Tuesday, June 13, 2017

සොඳුරුම කවිය ඔබ මට


සංකා කඳුළු වැහි වාසුලි එකට එතී
සැන්දෑ අහස ඇයි විරසක බවට ගැතී
සිඳ දා නපුරු දැඩි තේජස් අඳුරු පැතී
සඟවා ගන්න නල රැල් ඔබ නමට බැතී

සේදී වලාකුළු සායම් ඉවර වෙතී
පේවී නුඹට මිහිකත නිති ඉඩක් දෙතී
පෑදී සසල හද බිත, මහනෙලක ගතී
පීදී එන්න සිසි ඔබමයි හදට නිතී

තැන තැන රැදෙන සිතිවිලි එක පිඬක් කොට
ඔබමොබ යනෙන නෙතුපිය රැකවරණ පිට
ඉඟිබිඟි පාන දම් පැහැ නුබ කුසක් යට
පුරහඳ වෙන්න ඔබ සොඳුරුම කවිය මට



Monday, June 5, 2017

ගැහැණු හිතක් කොයිතරම් කැමතියිද



" දාඩියයි මගෙ ගාව "
" මහන්සියි මැණිකෙ අද"
" උණුවටම තේ එකක් බොමුද"
පිරිමි හඬකින් ඇසෙන එක
ගැහැණු හිතකට කොයි තරම් මිහිරියිද ?

බතක් රොස්වෙන වෙලාවක
අලුත් සබන් සුවඳක් වඩාගෙන
"අපි කඩෙන් කන්න යමු අද"
පිරිමි හඩකින් ඇසෙන එක
ගැහැණු හිතකට කොයිතරම් මිහිරියිද ?

"මගෙ මැණික වැතිරෙන්න
මේ පපුවෙ හරි මැදින් "
පිරිමි රස්නෙට ගුලිකරන් තදවෙද්දි
ගැහැණු හිතකට කොයිතරම් දැනෙනවද

Tuesday, May 23, 2017

ප්‍රබුද්ධ,



හිතවත් ප්‍රබුද්ධ,
ඔබේ පොත් පිටු අතර සිරකරන් ආදරෙන් සුරකින අම්මාද
මගේ හදවත මැද තද කරන් බදා අල්ලා සිටින අම්මාද
දෙදෙනෙකු නොව එකෙකු බව සක්සුදක්සේ මම දනිමි.
එකදු වෙනසක් නිසාවෙන් අප පරස්පරවෙයි ප්‍රබද්ධ
ඒ ඔබේ අම්මා නිවන්පුර ගොස්
මගේ අම්මා අදත් කවි සීපද කියයි

ඉතින් ප්‍රබුද්ධ
ඈත මහා කඳු වළල්ලට යටවී
මෑත සෙවනැලි ඇද කරද්දී
පාට සේදුණු ලිහිණි තටු යුග්මයෙන්
පාර පෙන්වා මුදුනටම නගින්නට කියු අම්මා මට මතක් වේ

එරමිණියා කටු ඇණී රිදුම් දෙන යටිපතුල් අද්ද අද්දා
තේ දල්ලෙන් දල්ලට යායකම තේ පදුරු සිපගත්තේද
බෝවිටියා හිඹුටු මාදං වෙරළු පුරවන් සෝබරව
අරඹකන්දෙන් බැස්ස අම්මාද මට මතක් වෙයි.

මාන, ඉලුක්, පොඩිසිංඤ්ඤොමරං වටකරද්දී
රෑන පිටින් වවුලන් වැල වරකා කජු පුහුලන් සොයද්දී
කෝඩු ගති අහලකවත් නැති තනි ඇතින්නිය වී
කිරිදෙනියෙ ගල් වලට ගල් ගැහුව අම්මා මට මතක් වේ
පැහැඳුල් සඳවතක් සේ උවනත පුරවගෙන
"පුතේ උඹ ජීවිතේ දිනාපන් " කිය කියා
වෙලාවක් කියන්නට දන්නැති කළුවරේ
හනසු පොල්කොල අවුල අවුලා
ඉස්පිරිතාලෙ වාට්ටුවෙන් වාට්ටුවට කඩයප්පන් විකුණූ
අම්මා මගේ නෙතු ඉදිරිපිට සිටගනිමින් අතීතය අවුස්සයි ප්‍රබද්ධ
එදා ඈ පිරිපුන්ය. මෙදා ඈ කෘෂව ගොස්ය
වැටී ඈ දෙපතුළ පාමුළ දසමාසේ කියද්දී
මගෙ පුතේ කිය කියා අනේ මං බලන්නට උඹ ආවාද අහමින්
මා බදාගත් අම්මා මට මතක් වෙයි.

