Thursday, March 26, 2015

පස් වසක් සපිරීමෙහි සතුටය මේ




දුක සැප රිය සක ලෙස ගලා වෙලා අප පසු පස එක ලෙස ඒ නම් සම සමව දරන්නට බැරි සිතුවිලි හදවත මත තෙරපී වැලපී යන්නට දී ඉකිගසා හෝ සිනා සී තනිවම ඇතිවන තුටක් නැතිය. එය බෙදා හදාගෙන සදාතන නොවුනත් තාවකාලික තෘප්තියක් දැකීමට අප කවුරුත් කැමතිය. එවන් වූ රුවන් සිහිනයක පියුම් පෙති අතගාන්නට වරම් ලැබීම විටෙක ඇත්ත වශයෙන්ම භාග්‍යයකි. තමන්ට පමණක් විඳින්නට හැකි දේ අනෙකාට දනවන්නට , පෙන්වන්නට යම් මාධ්‍යයක් ඉවහල් වේ නම් එය විසල් සුවයක්ය. පසන් වූ සිතක හසන් නංවා තනිවම රිසින් විදීමම කි.  ඉදින් එදා තැන තැන නිඳැල්ලේ ගිය සිතුවිලි එක එක බඳිමින් පෙළ පෙළ තබන්නට හැකිවීමේ අවස්ථාවකට මඟ කියා දුන් දුකා එහෙම නැත්නම් සුභාෂ් අයියා හැමදාමත් මගේ හදවතේ ගෞරවනීය තැනක සිටින්නෙකි. වසර ගණනක ඈතට දිවෙන ඒ මිත්‍රත්වයේ හස්තයට පින්සිදු වන්නට එදා මා සිංහල බ්ලොග්කාරිණියක් විමි. 

තරඟයක් යනු හුදෙක් රසක් අහිමි වීමය. මා හැමදාමත් හුඳකලාවිමි. මට මා හැරෙන්නට අනෙක් අය දුවනා ලොව දුවන්නට ඇවැසි නොවීම අදටත් මා තනිවම බුක්ති විදින සින්නක්කර සතුටකි. යමෙක් පස් වසරක් සම්පූර්ණ වී යැයි ඇසූ විට ජනප්‍රියත්වය ගැන සිනාසෙති. එසේ නැති නම් ආගිය ඉලක්කම් ගැන අසති. එහෙත් එදා සිට අදටත් මට තිබුණේ තනියම යෑමේ උණකි. හදේ වින්දනයට අකුරින් කැන්දන රසඥතාවය මටම හුරු වූ ඌරුවකි. ඉදින් මා එයට පෙම් කරමි. 

රැඩිකල් නමක් නැති නිසා විටෙක සිනහ වූවෝ අපමණය. එහෙත් නමේ හැටියටම මේ අාලවඩන හුඳකලාවට මම රිසිය. එදත් ෆේස් බුක් එකට ඇබ්බැහි වී සිටයා සේම අදත් මා ෆේස් බුක් එකට ඇබ්බැහි වූවෙකි. එහෙත් හිතෙන වෙලාවක දැනෙන ලෙස බ්ලොග් එක තුල සැරි සැරීම මගේ පුරුද්දය. 

මේ පිටු පුරා මගේ දේවල් කියා දැනෙන්දී මට දැනෙන්නේ සුවයකි. අකුරක් ගානෙ අමුණපු සුවඳකි. යමෙකුට ප්‍රිය නොවුවත් මට මනාප වූ දේ දුරු රට තද දුක ජීවිතයෙහි කොටස් කරුවන් වූ මේ අකුරු මට සිනහ කැන්දවූවන්ය. 

සිංහල බ්ලොග් ලෝකය තුල විවිධ මිතුරන් හදුනා ගැනීමට ලැබීමත් මා මේ පස් වසර තුළ ලැබූ භාග්‍යකි. ඒ අතර සමකය වටේ ගිය නලින් අයියා, සඳහන් කළ යුතුමය. එමෙන්ම අස්වැන්න, අවන්හලවර්ණ, ස්වයාක්ත, අලි සිතුවිලි, සිතක සංකල්පනා , වැසි වැටෙන තැන, දේශක යා ,ඉවාන් ෆවූලූශා බිනරිගේ ලෝකය, වැව් ඉස්මස්ත, කළ්‍යාණ මිත්‍ර වැනි තව බොහෝ අය සිටිති. ඒ සැවොම ඇතුළු අනෙකුත් සහෝදර බ්ලොග්කරුවන් ද ආදරණීයවම මේ අවස්ථාවේ සිහිපත් කරමි. 

