Wednesday, June 27, 2012

බල්ලා සහ ගැහැණිය

_____ බල්ලා සමඟ ගැහැණිය ____
( හැමදාම උදේ හවසට මා දකින දර්ශනයක් ගැන )

දිනකර එක්ක අලුයම මුණ ගැසෙන්නේ
කොට කලිසමට සුදු බැනියම අදින්නේ
කණ්නඩි දෙකත් කලු පාටට තියෙන්නේ
එක සම පාද බලු පැටියද තබන්නේ

අව පැහැ පටිය බල්ලගෙ කර මත ඇත්තේ
හරියට ඇයව ඇදගෙන යනු හා වැන්නේ
අඩියක් තරම්වත් උස නැති බල්ලෙක්නේ
එනමුත් නකුට සෙලවී අඩි තිය යන්නේ

හීතල දවස් වල කමිසෙන් සැරසෙන්නේ
මල් මල් රටා හැඩයක් එහි පෙනෙන්නේ
බෙල්ලේ අංකෙ සමගින් සලකුනු වන්නේ
යුවතිය නොවුන ඇය හා බල්ලා යන්නේ

වමතේ ඇගේ බෝතලයක් වතුරෙන් පිරි ඇත්තේ
දෙපසක ගස් වලට ජලයත් බල්ලා දෙනු ඇත්තේ
ඉඳහිට නැවති දිව එළියට දමනා හැඩ ඇත්තේ
ගැහැණිය හැපි හැපී යන්නේ අනෙ සුනඛෙකු මත්තේ

දිනකට දෙපාරයි ඈ ඇවිදන් යන්නේ
මුවගට සිනහ නම් නොවරදිවම එන්නේ
කතකට මිතුරු වී බල්ලා දෝ යන්නේ
නිවසට බල්ල හා ඇය විතරද ඉන්නේ.....

මෙහෙමත් විගඩම්ද මේ ලෝකෙක ඇත්තේ
සිරිලක මෙහෙම අතරින් පතරට ඇත්තේ
බඩගිනි නිසා මිනිසුන් මිය යනු සත්තේ
තිරිසන් වුනත් බල්ලා පින්කර ඇත්තේ......

_____________________දිනිති___27/06/2012____


Thursday, June 21, 2012

__________අවසන අහස නිදහස් විය __________



ගැබ්බර අහස

විලි රුදාවෙන් පෙලෙමින්
හෙමින් හෙමින්
කදුළු කූඩයක
අඩුම කුඩම ඔබ්බවා
දරු ප්‍රසුතියට සූදා නම් වෙයි....

ත්‍රස්තවාදයේ සුළි සුලං

හමා යමින් තුරු හිස්
ප්‍රචණ්ඩත්වයෙන් රිද්දයි....

ලේ පිපාසිත ගෝරනාඩු

විදුලි ගර්ජනා
අවි අමෝරා අඳුරු සෙවනැලි
විටින් විට එළිය කරමින්
බිය වද්දයි....

ඝණ අන්ධකාරයේ ගුප්ත බවට

තර්ජනා කරමින්
ෂඩ් වර්ණා ලෝකයක්
ගගනතට
වින්නඹු කම් කරන්නට සැරසෙයි.

අවසන මරණයේ වැල

ගෙල ලා සිටි
මහා වර්ෂාව
නිදහස පතා
ටොක ටොක ගා
මහ පොළවටම කඩා වැටුණි.

Wednesday, June 20, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 08


                 එදා සෙනසුරාදාවකි. වෙනදාට කවුරුන් විසින් හෝ අහරවනු ලබන මා එදින උදෑසනම පිබිදී නාන කාමරයට වැදුනෙමි. උදෑසන සීතලත් සමග වතුර මලෙන් නික්මෙන දිය දහරාව මගේ සිරුරට නැවුම් බවක් රැගෙන ආවේය. රතු මල් වැටුනු දිග සායට සුදුපාට ටීෂර්ටයක් දාගත් මා තෙත කොණ්ඩය මුදා හැර පඩිපෙළ බැස්සෙමි.

මෙන්න වැඩක් අද ඉර වෙන පැත්තකින් පායලද කොහෙද.... කියමින් චූටි අයියා කෑගැසුවේය.

ඒ මොකද...?

නෑ ඉතිං අද රෝසමල තනියම උදේ පාන්දර නැගිටලා... ඒ මදිවට නාලත් එක්ක...

ඇයි මං වෙනදට නාන්නැද්ද...?

නෑ ඉතිං අද මේ විශේෂයක් වගේ....කියමින් චුටි අයියා කට ඇද කරමින් ලොකු අයියා දෙස බැලීය.

ඒක තමා මොකක්ද මේ වෙනස....කියමින් දෙවෙනි අයියාද හවුල් විය.