ආදරණීය ප්‍රබුද්ධ...
ඔබ වගේ ලියන්නට ලියන්නට අහවරක් නැති කතන්දර
මගෙ හිතේ හැපි හැපි පෙළගැහෙද්දී
අනේ අම්මේ වයසට යන්න එපා කියා කිවු
බොළද දියණිය මම වුනා.
ඔව් ප්‍රබුද්ධ,
ඈ මහා සාගරය ලෙහෙන් නැට්ටෙන් හිස්කරමින්
අදත් දාරක ස්නේහයේ උත්තරීතරත්වය රඟ දක්වයි.

Thursday, March 30, 2017

රස්තා කෙල්ලෙක් වෙන රහස සොයමි


සිහිනිඟ සුඟ මිටට ගන්නට කුමට
පාවෙන බෙල්බොටම රිසිකො‍ට
පිට මැදින් එල්ලෙන රෑන කිතුලක
හැඩ වරල නැති එක නුහුරද ඔය හැටිම
නා දළු ලෙලෙන දෙතොලක පැහැය
සායම් මතින් මතු නොකරමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි

ඇට මාල පාට පාටින් ගෙළ මාල කර පළඳමි
පය තබන ලාලිත ගමන් කුමටද අසමි
නීල පීත නූලකින් වළලු හැඩ පරදමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි

ඇතිනි පැටවුන් කර තියාගෙන ඇතිනි අම්මා වෙලා
පතිනි බල ගැන නොකියමි නොකරමි නොහොබිනා
ලොබු ඩැහැන් වැට අද්දරින් අතු ඉති මුවා කරමින්
බලන උන් හට ඇති තරම් හිපොපිය හැඩ දමමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි

ඉඳහිට ඔතන මලක රස තනියම උරමි
අක්බඹර කෙහෙරැලි රැලි රැලි සදමි
මාර්ජුවානා සුවඳ දැයි හදවතින් අසමි
ටැටූවක් කොටාගෙන අත් නැති හැට්ට අඳිනෙමි
මිනිසත් කමේ අනුහස් මනු හදට පවසමි
බොබ් මාලෙ ගීතම සිවුරුහන් කරනෙමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි.

රෙගේ නැටුමක් දමා දමා හතිලමි
මගේ විජිතයෙ මම අග රැජිණ වෙමි
රස්තා කෙල්ලෙක් වෙලා රහ අත්විඳිමි.

Wednesday, March 29, 2017

ප්‍රේමයට හැකිවේද දැවි දැවී නොදැවෙන්න

ක්ෂණයකින් ඇවිලෙන ගින්න සේ
ඇසිල්ලෙන් අංශු මාත්‍රයකින් ද,
විමසිල්ල කිසිත් නැති තැනකින්
ප්‍රේමයට හැකිය සියල්ලම දවන්නට

විඩාබර වෙහෙසකින් සැදෑවේ
ඉරමලත් මුකුලිතව යන්න යන විට
හේතුවක් නැති හේතු මැද්දෙදි
ප්‍රේමයට හැකිය සියල්ලම දවන්නට

සෘතු මාරු සංසිද්ධි හිඩැස් සිතුවිලි ගෙනත්
පෙති හැලුන මලකටත් කතාවක් තියෙද්දී
ආදරය බිංදුවෙන් බිංදුවට හැලි හැලි යද්දි
ප්‍රේමයට හැකිවේද දැවි දැවි නොදැවෙන්න

Monday, March 27, 2017

සඳවතිය ඉඟිලිලා



පුවත -
තම සැමියාද හෘද රෝගියෙක් නිසා විදේශගත වුනු බිරිඳක් විදේශයේදි මිය ගිය පුවතක්. ඒ ගැන අසා මට දැනුණු සිතුවිල්ලක්.
____________________________________

පුංචි තරු කැට බිමට ඇවිදින් කතා කරලා
අතින් අල්ලන් පැතුම් දෙන්නැති හිත පුරෝලා
පාඩුවෙම ඇස් පියාගෙන දිනුදු රහසින් වැලපිලා
යන්න දෙන්නැති සඳවතිය හට දුරු රටට ඉඟිළිලා


පිච්ච සේපාලිකා සුවඳක් හදවතේ මැද සඟවලා
සද්ද නැතිවම බලා ඉන්නැති පිනි බිංදු ඇස් පියවලා
තුනීයට එන සීත සුළඟට රහස් කිසිවක් පවසලා
ඇතින්නිය දුර ඇදෙන්නැති සිහින විමනක් අන්දලා

