Tuesday, October 22, 2013

නරකයි නරකයි කියන ෆේස් බුක්


කා අතරත් නරක යැයි සම්මත ව පවතින සමාජ ජාල වෙබ් අඩවි අතරින් වර්තමානයේ දී වඩාත් කතාබහට ලක් වනුයේ ෆේස් බුක් (face book ) නම් සමාජජාල වෙබ් අඩවියයි. මේ පිළිබඳ සාකච්ඡා කිරීම මාගේ අරමුණ බව ආරම්භයේ දී ම පවසනු කැමැත්තෙමි. එසේ වුව ද ඊට පෙර අන්තර්ජාලය සහ සමාජ ජාල යන්න පිළිබඳ ව කෙටි විග්‍රහයක් සිදු කරගැනීමට මම අදහස් කරමි.
ලෝකය වර්තමානයේ දී විශ්ව ගම්මානයකි. එය ඇත්තය. අප විසින් අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. වර්තමානයේ ලංකාවේ පිටිසරබද ගම්මානයක සිට අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට මුහුණට මුහුණලා කතා කිරීමට තරම් දියුණු සන්නිවේදනයක් මානව සංහතිය වෙත පවතී. අතීතයේ දී හූ හඬකින් නොඑසේ නම් ඝණ්ඨා නාදයකින් පිරිසක් එකතු කිරීමට උත්සාහ කළ යුතු වුව ද වර්තමානය වන විට එක් වචනයක් සමාජ ජාල වෙබ් අඩවියක පළ කිරීමෙන් එය ම සිදු කරගැනීමට පුළුවන. එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට කිසියම් වූ තොරතුරක් සන්නිවේදනය සඳහා යොදාගන්නා ඉහළ ම ක්‍රමවේදය අන්තර්ජාලය බව අවිවාදිත ය.

අන්තර්ජාලය යැයි කිවූ සැනින් වර්තමාන ලාංකික - විශේෂයෙන් වැඩිහිටි - බොහෝ පිරිසකගේ ඇග කිළිපොළන සුළු "අපොයි හරි ම නරක තැනක් "යැයි කියැවෙන සුළු තත්ත්වයක් පවතින බව පෙනී යයි. මෙසේ අන්තර්ජාලයට ඔවුන් බිය වන්නේ කුමක් නිසා ද? ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර අන්තර්ජාලය යන්නෙහි තාක්ෂණික පසුබිම මෙසේ විග්‍රහ කළ හැකි ය. අනෝන්‍යය වශයෙන් එකිනෙකට සම්බන්ධ වූ පරිගණක එකතුවකට අන්තර්ජාලය යැයි විවහාර කරනු ලැබේ. එය ලෝකය පුරා විහිදුණු විශ්ව ව්්‍යාප්ත වියමනක් වන අතර ඉන් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත් ය. එසේ වුව ද වඳුරකු අතපත් දැළිපිහියක් මෙන් අන්තර්ජාලය පරිහරණය කිරීමේ දී ඒ ඒ පුද්ගලයන්ට විවිධාකාර වූ අවශ්‍යතා මතු වී ඇති සෙයක් පෙනේ. ඒ හේතුව නිසා ම පෙර කී පරිදි, බොහෝ දෙනෙකුට තවමත් "අනේ අපොයි" කියවෙන නරක තැනක් බවට පත් වී ඇති බව පැහැදිලි ය.

ඕනෑ ම දෙයක හොඳ හෝ නරක රඳා පවතිනුයේ එය භාවිත වන ක්‍රමය අනුව බව සත්‍යයකි. අන්තර්ජාලය තුළ ද විවිධ වෙබ්පිටු පවතී. ඉනුත් වර්තමානයේ දී බොහෝ දෙනාගේ අවධානයක් යොමු වී ඇත්තේ සමාජජාල වෙබ් අඩවි වෙතට ය. සමාජ ජාල වෙබ් අඩවියක් යනු අන්තර්ජාල සමාජයක් තුළ ගැවසෙන නොයෙක් මිනිසුන්ගේ අදහස් සහ මතිමතාන්තර එක ම තැනක දී ගැටෙන, විමසෙන ස්ථානයකි. එහි දී විවිධ මිනිසුන් හඳුනාගැනීමට අපට අවස්ථාව ලැබේ. විවිධ අදහස් හුවමාරුකිරීමට අවස්ථාව ලැබේ. අප අවට සාමාන්‍ය සමාජය මෙන් ම මෙම සමාජය ද විෂම ය. විවිධාකාර ය. වෙනසකට ඇත්තේ පුද්ගල සිරුරු අභිමුඛයේ මෙම අදහස් හුවමාරු සිදු නොවීමත් ඒ සියල්ල ඩිජිටල් තිරයකින් වැසී පැවතීමත් පමණි.
සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ අවධානය යොමු කිරීමේ දී 