මං එන්නෑ...ඔයාලා යන්න...මහ නරකයි...එසේ කියා මා ආපිට පඩිපෙළ නගින්නට හැරුනෙමි. ලොකු අයියා මා අතින් ඇද ඔහුට තුරුළු කර ගත්තේය.

රෝසමලට විහිළුවක්නෙ කලේ..කියමින් ලොකු අයියා මා කම්මුලක් සිප ගත්තේය. ඒ සමගම මැණිකෙ නැන්දා බෑගයක්ද අතින් ගෙන සාලය දෙසට ආවේය.
දෙවෙනි අයියා

හලෝ මචං....කියමින් ඉදිරිපස කතා කරන කටහඩ මට ඇසුණි. මැණිකෙ නැන්දා තනියම මේ ගමන යන්න ආවාද....එසේ නැත්නම් දෙවෙනි අයියා හලෝ මචං කීවේ සිහිනයියාටද....? එමෙන්ම එදා මල්වත්තේදි දුටු තරුණයාව ලොකු අයියාට මතකයට නැගේද....මේ සියල්ල පෙරපර ගැලපීමට නොහැකිව මහිත දුකින් පිරුණද මා එය සගවාගෙන ලොකු අයියාගෙන් මිදී දෙවෙනි අයියා දෙසට පිය මැන්නේය.
දෙවෙනි අයියා හරිබරි ගැසී පෝටීකෝව යට වේවැල් පුටුවකට බරදී සිහිනයියා හා කතා කරයි. මා දුටු දෙවෙනි අයියා

සිහින මේ අපේ රෝසමල.....මගෙ නංගි....

රෝසමල....මේ සිහින... මාත් එක්ක එකට කැම්පස් ඉන්නෙ....ඒත් මම දැනගෙන ඉදියෙ නෑ මෙයා මැණිකෙ නැන්දගෙ පුතා කියලා....

                  මගේ ඇස් සිහිනයියා දෙස බලා හිදියි. මා ඔහු නාදුනන ලෙස හිටියට මගේ හදවත සතුටින් පිරී ඉතිරෙයි. එහෙත් මෙතුවක් කාලයක් සිහිනයියා දෙවෙනි අදුරන බව මට කීවේ නැත. සමහරවිට සිහින නොදැන සිටින්නට ඇත. එදා මල්වත්තේදි වුව ලොකු අයියා සිහින දුටුවත් දෙවෙනියි චුටුලයි පහුවෙලානෙ ආවෙත්. ඒ කෙසේ වෙතත් සිහිනයියා දෙවෙනි අයියාගේ මිතුරෙකු වීම මට සැහැල්ලුවක් එක් කලේය. මන්ද යත් බැරිවීමකින් හෝ ලොකු අයියා සිහින ගැන මතකය අවදි වුවහොත් මට දෙවෙනි අයියා පිහිටවන බව මා දන්නේය.

              හවස හතර පමණ වන විට අප නුවරඑළියට පැමිණියේය. මැණිකෙ නැන්දා සියල්ලන්ටම කෝපි වක් කලේය. සිහිනයියා දෙවෙනිගේ මිතුරෙක් පමණක් නොව චූටි අයියාගේ හා ලොකු අයියාගේද යහළුවෙක් තරමට එකතු විය. එමෙන්ම ලොකු අයියාට එදා මල්වත්තේදී දුටු අර නැහැදිච්ච එවුන් යැයි මට කිවූ පිරිමි ළමයාව මතකයට නාවේය. අප්පච්චීගේ සිතටද සිහිනයියා අල්ලා තිබිණී.

            මා මගේ කාමරයේ ජනේලය අසලටවී ඈතින් පේන කදුපෙළ දෙසට නෙත් යොමා ගත්තේය. මැණිකෙ නැන්දා කෝපි කෝප්පයක් රැගෙන කතා කරන තුරු මම අවට සුන්දරත්වය විද ගත්තෙමි. මැණිකෙ නැන්දා හා කතා කිරීමෙන් මැණිකෙ නැන්දා හා සිහිනයියා මට යාබද කාමරයේ බව දැන ගත්තෙමි.
කෝපි කෝප්පය අතැතිව මම හෙමින් හෙමින් අඩි තබා සිහිනයියා හිදි කාමරයට ගියේය. මා දැක සිහිනයියා ගැස්සෙන බව මම දුටිමි.

නංගි ඇයි මේ....?

මං ඔයාව බලන්න ආවා...

එහෙම හොද නැ නංගි...බලන්න ඔයාලගෙ ගෙදර අය කොයිතරම් හොද මිනිස්සුද....

ඉතිං ඔයා කියන්නෙ මං හොද නෑ කියලද....?

එහෙම නෙමේ රෝසමල....කවුරුහරි දැක්කොත් හොද නෑනෙ....

ඉතිං මට මොකෝ....

හිතුවක්කාර වෙන්න එපා නංගි ....අපි යන් එළියට....

