Wednesday, July 26, 2017

දුවට නොකිවු කතා



ආදර දියණියට,
දුවේ, මම උඹට පුරුදු ලෙස පුතේ කියා ලියන්නම්.
ඉතින් කොහොමද කියා හලෝ එක දිගේ ඇහුවාට
උඹ නොදකින කතන්දර ගොඩක් මගෙ ඇස් දෙකේ ඇත.
එකින් එක පෙළ නොගැස්සුවත් මුල සිට අගට මේ ලියමන කියවතැයි මම සිතමි.

පුතේ,
ගෙදර දොරකඩ ගාර්ඩිනියා ගහ සුදු රෙද්දකින් හිස වසා ගත් කන්දක් සේමය. ඒත් ඒ මල් සුවඳ දැන් මට ඉස්සර වගේ නොදැනේ,
වැට දිගේ ගිය කැකිරි වැල වෙසක් එකට ලයිට් දැම්මාටත් වඩා එළියෙන් සිනාසෙයි. ඒත් ඒ එළිය මට දැන් පැහැදිලි නැහැ,
පිළිකන්නේ මඤ්ඤොක්කා පඳුරු වහලයට උසය. ඒත් එය ගලවන්න මට දැන් නොසිතේ.
ගේ වටේ ඇති කොස් ගස්වල වැල වරකා කන්නට එන ලේනුන්, නිතර කවි සිංදු කියයි. ඒත් ඒවා මට දැන් නොඇසේ,


වත්ත මැද්දෙන් ගලන දොළ හිටි ගමන් ඉස්සිලා "කෝ දරුවො" කියා අහන්නට අමතක නොකරයි.
ගල්වැටි දිගේ ඇති අන්නාසි පඳුරු වල අන්නාසි ගැට පිටින් කඩන් යන වඳුරන් දකිද්දී මට පන්නන්නට නොසිතෙයි.
කිතුල් ගස්වල මල් ඇවිත් මෝරා ඇට හැදී ගස මුලම වැටී පැල හැදි හැදී යයි. දැන් ඉස්සර වගේ කිතුල් මල් කපන අය නැති එක අපරාධයක් කියල හිතෙනවා. ඒත් එහෙම නැති එකත් හොඳයි. දැන් එහෙම මල් කැපුව නම් මටත් හොරා පාන්දර කිතුල් ගහට නැග තෙල්දිය හොරෙන් බොන්න උඹල නැහැනෙ. මගෙන් කොසු පරාක් කනකම් උඹලව හදන්නත් බැහැනෙ.
ඉතින් පුතේ පහළ ගෙදර මිස්ගෙ මහත්තයත් නැතිවුනා. තව ගෙවල් තුන හතරකම නැන්දල මාමල වගේම ගමේ අපේ වයසෙ හුගක් අය නැතිවුනා. කැන්ද ගහ උඩ ඉදන් නිතර කාක්ක කරව් කරනවා. ඒත් මං කල්පනා කරනවා කවුරු එන්නද නාකි මාව බලන්න කියල. ඉදල හිටල දවසක උඹලගෙ ලොකුමාම නම් දුවගෙන ඇවිත් යනවා.

දැන් කන්දට පහළ ඉදන් වතුර ගේන්න ඕනි නැහැ. මට මතක් වෙනව ළමිස්සියො වෙච්ච උඹලගෙ උකුළ හැඩවුනේ කළේට වතුර ගෙනල්ලමයි. මතකද දවසක් මැටිකළේ උඹ අතින් බිදුනා. උඹට එදා මං ගැහුවෙ ගැහැණු ළමයෙක් වුනහම පරිස්සම ඕනිවට වඩාත් හැමදේටම තියෙන්න ඕනි හින්දා.

පුතේ, ඉස්සර උඹ කොණ්ඩෙ උඩට බැදගෙන පල්ලම දුවද්දි මම කෑගැහුව ඔන්න වෙළඹ යනව කියල. ඒත් අද එහෙම යන්න මැස්සෙක්වත් මේ පැත්තක නැහැ. උඹල තරගෙට හොරා පොලිස් තිබ්බා. සෙල්ලම් ගෙවල් දැම්මා. ගමේ ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කෑව බිව්වා. සොහොනෙ වොලිබෝල් ගැහුවා. වෙලේ එල්ලෙ ගැහුවා. අද අල්ලපු ගෙදර ඉන්නෙ ගැහැණු ළමෙයක්ද පිරිමි ළමයෙක්ද කියල මමවත් දන්නෑ බන්. මිනිස්සු මේ තරම් ආත්මාර්තකාමි වුනේ ඇයි කියල හිතෙනවා.

