Showing posts with label කවි පන්ති. Show all posts
Showing posts with label කවි පන්ති. Show all posts

Friday, October 13, 2017

ඇරඹුම - අවසන



අතපය කකුල් එක විලසට කෙඳිරිල්ල ඇසේ
අසරණ සිතින් නෙත් යුග අද නැටුමකම විසේ
යන එන සුළං ඇයි මොකදැයි දැන් රංචු ගැසේ
පද ලිය ලියා ගිය ලියකගෙ හද දොරටු වැසේ


සඳරැස් බොන්න ආ තරුවැල් මුකුළු කතා
ආගිය කතා කී තුරුලිය නින්ද පතා
කවුළුව අසල තනිකම කෙහෙරැළිත් ගොතා
තරඟෙට තනයි යුවතිය හිනැහේය සිතා


ගිලිහුණ පසුව වැහි බිංදුව සෙනෙහසක් සොයා
වැරදුණ තැනක් ගැන නොබලයි යළි දෙනෙත් අයා
පැරදුන පසුව හදබිත නොපතයි කිසිම දයා
ඇරඹුණ තැනම ඇත මලකට අවසනත් ලියා





#දිනිති 2017/ 10/ 13

Tuesday, June 13, 2017

සොඳුරුම කවිය ඔබ මට


සංකා කඳුළු වැහි වාසුලි එකට එතී
සැන්දෑ අහස ඇයි විරසක බවට ගැතී
සිඳ දා නපුරු දැඩි තේජස් අඳුරු පැතී
සඟවා ගන්න නල රැල් ඔබ නමට බැතී

සේදී වලාකුළු සායම් ඉවර වෙතී
පේවී නුඹට මිහිකත නිති ඉඩක් දෙතී
පෑදී සසල හද බිත, මහනෙලක ගතී
පීදී එන්න සිසි ඔබමයි හදට නිතී

තැන තැන රැදෙන සිතිවිලි එක පිඬක් කොට
ඔබමොබ යනෙන නෙතුපිය රැකවරණ පිට
ඉඟිබිඟි පාන දම් පැහැ නුබ කුසක් යට
පුරහඳ වෙන්න ඔබ සොඳුරුම කවිය මට



Monday, March 27, 2017

සඳවතිය ඉඟිලිලා



පුවත -
තම සැමියාද හෘද රෝගියෙක් නිසා විදේශගත වුනු බිරිඳක් විදේශයේදි මිය ගිය පුවතක්. ඒ ගැන අසා මට දැනුණු සිතුවිල්ලක්.
____________________________________

පුංචි තරු කැට බිමට ඇවිදින් කතා කරලා
අතින් අල්ලන් පැතුම් දෙන්නැති හිත පුරෝලා
පාඩුවෙම ඇස් පියාගෙන දිනුදු රහසින් වැලපිලා
යන්න දෙන්නැති සඳවතිය හට දුරු රටට ඉඟිළිලා


පිච්ච සේපාලිකා සුවඳක් හදවතේ මැද සඟවලා
සද්ද නැතිවම බලා ඉන්නැති පිනි බිංදු ඇස් පියවලා
තුනීයට එන සීත සුළඟට රහස් කිසිවක් පවසලා
ඇතින්නිය දුර ඇදෙන්නැති සිහින විමනක් අන්දලා

සෘතු මාරුවක් නැති දිවි ගමන ගිම්හනෙන් හෙම්බත්වෙලා
බලා ඉද්දිම ලපටි පැළ බිමට නැමුණේ හිස කැරකිලා
පලා හද ගැබ බලා යන්නට කවුරුවත් නැත පේවිලා
උරහිසේ බර දරන් සඳ ඒ නිසයි ගියෙ දුක් ඉවසලා


සිඟිති කුසපොතු පිටට අැලවී කැටයමක හැඬ මතුවෙලා
දකින නෙතු යට කඳුළු එන්නැති හිතක දුක්ගිනි ඇවිලිලා
දුගති ජීවිතෙ තිත තබන්නට තිබූ පාදය ගොස් ලිස්සලා
හඩති වැළපෙති කුමුදු මල් අද සඳ දියම නිති ඉල්ලලා