Face book" Twitter, Google plus, LinkedIn  වැනි වෙබ් අඩවි අනෙකුත් සමාජජාල වෙබ් අඩවි අතරින් ප්‍රමුඛ ස්ථාන ගනී.

මෙකී ප්‍රවේශයෙන් පසු ප්‍රස්තුතය වෙත අවධානය යොමු කිරීම උචිත බව හඟිමි. එනම් සෑම කෙනාට ම නරක වූ ෆෙස්බුක් තුළ වුව ද බොහෝ දෙනා නොදන්නා නමුත් යහපත් භාවිතයන් ද පැවතීම පිළිබඳ විග්‍රහයයි. 2004 පෙබරවාරි මස දිනෙක මාර්ක් සකබර්ග්

(Mark Zuckerberg ) නම් පුද්ගලයාගේ ප්‍රධානත්වයෙන් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය අමෙරිකාවේ හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමා කරමින් ආරම්භ විය. නමුත් අද වන විට ලොව පුරා මිලියන 845ක පමණ වන පරිශීලක සංඛ්‍යාවකගෙන් සමන්විත මෙම සමාජජාල වෙබ් අඩවිය ශී්‍ර ලාංකිකයින් අතර ද ප්‍රසිද්ධ වචනයකි. ඕනෑ ම අවශ්‍යතාවක් සඳහා අතීතයේ දුරකථන අංක හෝ ලිපිනය ඇසූ ලාංකිකයා අද විමසන්නේ "ඔයා ෆේස්බුක් එකේ ඉන්නවා ද" යනුවෙනි. එතරම් දුරට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය අද ලාංකික සමාජය තුළ ව්‍යාප්ත ව පවතී.
මෙවැනි ජනප්‍රිය ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය පිළිබඳ මාධ්‍ය තුළින් අප දකින්නේ අසන්නේ ඒ තුළ සිදුවන අවභාවිතයන් පමණි. සුභාවිතයක් පිළිබඳ ප්‍රචාරයක් නැති තරම් ය. නමුත් ෆේස්බුක් සමාජජාලය තුළ විවිධ සමූහයන් (Group) නිර්මාණය කරමින් සමාජීය මෙහෙවරයන්හි නිරත වන පුද්ගලයන් බොහෝ ය.
එයින් මුල්තැනක් ගන්නේ පරිගණක සම්බන්ධ ව පැන නගින ඕනෑ ම ගැටලුවකට එසැණින් පිළිතුරු ලැඛෙන "පරිගණක උදව්" සමූහයයි. (
https://www.facebook.com/groups/ pariganakaudau/&   )  පරිගණකයක පවතින ඉතා කුඩා දෝෂයක සිට සංකීර්ණ දෝෂයක් දක්වා විවිධ ගැටළුවලට පිළිතුරු කිසිදු අයකිරීමකින් තොර ව ම මෙම සමූහයෙහි සිටින්නන් විසින් අනෙක් අය සමග හුවමාරු කරගැනීම දක්නට ලැබේ. 2011 මාර්තු 15 වන දින මෙම සමූහයේ ආරම්භය සිදු වූ අතර මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් සමග විවිධ පරිගණක ගැටළු සම්බන්ධ සංවාදයන් සිදු කෙරෙන පරිගණක තක්සලාවක් බවට පත් ව තිබීම පැසසුම් සහගත ය. සියල්ලට ම වාණිජමය වටිනාකමක් එක් කරන වටපිටාවක තම පෞද්ගලික කාර්යයන් සිදු කරන අතර අනෙක් අයට උපකාර කරන මෙම සමූහය පිළිබඳ මෙම ලිපියේ සඳහන් නොකිරීම යුතු නොවේ. මෙම සමූහය 2012 වසරේ දී බලංගොඩ මැදගංඔය ඉතා දුෂ්කර පාසැලකට පරිගණක විද්‍යාගාරයක් තනා දෙන්නට තරම් ශක්තිමත් සමූහයක් බව සටහන් කළ යුත්තේ සමාජජාල වෙබ් අඩවි අවභාවිතයන් ගැන පමණක් පවසන අයගේ දැනගැනීමට ය. එසේ ම එම පරිගණක විද්‍යාගාරය තනා දීමෙන් ප්‍රබෝධමත් වූ මෙම සමූහයේ සාමාජිකයින් ඉදිරියේ දී තාක්ෂණික රැකියා බැංකුවක් පිහිටුවීමත් අන්තර්ජාලයෙන් මුදල් ගෙවීම මගින් පරිගණක උපාංග විශ්වාසනීය ව මිළයට ගැනීමට අවකාශ සැලසීමත් අවසාන වශයෙන් ලංකාවට පමණක් අදාළ සමාජජාල වෙබ් අඩවියක් දක්වා ගමන් කිරීමටත් කටයුතු කරමින් පවතින බව අපේක්ෂා සහගත ව පැවසිය යුත්තකි.

