Thursday, July 30, 2015

ඇමති ආරක්ෂක මතක වත



බල්ටි දහයක් එකට ගහනා
පැනිලි පිමි හා හමුදාවෙ හිටියා
කලටි පොල්වල රසය විදිනා
ඇමති රැකවල් සෙනෙවි වූවා

අරක්කුද බී සිගරැට්ටු ඇද්දා
විෂ්කි බ්‍රැන්ඩිය නා කියා ගත්තා
අරිෂ්ඨය හා වලිප්පුව මැද
ඇමති බිරිඳගෙ පණ වුනා

ළපටි කරලක් කිරි වැදී ඇති
ඉරිඟු යායෙන් ගෙන ගියා
කරටි වෙන්නට ගැසූ දිනයට
කැකිරි පල පල හපය කෙරුවා

කෙනෙක් අත්සන දෙන්න බැරි විට
බෙල්ල මුලටම ලංසු තිබ්බා
එකෙක් දෙන්නෙක් නෙමෙයි බෝ විට
හිතේ හැටියට මූනිස්ස වැදුණා

සුදු ඇදන් මල් අරන් හිස මත
වඳින ඇමතිට ලංවුනා
කඳු පිටින් කුඩු ගොඩ බසින 
තැන මගේ අණ නතුවුනා

කුරුළු නාදය දෙතොල් අඟකින්
මුමුණ මුමුණා පිටු පෙරලුනා
අරළු කෑ බව මතක් වෙන්නට
කලක් ගිය බව වැටහුණා

වසර පහ, දහය හෝ බල
සිඳෙන තෙක් රැකවරණෙ දුන්නා
වරද කළ ඒ ඇමති නාමෙට
පෝරකය මගෙ නමට ලිවුවා

මගේ දරුවන් බිරිඳ හැපි හැපි
ඇමති පාමලු වැටිල තිබුණා
තෝපේ කවුරුත් දන්නෙ නෑ මං
කියා පන්නා යවා තිබුණා

ලොකු කෙලී කොටහලු වෙලා 
මාස තුනවත් නොපිරිලා තිබුණා
පොඩි එකී කිරි බිබී හඬන විටදිම
මගෙ ගෑණි බඩ කරල තිබුණා

යකඩ පොලු මැද ගෙවෙන කළ මගෙ
මරණෙ ගැන දින දිනය ගෙවුණා
වඳපු දරු දුක දරාගන්නට බැරිම තැන
පපුව පැළිලා මව් මැරිල තිබුණා

රජුන් විලසට ගමට හයිරන්
දමන් හිටි මට මොකද වූයේ
දිට්ඨධම්මය කියා බුදු බණ
දෙසන හිමියෙක් මෙහෙට වැඩියා

Tuesday, July 21, 2015

බෙදීම - පිළිතුරක් නැත

කෝපි සුවඳට හුස්ම හිරවෙන
වීථි පසුකර යනෙන විට මට
ග්‍රීක දෙවඟන බලා හිනැහෙන
ප්‍රීති ගෝසා ඇසෙයි නිතරම

ලවණ සුවඳක් ගෙනෙන සුළඟක
මිලින පැතුමන් කොතෙක් තිබුණද
පරණ වෙන්නැති හිතේ සිතුවිලි
දුවන ගමනක තබා දිවුවද


මාර ගස් යට කාක් හඬ මැද
පාර අද්දර සිඟිති ඇස් වට
පිපී මියැදෙන සිහින කොපමණ
තියෙද සිරිලක මෙහෙට හුරු නැති


බුදු පසේ බුදු නිර්වාණ පතමින්
අතක් පෑවට සසර පාපෙට
හුදු විනෝදය කිය කියා මුන්
කොතෙක් විපරිත දේ කරනවද

කොහේ හෝ හැප්පිලා විසිවෙන
විටදි පෙරලා එමිය හුන් තැන
අහෝ ලෝකය බෙදුවෙ ඇයි
ඇති එකා නැති එකා විලසට

-------------2015/07/20 -----------

Monday, July 20, 2015

මගෙ බිසවුනේ රිදෙයි මේ තනි යහන්

පිපි වැටෙන පිනි බිඳු මිළ කරන්
සිසි උවන ගැන කවි කිව් තරන්
නැගි සුසුම් ලය තුල තද කරන්
මගෙ බිසවුනේ රිදුම් මේ තනි යහන්

තෙත මුහුල නුඹෙ වැදුන, කිති මැදින්
ගඟ ගලා ගිය හැටි සෙනේ, පපුවත් පලන්
මඳ අඳුර එන විට වැට මායිම පැනන්
මගෙ බිසවුනේ රිදුම් දෙයි තනි යහන්

සව්සිරි යස ඉසුරු ගැන තුන්සිත මවන්
නුඹ ගිහින් දුර තනියම නැව් නැගන්
හිත පිපෙන ආදර කුසුම් සුරැකිව තියන්
හිටි මුත් නැහැ සතුට බිසවුනේ තනි යහන්

