Showing posts with label කවියක්. Show all posts
Showing posts with label කවියක්. Show all posts

Wednesday, July 19, 2023

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර ,

ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න,

ඔබ ගිය තැන සිට

මා  දරාගත්තේ කෙසේ දැයි

නොඅසන්න 


ආදරයක අකුරු අතරට වැඩි යමක්

ඔබේ ඇසුරෙහි මා විඳි බව දැනගන්න

විටින් විට හැමූ සුළං කැරලි මැදදී

ඔබ අතනෑරිය බව මම අදද දනිමි.


අසංවර මල් පෙති බිමට වැටී

ඔබ අසල දැවටුණයුරු මා දුටිමි

අදද ඔබ හා ගැ⁣වසී සුවඳ තවරන්නට

වෙර දරන බවද දනිමි.


සොඳුර , 

ආදරයේදී මා ඔබ අතික්‍රමණය කර හමාරය

දිනුමක්ද පැරදුමක්ද අදාල නැතිබව පවසමි

අහස වැහි බිංදු අත්හරින්නා සේ ඔබ මා

ඉවතහළ බව දැනුදු දන්නෙමි.

ප්‍රේමයේ වියෝවෙහි චමත්කාරය කැටිකර

මේ දැන්ද මම ඔබට ලියන්නෙමි.


ඔබ ගැවසුණු දැවටුණු සියල්ලකම

දැවිල්ලක් රිඳුමක් නැත්තා නොවේ.

එහෙත් අතීතයේ සේම මම හුස්ම ගන්නේ

ඔබේ ඇස්වල උතුරාගිය ස්නේහය නිසාමය.


සොඳුර ,

ආ ගමන කෙසේදැයි නොඅසනු

අප වෙන්ව ගිය තැන සිට 

පරිච්ඡේද ගැණිය නොහැකි තරමටය.

ඒත් ,

වසන්තය ඔබේ දෑත මැද බව මම තවත්

විශ්වාස කරමි.

යන එන මඟකදී හමුවෙතැයි සිතමි.

එතෙක් මම හොඳින් බව ඔබට පවසමි.

❤❤❤❤❤❤

Saturday, February 25, 2023

නන්දා



සකිදා ගිහින් මඟහැර  ඇහි පියන් දෙක
රන්දා කඳුළු මැද වටපිට විමසිලිය අද
බන්දා පෙමින් ආතුර හද මඩල යට,
නන්දා තාම තෙමෙනව ඇති මහ ගෙදර මැද

සිසිලයි කියා කරදිය හුලඟ ද සිම්ඹේ
මිහිරියි ප්‍රියේ උඩරට  නා එක සොඳිනේ
සඳුදයි දිනය අත්සන් කර ලියමන ගත්තේ
දිළිඳුයි ප්‍රියේ ප්‍රේමය ඔබෙ දැන් වැටහෙන්නේ

වෙනදා තරම් ඉරහඳ නෑ යෞවන වෙන්නේ
නැතිදා සුවඳ මලක⁣ට තනිකම රජවෙන්නේ
හැරදා ගියත් ඔබමොබ මතකය ඇවිදින්නේ
නන්දා ගෑනු අපි ඇයි මෙච්චර ඉවසන්නේ ? 

#දිනිති  #ජංගමකවි  2023/02/25

Monday, January 9, 2023

නික්මුම

 නැවතී එක තැනක ඉන්නට 

හැකි නම් හොඳය

ඇහැරී යන්න වෙන දවසට

හොඳටම දුකය

මිහිරී කියා සිතුවත් හිත යට

සෙවනැලි ඇදය

තනිවී හඩමු අපි ජීවිතයට

ඉඩ දෙමු එහෙම


පිපිලා දෙපස සිනහව ලැබුවත්

දුෂ්කරය

හැරිලා නැවත එන එක තවමත්

සිහින

මිදිලා අපෙන් අපි ඉගිලෙන විට

රිදුම

දැනිලා වැටෙන කඳුලට නම දෙමු

ආදරය


තැවිලා ලැබෙන එක'මෙක දෙය

ඇවිලිල්ල

දුවලා ගිහින් නවතින්නට බැරි

නැවතිල්ල

පැලිලා හදවතේ හැම තැන ලේ

විසිරිල්ල

ලියලා නිම කරනු බැහැ සෙනෙහස්

ගගුලැල්ල


Friday, December 16, 2022

" මල් කැකුලක් ඒ "

 නිමිත්ත -: 

පාසැල අවසන් වූ විට තම දියණිය වඩාගෙන වේගයෙන්  ත්‍රිවිලරයකට නැඟි පියෙක්. ඒ පසුපස දුවගෙන ඇවිත් ත්‍රිවිලරයේ ගමන නැවතූ මවක්. අවසන මවත් පියාත් දෙදෙනා අතටම මාරු වූ දියණිය.😥😥😥 2022/12/15 

