Thursday, December 20, 2012

එයා - මම

එයා
ගේන්නෙම
හැම වෙලාවෙම
ඇන්ජයිනා වේදනාවක්මයි....

මගෙ වැඩේ
නයිට්ට්‍රේට පෙත්තක්
දිව යට
තියන්න හොයන එකමයි.

ඉවසන්න
බැරි වුනොත්
බයිපාස් එකක් කරනව
ප්‍රේමයේ නාමයෙන්.

Saturday, December 15, 2012

*** ඇය යන්න ගිහින් නොකියා***



ගරා වැටුනු මතකය මත්තේ
මා අත්වැල අල්ලා ඔබ ආවේ
ලෙංගතුකම් නැති හිත් අතරේ
ඔබ නිහඩව මා හා උන්නේ
මට මාවත් අමතක වී
කළ කී දේ මා නොදනී
හිනා අහුරවී ඔබ
මා අහසේ පෑයූවේ
අහම්බයෙන් හමු වූ අපි
මේ ජීවිත ගමනේ
පුරා හදක්වී ඔබ නැගුනේ
මගේ ලොවේ
අදුරක්වී නොයන්න දුර
එහෙම වුනොත් කදුළු පිරේ
හැමදාමත් මගේ නෙතේ
ඔබට සොදුරු හීන ඇතේ
නුඹට සෙනෙහෙ සිතක් ඇතේ
ඔඛෙ ලස්සන ඔය ජීවිත ගමනේ
කුඩා තිතක් වනු ඇත මා
එනමුත් මා පි්‍රය පෙම්වත
ඉදහිට හෝ මතක් වෙන්න
මා ගැන මතකය ඔබහට
අළුත් ලොවට ඔබ යනදා
මතක ඇතිව අරන් යන්න
කිසි කෙනෙකුට නොපෙනෙන්නට
ඔය හිත පතුලේ තියා ගන්න
මගෙ සෙනෙහේ,,,,,,,,


       සුදුපාට කොඩිවැල් යටින්, හය දෙනෙකුගේ කරමතින් සිව්රියන් බිම්කඩක සදහටම සැතපීි ඇය නිදා ගත්තාය¡ නොවේනම් ඇය යන්නම යන්න ගියාය. මට සදා කාලිකව ඈ අහිමි විය¡ ඈ දමා එන්නට බැරි කමින් මා තවම වැළපෙයි. තවමත් නැවුම් පස් පිඩවල් අතරින් රිංගා මට ඇගේ සුවද දැනෙයි. ඒ කතා කරන හඩ මහිත තුළට ඇසෙන්නා බදුය. කෙසේ ඈ මා තනිකර යන්න ගියාද? මා දන්නේ නැත. එහෙත් මේ සොහොන් බිමෙහි මට ඇයව තනිකර යන්නට නම් බැරිය¡ යන්තම් කළුවරකදීත් මගේ ලමැදට තුරුල් වන ඇය අද පටන් තනිවම ඉන්නේ කෙසේදැයි මට හිතා ගන්නට බැරිය.

මිතුරන් කිහිප දෙනෙක්ම මගේ පිටට තට්ටු කර

—දැන් ඇති යන් ˜ කියන්නා සේ කීවේය¡ නැවත මගේ ඉකිබිදුම අළුත් විය.

—මට සමාව දෙන්න මැණික.....මං ඔයාට දුක් දුන්නා....ඔයාට මෙහෙම වුනේ මං හින්දා.....අනේ සුදු ඔයාගෙ මරණෙට වග කියන්න ඕනෙ මමයි....මගේ හීනවලට පණ දෙන්න ඔයා ඔයාගෙ ජීවිතය උගසට තිබ්බා....අන්තිමට සිද්ද වුනේ ඔයාව මට විතරක් නෙමෙයි අපේ දරුවටත් නැති වුනා.....කියන්න රත්තරං ඒ ළමයා අම්මව අහනකොට මං කොහොමද කියන්නෙ ඔයා ඉපදෙන කොට අම්මා නැති වුනා කියලා....මට කියලා දෙන්න මේ තරම් කැප කිරීමක් ආදරය වෙනුවෙන් කරන්න ඔයා කොහොම පුරුදු වුනා....? සුදු...., මට බෑ තනියම ඉන්න....එන්න රත්තරං.... එන්න....

—වරෙන් බං යන්න....උඹේ දුක නොදැනෙනවා නෙමෙයි.......ඒත් දැන් උඹ ඔතන ඉදලා තේරුමක් වෙන්නෙ නැහැනෙ.......රංගිකා වෙනුවෙන් අර දරුවව බලා ගනින්.....

— මා නැගිටවන්නට හැදු සුරාජ් කීවේය...
 ඔහු කී දෙය ගැන මට නොසිතා ඉන්නට බැරිවිය. නමුදු රංගිගේ කතා කරන ඇස් දෙක මගේ හිත උඩ මැවී පෙනුනි. ඒ අසරණ දෑසින් අයදින්නේත් එයම නොවේදැයි මට මොහොතකට සිතුණි. මගේ විලාප හඩ පමණක් මුළු පරිසරය පුරා දෝංකාර දි මටම ඇසුණි. ඒ මුසල පරිසරයේ මට ඈ දමා එන්නට බැරිවිය. දැඩි නිහඩතාවය මැදින්

 — යං......˜ කියා නැවත සුරාජ් මා අත ගත්තේය... කොතරම් යං යං කීවද මිතුරන් මා දමා තනිකර නොගියේය...
 
—රංගි හීනෙනවත් හිතන්න ඇතිද සුරාජ් එයාට මෙහෙම දෙයක් වෙයි කියලා.....එහෙම දැනගෙන ඉදිය නම් මම කවමදාවත් දරුවෙක් හදන්නෙ නෑ.....ඒත් රංගි.....අනේ මගෙ අසරණී.....

—දැන් මොනා කරන්නද විකසිත.....උඹ හිත හදා ගන්න බලපන් ඒ රංගි වෙනුවෙන් අර දරුවා වෙනුවෙන්....˜

—උඹට තේරෙන්නෑ සුරාජ්....ඒකි මං වෙනුවෙන් මොන තරම් දේවල් නැති කර ගත්තද....?එයාගෙ අම්මා තාත්තා,නෑදෑයො එපා කියලා ආවෙ මාත් එකක්....මං හින්දා මොන තරම් දේවල් දරා ගත්තද? ඒ ඔක්කොම අයින් කළත් මට කොයිතරම් ආදරේ කළාද? ඒ වගේ අය ලෝකෙ හරි අඩුයි සුරාජ්.....ඒ විදිහට හැම ගෑනිටම ආදරේ කරන්න බෑ....ඒ තියා රංගි වගේ ගෑණු හැමෝටම හම්බ වෙන්නෙත් නෑ.....

—ඒක හරි විකසිත......ඒත් ලොකු හාමුදුරුවො බණට කිව වගේ අපි හැමෝටම ඔය ගමන යන්න වෙනවනෙ....ඒක කවදද.....? කොයි වෙලාවෙද කියලා අපි කවුරුත් දන්නෙ නැහැනෙ.... අපිට මරණය වෙනස් කරන්න බැහැ විකසිත.....හිත හදාගන්න බලපන් මචං....දැං යන්......

අකමැත්තෙන් වුවත් මා ඇගේ සොහොන ළගින් නැගිට්ටේය. නැවත වරක් කෑ ගසා හඩන්නට සිතුනද මා මිතුරාගේ කර මතට වාරුවී හිස තද කර ගත්තේය.

—අනේ විකසිත අපෙ අම්මලා කියන කෙනාව මට බදින්න බෑ.....

—මං දන්නවා රංගි....ඒත් ඉතිං මටත් කියලා හරි හමන් විදිහෙ රස්සාවක් නැහැනෙ.....