#දිනිති #පරණකවි 2014

Monday, January 30, 2017

නොරිදන්න තව

නිමිත්ත - වේසියක් ලෙස සමාජය විසින් හංවඩු ගැසූ , අහම්බයකින් හෝ කුසට එන කළල විනාශ කරමින්, සමාජයෙන් තල්ලු කළ තැන සිට ජීවිතය මැතිරූ කතක්
=============================================
අමාවකට කෙඳිරිලි හඬ මල් මතින් ඇසේ
පලා යන්න බැරි දේවල් කරණමක් ගැසේ
හදාගත්ත හිත වැටේ, දුක මතුවෙයි හිසේ
බදාගන්න ඉඩ දුන්නේ, ගිනි ගනියි කුසේ
කුරුළු පැටවු සිහින දකියි කණාමැදිරි එලි අතරේ
අරළු ගැටත් පැණි රහකට දැනෙයි වෙහෙස දිවි කතරේ
පරලු පාන් ගැන කවියක් කියාදෙන්න මගෙ මිතුරේ
සළෙලු වුනත් පෙම පුදුමයි යන තරමට උන් අතුරේ
ගෑණු ලෙඩේ හැදුන දාට හදවත කෑගසා
නෑර එකක් ඉමි පෙළකට සියල්ල ඉවසා
රෑක පැන්න හරස් ඉණිත් නිතරම ඉකිගසා
පාට දෙන්නෙ කවුරුද බන් අසයි හිතෙන් මුසා
ලිහෙන ඉරෙන ස‍ළුපිලි වල සුවඳ ටිකක් උරා
ඉරට හඳට කවි කිවුවට ඉන්න හැකිද දරා
අතට පයට වෙහෙස අරන් වැඩපල ටික කොරා
කුසට එකෙක් එන පාරට දැමුවෙමි සිතුවිලි මරා
ගෑණු හිතක් හෙල්ලෙනවා ඇඟිලි ගනියි හැම වාරෙට
පෑයු හඳක් කෝ අහසට කළුවරමයි හතර කොනට
පෑරු හිතක් පාර පාර එපා ඔබත් තළු මරන්ට
වේසකමත් රැකියාවක් කලේ ඔබයි කාසිවලට
#දිනිති 2017/01/30

Friday, December 16, 2016

දුකට කියන කවි

නාහෙන් ගලන සොටු දිය නැත වෙන්නේ ඉවර
මාසෙන් වැඩි හරිය රිදෙනව නිතරම උගුර
තාමත් උරුම වින්ටර් ස(ම්)මර් දෙක විතර
මාගෙත් පැතුම් ඇත ඉන්නට මව්බිමෙ නිතර
කෑවත් බඩට දැනුනද නැහැ දැනෙන්නේ
ගෑරුපු ,පිහිය විතරයි රඟ දෙවන්නේ
නෑවත් නොනෑවාමයි හිත කියන්නේ
ආයෙත් කවද මගෙ උන් හා හිදින්නේ
යන එන ගමන් සැප පහසුව ලැබෙන්නේ
ගල් වැලි බොරළු නැහැ දෙපයට ගැටෙන්නේ
ළඟ උන් මළත් නැහැ අනෙකට පෙනෙන්නේ
මේවන් දුකක් හතුරෙක්ටද නොවන්නේ
ඉපදුණ රටත් මඟහළ බව දැනෙන්නේ
ගහකොළ සුවඳ නහයයි ඉව කරන්නේ
ඇළ දොළ මතක් වී හද ඉකි බිඳින්නේ
මට මගෙ එකෙක් ළඟ නැති දුක තියෙන්නේ

2016//12//14 

Tuesday, September 6, 2016

හෙටයි හොඳ කුසුම්

කළුවෙච්ච අත් දෙකට කරගැටත් රවනවා
ගැලවිච්ච තැන් වලින් බඩ වියත පිරෙනවා
ඇඹරිච්ච නණ එක්ක අතැගිලිත් රිදෙනවා
තැම්බිච්ච අව්වටත් දැන් වෙහෙස දැනෙනවා

බාටා කඩයක් ළඟ පියැස්සක ඉඩෙ නැවතිලා
බාධා වෙන්නට එපා,යන හඬ එයි කැරකිලා
කාට කාටත් බයාදුවෙ සිනහවක් දල්වලා
පාට පාටින් සපත්තුත්, කුඩ හදමි පේවිලා