=============================

කැකුළකට බෑ කියන්නට

ගසද, සුලඟද ඕනි කියලා

=============================

දරාගෙන දොළදුක ද

විලිබරත් කර තියාගෙන

පොහොර වතුරත් සමබර යොදා

ගසක් කැකුළක් පුබුදුවන්නට

හෙලූ දහදිය නැත ලියා


සියලු ඉහිලුම් ඉකිලුම් හංඟා

මුදු සුමුදු සිහිලැල් පැන් පෙරා

කෑ නොකෑ දේ හිත යට තබා

සුලඟ නිහඬයි කැකුළට හිස තියා


අතරමැද මෝසම් සුලි සුළං වී

කේඩෑරි, නියං සාගිනි උහුලලා

ගසක් පීදුව කැකුලකට අයිතිය ලියා

සුලඟ තනිවෙද සුවඳක් විඳ දරා


ගස ද, සුලඟ ද කවුරු අයිතිද

කැකුළ නොදනී හිස් තැන් පුරා

බදා ගස කෑ ගසා හයියෙන්

සුලඟ ඉල්ලයි කැකුලම මගෙ කියාක


මලක් වෙනවද

පෙති දෙපෙති පිපෙනවද

සුවඳ දෙනවද 

ගස අතැ'ර දුරක යනවද

සුලඟ හා ගතු කියනවද 

උපන් නූපන් හැඟුම් කැටිකොට

කැකුළ ඇත ලෝකය දෙස බලා 


#දිනිති #ජංගමකවි 2022/12/15

Tuesday, October 18, 2022

ඔබට

 අතහැරී ගිය ක්ෂේම භූමියකි

හිස පහත් කරගත් වලාකුළු රෑනකි

අරියාදුවට හමන සුලං කැරැල්ලකි

ඔබ සොයා ආ දුරක වෙහෙස  අපමණකි.


සිසිර, හේමන්ත, ගිම්හාන කලින් කල

මහලු වූ වසන්තය සිහින්ය. කේඩෑරිය

කණාටු ගසකි. මලක පහසක් අහිමි

ඔබ නැතිව ගෙවූ වසර විසි ගණන එහෙමමය


අලි කොටි වලසුන් පිරි මහ වනයක

තනිව අතරමංවෙන පුරුද්දක

හිතට හිතවත් නැති මූසලම දවසක

ඔබ අහිමිවේදෝයි හිතෙන එක පුදුමය


හෙලූ අපමණ කඳුළු තවමත් ඝනව නැත

සුසුම් තවමත් සුලි සුලං වී වරින් වර හමති

"මැණික" තුටකට ලැබුණ ලස්සනම රෝස මල

හෙටත් හදවත් ද්වාරයෙ පිපෙනු ඇත.


කල්ප ගාණක් තරම් නොහිමිකම් මැද

එකම එක හිමිකම ආදරය බව දැන

තව තවත් අගුලුලා හද බිතට තදබල 

ඔබ ඔහොම හිනාවෙනු මැන පෙරලෙස


මඟහැර ගිය භව ගණන අමතකම කර

මේවරත් තනිවම වෙසෙමි ඔබව සිහිකර

අහසකට බරක් නැත කොයිතරම් පෑයුවත් තරු

"මැණික " මම  ආදරේ කරමි  භව භව පුරා


#දිනිති #ජංගමකවි

Thursday, September 22, 2022

"ඔබ මිස වෙන අය නොපැතූ

 සීමිත ලෝකෙක

අසීමිත බන්ධනය

ඇස් ඉස්සරහ මතුවෙද්දී

උස්ම උස් තැනකින් හදවතේ

මම ඔබව වැළඳගමි.

සිප ගනිමි. සඟවගමි.


මැණික,

නිද්‍රශීලී මන්දස්මිතයකට

සප්ත ස්වරයම එකවර නින්නාද කරවූ

නිශ්ශබ්ද ඉරණමක නැවතුම තැබූ

ගසල් ගීයක මිහිර කැන්ද වූ

මගේ වෛවර්ණ හීනය...


සියලු හැඟීම් එකවර එකතුකර

ප්‍රේමණීය බැල්මකට වශීවන

මගේ මන්ත්‍රකරු

මා ඔබේ දැහැනෙන් අත් නොහරිනු

ඒ නේත්‍ර ගැටීමට මා මනාපය.


"ඔබ මිස වෙන අය නොපැතූ "

❤️❤️❤️❤️❤️


#දිනිති

Monday, September 5, 2022

"කිසිම කවියකට ජීවිතේ ගලපන්න එපා සාරදා"


සතර වරම් දෙවියන්වත් නැති

හතරමං හන්දියක වෙන් වුන

"හත්වලාමේ එහෙම වුනාදැයි "

හත්මුතු පරම්පරාවම අහන දවසකට,


‍පෝරුවේ හයියෙන්ම සිනාසුන හැටි

පපුවෙ උණුවතුර නටපු ලස්සන

අෂ්ඨක කියද්දිත් සභාවට විරිත්තුව

‍හේතුව කවුරුවත් දන්නෙ නැහැ සාරදා


"ලස්සනම ජෝඩුව ඉටි රූප පරද්දන"