පුරාතනයේ දී ගැමියා තම පාලුව, කාන්සිය මග හරවා ගැනීමට නිර්මාණය කළ පැල්කවි, ගොයම් කවි, පාරු කවි ඇසුරින් ගැමි සාහිත්‍යයක් නිර්මාණය වූ ආකාරයට ම නව තාක්ෂණික යුගයේ ෆෙස්බුක් හෙවත් මුහුණු පොත  මාධ්‍ය කොට ගනිමින් තම හුදෙකලා සිතිවිලි කවි බවට පෙරළමින් හා ඒවා රසවිඳීම් සිදු කරන පසුබිමක් අද්යකතනයේ අද්‍යතනයේ දී ගොඩනැගි ඇත. එවැනි කවි රසවිඳින්නන්ගෙන් සමන්විත ෆේස්බුක් කවි සමූහයන් ද විශාල සංඛ්‍යාවක් විසිර පැතිර පවතී.
      යුරෝපයේ ජීවත් වෙමින් ෆේස්බුක් හරහා ශ්‍රීලාංකික කවි කිවිඳියන්ගේ කවි නිර්මාණ රස විඳිමින් ද කවි පබඳිමින් ද සැරිසරන කවි රසිකයෙකු මෙම සෑම සමූහයකට ම පිවිස කවි කිවිඳියන්ගේ නිර්මාණ අධ්‍යනය කරමින් ඔවුන් සමග සුහද වෙමින් අපූරු අදහසක් සිතේ ඇති කරගත්තේ ය. සිංහල සඳැස් කාව්‍යය සඳහා ම පමණක් වෙන් වූ කවි සමූහයක් ෆේස්බුක්හි ඔහුගේ නෙත නොගැටුණ ද සඳැස් කවිය පිළිබඳ නිසි ප්‍රතිභාවක් ඇති බොහෝ කවි කිවිඳයන් පිරිසක් ෆේස්බුක්හි ඔහුට හමු විය. මේ සියලු දෙනා ම එක් කරමින් ඔවුන්ට සඳැස් කවිය ගැන සහ සඳැස් කවියේ වපසරිය ගැන සංවාද කිරීම තුළින් ඔවුන්ගේ කුසලතාවන් නංවාලීමට අතදීම මූලික අරමුණු කරගනිමින් 2011 සැප්තැම්බර් මස 23 වැනි දින සඳැස නමින් කවි සමූහයක් නිර්මාණය කළේ ය. https://www.facebook.com/groups/331992303541896/)   මෙය ෆේස්බුක් සැරිසරන කවි කිවිඳියන්ට අපූරු අත්දැකීමක් වූ අතර සඳැස කවි පිටුව සඳැස් කවි සඳහා පමණක් ම වෙන් විය. සඳැස් නිසඳැස් කවියෙහි විෂමතා විමසමින් මුල් අවස්ථාවේ දී ඒ පිළිබඳ දැනුම හුවමාරු කරගනිමින් සංවාද ඇතිකළ මෙම සමූහයේ සාමාජිකයන් විසින් කවිපති සේන අම්බලංගොඩයන් සමග එක් වී සරසවි මඳහස කාව්‍යමය පුවත්පත ද පවුරු ජාත්‍යන්තර ගුවන්විදුලිය සමගින් සඳැස් මිණිආර කාව්‍ය විචාර වැඩසටහන ද වැනි නැවුම් වැඩසටහන් දියත් කරන ලදී. එමෙන් ම 2012 වසරේ දී සමස්ත ලංකා කවි සංගමය සමග එකතු වී නවක කවි කිවිඳියන් දිරිමත් කිරීමේ අරමුණින් සමිමාන උත්සවයක් ද පැවත්වී ය. මේ වසරේ ද සඳැස් කවි කිවිඳයන් එක් කරගනිමින් කාව්‍ය ග්‍රන්ථයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කරමින් පවතියි.