ගුලිවෙලා රැය එවන සීතලට නුඹ ගැන සිතන්
පාවෙලා යන තුට පමණි සිහිනෙක ඉදන්
බැරිවෙලා හරි පොඩි කුසුම් අපෙ මැල වුනොත්
හිනැහිලා ඉවරයි දැන් වරෙන් අපුලයි තනි යහන්


Monday, July 13, 2015

======කෝ මා ====

පුරුදු විදිහට කෝපි කෝප්පය තොල ගාන්න ගත්ත ගමන් එයා , මං ඇස් දෙක ඈත එපිට මුහුදෙ පාවෙන නෞකාවක් වටා රාමු ගත කරගෙන හිටිය.
---එහෙම නොවෙන්න තිබුණ..
--ඒත් එහෙම වුනේ ඇයි?
ඕනවට වඩා හිතන්න යන හන්දා
------හිතන එකේ වැරැද්දක් නැහැ
--මොකද නැත්තෙ. ඒ හිතපු හන්දනෙ මෙච්චර දෙයක් වුනේ
--ජීවිතේ කෙටියි,
--ආසාවන් වැඩියි
---නෑ ඒක බොරුවක්, බොරුවක්, බොරුවක්
බොරු නම් එනව යන්න.
කොහේ යන්නද? ඒ මං බලා හිටිය මාළිගාව..
එතන ඇති මාළිගාවක් නැහැ.
මාළිගාවක් නැහැ..? මොකක්..

මගේ හිතම මට කතා කරද්දි මං ආයෙම මගේ ඇස් පිල්ලම් සොලවා අර නෞකාව දිහා බලා හිටිය.

වෙලින්ටන් පුරුදු සිගරට්ටුව අතේ තියන් කෝපි බඳුනෙ ඉහළ, දබරගිල්ල යව යවා තවත් දිශාවක කියල මට තේරුණා.
ඔහුගෙ පෙරැත්තට කෝපි බොන්න ආවට මට ඒ ගැන ආසාවක් නැති බව වෙලින්ටන්ට කියන්න බැරි වුනා.

කෝපි කුඩු ටිකක තියෙන සුවඳයි , උණු උණු කෝපි කෝප්පෙක තියෙන සුවඳයි අතර ලොකු වෙනසක් තියෙනව කියල මං හොඳට දන්නව. එදා හිටන් කෝපි සුවඳට ආස කරපු තරම කොච්චරද කිවුවොත් විවිධ වර්ගයේ කෝපි පොඩි පොඩි වීදුරුවලට දාල මගේ කාමරයෙ මේසෙ පුරා තිබුණ. සමහර වෙලාවල් වලට මේ අසීමිත ආසාවන්ගෙන් මං වෙනත් ලෝකෙකට යනව කියල මට දැනෙනවා. එහෙම දවසක,

මේ ලයිට් එලියක්ද ?
නෑ ඒ මේ පරිසරයෙ හැටි
මෙහෙම එළි වැටෙන්නෙ කොහොමද?
ඈත පේන දුර අර ස්තම්බය මුදුනෙ කුමාරිකාවක් ඉන්නව. ඒ කුමාරිකාව ඇස් පිය ගහන පාරක් ගානෙ මේ පරිසරයෙ පාට වෙනස් වෙනව
මට ඒ කුමාරිකාව බලන්න යන්න පුලුවන්ද ?
ඒ ස්තම්බය මුදුනට යන හැමෝම යනව විතරයි. ආපහු ඒමක් නැහැ.
ආපහු නාවට කමක් නැහැ. මට ආසයි ඒ කුමාරිකාව එක පාරක් දැක ගන්න.
එතකොට අම්මා, තාත්තා, යාළුවො ඔයාට නැති වෙනව.
ඒ කුමාරිව මුණු ගැහිල දැක්කට පස්සෙ මං එයාව කැමති කරගෙන ආපහු එනව.
හිතන තරම් ලේසි නැහැ.
ජීවිතේ පහසුත් නැහැ
අපහසුත් නැහැ.

කණ ගාවින් විසිල් පාරක් ගහගෙන දිශානතිය වෙනස් කළ සුළඟ එක්ක අරියාදුවක් ආව මට. අර ඉස්සර මතකය නෙෘකාව කේන්ද්‍ර කරගෙන ඇවිලෙද්දි නැවතත් මාව මෙහාට කැන්දන් ආව. වෙලින්ටන් කෝපි බදුන හිස් කරල වතුර බෝතලයකුත් ගෙන්න ගෙන කියල මං දැක්කෙ දැන්. ජෙල් ගාල මුහුණට වැටෙන්න කෙහෙරැල්ලක් දෙකක් තියෙන වෙලින්ටන්ගෙ පෙනුම හරිම දුක්බරයි කියල මට හිතෙනව. ඒත් මේ අවස්ථාව වඩාත්ම හොඳ නිශ්ශබ්ද බව කියල අර පාවෙන නැව ටිකක් ඈත් වෙලා කියන හැඟීම දැනුනත් ආයෙම ඒ දෙස මං බලා ඉන්න පටන් ගත්තා.

