන්නට හැකි නම් ඔබට...

හෙමින් හෙමින් එබිකම් කරමින්
එරබොදු මල් ඇවිදින්
වරෙන් වරෙන් නෑ ගම් යන්නන්
කොවුල් ගීත ස්වරයන්...

සොබා දහමේ අපූර්වතම අසිරිය මවා පාන්නෙ වසන්ත සෘතුවයි. සිරිලක් වැසි සියල්ලන්ටම එය අප්‍රේල් සහ මැයි මාසයෙහි බව පිළිගැනේ. සිංහල මාස ක්‍රමයේ භාග්‍යවන්ත මාසය හෙවත් බක් මාසය මහ කන්නයේ අස්වනු කපා කොටා අටු කොටු සිනා නගද්දී දනන් ප්‍රීතියෙන් ඉපිළෙයි. එකී ජනයාට මඳක් වෙහෙස නිවාගන්නට කියමින් විහඟුන්ද ගීත කියමින් පිපී වැනෙන මල් වටා යමින් රොන් උරමින් වසන්ත සෘතුවේ සතුට භුක්ති විඳිති. කෘෂිකාර්මික ජීවනෝපයකට උරුමකම් කියන අපි බක් මාසය සැණකෙලි සිරි විඳගන්නට සුදානම් වෙයි.

දුර අතීතයෙත් පණ්ඩුකාභය රජු චිත්තරාජ යක්ෂයා සමඟ සම අසුන් ගෙන නැකැත් කෙළි නැරුඹුවා යැයි අපේ ඉතිහාසයේ මහාවංශයේ සඳහන් වේ. රොබට් නොක්ස් නම් විජාතිකයා නුවර යුගයේ රජවරු අවුරුදු උත්සවය ඉහළින්ම සැමරූ බවටද සඳහන් කරයි. රජයේ නැකැත්රාල, මුහන්දිරම් ආදිය ලහි ලහියේ මූලික වැඩ සුදානම් කරමින් ද නැකතියා නානු දියර සකසමින් නාථ දේවලායේ සීල් තබා සුරක්ෂිතව තබමින්ද කටයුතු කළ බවට වැඩිදුර සඳහන්වේ. මේ සියල්ලගෙන්ම පසක් වන්නේ අප්‍රේල් මාසය අප ඉතාමත් සංතෘෂ්ඨියෙන් සැමරූ බව නොවෙද..?

කෝණ තහංචි දමමින් සංස්කෘතියෙන් එන රීතීන් පිළිපඳිමින් ලොව හසුරුවන ප්‍රධාන බලවේගය වූ හිරුගේ ගමන් මගේ නව සංක්‍රමණයට පූජෝපාහාර කරන්නට මෙය අවස්ථාවක් කරගත්තා යැයි කීවොත් වඩා යෝග්‍ය යැයි මට සිතේ. පුරා දින 365 ක වෙහෙසකර ගමන් මඟ නිමා කරමින් මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන ඒ අලුත් ගමනාරම්භය ආසියාතික අප කළගුණ දක්වමින් සැමරීම කොයිතරම් නම් අපූරුද.

එදා සිට අද දක්වා සිංහල ජන සමාජය දෙස විමසිලිමත්ව සුපරික්ෂාවෙන් බැලුවිට අපට පෙනෙන විශේෂත්වය නම් සමූහිකත්වය මුල් කොටගෙන සමාජයේ සිරිත් විරිත් ක්රිටයාවට නංවා ඇති බවයි. හරවත් ධර්මතාවයන් සමඟින් සාරධර්මයන් රැකෙන්නේද මේ සිරිත් විරිත් නිසාමය. අළුතින් ලබා ගන්නා අස්වැන්නෙන් අලුත් සහල් මංගල්‍යය පවත්වා වැව ළඟ සංහිඳේ කිරි උතුරවා දැකුම් දිය යුත්තන්ට දැකුම් දී සුදානම් වෙන ප්‍රීතිමත් සමය මොනතරම් සුන්දර ජනකද?