කවියෙහි උන්නතිය තකා කි්‍රයාත්මක වන තවත් සමූහයක් නම් මහ කොළඹ කවි පිටුවයි. 2011 නොවැම්බර් මාසයේ දී ආරම්භ වූ මෙම සමූහයේ අරමුණ වූ කලී ආධුනික කවියන්ට ප්‍රවීණයන්ගේ සෙවණේ කවි ලියන්නට හුරු කිරීමත් සඳැස් - නිසඳැස් යන දෙආරෙන් ම කවි ලියන කවියන් එක්කොට සිංහල කවියේ ප්‍රගමනය සඳහා අඩිතාලමක් දැමීමත් ය. ආධුනික කවියන් මෙම සමූහයේ මෙහෙයැවීමෙන් කවියෙහි බුහුටිකම් දක්වන්නේ ෆේස්බුක් සමාජජාලයෙහි ඇති සුභාවිතයන් මොනවට පැහැදිලි කරමිනි.
ඉනුදු ඔබ්බට ගිය 2011 මැයි මාසයේ දී ආරම්භ වූ රූ සහෘද සංසදය වූ කලී ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියෙහි ඩිජිටල් තිරයෙන් පිටතට ව්‍යාප්ත වී සමාජ උන්නතිය වෙනුවෙන් කැප වූ සහෘදයන්ගේ එකතුවකි. ඛෙල්ලන්විල මෙත් සෙවණෙහි දරුවන් උදෙසා ප්‍රජා සත්කාර වැඩසටහනක් ද සමූහය තුළ ලිවීමෙහි සමත්කම් ඇති පිරිස් දිරිමත් කරමින් ඔවුන්ගෙන් සිය දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් මුතු අහුර කාව්‍යය  ග්‍රන්ථය එළිදැක්වීම ද මහරගම පිළිකා රෝහලේ වාට්ටු තුනක තීන්ත ගා පිළිසකර කිරීම ද ලේ දන් දීමේ වැඩසටහන් ද මහතෝරව පාසලේ දරුදැරියන් වෙනුවෙන් පොත් පත් - කෑමබීම  හා ආදරයත් රැගෙන නෑගම් යාම‘ වැඩසටහනක්ද මෙම සමූහයෙන් සිදු කළ අතිවිශාල සමාජ මෙහෙවරයන් අතරින් කිහිපයකි. සාමාන්‍යය සමාජයේ අඩුවෙන් කතාබහට ලක්වන මෙවැනි වැඩසටහන් දෙස් විදෙස් සාමාජිකයන් එක් කරගනිමින් තව දුරටත් ඉදිරියේ දී සිදුවනු නොඅනුමාන ය.

එසේ ම ෆේස්බුක් සමාජජාලයෙහි ඇති —වයි˜ නමැති කණ්ඩායම (https://www.facebook.com/groups/why.socialnetwork/) - රණවිරු උත්තමපූජා නමින් ආබාධිත රණවිරුවන්ට අවශ්‍යය උපකරණ ලබා දීමේ වැඩසටහනනක් දියත් කරන ලද්දේ 2012 වසරේ ඔක්තෝම්බර් මස 29 වන දිනය. කිසි ම විටෙක ප්‍රති උකාරයක් බලාපොරොත්තු නොවෙමින් ම විවිධ වයස් කාණ්ඩවලට අයත් පිරිසකගේ එකතුවෙන් සවිමත් වී පිදිය යුත්තන් පිදීම සැබැවින් ම සාකච්ඡාවට බඳුන් විය යුතු සමාජ සත්කාර්යයන් නොවේ ද?
මීට අමතර ව "අපි"යනුවෙන් ඇති සමූහය ද පසුගිය දිනවල විවිධ සමාජ සත්කාර්යයන් දියත් කළ සමාජ සමූහයකි. (https://www.facebook.com/groups/we.unity/?fref=ts එම සමූහය විසින් සිංහල අවුරුද්දට තෑගි බෝග ගෙන දෙහිවල වැඩිහිටි නිවාසයකට  නෑගම් යෑම මෙන් ම එවැනි ම තවත් නිර්මාණශීලි සමාජ සත්කාර්යයන් රැසක් ඉටු කර ඇත.