කොස් ගස්වලට, පුවක්ගස්වලට යැවුව ගම්මිරිස් වැල් වල ගම්මිරිස් ඉඳිලා. මට ඔච්චම් කරනවා පුතේ. ඉස්සර උඹල ගම්මිරිස් කැඩුවෙ නැත්නම් මම හරි ඉණිමග තියල නැගල කඩනවා. අද බිමට වැටෙන ගම්මිරිස් ඇටයක් අහුලගෙන එකතු කරන්න මට වෙලා තියෙන්නෙ. පුවක් වල්ලක් වුනත් ඉදිල වැටෙනකම්ම ඉන්නවා පල් පුවක් කළයකටවත් දාන්න. ඒත් ඊට කලින් ගමේ කවුරු හරි අහුලන් ගිහින්. දැන් මං ඒව පස්සෙ යන්නෙ නැහැ. මොකද පුවක් ටික විකුණලවත් උගන්වන්න මට දරුවො දැන් නැහැනෙ.

උඹට මතකද උඹත් එක්ක හිටවපු රන්තැඹිලි පැළ දෙක. ඒක අන්න පීදිලා. මට උඹව මතක් වෙනව මේ වත්තෙ පිටියෙ හැමදේම දකිද්දි. ඇයි උඹ මගෙ පස්සෙන්ම ඇවිද්ද නිසා. ඉරමුසු ටිකක් පොල්පලා ටිකක් උගුල්ලන්නවත් දැන් මගේ අත පපය හයිය නැහැ. ඊයෙත් ගමේ කවුද වත්ත කෙළවරේ ගොරකා ගහේ ගෙඩි කඩන් යනව මං දැක්කා. උඹලා ඉද්දි නම් ගොරකා ගහට, වෙරළු ගස්වලට, අඹ ගස්වලට හුස්මක් ගන්න ඉඩක් දුන්නැහැ.

සිංහල දෙල් ඇට අහුලන් යන්න කියල ඊයෙ කමලා ආව. කමලලා වගේ පරණ එකෙක් ඇරෙන්න දැන් හැදෙන එවුවො සිංහල දෙල් ඇට වහ කියල තුහ් කියයි.ඒක මට මතක් වුනේ කිරිල්ල පොකුරක් කඩාගෙන මම අයියගෙ දරුවො බලන්න ගිය දවසක දුන්නා. ලේලි ළමයින්ට මොන ජරාව දෙනවද දන්නෑ කියල ඒක විසිකලා පුතේ. මම කටපියාගෙන එදා ගෙදර ආවා. උඹල ලොකු වුනේම ඔය ගඩාගෙඩි කාල කියල මට ලේලිට කියන්න හිතුණත් නාකි මම ඉවසගෙන ඉදියා.

දැනුත් සිරිපාදෙ ලයිට් එක ගෙදරට පේනවා. මට ඉඹේටම අත්දෙක ඉස්සෙද්දි උඹලව ආරක්ෂා කරල දෙන්න කියල කියවෙනවා. ඒක නෙමෙයි මේ පාරත් ගම්මඩුව තියනවා කියල ආරංචියි. ඒත් ඕක තව කී කාලෙකටද දන්නැ. මමත් පුලුවන් විදිහට දෙයියන්ගෙ දානෙට දායක වුනා. උඹට මතකද ඉස්සර දෙයියන්ගෙ දානයක් කිවුවොත් උඹල පාන්දරම යන හැටි. හත්මාළුව එහෙම කාල මටත් බත් එකක් ඔතාගෙන ආපහු හැටි. ගරා යකා නටනවා බලන හැටි.

තව පොඩ්ඩෙන් මට කියන්න අමතක වෙනවා. අතුකෝරල අයියලගෙ කුඹුරු ටික මේ පාරත් වපුරලා නැහැ. ඉස්සර මතකද ඔය කුඹුරු වපුරනහැටි. මීහරක් ටික දාගෙන කයි කිය කියා. ඒ තියා ගොයම් කොළය ගහපුදාට පාවරේ එල්ලන පැට්‍රල් ලාම්පුවෙන් අපේ ගෙදර වත්තටත් එලිය ආපු හැටි. පිදුරු ගොඩ ගහනකම් උඹල බලන් ඉදියෙ ඒකෙ පිනුම් ගහන්න. කුඹුරුවල වැටුණ වී කරල් අරන් ඇවිත් ගෙයි දොරකඩ කුරුල්ලන්ට එල්ලුව මතකද පුතේ. අද ගෙදරට කුරුල්ලෙක්වත් එන්නැති හැටි.