විවිධ බ්ලොග් හමු තබමින් සිංහල බ්ලොග් කලාව ඉදිරියට ගෙන යන්නට කැප වන්නෝද අප්‍රමාණය. කිසිම සාදයට හමුවකට බ්ලොග් ලෝකය තුළ යාමට අවස්ථාවක් මට  නැතත් මෙතුලින් මා ලද ආත්ම සැනසුම අමිලය. 

එයට තුති ඔබලාට.

විඩෙන් විඩ වියපත්ව
ලබන විට පරිණත බවක්
මුවෙන් මතුවන හසරැල්
ඇතිව හද සැනසෙමිය මං

වලාකුළු විසිරිලා යන්නට
හැකිය නුබ ගැබ පුරා
අතරමං නොකර අකුරක්
රකින්නට හැක දිවි තුරා

යන එන අයද අතර මැද
ගිහින් එන්නම් කියු අය අපමණය
සුබ අසුබ මත සම සමව
යනෙන එක මටම පමණක් හුරුය

කවි කතා දළුලනා විටක
හද පුරා සිනාසුන උන් උතුම්මය
අවි දරා වනසපු තැනක
බිම හෙලන්නට දැරු උන්ද මතකය

ගලා යන විට දිය කඩක්
නැවතුම බලා දිශානතියට
සලා ආසිරි ඇති නැති වුනත්
හුඳකලාවම හුරුය ගමනට

ඉදින් සැනසෙමි ආ මඟ දෙස බලා
හදින් තුති මල් ඔබ සැම වෙත බෙදා
පුරා පස් වසක් දුක සැප මගෙ බලා
ඉඳින් දුන් සවියට ඇත දැන් හිස නමා 

____________දිනිති 2015 මාර්තු 26 ___________

Tuesday, March 24, 2015

Face Book එකේ විටින් විට Status විදිහට දාපු පුංචි පුංචි කවි ටිකක්

සියුම් තෙත බිඳු මෘදු නේද අසමින්
වැයුම් වනමින් හිත තනිකර දමා
ගැයුම් ගැයු කොවුලා තටු ගසා
ගිහින් එන්නන් කියමින් ගියා


+++++++++++++++++++++++++++++

කිරිපිරි ලැමක ස්නේහයෙ මුසු හැඟුම් එතී
හරිමැද දැනෙන සිතුවිල්ලක මුදු සුවඳ වෙතී
බැරි බර දරන ගොම්මනෙ බෝ හුවමාරු ඇතී
සඳගල මුදුනෙ හැමදාටම සා පැටවු වෙතී

 
ඇසිපිය සලන ගහකොළ නැළවිල්ල දෙතී
පිනි දිය එක්ක ගගනත සුව යහන වෙතී
කරදිය සිඹින නල රැළි පණිවිඩය දෙතී
කරදහි මතක ගැසු අත්සන් වෙනස් වෙතී


++++++++++++++++++++++++++++++++++++
විලියෙන් සැඟව යන නෙතකට එබී බලා
වැනුමෙන් සපිරි ගී කළසක් තබයි එලා
සැවුළන් නොඑන මැදියම අත්පුඩිය තළා
වවුලන් පෙමින් දඟලති ජීවිතය නෙලා


++++++++++++++++++++++++++++++++++++

 පැහැඳුල් පැහැය අතරින් පවනටද රිසී
මහනෙල් මලක් විලියෙන් ඇස් හකුල ගතී
කිවිසුම් එක්ක වෙහෙසුම් දෙන අතර මැදී
රාගෙන් වෙලෙන දිය හට ඔච්චමම දෙතී


++++++++++++++++++++++++++++++++++++

 දුම් දමන කෝපි බඳුනක කිදා බැස
හොයන්නට හැකිවේද රස තැන් ජීවිතේ
තිත්ත ගතියක් වහන්නට සීනි හැලුවාට
අතරමඟ මුහුණ බෙරිවෙන තැන් කොච්චරද..


