Wednesday, May 30, 2012

***රජරට***


රජරටට හිරු නිතර රැවුවට
සිනාසෙනවා පලු වීර හරියට
බෝසත්ම ගති උරුම ගොවියන්
වියළි සුළගින් හුස්ම ගන්නවා.....

ඉඩැල්ලේ හිත් කනස්සලු නැති
කුරහන්ද සරුසාර වෙන හැටි
ගොඩැල්ලේ පස් සකස් කරමින්
රජරටින් හසරැල් නැගෙන හැටි....

දුරුතු මාසෙදි අතගාන බිම
වෙසක් මාසෙදි දෝත පානව
පොසොන් මාසෙත් ඇසල ආවම
බැතිමතුන් රජරටට වඩිනව....

කලා මින්නේරියේ දිය රැලි
නංවමින් ඉඟසුග වටා
නේක වන්නම් තාල තියමින්
පවනෙ රාවෙන් පාද තියනව....

දමා දළු සිනාසෙන කෝන්
තුරු කොහොඹ දිවුලුත්
තාම සිහිලස සදා නිවනවා
විඩාබර කම් ලෙංගතුව හොඳ...

හෙම්බත්ව හිත් දකින විට
නිරාමිසවම සමිඳු අවුකන
එදා වාගෙම මහා කරුණා
ගුණය විහිදයි කිසිත් නොඅඩුව....

බත බුලත එකිනෙකා බෙදමින්
දහඩියට මුසුවෙච්ච දිරි සවි
මිනිස් කම් හදවතින් විහිදන
සතා සිවුපාවටත් ආදරේ රජරට.....

සේල සළු පිළි වලින් සැරසුණ
සිල් සුවද දෙන රන්වැලිය....
පිං සුවඳ හමනවා මහ බෝධියේ
එදා වගේම හෙටත් රජරට.......

කලාවියෙ නුවර ඇත්තන්
ගැනම කිවුවත් මොනතරම් පද
වත්මනේ කොයිතරම් නීරස
තැනුත් තියෙනවා සබඳ හරියට....

___________________දිනිති________




සොයා එන්නෙමි සිහිලසක් සමිදේ....

Monday, May 28, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 06

      
    දෙවෙනි අයියා පැක්ට්‍රි අසලින් කාරය නැවැත්වීමටත් පෙර මා ඉන් පැන ගත්තෙමි. වෙනදාට අප්පච්චී හෝ ලොකු අයියා එක්ක පැමිණෙන මා අද දෙවනි අයියා එක්ක ආවෙ ආරම්භ කිරීමට නියමිත අනෙක් ශාඛාවේ සාකච්ඡාවකට ඔවුන් නුවර ගොස් ඇති බැවිනි. 
            
          මේ නම් පෙර පින් පල දීමක්මය. ඒ වනවිටත් දෙව්මි පැක්ට්‍රියට පැමිණි මා එකම මිතුරිය මා ඉදිරිපිට සිටියේය. පාසැලේ එකම පන්තියේ එක ළගින් වාඩි වී සිටි ඇය අදත් මගේ ළග රැදෙයි. රැකියාවක් කිරිමට ඇවැසි නැතත් අප්පච්චී මගේ තනියට ඇයටත් අවස්ථාවක් දුන්නේය.
   
 —Good morning දෙව්මි කියාගෙන මා ඇගේ අතක එල්ලුනෙමි.

    —Very good morning මොකද මේ උදේ පාන්දර කම්මුල් පපුරන්න හිනාවේගෙන......
 

    —ඇයි උඹට විතරද හිනාවෙන්න හොද.....?
 

    —නෑ ඉතිං...මේ වලව්වෙ කුමාරිනෙ.....වෙනදට නැති වෙනසක්...ඒකයි...... 

   —මේ උඹට කියන්න දෙයක් තියෙනවා.....
 

    —ඒ මොකක්ද අප්පා....කාර් එකේ එනකොට පාරෙ හිටපු කොල්ලෙක් ඇහැක්වත් ගැහුවද....?
 

    —විහිළු නෙමේ දෙව්මි. මං ඔයාට ඉස්සර දවසක් කිවුවෙ සිහිනයියා.....

    —ආ...මේ....රන්මුතු සදකිරණිගෙ සිහිනයක් වුන සිහිනද....කියමින් දෙව්මි තාලයට කිවුවේය.
 

    —හීනයක් නෙමේ හැබෑවක්... මේ අහනවකො....

    —නෑ....කියපන්කො බලන්න විස්තරේ.....
මා සියල්ල දෙව්මිට පැවසූවෙමි. අනතුරුව ඈ පුදුම වූ දෑසින් මදෙස බලා
 

    —දැං අද හවසට එනවද එතකොට......
 

    —හ්ම්....

    —ඒත් රන්මුතු...ඒක එච්චර හොද වැඩක් නෙමේ... එයා ඔයාලගෙ සේවකයෙක්ගෙ පුතෙක්. අප්පච්චි ඔයාට ඉඩ දෙන්නෑ. අපි ඔන්න ඕක අතැරලා දාමු.

    —අනේ දෙව්මි Please......සිහින අයියා හරි හොදයි....මං දැක්කා එයා එයාගෙ අම්මට සලකපු හැටි....එහෙම අයගෙ හිත හරිම අවංකයි.....මට සිහින අයියා හවසට හමුවෙන්න උදවු කරන්න දෙව්මි......

    —හරි ඉතිං දැං කට පියාගෙන ඉන්නකො. තවම උදේ පාන්දර තව පැය කීයක් තියෙනවද....? 

             එසේ කියා දෙව්මි නිහඩ විය. මම හිතෙන් සිහින අයියා මුණ ගැසෙන හැටි චිත්ත රූප මැවුවෙමි.

    අපිළිවෙල ඒ කොණ්ඩෙ....ලස්සන නිල්පාට ඇස් දෙක...සුදු මුහුණ....සිහින අයියා මගේ හිත උඩ ඇවිද්දේය. සිහින....ඔබ මගේ සිත මෙතරම් සොරකම් කලේද....?ඇත්තටම ඔහුට මා මෙතරම් වශීවී ඇත්තේ ඇයි....?මට තේරෙන්නේ නැත. මෙය ආදරයද....මට හිතාගන්නට බැරිය. එහෙත් සිහිනයියාගේ හැමදේම ලස්සන යැයි මට සිතේ. ඔපිස් කාමරයේ උන්නද කාලය ගෙවී ගියද මගේ මනසට කිසිවක් ඇතුළු වූයේ නැත. පිච්ච මලක් සේ නැලැවිල්ලේ නොකිළිටිව...නොකළැල්ව...සිහින අයියා මගේ හදවතේ ගැඹුරටම ගිලා බසියි.
    

—ඒයි රෝසමල....උඹේ කන් ඇහෙන් නැද්ද...? දෙව්මි මා කොනිත්තයි. ඇය එසේ කරන්නේ මට කේන්ති යන බැවිනි. ඒත් මට කේන්ති නාවේය.
   

 —ඒ පාර හිනාවෙනවා...ඔය ඇස් දෙකෙන් කදුළු පැනලා...ආයිත් දෙව්මි කියවයි.
 

—    දෙව්මි විහිළු නෙමෙයි...දැං දෙවෙනි හරි ඩ්‍රයිවර් කෙනෙක් හරි ඇවිත් ඇති මාව එක්ක යන්න. අනේ මට සිහිනයියා එක්ක කතා කරන්නෝනා...
 

—    ඉතිං උඹළගෙ ගෙදරට එන්න කිවුවම හරිනෙ.....අප්පච්චි මෙයා සිහින. මෙයාට මං ආදරෙයි.....තව හ්ම්...එයා නැතුව මට ඉන්න බෑ....

—    අනේ දෙව්මි...විහිළු නෙමේ...

—    ඉතිං එහෙම නම් කොහොමද....?
—    ඔයා මහ නරකයි...හොද නෑ..එසේ කියමින් මා දෙව්මිට කලින් කාමරයෙන් පිටවුනි. ඇය මට විහිළු කර කර මා පසුපස එනබව දැනුනි.
 

   —ආ...මොකද...රේස් එක ඉවරද...? පැක්ට්‍රියේ ගේට්ටුවට මද දුරක් තියා මගේ ගමනේ වේගය බාල වූයෙන් දෙව්මි අසයි. මා දෙව්මිගේ අතක එල්ලුනෙමි.
  

  —දෙව්මි...අර පාරෙන් එහා පැත්තෙ චෙක් ෂර්ට් එක ඇදලා ඉන්නෙ සිහිනයියා....
 

    —ආ...මේ ඒකද... No problem my dear.....
 

    —පිස්සු කරන්නෙපා දෙව්මි...
 

