Tuesday, May 28, 2013

*** ලයිසන් නැති පිටරට සේවය කරන්නාගේ හදවත ***



ආවේ රැකියාවකට මව් රටෙන් පිට
කීවේ කරන්නට බැරි බැරි වැඩ එමට
ජීවේ පිඹින්නට හුස්මක් නැති කමට
නෑ තව සිතුවෙ පැන්නා පිම්මක් පිටට....

____________________________
දණ ගසාගෙන වෙසක් සඳ
බිම බලාගෙන වඩින විට
හඬ තලාගෙන ඉඟිල යන
අහස් යන්තර පාර දිග...

ඉකි ගසාගෙන ඔලිව් මල්
හිස තියයි එ'ගස් පාමුල
හිත හදාගෙන ගසක වෙලි වැල
නගයි හසරැලි කිසිවක් නොදැන....

පැණි දොඩම් අවාරෙදි
මිදි තිත්ත නැහැ,
යූරෝ හරි බරයි සිරිලකට.
ඌරො එළුවොත් මිත්‍රවරු
ඒත්,
ලැබුනෙත් සොච්චමයි වෙහෙසට..

ගිනි ගන්නවා වගෙයි සියොළඟ
ගලා යන රුධිරයත් විසි හතර පැය
ගැස්සෙනව සිනිදු නල රැල්ලටත්
ඇස් කණුත් හරි මහන්සියි දැන්..

මහා මැදියම් කළුවරට
හිඟ තමයි නිදි සුව ඇසට
අතේ නැති රුපියලට
අපෝ විඳවමි හැම තත්පරේකට....

දැනෙන විට කුස ගිනි වෙලාවට
නැහැ රසක් ගිලෙයි බැරිකමට
අහුවුනොත් මානනා උකුසු ඇසකට
සෙනේකම් නැත යකඩ කූරෙත්...

නැගිටිනා විට දෙදණ මත දෙඅතෙ සවියට
පුපුරනා හිත් ඇතිය ළඟ වෙසෙන සඟයගෙත්
දෙවියනේ වරම් දුන්නොත් තවත් සය මසකට
හැකිවේවි බිරිඳ හට සෙවණ මට තන්නට...

Thursday, May 23, 2013

රකිමි නුඹ පණ වගේ

කිරි බර ඇවිත් ලැම පිරිලා දූ නොදනී
හරි පහසුවට කුස තුළ රැදෙමින් ඉන්නී
මැරි මැරි ඉපදෙනා සිතුවිලි නැහැ දන්නී
ලොව නුඹ දුටු දාට මව් වනචර ගෑණී...

දඩමස් වෙලා කෙනෙකුගෙ ඇට ලේ රිදෙන්නේ
පිරිපත වෙලා දිවි බර නැහැ ඔහු දරන්නේ
කැඩපත ළඟදි හදවත ඉකිබිඳ හඩන්නේ
ජීවිත ගමනෙ නැහැ දුවෙ විස්තර කියන්නේ...

සුන්කර ගන්න බැරි පැතුමන් පිරෙන්නේ
මාපිල් පිඹුරු එක්කම පොර බඳින්නේ
සමනල් හැඟුම් නැහැ සිත තුල නැගෙන්නේ
කරදර එක්ක උඹ කුස තුළ වැඩෙන්නේ...

ගැබ්බර කුස අත ගගා නුඹ කුමරිය යැයි සිතන්නේ
දුක්බර නුඹට පිය පස නැහැ කිසි දිනකදි ලැබෙන්නේ
පෙම්බර දියණියේ දරුපෙම හිත ළඟ මේ රකින්නේ
අම්ඹර මැදක හිනැහීයන් එපමණමයි කියන්නේ...........

Monday, May 6, 2013

*** යශෝවුනි මගෙ ***



මේ මහා සංසාර වන්දනාවේ
ගම් දනව් පසු කරන් ඇවිදන්
අදත් මේ භවයෙ අත්වැල
උරුම හිමිකම ගත් යශෝවුනි...

සා පිපාසා දැනෙන කතරක
මහා සයුරක් වෙලා නවතින
වා සුළං වැහි තියෙන විටකදි
උණුසුමින් රකින පින යශෝවුන්ටයි...

අවේලේ වේලේ නොසිතාම
කිසි ජුගුප්සාවක් නැතිවම
ඡායාව වෙලා මගෙ ළඟම
රැදෙන පින ඇති මගෙ යශෝවුන් හට...

සේද සළුපිළි පලඳනා කිසිවක්
නොඉල්ලා ප්‍රපාතය හිත පුරා
සෝදිසියෙන් අත පත ගගා
සරුම අස්වැන්න දෙන පින යශෝවුන්ටය...

ලේන පැටවුන් අරන් උකුළට
මිහිරි වස්ඳඩු රාව පතුරන
අප්‍රමාණික මහද සිහිනම පාටකරනා
තුටක අයිතිය මගෙ යශෝවුන්ටය...

පෑළදිග කිසි දිනක මුදුන් නොමවන
හදවතේ ප්‍රභාෂ්වර හිරු මඩල
සසර බිත මත නොමැකෙනම ප්‍රේමයේ
අක්ෂර ලිවුව මෙහෙසිය යශෝවුනි මගෙ....

රුවන්මය ඔය හද මැදුරෙ
තිර අදිටනේ බල මහිමෙ
බුදුවෙලා එනතුරා නොසොල්වා
අභිවන්දනයට තියා ගනුමැන යශෝවුනි.....

_________________දිනිති_______2013/05/06_____