Friday, July 27, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 11



             විශ්ව ශානුක මන්දාවල බොහෝ හොද පිරිමි ළමයෙක් විය. අපේ විවාහයට අවසර ලැබීමෙන් පසු ඔහු නිතර රන්මුතු බංගලාවට එන්නට පුරුදු විය. එමෙන්ම ඔහුගේ පියාද ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් වූ අතර විශ්ව ව්‍යාපාර සදහා අකමැති බැවින් වෛද්‍යවරයකු ලෙස රැකියාව කරන බව ඔහුගෙන් මට දැන ගන්නට ලැබිණි. ඔහු වෛද්‍යවරයකු යැයි කී විට මහිත ගැස්සිණි.
 
ඇයි මං ඩොක්ටර් කෙනෙක් වුනාට සදකිරණි කැමති නැද්ද....?

       මගේ වෙනස හදුනා ගෙනදෝ ඔහු ඇසීය. මම කිසිවක් නොදෙඩිමි. වෛද්‍යවරයකු යැයි පැවසූ විට මා තිගැස්සුනේ සිහිනයියා සිහිවීමෙන් බව ඔහුට කියන්නේ කෙසේද....?

ඔයා හරියට කල්පනා කරනවා...
      විශ්ව කීවේය.

අපි යං එළියට ඇවිදින්න....නැවත විශ්ව කීවේය.
ගැන ටිකක් මා උනන්දු විය.

කොහේද...?

සදකිරණි කැමති දිහාවක....

           විශ්ව සංතෝෂයෙන් කීවේය. ඉතා හොද ගතිගුණ මෙන්ම යහපත් කෙනෙකු වූ විශ්ව රැවටීම මට දුකක් විය. එහෙයින් ඔහුට අද මේ සියල්ල කියනවා යැයි මම සිතා ගත්තෙමි.
ලැහැස්ති වී මා පහලට එනවිට විශ්ව දෙවෙනි අයියා හා කතාතර කර හිදියේය.

විශ්ව රෝසමලව පරෙස්සමට බලා ගන්න...
            
      දෙවෙනි අයියා විශ්වගේ පිටට තට්ටු කර කීවේය. ඔහු යතුර කව කව සිනහ විය. ඔහුත් සමග මා ඔහුගේ රියට නැග්ගේය.

දැං කොහෙද යන්නෙ...?
                රිය මගට ගනිද්දි විශ්ව මදෙස බලා ඇසිය.

අපි කැළණි පන්සලට යං....මම කීවෙමි.

විශේෂත්වයත්ද සද කිරණි...?
                 මා කිසිවක් නොදෙඩුවෙමි.

ඕකේ...ඕකේ...එහෙනම් යන්...
               
                මාත් විශ්වත් රැගත් රිය කැළණිය පන්සල අභියසට පැමිණ නතර කලේය. හෙමින් හෙමින් විහාරය දෙසට අපි පිය එසවීය. ඇවිද ගන්නට බැරි බවක් මට දැනුනි. මීට වසරකට එකහමාරකට පමණ පෙර මමත් සිහිනයියාත් මේ පින්බිම පුරා ඇවිද්දෙමු. එදා අපි අනාගතය ගැන බොහෝ දේ කතා කලෙමු. එහෙත් අද සිහිනයියා මා අසල නැත. මා වෙන අයෙකු සමග මෙහි පැමිණ ඇත. මසිත හදා ගන්නට බැරිය. මල් පහන් පූජාකර මම මසිත සුවපත් වන්නට කියා ඉල්ලුවේ නැත. මා පැතුවේ සිහිනයියාට සතුට සැනසුම ලබා දෙන්න යැයි කියාය.

පන්සලට ආවට පස්සෙ ඔයා හරියට වෙනස් වුනා...

එහෙම දෙයක් නෑ...

             මම හිනැහුනෙමි. ඒත් ඒ හිනාව ඇත්තටම මවාගත් සිනහාවක් විය. ජීවිතයට මේ වූයේ මොන දුකක් දැයි මම සිතුවෙමි.

නැති වෙන්න බෑ සදකිරණී....විශ්ව නැවත කීවේය.

ඇත්තම නම් මට විශ්ව ගැන පැහැදීමක් ඇතිවිය.

මට කියන්න දෙයක් තියෙනවා විශ්ව...