    —ආ..කවුද දැන් පිස්සු කලේ...ඔය ඉහින් කනින් දාඩිය බේරෙනවා...ආ...මගෙ ලේන්සුව පිහිදා ගන්න....කියමින් දෙව්මි ඇගේ ලේන්සුව මදෙසට දිගු කළේය...
සිත රිදුනු මා ගේට්ටුව අසල නවතා ඇති දෙවෙනි අයියාගේ කාර් එක දෙසට පියවර එසවීය. මා කාර් එකේ දොර අරින විට දෙව්මි දුවවිත්
 

    —කොහොමද දෙවෙනි අයියා.....කියමින් දෙවෙනි අයියා එක්ක කතා කලේය...
 

   —දෙව්මි නංගිනෙ...ඉතිං....ඉතිං...

    —දෙවෙනි අයියේ.....හෙට මගෙ Birthday එක. මට ඇදුමක් අරගන්න ඕන....ඉතිං මං මේ රන්මුතුට කතා කලා...එයා ඔයාලගෙන් ඇහුවෙ නෑ කියලා දුකෙන් වගේ ඇවිත් ඔය ඉදගත්තෙ.....
   

 —ඇත්තද රෝසමල....? කිසිදෙයක් හිතා ගන්නට ඉඩ නොතබා දෙව්මි මට පිහිට විය. එමෙන්ම ඇගේ උපන්දිනය පසුවී දැන් මාස ගණනකි. මා වෙනුවෙන් බොරු කිවූ දෙව්මි දෙසත් දෙවෙනි අයියා දෙසත් මා බැලුවෙමි. ඒ අතරතුර දෙව්මි මට ඇහෙන් ඉගි කලේය. යන්තම් ඔව් යැයි කීමට මා හිස සැළීය.
    —දැං කොහොමද නංගි යන්නෙ....?
    —ආ....අපේ ඩ්‍රයිවර් ඇවිත් ඉන්නෙ...අර....එසේ කියමින් දෙව්මි ඇගේ වාහනය පෙන්වීය.

        —එහෙනම් පැයකින් දෙකකින් රෝසමලව ගෙනත් දාන්න නංගි. කියමින් දෙවෙනි අයියා මගෙ කම්මුලක් සිප ගත්තේය. ක‍ෂණයකින් කාරයෙන් බැස ගත් මා දෙව්මිගේ අත තදට අල්ලා ගත්තේය. දෙවෙනි ගිය පසු මම ඇය දෙස බැලුවේය.
 

   —දැං මොනාද මං දිහා බලන්නෙ....අර ඉන්නෙ ගිහින් කතා කරපන්..මම අපේ ඩ්‍රයිවර්ට බොරුවක් ගහලා එන්නම්....

    —අනේ ....මට කියවිනි.
   

 —ඒ ගමන අනේ හුනේ ගානවද..... පලයන්....ගිහින් කතා කරපන්......
  

  —මට බයයි දෙව්මි....
  

  —ඇයි...?දැන් පණ්ඩිතයා වගේ කියෙවුවෙ සිහිනයියා...සිහිනයියා ගගා....මෙන්න මෙහෙ වරෙන් යන්න....කියමින් මගේ අතින් ඇදගෙන දෙව්මි පාරෙ අනික් පැත්තට පැන්නේය....
   

 —මං අපේ ඩ්‍රයිවර්ට කියන්නම් පැයකින් එන්න කියලා....අර බොක්ස් එකෙන් අම්මට මොනා හරි කියන්නම් කියා දෙව්මි ගියේය.
   

 —කොහොමද.....? ඩෙනිම් කලිසමට ලස්සන චෙක් ෂර්ට් එකක් හැද සිටි සිහිනයියා සොදුරුම සොදුරු විය. යෞවනයේ කඩවසම් බව ඔහු ළග ඕනෑවටත් වඩා වැඩි විය. අර ඇස් දෙක දිලිසෙමින් තිබුණි. මා ලෝභ කලේ මේ රුවට නොවේද...? මට කතා කරගන්නට වචන නැති තරම්ය. මම ඔහු දෙසම බලා හිදියේය.
   

 —ඔයාට මාව මතක නැද්ද....? ඔහු ආයෙත් ඇසුවේය. මතකයි යැයි පැවසීමට මම හිස වැනීය.
   

 —ඔයා රන්මුතු බංගලාවෙ රන්මුතු. අපේ අම්මා කියන විදිහට නම් රෝසමල. මං ඔයාගැන දැනගෙන හිටියේ නෑ නංගි. මට ඔයාව මගෙ හිතට හරියටම මතක හිටියෙ එදා මල්වත්තෙදි. ඔයා රෝසමල් මැද්දෙ රෝසමල්වලටත් වැඩිය ලස්සනට හිටියා. සිහිනයියා කියවයි. මම බෑගය කොනිත්තමින් ඔහු දෙසම බලා හිදියි. එතකොට මේ චලන ලෙස සිටියේත් සිහින අයියා නොවේද..යටි හිත ප්‍රශ්න කරයි. නමුත් සියල්ල හිත යටම තියා ගැනීමට මම සිතුවෙමි. දිවා රෑ මා වෙහෙස කරමින් මගේ තුන් සිතම පෙම් බැඳි සිහින නැති කර ගන්නට මා බිය විය...සොදුරු මොහොත අඳුරු කර ගන්නෙ ඇයි......

    මං හිතුවෙ නෑ ඔයාව ආයිමත් මට මුණ ගැහෙයි කියලා. ඒත් එදා අපේ ගෙදරදී මං ඔයාව දැක්කම මගෙ හදවතට ඔයාව ඕන වුනා. මං හිතට කිවුවා ඔයා උඩ අත්තක පිපුන මලක් කියලා. ඒත් හිත ඒක පිළිගන්නෑ. එදාටත් වැඩිය දැං හිත ඔයා ගැන හිතනවා නංගි....
   

              ඉතිං මේ ආදරයට මා පණ දෙන්නේ කෙසේද....? ඒ සිතුවිලි වලට මා පියාපත් දුන්නෝතින්...අප්පච්චී අයියලා මා හිතඋඩ එකපෙලට මැවුනි. කවියක් තරමට සොදුරුවූ සිහිනයියා හැගුම්බරව මගේ  ඉදිරිපිට හිදියි. ඇසිපිය සැලීමටත් අමතක වූ ගානට මට සිහිනයියාගේ දෑසින් දෑස් ඉවතට ගන්නට නොහිතෙයි. මගේ හිත චංචලය. රන්මුතු බංගලාවේ සිවුමහල මා ඉදිරිපිට සිනාසෙයි. වික්‍රමසිංහ පරම්පාරාව මා ගිල ගන්නට සේ බලා හිදින බව මට දැනුනි. එහෙත්...
   
 මේ මගේ හිරිමල් යෞවනයයි. මා සිතැගි සගවාගෙන කදුළු සලන්නේ කෙසේද.? නොයිදුල් ප්‍රේමයක පැටලෙන්න සැරසෙන නෑඹුල් යුවතියක වූ මා දෙලොවක් අතර අතරමං වූවාය.
 

    —රෝසමල කතා කරන්න නංගි....සිහින අයියා එසේ කියන විට මා පියවි තත්වයට ආවේය.
 

    —මන්දන්නෑ අයියා...මට කියවින.

    —මන්දන්නවා නංගි....ඔයාගෙ ගෙදර වැඩ කරලා අපෙ අම්මා මාව ජීවත් කරවන්නෙ...මට උගන්වන්නෙ...ඉතිං එහෙම අයට ද්‍රෝහි කමක් කරන්න මටත් බැරිවෙයි නංගි..
 

    පළමුවරට සිහින අයියා මට අහිමිවේදෝයි යන සිතුවිල්ල මා සිත තුළට පිවිසියේය. මහිත ගැස්සිණි. මේ මා උදේ හවා සිහින මැවූ මගේ ප්‍රෙමයයි. ඉතිං මා එයට අසාධාරණයක් කර පිටුපාන්නේ කෙසේද...?
 

    —අනේ අයියා....

    —ඒක එහෙම තමා නංගි...මං ඉපදුනේ...හැදුනෙ...වැඩුනෙ පේළි ගෙවල් වත්තක. කලින් මං ඔයා ගැන දැනගෙන හිටියනම් කවදාවත් මං මගෙ හිතට දැනෙන්නෙ දෙන්නෑ. මං දන්නවා මටග අසරණ ජීවිතේ ගාවට ඔයාට එන්න බෑ. ඔයා මන්දිරයක රාජ කුමාරියක්. ඔව් නංගි. මං කොහොම හරි ඉගෙනගෙන තැනකට එන්න බලනවා. ඒත් පේළිවත්තෙම තමයි අපේ ජීවිතේ ගෙවෙන්නෙ. 

සිහිනයියා තවත් කියවයි. මගේ හිත හොදටම හිරිවැටී ඇත.
    මම හිතට ධෛර්ය ගෙන කතා කරන්නට සිතුවේය.


    —සිහිනයියා මට ඔයා නැතුව බැරුවෙයි...මම හැමදාම හිතුවෙ ඔයා ගැන..මේ ඇත්තමයි...