හයි හීල්ස් දාපු කණ්ණඩිය කළුම කළු නෝනගේ
දෙයියොවත් දන්නෙ නැහැ කොච්චි පරදින සැර ඇගේ
හයිය හත්තිය තියෙන ලොකු උන්ගෙ පුරාජේරුව තොගේ
ඉරුණු ගැලවුන තැන් මැහැහුවත් බැහැ උන් හරි රගේ

ලයිට් බිල් වතුර බිල් අතර, කෙල්ල ගවුමක් ඉල්ලලා
ෆයිට් කර කර ඇඟිලි තුඩු යයි ඉතා වේගෙන් වෙව්ලලා
රයිට් කියමින් දිවුවා මතකයි ජීවිතේ දුර හති හළ හළා
බයිට් ඩිංගක රහ බලන්නත් බැරි තරම් හිත බරවෙලා

ලෝක ධර්මය වගේ පාටින් තියෙන කුඩයක් ඉහළලා
සෝක වෙන අඩි නැති සෙරෙප්පුවෙ කඳුළු පිහිමින් හැඩකලා
කෝක කිවුවත් පැත්ත මාරුව තියෙන රටකම ගල්වෙලා
සෝමෙ අයියත් ඡන්දෙ ඉල්ලුව බාර් එක ළඟ රජවෙලා

පොඩි එකී තව කිරි උරයි මගෙ එකීගේ පපුවෙ ලැගලා
තඩි බඩක් උස්සගෙන ආවා ලොකු එකී මඟ වැරදිලා
කඩි ගුලක් වගෙ වත්තෙ එවුවොත් කයි කතන්දර වැඩිවෙලා
අඩි ගගහා යමු කුසුම් අපි "හෙටයි හොඳ" හිත රවටලා



Thursday, January 21, 2016

ගඟක සැනසුම සයුරම ද ?

සියුම් ඉසියුම් තැනද දැනගෙන
රැවුම් ගෙරවුම් බැනුම් විදගෙන
නැවුම් සැනසුම් පැතුම් අරගෙන
හෙමින් ගලනව ගඟක් තතුදැන

පෙත්තො හඳයොද ලූලො කනයොද
කිඹුලො දිය නයි රවුම් සුලි මැද
පොල් පුවක් හල් ගෙඩි කරට බැඳ
ගඟක් යන්නේ දෙපස ඇස් මැද

සිහින් ඉඟරැලි සිඹින පාසිද
හෙමින් සිපගත් සුමුදු සුළඟද
හිතින් විඳගත් පැතුම් පොදි මැද
ගඟක සැනසුම සයුර විතරද ?

Sunday, August 30, 2015

ලණු ඇඳයි - තාත්තයි


පෝය දවසට හඳත් ආවම පරණ ලණු ඇද හඬනවා
කාට කාටත් නොමැති දුකකින් පපුව රිදෙනව කියනවා
බලා ඉන්නට බැරිව හඳ දෙස විදුලි එළි ගැන අහනවා
කොහේවත් සඟවන්න බැරි දුක් කන්ද ඇඳ උඩ තියෙනවා



එකින් එක කොටු තුළට පුරවා ලණු ඇදේ හැඩ පෙනෙනවා
දිනෙන් දිනයට වාරු නැති හිත කියපු කව් ගී දන්නවා
පොතින් පත නැති දැනුම් සයුරක් ඇදේ සැතපී සිටිනවා
ලොවින් උත්තම පදවි අරගෙන පියෙක් තනියම නිදනවා

පාලු මකනට රෑට තරුවැල් ඇවිත් දුක සැප අහනවා
බාල කෙලි ඇස් කරකවාලා බලන හැටි එහි හැදෙනවා
තාර කළුවෙන අමාවක දා හීන් සීපද ගැයෙනවා
රෑට සීතල එද්දි බීඩිය උණුහුමක් ළඟ තියනවා