මට බෑ....ආ ඔයාටත් කෝපි උගුරක්....

තේරුම් ගන්න නංගි.... යං එළියට.....ඔයා එන්නැත්නම් මම යනවා පහලට.....

ඔව් මට තාම මොකුත් තේරෙන්නෑ......ඔයාට හැමදේම තේරෙනවනෙ.....එසේ කියනවාත් සමග මගේ දෑසට කදුළු පිරිවේය.

ඔය ඉතිං ඇස්දෙක රතු කර ගත්තම හරි යනවද...? මම කියන්නෙ ඇත්ත....ඔයාව මට ලඛෙන්නෑ නංගි....අයිති කර ගන්න බලාගෙන නෙමේ මං ආදරේ කරන්නෙ....

ඔය ලොකු දේවල් මම දන්නෑ....මං දන්නෙ එක දෙයයි....ඒ මං ඔයාට ආදරෙයි....එච්චරයි....

හරි දැන් හොද නංගි වගේ යං එළියට....එසේ කියමින් සිහිනයියා මා අතින් අල්ලාගෙන සැදැල්ල දෙසට ආවේය.

මං ඇත්තම කියන්නද අයියෙ....සිහිනයියා දැස ලොකුකර මදෙස බැලීය.

ඔයාව මට නැති වුනොත්....මං වස ටිකක් කාලා මැරෙනවා....
මගේ අත තදට අල්ලා ගත් සිහිනයියා ඒ විසල් පපුවට මා තුරුල් කර ගත්තේය. මට ඉකිගසා ඇඩුණි.

දැන්ම ඕව ගැන හිතන්නෙපා...යං නංගි අපි පහලට....කියමින් මාත් සිහිනයියාත් පඩිපෙළ බැස්සෙමු.
සාලයේ සැප පුටුවකට බරදී සිටි ලොකු අයියා විසල් වූ දෙනෙතින් මා දෙස බලා හිදියේය. වෙනසක් නොදැනෙන්නට මා ලොකු අයියාට තුරුල් විය. සිහිනයියාද අසල පුටුවක හිද ගත්තේය.

පුදුමයි අපේ රෝසමල සිහිනත් එක්ක කතා කරනවද....?කියමින් ලොකු අයියා සිහිනයියා දෙස බලා සිනාසුනි. පිළිතුරුක් නුදුන් සිහිනයියාද පෙරලා ලොකු අයියා හා සිනාසුනි.

ලොකු අයියෙ....අපි යං තේ වත්තෙ අවිදින්න....

දංන් බැ රෝසමල....අපි හෙට යන්...

අනේ....කෝ දෙවෙනියි.....චූටියි....?

ඒ දෙන්නා අප්පච්චි එක්ක ටවුමට ගියා කලමණා ගේන්න...

එහෙනම් ඔයා එනවද මාත් එක්ක යන්න.....මම කිසි වෙනසක් නැතිව සිහිනයියා දෙස බලා විමසීය.

අන්න හරි....එහෙනම් සිහින අපේ රෝසමල එක්ක චුට්ටක් ඇවිදලා එන්න....එලෙස කියමින් ලොකු අයියා අවසර දුනි.

ඔයා හරියට දගයි සිහින.....රෝසමලව පරිස්සමෙන් බලා ගන්න වැටෙයි...සිනහාවී ලොකු අයියා කීවේය. ඔයාලා වගේම සිහිනයියාද මාව පරිස්සමෙන් බලා ගන්නවා යැයි සිතින් සිතමින් මා නැගිට්ටෙමි.
හෙමින් හෙමින් පාර දිගේ ඇවිද ආ මා හරස් පාරකින් තේ වත්ත මැදට ඇවිද ගියේය. සිහිනයියාද මා සමග වීම මහිතට කිව නොහැකි තරම් සතුටක්ය. මා සිහිනයියාගේ අතක එල්ලුනෙමි.

මේක හීනයක් වගේ නේද...? මා කියවයි.

අපි කරන්නෙ වැරැද්දක් නංගි...විශේෂයෙන් මම...

ඔන්න ආයිමත් පටන් ගත්තා....අනේ අයියා ඇත්තටම ඔයාට මාව එපාද....?මං මැරෙනවා දැන්මම.

මේ අහන්න නංගි....ඔයාගෙ දෙවෙනි අයියා මගෙ යාළුවෙක්. ඒ විතරක් නෙමේ ඔයාගෙ අප්පච්චි අයියලා හරි හොදයි. ඇරත් මට මගේ තත්වෙ අමතක කරන්න බෑ නංගි....

හැමදාම වගේ මට කියන්න තියෙන්නෙ ඔය ලොකු දේවල් ගැන මං දන්නෑ අයියා....අන්තිම හරිය කියවන විට මගේ කටහඩ වෙනස් වී ඇසට කදුළු ඉනුවේය.