ඊයෙ මිදුලෙ තිබ්බ රට ලාවුලු ගහේ වැටිලා තිබ්බ ගෙඩියක් අහුලන් ආවා. දත් නැති ලොම්බෙන් පොඩ්ඩ පොඩ්ඩ හප හප ඉදියා. කොහොල්ල ලාවුලු ගහනම් කපලා දැම්මා. ආහ් උඹලගෙ අක්කට බටදොඹ ගහයි, දොළගාව තිබ්බ කැටකෑර ගහයි, ගිනිකූරු ගස් දෙකකුයි , ලුනුමිදෙල්ල ගහකුයි කපන්න දුන්නා. එයා හැමදාම නෝක්කඩු කියනවා. එයාට ලියලා දුන්න ඉඩමෙ තිබ්බ ගස් ටිකකපල ඉවරයි. නොදි ඉදියම මැරෙනකොට ගෙනියන්නද අහනවා. මම මේවා මැරෙනකොට ගෙනියන්න නෙමෙයි පුතේ තියන් ඉන්නෙ. උඹලගෙ දරුවෙක් අනාගතයෙ ගහක් කොළක්වත් නමින් දැනගත්තට ඇත්තට පෙන්වන්න නැතිවෙයි. ඒකයි මම මේ එක එක ගස්කොලන් වත්තෙ වවල තියෙන්නෙ.

ඊයෙ වත්ත එළිකරන්න ආව අන්තෝනි. දැන් අන්තෝනිත් හරි වයසයි පුතේ. බඩගින්න නිවාගන්න ඕනි නිසා මොනව හරි කරනවා වගේ. මං එපා කියද්දි තමා වත්ත එලිකලේ. ඒ එලිකරද්දි කන්දෙ ගල උඩ ගොඩගහල තිබ්බ දිරන්නෙ නැති බඩු ගොඩ අස්සෙ තිබිල කෑලි දෙකේ බැටරි දාන රේඩියෝ කෑල්ල තිබ්බ. ඕක එක්ක මම හුගක් ආපස්සට ගියා පුතේ. ඔය බැටරි බැස්සම උඹල අව්වෙ තියල පණ ගන්න හදපු හැටි. ඒ කාලෙ අපිට බැටරි කෑලි දෙකක් ගන්නවත් වත්කමක් තිබුණ මිනිස්සුද ? ඕක වටකරගෙන මුවන්පැලැස්ස අහපු හැටි අද වගේ මට මතකයි.

පුතේ ලියන්න ගියහම අතීතය මතක් වෙනව හොඳටම. ගිරාපලා කොලේ ගැටකොල ගහ ඉදන් පිහිට වෙච්ච හැටි. ඒතියා බිංපොල් ගෙඩිය හිටන් උඹල කාපු හැටි. කොහොම වුනත් දිග වැඩියි කියල උඹ බාගෙට කියවල නිකා ඉදියි. ඒක නිසා මම දැන් ජිවත්වෙන්නෙ අතීතයෙ විතරමයි. වත්මනේ ඉන්න බැහැ. එතකොට පපුව හිරවෙවි උඹලව මතක් වෙනවා. පුලුවන් නම් ලංකාවට ආයෙ ඇවිත් යන්නවත් වරෙන්.

උඹට රත්නත්තරේ පිහිටයි.
අම්මා

Thursday, July 13, 2017

ඈ අම්මාය



හෙරලි මඳුළුම දෙකට කපලා
තැම්බෙනා බොහො දවස්වල
තාත්තා කොයිවගේ දැයි අහලා
රණ්ඩු වුන හැටි, මතක මංසන්ධිවල,

හයියෙන් බැණවදින අම්මාගෙ වචනවල
පැටලි පැටලී ගොතගැහෙන තැනකදි
" පලයන් යන්න ගිනිපෙනෙල්ලෙන් නොකා"
තරවටු කරපු ඒ රාත්‍රී යාමයක
භුමිතෙල් කුප්පියත් පෙරලා
වකුටු වී ඉකිගස ගසා
මුරණ්ඩුම වුන වෙලාවක තරහින්,


වැස්සට තෙමී අහිමිවී යැයි බියෙන්
රෙදි පෙට්ටියේ මැදක රදවා
සිනාසෙන අම්මාත් , තාත්තාත්
දෝතින්ම වඩාගෙන පෙන්නාපු "අම්මා"
ඇත්තටම හිනාවෙන හැටි මං දැක්කෙ
අම්මගේ ඒ මංගල සේයාරුවෙන්

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...