Thursday, September 25, 2014

තාම පඩි අරන් නෑ ඉවසාපන් පුතුණේ.


කලා සොලොස අරගෙන පුන්සඳ ගම නාවේ
උනා සළුව ගගනත මැද තරු මල් රැඟුවේ
බලා නොඉද වැඩපන් දෙවියනි මං කිවුවේ
මුසා මොටද ඒ දුක නෑ කවුරුත් ඇහුවේ...

නපුරු සිහිනෙ දුටු දා හිත මළගම වැටුණේ
රුදුරු වන සතුන් කවදත් මිනිසුන් වන්නේ
සොඳුරු සිරින් පිරි හෙට තනනට මයෙ පුතුණේ
අතුරු කතා නෑ ඒකයි කතරට ඇදුණේ...

හෙමින් හෙමින් පත් සිඳිලා යන වදුලේ
තැනින් තැනින් කටු විතරයි මැද මිදුලේ
දුවන පනින නුඹ සිහිවෙන හිත ඇතුලේ
ඉහෙන් කණින් බේරෙන දුක මගෙ කමුලේ...

උදේ රැයින් දුරකථනෙන් ඔය හඬ ඇහුනේ
පානෙ එළිය විතරයි හරියට ගෙයි තිබුණේ
රෑට බතට නැති බවකුයි සවනත වැකුණේ
තාම පඩි අරන් නෑ ඉවසාපන් පුතුණේ.


 

Sunday, September 14, 2014

පියාසරවන්තියන්








වතක් සුන්දර මලක් වෙයි නම් ළඳක් එයි මුදු බවම වෙයි. උපතින්ම සියුමැලි ලද බොළද කම් හමුවේ සිනාසෙන ළඳුන් ජිවිතය හමුවේ අනේක විදි සිද්දි දාමයන්ගෙන් පරිණතව යහපත්වත්,අයහපත්වත් සුන්දරවත් අසුන්දරවත් ගලා යන ජීවන ගඟක පිහිනන්නට වෙර දරයි. දරු නැළවිලි ගී ගැයෙන මුවින් ලොව පාලනය කරන වඳන්ද ඈ සතුව ඇත. දරාගැනිමේ අපිරිමිත ජිව ගුණය සොබා දහමින් නිරායාසයෙන්ම උරුම කර  ගත් සුකුමොල ලියන් ගැන අඳුරු තැන්ද නැතුවා නෙමෙයි.  එහෙත් මේ කතා කරන්න යන්නේ ඈ කොඳු නාරටියක් තරම් සවියෙන් රටක බර දරාගෙන යන ගමනක පුංචිම සටහනක් තබන්නටය.

විවිධ අභිමාර්ත හමුවේ නේක විද අවස්ථාවන් නිසා ඇතිවු ප්‍රතිපලයන් නිසා කාන්තාවද අද මුදල් කියන දේ හමුවේ සක්‍රීයව දායක වන කොටස් කරුවන් වී හමාරය. එදා නිවසට වී දරුවන් පෝෂණය කරමින් ගේ දොර රැකබලාගත් ස්ත්‍රිය අද එයද කරමින් තම ආර්ථිකයටද හවුල්වෙන හවුල් කාරිණියකි. අත්කම් විස්කම් වල සිට ලොව ඇති සියළුම ක්ෂේත්‍රයන් අතික්‍රමණය කරමින් ස්ත්‍රිය දික්විජය කළත්, දන්නදා සිට තුන්වන ලෝකයේ දියුණුවන රටක් වුන අපේ රටේ මෙන්ම අනෙකුත් දකුණු ආසියාතික රටවල ස්ත්‍රිය උසුලන බර යුරෝපයේ කාන්තාවකට වඩා හාත්පසින් වෙනස් යැයි මට හැඟෙයි. මෙය ලියන මාත් කාන්තාවක් වුවද මෙය ගැන මට දැනෙන ලෙස මැදහත්ව ගලපන්නට මා වැර දරමි.
පියෙකුගේ සෙවණෙහි සොහොයුරෙකුගේ ඇසුරෙහි හැදෙන වැඩෙන කාන්තාවන්ද, මවක් පියෙක් නැතිව කුමක් හෝ හේතුවකට තනිවම හුස්ම ගන්න අයද මෙලොවෙහි ඇත. මේ කුමක් වුවත් නිවසක සියළු බර පැණ පිරිමියෙකු මෙන් දරන්නට සිදුවන අවස්ථාවන්හිදි යම් දුරකට අධ්‍යාපන මට්ටම ලබා ඇති නැති කවුරුත් දැන් විදේශයකට සංක්‍රමණය කරන්නට පුරුදු වී ඇත. මෙය අද ඊයේ නොව දශක ගණනක් ඈතක සිට පැවත එන්නකි. එහෙත් එදාට වඩා අද එය එන්න එන්නම ඉහළ යයි.