අඩන්න එපා රෝසමල.....මං මේ ගමන ආවෙ ඔයා අඩනවා බලන්න නෙමේ....සිහිනයියා කියයි. ඔහු එසේ කීවාට මා නොහඩා ඉන්නේ කෙසේද....? ඇත්තටම සිහිනයියා හීනයක්මද....? මා මේ ඇවිද යන්නේ සිහිනයක් දිගේද....? දැන දැනම මා තුරුළු කර ගත්තේ දුකම බව මසිතට ඒත්තු ගැන්වීමට මා අකමැතිය.

         සිහිනයියා මා තුරුල් කර ගත්තේය. මා ඒ උරහිසට හිස තියාන බොහෝ වේලා හිදියෙමි. සිහිනයියා මට ජීවිතය ගැන ආදරය ගැන බොහෝ දේ කියා දුන්නේය. ඒ අතර ඇතින් පේන මීදුම....හැම මොහෙතෙම වැහිබර අහස....හරියට රැයේ දකින හීනයක් තරමට චමත්කාර බවකින් පිරී තිබුණි.


            නුවරඑළි ගමනින් පසු මට සිහිනයියා දකින්නට නොලැබුණි. හිත නොසන්සුන් බවකින් පිරී ඇත. ඔහු නොදැක මා ඉන්නේ දුකෙනි. මෙතරම් සෙනෙහසක් සිහිනයියාට මා වෙන්කර ගෙන ඇති බව මටම විශ්වාස ගන්නට බැරි තරම්ය. එහෙත් ඇත්ත එයමය.
එක දිගට වදින දුරකථනය මට කරදරයක් සේ දැනුනි. එය අතට ගෙන ඕනෑවට එපාවට හලෝ කිවූ මා දෙව්මිගේ කටහඩ ඇසිමෙන් සතුටට පත්විය.

ඉතිං දෙව්මි....කොහොමද....?

දැන් කියනවා ඉතිං දෙව්මි කියලා....නිකමටවත් අනේ මේකි උන්නද මලාද කියලා බැලුවද....? ට්‍රිප් එක ගියා ගියාමයි තාම ෆැක්ට්‍රිය පැත්ත පලාතෙවත් ආවෙ නැහැ. දැන් දවස් කීයක් නම් වෙනවද....

අනේ...සොරි....දෙව්මි

සොරි තමයි....ඒවා ඔට්ටු නෑ...

කියපන්කො විස්තර ඉතිං.... මා දෙව්මිගෙන් ඇසුවෙමි.

මම ඉතිං මොනාද....රෑ ඉදන් එළවෙනකම් නිදා ගන්නවා... සතියෙ දවස් පහ ෆ්‍රැක්ට්‍රියට යනවා. හ්ම්....එච්චරයි.....කියපන්කො උඹේ සිහින කුමරා එහෙම හොදින්ද......?

           අපේ නුවරඑළි ගමන ඇතුළු සියළු විස්තර මා දෙව්මිට කීවේය. එමෙන්ම ඇය නොපැමිණිම ගැන ගැන මා බොහෝ පසුතැවිලි වෙමින් දොස් කිවෙමි.
 වගේම  මා සිහිනයියාව නොදැක ඉන්නේ බොහෝ දුකින් බවද පැවසුවෙමි. එවිට දෙව්මි සිනහාවී...

ආ ඒකට මොකෝ...ෆ්‍රැක්ට්‍රිය ගාවට නම් හැමදාම ආවනේ සිහින... යැයි දෙව්මි කීවේය.
උඩට ගත් හුස්ම පහලට හෙලන්න මට අමතක විය. ඇත්තටම මම නොසිතුවේත් එයමය.

දැං ඉතිං සිහිනව අමතක කරන්න කාලෙ ළගයිනෙ.... නැවතත් දෙව්මි කියයි.

මට තේරෙන්නෑ......

මොනාද.....?

ඔයා කියන ඒවා.....

මං කියන්නෙ........දැන් රන්මුතු සදකිරණි ලොකු ගෑණු ළමයෙක්....හෙට අනිද්දට අප්පච්චිලා හොද කඩවසම් වත් පොහොසත් තරුණයෙකුට සරණපාවා දෙයි....

නැ එහෙම වෙන්නෑ....

ඔයා කොහොමද එහෙම වෙන්නැති බව කියන්නෙ....

එහෙම තමා....මේ ඒක නෙමේ මං එනවා හෙට උදෙන්ම ෆැක්ට්‍රි?

ෂා....නියමයිනෙ....ඒත් ඉතිං ඕන් සිහින සිහින නැම් මගෙත් එක්ක බැරි වෙයි රන්මුතු....

අර මොකේ.....

බලපන් ටිකක් හිතලා.....තේරුමක් තියෙන දෙයක්ද ඒ...එහෙනම් මම තියනවා.....ඕකේ....