කාටවත් නැති සේද ඇතිරිලි ලණු ඇදේ සුව සදනවා
ලෝබයක් නැති දරු සෙනේ පපු මැදින් උඩහට දුවනවා
ප්‍රේමයක් නැති යුඟ දිවියෙ දැන් සොලොස් වසරත් පිරෙනවා
පාදමක් නැති ගෙයක් වාගේ බිරිඳ ගිය හැටි හිතනවා

සෙමක් හිරවුණ බවක් කියමින් ඉකිලුමත් සිර කරනවා
පවක් කරනැති බවක් වූවත් උරුම කරුමෙයි කියනවා
දතක් සෙලවෙන විටදි ඇතිවන හැඟුම් එලෙසම විඳිනවා
පියෙක් තනියම දරුවො නලවන අයුරු ලණු ඇද දන්නවා

ගින්දරක් හද ඇතුළෙ සිරකර නොහිම් දරු පෙම බෙදනවා
බුදුබවක් නැති දිඟු මඟක් එළි පෙහෙළි කරමින් සිටිනවා
කප්පරක් දුක් නොවිද සසරින් එතෙර වෙනු ඈ පතනවා
කරඬුවක් නැති ඇත් රජෙක් අද ලණු ඇදෙන් සිරි බලනවා

Tuesday, August 4, 2015

සීගිරි අප්සරාවට හෙවත් නැට්ටුක්කාර තාවකාලික පෙම්වතියට

එදා විනිවිද යන්න බැලුවිට නුඹේ ඇස් කරකවා වටයක් 
හදා ගන්නට බැරිව හිත මගෙ පිච්චුණා පැයකට කල්පයක් 
කදෝ පැණියෙක් වෙම්ද කියලා කිරා බැලුවට දවස් දහයක්
පුදා දෝතින් ගලවලා හද දුන්න පුදුමයි මටම රහසක්

විදුලි වේගෙන් නුඹේ අතකින් මලක් විද්දා අමුතු එළියක්
කැඳලි සීයක් හැදුව කියලා දන්නෙ මම මයි සිනා දෝතක්
පැතලි ගල උඩ සිනා කට නුඹෙ පරදවයි දෙව්ලියන් රෑනක්
කැරලි ගහ ගහ සරැලි නැංවුවෙ මගේ සිතුවිලි එකම සයුරක්

බලා අවසර රජුන් කස්සප හිතේ හැටියට නුඹව සිම්බද 
සලා සැලමුතු පෙමක් යම්දින නුඹේ දිවියට එයින් ලැබුනද 
කළා සොලොසම අරන් පුරහඳ වඩින දවසක් එහෙම තිබුණද
ගලා ගිය පෙම සිංහ නියපොතු වලින් රිදි රිදි සැරව ගැලුවද

නිදහසේ හිස් අතින් එන උන් නුඹේ තිසරුන් සුවේ සෙව්වද
මඳහසේ කිසි අඩුව නැතිවම මිටින් ගෙන ඉඟ සුඟේ වැනුවද
උරහිසේ හිස තියා උන් වෙනම ලෝකෙට පියඹලා ඇදුණද
කිතුගොසේ නංවලා කැන්දන් යයිද කියලා සිහින දැක්කද

මං වගෙම එන එවුන් සේරම රිසි පරිද්දෙන් උඹව අතඟා 
රං වගේ හම උඩින් කියලා හිතින් පැණි හඳ බලයි උරගා 
ළං වෙලා දිවි තලේ හිටි උන්  මතක් කර කර කඳුළු හංගා 
සුං වෙලා ගිය ප්‍රේම බන්ධන පවුරෙ කැටපත් ලියන් නංගා



Saturday, August 1, 2015

අන්දරේ තවමත් හිනාවෙනවා ඇති


කටින් කට පතලව ගිය නමක්, වේද රජුවෙත කන්ද උඩරට 
මැතින් ඇමතින් සිනා ගන්වා තමා වෙත හරවාවි බැල්මට 
ඉහින් කණ්වල රක්ත වර්ණෙන් නිති රජුගෙ උවනත පිරෙනකොට 
ඇසින් ඉඟිකර සිනා කවියක් කියන ඔහු  නමය අන්දරයට