ඒ මොකක්ද...?  
        යැයි අසන බැල්මෙන් විශ්ව මා දෙස බැලීය. එහෙත් කොයි විදිහට කියන්නේදැයි පෙරපර ගැලපීමට බැරිව මොහොතක් මා නිහඩ විය.

පසුව හොද හුස්මක් ගෙන සිහිනයියා ගැන සියළු තතු විශ්ව හා කීවේය. ව්ශ්වගේ ඇස් කෙවෙනි තෙත්වී තිඛෙනු මා දුටුවේය.

මම ඔයාට සිහිනව කොහොම හරි ලබා දෙනවා සදකිරණි....එසේ කියා විශ්ව මා අත දැඩිව තද කර ගත්තේය.

         දින තිහිපයකට පසු විශ්ව හදිසියේ වාගේ රන්මුතු බංගලාවට ගොඩවිය.

කෝ...සදකිරණි....
         
           කියා අසනවා මට ඇසිණි. මම හෙමින් පඩිපෙළ බැස විශ්ව අසලට ආවේය. ඒ වනවිටත් අප්පච්චි විශ්ව අසල විය.

        —අන්කල් මම සදකිරණිත් එක්ක පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්...?

දැං හවස් වෙලානෙ විශ්ව පුතා...

මං පැයෙන් ආපහු එනවා අන්කල්...කියා මදෙස බලා...

ඔහොම හොදයි යං සදකිරණි....කියා ඉස්සර විය.
                    
                කිසි කතාවකින් තොරව විශ්ව ඉදිරිපස බලා රිය පදවයි. මා දන්නා හැටියට නම් විශ්ව මේ රිය පදවන්නේ සිහින අයියාගේ නිවස පිහිටි වත්ත දෙසටය. මා දෙව්මි හා ආ මග සලකුණු නිවැරදි බව මට මතකය. මගේ පපුවේ සද්දය පිටතට ඇසෙන තරමට වේගවත් විය. විශ්වගේ රිය සිහිනයියාගේ නිවස ඉදිරිපිට නතරවිය. එහි යම් වෙනසක් සිදුවී තිබුණි. ඉස්සර ඒ තිබුණ නිවස ඒ ලෙසම තිබුණ අතර ඉදිරිපසින් පැත්තට වන්නට තරමක් දිග ශාලාවක් වැනි දෙයක් විය. මට පුදුමත් සිතුණි. මන්දයත් මේ වනවිට සිහිනයියා වෛද්‍යවරයෙක් වී ඇත. ඔහු වෛද්‍යවරයකු නම් මේ වත්තේ කොහිද...? දෙවෙනි අයියාත් කීවේ සිහින හොදින් කියාය.  
සමහරවිට 
  විශ්වට වරදින්නට ඇත. සිහිනයියා මෙහි නැතුවා වන්නට ඇත.

 මුදු පුසුඹ තියන්
මගෙ ළගම ඉතින්
සිටින්න කියලා
සුදු සඳට මෙමන්
මගෙ පණම පුදන්
කියපු තරම් දන්නවාද මන්දා.....

සැඩ සුළං ඇවිත් හිත රිදෙන තරම්
මේ රැයට ඔබට දැනෙයිද ක්‍රිෂ්ණා
තද කරන් සිතුම් තව සිටිමි බලන්
මේ පපුව ඔබට බාරයි ක්‍රිෂ්ණා.....

අඩ සඳත් ඇවිත් ඇස් දෙකම උරා
ගන්න තරම් දන්නවාද ක්‍රිෂ්ණා
මට පෙමක් ඇතොත් ඔය පපුවෙ ඉඩක්
තියනවාද ඔබ මගෙ නම් ක්‍රිෂ්ණා....

____________මතුසම්බන්ධයි_____________
 

Tuesday, July 24, 2012

ගෝතමියෙ.....

නොයන් ගෝතමි
ගෙයින් ගෙට
නොමැත කවුරුත්
දෙන්න අබටැක් නොරට.....

වැදෑමහ ‍කැක්කුම දිදී
උණුවෙනා ළය මව් සෙනේ
කොහොම කියලා දනීවිද දුක
ගෝතමිය නපුරුමයි නොරට....

අත ගගා හිස් මුදුන
හූරලා දුකම ගත් පිය දෑත
කොහොමවත් නැහැ
ගෝතමිය තවන්නට ඔය
හිත් පොඩිය මේ නොරට....