රැල්ලක් එක්ක ගමනක් කියන්නෙ දුෂ්කරයි. 
ඔව් අර කුමාරිකාවගෙ ස්තම්බයට යන ගමන වගේ. 
ඒ කුමාරිකාව වගේ මටත් ඇසිපිය සලන වෙනසට පරිසයරය නෙමෙයි මාව වත් වෙනස් වෙනව නම් කියල මට හිතුණ. 
අලුත් අලුත් රැලි හද හද වෙරළට එවන එක මුහුදෙ වගකීමක් ියල මට හිතුණ.
දැන් ඒ කුමාරි කොහේ ඉන්නව ඇද්ද?
කෝපි සුවදක් ඉව කරන්න හිතුණ නිසාම හයියෙන් හෙමිහිට හුස්මක් ගනිමින් මං ඉව කලා.
කෝපි සුවඳක් එක්ක මාව මේ තරම් වෙනස් කරන්න පුලුවන් කමක්
ඔව් කෝපි කියන්නෙ ඔයාගෙ ආත්ම ගත දෙයක්
හරියට හරි මං ඒක පිළිගන්නව
ඕකෙන් මිදෙන්න හදන්න එපා.
ඇයි?
එතකොට ඔයාට කවදාවත් කුමාරිකාව ඉන්න ස්තම්බයට යන්න බැරිවෙනව. 
මගේ අරමුණ ඒ කුමාරිකාව මුණ ගැහෙන එක.
ඒ ඇස් ලැබුණ හැටි අහන එක
එහෙම නම් කෝපි සුවදෙන් මිදෙන්න එපා
ඔව් මට මේ කෝපි සුවඳෙන් මිදෙන්න බැහැ තමා

වෙලින්ටන් එක්ක අකමැත්තෙන් හරි කෝපි බොන්න ආවෙ ඇයි කියන එක මට මතක් වුනේ දැන්.. 

ඒත් කෝ මගේ ඒ කාමරය.. විවිධනම් වලින් විවිධ සුවඳ වර්ග මැද්දෙ දුම් ගොඩාක් මැද්දෙන් කුමාරිකාවකගෙ ස්තම්බයට යන්න පාර එළි පෙහෙලි කරපු තැන.

ඇන්ජෙලා...ඇන්ජෙලා... එක පාරට මගෙ අතිට සීතලක් දැනුන නිසා මං බලද්දි වෙලින්ටන් යතුරු කැරැල්ලත් අතේ තියන් යන්න නැගිටල.
අපි යන් ඇන්ජෙලා.. ඔයාගෙ බෙහෙත් බොන්න වෙලාව හරි. ඒක මඟ ඇරුනොත් ආයෙම ඔයාට අර සෙනග මැද්දෙ වට කරල තියෙන කාමරයක ඇදක් උඩ පැය 24 ම නිදාගෙන ඉන්න වෙන්නෙ. ඔයාගෙ අවශ්‍යතාවත් ඔයා දන්නෙ නැතිව.

Saturday, July 11, 2015

කන්දක් වුනත් දඟලනවා බෝම

පයින්ස් ගස්වල පත් අග කිනිසි වැනි
තැන් වැදෙනකොට තුරුණු කන්දක
අනුබදී සිහිල් දිය බිඳු හඳන්නට
මිහිපල් කමක් වැනි වරමකි එයද

සකියනි වලාකුළු වැටෙනා විට සිරුරට
කෝමල කමක් ගයි නිරතුරු ලෝචන
කියුඹු ලතා කිති කැවි කැවි වැදෙන විට
මින්දද සිඹින මල්වැනි කදු මුදුනකට

මැසිවිලි දැනෙන බව හිතුවත් හිතවතුණි
ඇසිපිය සලන දේදුනු සඟවයි නිරතුරුම
වයිරම සිඹින අඟලක් අඟලක් නෑර
සෙයිලම වගේ කන්දක් දඟලයි බෝම

2015/07/09 

Thursday, July 9, 2015

තැවීම තැනීමක් ඇවැසිමද ?

ඉකිබිඳුම් ඉකි ගස ගසා සිරවෙයි
නුඹට විතරක් ඇහෙනවද
මේ බැදුම් තව පොඩිම පොඩි කාලයයි
ඉතින් මේ හැටි හිත් රිදෙනවද

වසත් කාලය සිසිර සෘතුවත්
එක තැනක නෑ රැදෙන්නේ
සිතින් උපදින අපේ හැඟුමන්
ඒ වගෙයි මට දැනෙන්නේ

සියුම් ඉසියුම් තැන් සොයා
හැඩුම් වැළපුම් ඇයි තැනෙන්නේ
නැවුම් උදයක් හෙටත් පිබිදේ
කුමට විරසක කම් සිතන්නේ