ඕකේ....බායී....

            දැන් මට අළුත් අදහසක් ඇතිවිය. ෆැක්ට්‍රියට සිහින අයියාවත් ගෙන්න ගන්න තිබුණොත්....ඒ සදහා මගක් සොයමින් මා කල්පනා කෙරුවෙමි. ඒ අතර තුර අප්පච්චිගේ වාහනය ගරාජය අසල නතර කරන හඩ ඇසුනෙන් මා හෙමින් හෙමින් ඉදිරිපස දොර දෙසට පියවර එසවීය.

මගෙ මැණික...කියමින් අප්පච්චි මා තුරුළු කරගෙනම නිවසට ඇතුළු විය.

අනේ අප්පච්චි හෙට ඉදන් නම් ෆැක්ට්‍රියට යන්න ඕනි...

ඒකනෙ මං පුතාටත් කිවුවෙ....කෝ ඉතින් ඔයා මහන්සියි කිවුවනෙ...

 
ඒත් අද මම කල්පනා කලේ හොද කොල්ලෙක් බලලා කසාදයක් බන්දලා දෙන්නද කියලා... කියමින් අප්පච්චී සිනහා විය. අප්පච්චී සිනහා වූ වාට මට සිනහා වීමට නොහැකි විය.  වචනයක් කතා කර ගැනීමට බැරිව මගේ දිව පන නැති විය.

ඇයි පුතේ මම කිවුවෙ නරකක්ද...බය වෙන්න එපා....දැන්ම එහෙම දෙයක් වෙන්නෑ පුතේ....
යන්තම් මගේ ඇගට ලේ පොදක් ඉනුවේය.
                 
            රාත්‍රියේදී දෙවෙනි අයියා සොයා මා ඔහුගේ කාමරයට ගියේය. දෙවෙනි අයියා පොතක් කියවමින් ඇදටවී සිටියේය. මා දුටුවිට පොත මතින් නෙත් ඉවත් කර

ඇයි රෝසමල....

අප්පච්චි මාව කසාද බන්දලා දෙයිද...

එහෙම වුනාට රෝස මලට පාඩුවෙක් වෙන්නෙ නැහැනෙ....

මට බෑ.....දෙවෙනි අයියෙ.... තව ටිකක් ගෙදර ඉන්න ආසයි මං..

අප්පච්චි කැමති නම් කමක් නැහැනෙ රෝස මල..

ඒක හරි අසාධාරණයියෙ...

              දෙවෙනි අයියා හිද උන් තැනින් නැගිට්ටේය. තේරුම් ගත නොහැකි ලෙස ඔහු මා දෙස බලා හිදියේය. මා කී දෙය දෙවෙනි අයියාට විශ්වාස ගැනීමට නොහැකි ලෙසින්

මට තේරුනේ නෑ රෝසමල.....කීවේය.

මං කැමති දෙයක් කරන්න මට බැරිද අයියා.....මම කීවෙමි.

ඔයා ඔය විදිහට කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද රෝසමල.....

මන් දන්නෑ.....වැරැද්දක් වුනා නම් සමාවෙන්න. මටත් කියලා නිදහසක් නැද්ද අයියා.....

ඔයා වෙනස්වෙලා රෝසමල.......

රෝසමල අප්පච්චි මේ හැදේම කරන්නෙ අපි වෙනුවෙන්.....එයා අපිට කොයි තරම් ආදරේද කියලා ඔයාට තේරෙන්නෑ....

මං දන්නවා.....


කප්පරක් සේනේ පිරි හිත ළග
බවුන් වඩනට බලා සිටිනෙමි
ජීවිතේ අතරමඟ කිසිම දින
වෙන් වෙලා නොයන් මට මගේ පෙම.....

 

Sunday, June 17, 2012

,,,,,තාත්තා,,,,,

______හිතුවක්කාරියකගෙ සිතුවිල්ලක්______
( අප්පච්චි දකීවිද මන්දා )

නැගෙන හිරු පරද්දා

හැමදාම දිනන තාත්තා....
කිචි බිචිය නගන්නට
විහඟුන්ව අහරවන තාත්තා....

ලිප ළගින් අම්මාට
තනි රකින තාත්තා
කහට බැඳි දත් ටික
අඟුරු කැබැල්ලෙන් මදිනා....

අල්ලට දමා ගත් සීනි කැට
ගනන් කරමින් කහට බොන්නා
කිරි පිටි දැමූ කිරි වීදුරුවක්ම
අපි වෙනුවෙන් දුන් තාත්තා....

හිස් බඩම දඩු වැට පැන
කාසි සොයන්නට යන තාත්තා
හිරු දෙවිඳු සමඟින්
තරඟ කර දිනන තාත්තා....