රන් රිදී කහවණු මිළ ගණන් නොව
ඩොලර් යූරෝ පවුම් අතරේ
හිරවෙලා ආලයත් ගෝතමියෙ නොරටේ...

පුහුදුන් දනන් ළග
වැටි වැටී දෙපතුලත් සිඹ
නොයැදපන් ජීවිතේ උඹෙ
නැහැ ඉතින් උණුවෙනා හදක්
ගිනි ගත්ත නොරටක කිසිම......

Thursday, July 19, 2012

දිවි දියඹෙ යමි

විසුළ සුවඳ ඇති කුසුමන් පිපේයා
උදුල සඳ වුවද දිනයක මැකේයා
පතළ විකුම් මුදු ගතිගුණ රැදේයා
හබල අරන් දිවි දියඹේ ඇදේයා.....

Wednesday, July 18, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 10

           ඉතිං සති කිහිපයක් ගෙවී ගියේය. මට දෙව්මිට කතා කරන්නට සිතුණි. දෙව්මිට කතා කරන්නට සිතුවේ ඇගෙන් සිහිනයියා ගැන දැන ගැනිම මගේ අරමුණ විය.

හලෝ....කියමින් දුරකථනයට සම්බන්ධ වූයේ දෙව්මිය. මොහොතකට සියල්ල අමතක වූවා සේ මට දැනුනි‍.

හලෝ.....කවුද කතා කරන්නෙ...? 
               නැවතත් දෙව්මි ඇසිය..

දෙව්මි...මං...

ආනේ...රන්මුතු මොකද වුනේ මං ගෙදරටවත් කෝල් කලේ නැත්තෙ ඔහේ තත්වය මොන විදිහද කියලා හිතා ගන්න බැරි හින්දා...

මන්දන්නැ... දෙව්මි...

ඇයි රන්මුතු...?

මා සියල්ල දෙව්මි හා දෙඩුවේය. කියා අවසන් වන විට මා හොදටම අඩමින් උන්නෙමි.
 
ක හොදයි රන්මුතු...

ඇයි එහෙම කියන්නෙ...

සිහින අයියා කතා කලා. ඔයාට සතුටින් ඉන්න කිවුවා. ඇරත් සිහින  වගේ කෙනෙක් ඔයාලගෙ පවුලට ගැලපෙන් නැති බව දැන්වත් තේරුං ගන්න රන්මුතු.... 
              
                     කියා පසුව කතා කරන්නම් කියා දෙව්මි දුරකථනය විසන්ධි කලේය.

                       ජීවිතය ඉතිං තව මොනවා මගෙන් ඉල්ලාවිදැයි මා දන්නේ නැත. මට තේරුම් ගන්නට බැරි වුවද කොයිතරම් හඩ වැටුනද සිහිනයියා මගෙන් ඈත්වී ගිය බවක් මට දැනේ. එහෙත් මගේ අවසන් සුසුමෙත් තැවරි ඇත්තේ සිහිනයියාට ඇති ආදරය පමණය. සිහිනයියා නොදකින මහිත පාළු සොහොනක් මෙනි. ඒත් ඔබ කොහේදැයි මා දන්නේ නැත.
 
                        මට සතුටින් ඉන්නට කියා ඔබ ගොස්ය. සිහිනයියේ ඔබ ළග ඇර වෙන කොහේවත් මගේ සතුට නැති බව ඔබ නොදන්නවා වාගේ ගියේ ඇයි කියා මට අසන්නට බැරිවිය. අප්පච්චිට හිත හදා ගන්නම් කීවද සිහිනයියා අමතක කර හිත හදා ගන්නේ කෙසේද...?

                    මා පපුව අල්ලා හොදටම හඩමි. බිම පෙරළි පෙරළී හැඩුවද මගේ හැඩුම ඇසෙන මානයේ කවුරුත් නැත. වැලහින්නක වාගේ හඩා වැටුනද දුක අඩුවූයේ නැත. ෆැක්ට්‍රි යාමද මට තහනම් කටයුත්තක්ය. මම මගේ හදවත අතගා බැළීය. ඔබට බොහෝ පෙම් කරන බව පමණක් හදවත දනිමි. මා ඔබ කිසිදිනක අමතක කරන්නේ නැත. එමෙන්ම මට ඔබව අමතක වන්නේද නැත. මේ ප්‍රේමයේ තරම කිසිවෙකුට තේරෙන්නේ නැත.