වර්තමාන ගෘහණිය ආහාර පිසින්නට නොදන්නා වෙළඳපොලේ ඇති දෑට මුදල් වියපැහැදම් කරන බව පවසමින් දෙස් නගන වැඩිහිටි පරම්පරාවට පිළිතුරු දෙන්නට මෙන් ෆේස්බුක්හි "රස සරණිය" බොහෝ තරුණියන්ට මහගෙදර කුස්සිය වූ බව නොකිව මනා ය. (https://www.facebook.com/groups/rasasaraniya/)එය ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොර ව ම තමන් පිසින කෑම බීම පමණක් නොව එවේලෙහි ම පැන නගින ගැටළුවලට එසැණින් පිළිතුරු ලැඛෙන සමූහයකි. දෙස් විදෙස් කෑම බීම පිළිබඳ දැනුම හුවමාරු වන මෙම සමූහය අලුත් අත්දැකීම්වලින් සපිරි රසවත් මුළුතැන්ගෙයක් බඳු ය.
සයිබර් අවකාශයේ බුදුදහම ගැන වැරදි ප්‍රචාරයන් සිදුවනවා සේ ම ඒ කිසිවකට මැදිහත් නොවී තමන් දන්නා බුදු දහම අන්‍යයන් හා ඛෙදා හදාගනිමින් නිහඬ සේවයක් සිදු කරන ගරුතර ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකි. පටු ආගමික දෘෂ්ඨීන්ට හසු ව වල්මත් වී සැරිසැරුවත් යහපත් සමාජ කර්ත්‍යයන් සිදු වන බව ද මෙනයින් පැවසීම සාවද්්‍යය නොවේ. ලොව ප්‍රථම ෆේස්බුක් බෞද්ධ ගුවන්විදුලිය වූ "දහම් ගගන " රේඩියෝව ගරුතර ස්වාමීන්වහන්සේ නමකගේ මූලිකත්වයෙන් ආරම්භ වීම මීට කදිම නිදසුනකි. එය දැනටත් විකාශය වන අන්තර්ජාල රේඩියෝවකි. (http://dahamgagana.com/ 

  සිංහල භාෂාව යනු මඳක් සංකීර්ණ අක්ෂර වින්‍යාසයක් ඇති භාෂාවකි. ලේඛනයේ දී නිවැරදි ලෙස අකුරු භාවිත කිරීම අක්ෂර වින්‍යාසයයි. මෙහි දී ප්‍රධානතම සංකීර්ණ භාවිතය වන්නේ න, ණ, ල, ළ අක්ෂර නිවැරදි ව භාවිත කිරීමයි. මෙම අකුරු වැරදියට භාවිත කිරීමෙන් වචනයක සමස්ත අර්ථය ම වෙනස් විය හැකි ය. එබැවින් සිංහල ලේඛනයේ දී මේ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.
වර්තමානයේ බොහෝ දෙනෙකු විසින් සිංහල බස සදොස් භාවිතයක යොදනු දක්නට ලැබේ. ෆේස්බුක්හි දැන් ගොඩනැගී ඇති සයිබර් සාහිත්‍යයේ සිංහල ලිවීම ඉතා බහුල ව යෙදෙන බැවින් —බස නොමරා බස යොදන හැටි උගනිමු˜ යන මැයෙන් ආරම්භ වූ සමූහයකි —සිංහල වියරණ සහ පදරුත් ˜ (https://www.facebook.com/groups/SinhalaBasha/?fref=ts ) නම් සමූහය. පරිණත පිරිස් කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවෙමින් වුව ද මෙම සමූහය තුළ තම දැනුම ඛෙදාහැරීම මෙහි ලා විශේෂයෙන් ම සඳහන් කළ යුත්තකි.