           මගේ හිතට කොහන් හයිය ආවාදැයි නොදනිමි. රන්මුතු සදකිරණී වික්‍රමසිංහ ලැජ්ජා නැති එකියකි යැයි මට සිතුණි. අප්පච්චීට ද්‍රෝහී වූවා යැයි හිත කියයි. ඒත් මට මගේ ප්‍රේමය මිය යන්නට දෙන්නට බැරිය. මේසා හිත තුළ දගලන ප්‍රේමය මගේ දිගු අතැගිලි අතරින් රූරා වැටුනෝතින් මා ළය පැළී මිය යනවා සත්තමයි.
   

 —රෝසමල..මං ඔයාව රවටිට ගත්තා කියයි...ඊයෙ හවස අර විදිහට කියලා මෙහෙම ආපු එක ගැන මං දැන් පසු තැවෙනවා.
   

 —සිහිනයියා.....කියමින් මම ඒ සවිමත් අතක එල්ලුනෙමි. 
                
මෙතරම් හයියක් ලැබීම ගැන හදවතින්ම මං මගේ හිතට පිං දුන්නෙමි. ඒ සමගම අපට මදක් එහායින් අප දෙස බලා හිදින දෙව්මි දැක මගේ ඇස් ඔරලෝසුව වෙතට ගියේය. දැන් පැය එකහමාරක් පමණ ගෙවී ඇත.
  

  —යන්නම් අයියා... කියාගෙන මම දෙව්මි අසලට දිව ගියෙමි. කිසිවක් නොදොඩා ඇය මා අත අල්ලාගෙන ඇගේ කාරය දෙසට පිය මැන්නේය.

මහ වැස්සේ විදුලි කොටයි
මහ පොළවත් නිසොල්මනේ
නුඹ මට දොස් පවරද්දී
පොළව වගේ නිහඩ වෙමි......


මල වටකර කටු ගාලකි
මලත් හිනැහී පිපී වැනෙයි
මට බැන්නට අනේ නුඹත්
ඔබ මට ලෝකයක් වටී....


දුක් වින්දට දුක නොදැනේ
ඔබෙ සිනහවෙ සතුට ගෙනේ
මහමෙරකට පෙම් කෙරුවත්
මට ලැබිච්ච දෙයක් නැතේ....


______________මතු සම්බන්ධයි________________

සිටී මඟ බලා..

Sunday, May 27, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 05

                වසරක් පමණ ගෙවී යන්නට ඇත. පුරුදු ලෙස මා පැක්ට්‍රියට ගියා ආවා පමණි. මේ කාලය තුල මා බොහෝ සැහැල්ලුවෙන් කාලය ගෙවා දැමුමෙමි. වෙනසකට වූයේ චලන නම් වු සිහිනගේ අනුරුව ආගිය අතක් නැතිවීම පමණය. අප්පච්චි ඉඩ ලද හැම මොහොතකම මා කොහේ හෝ රැගෙන යයි. මද්දු අයිය උසස් පෙළ සමත්වී වැඩිදුර අධ්‍යාපනයට ඕස්ටේ්‍රලියාවට ගියේය. චුටි අයියා අප්පච්චිගේ ව්‍යාපාරවලට උදවු කලේය. දෙවෙනි අයියා තවම විශ්ව විද්‍යාලයේය.

                මැණිකෙ නැන්දා දින දෙකකින් අපේ නිවසට නාවේය. වෙනත් සේවකයින් හිදියද මැණිකෙ නැන්දාට දන්නදා සිට මා හිතවත්ය. එමෙන්ම මගේ සියළු කටයුතු කර දුන්නේ ඈය. අප්පච්චිට මේ බව මා කීවිට අප්පච්චි කීවේ හෙට මැණිකෙ නැන්දා බලන්න යමු කියාය. කොතරම් වත් පොහොසත් කම් තිබුණද අප්පච්චිගේ මේ නිරහංකාරකමට මා ලැදිය.


               අද ඉරිදා දිනයක්ය. අප්පච්චිට එතරම් වැඩ කටයුතු නැත. උදේම මුහුණ සෝදා කහපාට දිග සායට සුදුමල් හැට්ටය ඇදගත් මා පොනිටේලයක්ද දමාගෙන අප්පච්චිගේ කාමරයට ගියේය.

—මගෙ මැණික උදේම....ඇයි පුතේ....?

—අනේ අප්පච්චි මැණිකෙ නැන්දා බලන්න යන්...මට පාළුයි....

—මට අමතක වුනා පුතේ...විනාඩි දෙකක් දෙන්න...එසේ කියාගෙන අප්පච්චි තුවාය අතට ගෙන බාත්රූම් එකට ගියේය.
මම හෙමින් සැරේ පඩිපෙළ බැස සාලය දෙසට ආවේය.

—සුරංගනාවියක් වගේ ....උදේම කොහෙද රෝසමල යන්නෙ...චුටි අයියා ඇසුවේය

—මැණිකෙ නැන්දලාගෙ ගෙදර...

—ඔයා යන්න ඕනිද රෝසමල...කාවහරි යැවුවනම් හරිනෙ...

—කමක් නෑ චුටි පුතේ මගෙ මැණිකගෙ ආසාවනෙ....ඇරත් ඒවගේ තැනුත් තියෙන බව රෝසමල දැන ගන්න එක හොදයි...එසේ කියමින් අප්පච්චි අවේය.

            අප්පච්චිගෙ ඉන්ටර්කුල එක හෙමින් හෙමින් නාරාහේන්පිට දෙසට පැදවීය. ඊටපසු අතුරු පාරකින් දමා පුංචි පුංචි ගෙවල් තියෙන පැත්තකට හැරවීය.

—මේ කොහෙද අප්පච්චි...? මැණිකෙ නැන්දා ඉන්නෙ මෙහෙද....?

—මේ හරියෙ නැතිබැරි අය ඉන්නෙ හුගක්. ඒකනෙ මං උදේ චුටි අයියට කිවුවෙ මේවගේ තැනුත් තියෙනවා කියලා ඔයා දැන ගන්න ඕන කියලා.

           අපේ වාහනය ඒ මුඩුක්කු නිවාස දෙසින් යනවිට පුංචි ළමයි කෑ ගසමින් අපේ වාහනය පසුපස ආවේය. එය මට අළුත් අත්දැකීමක් විය.

—මැණිකෙ නැන්දට වෙන තැනකින් ගෙයක් හදලා දෙන්න තිබුණනෙ අප්පච්චි...

—ඔව් මගෙ මැණික. එත් ඒ කාලෙ ඉදන්ම මැණිකෙ නැන්දා ඒකට කැමති වුනේ නෑ....

—ඒ ඇයි....

—එයාගෙ පුතා ඉගෙන ගෙන හොද තැනකට ගේන්න නම් මෙහෙම ඉන්න ඕනලු...මඩේ පිපෙන නෙළුම අමාරුවෙන් උඩට එනවා වගේ එයාගෙ පුතාවත් මේ වත්තෙන්ම ලොකු මිනිහෙක් කරනවලු.

—හරි පුදුමයි නේද අප්පච්චි....

—එහෙම මිනිස්සුත් ඉන්නවා පුතේ....

     හතරැස් පෙට්ටියක් තරම් නිවසක් ඉදිරිපිට අප්පච්චි වාහනය නතර කලේය. ඉදිරිපස කිසිවෙකු පෙනෙන්නට නොසිටිය බැවින් අප්පච්චි වාහනයෙන් බැසීමට සැරසුනි.

—පුතා ඉන්න ඇතුලෙම මං කතා තරලා බලන්නම්....

—නෑ අප්පච්චි මාත් එන්නම් කියමින් මාද බැස ගත්තෙමි.

        සාලයට,කුස්සියට, කාමරයට මේ සියල්ලටම ඇති නිවස මැද කොටසේ තිබුණ ඇදක් මත සිටිය මැණිකෙ නැන්දාව මදක් ඔසවා කිසිවෙකු විසින් යමක් පොවනු මා දුටුවෙමි. මේ මැණිකෙ නැන්දාගේ පුතා වන්නට ඇතැයි මා සිතුවත් ඔහු අපට පිටුපා සිටි බැවින් මුහුණ නොදැක්කෙමි. අප්පච්චි දොරකඩ සිටම සපත්තුව හඩ නැගෙන්නට සද්ද කලේය. අප්පච්චිගේ අඩ් සද්දයට අර පිරිමි ළමයා හැරී බැලුවේය.


             දන්නවද....අද නම් මගේ ඇස් වලට බොරු කර ඔබට පැන යන්නට බැරිය. එදා චලන නමකින් හිටියේ ඔබ කියා මගේ හිත විශ්වාස කරයි. ඔව් සිහින ඔබට තවත් මගේ හිත උඩ සිහිනයක් වී ඇවිදින්නට දෙන්නට බැරිය. මේ සිහිනයේ අයිතිකාරයා සැබෑවක්ම විය යුතුය. නැවත අතරැදි ලේන්සුවෙන් ඇස්දෙක පොඩිකර මම ඔහු දෙස බැලුවේය. මේ ඔහුම නොවේද...? එදා වාගේම මද හසරැල්ලක් රදවා අප ඉදිරියට ඔහු ආවේය.