—ඔය ඉතිං මෙයාට පුළුවන්නෙ වෙන කෙල්ලෙක්ව බදින්න.....මට තමයි අර බූරුවව බදින්න වෙන්නෙ.....
එසේ කියා ඇය නෝක්කාඩු බැල්මෙන් මදෙස බැළීය. ඇයව තව ටිකක් කේන්ති ගස්සනවා යැයි සිතා,

—ඔව් එතකොට අර සිංදුවක් තියෙන්නෙ.....
,බිරිද මගේ.....නෑ මා ඔබගේ බිරිද නොවේ......ඒ සිංදුවෙ වගේ අම්මලා කියන කොල්ලව බැදලා ඉන්න තියෙන්නෙ.....,

—ආස ඇති නේද විකසිත.....?එහෙම වුනොත් මම මැරෙනවා....ඔයා නැතුව මට වෙන කවුරු ලැබුනත් වැඩක් නෑ....ඒ මම ඒ තරමටම ඔයාට ආදරය කරන හින්දා විකසිත......
එසේ කියා ඇය ඉකිබිද හඩන්නට පටන් ගත්තේය.....

—කෝ ඉතිං විහිළුවක්වත් තේරෙන්නෙ නැහැනෙ.....මං බොරුවට එහෙම කිවුවෙ....මේ බලන්න රංගි......

—මං වෙන කෙනෙක්ට ඔයාව අයිති වෙන්න දෙන්නෑ සුදු.....
සමාජෙ ජීවත්වෙන්න ගෑනියෙක්ව ඕන කමට මට කාව උනත් බදින්න පුළුවන්......නමුත් මට ඕන ඔයාව රංගි....ඔයාගෙ ආදරේ මට ඕන....තේරුණාද....?

මං උඹව කාටවත් අයිති වෙන්න දෙන්නෑ සත්තයි..... එවිට අර රතුවී තිබුණු ඇස් ලස්සනට හිනා වෙන්න සැරසුණි.

 ඇගේ ආදරය ගැන කියන්නට මා දන්නේ නැත. එ තරමට ඈ මට ආදරය දුන්නාය....ආදරය ගැන කියා දුන්නාය.....ඒ ආදරයෙන් මට ජීවත්වෙන්නටද පුරුදු කළේය.

—ඒත් විකසිත ඔයාට දැන්ම මාව බදින්න බැහැනෙ.....එහෙම වුනොත් ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම බිද වැටෙයි.... ඔයාට ඔයා දකින අනාගතය දකින්න බැරිවෙයි.....මට එහෙම කරන්න බෑ විකසිත.....

—ඔය ඉතිං......දැන් ඔයාමනෙ සුදු කීවෙ මං නැති වුනොත් ඔයා මැරෙනවා කියලා.....
මං දන්නවා රංගි අම්මලා කියන ඊදහ ගාව ඔයාගෙ සතුට නෑ.... බයවෙන්න එපා කෙල්ලෙ මං වෙන කෙනෙක්ට ඔයාව අයිති කර ගන්න දෙන්නෙ නෑ....ඔයා මගේ...

—අනේ මන්දා විකසිත මං ඔයාට ලෝභකම් කරන තරම දන්නෙ මං විතරයි. ඒ තරමට මං ඔයාට ආදරෙයි...ඒත් මේ හදිස්සියෙ මාව බැන්දොත් ඔයාට ඔයාගෙ අනාගතය නැතිවෙනවා. ඒ හින්දා මට බෑ ඔයාගෙ අනාගතය අදුරු කරන්න....මගේ ආදරේ නිදහසේ තිබුනාවෙ විකසිත....ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ. එත් මගෙ ආදරය ඔයාව හිර කරලා තියන්න බෑ.....මම දන්නෙ එච්චරයි.....

රංගි වූ කලී ආදරයේ ප්‍රතිමූර්තියයි. කොල්ලෙක්ට ආස හිතෙන ලෙස ඈ ආදරය කරන්නීය.....ඇය වගේ ලස්සනට ආදරය කරන ලෝකයේ වෙන කිසිම කෙල්ලෙකු ගැන මා නොදැන හිටියාය. එතරම් අපූරුවට ඈ ආදරය දෙන්නේය. ඒ ආදරයට වශී නොවන ලෝභ නොසිතෙන පිරිමියෙකු හිදියේ නම් එය අවාසනාවක්ය. එහෙම ආදරය දෙන අයෙකුට ජීවිතය මේ තරමට සරදම් කලේ ඇයිදැයි මට තවම හිතා ගන්නට බැරිය. මේ ආත්මයේ ඇය කළ පවක් නැති තරම්ය. එහෙත් දෛවය ඇයට හරස්වී ජීවිතය උදුරා ගත්තේය. නොඑසේනම් මට සිතෙන්නේ ඇය වන් අයගේ ජීවත්වීමේ අයිතිය සොබා දහම විසින් ඉඩ නොදි උදුරා ගන්නා බවය.

මට අද වාගේම මතකය. ඇය මා හා එන්නට සැරසුනේ එක හිතින්ය. ඒ හිතේ තිබුන දුක  නම් මට කරදරයක් වදයක් වීමට බැරි යැයි හැගීමය. ඇය මට කරදරයක් නොවන බව කොතරම් ඒත්තු ගැන්වීමට මා හැදුවත් සියළු දේ ඈ ඇගේ පිට පටවා ගත්තේය.

—විකසිත තව පාරක් හිතන්න....මේ ඔයාගෙ ජීවිතේ....මට බෑ ඔයාගෙ ජීවිතේ විනාශ කරලා දාන්න....ඔන්න ඔහේ මං අම්මලා කියන කෙනාව මැරි කරන්නම්....

—සුදු....ඔයාව මට කරදරයක් නෙමෙයි....තේරුම් ගන්න.....ඒ කෙනාව මැරි කලාම එතන ඔයාගෙ සතුට නෑ නේද රංගි....? අපි දෙන්නෙක් නෙමෙයි නේද....එක් කෙනෙක් නේද....? එහෙනම් ඇයි ඔහොම හිතන්නෙ....

—මන් දන්නවා විකසිත ඔයා මට ආදරෙයි....මාත් ඔයාට ආදරෙයි.....ඔයාට මං ආදරේ හින්දමයි මට බෑ කිවුවෙ....

—හරි ඕන එකක් වුනාවෙ....මට දරා ගන්න පුළුවන් ඔයාව මට වැඩි නෑ....

—හ්ම්.....මං එන්නම් විකසිත.....
 එසේ කියා ඇය මා හා  ආවාය. ඇයව මාල හතක් බැද පොරුව මත තියා මගේ කරගන්නට බැරි වුයේ මගේ දුප්පත් කම ඇගේ දෙමාපියන්ට මදි පුංචි කමක් වීමය. සුන්දර මනමාලියෙක් වන ඇගේ හීනය ඈ අත්හැරියේ මා හින්දාය...එදා ඈ කීවේ,

—මනමාලියෙක් වෙන්නම ඕනද විකසිත....මේ ඊට වැඩිය සතුටක් මා ගාව තියෙන්නෙ.....

මට නොතේරෙන්නෙත් ඇගේ මේ ඉවසිමය....නොවේනම් මේ තරම් දරා ගන්න ඇයට පුළුවන් වූයේ කෙසේද....? මේ තරමින් පරිත්‍යාග කරන්නට ඇයට ලෝභ නොදැනෙන්නේ ඇයි....? ආදරණීය සුදු.....ඔබ මහමෙර වාගේය..... නොවේ නම් මහා පොළව සේය.... ඒ තරමට නිහඩව නිසොල්මනේ හැම දෙයක්ම දරා ගන්නා අයෙකු මා දැක නැත. ඇගේ ඒ ආදරය මට සදහටම අහිමි විය.

ඉතිං අපි විවාහ විය. හතර වරිගයේ මහ පිරිස් අපිට නොවුනි. රෙජිස්ටාර් ඉදිරිපිට තවත් යහළුවන් කිහිප දෙනෙකු මැද ඈ මගේ කර ගත්තේය. එදා ඒ ඇස් දිලිසුනේ ලොවේ ඇති සියළු සැප ඈ වෙත ළගා වූවා මෙනි.