සෘතු මාරුවක් නැති දිවි ගමන ගිම්හනෙන් හෙම්බත්වෙලා
බලා ඉද්දිම ලපටි පැළ බිමට නැමුණේ හිස කැරකිලා
පලා හද ගැබ බලා යන්නට කවුරුවත් නැත පේවිලා
උරහිසේ බර දරන් සඳ ඒ නිසයි ගියෙ දුක් ඉවසලා


සිඟිති කුසපොතු පිටට අැලවී කැටයමක හැඬ මතුවෙලා
දකින නෙතු යට කඳුළු එන්නැති හිතක දුක්ගිනි ඇවිලිලා
දුගති ජීවිතෙ තිත තබන්නට තිබූ පාදය ගොස් ලිස්සලා
හඩති වැළපෙති කුමුදු මල් අද සඳ දියම නිති ඉල්ලලා






#දිනිති #පරණකවි 2014

Sunday, March 26, 2017

Happy Birthday ආලවන්ත හුඳකලාවෙ සිට

සබඳ මේ බ්ලොගයටත් වසර 7 ක් සපිරෙයි. මේ මගේ දෙවන බ්ලොගයයි. පළමු එක මටත් නොකියා යන්න ගිය පසු මගෙ තනියට ආ ආලවන්ත හුඳකලාවට මා ප්‍රිය කරමි. 

ඉතින් හිට්ස් ගන්නවත්, ට්‍රැපික් පස්සෙ දුවන්නවත් කිසි හදිස්සියක් නැති ආලවන්ත හුඳකලාව, හුඳෙකලාවෙම ඔහේ යයි. 
ඉඳහිට ලියන කවියකට, කතාවකට , ලිපියකට ඉඩක් දී පාඩුවෙම බලා සිටියි.

හැමදාම වගේ දුකා අයියාට තුති.බ්ලොගයක් හදාගන්නා හැටි කියාදුන්නාට. එදා මෙදාතුර ආලවන්ත හුඳෙකලාවට ආ ගිය සැමට ද අපමණක් තුති පුදමි.  සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට.

Tuesday, February 28, 2017

ලේ කඳුළු

සඳක් බැසගෙන යන කලාවට
කවක් ලියවෙයි නොදත් තාලෙට
රැහැයි හඬ ඉල්ලන සවණතකට
බැහැයි නොකියා අඬාපන් උලලේනියේ තරඟයට
මොර ගෙඩි , පැණි වරකා සුවඳට එල්ලුන වවුලන්ද
කජු ගෙඩි බිම දමන සද්දය හිත වටකර යුධ පිටියක්ය
රඹුටන් ගහේ මැද හරියේ එල්ලුන බකමූණෙක්ද
හූමිටි තලන හැටි පුදුමයි මා ගැන දැනුනාවත්ද
දේදුනු පිපෙනවද තරුවැල් මඟ කියනකොට
පොරිමල් සුවඳ හිත ඉල්ලයි ගොළුවත සතුටක්ය
පීදුනු රෑකඩුපුලක් ඉවකරනා මැඩියෙක්ද
බෝවිටි පඳුර යට හිටියා දුටුවේ නැහැ කවුරුත්ම
සැලමුතු සිහින ගුලිකර හැට්ටය අස්සෙ ඔබා
පිවිතුරු පිච්ච මල නෙතු සඟලම බිමට යවා
කළුතර බෝධියේ මලසුන හිතින් මවා
අළුකර යැවුව හැටි පුදුමයි සෙනෙහසද අසා
අම්මේ ප්‍රේම කෙරුවේ හදබිත මත දෙව් රුවක් තනා
යන්නේ කොහෙද නොමඇසුවේ දෙවිදුන් ඔහුය සිතා
දන්නේ දෙයියො විතරයි ලේ කඳුළත් මගෙම තමා
අම්මේ දල්වපන් පහනක්, කළුවර සොහොන මෙමා