—මේ කවුද..? අප්පච්චි ඇසුවේය.

—අම්මට හොදටම උණ හැදිලා. රන්මුතු බංගලාවෙ හාමු මහත්තයා නේද...?

—එතකොට මේ මැණිකෙගෙ පුතාද...? දැං ඉලන්දාරියෙක්නෙ....කොහොමද පුතා අම්මට...?

—දැං ටිකක් අඩුයි.වෛරස් උණක් මහත්තයා. ඛෙහෙත් බොනවා.

—මේ සල්ලි ටික අම්මට දෙන්න....මොනාහරි ඕන උනොත් කියන්න පුතා. එසේ කියමින් අප්පච්චි මුදල් නෝට්ටු කිහිපයක් සිහිනයියා අත තැබුවේය.

—එහෙනම් පුතා අපි යනවා. අම්මට හොද වුනාම එන්න කියන්න...මේ මගෙ මැණිකට පාළුයිලු...අපි යන් පුතේ...එසේ කියමින් අප්පච්චි යන්නට ආපසු හැරුණි..

—අප්පච්චි මං මැණිකෙ නැන්දත් එක්ක කතා කරලා එන්නම්....

අප්පච්චි සිනහාවී ඔළුව වැනුවේය.
 

       මම අඩියට දෙකකට මැණිකෙ නැන්දාගේ ඇද අසලට ගියෙමි. මා දැක නැගිටින්නට හැදුවද අපහසුවූ මැණිකෙ නැන්දාට සිහිනයිය කොට්ටයක් ඇද විත්තමට හේත්තු කර දුන්නේය.

—රෝසමල...ඔයාට මේවා පුරුදු නැහැනෙ...මං හොදවුනාම එන්නම්...දැං ආපහු යන්න රෝසමල...

       මට ඇවැසි වූයේ සිහිනයියාගේ දෑස තුළ රැදෙන්නටය. සිහිනයක් වී තිබූ සිතිවිලි දැන් හිත උඩ පොර බදියි. ඒ බව කියා දෙන්නේ කාටද....මේ කිසිවෙකුට එය තේරෙන්නේ නැත. නැවත වරක් ජීවිතයට මුණ ගැසුණු මේ අපූර්ව මිනිසාව මග හැරෙන්නට දෙන්නට බැරිය.

—මේ වගේ තැන් රෝසමලට ගැලපෙන්නෑ රෝසමල....
ආයිමත් මැණිකෙ නැන්දාම කතා කරයි...

—හො...හෝ...මෙයාද අම්මගෙ රෝසමල....

        සිහින අයියා එසේ කියමින් සිනහා විය. මගේ හදවත සැලින. මං යන්නම් කියාගෙන කිගිට්ටේය..

     අප්පච්චී ගාවට දුවන්න හදන විට ඒ අඩි කිහිපය අතරතුර සිහින අයියා මට ඇහෙන හෙමින්,


—රෝසමල...හෙට හවසට ඔයාගෙ පැක්ට්‍රිය ළගට මං එනවා... කියා කිවේය.

දිග හුස්මක් ගත් මා දුවවිත් අප්පච්චීගේ අතක එල්ලුනෙමි. අප්පච්චි වාහනයට යන අතරතුර

—පුතාගෙ අත හීතල වෙලා....යාට හිරිකිත හිතුණද මගෙ මැණික....

—නෑ අප්පච්චි....

එසේ කීවද මගේ දෙතොල් සැලිණ. මා සීතලවී ගොස් ඇත්තේ සිහින අයියා කී දේටය. අප්පච්චීට මගේ පුංචි වෙනසත් දැනේ. ඔහු හිතන්නේ මා මේ මුඩුක්කු ගෙවල් පිළිකුල් ලෙස හිතුණ බවයි...

—මගෙ මැණික ලෝකෙ ගැන දන්නෑ...පොළවෙ පය ගහලා ඉන්න නම් මේවගේ මිනිස්සුන්ගෙත් ජීවිතවලට එබිලා බලන්න ඕන...ජීවිතේ ගැන ටිකක් දැන ගන්න තමා මං මැණිකව එක්ක ආවෙ ඕන...

        එසේ කියමින් අප්පච්චී වාහනයට නැංගේය. මාත් අප්පච්චී අනුව අනෙක් පසින් වාහනයට නැග ගත්තේය. ආපසු එන්න සැරසෙන මොහොතේ මම නැවතත් මැණිකෙ නැන්දාගේ ගේ දෙස බැලුවෙමි. සිහින අයියා අර සුපුරුදු මද හසරැල්ල දෙතොල දරාගෙන දොරකොඩට වී බලා හිදියේය.


        නිවසට ආපසු මා හනිකට මගේ කාමරයට වැදී ඇද උඩ පෙරළුනෙමි. දැන් මට සිතන්නට බොහෝ දේ ඇත. 


          එදා මල්වත්තේදී දුටු සිහින අයියා මැණිකෙ නැන්දාගේ පුතාය. ඔහු මෙපමණ කාළයකට මගේ ඇස ගැසුනේ නැත. එමෙන්ම මැණිකෙ නැන්දාද ඔහු කිසිදිනක මෙහි කැදවාගෙන නාවේය. මැණිකෙ නැන්දා පේලි වත්තේ නෙළුමක් කරන්නට වෙර ගන්නේ සිහින අයියාව බව අද මම දැන ගත්තෙමි. අද නම් චලන වී දෑස් රවටා පැන යන්නට බැරියගඒත් මේ අපූරු පිරිමි ළමයා මගේ හිතේ බොහෝ ඉඩකඩ ගෙන තිබුණි. අද මගේ මුළු හිතම ඔහු ගත්තා සේය. 


එහෙත් මෙතරම් ඉඩක් මා ඔහු වෙනුවෙන් වෙන්කරගෙන හිටියාද....?

එහෙත් සිහින අයියා ගැන සිහින දකිනවා ඇරෙන්න මට ඔහුට ආදරය කරන්නට ඉඩක් ලැබේවිද...?

අප්පච්චීගේ අයියලාගේ මේ ආදරය මට නැතිවේද...?

සිහින ඔබ මෙවෙනි තැනක අයෙකු වූයේ කෙසේද...?

ඔබේ පෙනුම මුඩුක්කු නිවසක දරුවෙකුගේ පෙනුම නොවේය...
රන්මුතු බංගලාවෙ දෝනිට ආදරය අකැපද...?

මා දන්නේ නැත...

එහෙත් මගේ සවන්පත් තුලට රිංගා කතාකල ඒ ආදරණීය හඩ මට මිහිරක් ගෙනාවේය...ලස්සන නිල්පාට ඇස්දෙක මට නොයෙක් දේ කීවේය...දෑස් තුළ කියවුන ඒ ආදරණීය කතාව මා කෙසේ අමතක කරම්ද....?

සිල් ගත්ත සඳවතක
සිල් බිදෙන හීනයේ
සියල් සිරි කැන්දන
සිහින ඔබ නම් අපූරුය....

මේ යැයි කියා නොදැනෙන
ප්‍රේමයේ අමිල වත්කම
මිටින් මොලාව ගනිම්දෝ
ඈත ඈතට විසිකරම්දෝ...

එපා වෙන්නැති සසර ගමනක
ආස හිතෙන ඇස් දෙක ළග
භවුන් වඩමින් නවාතැන් ගන්න
වරම් නම් ලැබේවා රෝසමලකට.....




-----------------මතු සම්බන්ධයි------------

Saturday, May 26, 2012

මේ කවිය ඔබට,



පියාසර කරමින් විශ්වයම
සොයා නෙක රස මුසු තැන්
එකම ගීයක් ගය ගයා මිහිරිව
සිනාසුනු කිරිල්ලිය ඔබ නේද....

සැර සුළන් මුහුඳු බඩ
ගසාගෙන හරහට අත්තටු
පාවෙලා යද්දි තැන තැන
දේස දීපංකරේ ඇවිද්දේ ඔබ නේද.....

වැදෑමහ දිගේ එල්ලීගෙන
යටි බඩම හූරගෙන ආ උන්
සුරැක්කේ කූඩුවේ හංගගෙන
එකම රන් කිරි නොමකිරා දී නේද.....

තටු පෙගුන මුරුගසන්
කඳුළු වරුසාව මැද
දෝත පා සීතලෙන් ගැහෙන උන්
තටු යටට ගත්තේ ඔබ නේද.....

සංහිඳක මහ නුග ගසක රැකවල්
අහිමි වුන දා වටකරන් පොදියෙ
කොටන කපුටන් එළව එළවා
ගී කියන්නට හුරු කළ කෙවිලියම නේද.....

සත් පත්තිනි වරම් අරගෙන
තුන් තිස් කෝටි දෙව් බැල්ම හෙලාගෙන
උඩු ගං බලා පිහිනමින් දියඹ දිරියෙන්
ගිම් නිවාලන්නට නොසිතුවේ ඔබමයි නේද....

