Wednesday, September 25, 2013

දුවේ උඹට උඹ විතරයි

ගසක් හිස නමා කඳුළුම බෙදන විට
වසත් කලක් කෝ දුවණී ඉඩෝරෙට
හිතත් එක්ක නුඹ අතැගිලි ගනිනකොට
පවක් වුනත් එයි නොහිතන වෙලාවට...

මලක් ඉඟි පපා කියනා කතාවට
නලක් වුනත් නවතියි හරි සීරුවට
නමක් ගමක් නැති සිහිනය පුරාවට
රුවක් දෙකක් ඇදපන් හරි කලාවට...

ගමක් එක්ක ගණුදෙණු වෙන සුයාමෙට
තිතක් වුනත් ඇති හිනැහෙයි විනාසෙට
දුවක් නිසා හැම කියමන් කසාදෙට
හරස් වෙතැයි බය ඒකයි පියා හට...

ඇළක් දොළක් බෑ හිරකර තියන්නට
නුඹත් හිතත් බෑ තනිකර දුවන්නට
සඳත් හිරුත් නුඹෙ අහසේ රකින්නට
මවත් පියත් මං විතරයි හිතන්නට...

මලින් මලට යන බඹරුන් ඇදෙන්නට
දිනක් තැනක් නෑ බැරිවෙයි මිදෙන්නට
කවක් දෙකක් උන් කිවුවට වසන්තෙට
දුවේ උඹට උඹ විතරයි ආත්මෙට..

Saturday, September 7, 2013

මචං උඹ

ඉර බැහැල අඬ හෝරාව ළග
මචං වැල්ලේ උඹ උන්න
බීර පෙන දදා හති නගනකොට
ගනිං බන් කිවුවෙ හීනියට....

හප හපා රටකජු එකින් එක
තාලයට අළු කළා උඹ හිතම
කැරලි ගසමින් ආකහට ගිය
දුම් වළලු කොපමණද පැයකට...

නිය අගින් තට්ටුවක් මේසයට
ගස ගසා සිවුරුහන් කළ හඩට
තැනින් තැන නැවතිච්ච රෑ බදුල්ලට
මොනවදෝ උඹ කිවුවෙ නෑසෙන්ට

අතගගා පපුවෙ කෙහෙරොඳ හොඳට
එකින් එක ඇද්දෙ උඹ සීරුවට
දණ ගසාගෙන වැල්ලෙ අඬ සඳ
ගන්න තුරුළට කිවුවෙ උඹටම..

මඳක් රතුපාට උඹේ ඇස් දෙක
නාය ගියෙ කඳු හෙල් කඩාගෙන
වේගයෙන් දුවගොස් වැල්ල මැද්දට
අඬගැසූවා උඹ මැරුණු ප්‍රේමෙට...

Wednesday, September 4, 2013

පැරඳුම

මේ බිනර අහස යට
ජීවිතේ හැරවුම් ලක්ෂයේ
කවිය ලියා යන්නට හැකිය.

ඇස් පිල්ලම් ගැහෙන
තුරු පතක
එකදු නිමිත්තක්වත් නොතියා
ගී කියූ කුරුල්ලා
ඉගිලෙන්න තටු ගසන
හෝරාවක
කවියේ
ශෝකීම වචන
ඇමිණිය හැකිය.

මේ උදෑසන
රාත්‍රිය තරමට
හිස්ය.
හදවත කළුවරය.

නිද්‍රාගත සප්නයක
කෙනිත්තුමකට ගැස්සී
ලබ් ඩබ් ගැස්මටත්
ගුලි ගැසී හැංගෙන
මූසලම උදෑසනක
අපරාජිත ප්‍රේමයේ නටබුන්
උගුල්වා විසි කරන්නට
අකුරු එල්ලන
කවියක්ය.

මනමාලකම් පෑ සුළඟත්
පැත්තකට වී අතපය සඟවා
බියපත් ඇස් උලුප්පා
ආවඩන්නේ
ආලවන්ත ඇස්වල
තෙතමනය නොගෙන්වන්න කියා නම්
මේ කවිය ඔබට බලන්නට හැකිය.

සදුදාවක සන්ධ්‍යාවක
හිරු ගිලී හෝරා දෙක තුනකදී
පාංශකූලයට
සංඝයා පැමිණි
නිශ්චිතම වෙලාවේ
අවිනිශ්චිත ගැඹුර
කවියෙන් බලන්නට නොහැකිය.
ඒත් මේ කවිය මං ලියමි.

ප්‍රේමයේ උඩුගං බලා පිහිනූ
කින්නාරාවිය
සියල්ල හැරපියා දියේ ගිලී
මියගිය පුවත
අද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.


2013/09/03