Showing posts with label ආදරේට කවි. Show all posts
Showing posts with label ආදරේට කවි. Show all posts

Wednesday, July 19, 2023

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර ,

ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න,

ඔබ ගිය තැන සිට

මා  දරාගත්තේ කෙසේ දැයි

නොඅසන්න 


ආදරයක අකුරු අතරට වැඩි යමක්

ඔබේ ඇසුරෙහි මා විඳි බව දැනගන්න

විටින් විට හැමූ සුළං කැරලි මැදදී

ඔබ අතනෑරිය බව මම අදද දනිමි.


අසංවර මල් පෙති බිමට වැටී

ඔබ අසල දැවටුණයුරු මා දුටිමි

අදද ඔබ හා ගැ⁣වසී සුවඳ තවරන්නට

වෙර දරන බවද දනිමි.


සොඳුර , 

ආදරයේදී මා ඔබ අතික්‍රමණය කර හමාරය

දිනුමක්ද පැරදුමක්ද අදාල නැතිබව පවසමි

අහස වැහි බිංදු අත්හරින්නා සේ ඔබ මා

ඉවතහළ බව දැනුදු දන්නෙමි.

ප්‍රේමයේ වියෝවෙහි චමත්කාරය කැටිකර

මේ දැන්ද මම ඔබට ලියන්නෙමි.


ඔබ ගැවසුණු දැවටුණු සියල්ලකම

දැවිල්ලක් රිඳුමක් නැත්තා නොවේ.

එහෙත් අතීතයේ සේම මම හුස්ම ගන්නේ

ඔබේ ඇස්වල උතුරාගිය ස්නේහය නිසාමය.


සොඳුර ,

ආ ගමන කෙසේදැයි නොඅසනු

අප වෙන්ව ගිය තැන සිට 

පරිච්ඡේද ගැණිය නොහැකි තරමටය.

ඒත් ,

වසන්තය ඔබේ දෑත මැද බව මම තවත්

විශ්වාස කරමි.

යන එන මඟකදී හමුවෙතැයි සිතමි.

එතෙක් මම හොඳින් බව ඔබට පවසමි.

❤❤❤❤❤❤

Thursday, May 29, 2014

ආදරේ පිරෙයි..ඔබ එන්න ප්‍රියේ



සංසාර කෙතේ අස්වැන්න වෙලා
නුඹ බලා සිටී මුදු සිනා සලා
ඉසිඹුවක් ලබා මම ඇදෙමි සොයා
පෙම් කවක් ලියා මුළු හිතම පුරා...

සෙනහසින් අරුණැලි ගලා
පුබුදුවයි හැගුමන් නුරා
නුඹේ හදවත් ආරණ්‍යයේ
ගී ගයමි ගිරවිය වෙලා...

සදා පැදකුණු කරන බෝමැඩ
වගෙම ඔය හිත නැමදලා
නෙළා දෝතට ගන්න අවසර
එන්න පෙරඹර දසුනක් වෙලා



Sunday, October 20, 2013

ආදරේ රකින්නන් තව ඉන්නවා.

පෙම්වත,
ඔබයි සිදුහත් කුලේ කුමරුන්
දුර දුර ගව් ගණන් ඈත සිට
ආදරේ වඩින තුරු
සත් මුහුදු තොට ළඟ
ඇසි පිය සල සලා මඟ බලන,

පිය සක්විති රජානෝ
උණුනොවන හදක් ඇති
මව් බිසෝ බරණැසින්
පෙළවහක් සොයන්නිය
හිටිවනම නොසෙල්වෙන හද ඇතිව
නුඹයි දින ගැන ගැන මඟ බලන්නා,

පිටස්තර දේස දීපංකරේ
පැලැස්තර ගසන්නට ගිය මා
වනන්තරෙ මෘග යකුන් අතරේ
රන් කාසි අහුලන්න ගත්තියයි
නොවෙනස්ව එක හිතින් ආදරේ පුදා 
මඟ බලන කුමරුන් ඔබය තාමත්.

කිරිල්ලියො කූඩු අතහැර පියාඹන විට
සුළි සුලං දරන්නට බැරි කුණාටුත් එයි
තදින් බඳ අල්ල ගෙන පෝසත් හිතින්
ඉවසමින්,පාරමී පුරන්නට පුරුදු කළ
ආදරේ ඇදුරා ඔබයි මඟ බලා ඉන්නා.