යටි ගිලිණු මහළු නෙත් තවමත්
නොපියා විමසුම්ව
සෙත් පිරිත මතුරන
උත්තම මහේෂිකාව ඔබම නේද.....

මා වශීවුන තරමක්

නින්දත් නොනින්දත් අතර
ඇස් පැටලෙන යාමයක
ඈතින් විසිල් හඩක්.....

මේ පොසොන් සඳ
මුදුන් වෙන්නට යන
ගමන් මඟෙ මුල්ම හරියයි...

අවාරෙට පිපෙන කඩුපුල් මලක
සුවඳ නාස් කුහරය ඉව කරමින්
තව මොනවදෝ හොයන....

රස්තියාදු තාරුකා මඩුළු යට
නන්නත්තාර වෙන වළාකුළු
සුළග ඩැහැගෙන යන වෙලාව...

හීතලට පිනි බිංදු හිනාවෙන
තණපත් අගට පුරුදු ලෙංගතු
හාදු තවරන අපූරුම සුයාම...

තුරුහිස් කෙළවරක ගී ගයන
බකමූණන් එක්ක වවුලන්
ඕපදූප දොඩවන නිශායම....

එක දිගට බුරන බල්ලෙකුට
තරවටු වක් දැමූ හිත
ආයෙමත් විසිල් හඬට සවන් දෙන....

සිරි සිරියෙ සේපාලිකා ගහ
මල්වර වෙච්ච නැවුම් හිනාවෙන්
ලෝකයම පුබුදන මැදියම....

දුටු නොදුටු පැටලුන සිහිනයක
ගිම්හානයේ අන්තිමම දවසක
ඔබ ගැයූ ගීතයයි ඒ විසිල් එකකින්.....

.....අනේ මා වශීවෙන තරමක් අදටත්.....

_______________දිනිති_____

Saturday, May 19, 2012

_____ඉඳි ආප්ප අම්මා_____

කෑගහන බට්ටන් නැති පැල්පතක
අලුපාට අලුයම ඇස් වලින් මැන
හදවතේ සුසුම් පොම්පෙන්
අළු පිරුණු ලිපට පිඹින්නී.....

උණුසුම් සෙනෙහසේ

කේඩෑරි දෑත
එකම සළුපිලියෙ
පරවෙච්ච මල් චීත්තයේ
පිස පිස සැරසෙන්නීය.....

කඳු පිටින් ගොඩ ගැහුනු

හද පැතුම් මල් පාත්තියම
අපිරිමිත විරිය පාරමිතාව ගෙන
ගැහි ගැහී මිරිකන්නීය.....

බුර බුරා නැගෙන ගිනිදැල් මැදින්

පැන පැන නටන ගස් මුට්ටියට
කට බැදපු රෙදි තාප්පෙට උඩින්
බලාපොරොත්තුවේ පෙර නිමිති
සීරුවෙන් සීරුවට අසුරවන්නී.....

ඇත් රජිඳු අහිමි ගෙපැලක

කුසගිනි සුළි සුලං කුණාටුවකට
ගිරි කුලක් සේ සවිමත්ව
දෙපා මහ පොළව මත තබන්නී.....

දළු දමන තුරු පෙර පෙර නිමිති

කහට කෝප්පය ගෙන
වියලි දොතලගින් රසවිඳ
සිහිල් දිය කොඳු පෙලට විද විද
කුස පොත්ත තවන්නිය.....

එකින් එක දෑස් දල්වන්

පිපී හිනැහෙන වතින්
අසුරවාගෙන කාඩ්බෝඩ් පෙට්ටියක
පේලි ගෙවල් මැදින්
කඩ පිලට දුවන්නී......

ඉර මල බිම සිඹින්නට එනවිට

තුරුළු කරගෙන දෑතට
අහස සිඹි කිරි පිටි පැකැට්ටුවකුත්
ලහි ලිහයෙ ආ මඟම
මීටර සියය දුවන්නිය.....

තව තවා මල් කැකුළු

පොවන්නට සිප් කිරි
මතුර මතුරා සෙත් කවිය
ජීවිතය ළග වඳින්නිය.....

සැර දමා මහන්සියකට

මඟ ගෙව ගෙවා දිවි හන්දිවල
හමුවෙනා තුරු නිවන
ඇය පාරමිතා පුරමින් ඇවිදින්නියය.

...තාත්තලා...

අම්මේ,

තාත්තා ගැන නම් දුකය

මහවැලිය තරම් දිග කදුළුය
ගං ඉවුර සේ අපි නිහඩය
ඒත් තාත්තා නම් පව්ය.....

ලාබයි ලාබයි කියා පොලේ

හේලෙ හෙලෙයි මහ මූදේ
බෝරේ යැයි කෑ ගෑවේ
තාත්තාය ගහෙන් ගහේ......

ගඩොල ගඩොල බිත්ති දිගේ

සුක්කානම මහ පාරේ
වාසනාව වාසනාව පාර දිගේ
තාත්තාය පෙනෙන තැනේ....

වෙද නලාව සුරත තියේ

පෑන් පාට වෙනස් අතේ
ඇදුරුතාමා විදු පියසේ
තාත්තාය සිහින වුනේ....

ගහට පොත්ත විලස ලොවේ

බීජ තනන සෙනෙහෙ ඔබේ
සුභ දසුනක් දාර සෙනෙහේ
තාත්තාය දස අතේම....

නිහඩ වෙච්ච මුව කමලේ

බුරා නැගෙයි හද ඇතුලේ
ලසෝ තැවුල් සිර කෙරුවේ
තාත්තාය දුක් ගත්තේ.......

_____දුක දැනුණ දුව_____

Thursday, May 17, 2012

_____ කළුවරක සෙවනැල්ල_____



ඇලවෙලා සඳ කන්ද පැත්තට
ගෙපැල එළියෙන් වහනවා
නැවතිලා සෙවනැල්ල අසලක
රිංග ගන්නට බලනවා....

කොහේදෝ යන වනචරම නල
වලා සළුපිළි ගන්නවා
ආකහේ යට එකම තැනකදි
කැණි මඩලෙ සවි ‍බිදිනවා.....

හීතලමෙ වෙව්ලමින් තරු කැකුළු
කුරුළු ඇස් පොඩි පියනවා
රාහු ළග සඳ පුරුදු පරිදිම තවත්
වෙලෙමින්ම ඔහෙ ඉන්නවා.....

කිසිත් නොවු ලෙස කලුවරෙම සඳ
උරහිසේ බර හෙලනවා....
ගෙපැල දොරකඩ හෙටත් අලුයම
දිනුදු පෙර ලෙස වඩිනවා......

Wednesday, May 16, 2012

ඔබ හිරු නේද..?

මේ වෙන්ව යාම නපුරක් නොවෙද
උන් තවම නුඹව සොයනව සොදුර
රූ හිනැහෙන්නේ සඳතරු එකට
උන් එළිය වින්ද දිනකර නේද......

කැණි මඩල අපේ සවි නැති බිත්ති
පුපුරා ගියෙ අපිටත් නොදැනි
ඇස් බැදන් කිරපු තරාදි පඩිය
අද දන්නේ නෑ කදුළැලි බරම...


ආදරයෙ අපුල සිදුරක් වුවද
ජීවිතයෙ කරුමෙ මුන්ටම නේද
යලි හදා ගන්න පුලුවන්නම් වරද
මේ පැටවු ඉතින් අපෙමයි නේද....

( 1වෙනි කවියෙ 03 වෙනි පේලිය වෙනස් විය යුතුයි. ඒකයි යුනිකෝඩ් විදිහටත් දැම්මෙ. )

Tuesday, May 15, 2012

_____කළුතර බෝ සමිදු ළගඳි_____



සමනල සිරස වැඳගෙන
අන්තිමට දෑත ගෙන
සාධු නාදය දෙන්නෙ
මෙතනට තමයි කළු ගඟ.....

අර ඉස්සි ඉස්සි බලන
නිල් සමුදුර
රැකවල් දාගෙන
පිරිත් හඩ අහන්නෙ
උදේ පාන්දරට මෙතනදි තමයි....

පාන්දර පහ වෙන්නත් කලින්
උදෑසන පන්සිල් ගන්න
මළුවෙ හැම තැනම
අමදින්න
වැඩ බෙදා ගන්න
කුරුල්ලො එන්නෙ
මෙතනට තමයි....

අලුයම 5.50 දුම්රිය
මුලින්ම
නමස්කාරය කියන්නෙ
සද්දෙට පඩුරු දමලා
මේ පටන් ගැන්මෙදි තමයි....

හඳිස්සියෙ වුනත්
තම පෙම්වතිය
මඟ ඇරෙයිදෝ
කියන බය
පපුවෙ තියාගෙන
කොන්දොස්තර මහත්තුරු
අධිවේගී දිවීම
පටන් ගන්නෙ
මෙතනදි තමයි....