                   දින සතිවී මාස හයක් පමණ ගෙවුණේය. නිවසේ සියළු දේ වෙනදා වාගේ සිදුවූයේය. මේ කාලය පුරාවට මැණිකෙ නැන්දා අපේ ගෙදරට නාවේය. මා කිසිවෙකුන් ඒ ගැන අසන්නටද නොගියේය. සිහිනයියා හිනයක්වීම ගියේය. ඒත් සිහිනයියා හොදින් බව දෙවෙනි අයියා මා හා කිවේය. එය ඇසීමද මට සතුටක් විය. සිහිනයියා දැක ගැනීමේ අමුතු අශාවක් මට ඇතිවිය. ඒත් එයට මට ඉඩකඩ ඇහිරී ඇත. ගෙවුණු හැම දිනයකම කාටත් රහසින් මා හඩා වැටුණි. අඩුම තරමින් ෆැක්ට්‍රියටවත් යන්නට දුන්නා නම් දුකක් නැත.  අප්පච්චි අයියලා හිතන්නේ මා හිත හදාගෙන කියාය. මා මියෙන තුරු මේ හිත හදන්නට බැරිබව ඔවුන් නොදන්නවා ඇත. සිහිනයියාටද මා සේම හිත හදා ගන්නට බැරිව ඇත.

            එදා ඉරිදාවක් විය. අප්පච්චි උදේම මගේ කාමරයට ආවේය. අප්පච්චි අත පාර්සලයක්ද විය.

මගෙ මැණික කොහොමද....? 
                       කියා මා නළලත සිප ගත්තේය.
 
පුතේ අද සේනාධීර අන්කල් එනවා...එයා හොද තැනකින් ඔයාට යෝජනාවක් ගෙනත් තිබුණා...ඉතිං අද ඒ අය එනවා ඔයාව බලන්න...

මා අභියස හෙනයක් පිපිරුවා සේ දෙකකුළ පණ නැතිවී ගියේය. එහෙමම ඇදමත ඉදගත් මා අප්පච්චි දෙස බැලිය..

ඔව් පුතේ ඒ ළමයා හරි හොදයි. අද ඒ අය එනකොට අදින්න මං සාරියක් ගෙනාවා....

               සිහිනයියා වැනි හොද අය සිටියදි කපුවන් දමා නොදන්නා මිනිසුන් හොදයැයි තේරුවේ කෙසේදැයි...අප්පච්චිගෙන් අහන්න මට සිත් විය. ඒත් එසේ කියා අප්පච්චිගේ හිත රිදවීමට නොහැකි නිසා මම නිහඩව උන්නෙමි.
 
                         එදා උදයේ සිටම කුස්සියේ කෑම පිළියෙප වන බව මට සුවදින් දැණිනි. අනෙක් මෙහෙකරුවන්ද කඩිමුඩියේ වත්ත පිටිය ගේදොර අස්පස් කරන්නේය. දහවල් එකොලහ වන විට අමුත්තන් අපේ ගෙදරට ආ බව මා වාහන සද්දයෙන් හදුනා ගත්තෙමි. ඇද උඩ දමා තිබුණ සාරිය දෙස හිස් බැල්මෙන් බලා උන්නා මිස මහිත කිසි අරමුණක් නොවීය. අතරතුර ලොකු නැන්දා කාමරයට හිස දමා

කෝ....රෝසමල තාම ලැහැස්ති නැද්ද....? 
             කියා ඇසුවේය. කිසිවක් නොදෙඩූ මා දෙස බලමින් ලොකු නැන්දා

 එන්න මං අන්දන්න....
              කියමින් මට සාරිය ඇන්දවූවේය. කණ්නාඩිය තුළින් දුටු රුවට මේ මමදැයි විශ්වාස කළ නොහැකි තරමට මා හැඩට වුන්නි. අනෙක් ඇදුම්වලට වඩා සාරියට  පිරිපුන් බවක් මා සිරුරින් දිස්විය.

රෝසමලට ඇස්වහක් වදින්නෙපා...

        කියමින් ලොකු නැන්දා මා කොපුලතක් සිප ගත්තේය. අප්පච්චි පැමිණ මා අතින් අල්වාගෙන විසිත්ත කාමරයට යෑමට පඩිපෙළ බැස්සේය. ඒ අතර තුර 

පුතා සතුටින් නේද...?

