Friday, August 23, 2013

මගේ ප්‍රේමය

ප්‍රේමය
ගොළුවා දුටු හීනයක් වගේමයි
කිය කියා
හිස ලූ ලූ අත දුවන්නිය වු
සෙනෙහෙවන්තිය මා විය.

ඌරන් ඉදිරියේ මුතු නොදමන්
පුන පුනා කීවත්
මා උගුරට හොරා බෙහෙත් බිවුවෙමි.

ආරේ ගති නෑරේ මුත්
මා
ඉවසීමෙන් සැනසීමම පැතුවෙමි.

ආප්ප පනමට ඉඩමක් දුන්නා
සේ හදවතේ සියල්ලම
සූර සූරා වෙන්දේසි කළ
සෙනෙහෙවන්තිය මාම විය.

අත හයිය නම් බත වරදීදැයි
සිත සිතා ඇඟිලි පහම එක වගේ
නොවේයැයි මතුර මතුරා
හිල් කූඩෙන් වතුර ඇද්දෙමි.

හැමදාම දකින කුකුළගේ
කරමලේ සුදු වගේ
කබලෙන් ලිපට වැටුණ
අසරණිය මාම විය.

ඉහේ ඇම්මට කොට්ටෙ මාරු කළ
ජම්මෙට වඩා පුරුද්ද ලොකු
තුන් සිතම මායාවක් වූ
ඔහු අසල
මරණ තුනක් ඇති මිනිහෙක්
පැණි කන්නා සේ ලද ප්‍රේමය
ළඟ හෙම්බත්ව වැළපුනෙමි.

අට වම්බොටු නව සුංගම්
අය කළ පරිද්දට
අත්තටු කපා පියාඹන්නට කියා
ප්‍රේමයෙන් මා නිදහස ලැබුවෙමි.

උනු හින්ද බොන්න බැරි
කිරි හින්ද හලන්න බැරි
මගේ ප්‍රේමය
අන්ධයෝ අලියාගේ හැඩ කිවුවාට සමාන විය.

Thursday, August 15, 2013

සොයනු කුමකටද...

අතරමං හිතක ලතැවිල්ල
නතර නොවෙනා වැලපිල්ල
කතර දුර වුනත් කියවිල්ල
අතර මැද ඇතිය ඇරඹිල්ල...

කවියකට කවියක් සමකළ හැකිද
හදවතක හැගුම් මිල කරණු කුමටද
කුලියකට ගන්න බැරි කමද
කවි හිතක ඇති ගැඹුර දැක්කද...

ඉස්සිලා හසරැල්ල නගන විට
ඇලවෙලා ඇලපිළි දමනකොට
වැරදිලා ලියවුනා කියා කුමකට
කවිවෙලා කවි හිත් පිපෙනකොට...

හඳිස්සියෙ අවදි වුන කුරුල්ලෙක්
තටු ගසා අසන විට රංචුවක්
හිස් අහසෙ ඇවිද යන සිතුවිල්ලක්
වගෙයි ජීවිතෙ තනිකම බරක්

සිසිරයට එන්න යැයි නොකිවුවට
හැමදාම වසන්තය කෝ ඔබට මට
තනිකමට ගසක මල්ඵල හැදුණාට
අයිති නැති හැටි දැක්කාද ගසකට...

ඇල් මැරුණ තැන් හමුවුණත්
ඔප දැමූ කවියක ඇසෙයි වෙණ නද
පිස දමා නිදහස්ව කොනින් කොන
විඳින්නට හැකිය කවි දන්නවද ....

නිදි නැතිව බලා ඉන්නා රාත්‍රියකට
කවි කතා බිම වැටෙයි නොකියාම
සඳ කිණිති එක දෙක හැපි හැපී තිබුණාට
අසන්නට එපා හදවත රිදෙයි හොඳටෝම....

අහුමුළු වලින් එබිකම් කරන විට හඳිස්සිය
මඟහැරෙන තැන් අනන්තය මේ විශ්වයෙම
හැව ඇරල ඉස්මොළ ඇතුළෙ පිරිසිඳුව
බලනු මැන කවියෙක් සොයා යනු කුමකටද.....

Saturday, August 3, 2013

පරදමු අමන කැළ

නිදහස ලබා ඔල්වරසන් ගැසුව දිනේ
නුඹලා වුනිය මහ විරුවන් සතර කොනේ
මඳහස පපා රට කරනා උන්ගෙ විනේ
පිපිරී ගියා නොවෙදැයි නුඹලාට අනේ...

හරි හෝ වැරදි අණසක ලැබුණාය කියා
හිත හෝ නොහිත උණ්ඩය දුර ගියා කියා
අද හෝ හෙටත් මේ බිම අපගේම කියා
සුරකින නුඹලාම ඇයි කලෙ එවැනි නියා

උඩ යට දෙපැත්තෙම ඉන්නේ හොරුයි රටේ
මුල මැද අගින් කොතනිත් කනවාය ඇටේ
දුක කිය කියා ගියහොත් වැරදෙනව රටේ
පෙර දින ගිහින් මනුදම් නැව් නැගල රටේ

පෙනි පෙනි වරද ඇස් පියවන් ඉන්න විට
පැන පැන හුරේ තියනව උන් හතර වට
නුඹ මෙන් මමත් ඉපදුන මේ උතුම් රට
තිරිසන් අමන කැළ පරදමු නොදී හෙට

_____________________දිනිති _______