ඒ විතරක් නම් කමක් නැහැ
අර උතුරු පැත්තෙන්
අයියලා දෙන්නෙක්
අත්වැල් අල්ලගෙන
යකඩවලින්ම......
හැමදාම ඇතුල්වෙන අය දිහා
ඇස් උලුප්පාගෙන ඉන්නෙ
හිතුවක්කාර නපුරු අය ආවොත්
දඩුවම් දෙන්නම තමයි.....

ඒ කොහොම වුනත්
විසේකාර සුළගත්
ශාන්තව සිල් ගන්නෙ
නිරාමිස සැනසුමට හුස්ම
ඉහල පහල දාන්නෙ
හිස බිමට පහත් කරන්
කීකරුව මෙතනදි තමයි....


මේ හැම දෙනාම
මේ තරම් සන්සුන්ව
බැතිබරව වෙන්නෙ
කළුතර බෝ සමිඳු ළගදි තමයි.......

Friday, May 11, 2012

....පිටරට සිහිනේ....

පෙරලි පෙරලී ඔය නටන
ඇස් අහකට ගන්න
කෝ ඉතින් හසමලක්
මට දෙන්න මොහොතකට

" ද " යන්නට නිදා ඉන්න
පුතු අවදි නොකරන්න
" ස " යන්න වාගේම වසාගෙන
අපෙ දූව රැකගන්න.....

පනිනකොට කළුවර වැට
කොඩොල්ලෙන් හැමදාම
උණුසුමට එක පොඳියෙ
ගුලිවෙලා හිනැහෙන්න.....

3.20 ට ෆ්ලයිට් එක මට
තව ටිකක් සොදුරියේ
එන්න දැවටී ළග ඉන්න
සුවඳ තවරා ගන්න....

හිනාවෙන බෝනික්කියක්
ඉගිල්ලෙන කාර් එකක්
එවන බව පවසන්න මම
සතියකින් දෙකකින්ම....

යටි පතුල් කටු ඇණෙන ගේ ඇතුලෙ
දිලිසෙන ටයිල් පොඩ්ඩක් අල්ල ගන්න
දුම් පිඹ පිඹම අළු මැද්දෙ උයන නුඹෙ
කුස්සියට අලුත් පෙනුමක් කැන්දන්න

හැමදාම පාට දෙකකින් දකින
රූප පෙට්ටියෙ දේදුන්න තවරන්න
ගේ වටේ අරන් ඇවිදින වයර්ලස් එක
ඩුම් ඩුම් හඩින් සද්දෙට අසාගන්න

තවම ඉර හඳ තරු පෙනෙන වහලයට
ස්ථිරව බදාමෙන් කොන්ක්‍රිට් කරගන්න
කොළඹවත් නොගිය වයසක මව්පියන්
දඹදිවට යවා පොඩ්ඩක් සනසන්න.....

තව තියෙනවා සොදුරියෙ මහ හුගක්
අහස සිපගන්න සිහින වැල්
ඉතින් දුරු රට ගිහින් මම එනතුරා
සැනසුමෙන් නුඹ ඉන්න

කෝ දෙන්න ඔය වත කමල
ඇබින්දක් සිපගන්න
මගෙ මැණිකෙ පන නල නුඹලමයි
කෝ ඉතින් හිනැහෙන්න.....

******************

කප්පරක් හීන පොදි කර තියන්
අහස් යානයෙ ආවා තමයි
මඟ දිගට ඇපල් වතු දොඩම් වතු
කටින් මැවුවේ ඒජන්සියේ උන් තමයි

දිව ගිලෙන ගිනි අවුවෙ හාමතේ
තවම අන්දුන් කුන්දු වුන හැඩයි
උතුර දකුණත් මාරු වී දස අතේ
යන්න මඟ නොම දන්නෙමයි.....

මුවා කර මුළු ලොවෙම ඇස්
රිංගන්න වුනේ ඩිකියට තමයි
වාහනේ පන්නලා බව බෝඩරය
වැටහුනේ බහින්නට කිවු විටයි.....

දැන් ඉතින් රිසි දෙයක් තමුන්
කරගන්න කිවුවෙත් උන්මයි
අනේ සොදුරියෙ ජිවිතේ මේදැයි
මම දැක්ක සිහිනය ගැන හිතෙයි.....

තුරුල් කරගෙන රෙදි පොට්ටනිය
ඉන්න විට සුදු පොලිස් මහත්වරු
ඇවිත් එක්කන් ගියේ කොහෙදැයි
වැටහුනේ අන්තිමට කූඩුවට වැටුනමයි................

දැන් ඉතින් මක් කරන්නද ‍සොදුරියේ
දහ අතේ හිතනවා පිස්සුවෙන් වගෙයි
අනේ මං ගැන හොය හොයා නුඹ
දුවනවා ඇති වැලහින්න මඟ තොටේ.........

Thursday, May 10, 2012

...කුලී රියදුරුගෙන් තම බිරිඳට...

හන්තානෙත් පීරා එන
සිහිල් සුළග හිග වුනාම
සංසාරේ බොහෝ දුකයි
වන්දනාවෙ අපි ගියාට.....

අඬන එකී කැහැටු පපුවෙ
තියා ගනින් සීදේවී
නොරටු පුදන කිරි පිටියෙන්
මුවා කරන් සීදේවී......

ගිනි අව්වක් නොදැනුනාට
පිච්චෙන්නේ හිත
ආවට මේ දුර තනියම
වද දෙන්නේ හද....

කාසි අහුරු සිදාදියෙන්
ගමට පටව එවන්නේ
හිගා නොකා කෙලී තියන්
සීදේවියෙ සැනසෙන්නේ...

නොකා කාපු හිස් බඩටම
වතුර නලෙන් පිරෙන්නේ
අඩක් වැසෙන නෙත් අසලට
උඹයි කෙලියි එබෙන්නේ.....

මුදලාලිගෙ හයර් වලට
නැහැ යහමින් ගෙවන්නේ
ලබන මාසෙ ගම එන්නට
වැඩිපුර නිදි මරන්නේ......

පිනයි පවයි මෙයයි කියා
හිතාගනින් සීදේවී
පුරපස නම් මුවා වුනත්
අවපසවත් බලාවී.....

ටීක් බෝල වගේ ඉතින්
නොකර විසල් ඔය ඇස්දෙක
පාර බලා නොඉද දැන්ම
නිදා ගනින් සීදේවී.....

මතක ඇතුව අලුයමින්ම
ලියා එවන් ගම විස්තර
අඩිය පෙනෙන නුඹේ හිතට
පිරුණු සෙනෙහේ ඇත තවරා.......

Tuesday, May 8, 2012

සහෘදම අසල්වැසියා.



එකම බත් මුට්ටිය නොඉදුනත්

පතට නම් හුවමාරු වෙයි
කියාගෙන සුළගටත් රහසක්
සුවඳ හමමින්ම ව්‍යාංජන....

ටිකක් හිර වෙච්ච ගවුමට
අල්පෙනිති රිදුම් ඇයි
දුව ගොසින් සෙනෙහසින්
ගනියි අල්මාරියෙ තමන්ගෙම ලෙස......

මඟුල් ගෙය ඇති විටදි
කතා බහ කරමාල
සිනාසෙයි ගෙල වටේ
නැහැ වෙනස බිල්පතේ නම ගම.....

හිලව්වක් ඉලව්වක් ආව විට
දෑත පටලා එකට යයි
පිඹගෙනම නෑදෑයො පරදවා.....

රිඳුම් දෙන විටදි නොන්ඩියක් ගසා
දෙපතුලුත් පිරිමදියි එකම කදුළක්
බෙදාගෙන සම සමව.............

සදන්නට සිතාගෙන දැම්ම විට
අලුත් ගෙබිමක් නැවුම් හසරැල් පතා
අබත් නැහැ පුපුරන්නෙ කීරී ගැසෙනා
සිතුවිල්ල දැවටිලා හද කොනේ...........

සන්තකය වුව සින්නකර
දුවයි මීටර සියයෙ වේගෙත් අභිබවා
එක නැට්ටෙ දෙහි ගෙඩි සොයා....

බෙදනවා නොබිදෙනම සෙනෙහසක්
ලියා බිත්තර කට්ටෙ
අසල්වැසි ප්‍රේමය.......
වැට මායිමෙන් පන්නලා
ජප නූල වළලනවා තඹ තහඩුවෙන්
නොමැකෙනා තිළිණයට.
 

Monday, May 7, 2012

_____යථාර්ථය පැහැදුනා_____



මම හදපු කූඩුවට
ඇන්නා නොවැ
පෑනකින්
ඉරිසියාකාර මනුස්සයෙක්...

‍කදුළු බිඳු වැටිලා
තෙත් වුනා
සව්කොල....

හිනා වුන බට කෝටු
නිරුවතින් ඇඹරිලා....

ආයෙමත් අන්දන්න
ගවුම් නෑ රට ගෙදර............