‍"කොහොම ගැලපෙනවද ඒ වගේ" අහන

මධු සාද, මධු බඳුන් යටි හිතින් රවන

අලංකාරම මඟුල අහවර තමයි ඇරඹුම


ඔයා මාවම තුරුල්කරගෙන ගත්

පළමු ඡායාරූපය මේසයක් කොන

මකුළු දැල් මිතුරු සඳ වී පොරවගෙන

ඇත්තටම එතන අපි හිටියද සාරදා


කන්න ගත්තත් උගුර මුල හිරවෙන

ඔයාගේ හොඳම විතරක් මතක්වෙන‍‍

‍කොතනකවත් වැරැද්දක් නොපෙනෙන

ඔයාවම ගැලවිලා විසික් වුන හැටි සාරදා


ආදරේ කියන්නෙම අල්ලාගැනීමම

ආදරේ කියන්නෙම අත හැරීමම‍‍

‍දෙකම එකලෙස දරාගෙන ඔබම

වැස්සකටවත් මතක්වෙනවද අපි ගැන


‍දොසක් නොකියමි මනමෙ කුමරිට

ඇසක් සේ රැකි ඔබ ගැන දනිමි

එකක් කියනෙමි ඔබට පෙර ලෙස

කවක් තුළ ජීවිතේ නැහැ කිසි දින



Thursday, January 10, 2019

අප්පච්චි ඊයෙ රෑ යන්නටම ගිහිල්ලා
========================
මේ තරම් වැහි දරුවො අහස් අම්මට බරදැයි අසා
හැමදාම මිහීකත අසන පැනයකි හිත වසා
රෙද්දක්ද, සරමක්ද වෙනසක්ම ⁣නොපෙන්වා
උන් ටිකත් එක පාර පනින හැටි පුදුමයි ඇස් ගසා


තුරු මඬුලු තැනින් තැනකට හිස නමා
මුමුණාවි නෙක කතා ගම්ගොඩේ හැටි ගොතා
කේලමක දිඟ පළල මනින්නට මිම්මක් නැති නිසා
සුළං කිරිලියො යයි, ඇවිලෙනා ගින්නට පිඳුරුත් දමා

දහදියක මිළ ගණන් කැඳවන්න බැරි නිසා
වැව පහළ ගොයම් පැල ඉකිගසයි ලය පලා
කරන්නට දෙයක් නැහැ දරන්නට බැහැ කියා
ගඟත් ඉස්සී මුහුදට ගියා රිසි අතට මාවත් සොයා

ඉල් මහේ පිපිණු මලකින් නටුවෙන්ම උදුරලා
අහස් අම්මා ශාප දෙයි හරි වැරදි නොවිමසා
හිතේ හයියත් අවසානෙ නැතිවෙච්ච බව ලියා
අපේ අප්පච්චි ඊයෙ රෑ මැහි තෙලට ජීවිතෙ පුදා

Wednesday, November 14, 2018

මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා

මොනර පිල්වල හැඩය බල බල ‍‍මොනර නැටුමකට හිටියා
" සළඹ" පත්තිනි දුන්න දවසෙම නැවත අරගෙන ගිහින් තිබුණා
දුවන සලෙළුන් හිතින් අස්කර ආයෙ ආයෙත් අඩිය තිබ්බා
තිත්ත කළුවර එක්ක එළියට නටන නැටුමට හුස්ම වික්කා

තෙවෙනි ඇස කිය කියා බහුතර පිරිමි කලවා පොටෝ ගැහුවා
තිරේ දිලිසෙන විටදි සළුවෙන් තට්ටමත් බේරිලා පෙනුණා
"අනේ නොදකින් " කියා බහුතර ගැහැණු පිරිමින් බනිනවා ඇහුණා
ඇත්තමයි ඒ මමයි කියලා අඳුරනා කවුරුත්ම නොහිටියා

ගියේ ආවේ බස් දෙකක මහ සෙනඟ පොඳියට පිරිල හිටියා
ඒකේ රියදුරු තවත් හයියෙන් සද්දෙ හොඳහැටි වැඩිකලා
"අනේ අම්මපා මෙහෙම ගෑනුත් " කියන හඬවල් මටත් ඇහුණා
ඇත්තමයි ඒ නැටුමෙ නැටුවට මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා


රෙද්දෙ තුත්තිරි හොය හොයා උන් අපේ අම්මට බනිනවත් ඇහුණා
කන්දෙ විස්තර දන්නෙ නැතුවට උන්, කටින් කඳුවල මිම්ම දුන්නා
ඔහොම නට නට ගන්න සොච්චම වේලටත් මදි හිතින් ඇඩුවා
වේදිකාවෙදි රෑට නැටුවට ජීවිතේ කටු තුඩු උල්ව ඇනුණා

පසුවදන‍‍ - ‍‍
සංගීත ප්‍රසංගවල නර්තනයට සහභාගීවන තරුණියක් එම සංගීත ප්‍රසංග ප්‍රචාරය වන පොදු මගී ප්‍රවාහන බස්රථයක ගමන් කරද්දී ඇයට ඇසුණ සිද්ධියක් හා සම්බන්ධය.