යන්තම් පාන් කෑල්ලක්
පරිප්පු හොද්දක දවටාගෙන
කුස පොත්ත තවා ගත් තාත්තා
ෆ්‍රයිඩ් රයිස් එකක්
කිහිල්ලේ රුවාගෙන
හැන්දෑවට ගෙට ගොඩ වෙන්නා....

කෑගසා වෙහෙසයි කියන අතපය
බූරු ඇඳ මත සතවපන්නා
හිරිකිඩ වැටෙන වරුසාවෙදිත්
උණුහුමයි පුතේ කියන්නා....

_____හැමදාම මෙහෙම ඉන්නට බැහැ
මොනවාද අපිට දුන්නේ______
කියා ඇසු විට අහස බලමින්
සිනා සෙන තාත්තා
ගිනි අරන් හිස මං මුලාවුන දා
තුරුල්ලෙම හංගගෙන
නළලත සිම්බ තාත්තා.

නිරාමිසවම දුක් සුසුම් මැද
සදා සරතැස නිව නිවා
අම්මාට වහන් වී
හය හතර කියා දී
කිසිමදා පැසසුමක්
නොලැබුවෙම තාත්තා.......


___________________________දිනිති______
 
 

Friday, June 15, 2012

_____අම්මා යැයි නැහැ කිසිදින දියණිය කිවුවේ___

සඳවත හීනියට මෝරා නැගෙන විට
ගිනිගෙන දැවෙන නුවරක එක කොනක සිට
යන්තම් සිරුර වැසෙනා රෙදි කැබැල්ලට
උන්නා දැවටිලා බිළිඳිය උණුහුමට....

උදයට දකින අම්මා නැහැ දැක්කේ කිසිදින රෑට
පිය තුම කවුද වග නම් මව්වත් නොදනී හරියකට
දුක සැප බලන්නට නැති වුනි නම් මිත්තනියත් ඇයට
ඇත්තයි ඇයට වෙන්නේ තනියම මහමඟ නිදන්නට....

වත්සුණු තවරගෙන මව් යනවිට හැමදාමත් පාරේ
යන්තම් පෙනෙන දුර බැලුවා ඇය හිස හරවා පාරේ
දවසින් දවස ලොකු වෙන දියණිය උන්නත්  පැදුරේ
හිරිකිත කමින් පිට මං කළෙ දියණිය මව ඇගෙ පාරේ....

වෙනසක් නොපෙන්වා ඇය ඇය දියණිය රැක්කා
නගරයෙ හොදම පාසැලකට දමමින් රැක්කා
මඩ වළෙ පිපෙන සියපත කරනට ඇය රැක්කා
එනමුත් දියණියම ඈ ගැන අපුලෙන් දැක්කා....

දින දින දිරන කය මව් හට නොම දෙයි සැනසීම
රුව නැණ දෙකෙන්
දූ යයි ලෝ පසු පස නොබලාම 
හැකි තරමින්ම දියණිය හට කළමුත් සැපදීම
අම්මේ කියා නැහැ කිවුවේ දියණිය කිසිදාම....

_____________________________________________________දිනිති_______

Wednesday, June 13, 2012

_______මතු බුදුවෙන බෝසත් කම්දෝ_____________

අප්පච්චී......අප්පච්චී......

ඇයි මයෙ පුතේ........

ආන් ටෙලිග්‍රෑම් එකක් ඇවිත්.....අප්පච්චිට එන්නලු......

ඉදින් මේ එනවා.....

ගෙවත්තේ බුලත් කොරටුව ළග වල් පැල ගලවමින් සිටි අප්පච්චී කුස්සිය අසල තිබුණ බාල්දියට අත දමා සෝදාගෙන සරම පිටිපස්සෙන්ම අත පිස දමමින් පාරට ගියේය. පියන් මහත්තයා විසින් ගෙනත් තිබුණ ටෙලි ග්‍රෑම් එක අත්සන් කර ගත් අප්පච්චී එය කඩනවා මා දුටුවෙමි.

හසරැල්ලක්වත් කදුළැල්ලක්වත් නොනැගුණ අප්පච්චීගේ මුහණ දෙසම මා බලා උන්නෙමි. කිසිදු තීරණයක් මට නිශ්චය කර ගැනීමට බැරිය. එහෙත් අප්පච්චී ටෙලි ග්‍රෑම් එක කියවා අතේ ගුලිකර මා පසු කර යන්න හදන්නට වූවා පමණය....

කවුද අප්පච්චි.....

වැඩක් නැහැ පුතේ..මේ බොරුවට...

බොරුවට කිවුවෙ අප්පච්චි...

උඹලගෙ අම්මා මයෙ පුතේ.....

එසේ කියමින් අප්පච්චි ආයෙමත් බුලත් කොරටුව පැත්තට ගියේය. මහිත මොකක්දෝ හැගීමකින් පෙලිණි. අප්පච්චී උඹලගෙ අම්මා...කිවුවත් කවමදාවත් නොදුටු අම්මා ගැන මා හිතන්නට ආයෙත් පෙළඹිනි.