           කියා අප්පච්චි විමසු විට කිසිවක් නොපවසා හිසින් මම ඔව් යැයි කීවෙමි. සිහිනයියා ගියදා සිට මට සතුට කොහින්දැයි අප්පච්චිගෙන් අසන්නට බැරිය. පුතාගෙ සතුට මගෙත් සතුට යැයි කිවූ අප්පච්චි අද මා සතුටින් දැයි අසයි.

මේ මගෙ මැණික....

         කියමින් අප්පච්චි වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකුද ඒ හා සම වයසේ පිරිමියෙකු හා හොදින් හැද පැළද සිටි පිරිමි ළමයෙකු ඉදිරිපිටදි කීවේය.

 —යමු ගිහින් කතා කරන්න.....
               කියමින් ලොකු නැන්දා අත තිබුණ බුලත් හෙප්පුව මා අතට දුන් අප්පච්චි අර පිරිමි ළමයා ළග නැවතිනි.

මේ විශ්ව...

       කියා අර පිරිමි ළමයාව හදුන්වා දුනි. හිසවත් නොඋස්සවා මා ඒ ළමයාට බුලත් හෙප්පුව දික්කර දී ලොකු අයියාට තුරුල් වුනෙමි.ඒ උණුසුම මට රැකවරනයක් විය.

දහවල් කෑම වෙලාවෙන් පස්සෙ ඒ දෙන්නට කතා කර ගන්න ඉඩ දෙමුයි....

     කියමින් අප්පච්චිලා වෙන කතාවක පැටලිය. ඒ වැඩියමක් ව්‍යාපාර ලෝකය ගැනය.

යමු නංගි එළියට....

                කියා විශ්ව මට කතා කලේය. අකමැත්තෙන් වුවද ඔහු සමග මාද මිදුලට බැස්සේය.

     මං කැමතියි ඔයත් එක්ක කතා කරලා විස්තර ටිකක් දැන ගන්න...

                           විශ්ව කියයි. කිසිවක් නෑසුනු ලෙසම මා බිම බලාගෙන හිදියෙමි.
 
මං ඔයාට සදකිරණි කියන්නම්....

                           එසේ කියන විට මම දෑස ඔසවා ඔහු දෙස බැලීය. විශේෂත්වයක් නොදුටුවද ඒ මුහුණ තුළ යම් පැහැදිලි කමක් මා දුටුවේය. එය කෙසේදැයි කියන්නට මා නොදත්තේය. සිහිනයියා ගැන කියන්නට සිතුනද මේ ආගන්තුක පිරිමියා මා හදුනාගෙන තවම පැය කිහිපයකි. එවෙනි අයෙකු ළග මගේ හිත දිග අරින්නේ ඇයිදැයි කියා මා හිතත් සමග තර්ක කලේය.

ඔයා මාත් එක්ක කතා කරන් නැත්තෙ මට අකමැතිද...?

    යලිත් විශ්ව කියවයි. ඔහුට කියන්නට තරම් අකමැත්තක් පෙනුමේ නැත. නමුත් එක හිත දෙදෙනෙකු ළග නතර කරන්නට බැහැයි කියන්නට මට බැරිය. මගේ හිතේ අස්සක් මුල්ලක් නෑරම හිදියේ හිදින්නේ සිහිනයියාය. ඇගේ හැම ලේ බිදුවකම කැලතී තිඛෙන්නේ සිහිනයියාට ඇති ආදරයයි.

ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ගැන තියනවනම් මට කියන්න සදකිරණි....

        විශ්ව එසේ කියනවාත් සමග මම ඇස් උස්සා හොදට ඔහු දෙස බැලීය. විශ්ව හොද අයෙකු යැයි මට සිතුණි. එහෙත් මගේ ප්‍රේමය ගැන ඔහුට කියා මා ඔහුගෙන් සිහිනයියාව ඉල්ලන්නේ කෙසේද...? මගේ හීනය මුදුන් පත් කර ගන්නට නොව අප්පච්චිගේ හීනය කඩා ඉහිරවා දාන්නට බැරි කමකින් මම පසුතැවුනෙමි.

කමක් නෑ ඔයා මාත් එක්ක කතා කරන්න අකමැති නම් අපි වෙන දවසක කතා කරමු. යං ඇතුළට...