2018/11/14

Thursday, August 9, 2018

කවි කියන්නෙ කවියන්ගෙ කඳුළු

රිඳුණු පෑරුණු තුරු අඟිසි අස්සේ
මතක වේලුණු ලකුණු ඔස්සේ
බුහුටි සිතිවිලි ඔතා රිස්සේ
ඔහේ පාවෙයි වලා තිස්සේ
ළඟින් තැවරුණු සුවඳ කුසුමක්
හෙමින් සිම්ඹත් තැවුල් නිවුනේ
අතින් සන්කර වැටෙන වැස්සේ
කොපුල් මැද්දක කවි ද ලිවුවේ
පෙමාදර පිනි දියර සිහිලේ
තෙමාලන කවි පොකුරු ඇතුලේ
වෙලීගෙන පොඩි අකුරු තුරුළේ
හඬන කවියන් වෙස්වලා ගත්තේ

Thursday, July 26, 2018

අම්මා



ආදරේ ගැන හොඳටෝම අඳුරගෙන
ජීවිතේ මුල ඉදන් පහද පහදාදෙන
හාමතේ වැටීගෙන හදවතම දන්දෙන
සාගරේ කොයිතරම් පුංචියි ද "අම්මා" ළඟ

හිසේ සිට ගිනි අරන් ඇවිලෙද්දි
"පුතේ " කියලා සීතලට හිත තවන
අතේ ඇති වත්කමක් කිසිදාක නොබලන
හිතේ හයියට අම්මගේ කළු ගලුත් වෙඬරු වෙන

මුසාබස් දෙස් දොවොල් නෑහිච්ච ගාණකට
අසා ලිවු සටහනෙත් වැරිදි හරි ගස්සවන
පුරා පුන් පොහොයටත් හඳ ඉතින් පරද්දන
සදා හද බිත කැටයමකි අම්මගේ දරු පෙම

සනුහරේ විටින් විට අලුත්වෙයි කවි කතා
කළුවරේ කඳුළු බොයි ඇය සොඳුරු ගීතයක්.
ලෝකයම සමු අරන් ගියත් දවසක මගෙන්
ආදරේ කියා දුන් මියුලැසිය රැඳීයන් හැමදාම

Monday, July 9, 2018



මහන්සිය කැරකිල්ල අතැතිව
ගිලෙයි හිරු මහ මුහුද මැද්දක
හාන්සිය නැළවිල්ල මුසුකර
අඳුර හිනැහෙයි දෙනෙත් අද්දර


රැහැයියන් බකමූණෝ ළංකර
කවිකතා ගොතනව ඇහුණෙ ඉස්සර
පිහි ඇනුම්, වෙඩි තැබිලි මුසුවුණු
සොඳුරු රැය මේ ඩිස්නිලන්තයෙ

වීථිවිල කඩු හරඹ සැණකෙළි අතරතුර
පුංචි උන් පිස්තෝල සෙල්ලමෙ
කපුටො, කොවුලන් මරාගත්තට
ඩිස්නිලන්තය බොහොම පිරිසිඳු

භයානක වෙස්මුහුණ පළදා
ගෝනි බිල්ලන් ආවෙ ඉස්සර
දෙනෝදාහක් ඇස් ඉදිරිපිට
උන්ගෙ සාදය උන්ට රිසිලෙස


මහ රජුන් නිදි සුවයෙ සිහිනෙක
යුව රජුන් හිස් කරයි කහවණු
කේතුමතියත් පැරදිලා දැනටම
වීථි මැද්දේ පුදුම පෙළහර


බැංකු කැඩුවා, සූදු කෙළියා
කේවට්ට රැළ සැනසුවා පැතුලෙස
බදුත් ගැහුවා බතුත් කැවුවා
ඩිස්නිලන්තයෙ මුත්‍රාත් හරි මිල


වැලේ වැල් නැති කුහුඹුවන්ටත්
උන්ට ආදරෙ කරති මහ රජු
හතේ හතවත් නැතිව පොරකන
දනන් පොහොසත් ඩිස්නිලන්තයෙ


2018/07/09

Sunday, March 25, 2018

කල්පාවසානයට පෙර
ඔබේ එක් මිහිරැති හාදුවක්
ස්වප්නයකින් තොරව
ස්පර්ශ කලයුතුව ඇත
ආදරේ යොදුන් ගණනය කල නොහැකි
ආනන්දනීය එක් රාත්‍රියක්වත් මට දෙනු මැනව
ප්‍රිය සම්භාෂණයක අතරමැද
සිහින් සංගීත නාදයක තාලයට
ඔබ උරහිසට වාරුවෙන ඒ ක්ෂණයකදී
චුම්භකව, ආලිංගන හාදුවක් පුදනු මැන
සීසීකඩ විසිරි ගිය සුවඳ ස්වල්ප බැගින්
හදවත් මංජුසාවේ තැන්පත් කරමින්
ඔබේ ස්වරණ නේත්‍රාංගනීය කැල්මට
අලංකෘත වචන එකතුකරමින්
සඳදිය දහරක් යට නැහැවි නැහැවී
සෑම රාත්‍රියකම ඉන්පසු ලියන්නම්
ඈත ඈත හිම කඳුවලට එපිටින්ද
මෑත ස්ටෙපස් තෘණ බිම්වලද තනිවන
සෑම හදවතක්ම මා හමුවද්දී,
අමරණීය කවියෙක් කියනු ඇත.
ඒ සුන්දරාස්වාදයට ඉතින් ප්‍රිය කරමි මම.