ඇය සොදුරු විය. රැයක පිපෙන රෑ මනමාලියා මලක් සේ සුන්දර වුන ඇය වත හිමිදිරියේ හිනැහෙන පිච්ච මලක නොකිළිටි නිර්මලත්වය ඈ තුළ තිබුණි.

—දැන්නම් විකසිත මට දිනන්න දෙයක් නැතුව වගේ....මගේ ආදරය මට ලැබුනා නේද....? අදහන්නත් අමාරුයි විකසිත.....

පූසි පැටවක් වාගේ අහිංසකව ඈ මගේ නිරුවත් පපුවට තුරුළු වී සෙනෙහස දුන්නා සේම සෙනෙහස විදගත්තාය. උදේ පාන්දර අවදි වී මට රැකියාවට යාම සදහා අවැසි සියල්ල ඇය අතින් සතුටින් කලේය. ඇය නමට පමණක් සීමා වු බිරිදක් නොවී දෙවුදුවක් වූවාය. හැමදාමත් මා එන පෙරමග ඈ බලා හිදියි. දවස පුරා වූ මහන්සිය ඇය දැකීමෙන් නිවී යයි.


ඔබ මට හමුවූයේ....අද ඊයේය...එහෙත්...
ආත්ම ගණනක හුරු පුරුදු සුවද මට ඔබ ළග තිබුණි.....
ඉස්සර කාළෙකදීත් ඔබ මගේ වී ඉන්නට ඇත...
මවට දරුවෙක් සේ...ගසට පොත්තක් සේ...
ඔබ මා හා මගේ ජීවිතය හා බැදි ඇත...
එයට දෙන්නට අරුතක් මා දන්නේ නැත....
නමුත්...
අද ඔබ....
මගේ සිනහව වී හමාරය.... දැන්
මගේ ජීවිතය
මගේ හුස්ම ටික....
පමණක් නොව මගේ ආත්මයද ඔබම වී ඇත....
අදරණීයම වූ සුදු
එය එලෙස වූයේ සංසාර පුරුද්දට දෝයී මා දන්නේ නැත....
කෙළෙස නමුත් ඔබ මගේ ආදරයයි.....


        එතැන් පටන් ගෙවුන හැම දිනකම අප සතුටින් හිදියෙමු. නමුදු අවාසනාව පසුපස බව මා පමණක් නොව ඇයද නොදැන හිදියේය. විවාහ වී මාසයක් යන්නටත් පෙර ඈ අසනීප වූවාය.

     නමුදු රංගි කීවේ ඇයට අසනීපයක් නැතැය යන්නය. ඇගේ අකමැත්ත මතම මා ඇය කැටුව පෞද්ගලික රෝහලකට ගියේය. පරීක‍ෂණ ගනණාවකින් පසු විශේෂඥ වෛද්‍යවරයා පැවසූ දෙය මේ දැන් ඇසෙන්නා සේ මට දැනෙයි. මගේ ඇග සීතල වී ගිය එය නම් අදද අදහන්නට බැරිය.

—මිස්ටර් ඒකනායක.....මෙහෙම කියන්න වුන එක සොරි....ඒත්....ඔයාගෙ වයිප්ගෙ ලෙඩේ ටිකක් විතර සීරියස්....ඒත් නියමිත ප්‍රතිකාර කළාම යථා තත්වයට ගන්න පුළුවන්....

—කියන්න ඩොක්ටර්....රංගිට මොකද වෙලා තියෙන්නෙ....

—මේකයි මිස්ටර් ඒකනායක....එයාගෙ පපුවෙ සියුම් නහරයක් හීනිවෙලා තියෙන්නෙ....ඒත් අපිට මේක සුව කරන්න පුළුවන් වෙයි.....

මගේ දෙනෙත් අභියස හෙනයක් පිපිරුවා සේ මගේ හිස කැරකෙන්නට විය. එහෙත් මෙවන් මොහොතක ඇයට ඇත්තේ මගේ පිහිට පමණන් නිසා මා හිත තද කර ගත්තේය...

ඉතිං වෛද්‍ය මතය අනුව ඇයට ප්‍රතිකාර කිරීම පටන් ගත්තේය. එමෙන්ම වෛද්‍යවරුන් පැවසූයේ හැකි සෑම අයුරකින්ම ඇයව සතුටින් තබන ලෙසය. නමුත් කිසිදූ දිනක ඇයට දරුවෙක් බිහිකිරීම වැනි කාරුණක් ඇගේ සිරුරට ඔරොත්තු නොදෙන බවක්ය.

මගේ අහිංසකී....ආදරයේ දෙව්රුව වූ ඔබ හිතේ කරුණාව දයාව ඉවසීම මහා සාගරය තරම් විය.

 ඈ වැනි අයෙකුට දෛවය මෙතරම්ම අකාරුණික වූයේ ඇයි දැයි මට සිතා ගන්නට බැරිය..
සෙනෙහස දෝරෙ ගලන ඒ රත්තරං හදවතේ සියුම් නහරයක් කුඩා වන්නට තරම් ඇගේ දෛවය ඇයට නපුරු වූයේ මන්ද....මෙතරම් බෝසත් ගති ඇයට සොබා දහමද වියරු විය...

—විකසිත මන් දන්නවා....මං ඉක්මනට සනීප වෙනවා....මට ආයිත් ඔයාට උයලා පිහලා කන්න දෙන්න පුළුවන්....ඔයාගෙ ලෙයින් හැදූන දරුවෙක් මගේ කුසින් බිහි කරන්න පුළුවන්....ඇත්තමයි විකසිත මට පුළුවන්....

කෙතරම් රෝගාතුර වී සයනය මත හිදියත් ඈ තුළ වූයේ නොසැළී හිදීමේ ආත්ම ශක්තියයි..
වෙන අයෙකු නම් මෙවන් මොහොතක මානසිකව ඇද වැටී රෝගය තවත් බරපතල වන්නේය...
නමුදූ රංගි එසේ නොවූවාය....පුදූම දනවන සුළු චිත්ත ධෛර්ය ඇයට වීරිය දූන්නාය.

—සුදූ....ඔයා ඔය දේවල් ගැන හිතන්න එපා....අපිට දරුවො ඕන නෑ....ඔයා සනීප වෙන්න....

—අනේ විකසිත මේක ඒ හැටි අමාරුවක් නෑ....මට පුළුවන් දරුවෙක් හදන්න.....ඔයාට ඕන කිවුවා වගේ මං වගේම බෝනික්කියෙන් මං ඔයාට දෙනවා විකසිත....මේ බලන්න මම සතුටින් ඉන්නෙ.....එසේ කියා ඈ මා වැළද ගත්තාය.

ඇයව පරීක‍ෂා කළ වෛද්‍යවරයාටද සිතා ගැනීමට නොහැකි තරම් කෙටි කාලයකින් ඇය සුව අතට හැරුණි. නැවත ඇය නිවසට ආවේය. ඇගේ දෙමාපියන් ඈ බලන්නට නාවේය. ඔවුන් සිතුවේ ඇයව පවුලෙන් අයින් කළ ගානටය. එහෙයින් කිසිම දිනක ඇයට ඇගේ දෙමාපියන් දක්නට නොලැබිණි. නමුත් රංගි කීවේ ,

—දරුවෙක්ව දෙමාපියන් ලොකු කරන්නෙ ගොඩක් බලාපොරොත්තු ඇති. ඉතිං මට බැරි වුනානෙ විකසිත ඒ අයගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න. ඒක නිසා මං දැන් ඒ ගැන හිතන්නෙ නෑ....

එහෙත් කිසිදූ මොහොතක ඇය මට වරදක් නොකියයි. ඈ කියන්නේ ඇගේ සැනසුම මා වූ බවය. හැමදාමත් මට නොතේරෙන්නේත් මෙයමය....