රංචු ගැසෙමින් සමනල්ලු
සිරිපාදේ වඳින්නට යනවිටදි
නඩේ කාගෙත් සිනහ උහුලන්
මහ ගිරත් තනිවම සීතලෙන්
කරුණා කරනු හැකි කිය කියා
සමනල කන්ද මුදනේ පඩුරක් බැන්ද
ආදරේ දෙවියන් ඔබම විය මා පතන.

හත්දින්න තරු එකින් එක ගැන
සිකුරු තරුවත් නෙලාගෙන
ආපහු ඉගිල්ලෙන තුරු මෙමං
කාමරේ සයනයේ වම් පසින්
ඉඩ තියන් සිටියි ඔබ තවම නොනිදාම.

____________________________
හිතුවක්කාර කොලු හිත් නොසංඩාලයි කිවුවාට
ආදරේ රකින බෝසත් රජවරුන් සිටියි මිහිබට.

Sunday, January 27, 2013

*** ජීවිතේ ලියාදෙමි දුරුත්තට ***




ඇබින්දෙන් එහෙ මෙහෙ දුවන සිතිවිල්ලකට
නිමිත්තක් ඇතිද ඇහැරෙන්න හදවතක මැදට
සුනංගුව හුඟක් තැන් පිරිමදියි සීරුවට
වැරැද්දක් නොම වෙන්න එයම වෙයි හේතුවට...

වසන්තය නැති වුනත් හමා යන පවන ළඟ
අසන්නට බොහෝ පණිවිඩම ඇත හිත් අඟක
එහෙ මෙහෙන් තටු ගසන කුරුල්ලෙකු දුටු විටක
සිල් බිඳින් නෑ එහෙත් උණුසුමයි සියොළඟම...

රෝම කූපත් ඉස්සිලා සීත සෘතුවට රවනකොට
ග්‍රීක ජාතික කවිත් කියවෙන්නෙ අහම්බෙට
කාකි පාටින් කබායක් පොරවගෙන ඉන්න මට
රෑක සුමිහිරි ගී කියන්නට හිතෙයි මදනලට...

වා කවුළු හැම තැනම වසා ඇත හිරවෙන්ට
මා සොයා පැමිණෙන්න බැහැ නේද සඳවතට
පිපෙන මල් හිඟ වුනත් සුවඳ ඇත මැදියමට
නොදුන් කවියක් කාටවත් ඇත ඔබට පුදන්නට....

ඇවිස්සෙන හැඟුම් පැතුම් වී එබෙනකොට
කනස්සලු හිතින් කම්මුලත් නටනකොට
හතරකොන සිර කරන් පපුව මැද ඔබ සිටිනකොට
ඇත්තමයි ජීවිතේ ලියා දෙමි මම ඉතින් දුරුත්තට....



Thursday, December 13, 2012

***එකම මොහොතක් ඔබේ වෙන්නට හිතනවා*** _________________________________________



අඳුර අහුමුළු අතර සරමින් මොනවදෝ මට කියනවා
සොඳුර නුඹ ගැන හිත හිතා කාලයද දින දින ගෙවෙනවා
මැදුරු මන්දිර කිසි වගක් නැති ආලයක් හිතෙ පිරෙනවා
පවුරු පදනම් බිඳ දමා ඔබ සොයාගෙන මං ඇදෙනවා.....

අහස සමුදුර ක්ෂිතිජ ඉම නේත්‍රා යුග රවට්ටනවා
උඩක තරුපති බිම් මලක් බිම හූල්ලා මඟ බලනවා
පවස නිවනට දිය බිඳක් ගෙන එන්නෙ කෙදිනද හිතනවා
විලක සුපිපුණ සියපතක් ඔබ මගේ වෙන්නට යදිනවා....

රැයද දහවල නොවේ වෙනසක් ඇස් දෙකම මගෙ තෙමෙනවා
ගසට ඈදුනු පොත්ත සේ ඔබ ළඟම ඉන්නට පතනවා
ඉහළ අත්තක මලක් නෙලනට උඩ පනින්නටම වෙනවා
නිකට ළඟ අත ගෙපැල දොරකඩ පෙම් සිහින තව දකිනවා...