අද බිහිවන දරුවා තමා අවට පරිසරය පිළිබඳ ඉතා අල්ප අවධානයක් යොමු කිරීම තත්කාලීන යාන්ති්‍රක ජීවිතවල ඇති අභාග්‍යය සම්පන්න භාවයේ ප්‍රතිඵලයකි. මේ තත්ත්වයට පිළියමක් ලෙස ආරම්භ වූ         "සාමාන්‍යය දැනීම සහ බුද්ධි පරීක්ෂණය " නම් සමූහය කිසිදු නොගැළපෙන දෙයක් පළ නොකරන්නා වූ ද බොහෝ දෙනාට තමන් නොදන්නා බොහෝ දෑ පිළිබඳ දැනුම ලබාගැනීමට තෝතැන්නක් සේ කි්‍රයාත්මක වන ෆේස්බුක් සමූහයකි.
ෆේස්බුක් රැකියා බැංකු නමින් ආරම්භ වී ඇති සමූහයන් බොහෝ සංඛ්‍යාවකි. විවිධ පුද්ගලයින්ගේ සම්බන්ධතා භාවිත කරමින් රැකියා අවස්ථා පිළිබඳ කදිම වේදිකාවක් මෙමගින් නිර්මාණය වී ඇත. එහි දෙස් විදෙස් රැකියා පිළිබඳ තොරතුරු සහ රැකියා අවශ්‍ය අයගේ විස්තර පවතින අතර මෙසේ නව රැකියා අවස්ථා ලබාගත් අය ලියුම්කරුට ෆේස්බුක්හි මුණගැසී ඇත. මෙයට අමතරව ලංකාවෙහි ඈත දුෂ්කර ගම්මානවල දුවා දරුවන්ට පාසැල් වලට පොත් පත්  ඇදුම් පැළදුම් පුස්තකාල තනා දීම් ආදී නොයෙකුත් දේද සිදුවී සහ සිදුවෙන බවද නොරහසකි.

 ඉහත සියල්ල ම නරක යැයි සම්මත ෆේස්බුක්හි ශි්‍ර ලාංකික අපට එකිනෙකා හා සුහදත්වයෙන් නිර්මිත සමූහයන් කිහිපයකි. මීට අමතර විදේශයන්හි කි්‍රයාත්මක සමූහයන් ද බොහෝ සංඛ්‍යාවක් පවතී. එසේ ම පෞද්ගලික ව තම ෆේස්බුක් ගිණුමෙහි සමාජයට ඉතා යහපත් දෑ පමණක් ඛෙදා හරින පුද්ගලයින් පිළිබඳ ව ද ලියුම්කරුට අත්දැකීම් පවතී.
 දැන් තවත් ප්‍රශ්නයක් මතු වනු ඇත. මෙම සමූහයන්ට කිසිදු ආරක්ෂණ වැඩපිළිවෙලක් නොමැති සමාජසේවා වැඩපිළිවෙළ බව යමෙකුට හැගෙනු ඇත. නමුත් තාක්ෂණික වශයෙන් එකී සියලු ආරක්ෂණ කි්‍රයාමාර්ග මෙම සියල්ලක් සමගම භාවිත කළ හැකි ය. තෝරාගැනීම් කිහිපයක් තුළින් තමාට රිසි ආරක්ෂණ කි්‍රයාමාර්ගයක් ගැනීමට හැකියාව පවතී. එසේ ම අන් අය පිවිසීම සීමා කිරීම ද ඉනුදු ඔබ්බට යමින් වෙනත් අයෙක් තමන්ගේ පෞද්ගලික ගිණුමකට ඇතුළුවීමට තැත් දරන අවස්ථාවක දී අයි පී අංකය (
Internet Protocol ) විද්යු ත් තැපෑලෙන් එවීමේ තාක්ෂණයක් ද පවතී.. එබැවින් කිසිදු ආරක්ෂණ වැඩපිළිවෙලක් නැතැයි පැවසීම සත්‍යය නොවන බවත් පවතින ආරක්ෂණ කි්‍රයාමාර්ගයන් නිසි පරිදි භාවිත නොකිරීම පමණක් සත්‍යය බවත් පැහැදිලිය.
 තරගකාරී ලෝකයත් සමග දියුණු සන්නිවේදන ක්‍රම හා ලෝකය සමග ගනුදෙනු කළ යුතු වේ. එහි දී හුදෙකලා ව සිටීම යනු සිතිවිලි මාත්‍රයක් පමණි. එය භාවිත කරන පිළිවෙල නිසි පරිදි දැනගත යුතු ය. සියල්ල නරක යැයි සිතමින් බැහැර කිරීම ද කළ නොහැක්කකි. ඕනෑ ම දෙයක් නිසි ආකාරයෙන් භාවිත කරන විට ඕනෑ ම අයෙකුට වැරදීම් අවම වීමත් අන්යැයන්ගේ නිර්දය විවේචනයන් අවම වීමත් වැළැක්වීම අසීරු ය.