රංගි මලක් මෙන් යලිත් පිබිදූනේය.. ඇය හිනැහී සැනසුනි. ඇයට බලාපොරොත්තුව වූයේ මාය. ඇගේ සිනහව වූයේ මාය¡ ඇගේ සතුටේ හිමිකරු වූයේ මාය¡ මගෙ සුදූ....ඔබට දිනන්නට තිබූ අනාගතය මාය. මගේ හෙට  දවස ඔබේ කරගත් ඔබ මට අහිමිව ගිය අරුමය. මා කෙසේ දරාගන්නද....? අනුන්ගේ දූකත් ඔබේ දූකත් කරගත් ඔබට මේ වූයේ කුමක්ද....? එය දන්නේ දෙවියන් පමණය....

—විකසිත....අපි බෝධි පූජාවක් තියන්න යන්...

මා නිවසේ ඉන්නේ බොහෝ අවස්ථාවන්හිදී ඇය මට කියයි....කිසිදූ පැකිළිමකින් තොරව මා ඈ කැටිව පන්සල් යයි. ඈ හැමදාම බුදූන්ගෙන් ඉල්ලුවේ කවරක්දැයි මා නොදන්නේය. එහෙත් හැම බෝගහක් වටාම ඇය බැතිබරව පැදකුණු කළාය. එවන් මොහොතක ඒ මුහුණ තුළ තිඛෙන නිරාමිස සැනසීම කුමක්දැයි මට පැහැදිලිව තෝරා බේරා ගන්නට බැරිවිය. එහෙත් දිනෙන් දිනම ඇය සතුටින් හිදියේය. වෙනදාට වඩා වැඩි නැවුම් බවකින් ඊළග දින ඇය පිබිදූනි. මේ වෙනස මට තේරුම් ගන්නට බැරිවිය.
 
ඇගේ ඒ වෙනස ගැන මට බය සිතුණු වෙලාවල් නොතිබුණා නොවෙයි....එවිට මා සුරාජ් හා කතා කරන්නේ ඈ ගැනය.
 
—මට වෙලාවකට බයයි සුරාජ් රංගි ගැන....

—ඒ ඇයි විකසිත....?

—    නෑ මචං....එයා මොනා කරන්න ඉන්නවද කියලා මට හිතා ගන්න බෑ....දැන් ඉස්සරට වඩා රංගි සතුටින් ඉන්නවද දූකින් ඉන්නවද කියලා මට තෝරල බේරල වෙන් කරන්න දන්නෙ නෑ...

—    ඇත්ත. මාත් හිතුවෙ රංගිට ඒ විදිහට පපුවෙ නහරයක් හීන්වෙලා තියෙනවා කියලා ඩොක්ටර් කීවම අපි එයාට කියා ගන්න බැරුව පසු තැවුනා....ඒත්....දැන්....එයාට එහෙම දෙයක් තිබුණද කියලා හිතන්නත් පුළුවන්ද....?

—    ඒ වෙනස තමයි මටත් දරා ගන්න බැරි සුරාජ්....

—    අසුභවාදි වෙන්න එපා විකසිත...හැමදේම හොදට සිද්ද වෙයි....
       
හැමදේම හොදට සිද්ද වුනද අවසානයේ වූයේ නරකක්ම නේදැයි මට මේ දැන් සුරාජ්ගෙන් අසන්නට සිතේ. එහෙත් දැන් එසේ කියා මා මිතුරාගේ හිත රිද්දවා ලබන සැනසුමක් නැත. ආපසු රංගි මා සොයා එන්නේ නැත.

    මගේ අකමැත්තෙන් වුවද ඇය මවක් වෙන්න හින දැක්කාය. ඇගේ හිනය හැබෑ කරන්න මා මැලි වූයේ මටත් වඩා මා ඇයට ආදරය කළ හින්දාය. එහෙත් රංගි කීවේ ඇගේ සතුට ඇයට දෙන ලෙසය... අවසානයේ ඇය මවක වූවාය.

    —විකසිත මට මේ සතුට දරා ගන්න බෑ....ඇය ගැබ්ගෙන ඇති බව වෛද්‍යවරයා පැවසු වෙලේ රංගිගේ ඇස්වල තිබුණ ආලෝකය ඇයට මුළු ලෝකයම ලැබුණ වැනිය.

    ඉතිං එතැන් පටන් ඇය කුස තුළ හිදින දරුවා වෙනුවෙන් වෙහෙසුනි. දරුවාට රිදේවි යැයි බියෙන් ඇය හයියෙන් හුස්මක්ද ගත්තේ නැත. කුසට නියමිත කාළය පැමිණෙන විට වෛද්‍යවරයා කීවේ.....

    —දරුවයි අම්මයි දෙන්නම සනීපෙන්....ඔය විදිහටම අපි දරුවා ලැඛෙන්නත් සතුටින් මුහුණ දෙන්න සතුටින් ඉමු....කියාය. ඒ හැම ඇය නොපිරිහෙළා ඉටු කළාය.

    —විකසිත මට අමාරුයි....මීට දින කිහිපයකට උඩදී හිමිදිරි පාන්දර ඇය කීවේය.

    —රංගි ඔහොම ඉන්න මං ඉක්මනට වාහනයක් කතා කරගෙන එන්නම්....

    —කලබල වෙන්න එපා විකසිත...හෙමින් සැරේ ගිහින් එන්න...ඒ මොහොතේත් ඇය සිතුවේ මා ගැනය¡ මා හැකි ඉක්මනින් ඈ රෝහල වෙත රැගෙන ගියේය. මට දැනුදූ මතකය....ඒ ඇස්වල දූක්බර බවත් සමග රැදූන මහන්සිය ඇය වචන වලට නොපෙරලුවාය.

    —විකසිත මං හොදින්...ඔයත් හොදින් සතුටින් ඉන්න....

   හිතන්න, ඇය හොදින් යැයි කියා යන්නම යන්න ගොස් තිබුණි. දරු ප්‍රසූතිය සදහා ඇගේ හදවත සවිමත් එකක් නොවී ඇත. අධික රුධිර පීඩනයද සමගින් ඇය දූර ගමන් ගොස් තිබුණි. වෛද්‍යවරු මවත් දරුවාත් දෙදෙනාම රැකගැනිමට වෙහෙස ගත්තද අවසානයේ දරුවා දමා මව දෑස් පියාගෙනය. හැම මොහොතකම මගේ හීනවලට පදූන් ඇය ඈ වාගේම ලස්සන සිගිති දූ පැටියෙක් මට තනියට තබා ඈ සුරලොව ගොස්ය. මගේ පැතුම ඉටු කරමින් ඇය ඇගේ ගමන තනියම ගිහින්ය. නමුදූ මට ඇය නැති ජීවිතයෙන් පලක් නැති බව ඇයට අමතක වන්නට ඇත. මොනවා ලැබුනද මගේ ජීවිතයට ඇය නැතිව ඒ කිසිවකින් මට වැඩක් නැති බව ඇයට කියා ගන්නට බැරිවූ කමට මා දූක් විදිමි.



—සුමුදූ සුදූ සේල දවටා
 සිහින් සරයට හිනැහෙනා
 සියක් කුසුමන් මැද දිලිසෙනා
 සිහින දෙව්දූව ඔබ මගේ....
 සහසක් ලොව තුළ
 සතර දිගන්තයේ පීරා සෙවුවද
 සියුමැලි මගෙ කොද කැකුළිය
 සොයා ගන්න මට බෑ ආයෙත්....
 සවන් තුළට කොදූරා
 සිනහ වතින් මුව පුරවා
 සෙවුවන්දියෙ මගෙ කියන්නකෝ
 සසර මගේ හැමදාමත්
 සදහට ඔබ මා තකිකර නොයනා බව....