වැටෙන පෑගෙන රිදෙන ඇවිලෙන දුක්ඛ දෝමනස්සයන් හමුවේ දෙපයින් දිරියෙන් නැගිටින්නට වැර ගන්නා සියුමැලි ලඳුන් තම දෑතින් තනන සිරිලක අසිරිය මෙපණයි කියන්නට බැරිය. වසර දෙදහස් දොලහදී සවුදි අරාබියෙන් පමණක් ඩොලර් කෝටි දෙසීයක පමණ ආදායමක් තම මව් රටට හරවන්නට කතුන් සමත් වී ඇත.  ලේ කඳුළු දහදිය සුවඳින් හැමූ ඒ රුපියල් කෝටි 226400 ක් පමණ ධනස්කන්දය ඈ සුසුම් ලමින් ඉපැයූ බව අප කවුරුත් දන්නා සත්‍යයකි. දැඩි ආගමික නීතියක් යටතේ ජිවත්වෙන සමාජයක අත් පා පමණක් නොව ජිවිතයෙන්ද වන්දි ගෙවා එන කාන්තාවන්ද මේ අවස්ථාවේදී මතක් කළ යුතුමය. තම සෙනෙහස උකස් කොට සත් සමුදුරු තරණයට වීර්යය පාරමිතා පුරන්නෙ‍් උපතින්ම ලැබෙන දරා ගැනීම මතය. හදවතින් ඇවිලෙමින් වසරේ වැඩි හරියක් අධික උෂ්ණත්වයෙන්ද බැට කමින් මේ කරන මෙහෙවර අමිලය.  අනුනටද බරක් නොවී රටටද බරක් නොවී ජීවත් වන්නට කරන මේ කැප කිරීම සුළු පටු නැත. සවුදිය හැරුණ කළ තවත් මැද පෙරදික , යුරෝපා සහ ලොව විවිධ රටවල ශ්‍රිංලාංකිකක ශ්‍රමිකයන් සිටිති.  අපේ රටේ මුළු ජන ගහනයෙන් 21% ක් පමණ මෙසේ විදේශයන්ට යන අතර එයිනිදු 46%ක් පමණ කාන්තාවන්ය. මේ කාන්තාවන් බොහෝ දුරට රැකියාව ලෙස ගෘහසේවයෙහි නිරත වෙති. ( වෙනත් වෙනත් වෘත්තින්වල නියැලෙන්නන්ද නැතුවා නොවෙයි )