තදින් අත් අල්ලගෙන
රබර් පටි සීරුවෙන්
ගැහි ගැහී කියනවා
නොරිදන්න කියාලම....

බොඳවෙච්ච ඇස් දෙකෙන්
පිරිමැදිමි සියොළගම කූඩුවේ.....

නොවී අමනාප දැන් ඉතින්
හැංගෙන්න කිවුවා
නොපෙනෙන්න......

දුර වෙච්ච සසර මඟ
නොහිමිකම කියා දී
හැංගුනා කසල ගොඩෙ
ලෝ දහම පසක් කර......

Saturday, May 5, 2012

...සඳ දිනුම්..

කිවිසුමක් ගිය විටදි තරුවට
ලොකු කරන් ඇස් දෙකම සඳ
බලන විට අද තද කළුවරට
කොනිත්නවා සුළග හරියට.....

තලා අත්පුඩි තුරුලිය එකට

ජයගොස නගයි සතුටින් ඉපිල
විරිත්තාගෙන තරු පොකුරු
ඇඹරෙනවා අර ගඟනත මැදක

සිහිසුන්ව වැටීලා අද පොලවට
එල්ලිලා උන් වවුල් රෑනම
ඉස්සිලා අඩියක් දෙකෙක් හෙමිහිට
බලනවා වලාකුළු මග හොදට.....

සිල් ගත්ත වැලි කැට බිමක
මෙත් වඩයි තව නෙත් වසන්
ඉසින විට පිනි බිදු දෙක තුනක්
රව රවා අඹරට බලයි ඒ නෙත්.....

කනා මැදිරියො එක මැදට වී
කතා කරනවා අර සියළු විස්තර
වැඩට ගොස් උන් බකමුණො
ඇවිල්ලා අද ලහි ලහියෙ ආපසු....

එකම හුස්මට දුවගෙනම ඇවිත්
දුර පැනපු සඳ ජය අරන් අද
මිනිස් කැල බිම සිටන් දැන්
වඳිනවා අර සාදු කියමින්.....................


*** ආදරණිය අම්මේ ***


වෙනදා වාගේම අලුයමම පිබිදී
උතුරු සළුවත් අරන් ඔබ පිය නගා
රකින්නට අට සිල් පන්සලට ගියාද..?

හීතලට කෝල කමින් සිප ගන්න

දඟකාර සුළගත් බෝ මළුවෙ
සිල් ගත්තා සේ දඟ නැතිව ඉන්නවද..?

එක පෙළට ඇදෙන කුහුඹුවන් පෙල
වගෙම මුළු ගමම අද උදෑසන
බුද්ධ පුජාවත් අරන් ආවාද...?

ධර්ම ශාලාවේ කොනක හිඳගෙන
බණ දහම් අසන විට පොඩි හාමුදුරුවො
ඉස්සරම වගෙ ඈත දුවන හැටි පේනවද...?

හැරමිටිය අරගෙන ආව ගිය සීයලා
අදත් වෙනදා වාගෙම පන්සලට
ඇවිත් බණ කතා පොඩි අයට කියනවද....?

විහාරය පිටිපස්සෙ අර ලොකුම
ඇඹරැල්ලා ගසට අපි වගෙම තව
පුංචි උන් පොලු ගසා ගෙඩි කඩනවද...?

සිය ගණන් මල් වට්ටි සකසලා
තව පරපුරක් වෙහෙර වටෙ චෛතය
සරසලා මුතු සිනහා පානවද....?

සිත් මඩලෙ හැමදේම හංගගෙන
නන්නාදුණන රටට පායන සඳ දිහා
බලාගෙන හිතින් ගම ඇවිත් යන්නද...?

***දිනිති***
05/05/2012

Friday, May 4, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 04

     රැය පුරා නින්දත් සොරා ගන්නට සිහින ඔබ ඇවිත් තියෙන හැටි...මේ බොර පාට පිරිමි ඇස් දෙක මායාකාරීව මා සිත කීරි ගස්වා යන්නේ නොවෙද... සංසාර මංපෙතේ හිත පුරා ආල බැඳි බවක්වත් තිබෙන්නේද..?
 ආදරණීය සිහින...මේ චිත්තාවලියට පන දෙන්නට මට බැරිය. එහෙත් ජීවන ගීතයේ නොදන්නා තනුවක් ගැයෙන බව නම් මා හොදාකාරවම දන්න්නෙමි..නමුදු මුල මැද අග මට පටලැවිලි සහගතය.....


නන්නත්තාර සිතුවිලි වලින් ඇදේ එහා පසටත් මෙහා පසටත් පෙරලි පෙරලි මුළු රාත්‍රියම ගත කල මම අලුයම මුහුණ සෝදා ඇදුම් ඇදගෙන පහලට බැස්සේය....

Good Morning රෝස මල.......


අප්පච්චී සාලයේ ලොකු පුටුවේ වාඩිවී උදෑසන තේ එකත් බොන ගමන් අතැති පත්තරයෙන් නෙත් ඔසවා කීවේය.

Good morning අප්පච්චී.....

මා එසේ කියා අප්පච්චී නළලත සිම්ඹේය...

අද රෝස මල උදේම අවදි වුනේ...හිතට ඇල්ලුවද ෆැක්ට්‍රි එක....

විශේෂයක් නැහැ අප්පච්චි.. මං එලාම් එක තියලා අවදි වුනේ...

      
     දෙවියන් බුදුන් වඩින උදෑසන වුවද මා හා හා පුරා කියා අප්පච්චීට බොරුවක් කීවේය. අප්පච්චීගේ එකම දෝණිය නිමක් නැති සිතුවිලි ගොඩක රංගනයේ යෙදෙන බව නම් අප්පච්චී නොදන්නවා ඇත. දැනක් ඇස් ඉදිරිපිට දඟපා ගිය ඒ හිතුවක්කාර පිරිමි ඇස් දෙක සොය සොයා යන්නියක් බව අප්පච්චීට කෙසේ නම් කියන්නද...රන්මුතු සඳකිරණී වික්‍රමසිංහ නම් මා උමතු හීනයක ..සිහින..නම් සිහිනයක් දකිමින් හිදී.

කෝ..රෝසමල තේ බොන්නෙ නැද්ද...?

අප්පච්චී ගාව තවමත් හිටගෙන බව මතක් වුයේ එවිටය මට. තරමක් ලැජ්ජාවක් මතු නොවුනා කියන්නටම මට බැරිය. 

මේ බොන්න ඕනි අප්පච්චි. රස්නෙ නිසා ඉදියෙ...

අරන් එන්න මැණික මම නිවලා දෙන්නම්...

  මගෙ අප්පච්චී...නොදත් අම්මා ගේ සියල් වගකීම්ද ගෙන ඔබ තවමත් කිරි දරුවෙක් සේ මා රැකබලා ගනිමින් පිය සෙනෙහසින් ආදරයෙන් උණුසුම් කර තවන්නේය...තව තවා ජිවිතය ළග යෝධයකු සේ සිටින්නේය....

මෙන්න උදේ පාන්දර අලි බබ්බුන්ට කිරි පොවනෝ.....

චූටිගේ කටේ සද්දය පඩිපෙල දිගෙන් ඇසුණි..

නංගිට ඔහොමද චූටි කියන්නෙ ...අහ්...

අප්පච්චි රෝස මල හුරතල් කරාම හරිද..මේ අපිට මොකද වෙන්නෙ..

කට කොනකින් සිනාසුනු අප්පච්චි ඇස් වලින් චුටි අයියා හා කතාකරන බව මම දුටිමි.

මේ සෙනේවන්ත ආදරය ලබන මා අයියලා ළග අප්පච්චී ළග මා හුරතල් නොවී නම් කොහොමද...
____________________________________________________

 එක පාරටම මේසය මත තිබුණ දුරකථනය නාද දෙන්නට විය. 
හලෝ...

මැඩම්..  section 4 වල Line 2 එකේ ලමයෙක්ට සනීප නැතිවෙලා..

මේ එම අංශයේ වැඩ බලන පාලිකාවක් වන්නට ඇත. අප්පච්චීට අයියාට නොකියා මටම කතා කලේ ඇයි.. කුමක් පිළිතුර ලෙස දෙන්නද කියා සිතා ගන්නට බැරිව මා ගොලුවිය.

ඉන්න මම එන්නම්...

නැහැ මැඩම්. මම මේ කිවුවෙ ඒ ළමයව බෙහෙත් ගේන්න යවන්නද කියලා අවසර ගන්න..

නැහැ ඉන්න කෝකටත් මං එන්නම්...

එසේ කියා රිසිවරය තැබූ මා හට දැන් තිබෙන්නේ එය කොයිතරම් දුරට හරිද වැරදිද කියා සිතන එකය. එමෙන්ම ලොකු අයියාගෙන් හෝ අප්පච්චීගෙන් නොඅසාම මා එතෙන්ට යන්නට සිතා කාමරය ඇර එළියට ආවේය.