සටහන - දිනිති දීපිකා  2013/10/22 රිවිර

http://www.rivira.lk/epaper/daily/tue/2013/10/22/index.html#20/z 

( ඉතින් මේ වගේ පළමුවෙනි පත්තර ලිපිය. නොයෙක් අඩුපාඩුකම් ඇති. )



Sunday, October 20, 2013

ආදරේ රකින්නන් තව ඉන්නවා.

පෙම්වත,
ඔබයි සිදුහත් කුලේ කුමරුන්
දුර දුර ගව් ගණන් ඈත සිට
ආදරේ වඩින තුරු
සත් මුහුදු තොට ළඟ
ඇසි පිය සල සලා මඟ බලන,

පිය සක්විති රජානෝ
උණුනොවන හදක් ඇති
මව් බිසෝ බරණැසින්
පෙළවහක් සොයන්නිය
හිටිවනම නොසෙල්වෙන හද ඇතිව
නුඹයි දින ගැන ගැන මඟ බලන්නා,

පිටස්තර දේස දීපංකරේ
පැලැස්තර ගසන්නට ගිය මා
වනන්තරෙ මෘග යකුන් අතරේ
රන් කාසි අහුලන්න ගත්තියයි
නොවෙනස්ව එක හිතින් ආදරේ පුදා 
මඟ බලන කුමරුන් ඔබය තාමත්.

කිරිල්ලියො කූඩු අතහැර පියාඹන විට
සුළි සුලං දරන්නට බැරි කුණාටුත් එයි
තදින් බඳ අල්ල ගෙන පෝසත් හිතින්
ඉවසමින්,පාරමී පුරන්නට පුරුදු කළ
ආදරේ ඇදුරා ඔබයි මඟ බලා ඉන්නා.

රංචු ගැසෙමින් සමනල්ලු
සිරිපාදේ වඳින්නට යනවිටදි
නඩේ කාගෙත් සිනහ උහුලන්
මහ ගිරත් තනිවම සීතලෙන්
කරුණා කරනු හැකි කිය කියා
සමනල කන්ද මුදනේ පඩුරක් බැන්ද
ආදරේ දෙවියන් ඔබම විය මා පතන.

හත්දින්න තරු එකින් එක ගැන
සිකුරු තරුවත් නෙලාගෙන
ආපහු ඉගිල්ලෙන තුරු මෙමං
කාමරේ සයනයේ වම් පසින්
ඉඩ තියන් සිටියි ඔබ තවම නොනිදාම.

____________________________
හිතුවක්කාර කොලු හිත් නොසංඩාලයි කිවුවාට
ආදරේ රකින බෝසත් රජවරුන් සිටියි මිහිබට.

Thursday, October 3, 2013

ප්‍රේමයේ මුදු සබඳකම් ගෙන ගියේ ඇයි කිසිකෙනෙක් නොදැනම

මැඳුරු මන්දිර අතර තෙරපෙන බේබිලා සුර ලොවට ඉඟිලෙන
පැදුරු පත්තර උඩත් නිදියන දනන් ඇත මහපොළවෙ හැංගුණ
දුකද සතුටද කියන්නට බැරි හේතුවක් හදවතේ ගුලිවෙන
පඳුරු කැලිඩෝ අතරෙ හැංගෙන තරුණකම කඳුළැල්ද වැගිරෙන...

කාම රංගන විසල් සුවිසල් දෙනෙන් අතරින් එබී බැබළෙන
තාම හිරිගති නොගිය මල්වල රේණු ටික ටික හෙමින් පොඩිවෙන
පාර මැද්දෙන් ගලා යන කළු ඟං දියත් ඇස් ඉතින් හංඟන
සාර විටයක් වගේ හපවෙන යෞවනය දුක්බරද එපමණ...

ස්වේත වර්ණය අරන් සිහිනෙන් වඩින් නැහැ ඇත් පැටවු මැදියම
ප්‍රේත වනයක් වගේ පෙම් ලොව දුර්ගදත් හමනවා තුන්යම
සේද සළු සුව යහන් නැතිමුත් ලේ කැටිත් දියවෙලා රහසෙම
ප්‍රේමයේ මුදු සබඳකම් ගෙන ගියේ ඇයි කිසිකෙනෙක් නොදැනම.....

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...