Sunday, August 30, 2015

ලණු ඇඳයි - තාත්තයි


පෝය දවසට හඳත් ආවම පරණ ලණු ඇද හඬනවා
කාට කාටත් නොමැති දුකකින් පපුව රිදෙනව කියනවා
බලා ඉන්නට බැරිව හඳ දෙස විදුලි එළි ගැන අහනවා
කොහේවත් සඟවන්න බැරි දුක් කන්ද ඇඳ උඩ තියෙනවා



එකින් එක කොටු තුළට පුරවා ලණු ඇදේ හැඩ පෙනෙනවා
දිනෙන් දිනයට වාරු නැති හිත කියපු කව් ගී දන්නවා
පොතින් පත නැති දැනුම් සයුරක් ඇදේ සැතපී සිටිනවා
ලොවින් උත්තම පදවි අරගෙන පියෙක් තනියම නිදනවා

පාලු මකනට රෑට තරුවැල් ඇවිත් දුක සැප අහනවා
බාල කෙලි ඇස් කරකවාලා බලන හැටි එහි හැදෙනවා
තාර කළුවෙන අමාවක දා හීන් සීපද ගැයෙනවා
රෑට සීතල එද්දි බීඩිය උණුහුමක් ළඟ තියනවා

කාටවත් නැති සේද ඇතිරිලි ලණු ඇදේ සුව සදනවා
ලෝබයක් නැති දරු සෙනේ පපු මැදින් උඩහට දුවනවා
ප්‍රේමයක් නැති යුඟ දිවියෙ දැන් සොලොස් වසරත් පිරෙනවා
පාදමක් නැති ගෙයක් වාගේ බිරිඳ ගිය හැටි හිතනවා

සෙමක් හිරවුණ බවක් කියමින් ඉකිලුමත් සිර කරනවා
පවක් කරනැති බවක් වූවත් උරුම කරුමෙයි කියනවා
දතක් සෙලවෙන විටදි ඇතිවන හැඟුම් එලෙසම විඳිනවා
පියෙක් තනියම දරුවො නලවන අයුරු ලණු ඇද දන්නවා

ගින්දරක් හද ඇතුළෙ සිරකර නොහිම් දරු පෙම බෙදනවා
බුදුබවක් නැති දිඟු මඟක් එළි පෙහෙළි කරමින් සිටිනවා
කප්පරක් දුක් නොවිද සසරින් එතෙර වෙනු ඈ පතනවා
කරඬුවක් නැති ඇත් රජෙක් අද ලණු ඇදෙන් සිරි බලනවා

Tuesday, August 4, 2015

සීගිරි අප්සරාවට හෙවත් නැට්ටුක්කාර තාවකාලික පෙම්වතියට

එදා විනිවිද යන්න බැලුවිට නුඹේ ඇස් කරකවා වටයක් 
හදා ගන්නට බැරිව හිත මගෙ පිච්චුණා පැයකට කල්පයක් 
කදෝ පැණියෙක් වෙම්ද කියලා කිරා බැලුවට දවස් දහයක්
පුදා දෝතින් ගලවලා හද දුන්න පුදුමයි මටම රහසක්

විදුලි වේගෙන් නුඹේ අතකින් මලක් විද්දා අමුතු එළියක්
කැඳලි සීයක් හැදුව කියලා දන්නෙ මම මයි සිනා දෝතක්
පැතලි ගල උඩ සිනා කට නුඹෙ පරදවයි දෙව්ලියන් රෑනක්
කැරලි ගහ ගහ සරැලි නැංවුවෙ මගේ සිතුවිලි එකම සයුරක්

බලා අවසර රජුන් කස්සප හිතේ හැටියට නුඹව සිම්බද 
සලා සැලමුතු පෙමක් යම්දින නුඹේ දිවියට එයින් ලැබුනද 
කළා සොලොසම අරන් පුරහඳ වඩින දවසක් එහෙම තිබුණද
ගලා ගිය පෙම සිංහ නියපොතු වලින් රිදි රිදි සැරව ගැලුවද

නිදහසේ හිස් අතින් එන උන් නුඹේ තිසරුන් සුවේ සෙව්වද
මඳහසේ කිසි අඩුව නැතිවම මිටින් ගෙන ඉඟ සුඟේ වැනුවද
උරහිසේ හිස තියා උන් වෙනම ලෝකෙට පියඹලා ඇදුණද
කිතුගොසේ නංවලා කැන්දන් යයිද කියලා සිහින දැක්කද

මං වගෙම එන එවුන් සේරම රිසි පරිද්දෙන් උඹව අතඟා 
රං වගේ හම උඩින් කියලා හිතින් පැණි හඳ බලයි උරගා 
ළං වෙලා දිවි තලේ හිටි උන්  මතක් කර කර කඳුළු හංගා 
සුං වෙලා ගිය ප්‍රේම බන්ධන පවුරෙ කැටපත් ලියන් නංගා



Saturday, August 1, 2015

අන්දරේ තවමත් හිනාවෙනවා ඇති


කටින් කට පතලව ගිය නමක්, වේද රජුවෙත කන්ද උඩරට 
මැතින් ඇමතින් සිනා ගන්වා තමා වෙත හරවාවි බැල්මට 
ඉහින් කණ්වල රක්ත වර්ණෙන් නිති රජුගෙ උවනත පිරෙනකොට 
ඇසින් ඉඟිකර සිනා කවියක් කියන ඔහු  නමය අන්දරයට

දකුණු ලක් රට කිරලවැල්ලේ දෙපොලකම ඔහු උපන් කිවුවට 

පුරුදු වයසට අකුරු දැනගනු පිනිස යැවුවලු ගැටමාන්නෙට 
හොරෙන් පැනලා ගෙදර ඇවිදින් ගුටිත් කාලා වැස්සෙ තිබ්බට
අම්ම අප්පට දුක හිතෙන්නට කවිය කිවුවලු බොහොම සද්දෙට

කුඩා කල සිට අලස ගති ඇති අන්දරේ හට පිය පස විසින්
කියා පාඩම් කරව ගන්නට බුද්ධ ගජ්ජය බැරි වුනි රිසින්
දමා අතහැර නොතිබ්බත් ඔහු මුඛරි හිටිවන කවි කිවු ඇසින් 
හඬා වැලපෙන අයත් යහමින් සිට තළයි අත්පුඩි එක ලෙසින් 

”සද්ද විද්ද පළඟ පතිර” නාමවලින් පිදුම් ලබා 
කන්ද උඩින් පහතරටට ගියෙ දවසක් ඔහු හේබා 
වස්ත්‍ර භරණ රජුන් ලෙසින් සැරසී සිටියට සෝබා
අන්ත්‍ර වෙලා ගිහින් අතරමඟදි හිටිවන කවි බඹා 

කරගම්ආර වැව් මත්තේ එක කොනක සිට 
කරනම් ගැසූ විලසට ඔහු ඇත පිළිරුවට 
සියඹල පලු වීර ගස් යට සුව විඳිනකොට
තවමත් සිනා යනවා ඇති අන්දරේ හට

ප. ලි. 
අන්දරේගෙ සොහොන උඩට වෙලා නෙළුම් ඇට කකා සියඹලා කරල් කකා අතීතයේ දවසක් සිටි අන්දම හඳිසියේ සිහිවීමෙන් පසු ඔහු ගැන උපන් සතුටට ලියූවකි. 


( ඡායාරූපය අන්තර්ජාලයෙනි )