Thursday, December 13, 2012

***එකම මොහොතක් ඔබේ වෙන්නට හිතනවා*** _________________________________________



අඳුර අහුමුළු අතර සරමින් මොනවදෝ මට කියනවා
සොඳුර නුඹ ගැන හිත හිතා කාලයද දින දින ගෙවෙනවා
මැදුරු මන්දිර කිසි වගක් නැති ආලයක් හිතෙ පිරෙනවා
පවුරු පදනම් බිඳ දමා ඔබ සොයාගෙන මං ඇදෙනවා.....

අහස සමුදුර ක්ෂිතිජ ඉම නේත්‍රා යුග රවට්ටනවා
උඩක තරුපති බිම් මලක් බිම හූල්ලා මඟ බලනවා
පවස නිවනට දිය බිඳක් ගෙන එන්නෙ කෙදිනද හිතනවා
විලක සුපිපුණ සියපතක් ඔබ මගේ වෙන්නට යදිනවා....

රැයද දහවල නොවේ වෙනසක් ඇස් දෙකම මගෙ තෙමෙනවා
ගසට ඈදුනු පොත්ත සේ ඔබ ළඟම ඉන්නට පතනවා
ඉහළ අත්තක මලක් නෙලනට උඩ පනින්නටම වෙනවා
නිකට ළඟ අත ගෙපැල දොරකඩ පෙම් සිහින තව දකිනවා...

සාලියට හිමි අශෝකා වෙන්නෙ නැති බව මං දන්නවා
රෝමියෝ ළග වෙලා ජුලියට් ඉන්න බැරි හැටි පෙනෙනවා
ප්‍රේමයේ මුල් බීජ ඉන්දුව දෑස් හදවතෙ තියෙනවා
කවදහරි ඔය පපුවෙ උණුහුමෙ මොහොතකට මං ඉන්නවා....

Thursday, November 15, 2012

ජීවිතය

              
අකුරකට පුළුවන්ය ලෝකයක්හරවන්න
කවියෙක්ට හැකිවේය මිනිසුන්වනලවන්න
මිනිසෙක්ව උපන්නොත් ජීවිතයගෙනයන්න
හදවතක් තියෙන බව අමතකම නොකරන්න
  
තවලමක නියමුවා වැරදුවොත් මඟඑහෙම
අවුලක්ය මුළු ගමන වැරදේයහැම තැනම
රිඳවුමක් ලැබුණාට කඳුළක්දඑකසේම
ලද දෙයින් සැනසෙන්න හුරුවෙන්නදිවියේම.
  
විදුලි ඊතල පහරමයි බො පපුකැවුතුවල
සුනිල දිය බිඳුත් හිඟ නොමැත සැඩ පහරවල
ඉරි තැලුණු හදවතක් මසන්නට පුරුදු කල
ආ මඟත් සැනසුමකි බැලූවිට ජීවිතවල
  
කිනිස්සක් ගෙන අනින විට උදුවපේ සීතල
අගිස්සක් නැති කවියකින් සරසලා අඟමුල
කැමැත්තක් හෙම නැතිවුනත් කියවන්න සුලමුල
බිඳක්වත් හිතුවාද බුදුන් නො'පුදයිපරමල
  
අහම්බෙන් නැහැ ලැබුවෙ කිසි දිනක මනු උපත
පින් බලෙන් උරුම වූවක් මෙ'සසරහිතවත
උපන්නට දිවි සරිය නොම ගෙවාගෙන දිය
කරන්නක් කරනු යහ ඔබට උරුමයිසුරත

Saturday, November 10, 2012

හිමියනි මං මක් කරන්නද..?

ළයේ ගින්න ඇවිලෙනවා දුව නොදනී
පැලේ පහන නිවුවේ උන් එක වැරෙනී
මලේ සුවඳ ගෙන යාවිද හිත බයෙනී
කැළේ වන සතුන් ඇවිදින් හිමි රජුනී....

බෝසා දුරක් පිය මැන මැන ඔබ උන්නේ
ඒසා සැපක් කිසි දිනයක දිවි නොවුනේ
මේසා රුදුරු ලෝකය ඔබ වෙන් කෙරුණේ
ඉවසා ඉන්න බැහැ හිමි හට වෙඩි වැදුණේ.....

අත්ලට අරන් පොල් කටුවෙන් හිස පෙගුවේ
කරවට අත දමා තන කිරි ටික පෙවුවේ
කොපුලට කොකුම් ගා සුවඳින් සුව සැදුවේ
මලකට බඹරු මෙතරම් ඇයි වට කෙරුවේ.....

කරවට ගිලුණ විට තව කොහි ගිලෙන්නද
ලිඳකට වැටුණ විට වෙනතක පනින්නද
කරුමය ලැබුව විට අතහැර දුවන්නද
උරුමය වෙච්ච දියණිය ගෙන මියෙන්නද....?

Sunday, November 4, 2012

***වියපත් නොවන සිනහව හදවත් සිම්ඹේ ***



නිල්වන් කඳු යාය වටකර ගී කියන
දිලිසෙන ජල දහර සෙවණැල්ලත් පෙනෙන
හැංගෙන කිරලු එහෙ මෙහෙ සිට එබි බලන
"මා" වී වැවෙන බිම අම්මා පන් නෙලන......

අඩියක් දියේ තියනා විට හෙල්ලෙන සද්දේ
පලුවක් හදේ ගැස්සෙන හැටි සිතුවිලි මැද්දේ
සවියක් නොමැති කැණි මඩලයි ඇගෙ දිවි කන්දේ
අවියක් වගේ පන් දෑතින් ඒකයි ඇද්දේ....

ගල්ලැහැ,තුන්හිරිය,මිතුරන් එකටයි ඉන්නේ
අසලින් ඇළ දිගේ වැටෙකෙයියා හිනැහෙන්නේ
කූඩැලි කැලත් ඇවිදින් මනිමින් දිව යන්නේ
මේවා එකින් එක අම්මා පිළිවෙල දන්නේ.....

මදුවැල් හයිය පොටකින් මිටියම තද කරලා
හිස බැදි චීත්තය උඩ කරඩුව සේ තියලා
දකුණත නැමී දිය හබරල යහමින් කඩලා
මුදුනට සූර්යා එන්නට පෙර වැට පැනලා....

සරසා මිඳුල හැඩ වැඩ කර අතුරන්නේ
කිටියා ගිහින් සෙල්ලම් ටික පෙන්වන්නේ
දඟයා නොවී සිප් කිරි ටික උරපන්නේ
නොකියා මදෙස බලනා වතෙ ලියවෙන්නේ....

කොළ,රතු පාට සායම් අතැඟිලි සිම්ඹේ
හිරු සඳු එක්ක අලුතින් හුස්මක් පිම්බේ
කොඩිපත්,හැඹිලි,මාගල්,පැදුරුත් තිබ්බේ
වියපත් නොවන සිනහව හදවත් සිම්ඹේ....

______________________දිනිති ___

Tuesday, October 30, 2012

ඊයෙ හැන්දෑවෙ දුටු අමුත්තිය හට



රන් මසු සොයා දීපංකර දනව්වේ
සත සත අහුල යන සමහරු මුලාවේ
ගත සතපලා යහනක උන් වෙලාවේ
හිත කොනහලා පදවැල් ලියවුනාවේ

හිමකැට ඇවිත් සිඹිනව දිව රෑ සයිප්‍රසයේ
මිණි කැට අතැර ආවේ මව් රට හඳිස්සියේ
තුඩ තුඩ ගැයෙන ගීයත් වෙනසයි කිරිල්ලියේ
තිය තිය අඩිය යනු කටුකයි දිවි සිඟන්නියේ...

මඟ දිග එකට ඇපලුත් දොඩනුත් මවලා
එක එක සිහින ඇන්දද උන් රවටාලා
යුරෝ එක්ක රුපියල් නෑකම් කරලා
කොහොමද පැංචියේ ආවේ හිත හදලා....