අසල්වැසි හිත මිත්‍රාදීන්ද සමඟින් මොනයම් හෝ හිත් නොහොදක් ඇති නම් ඒ සියල්ලද අමතක කරමින් මිත්‍රත්වයේ දෑත දිගුකරමින් ඇරඹෙන නව ගමන් මඟ අපේ සංස්කෘතියේ ප්‍රබෝධමත් කාලයක්වේ. නිවෙස් තුළ පංච දැමීමෙන්, ඔංචිල්ලා පැදීමෙන්, බක්මහ සැණකෙලි සංවිධානය කරමින් ලොව කවුරුත් මවිත කළ ජාතියක් වූ අප එකම මොහොතක එකම විදිහේ ආහාර අනුභව කළහ. අපටම පමණක් ආවේණික කෑම බීම වලින් ලොව මවිත කළහ. කුස රජුගේ මුහුණ සිහි ගන්වන කැවුමේ වුවත් වර්ග 7 සැදූහ. ඒ අතර මුං කැවුම් , නාරං කැවුම්, කොණ්ඩ කැවුම් ප්‍රධානය. ඔබට මට අතීතයට දිව යන්නට හැකි නම් ඒ කාලය ලොබ කමින් හදවතින්ම බදා වැළඳගන්නවා නොඅනුමානය.

පරම්පරා ගැටුමක් ඇති වන බව අනිවාර්යය. සංස්කෘතියද විවිධ වකවානුවල වෙනස් වෙන අවස්ථා ඇත. එහෙත් සියල්ල වානිජකරණය වූ තැන සමඟිය, මිත්‍රත්වය, සහයෝගිත්වය අපෙන් දුරට යන බව අපිවත් දන්නවාදැයි සැක සහිතය. මුදලට කෝකත් කරන්න පුලුවන් යැයි සිතන බොහෝ දෙනාගෙන් මට අසන්නට ඇත්තෙ ගෙදර ලිප ළග වාඩිවී තෙල් හැන්දක් කූරක් අතේ තියන් කොකිස් අච්චුවක් සුදුම සුදු පිටි දියරකට ඔබ එය රත්වෙච්ච තෙල් තාච්චියේ බුබුළු දමා රන්වන් පැහැවෙද්දි දරුවන් වටවෙලා ඒ දෙස නඟන සිනහ ඔබ විඳ ඇද්ද? දෙමාපිය වැඩිහිටියන් මගේ දුවට යමක් හදාගන්න පුලුවන් යැයි කියමින් උදම් අනනවා ඇසෙන එක ඔබ විඳ ඇද්ද? යන්නය.

මිනිසා ආර්ථික භාණ්ඩයක් වී මනුස්සකම විකුණා ඇත. කඩේට දුව ගොස් කේක් ගෙඩියක් බිස්කට් ටිකක් ගෙනත් දී මේ වසන්ත සමයේද දරුවන් රවටති. ගහකොළ සතා සිවුපා ඇළ දොළ ගංඟාද සමරන වසන්තය අද බොහෝ මිනිසුන්ට අමතක වී ඇත. එක හැළියේ බත් කා අනෙකාට ද්‍රෝහිවන මානසිකත්වයක් අද බොහෝ දෙනෙක් ළඟ ඇත.
මේ උදාවන අලුත් අවුරුද්දේවත් ජිවිතයෙ සැබෑ මිහිර විඳින්නට ඔබට හැකි නම් ඔබට සැබෑවටම වසන්ත සැණකෙලියක තෘප්තිමත්ම මිනිසෙකු වෙනවා ඇතැයිමට සිතේ.

Tuesday, April 1, 2014

ප්‍රේම තටාකේ..............

ගුවන් විදුලියෙන් කලාව වෙනුවෙන් එහෙම නැත්නම් සංගීතය වෙනුවෙන් සිද්ද වෙච්ච අර්ථ සුබ සිද්ධිය මෙච්චරයි කියන්න බැහැ. අදත් කටක් ඇර ගායකයෙක් කියන්න පුලුවන්, නිවේදකයෙක් කියන්න පුලුවන් බොහෝ මිනිසුන්ගේ උපත ගුවන් විදුලියේය. උදේ සිට රෑ වෙනතුර කණ් බිහිරි කරන එෆ් එම් නාලිකා වලින් හතු පිටින් ගායක ගායිකාවන් නිවේදකයින් වෙනත් අයවලුවන් බිහි කරන්නට නොයෙක් විදිහේ දේ කළත් එදා ගුවන් විදුලියෙන් සිදුවුන දෙයින් දශමයක්වත් සිද්ද වෙනවාදැයි සැක සහිතය.

වේදිකාවට නඟින සැණින් බසින්නට හිමිවන එවන් මිනිසුන් කොපමණ බිහි කළත් කුමකටද..? එහෙත් එදා ගුවන් විදුලියෙන් උප්පත්තිය ලද උනුන් අදත් රසාස්වාදයේ ඉහළම තැනින් රසිකයා පිනවනවා යැයි කීවොත් ඔබ අමනාප නැත.