Friday, February 24, 2017

කෙටි ඇසුර

අපට තිබුණේ කෙටි ඇසුරවල්
ළඟට ගොස් හැරී එන හමුවීම්
මතක අතරින් අලුත් සඳ සොයන්
පපුව අතගගා හූල්ලන තනිකම්
දෙතොල් හාදුවක හැඩ රුව මනින
ෆල්යින් කිස් එකකින් මත්වෙන
ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
අපට තිබුණේ කෙටි ඇසුරවල්
මුරංඩුම සුළං රැල්ලකට ඉව අල්ලන
පාව යන ගාර්ඩිනියා සුවඳකට සම කරන
ඒ තමයි අපි අතර තිබිය යුතු ස්මරණ
කිය කියා නහය නැටවුව වෙලාවල්
අපට තිබුණේ එවන් කෙටි ඇසුරවල්
රාත්‍රියෙ සයනයේ පෙරලි පෙරලී
වහළයේ සිතුවමක් මවන්නට දගලන
එයා මට ආදරෙයි, මාත් එයාට ආදරෙයි
කොට්ටයක් බදාගෙන නොදන්වම නින්දයන
සිහිනයෙන් පවුල් පන්සල් වෙන
අපිට තිබුණේ කෙටිම කෙටි ඇසුරවල්

2017 පෙබරවාරි 18

Monday, January 30, 2017

නොරිදන්න තව

නිමිත්ත - වේසියක් ලෙස සමාජය විසින් හංවඩු ගැසූ , අහම්බයකින් හෝ කුසට එන කළල විනාශ කරමින්, සමාජයෙන් තල්ලු කළ තැන සිට ජීවිතය මැතිරූ කතක්
=============================================
අමාවකට කෙඳිරිලි හඬ මල් මතින් ඇසේ
පලා යන්න බැරි දේවල් කරණමක් ගැසේ
හදාගත්ත හිත වැටේ, දුක මතුවෙයි හිසේ
බදාගන්න ඉඩ දුන්නේ, ගිනි ගනියි කුසේ
කුරුළු පැටවු සිහින දකියි කණාමැදිරි එලි අතරේ
අරළු ගැටත් පැණි රහකට දැනෙයි වෙහෙස දිවි කතරේ
පරලු පාන් ගැන කවියක් කියාදෙන්න මගෙ මිතුරේ
සළෙලු වුනත් පෙම පුදුමයි යන තරමට උන් අතුරේ
ගෑණු ලෙඩේ හැදුන දාට හදවත කෑගසා
නෑර එකක් ඉමි පෙළකට සියල්ල ඉවසා
රෑක පැන්න හරස් ඉණිත් නිතරම ඉකිගසා
පාට දෙන්නෙ කවුරුද බන් අසයි හිතෙන් මුසා
ලිහෙන ඉරෙන ස‍ළුපිලි වල සුවඳ ටිකක් උරා
ඉරට හඳට කවි කිවුවට ඉන්න හැකිද දරා
අතට පයට වෙහෙස අරන් වැඩපල ටික කොරා
කුසට එකෙක් එන පාරට දැමුවෙමි සිතුවිලි මරා
ගෑණු හිතක් හෙල්ලෙනවා ඇඟිලි ගනියි හැම වාරෙට
පෑයු හඳක් කෝ අහසට කළුවරමයි හතර කොනට
පෑරු හිතක් පාර පාර එපා ඔබත් තළු මරන්ට
වේසකමත් රැකියාවක් කලේ ඔබයි කාසිවලට
#දිනිති 2017/01/30

Saturday, January 21, 2017

පැමිණි දේ පැණි රසයි.



නිතර මල්වල සුවඳ සොරකම්
කරන සුළඟක් වේය මනරම්
බඹර තුඩුවල ඊය හොඳනම්
මලත් සුළඟත් දෙකෙම සැනසුම්

මලින් මලකට ගියත් සමනල්
අතින් අල්ලන් කරයි ඇවටිල්
හිතින් බැදගෙන සුවඳ බඳවල්
උනුන් වැළපෙයි වසා කටවල්


මලට , සුළඟට බඹර, සමනල
ඇතිය එක එක ලෙසට හැඩතල
හිතට හුරුවට කරන වැඩවල
කුමට සොය සොය ඉතින් පසුතල

Wednesday, January 18, 2017

අම්මේ දෙව්ලොව ඔබ සතුටින් ද ?