දුටු විට අලුත් කුසුමක් බමරුන් කැරකෙනවා
වටපිට කිසිම කෙනෙකුට එය වගකුත් නැතුවා
දඩිබිඩි කමින් ආ සේවෙත් මතකෙන් හරවා
උඩ ගෙඩි දේවි මිනිසුන් එක දෙක ඇස් සඟවා....

දුටු විට මුවැත්තියෙ ඔය වත අහම්‍බයේ
හද මත මැවුනි නව වසරක් අතීතයේ
නුඹ මෙන් මමත් නෑ වෙනසක් රුවැත්තියේ
දිරි ගෙන හොඳට ලොව දිනපන් පොඩිත්තියේ

Monday, October 22, 2012

මතකය එක්ක රිදවුම් මටමයි ඇත්තේ

  
කවියෙන් හුස්ම පිඹිනෙමි මම හිමිසඳුනි
ලියුමක් ලියන්නට බැහැ අතැගිළිරිඳුණි
තහනම් ගහක ගෙඩි කන ඔබ හිත මැවුනී
නොරටුන් මැදදි අසරණ කම තවදැනුණි
 මසුරන් අරන් එන්නට මා නැව් නැගුණේ
ගෙරවුම් තවම හීනෙන් නිතරම ඇසුණේ
තනිකම් අපුල ඔබ හට නැහැ නොවැ දැනුනේ
පැටවුන් ටිකයි උලලේනිට මඟ ඇරුනේ

කැහැපට ගසාගෙන සරමත් ඔබ හැන්දෑවේ
තනපට ලෙහෙන ගැහැණිය වැල්ලෙදි මා දුටුවේ
තම පිට වරද ගන්නට අකමැතිවයි ගැසුවේ
හෙමිහිට නොකියාම දුරු රට නැවතුම තැබුවේ

ගිනියම් කතර නැහැ සිහිලක් කිසි දවසේ
ඇරයුම් නැතත් අව් වැසි එයි රිසිසේ
දෑගිලි බැන්දෙ විඳිනට දුක සැප සමසේ
පෑවිලි එක්ක නියගයෙ රිදවුම්  තිස්සේ...

Saturday, October 20, 2012

යායුතුයි කෙළවර දකින්නට

ජීවිතය අද්ද අද්දා යයි
බරව සෑදුණ කකුල් වාගේ
හුස්ම ටික හැරමිටිය සේ
ඉහළ පහළට ඇදෙයි....
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට......

නෙත් ඉවුරු පුපුරු ගසමින් රිදෙයි
පිටාරය යන්නට කඳුළු සැරසෙයි
එක පිටට එක ඇස් පියන් ගසමින්
තවත් හංගන් ඉන්න දඟලයි...
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

දුක වුනත් සැපක් විලසට
හැප්පෙනා විට දිවිගමනෙ
සැප නැතත් ආ මඟ දිගට
ගැස්සෙනා හැටි හද දනියි...
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

ඉබාගාතේ නන් දෙස දුවන
සිතුවිල්ල දණ නොගසනා හැඩ
නිරපරාදේ ගෙවුන කාලය
දෙස බලා පසු තැවෙනු නොහැකිය
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

දිග් විජය නොකෙරුවත් පැතුමන්
මලක්වත් පිපිය යුතු නොවෙද හෙට
අස් කරල හිත කුණු වලින් දැන්
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

කතා නොකරන කණ්නඩිය වෙත
එබි දොඩමලු කම් කරයි
මුදා අහුමළු එක්ක හිත ලතැවුලෙන්
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට....

දුප්පත්ම මේ රාත්තිරයෙදි අද
පොහොසත්ම එක තරුවක් සොයා
නාදුනන සිතුවිල්ල එකතු කර
යවමි පූදින්න කැකුළක් වෙලා....
දකිමි එදිනට යායුතුම ගමනේ කෙළවර.....

Friday, October 19, 2012

***සොහොන් කොත් සංගමය බලා සිටී අලුත් සමාජිකයින් එනතුරු***

ඇවිඳ ගියෙමි...
නොනිමෙනා ගමන.
සබඳ,
දුක නොදැනුනාම නොවෙයි

පෙළින් පෙල අත් උස්සගෙන
සොහොන් කොත් යායකි.

ඒ පෙළට නේක වර්ණයෙ
මල්
ඇස් උලුප්පාගෙන
තනි රකිති.
සුළගින් ඇවිත්
සවන් සිඹින අතර තුර
රහසක් තියා යයි මල් පෙත්තක
එයද අනියතය විතරමය....

කෙනෙක් දෙන්නෙක් නොව
දිනපතා සිය ගණන් අය ඇ‍දෙති.
කුණු අතුල්වා ..නහවා...
සුවඳ ගල්වා යයි.
අවසන් හුස්ම පොද
වැඩිහිටි නිවාසෙක
හෙළමින්
පාර බලා උන්
මහ ගස්වල
පුරුක් ලියලා ඇවිත්
නේක සැරසිලි
අමතක නොකරම කරයි.

සඳට ඉරට ඔරොප්පුවෙන්
තර්ජනයක් කරන්නට මෙන්
හමා එන නලටත් සවි බලැති
වැටක් තනවා දල්වති තිරයක්
විසි හතර පැය පුරාවට සැමකල්හි...

එහෙට මෙහෙට වැනෙන 
පයිනස් ගස්
අතු ඉතිවල කොනින් කිති ගන්වා
කුළුණු අවුස්සයි.
එහෙත්,
නොසෙල්වී ‍බලා ඉන්නේ
හෙල්ලී..පැද්දි පැද්දී
ගාටමින්..දුවමින්
ඇවිදි යන දන දෙසය....
ඔබත් කවදද අපේ සංගමයට
බැදෙන්නේ සිතමින්.

Wednesday, October 17, 2012

***අඳුරු ජීවිතෙ ගිලෙන සංතාප මිනිසෙක් හමුවුණා*** _____________________________________


සොඳුරු බව සොය සොයා ගිය
හීතලම සිතුවිල්ල පාවෙනා විට
අඳුරු පැල්ලම් හුඟක් ති
දිළිඳු මිනිසෙක් හමුවුණා ඉඳිරියට

බුදුවෙයන් මගෙ අම්මෙ කියා ඔහු
පපුව මැද ගසා ඇත ලොකු අකුරු
වම් අතේ උරහිසට පහළ තැනකද
සිංහ මුහුණත ගොරවනා ලෙසට ඇත..

විසල් කන්දක් මුදුන පෙන්වා
අතින් අල්ලා ගන්න කීවා
හිතේ පැතුමන් දෑතෙහිම ගල්වා
ජීවිතේ ශිඛරය වගෙයි කිවුවා..

තෙත ගතිය නැතත් ඇස මුල පෙනෙන්නට
උණුවෙලා වැගිරෙන හදවතක් ඇත වැසෙන්නට
මිත ඔහුගෙ තතු ගැන පහදලා කියන්නට
වැය කළත් මදි කාලයක් ගෙන කවි ගොතන්නට

ඈත ඉස්සර කැඳැල්ලක පොඩි සංදියේ
උන්න බාලම කුරුල්ලා ඔහු නිදැල්ලේ
ගීත හඩ සිවුරුහන් කර කර හංදියේ
ඉන්නෙ ජීවිතෙ මඟ ඇරුණ ඇසිල්ලේ...

නවම් සුළඟට සීතල නැතත් හයියට
මැදින් මාසෙදි අඬනවලු ඉකිගසා හොඳටම
හොරු අරන් ගියා වාගෙම පෙම්බරිය
තවත් නෙත් තියනවා වසන්තයෙ මුලට....

කවි වලින් වසන්නට බැරි ඒ පුවත
මිමි වලින් හිතෙ ගනින්නට බැරිය
තඩි අකුරු හතර ඇත පපුව හාර යටට
ඒ මතින් ඔහු නිදති කළුවරලු දහවලද....