පණ්ඩිත ඩබ් ඩී අමරාද්ව ශූරීන් ගැන කතා කරද්දී අමට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කෙසේ නම් අමතක කරන්නද..? ආනන්නයෙත් ප්‍රඥාවේත් සියුම් ඉසිඹු සොයමින් ශ්‍රාවකයා පිනවන්නට ඔහුගේ තෙළි තුඩින් පිපුණ මල් නම් කොපමණ ඇද්ද...? වරෙක අමරදේවයන් කියා තිබුණේ චන්ද්‍රරත්න මානවසිංහන් මුණ නොගැසුණා නම් අමරදේවයන් කෙනෙකුත් මෙතරම දුරක් නොඑන බවය. ඒ නම් අමරදේවයන්ගේ දිවි ගමනේ වටිනා සංස්ධිස්ථානයක් වන්නේ ශ්‍රී චන්ද්‍රරක්න මානවසිංහන් නිසාය.
  
එතරම් දක්ෂ පද රචනා කළ මානවසිංහයන් " රන්මුතු දූව" සිනමා පටය සඳහා එකකට එකක් වෙනස් විදිහේ ගීත ලියා ඇත. අදත් පොඩි දරුවාගේ පටන් මහල්ලා දක්වා මතක තියෙන " පාරමිතා බල පූජිත " පිපී පිපී රේණු නටන" සහ ගලන ගඟකි ජීවිතේ ගීතද මානවසිංහයන්ගේ තෙළි තුඩේ විශ්මිත සිතුවම්ය.

ඉතින් ගුවන් විදුලිය ගැන මා අර තරම් පැවසුවෙ ගුවන් විදුලි ගීත නාටකය පෝෂණය කිරීමෙහිලා මානවසිංහයන් දැක්වූ නිර්මාණාත්මක කෞෂල්‍යය ද එතෙක් මෙතෙක් කිසිදු පද රචකයකු සිදු කරන ලද කාර්යභාරයට වඩා ඉතා පුළුල් වූ ද, සෞන්දර්යාත්මක වූ ද, ශ්‍රැති රම්‍යතාවෙන් යුත් විදග්ධ ව්‍යායාමයක් නිසාමය. “මනෝහාරි” ගීත නාටකය එහි කූට ප්‍රාප්තිය සලකුණු කරනු ලබන අතර ඔහු විසින් රචනා කරන ලද, පණ්ඩිත් ඩබ් ඩී අමරදේවයන් විසින් සංගීතවත් කොට වජිරා බාලසූරිය සමඟ ගායනා කරනු ලබන ‍"ප්‍රේම තටාකේ මේකයි මැණිකේ” ගීතය ගුවන් විදුලි ගීත නාටක සාහිත්‍යයෙහි තවත් එක් සන්ධිස්ථානයක් විය. එමෙන්ම මෙහි ගායනය සම්බන්ධයේදී කිව යුතු අනික් දෙය නම් , වත්මනෙහි මෙම ගීතය රශ්මි සංගීතා සමඟද ගයා ඇත. 


එම ගීතයෙහි පද වැල පුරා ගලා හැලෙන ප්‍රේමණීය හැඟීම් සමුදාය ඇසුරෙහි බිහිවන පාරිසරික වැනුම ද, අර්ථ ධ්වනිය සමඟ මුසු වූ ශබ්ද ධ්වනිය ද, ගායන අලංකරණය ද උක්ත ගීතය සැබෑ ප්‍රේම ගීතයක් ලෙස ඕනෑම අයෙකුට කිව හැකිය. එහෙයින් එහි ඇත්තේ ඕනෑම යුගයකට සරිලන රස ප්‍රවාහයකි. ඕනෑම අයෙකුට දැනෙන භාෂා ශෛල්‍යයකි. 

හදවතේ සියුම් නහර වලට පවා දැනෙන ආදරය පිරුණු මෙම ගීතය ඔබටත් රසවිඳින්න කියල මං කියනව.

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ //
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ


ප්‍රේම තටාකේ..............

මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ


චම්පා චම්පා කියලයි ‍මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ //
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ

ප්‍රේම තටාකේ..............

හිමියනි ඔබගේ පුළුලුර තලයේ හි
වැව් ඉවුරේහි නැහැ වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ


අනාගතේ මෙහි පෙම් රස විදිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ //
එකයි මැණිකේ  මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ


ප්‍රේම තටාකේ..............


 මා ඉහත කිවු ගීතයේ පද රචකයා මේ ඉන්නෙ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. 






මේ ගායනය සහ සංගීතය යෙදූ පණ්ඩිත් ඩබ් ඩී අමරදේවයන්.




සහාය ගායිකාව වජිරා බාලසූරිය.








">