පිරිමියෙකු යටතේ ආදරය ලබමින් ජීවත්විය යුතු කතක් මෙලෙස දුරු කතරක යෑම මොනතරම් සාධාරණ නොවේදැයි ඔබට මට නොවැටහෙන්නට පුලුවනි. එහෙත් නිවී සැනසිල්ලේ සිතා බැලවහොත් එමඟින් මුළු මහත් සමාජයට පමණක් නොව රටටම සිදුවන්නේ අයහපතකි. විවාහක ස්ත්‍රියක නම් ඈ උණුසුම ලබමින් ලෝකය දකින්නට වැර දරණ දරුවන්ට මව් සෙනෙහස අහිම්වේ. මවකගෙන් ලැබිය යුතු සියළු වරප්‍රසාද නැතිවී යාමෙන් සමාජයට ලැබෙන පුද්ගලයා ගැන අපට යහපත් අන්දමින් සිතිය නොහැක. මෙය 100% ක් නොවුවද බොහෝ දරුවන්ට සිදු වී සහ සිදුවෙන අයහපත් ශාරීරික සහ මානසික පීඩාවන් ගැන අපි සිතුවාද.? 

ඉඳින් ඈ දේශ දේශයන්හි කරක් ගසමින් නැළවිලි ගී වෙනුවට වැළපිලි ගී ගයද්දී සැනසිලි සුසුම් පිටුවහල් වනවා නම් අපට නිදහසේ මඳහසක් නැඟිය හැකිවෙද? මා මෙය අසද්දී ඔබ කියාවී නොගිහින් නිකා ඉන්නට හැකිය කියා. එසේත් නොමැති නම් නැති නිසානෙ යන්නෙ කියා, මේ සියල්ලම අපි අපේ හදවත් රවට්ටා ගැනීමක් නොවන්නේමද..? ඈ වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම අපතින් වූවාද යන්න අප අප තනි තනිව සිතමු.

Thursday, September 4, 2014

අතරමං හිතත් එක්කම, මං වගෙම මගෙ එකෙක් හට

හදවතට රිදුමක් ගෙනෙන විට
අතැගිලි වලින් ගසනෙමි අකුරකට
කඳුළකට ඉඩ හදන කවියකට
සිනාසෙන එකත් පුදුමයි නොහිතුවට


උෂ්ණ සෘතුවට හැකිලිච්ච ගස් වැල්
නග්න සිරුරින් අයදියි සැනසුමක්
විශ්ව ශක්තිය කියා ඉර හඳ තරුවලට
පෙම් කරන එක හොඳයි හුදකලාවට


ග්‍රීසියේ ගිරිස්මය වැදෙනකොට මුහුණට
සයිප්‍රසය සර්ප්‍රයිස් දෙන්නෙ නැහැ කිසිමවිට
කුරුසියේ හැඩ ඇද ඇදම පපු මැදක රටාවට
තුර්කියේ උන් හටම වදිනවා බිය ගුලුකමට


කොහේ හෝ අතරමං හන්දියක සිට
මාලිමා නෑ දිශානතියට ඔබ මාව හරවන්න
ජීවිතේ කාසියක් වෙලා පෙරලෙන විටක
හඳිසියේ මළගම් ගියපු පැතුම් කොච්චරද


සිනාවක් නැති ගසක සිනාමල් පළදන්න
කතාවක් නැති මුවට කතන්දර අමුණන්න
නිමාවක් නැති ගමනෙ ඇරඹුම්ම ගන්න
වෙලාවක් නැතිව දිවුව සැතපුම් මැනගන්න


දෙතොල් පෙති මුමුණමින් කාටවත් නොඇසෙන්න
කිවු කතා මොනතරම් දුක්බරද හදවතින් අහගන්න
ප්‍රේමයක් නැති උන්ට ප්‍රේමයක් ගැන පහදන්න
දුෂ්කරය හැගුම් එක්කම දිවි ගමන පිහිනන්න


ගැලවිලා විසික් වෙන සිතුවිල්ලකට ලංවෙන්න
බැරි නිසා තියා යමි අකුරකින් විදවනා විදවිල්ල
හැරපියා යන්න බැරි දුර සිටන් පැවසුවත් ලතැවිල්ල
නුඹ වගෙම මාත් අසරණවෙලා නොදන්නා උන් අතර