ජීවිතේ වැරදිච්ච ප්‍රේමයේ එකම මිනිසා
උඹ නොවෙයි සබඳ මේ අහස යට
තනිකමේ අපුල දත් විරහ හිත් ඇත කියා
සමුගත්ත මං කවක් ලියනව සිතා......

Sunday, October 14, 2012

***ආරුක්කු කවියක් යටට එන්න ***


අතරමං සිතුවිල්ලක
මතක මන්තර ගොතන
කටකාර වචන
හොරකම් කරන
ආරුක්කු කවියක් යටට
එන්න...

වචන වලින් ඇන ඇන
හදවතේ ගැඹුර කොනහන
මනමාල නල විත් කළඹන
කෙහෙරැලිත් සිල් බිඳින
මන්දාරමට ලොබ බැදන්
ආරුක්කු කවියක් යටට
එන්න.....

නිඹරට අත වනන
කණාමැදිරි එළි එබිකම් කරන
කලාවට බර නැටටුක්කාර
ඕකිඩ් මල් වියනක් මැදින්
‍නුරාවට ඇස් පියන් වැසෙන් නැති
සුරාවට කිසි ලොල් කමක් නැති
ආරුක්කු කවියක් යටට
එන්න....

අත්පුඩි ගසන තුරු පත් ළඟක
පැද්දිලා රහස් බලමින් ඇස් පියන
හැංගිච්ච දෙමලිචි පැටවු දෙන්නෙක්ට
සුව යහන් තනන
ආරුක්කු කවියක් යටට
එන්න....

දම් පැහැති සළු ඇදන්
ඇඟ හිරි මැලි කඩන වළා රෑනක්
හොරෙන් හොරෙන් අඩි තිය තියා
පුරුද්දක් නැති පුරුදු කවියක
අලුත් වචනයක්, අකුරු හතරෙන්
දෝත මැද ගුලි කරන්නට
ආරුක්කු කවියක් යටට
එන්න....

සේන් ගගේ රැලි පිට රැලි ඇදී යතී
මාත් හිතත් මුහුදු හතින් වෙන් කෙරෙතී
පාන් පැල ළගින් ආරුක්කුවක් ඇතී
හීන් සීරුවට එනවද කිසි කෙනෙක් නැතී...

Saturday, October 13, 2012

***ජීවිතේ හිනස්සමු කවියකින් හැඩ තළ නෙළා ***



උල්කාපාතයකින් විසික් වෙන
කැට කැබැලි වගේ
බිදී විසිරී ගියපු සිතුවිලි..,
තාර පාරක අහුවෙච්ච
ටොනික් පියනක් වගේ
තැලී පොඩිවී ගියපු සිතුවිලි...
පණ ගන්න දඟලන විට
කවියකින් පුළුවන්ය

හුස්ම පිඹ පිඹ හයිය දෙන්නට....

නගින විට මහගිරි දඹ

අත්වැලක් වී සිටින්නට
සිත් අහස් කුස මුදුනක
හත්දින්න තරු පොකුරක්ව
සිනාසී පාර කියන්නට
ගැවසෙන විට ඔබ ඇවිත්...,
පොඩි කර කර උන්නු
ඇස් මායිමට
දෝතටම කවි මල් පොකුරු අරගෙන.....

පෑන් තුඩගින් කළලයක් අඳින

මුහුණු අත්පා වදන් වෙන
ප්‍රසූතය දරුවෙක් වී ලොවට එන
අපූරුම කවියක් දෙන්නම්
ලෙංගතුව කිති කැවුනු සිතින් මමත්....

උස් පහත් වෙන කම්මුලකට

මඳනලක් විත් සිඹින මැදියමට
කිවුල් දිය පිරි මධ්‍යධරණියට
පුදන්නම් කවිය එතෙර කරන්නට...

හදවතේ අහුමුළුත් හෝදලා

සෙත් පිරිත් කර රඳවලා
සිහිනයට නෙත් පියවලා
ළඟ එන දුරුත්තට හිනැහිලා
කවි වලින් හැමතැනම සරසලා
ජීවිතේ හිනස්සමු කවියෙන්ම
හැඩතළත් අපි නෙළා.....

Thursday, October 11, 2012

ජීවිතේ හැටි ඔහොමයි

හඳිසියෙම නංගීගෙ ගෙදර ගිය විට
කුස්සි පොඩ්ඩේ පොල් අත්තෙ
හිල් මතින්
අහස් කුස ඇය බලනවා
කිසිම කම්පනයක් නොවුවත් ඇස අයින
කඳුළු බිඳු දෙක තුනක් බිම හලනවා...

ගිනි අරන් හම්බන්තොට සුළඟ
නංගිගේ කම්මුලක් කොනිත්තනවා
දිවුල් ගහයට තනිවෙලා ඇය

පතන් බිම සුව
හිතින් අතගා බලනවා...

කලබලෙන් ආ තනි අලියා
පලු ගසේ පිට උලනවා
බයේ ගැස්සුන නංගි
ගෙපැල අතහැර දුවනවා..

කුසට හරියට මාස පහ දැන්
පිරුණ විතරයි ඇය දන්නවා
මහී කතටත් බරක් වේදැයි
ඇයම තනියම හිතනවා...

කිවුල් දිය බොන්න බැරිමුත්
අප්පිරිය කර කර ගන්නවා
ඇවිද ගෙන ගියෙ වැව් ඉසව්වට
නාන කාමරෙ උන් යුගය මැවෙනවා...

බලන්නට ඇවිත් හොර රහසෙ මං
මටත් මං ගැන ලැජ්ජ හිතුණා..
අකීකරු දියණියක් වී නුඹ
කදුළු විතරක් අපිට දුන්නා....

විදුලි පංකා සුව යහන් මැද
ගෙවුන කාලයෙ මතක එනවා
කරන්නට දෙයක් නැහැ නංගි
ජීවිතේ ඔහොමයි හිතෙනවා...

Friday, October 5, 2012

SvvetZara කියන නිර්මාණ හොරකම් කරන කොනාව සොයා දෙන්න.....

දුකට හඬන්නට බැරි හින්දා
පද ගලපාගෙන ලිවුවා
ඒ පදයත් හොරු අරගත්දා
කවිය නොදෙන්නට මට සිතුණා....

දුකින් වුනත් පුරුදු විදිහට බ්ලොග් එකෙන් ලියන්න හිතුණෙ සයිබර් අවකාශය පුරා හරිම සතුටින් මුදාහළ කවි ඒ සයිබර් අහසෙම වෙන කෙනෙක් එයාගෙ නමින් සයිට් ගණනාවක ප්‍රසිද්ධ කර තිබීම නිසයි...අද ඊයෙ නෙමෙයි අවුරුද්දක් දෙකක් තිස්සෙ කරගෙන ගිය දෙයක් දැකගන්න ලැබුණෙ අද...එපමණක් නොවෙයි එයා බුකියෙ හුගක් අයගෙ කවි එයාගෙ වගේ දාගෙන තියෙනව..අපි දන්න හිතවතුන්ගෙ ඒවම....

SvvetZara කියන නමින් අනංමනං සයිට් එකේ  

http://ananmanan.com/modules.php?name=Forums&file=viewtopic&p=176250

ඒවගේම 

http://www.sl-spirit.com/forum/viewtopic.php?f=44&t=398&start=0&sid=89141ca0a25cb39f97e3491c19965bc2

තව මෙන්න මේ සිංහලයද මොකද්ද එකේ

 http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9342.0

යන තව බොහෝ තැන්වල ඇති. පබ්ලිෂ් කර ඇති නිර්මාණ වලින් භාගෙට භාගයක්ම මගේ...මේ අකීකරු අකුරු කියල බුකියෙ ලිවුවෙ මම..ඒ වගේම කලින් මගේ බ්ලොග් එකේ නම වුනත් අකීකරු අකුරු. ඒ ගැන දන්න අය ඉන්නව...