Sunday, January 28, 2018

කවියක් ගැන



" රෑ සමනලිය, කාගෙත් සුන්දරිය, ගණිකාව යන ව්‍යවහාරයෙන් ද, ජබ්බා, ගොනා සහ බඩුව යන ව්‍යවහාරයෙන් ද පිරිමින් විසින් අමතනු ලබන ගැහැනිය සිය සේවාව සපයන්නේ පිරිමින්ට ම බව ඒ කාන්තාව සමග යහන්ගතවන පිරිමින් ම නොසිතයි. එමෙන් ම ඇය ද ඇට, මස්, ලේ නහරවලින් සුසැදි මිනිස් ප්‍රාණියකු බව නොසිතයි. ඇය පිළිබඳ ලියැවි ඇති කව් ගී අපමණ ය. ඒ අතරින් වඩාත් සංවේදී ගීතයක් ලෙස අමරසිරි පීරිස් ගයන ‘‘ළය නොපෙනෙන ළැම පමණක් පෙනෙන’’ ගීතය ඉතාමත් සංවේදි ය.
යට සඳහන් දිනිති දිපිකා කිවිඳියගේ කාව්‍ය නිර්මාණය ද ගණිකාවක හෙවත් රෑ සමනලියක පිළිබඳ ලියැවුණ කවියක් බව එය කියැවූ සැණින් ම වැටහෙන බව අරුමයක් නොවේ. එහෙත් මෙම නිර්මාණය නිමැවුම සඳහා කිවිඳිය යොදාගන්නා කාව්‍යාලංකාර පිළිබඳව නම් යමක් සඳහන් කළ යුතු ම ය. මම එය සටහන් කරන්නේ මගේ වීඳීමේ පරාසය අනුව ය. සමස්ත කවිය තුළින් පිළිබිඹු වන්නේ කුමක් ද යන්න වෙසෙසින් සඳහන් නොකරමි. එහෙත් මෙම නිර්මාණයේ පද ව්‍යවච්ඡේදනයට ලක් නොකර සිටින්නට නම් නොහැකි ය.

වර්තමානයේ ගණිකා වෘත්තියට පිවිස ඇති බහුතර කාන්තාවෝ මත් කුඩු හෝ වෙනත් කුමන හෝ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වි ඇති බව නොරහසකි. ඇය එසේ කරන්නේ ඇයිද යන්න ඇය සමග යහන්ගතවන පිරිමි නම් කිසිදු අවධානයක් යොමු නොකරන බව සක් සුදක් සේ පැහැදිලි ය. කිවිදියගේ අනුබූතියට ප්‍රස්තුත වන ගණිකාව ද කුමන හෝ මතුද්‍රව්‍යයක් පානය කර ඇති බව ව්‍යංගාර්ථයෙන් පිළිබිඹු කරන්නට කිවිඳිය යොදාගෙන ඇති රූපක සහ වක් බිණුම් කෙතරම් අපූරුදැයි විමසමු.
‘‘වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ’’
කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතා කර සිටින පිරිමින් සේම කාන්තාවෝ ද මෙම ශරීර ලක්ෂණ (තමන්ගේ සිරුර තමන්ගේ නොවන තරමට නිසලව මෙන්ම දෑස් අඩවන් කරගෙන හෝ අහස දෙස යොමාගෙන) පහල කරන බව වෙසෙසින් සදහන් කළ යුතු නොවේ. කිවිදිය මේ සියල්ල පැවසිම සදහා යොදාගන්නේ වදන් අටකි. ඒ අන් කිසිවක් නොව කවිතාව ම ය.
ඇගේ බොකුටු හිසකෙස් මඳ සුළගට සැලෙන බවත් ‘‘බෝ ගසක්’’ නොව ‘‘කපුටු බෝගසක්’’ යට සිටින ඇගේ දෙනෙතේ දිස්නය හෙවත් ඇය ගොදුරකට ඉව අල්ලන බවත් කිවිඳිය ඉතා සුමට ව්‍යංගාර්ථයකින් පවසන්නී ය. එමෙන් ම ඒ ගණිකාව වෙත පාපි බැලුම් නොහෙලන ලෙස ද කිවිඳිය අයැද සිටින්නී ය. ඒ අන්කිසිවක් නිසා නොව අද රැයේ ඇය සමග යහන්ගතවන පිරිමියා ම හෙට උදයේ ඇය පරිභවයට පත්කරන බැවිනි.

පිරිමින් ඇයට ඇරයුම් කරන බව පසන්නට ද කිවිඳිය යොදාගන්නේ වක්ක්‍රෝක්ති හෙවත් වක් බිණුම් ය. කිවිඳිය කිසිවක් ම ඍජුව නොපවසන්නී ය.

‘‘විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ’’
යනුවෙන් කිවිඳය පවසන්නේ ඉහත යථාර්ථය යි.