දකුණු ලක් රට කිරලවැල්ලේ දෙපොලකම ඔහු උපන් කිවුවට 

පුරුදු වයසට අකුරු දැනගනු පිනිස යැවුවලු ගැටමාන්නෙට 
හොරෙන් පැනලා ගෙදර ඇවිදින් ගුටිත් කාලා වැස්සෙ තිබ්බට
අම්ම අප්පට දුක හිතෙන්නට කවිය කිවුවලු බොහොම සද්දෙට

කුඩා කල සිට අලස ගති ඇති අන්දරේ හට පිය පස විසින්
කියා පාඩම් කරව ගන්නට බුද්ධ ගජ්ජය බැරි වුනි රිසින්
දමා අතහැර නොතිබ්බත් ඔහු මුඛරි හිටිවන කවි කිවු ඇසින් 
හඬා වැලපෙන අයත් යහමින් සිට තළයි අත්පුඩි එක ලෙසින් 

”සද්ද විද්ද පළඟ පතිර” නාමවලින් පිදුම් ලබා 
කන්ද උඩින් පහතරටට ගියෙ දවසක් ඔහු හේබා 
වස්ත්‍ර භරණ රජුන් ලෙසින් සැරසී සිටියට සෝබා
අන්ත්‍ර වෙලා ගිහින් අතරමඟදි හිටිවන කවි බඹා 

කරගම්ආර වැව් මත්තේ එක කොනක සිට 
කරනම් ගැසූ විලසට ඔහු ඇත පිළිරුවට 
සියඹල පලු වීර ගස් යට සුව විඳිනකොට
තවමත් සිනා යනවා ඇති අන්දරේ හට

ප. ලි. 
අන්දරේගෙ සොහොන උඩට වෙලා නෙළුම් ඇට කකා සියඹලා කරල් කකා අතීතයේ දවසක් සිටි අන්දම හඳිසියේ සිහිවීමෙන් පසු ඔහු ගැන උපන් සතුටට ලියූවකි. 


( ඡායාරූපය අන්තර්ජාලයෙනි )



Friday, June 5, 2015

දිවියක ගමන

කොපුලත රැදෙන සිහිලස් උණුසුම් පහස
ලවණත රසය දැනිලා යයි බැස විගස
උරමත ගැහෙන ඉස්සෙන බර කඳෙ රහස
කවිමත නොමැත සසරක උහුලන වෙහෙස

පෙරපස නැගෙන හිරුටත් උරුමය බැස යාම
අහසක කොහෙද අපිටම අයිතිය පැතිරීම
මඳහස රකින පිනිබිඳ මොහොතින් වියලීම
දස අත දුවන ගමනක කොතනද නැවතීම

විනිවිද පෙනෙන හදවත් නැතිවිට හමුවීම
සිද බිද යෑම අත්වැල් නැවතිය බැහැ කෝම
කඩු තුඩ මතට ගෙල තියමින් නිති හිනැහීම
ලෙස දැක ගත හැකිය දිගු මේ ගමනක යෑම

Thursday, October 16, 2014

හිමි අහිමි වීම් ප්‍රේමයේ හැටිය.

ප්‍රේමයේ මුදු සබඳකම් කොයිතරම් සිනිදුවට තිබුණත් පෑරවෙන හැටි දන්නේ ඔවුනොවුන්මය. ජීවිතය කියා හුස්මක් ඉහළට ඇද්දද අතරමංවෙන හුස්ම වාර කොයි තරම් ඇතිද කියාත් දන්නේ ඔවුන්මය. ලොව තියෙනතාක් කල් නතරවෙන්නැති සබඳකම් ළඟ හිමි අහිමිකම් අප්‍රමණව ඇත. ඒ සියල්ල එක ලෙස දකින්නට බැරිකමම පෘථජ්ජන අපේ ස්වභාවමය. ලැබීම් හෝ නොලැබීම් උරුම වීමත් ප්‍රේමයක ස්වභාවමය








Thursday, September 25, 2014

තාම පඩි අරන් නෑ ඉවසාපන් පුතුණේ.


කලා සොලොස අරගෙන පුන්සඳ ගම නාවේ
උනා සළුව ගගනත මැද තරු මල් රැඟුවේ
බලා නොඉද වැඩපන් දෙවියනි මං කිවුවේ
මුසා මොටද ඒ දුක නෑ කවුරුත් ඇහුවේ...