 ++++++++++++++++++++++++++++++++++++ 

හිම කැටිති දියකරල පන්නන්න හිරුට හැකිනම් හැමදාම
ගහ වැලට රිද්දන්න, සුළඟ ඉස්සර වෙන්නෙ ඇයි නොකියාම
මලට, බඹරට දොස් කියන හිත් එක්ක නිරතුරුව ගැටුනාම
කුමට මදුවිත පිරුණු වීදුරු මැව්වෙ අකැප නම් බීගන්න


++++++++++++++++++++++++++++++++++++  

හදවතට ඇමිණිච්ච දේට
රිද්දන්න ලේසිය
බැස යන ඉරෙත් නොකිවුවට
කඳුළු පිරිලා ඒකය


++++++++++++++++++++++++++++++++++++  


ගිරිහිසෙන් ගිරි හිසට පා තියා
සමුදුරෙන් සමුදුරට පිහිනලා
දුරකථන කුටියක සිරවෙලා
කෑගසා ආදරය අමුණයි "අම්මලා"



++++++++++++++++++++++++++++++++++++ 

සුළඟ ඇවිදින් කැමති විදිහට
පරාගනයට අත වනනකොට
රිසි ලෙසින් පිබිදෙන්න බැරි නම්
එපා මල් පෙති විහිදන්න කිසිවිට


++++++++++++++++++++++++++++++++++++  

තැන තැන යනෙන බඹරුනි වැට බදින්නද
එහෙ මෙහෙ පනින සාවුන් ඇද බදින්නද
යන එන සුළඟ හැපුනම දොස් කියන්නද
රහ ගුණ දන්න අය අත්පුඩි ගහන්නද ?



++++++++++++++++++++++++++++++++++++ 

හිම බැදුණු පැගිරි අත්තක
උල උලා හොට මහන්සියෙ
කෑගසා පොඩි පැටවු ඉල්ලන
ආදරේ වමාරනවාද කිරිලියෙ ?



දිය පිටක පිපි සහස් මල් වල හැඩය වින්දට සැම දිනේ
විලක් වී ඒ බෙදන සෙනෙහස මවකගේ බව අද දැනේ
විය යුතුම දේ අත් හලොත් මේ මොහොත යලි නැතේ
ගව් දහස් දුර ගෙවාගෙන දුවන් යමි ඒ මව් වෙත මගේ



++++++++++++++++++++++++++++++++++++ 

නොන්ඩි මේසෙක
ෂැන්ඩි නොකරම
බ්‍රැන්ඩි උඟුරෙන්
හැන්ඩි වූයෙමි

සන්දි බිඳගෙන
හන්ඳි ගානෙම
"සුද්දි" නැතුවම
වන්දි ගෙවුවෙමි



++++++++++++++++++++++++++++++++++++ 

හුඟක් කවියන් රෑට තනියම
සඳට ප්‍රේමෙන් ලියනවා
මමත් ඉඳහිට පාළු දැනුනම
පුරුදු කවුළුව අරිනවා.

Sunday, March 1, 2015

පියසටහන්

වෙලේ පන් නෙලන කොට මහ දවල්
හිස බිමට හරවගෙන රහසින්
අතරින් පතර බලනා එක කුමුදු
කුසුමක් තිබුණ අම්මේ,

එකින් එක පෙති විහිදගෙන
තනියමම සඳ එක්ක හිනැහී
විල් දියක් නැති වුනත් තුටකින්
නිතර ගීයක් රෑපුරා කිවුවා

එදා වාගෙම අදත් අම්මේ
නුඹත් එක්කම එකට වැටිලා
දවල්ටත් නොනිදාම සෙවනැලි
අඳින හැටි නුඹ නම් නොදැක්කා

මතක මංපෙත පෙරළලා අම්මේ
බලන්නට හිතුනොතින් දවසක
මතක් වෙයි ඒ කුමුදු මල ළඟ
නුඹේ කඳුළක කැළලකුත් තිබුණා

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...