..අප්පච්චි අම්මා කොයි වගේද...

මා මුලින්ම එය ඇසුවේ මොන්ටිසෝරි යන්නට පටන් ගත් විටය. අනෙක් සෑම දරුවකුම අම්මාගේ අත එල්ලී යනවිට හැමදාමත් මා මොන්ටිසොරිය පටන් ගත් මොහොතේ සිට නිමාවන තෙක් රැඳමින් සිට අප්පච්චී එක අතකින් මා තදින් අල්ලා ඇවිද ආ හැටි අදත් මට මතකය. 

මයෙ පුතාගෙ අම්මා සුරංගනාවියක් වගේ...

සුරංගනාවියො කොයි වගේද අප්පච්චී...

මලක් වගේ පුතේ....

            ඉදින් අප්පච්චී මලක් වගේ යැයි කියු මගේ අම්මා ගැන මා සිතුවේ හැමදාමත් ගේ දොරකඩ පිපෙන ලොකු බෝල ඉද්ද මල් ගස දෙස බලමින්ය. ඒ කිරි සුදු පාට ළග පින්බරම හැගුමක් මහිතට ගලා ආවේය. වයසින් වැඩෙත්ම ආයෙම දවසක් මා ඇ‍සුවේ

අප්පච්චී අම්මගෙ පොටෝ එකක් නැද්ද....

ඒ මොකටද මයෙ පුතේ....

අම්මගෙ මුහුණ බලන්න....

          දිගු සුසුමක් හෙලු අප්පච්චී ...අප්පච්චීගේ කාමරයට ගොස් මේන් පුතේ....
       කියා පැහැය වෙනස් වී ගියද බ්‍රවුන් පේපර් කවරයක දමා තිබු ඡායාරූපයක් මා අත මත තැබීය. එහෙත් එය විවෘත කරන ඇසිල්ලෙම අප්පච්චී මා දමා යන්න ගියේය.

         කියාගන්නවත් වචන නැති ඉටි රූපයක් වගේ සුන්දරව සිනාසී අප්පච්චී ළගින්ම අම්මා ඉන්න ඒ පින්තූරය මට ඉහවහා ගිය සතුට ගෙන දුන්නෙමි.

        එදවස අම්මා මලක් වගේ යැයි අප්පච්චී කිවුවේ සත්‍යයක් නොවෙදැයි මට මතක් විය. මම එම ඡායාරූපය සාලයේ කැබ්නෙට්ටුව මත තැබුවෙමි.

පැය දෙක තුනකින් කොරටුවේ සිට ආ අප්පච්චී 

....අනේ මයෙ පුතේ මේක පුතාගෙ කාමරයෙන් තියා ගන්නකො.....

මේක කොච්චර ලස්සනද අප්පච්චී අපි මෙතන තියමු.

        ඇහිපිල්ලමකින්වත් වෙනසක් නොපෙන්වා ආයෙමත් කුස්සියට ගිය අප්පච්චී කිසිදු සද්දයක් බද්දයක් නැතිව රාත්‍රි ආහාර පිසින බව මට දැනුණි....

මගේ අම්මා...මේ තරම් සෙනෙහසක් තියෙන අප්පච්චී නොදකින්න එන්නේ නැත්තේ ඇයි.....

ඇගේ එකම දරුවා වූ මා දකින්නට නොඑන්නේ ඇයි....

   සත්කුළු පව්ව සේ සියල්ල දෙස එකම අයුරින් බලා ඉන්නා අප්පච්චීට කොතෙක් ඇවටිලි කර ඇසුවද ඔහු නිවැරදි විස්තරයක් කියන්නේ නැත.

    එමෙන්ම වෙන විවාහයක් අප්පච්චී කර ගත්තේද නැත. එතකොට අම්මා.. මට අප්පච්චීගෙන් එය අසන්නට දිව නොනැමේ. ඉරිසියාවට මුසු හැගීමක් හදවතේ මගෙ ඇතිවේද යන සැකය මට නැතුවාම නොවෙයි.‍


           කාලය බොහෝ සේ ගෙවී ගියේය. මා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අවදියයි. අප්පච්චී දැන් පෙරමෙන් නොව. හිසකෙස් සුදු වී මහළු වී ඇතැයි මට සිතේ. එහෙත් අදත් නිවසේ සියළු දෙය කරන්නේ අප්පච්චීය. අප්පච්චීට මා එදා මෙන්ම පුංචි කොළු ගැටයෙකි.

         එහෙත් දිනක් මහ රාත්‍රියක අප්පච්චී ඉකි ගසා හඩන හඩ මට යාන්තමින් නින්දත් නොනින්දත් අතර ඇසුණි. ඇස් විවර කර මා සවන් යොමුවේය. සිහිනයක් නොව සැබෑවක්මය.