නපුරු සිහිනෙ දුටු දා හිත මළගම වැටුණේ
රුදුරු වන සතුන් කවදත් මිනිසුන් වන්නේ
සොඳුරු සිරින් පිරි හෙට තනනට මයෙ පුතුණේ
අතුරු කතා නෑ ඒකයි කතරට ඇදුණේ...

හෙමින් හෙමින් පත් සිඳිලා යන වදුලේ
තැනින් තැනින් කටු විතරයි මැද මිදුලේ
දුවන පනින නුඹ සිහිවෙන හිත ඇතුලේ
ඉහෙන් කණින් බේරෙන දුක මගෙ කමුලේ...

උදේ රැයින් දුරකථනෙන් ඔය හඬ ඇහුනේ
පානෙ එළිය විතරයි හරියට ගෙයි තිබුණේ
රෑට බතට නැති බවකුයි සවනත වැකුණේ
තාම පඩි අරන් නෑ ඉවසාපන් පුතුණේ.


 

Thursday, July 3, 2014

කට කහනවට


හේමමාලා කොණ්ඩෙ අස්සක සඟවගෙන ආ වට දතක්
කිසිම දවසක අල්ලන්න බැහැ වුනෝතින් නුඹ නම් ළඳක්
හතර පේරුව දණ ගසාගෙන කියන විට පම්පෝරියක්
අතුරෙ යන බොදුනුවන් අපෙ නොදුටුවේ ඇයි සැණකෙලි බිමක්


දන්ත කුමරුගෙ අතින් අල්ලා නටන රෂියන් සුදු කතක්
තිසර තණපට තිබුණ එකවත් කියන්නට බැරිවෙන සැකක්
පුංචි සමනල පැටවු ඉගිලෙන විටදි මළුවෙන් දිස්නයක්
දැකපු උන් දණ ගසා වදිනවා හැරි හැරි පුදුම ගතියක්

වැවේ සැනහුනු මාළු ඇවිදින් මත් වෙලා ඇස් පියවෙන බවක්
අනේ කවුරුත් දන්නෙ නැහැ නිතර ඇහෙනා පිරිතේම බලයක්
ඇසේ රිදවුම් දරා බහිරව කන්දෙ පිළිමය හිටියට රැයක්
වනේ වන හතුරෙකුටවත් ඔය ලෙස වෙනු එපා කිසිදු නපුරක්

සිව් දෙසින් සීරුවෙන් හිටියට මහා හිමිවරු පුටුවට බරක්
ඇස් ඇරන් හිස දන් දුන් මද්දුම කුමරුට වුනේ නම් කැළලක්
ගුණේ පිහිටයි ඇතා නිතරම ඉන්නෙ දම්වැල් දමා ගොන්නක්
ලොකු පුතා රජවෙච්ච දවසට දායි ඔතනම තව පාටියක්

Saturday, June 21, 2014

නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට


ප්‍රේමයේ වර්ණය හොයන නෙක සිරිය පිරි උයන් මැද
බංකුවක් වෙලා මං නොකියන කතාවක් නොදැක්කද
සිනහවේ බරත් සම කදුළු හා රසයක් අතර මැද
දන්නෙ කවුරුද ඉතින් මොනතරම් සැඟවුම් මා ළඟද

නිල්, රතු පාට කමිසම යති සති මැද සහ මුලට
සුදු කහ පාට යති පෝයට සහ සෙනසුරාදට
බිම බලා පොඩි ඇස් තියෙන මල් පිපෙයි ඉරිදාට
අනේ මගෙ ඇඟ රිදෙයි බර උසුලලා හැමදාට

මහන්සිය කොයිතරම් කීවත් අසන්නෑ කවුරුවත් කිසිමවිට
හාන්සිය විතරක්ම ඉල්ලනා හැටි යන එන බවක් නොකිවුවට
කොනිත්තන විට සමහරක් දිග නියපොත්ත අරගෙනම හයියකට
නාඩ ඉඳියත් මං ඉකි ගැසෙයි පෙනෙන දුර සිටිනා මගෙ සොඳුරියට