සාලියට හිමි අශෝකා වෙන්නෙ නැති බව මං දන්නවා
රෝමියෝ ළග වෙලා ජුලියට් ඉන්න බැරි හැටි පෙනෙනවා
ප්‍රේමයේ මුල් බීජ ඉන්දුව දෑස් හදවතෙ තියෙනවා
කවදහරි ඔය පපුවෙ උණුහුමෙ මොහොතකට මං ඉන්නවා....

Sunday, October 14, 2012

***ආරුක්කු කවියක් යටට එන්න ***


අතරමං සිතුවිල්ලක
මතක මන්තර ගොතන
කටකාර වචන
හොරකම් කරන
ආරුක්කු කවියක් යටට
එන්න...

වචන වලින් ඇන ඇන
හදවතේ ගැඹුර කොනහන
මනමාල නල විත් කළඹන
කෙහෙරැලිත් සිල් බිඳින
මන්දාරමට ලොබ බැදන්
ආරුක්කු කවියක් යටට
එන්න.....

නිඹරට අත වනන
කණාමැදිරි එළි එබිකම් කරන
කලාවට බර නැටටුක්කාර
ඕකිඩ් මල් වියනක් මැදින්
‍නුරාවට ඇස් පියන් වැසෙන් නැති
සුරාවට කිසි ලොල් කමක් නැති
ආරුක්කු කවියක් යටට
එන්න....

අත්පුඩි ගසන තුරු පත් ළඟක
පැද්දිලා රහස් බලමින් ඇස් පියන
හැංගිච්ච දෙමලිචි පැටවු දෙන්නෙක්ට
සුව යහන් තනන
ආරුක්කු කවියක් යටට
එන්න....

දම් පැහැති සළු ඇදන්
ඇඟ හිරි මැලි කඩන වළා රෑනක්
හොරෙන් හොරෙන් අඩි තිය තියා
පුරුද්දක් නැති පුරුදු කවියක
අලුත් වචනයක්, අකුරු හතරෙන්
දෝත මැද ගුලි කරන්නට
ආරුක්කු කවියක් යටට
එන්න....

සේන් ගගේ රැලි පිට රැලි ඇදී යතී
මාත් හිතත් මුහුදු හතින් වෙන් කෙරෙතී
පාන් පැල ළගින් ආරුක්කුවක් ඇතී
හීන් සීරුවට එනවද කිසි කෙනෙක් නැතී...

Saturday, October 13, 2012

***ජීවිතේ හිනස්සමු කවියකින් හැඩ තළ නෙළා ***



උල්කාපාතයකින් විසික් වෙන
කැට කැබැලි වගේ
බිදී විසිරී ගියපු සිතුවිලි..,
තාර පාරක අහුවෙච්ච
ටොනික් පියනක් වගේ
තැලී පොඩිවී ගියපු සිතුවිලි...
පණ ගන්න දඟලන විට
කවියකින් පුළුවන්ය

හුස්ම පිඹ පිඹ හයිය දෙන්නට....

නගින විට මහගිරි දඹ

අත්වැලක් වී සිටින්නට
සිත් අහස් කුස මුදුනක
හත්දින්න තරු පොකුරක්ව
සිනාසී පාර කියන්නට
ගැවසෙන විට ඔබ ඇවිත්...,
පොඩි කර කර උන්නු
ඇස් මායිමට
දෝතටම කවි මල් පොකුරු අරගෙන.....

පෑන් තුඩගින් කළලයක් අඳින

මුහුණු අත්පා වදන් වෙන
ප්‍රසූතය දරුවෙක් වී ලොවට එන
අපූරුම කවියක් දෙන්නම්
ලෙංගතුව කිති කැවුනු සිතින් මමත්....

උස් පහත් වෙන කම්මුලකට

මඳනලක් විත් සිඹින මැදියමට
කිවුල් දිය පිරි මධ්‍යධරණියට
පුදන්නම් කවිය එතෙර කරන්නට...

හදවතේ අහුමුළුත් හෝදලා

සෙත් පිරිත් කර රඳවලා
සිහිනයට නෙත් පියවලා
ළඟ එන දුරුත්තට හිනැහිලා
කවි වලින් හැමතැනම සරසලා
ජීවිතේ හිනස්සමු කවියෙන්ම
හැඩතළත් අපි නෙළා.....

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...