ගණිකා ඇසුර පතන බහුතරයක් ම කනිකඩ ජීවිත ගත කරන පිරිමි නොව බිරිදක් සහ දරුවකු, දෙදෙනකු හෝ ඊටත්වඩා සිටික පිරිමියකු විය හැකි ය. ඔවුහු සිය නිවසේ දී මෙන්ම බාහිර සමාජයේ ජිවත්වන්නේ උපාසකයෝ ලෙසිනි. එමෙන් ම ඔවුහු ගනිකාවකට ඇරයුම් කරන්නේ ද ඒ අවට සිටින කිසිවකුට නොදැනෙන පරිදිය. මේ සියලු කාරණා පවසන්නට කිවිඳිය උපස්තම්භක කරගන්නි වදන් හතක් පමණි.
‘‘කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ’’

ගනිකාවකගේ හදවතෙහි පවත්නා දුක, වේදනාව පිළිබඳ වචනයෙන් පවසා ඇයට පිළිසරණක් නොලැබෙන බවත් එ’නිසා ම ඇය සිය සිරුර පුදකරන බවත් බොහෝ පිරිමි නොසිතති.
‘‘පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ’’
යන දෙපදයෙන් කිවිඳිය පවසන්නේ මේ ඛේදවාචකය නොවන්නේ ද? අනතුරුව කිවිදිය සමාජයෙන් ආයාචනයක් ද කරන්නී ය.
‘‘කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ’’
...යනුවෙන් කිවිඳිය අයැද සිටින්නේ එයයි.

රාත්‍රිය පුරා ඇගේ පහසෙන් සැනහෙන පිරිමියා අලුයම වන්නටත් පෙර ඇය හර දමා යන්නේ කිසියම් පලතුරක යුඹ උරා බීමෙන් ඉක්බිති එය කොතැනක හෝ අතහැර යන වවුලන් සේ ය. එය විද්‍යමාන කරන්නට කිවිඳිය උපස්තම්භක කරගන්නා ව්‍යඞගාර්ථය මෙසේ ය.
‘‘යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ’’
මෙම දෙපදය කියවන මොහොතේ දී පාඨකයාගේ මනසේ ක්ෂණයකින් අදාළ මතුපිට සිදුවීම චිත්‍රණය වීම අරුමයක් නොවුනද කිවිඳිය මේ වාග් මාලාව තුළින් ප්‍රකට කරන යටි පෙළ ඊට වඩා සංවේග ජනක ය.

සිය පාරිභෝගිකයා සන්තර්පණය කිරීමෙන් ඉක්බිති ඇය මහමගට බසින විට පසුදින පාන්දර විය හැකි ය. එවිට රාත්‍රී තාලයේ අටවා තිබූ රෑ කඩ ද අදාළ ස්ථානවලින් ඉවත් කරගෙන තිබෙන්නට පිළිවන. එමෙන් ම ඇය එසේ සිය පාරිභෝගිකයා සන්තර්පණය කරන්නේ කිසිදු කායික තාප්තියක අවශ්‍යතාවක් උදෙසා නොව සිය දරුවන්, දෙමාපියන් හෝ සොයුරු සොයුරියන් පෝෂණය කිරීම පිණිසම විය හැකි ය. කිවිඳය එය මෙසේ ගම්‍ය කරන්නී ය.

‘‘දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ’’

අවසන කිවිඳිය ඉල්ලා සිටින්නේ මේ කාන්තාව පිළිබඳ කවක් පබඳින ලෙසයි.

‘‘කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ’’

එවිට ඇය වචනයෙත් ස්තූති නොකළ ද ඇගේ සිත සැනසෙන බවද කිවිදිය පවසන්නී ය.

බොහෝ කව් ගි සදහා ප්‍රස්තුත වි ඇති මෙම චරිතය දෙස තරමක වෙනස් කෝනයකින් දකින්නට මෙන්ම ලාඨකයාගේ හදවතේ ගණිකාව පිළිබඳ සංවේදිතාවක් ඇති කරන්නට මෙම නිර්මාණය බොහෝ සෙයින් උපකාර වන බව සදහන් කළ යුතු ම ය. ගණිකාව යන් ද දරුවන් පෝෂණය කරන මවක්, දෙමාපියන් පෝෂණය කරන දරුවකු හෝ නොයුරු සොයුරියෝ පෝෂණය කරන සොයුරියක් ලෙස සිතන්නනැයි කිවිඳිය පාඨක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නී ය. සැබැ කවියකු හෝ කිවිඳියක නම් කළ යුත්තේ ගණකාව නම් වූ ඇයට ගැරහීම නොව, ඇය දෙස උපහාසයෙන් හෝ අපහාසයෙන් බැලීම නොව ඇය ද මනුෂ්‍ය කාන්තාවක ලෙස සැලකිම ය. දිනිති ඒ වගකිම සහ යුතුකම සිය නිර්මාණය තුළින් ප්‍රකට කර ඇත. "

Jayasiri Alwatta
18/01/08

කවියක් ලියා විඳින සතුට මේ හැර වෙන කුමක්ද ? අපමණක් ස්තුතියි ජයසිරි අලවත්තඅයියේ, ඔබේ වටිනා කාලය වැය කරලා "මම විඳි කවියක්" තුළ මේ අපූර්ව සටහන ලියා තිබුණාට.

වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ
බොකුටු කෙහෙරැලි ආලිංගනයට
මඳනලට ඇරයුම් කොට තිබේ
කපුටු බෝ ගස යට දිලිසෙනා
නෙත් දෙකක් ඇත සබේ
පවිටු හිතකින් නොබලපන් නුඹ
රෑ මනාලිය ඒ සුන්දර හබේ

විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ
කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ
පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ
කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ

යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ
දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ
කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ

Tuesday, January 9, 2018

තුති නැතත් හසරැල් වටියි

වකුටු වී මලානික අතපය හකුලගෙන
තාරකාවන් නුබ ගැබේ
බොකුටු කෙහෙරැලි ආලිංගනයට
මඳනලට ඇරයුම් කොට තිබේ
කපුටු බෝ ගස යට දිලිසෙනා
නෙත් දෙකක් ඇත සබේ
පවිටු හිතකින් නොබලපන් නුඹ
රෑ මනාලිය ඒ සුන්දර හබේ

විදුලි එළි මුණු මුණු ගගා
මඟ දෙපස ඔච්චම් කරන්නේ
කැඳලි තිබුණට බෝ ගසුත්
මුණිවතට අත්පුඩි ගසන්නේ
පැතලි හදවත අතට දෙන්නට
බැරි නිසා සියොළඟ පුදන්නේ
කැබලි කර කර ආත්මය ඇගෙ
මිලක් නොදමන් මිනිස්සුන්නේ

යනෙන වවුලන් පැණි රසය ගෙන
අලුයමට පෙර නෙතු වසන්නේ
දුවන ගිරියක වැඩ මුරය ළඟ
නෙළුම් මානෙල් හිරු දකින්නේ
වැවක් වී මල් පුබුදුවන්නට
මඩ ගොහොරුවේ ඈ ලඟින්නේ
කවක් ලියපන් ඇයගෙ නාමෙට
තුති නැතත් හසරැල් වටින්නේ


2018/01/07

Saturday, November 25, 2017

මලක මළගම

සැතක් කල හදක් අතැතිව
කන්ද නොසැලැයි අරඹකන්දේ
බතක් උයනට හිතක් නැතිවම
සද්ද නොකරම හඳත් පල්ලමට බැස්සේ

මන්න පිහියක් අතින් අරගෙන
ගෙදර වැට පොලු සීරුවෙන් තිබ්බේ
"කන්න දුන්නට ගහපියව් මට"
දෝංකාරෙක හඩක් ඇහුණේ

පියාඹා ගල්ගෙඩි ඇවිත් හැප්පී
එකින් එක උළු කැටයි බින්දේ
සියඹලා කොළ හොරෙන් හප හප
හිටිය කාරණ ගැනයි ඇහුණේ

රෙද්ද තදකර කොණ්ඩෙ උස්කර
අලුත් නෑනයි දොට්ට බැස්සේ
මගේ "තරු හැඩ" හෙව්ව උඹලට
"දෙයියො බලලා" කියනු ඇහුණේ

මලක් කිය කිය පෙතිත් මැද මැද
හුඟක් රැකවල් තිබුණ දවසේ
රැයක් කුමටද වෙන්න අතවර
කියා පරමල් ගැනයි ඇහුණේ

දැන් ඉතින් තව "කුමට පණනල"
කියා සද්දය අන්දෙසින් ඇහුණේ
මුදුන් ලීයට බරක් වැඩිවී
අක්කා දෙව්ලොව යන පාර දැක්කේ

ඉහට අත්දෙක ගස ගසා
දුවන් ආවට පලක් නැත්තේ
පිළුණු හොඳ්දක් කුමට කෑමට
කියා අක්කා ලියල තිබ්බේ.


--------------------------------------------------------------
තම පවුලේ එකම දියණිය අනාචාරයේ හැසිරෙන බව ගමපුරා ගිය කටකතාවක් හේතුකරගෙන ගම්මුන් විසින් නිවසට ගල් ගසන අවස්ථාවකි,
අවුරුදු 11ක් වයසැති ඇයගේ මල්ලී බිරාන්තව බලාසිටි අවස්ථාව හා සම්බන්ධය.


2017/11/25

Wednesday, November 1, 2017

ප්‍රේමයේ විවේකය ඔබට සුහදාණෙනී




ඔබේ පැමිණීම මා
අමන්දානන්දයට පත්කළ
ඒ අරුමැති හෝරාව
තදින් කොනිත්තාත්
අමතක කළ නොහැකිය.

හිත වට බමන
සෑම චිත්තාවලියකම
අංශුමාත්‍රිකව හෝ ඔබ සිටී

ගිලිහෙන, ඇමිණෙන, දළුලන
සියළු හෘදයානන්දනය
ඔබම බව පුන පුනා මින්පසු
නොකියමි.

වැස්සක චමත්කාරයකත්
සීතලක අසීමිත ඕනෑකමකත්
අතරමැද සිට අතවනන දවසක
ඔබ තුරුල්කරගමි.

ඝනැති පොරෝනයක් යට
සිනිදුවට ඔබ මා විතරක් දැවටෙන
සිහිනයක එතෙක් පාවෙමි.

ඉතින්, ප්‍රේමාන්විත සුහදාණෙනි,
ඔබට විවේකය,
ආදරේ අතරමැද හිස් තැනක සිට.