රැය එද්දි සියොළඟම මගෙ ගැහෙනවා එක සීරුවට‍
මහත උන්දලා අපුල්ලයි කුණු පිට උඩ පෝලිමට
කෙලෙහි ගුණ නොදන්නා උන් පයින් පාගා පදමකට
කෙළත් විසිකර යනෙන එක කොහෙන් ආවද උනුන්හට

එකම මල් විවිධ වෙස් ගෙන ඇදෙයි එලෙසට බඹරු එක්කම
"අනේ මෙහෙමත් ලෝකයක්" කියා යයි ඇස් මගෙ නළලටම
අතැර මැද යම් දුරක් තිබුණත් මගේ පෙම්වතිය සමඟම
කතාවෙයි මිනිස්සුන් කරන තරමක් රැවටුම තමන්ටම

උයන්පල්ලා විසිල් කරමින් ගැස්සෙනා උන් හදවතට
ගවුම් කර ඉස්සිලා යන හැටිත් පුදුමයි ඒ වෙලාවට
සියුම් තටු ගසමින් ඉඟිළිලා එන කුරුල්ලන් රෑනකට
නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට

Thursday, February 20, 2014

දිය බිඳක් නැති ළපටි ගහකොළ කොච්චරක් ඇත මැළවිලා


සීත මීදුම කොහොමවත් නැති කොළඹ කොටුවේ ඔහෙ තනිවෙලා
පාට දන්නැති සිහින් සිරුරැති දෙකක් ළඟ මගෙ ඇස් කොටුකලා
කාගෙ කාගෙත් හඳිස්සියෙ යන ගමන් මළු ඔරවන් ගස්සලා
හිරිවැටී ගිය නිසා සියොළඟ නොකියාම නැවතුම සන්කලා

ඇඟේ උණුසුම එකට පොදියේ විඳින සැමියද ගුලිවෙල
හිතේ හැටියට සිහින මන්දිරෙ හිඳී ඉරියව් ගලපලා
හුස්ම ගන්නැති අත්වාරුවක් අසල බිත්තියෙ නවතලා
තරුණකම් අඩු මේ යුවල ළඟ පූස් පැටියෙක් හිරවෙලා

සේද සළු සුව යහන් මැද්දෙදි දැනෙන පුසුඹම එහි රදවලා
මැසි මදුරුවන් ගී ගයා නලවති කිරි සුවඳෙ ඉව විමසලා
යෝධයන් වැනි පවුරු බැඳගෙන වැලි කොට්ට ඉඟසුඟ හප්පලා
බේබිලා යන එන වාහනේ ජය සිව්කොනේ නද පතුරලා

ෂොපින් මල්ලක තේ කහට බිඳ දිව ඔසුව සේ සමවෙලා
සිනහ අහුලති හදවතින් එන හැඟුම් ඇතුළෙම හිරවෙලා
දවල් තරුවක් උරහිසක නරුමයෙක් දුවවිත් ගොරවලා
"තවත් වද දෙන්නැතිව යනවද" කිවුවෙ මව්ගුණ ගළපලා

අසිරිමත් රට දෙව්ලොවින් බට සුරඟනන් හැඩවැඩ කළා
පිළියමක් ඇති එතනෝල් ළග සූ සැටින් සංග්‍රහ බලා
පඩුපුලක් ඇත රස්නයක් නැති තෙත් හදක් යැයි පවසලා
දිය බිඳක් නැති ළපටි ගහකොළ කොච්චරක් ඇත මැළවිලා

Tuesday, February 18, 2014

සතර වරම් බල ඇත්තන් සතර දෙසින් බුරලාම
නිතර කොනහමින් ඇවිදිති ඇස් අඟ අපෙ රවටාම
කතිර ගසන දින ආවම නැති පෙම උන් උපදාම
දුරැර සියළු දුක් නැති කර යනහැටි දෙයි රඟපෑම


සැරද රජ තමෝ හිනැහෙයි පොඩි උන් නළවාන
නිබඳ එයට සැඟවෙයි හෙළු මුල් පිටු පොරවාන
වැවක වැඩි දියක් යන මඟ නම් වෙයි පිටවාන
එයද වැසුව දින ජලකඳ යයි හැම පෙරලාන.