           මා එක පාරට ඇදෙන් පැන අප්පච්චීගේ කාමරයට දිවුවේය.

           අප්පච්චී සාලයේ තිබුණ අම්මාගේත් අප්පච්චීගේත් ඡායාරූපය තුරුල් කරගෙන පොඩි දරුවෙකු සේ ඉකිබිඳින හඩ මා දුටුවෙමි...

මගේ අප්පච්චී...කියා මා අප්පච්චී බදා ගත්තේය.

මේ ජීවිත කාලෙටම ඒ ඇසක කදුලක් මා දුටුවාමය. 

            සමනල් අඩවිය මායිම් වුන ගමක පිහිටි අපේ නිවස දොරකඩට හැමදාමත් පෙනුණ සමනල් කන්දයි අප්පච්චියි අතර මා වෙනසක් නොදුටුවෙමි. සූර්යයා නෑවිත් ඉදහිට මීදුම ඇවිත් සමනල් කන්ද පෙනීම හංගා ගත්තත් අපේ ගෙදර පාන්දර පහ වන විට රෝඩියෝවේ සෙත් පිරිත් හඩින් අප්පච්චී මා නෙත ගැටෙන්නේය. එකම රැයකටවත් මා අතහැර නොගියේය. යහලු යෙහෙලියන් හා මා රැය ගනන් ගියත් අප්පච්චී කෙදිනකවත් මිතුරු ඇසුරකටවත් යනවා මා නොදුටුවේය.

මයෙ අප්පච්චි..ඇයි.....

මොකුත් නැහැ පුතේ. උඹෙ අම්මව මතක් වුනා.

අපි යන්කො අප්පච්චි අම්මව හොයාගෙන බලන්න.

තේරුමක් නැහැ මයෙ පුතේ.

එහෙනම් අප්පච්චි අම්මට එන්න කියන්නකො....

අපිට ඒක කොහොමවත් කරන්න බැහැ පුතේ....

මගෙ පුතා ගිහින් නිදා ගන්න. හෙට උදේට විස්ස විද්‍යාලෙට යන්න තිනවා නේද...?

ඉන්න මං පුතාට කෝපි එකක් හදලා ගේන්න....

       කිසිත් නොවුන ලෙස ඇ‍ඳෙන් නැකිට අප්පච්චී කුස්සියට ගොස් මටත් කෝපි එකක් හදා දී අප්පච්චිටත් සාදාගෙන කාමරයට යනවා මා දුටුවෙමි.


       හිරු ඇවිදින් ජනෙල් පියන්වල වීදුරු විනිවද කරමින් මගේ ඇස අසල වැදෙන බව දුටුවේ හදිසියේම ඇස ඇරුන විටය. අද මා කැම්පස් යා යුතුය.

අප්පච්චී....මා අවදි නොකලේ....
   වහා දිවගොස් මා කාමරයට එබී බැලු විට රාත්‍රියේ නින්දට ගිය ලෙසම අප්පච්චී හුන්නේය.
කෝපි කෝප්පය බිදක්වත් හිස් වී නැත.

අප්පච්චී....අප්පච්චී...මා අප්පච්චී සෙලවුවේය. ඒ හිස කඩා වැටුණා මිස අප්පච්චී ඇස් ඇරියේ නැත.

තේරුම් දා සිට මවක් පියෙක් වූ මගේ අප්පච්චී නොකියාම ..මේ විසල් ලොව මා තනිකර යන්න ගිහින්ය.


     හෘදයාබාධයකින් අප්පච්චී මා දමා ගිය බව වෛද්‍ය වාර්තාව විය. අප්පච්චීගේ මළගෙදර සියළු වැඩ නෑදෑයින් සහ මා විශ්ව විද්‍යාලයේ මිතුරන් හා එක්ව නිමා කලේය. 

   මගේ තනියට කියා අප්පච්චීගේ මල්ලී නිවසේ තනිවිය. මළ ගෙදරටවත් නා අම්මා ගැන නොයෙක් නොයෙක් දේ මළගෙදර රාත්‍රියන්හි කණ වැකුණි.

මා අප්පච්චීගේ කාමරය සිසාරා බැලුවෙමි. නිකමට මෙට්ටය උස්සා බැලූ විට පරණ ටෙලිග්‍රෑම් කොල කිහිපයක් තිබුණි.

.....නිමලෙ මට සමාවෙන්න......

....නිමලෙ මට සමාව දෙනවා නේද...ඔයා දෙවියෙක් නිමලෙ......

...මේ ආත්මෙ මේ ණය මට ගෙවන්න බැහැ නිමලෙ......  

....මගෙ දරුවට තාත්තෙක් වෙලා ඔයා මුළු ජීවිතේම කැප කලා නිමලෙ...... 
                                     _____නිමි_____