එක දිගට හෝ සද්දයට මැෂින්වල වැඩ කරන සේවක සේවිකාවන් හිස බිමට නැඹුරුකරගෙන තම තම රාජකාරි වලය. මා නුහුරු වුවත් උඩ ගසා ඇති පුවර බලමින් අවශ්‍ය තැනට ලගාවිය.

අදහන්න...මේ මගේ නම් දෛවයම නොවන්නේද...අර කතාකරන ඇස් දෙක මලානික වී පියවි නොපියවී හිස අමාරුවෙන් කෙලින් කරගෙන සිටී.

මැඩම් මේ අසනීප කෙනා. චලන.

ච...ල...න....

මොහු චලන වෙන්නේ කෙසේද...මේ සිහිනය. ලෙඩ දෑස ඇර මා දෙස බැලුවත් ඔහු අඩුම තරමින් සිනහවක්වත් නොවු‍යේය.

යමු බෙහෙත් ගේන්න..එක්ක එන්න.. වාහනේ ළගට...

හොදයි මැඩම්..

කියා කියනවා ඇසුනාට එය ඇසීමටවත් මා එතන රැදී නොසිටියේය. මා අප්පච්චීගේ කාර්යාලයට හිස පෙවුවිට අප්පච්චී දොරට පිටුපා දුරකථනය කන තබාගෙන සිටියේය.

එහෙමම හැරී ලොකු අයියාගේ කාමරයට ඇතුල්වන විට..

රෝසමල....

කියා ලොකු අයියා පුටුවෙන් නැකිට්ටේය.

ලොකු අයියෙ ලමයෙක් අසනීපවෙලා. එයාට බෙහෙත් ටිකක් අරන් දෙන්න වෙයි....

ඒකට ස්ටාෆ් එකේ කෙනෙක් එක්ක කම්පැනියෙ වාහනයක් යවන්න...

මං ලොකු අයියගෙ කාර් එක අරන් යන්නද...

පිස්සුද රෝසමල ඔයාට...

අනේ ලොකු අයියෙ..අප්පච්චිට කියන්න එපා...මාත් ආසයි....

‍බැහැ...බැහැ...හදිසියෙ මොනවහරි වුනොත්...

බයවෙන්න එපා ලොකු අයියෙ..මං ගිහින් එන්නම්...කෝ යතුර දෙන්නකො...

රෝස මල ඉන්න මාත් එන්නම්....

අනේ ලොකු අයියෙ......

මං ගිහින් එන්නම් අයියෙ..බයවෙන්න එපා...

එසේ කියන ගමන් මා ලොකු අයියාගේ මේසය මත තිබු යතුර කැරැල්ල අතට ගෙන...

ටක්ගාලා එන්නම් ලොකු අයියෙ...

අප්පච්චි දැන ගත්තොත් හොදටම බනියි....

ඔයා කියන්න එපා...මං ඉක්මනට එන්නම්..බායි....

අඩියට දෙකට වාහනය තියෙන තැනට යනවිටත් ඔවුන් පැමිණ තිබුණේය. මේ මා තනිවම වාහනය ගෙන යන පළමු අවස්ථාවය. අප්පච්චී රියදුරු පාසලට යවා මට ලයිසන් අරන් දී තුබුණත් කවමදාවත් නිවසෙන් පිට වාහනයක් රැගෙන ගොස් නැත. නිවසේ සියල්ලන්ටම වාහන තිබුණත් මටම පමනක් නොතිබුණි.
   ලොකු අයියාගේ කාරය ධාවනය කරමින් ළගම පුද්ගලික රෝහලට මා ඔහු රැගෙන ගියේය. අංශ පාලිකාවගේ විමසිලිමත් නෙත් නොදුටුවා නොවේ මම.  ඒත්...

      මේ මුලු රාත්‍රිය පුරාම මා නිදි වර්ජිත කරමින් සක්මනේ යන රුවයි. ඒ කතා කරන ඇස් දෙකයි. කෙසේ නම් මා අවනත නොවී යන්නද මා සිතැගි වලට.....

____________________________________________________

     පුරුදු පරිදි මගේ කාමරයේ ඇද මතට වැටී කලුවර රැය යටක හිද ඇස් පියා ගත්තේය...

සිහින ..නුඹ කෙසේ නම් චලන වන්නේද...

අංක 23/2 
අභයාරාම පාර 
නාරාහේන්පිට.

මේ ඔහු පදිංචි ලිපිනයයි. මට කට පාඩම් සිටියේය.

     සිහින....මේ පෙලන හැගීම් ගැන කියන්නට ඇවැසියි මට ඔබට. එහෙත් ඔබ නන්නාදුනන අයකු ලෙස හිදියි. මා කෙසේ නම් පිළිගන්නද සිහින... එදා හිතුවක්කාරෙට රෝසමල කියා මගේ ස්විටරය ගෙනත් දුන් නුඹේ ඇස් මට අමතක නොවේ... එහෙත් ඔබ මෙලෙස මා පෙලන්නේ ඇයි....

පරිස්සමෙන් මා ආ නිසා ලොකු අයියා අප්පච්චීට කිසිවක් නොකියා තිබුනේය. නිවසේ සියළු විදුලි පහන් නිවා ඇත. හැමදෙනාම නිදි සුව විදිනු ඇත. එහෙත්...මාත් මගේ සිතුවිලිත් යුධ වදිමින් අවදිව ඇත. ටක් ටක් ගාන හොරා කටුව නිහඩතාවය බින්දත් මගේ සිත එයට වඩා කෑගසා සිහින නමින් නේක සිහින ගොතමි...සිතුවිල්ලෙන් සිතුවිල්ලට බැදී ඔහු මට නොතේරෙන මේ පටලැවිල්ල ළග රඟති. 

සිහින....අමතකද මම ඔයාගෙ රෝස මල කියලා....ඇයි දැන් මා නන්නාදුන්නියක් කර හිදින්නේ....

වැටෙන කදුළක රැදුන සිහිනය
ගඟක් වී ගලනා දිනක් එයි නම්
එවන් කදුළක් නොවෙයි සිය
දහස් කදුළැලි සලන්නම්.....

දැනෙන ගින්දර පපු මතක ඇති
සිසිල් සුළගක් වී හමයි නම්
එවන් ගින්දර කොයිතරම් සැර
තියා ගන්නම් සිසිලක් පතා....

හෙලන සුසුමක බරැති සොව
සැනසුමක් වී ලැබෙයි නම්
එවන් සුසුමන් කොයිතරම් වුව
දරා ගන්නම් හසරැල් පතා......

 

***දිනිති***
04/05/2012


_________මතු සම්බන්ධයි__________ 

Tuesday, May 1, 2012

...දන්නවද දුවේ...



වැහි කුණාටු අහසට
කේඩෑරි කෝටු අතපය
ඉහලට ඔසවන් ඇසූවත්
බුම්මාගත් ඒ ගගනතම
දෙන්නෙ වැහි කදුළු සීතලට..............

අද වගෙම අතීතෙක
ගියා දුවෙ නුඹෙ පියා
සනුහරේ තලන අත්පුඩි මැදින්
කතා කරනට යුතුකම් බෑගයක්
කරලාගෙනම හන්දියේ තිබු මහ
සෙනඟ ගොන්නක් අතරට................

මඩපාට ගැහුණු හොදම සුදු
සරමට කමියක් ඇගලාගෙන
දැවෙන පපු ගින්දරෙන් ගෙයි
බත පිසින්නට ඉඩ නොලද
ගිනිමලත් යුධ වදින මධ්‍යහනකම...........

මැලවිලා යටට ගිලිච්ච බොරපාට
පිරිමි ඇස් දෙකෙන් කිවුවෙ
බේරි බේරි ගත සිඹින ඩා බිදට
දෙන්න කියමින් යහපත් සධාරණය.....................

රතුපාට රතු දිනය සමරමින්
හැන්දෑවෙ ගෙදර ආවත් හිස් අතින්
නොකිවු කතා ගොන්නක්
පපු මැදම අත ගාමින් රැයේ
හූල්ලනවා ඇහුණා නින්දටත් උරණව...................

තැන තැනින් හිල් රටා වැටුණු
කළු හම් බෑගයක් දකුණට ගෙන
පහුවදා අලුයම නැග්ගත් පොරකා
ලංගමේ බස් එකක වාර ප්‍රවේශය අතැතිව
හිල් වෙච්ච පොකැට්ටුවෙ අඩිය
මාසෙ අන්තිම හිනාවෙද්දි
විඳි සියල්ලම වහා ක්‍රියාත්මක වන
පරිදි අත්හිටුවා රාජකාරයි ඔහුගෙ..............

උඹ දන්නවද මගෙ දුවේ
පහුවෙච්ච අවුරුදු ගානටම
නොකිවු රහසක් නම් උඹට
ගෙදර එන අතරමඟ උඹෙ පියා
අරන් ගොස් නාදුනන උන්
යකඩ බටයක උණ්ඩයෙන්
දී තිබුණා අයිතිවාසිකම් ඉල්ලාපු.....................

***දිනිති***