                 කියා ඔහු ඉස්සර විය. මා ඔහු පසුපසින් නිවසට ඇතුළු වනවිට 

දෙන්නත් එක්ක කතා කලාදැයි...

     විශ්වගේ මව ඇසීය. අසල ලොකු නැන්දාද රැදී හිදියේය.

ඔව් සදකිරණි හරි හොදයි....

           කියා විශ්ව කීවේය. මට ඔහු ගැන පුදුම සිතිණි. මා ඔහු සමග වචනයක්වත් දෙඩුවේ නැත.  එහෙත් ඔහු එසේ කීවේ ඇයි දැයි සිතමින් මා මගේ කාමරයට යන්නට පඩිපෙළ නැග්ගෙමි.

  
නෙතු පියා බැලුවෙමි
 හිත වසා හිදියෙමි
 මුව පියා ගත්තෙමි
 ඒත් ඔබ මා අසලමයි...

 එන්න එපා කීවත් ඔබහට
 හුළග වගේ ඔබ දැවටෙයි.....
 ලංවෙන්න එපා කීවත් මා
 සුවද වගේ ඔබ හමා ගලයි....

 හදවත අතගා බැලුවත් මා
 ඔබ හැමතැන සක්මන් කරතී....
 ඒ පිය සටහන් මහිත උඩින් ගෙන
 පිටවෙන්නට යැයි කියනු බැරී....



Saturday, July 14, 2012

*** බුදු වන තෙක් ඔබ මවු වෙන්න ***

මුළු නිවස පුරා තිබුණ එලිය
ලාම්පුතෙල් කුප්පියේ...
කිරි වවුල් පැටිය ඇවිදින් හැපුනේ
තව ගිනිකූරක් කොහොමද
වැය කරන්නෙ අම්මේ....
ඔබ කඩන කඩන ගල් කැටයෙන්
අපි එළි දුටුවේ.....අපි එළි දුටුවේ.....

මහ මෝසම් වැසි ඇවිදින් වෙළේ වතුර පිට ගිය දවසේ
ඒ තනන්න ගිය අප්පච්චී නොඑන්න ගිය හැන්දෑවේ
ගැලු කඳුළු අපේ නෙතේ පිසින්න ඔබ වෙර ගත්තේ
මතු මතුත් ඉතින් ඔය දෑතට සවි බල ලැබෙනව අම්මේ.....

රන් පියුම් පිපෙන හදවත් අඹරේ
සිල් ගත්ත වදන් සවනත මිහිරේ....
පින් පුරමු ඉතින් සැම අත් බවයේ...
මවුන් වෙන්න බුදු‍වෙන තෙක් සසරේ....

2012/07/14
දිනිති





බස් රේඩියෝ සින්ඩියට මෙතනින් යන්න

Saturday, July 7, 2012

....තාත්තා...

ජීවිතේ බර චක්‍කරයකින්
පොතට
එකතු කර කර ඇවිදින්නේය
අඩු කිරීම් කිසිත් නැති
ඉඳහිටක බෙදීම් ඇති
හැමදාම එකතු කිරීම් ළග
සමීකරණ විසදන්නේය....

බොහොමත් දවසට
සියයට ගණනින්
පොලිය ලැබෙන්නේය...

එහෙත් තාත්තා චක්කරය
කඩපාඩම් නොකලත්
හැමදාම ඉලක්කම් දමන්නේය.

මකනයට ඉඩක් නොතියයි.
තනි ඉරකින්ද නොකපයි.
හැකිනම් චතුරස්‍රයක
ත්‍රිකෝණයක දා සුරකියි...

අංශක සමබර කරන්නට
උපරිමව වෙහෙසෙයි.
සමපාද නොවුන හොත් තාත්තා
කනස්සලු සිත් ගන්නේ
සමාන ලකුණටම පෙම් බඳින හන්දාය.

අවසානයේ බැරම පමණක්
දරපු තාත්තා
හර පැත්ත ශූන්‍යව ගියද
ජීවිතේ චක්කර පොත වසා නොදමයි.

සියල්ලන්ටම බෙදීම් ලකුණෙන් බෙදා
තනි ඉරකින් අත්සන ගසා
මහ පොළව යට සැගවෙන්න
ඇගිලි එකතු කරන්නේ
තවත් සමීකරණ ගැටලු විසදමින්
අයකිරීම් කිසිත් නැතුවමය.




බස් රේඩියෝ සින්ඩියට මෙතනින් යන්න