Thursday, October 3, 2013

ප්‍රේමයේ මුදු සබඳකම් ගෙන ගියේ ඇයි කිසිකෙනෙක් නොදැනම

මැඳුරු මන්දිර අතර තෙරපෙන බේබිලා සුර ලොවට ඉඟිලෙන
පැදුරු පත්තර උඩත් නිදියන දනන් ඇත මහපොළවෙ හැංගුණ
දුකද සතුටද කියන්නට බැරි හේතුවක් හදවතේ ගුලිවෙන
පඳුරු කැලිඩෝ අතරෙ හැංගෙන තරුණකම කඳුළැල්ද වැගිරෙන...

කාම රංගන විසල් සුවිසල් දෙනෙන් අතරින් එබී බැබළෙන
තාම හිරිගති නොගිය මල්වල රේණු ටික ටික හෙමින් පොඩිවෙන
පාර මැද්දෙන් ගලා යන කළු ඟං දියත් ඇස් ඉතින් හංඟන
සාර විටයක් වගේ හපවෙන යෞවනය දුක්බරද එපමණ...

ස්වේත වර්ණය අරන් සිහිනෙන් වඩින් නැහැ ඇත් පැටවු මැදියම
ප්‍රේත වනයක් වගේ පෙම් ලොව දුර්ගදත් හමනවා තුන්යම
සේද සළු සුව යහන් නැතිමුත් ලේ කැටිත් දියවෙලා රහසෙම
ප්‍රේමයේ මුදු සබඳකම් ගෙන ගියේ ඇයි කිසිකෙනෙක් නොදැනම.....

Wednesday, September 25, 2013

දුවේ උඹට උඹ විතරයි

ගසක් හිස නමා කඳුළුම බෙදන විට
වසත් කලක් කෝ දුවණී ඉඩෝරෙට
හිතත් එක්ක නුඹ අතැගිලි ගනිනකොට
පවක් වුනත් එයි නොහිතන වෙලාවට...

මලක් ඉඟි පපා කියනා කතාවට
නලක් වුනත් නවතියි හරි සීරුවට
නමක් ගමක් නැති සිහිනය පුරාවට
රුවක් දෙකක් ඇදපන් හරි කලාවට...

ගමක් එක්ක ගණුදෙණු වෙන සුයාමෙට
තිතක් වුනත් ඇති හිනැහෙයි විනාසෙට
දුවක් නිසා හැම කියමන් කසාදෙට
හරස් වෙතැයි බය ඒකයි පියා හට...

ඇළක් දොළක් බෑ හිරකර තියන්නට
නුඹත් හිතත් බෑ තනිකර දුවන්නට
සඳත් හිරුත් නුඹෙ අහසේ රකින්නට
මවත් පියත් මං විතරයි හිතන්නට...

මලින් මලට යන බඹරුන් ඇදෙන්නට
දිනක් තැනක් නෑ බැරිවෙයි මිදෙන්නට
කවක් දෙකක් උන් කිවුවට වසන්තෙට
දුවේ උඹට උඹ විතරයි ආත්මෙට..

Saturday, August 3, 2013

පරදමු අමන කැළ

නිදහස ලබා ඔල්වරසන් ගැසුව දිනේ
නුඹලා වුනිය මහ විරුවන් සතර කොනේ
මඳහස පපා රට කරනා උන්ගෙ විනේ
පිපිරී ගියා නොවෙදැයි නුඹලාට අනේ...

හරි හෝ වැරදි අණසක ලැබුණාය කියා
හිත හෝ නොහිත උණ්ඩය දුර ගියා කියා
අද හෝ හෙටත් මේ බිම අපගේම කියා
සුරකින නුඹලාම ඇයි කලෙ එවැනි නියා

උඩ යට දෙපැත්තෙම ඉන්නේ හොරුයි රටේ
මුල මැද අගින් කොතනිත් කනවාය ඇටේ
දුක කිය කියා ගියහොත් වැරදෙනව රටේ
පෙර දින ගිහින් මනුදම් නැව් නැගල රටේ

පෙනි පෙනි වරද ඇස් පියවන් ඉන්න විට
පැන පැන හුරේ තියනව උන් හතර වට
නුඹ මෙන් මමත් ඉපදුන මේ උතුම් රට
තිරිසන් අමන කැළ පරදමු නොදී හෙට

_____________________දිනිති _______

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...