අම්මේ කියාපන්, දෙව්ලොව ඔබ සතුටින්ද
දන්නා අදුණනා උදවිය ඔහෙ ඉන්නවද
නැන්දා ඇවිත් ගිය සතියේ දන්නවද
කෙල්ලට තවම කරදරදැයි ඇහුවාද

නින්දා වැස්ස දැන් වැඩි වැඩියෙන් එනවා
ඉන්නා තරම් නෑයන් වෙන අත දිවුවා
රවලා බලන ගැහැණුන් ගමෙ හිඟ නැතුවා
අම්මේ යන්න හිටියේ මං, උඹ ඉස්සර වූවා

ගස්සා පස්ස හන්දියෙ මැණිකෙගෙ අක්කා
උස්සා රෙද්ද ආවා තොවිලයෙ බෙර පළුව
මැස්සා වුනත් මොකටද නැති නම් කුණු ගොඩට
කැස්සා මාත් හයියෙන් වේලුන උගුර මැද


අම්මේ මහන්සිය නිමලා මෙහෙ එනවාද
නැත්නම් කාල නියගල අලයක් දුවන්නද
අරලිය මලක් වත් නොපිපෙයි සොහොන උඩ
විකසිත කුසුම පරවුයේ, පියෙකුගෙ ලිංග මැද

Tuesday, January 17, 2017

හදවතක් මගෙත්.



මමත් ඉන්නේ මඩේමයි
පැටවුන්ට දෙන්න බැරි අසූචියි
උඹේ පැටවුන් කිරි උරද්දී
දුකේ බැහැ මහ ඊරියේ

පැදුරෙ උණුහුම හොයා හොයා

තාම පැටියෙක් මගෙ, බත් පිඩක් ඉල්ලයි
අඳුරෙ අතපත ගාන සසරක
දික්ගැසුම් පොලියක්ය කර්මය

පුල්ලි පුල්ලිය රටා හැදිලා

නුඹේ සියොළඟ එලිය වැටිලා
තල්ලු කර කර පේලි හදලා
දිනෙන් දින උඹෙ ළගයි මරණෙට

මමත් මැරෙනවා උඹත් මැරෙනවා

මරන්නට බැරි කෙලෙස් ගිණුමයි
කෑ ගසාගෙන උඹේ පැටියා
උඹව හොයනවා ඊයෙ දැක්කා

ඊරියක් වුන කුසල අකුසල

දනිමි මනසක් උසස් වුන මම
පූරුවේ තව අත්හරින්නට බැරි
ස්නේහෙ දාරක මහමෙරයි බං

උඹේ ඇස අඟ කඳුළු කැළලක්

දිටිමි රැයකදි ලයිට් එලියෙන්
ලොකු කෙලි මගෙ මේ පාර පැන්නේ
දහය වසරට ගෝරි හරියට


"සත්ව ඝාතක, සත්ව ඝාතක "
වචන හරියට දරුණු අවියක්
කුස් පිරෙන්නට ඇස් පියන් මම
අස් කරමි උඹෙ හුස්ම ඩිංගත්

චුන්ද සූකර දරුණු සසරක

පහුණු පෝයට ලොකු සමිදු දෙසුවේ
කරුණ දැන දැන වීසා ගැහුවට
කාසි වෙනසද බඩගින්නකට
ඉතින් ඊරියෙ උදේ හවසට
මගේ හදවත නුඹට කිවුවේ
නැතත් අවසර උඹෙන් කිසිවිට
හෙටම මේසෙක උඹ, පිපෙයි කරියක

තිත්ත බව දැන දැනම කසායක්

බොන්න වෙනවා දිනක ලෙඩකට
ඇත්ත මම ඌරො මරනවා
පණ පිටින් මැරි මැරී හැමදින

Tuesday, January 3, 2017

ජීවිතය සීතලද මේ හැටි

නුවරඑළියේ මල් තරම්
හැඩවුනා නම් අපේ ජීවිත
පතනෙ ඉස්සී පිපෙන්නේ
සුසුම් නොව මුතු පබළු දිස්නෙට

කැරට් යායට ලියදි පිරුණට
කැරට් විසි දෙක නොවෙයි ජීවිත
කරන්ට් නැති වෙච්ච හදවත්
කොයිතරම් හමුවෙයිද මඟතොට

ලීක්ස් ගස්වල සුවඳ බෙද බෙද
ලක්ස් කැටයක් ගනියි දෝතට
බීට් අලවල රතු නෙමෙයි ඒ
යෞවනියො හෙළු කඳුළු පැහැයය

ගෝව ගෙඩි ගෙඩි හෙට්ටු කර කර
තෝර ගත්තට මුදලාලි හයියට
ගෝව කොළ වගෙ ගැලවිලා විසිවෙයි
තෝරා දෙන්නට බැරිම පැතුමන්

වසන්තය මෙහෙ ගතකරන්නට
දසන්තයෙ උන් ඇවිත් යනවිට
අසන්නට හිත නැමෙයි නිරතුරු
"මහත්තයො ජීවිතය සීතලද මේ හැටි "