2017/10/30

Sunday, October 29, 2017

දුවට මවක මිස වෙන කවුරුද

සළු ලිහී නිරුවතින් රුක් ගොමුත් සිටියාට
හිම පොකුරු දෑත පා ලැජ්ජාව වැහුවාට
වටපිටේ සැරිසරන දූවිලුත් හූ සද්ද දැම්මාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම


අහස කැහැපොට ගහන් වැනි වැනී රැවුවාට
සුළඟ හකුලන් නහය වලාකුළු උදුරන් දිවුවාට
පොළව රිදවුම්, ඉඳිමුම්, පැළුම් සඟවගෙන සිටියාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම


ඇන ඇනම රිද්දනා වෙරළකට වාරකන් තිබුණාට
පැන පැනම නටන රැල්ලක උස් හඬක් ඇසුණාට
සිප්පි, පොඩි බෙල්ලො, මින්රැලක් කරතියන් ආවාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම

වසන්තය ඒ තමයි විසිල් පාරක් අතීතයෙ තිබ්බාට
අනන්තය පෙනෙන පපු කුහරෙ ඇරඹුමක් නොදැක්කට
බමන්නට බඹරුනුත් සමනල්ලු පරදවා ගී සිංදු කියුවාට
කන්දකම හිස දරන් ලිහිණියෙක් හැමදාම

වන්දනා නඩ පිටින් සංචාර පක්ෂියො එහෙ මෙහෙට පැන්නාට
සංසාර වංගුවේ තනි අතින් අතිපුඩිය ගසන්නට නොගියාට
විනය කර්මය බලන්නට සනුහරේ අලුයමම ඉණිවැටත් පැන්නාට
ලප පිරුණු සඳවතක පිරිමදියි තටු ලිහිණි අම්මා තවම
2017/10/28


Monday, October 23, 2017

මුහුදු දෙයියො මා ගත්තා

අම්බා කවි කිය කියා
අම්මේ මාදැල ඇදෙයි
හද්දා වැහි නොවැස්සාට
හිත පාරන තැන් පෙනේවි

තැනින් තැනට වෙට්ටු දමා
මාළු මාරුවෙන්න බලයි
හයියෙන් ඇදපන් කිය කිය
මුදලාලිගෙ හඩ ප්‍රබලයි

සුලං කෝඩ කැරකීලා
ගොඩබිමකට අඩගසනවා
පල්ලියෙ විහිදෙන එළියෙන්
පපුවෙ නිතර කුරුසෙ ඇදෙයි

පොලවෙ වැතිරිලා සැගවීගත්
මඩුවෙක් කකුලට හැපුවට
හූ තිය තිය බෑ අඩන්න
අම්මේ උඹ ළඟ නෑ පෙනෙන්න

මුහුදු යනව‍ දැල් අදිනව
පාන් කකා වතුර බිබී
බීඩි කොටේ දුම් කැරැල්ල
හදවත් දුක කොටුකරන්නෙ

පපුවෙ මැද්දෙ උඹෙ එල්ලෙන
ඔය ලස්සන කුරුස කණුව
අම්මේ සිඹ සිඹ නිදිනැතිවම
වැල්ලේ උඹ කවි ලිවුවද

නෙතට උළෙලවල් අම්මේ
මේ සාගර වටපිටාව
හිතට අවුල වැඩි වැඩියෙන්
මාළු හිඟය නැති වරුවට

ජෙරුසෙලමට යන පාරේ
වෙහෙස නිවාගන්න අපිත්
කල්වාරිය කඳු මඳුනත
සිප එන සුළඟට බාරයි

ඉකිය වසා ගනිම් අම්මෙ
මුකාරි ගී හඬ නොනගන්
කරඳිය සුළඟට කැරකී
මුහුදු දෙයියො මා ගත්තා.

Friday, August 11, 2017

මගේ අම්මා බිමින් තියපන්

කරන්ට් වැට ඇවිදලා ගිහින්වද
කළුවරේ සෙවනැල්ල ඇන්දේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද

හූයි හුයි හුයි කියා ගිනිමැල
නටයි වත්තේ හතර කොන
හූ තියාගෙන අලි පෙරළියයි
පලුගහෙත් පිට අතුල්ලාගෙන
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද

වීර ගහ ඇස් පියාගෙන
වීරෙ අයියත් අහක බැලුවා
බඩ ගගා උඩ පැන්න ඉරිඟුයි
අලියා සින්නක්කරට ගන්නේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා ඇයි මේ වගේ වෙන්නේ

හුස්ම හඩටත් සවන් සොලවන
අලියා අණසක තදින් පතුරයි
හුළං විතරක් වැඩිය ලෙංගතු
කුසත් හයියෙන් හූල්ලයි
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ

රාත්‍රියෙ තරු එළිත් නිහඩයි
ඇහේ කඳුළුයි බිමට පැන්නේ
ලේවායෙ ලුණු වෙලා නිතරම
දුකම විතරයි එතන මිදුණේ
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
======================
දන්ත දාතුන් වඩම්මන්නට
බුදුන් දැක මතු නිවන් දකිනට
අලි රජුනි මල් පුදා පින් දෙමි
මගේ අම්මා බිමින් තියපන්.

#දිනිති 2017/08/11

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...