ඒ කොහොම වුනත් මම හුගාක් වේදනාවෙන් ඉන්නෙ. මට නිර්මාණයක් දෙකක් ගත්තට කමක් නැහැ. මං ළග තියා ඉන්නව වගේ නෙමෙයි ඒක සමාජය අතරෙ බෙදෙනකොට රස විඳින අය වැඩියි. නමුත් ඒ නිර්මාණය අනුන්ගෙ කරගන්න එක හෙළා දකිනව..ඒ තරම් දුකක් නිර්මාණ කාරයෙක්ට නැහැ.

ඉතින් ඔබ දන්නව නම් මේ 

SvvetZara 
          කියන නමින් ලියන නිර්මාණ කොල්ලකරුව කරුණාකරල එයාට කියන්න මම මේ සම්බන්ධව නීතිමය පියවර ගන්නව කියල. මොකද මගෙ සීඩී එකේ තියෙන නිර්මාණ ඉදන් එයාගෙ නමින් දාගෙන...

වැඩිය ලියන්න බැහැ. ආයෙ සයිබරයෙ කවි නොලියවෙයි හුගක් දුරට. ඒත් මට මෙන්න මේ කෙනාව හොයා ගන්න උදවු කරන්න ඔබ දන්නව නම්..එහෙම නැත්නම් මේ සයිට් කරන ඇඩ්මින්ලව හරි දන්නව නම් මට කියන්න.

ස්තුතියි..දුකින් යුතුව අද පොස්ට් එක කාලෙකින් දැම්මෙ.

Wednesday, September 19, 2012

...නොවියලුණ කඳුලක්...


හරෝ හරා සාමී හරෝ හරා.......

ඈතින් අසෙන ගීතිකා හඬ ටික ටික සවන් පත් ළගට දැනෙමින් තිබුණි. අතුරු සිදුරු නැති කෝවිල් බිමේ අද අගිල් කපුරු සුවද මුළු මහත් විශ්වයේම තම අණසකට නතු කර ගත්තා සේය. ඊටත් පරයා එහෙන් මෙහෙන් ඇවිදි ගිටිස්සියන්, ලමිස්සියන්ගේ හිස කෙස්වල මාලා සදා ඔතා තිබෙන පිච්චමල් සුවඳ උවමනාවෙන් හුස්ම ගන්නට මතක් කරන්නා සේ සුවඳ නහයෙන් ඇද ඇද යනෙන මිනිසුන් නැතුවාම නොවේ.

අතරින් පතර කෙල්ලෙකුගේ කොන්ඩෙන් ඇද...තංගච්චී....යැයි කියන දඩබ්බර පිරිමි ළමයකු උසුලු විසුලු වලට ලක්වන්නේ තනියම සිටියොත් නම් පමණය....

    
තෙලේ බැදෙන උණු උණු වඩේ කඩ ළග අවුරුදු දහයෙ දොළහෙ කොල්ලො කුරුට්ටොය. මාල වළල අරුමෝසම කඩ ළග ගැහැණු ළමයින්ය.

    
මේ සෙයිලමඩු ගමේ වාර්ෂිකව පැවෙත්වෙන පුල්ලෙයාර් දෙවාලයේ මංග්‍යලයයි. නන් දෙසින් පැමිණි බැතිමතුන් හිතේ හැටියට දෙවියන් වැද පුදු ගනියි. පැත්තකින් බැති ගී කණ්ඩාම බැති ගී ගයයි. දේවාල බිමේම තවත් තැනක කුත්තු පෙන්වයි. මේ සියල්ල මැද තලයමානී බර කල්පනාවක.

      
ගමේ සියල්ලන් සමඟම ට්‍රැක්ටරයකින් දේවාලයේ මංගල්‍යයට ආවාට ඇය පිට්ටනියේ කොනක අනෙක් අයගේ බඩු බාහිරාදිය බලා කියා ගනිමින් තම සිත පතුලට කිමිදී නිමක් නැති සිතුවිලි සයුරේ ගැලෙයි.

   
අතීතයේ දවස් නිරායාසෙන්ම හදවත තුල චිත්‍රපටියක් සේ පෙළ ගැසෙයි.

අම්මා....අම්මා....අප්පා ආවෙ නැද්ද....

තාම නැහැ සිඳුවේලි....

මෙච්චර පරක්කු නැහැ නේද අම්මා වෙනදට...

අද ටිකක් වැඩියෙන් වැඩ කරනවා ඇති....

      
තලයමානීගේ ස්වාමියා නිවසෙන් ටිකක් ඈත වු ඔවුනගේම අක්කරයක පමණ ඉඩමක වගාවන් කරන්නේය.

  
මිරිස්, වම්බටු, මඤ්ඤොක්කා,මෑකරල්,දුම්කොල ආදී නොයෙත් දේ වගා කරති. සතියට දවස් දෙකක් ඉඩමටම ඇවිත් පලදාව කිරා ැන මුදල් ලබා දී යන වෙලෙන්දුන් ගමේම උන්නේය.

 
තලයමානී කොයිතරම් අත් උදවුවට යන්න හැදුවත් ඇයට ඉඩක් නැත. එවැනි වෙලාවල් වල‍ට ඇයට ලැබෙන පිළිතුර

  
තාම මට හයිය හත්තිය තියෙනවා. සිඳුවේලිගෙ අම්මා ගෙදර ඉන්න. කහට ටිකක් රත්කරගෙන බීඩීයක් බිවුවහම මහන්සිය යනවා මගෙ..... යනුවෙනි.

     
 
        පවුලේ එකම දියණිය සිඳුවේලිත්, එකම පුතු ප්‍රේමනුත් වේ. දරු දෙදෙනා කිලෝමීටර 2ක පමණ පාසැලට යන්නේ උදේට නීලමෝගන්ගේ බයිසිකලයෙනි. ඔහු දරුදෙදෙනා පාසැලට දමා එහෙමම වගා ඉඩමට යයි. නැවතත් දරු දෙදෙනා රැගෙන දහවල් බතට නිවසට එයි.


       
කාලය එසේ ගෙවී යද්දී සිඳුවේලී වැඩිවියට පත්විය. පෙනුමෙන් රුවෙන් හැඩකාර දියණිය රැකගැනීම දෙමාපියන්ගේ අරමුණ විය. ප්‍රේමනුන් සිඳුවේලිට වඩා දෙවසරකින් බාල නිසා ඔහු තවම සෙල්ලමේය.


      
සිඳුවේලි හැඩකාරියක්ය. අම්මාගේත් අප්පාගේත් රුව දෙකම සංකලනයක අපූරුවම සිත්ත්මක් ලෙස සිඳුවේලි දිනෙන් දින පිරිපුන් විය.


    
හදිසියට බීඩි මිටියක් ගෙන්න ගන්නවත් දැන් නීලමෝගන්ට සිඳුවේලිව කඩ පිලට යවන්නට බැරිය.

ඒ තලයමානීගේ ඇනුම් බැනුම් ඉවරයක් නොවන හන්දාමය.


ගෙමිදුලේ පිච්ච වැල යට බංකුවේ ඉදගෙන සිදුවේලි පොතක් කියවයි.

ඈ දුවේ කවදද දැන් පුල්ලෙයාර් දේවාලෙ මංගල්‍යය?

ලබන සතියෙ නේද අම්මා. ඔන්න අප්පට කියන්න මට නම් අලුත් ඇදුමක් ඕනි කියලා.

   
හරි බන්. තවම අප්පා සිදාදියට ගියෙ නැහැනෙ. ඒ එනකොට උඹට සල්වාරියක්ම ගෙනෙයි.

    
සෙයිලමඩු ගමේ ජනයාට වාර්ෂික කෝවිල් මංගල්‍යය ඔවුන්ගේ අවුරුද්දට හා සම වෙන්නකි. මංගල්‍යය තිබෙන දවසෙ දවල්ම විශේෂ කෑම සකසාගෙන රාත්‍රී ආහාරයටද බත් මුල් බැදගෙන හවස් වෙද්දී ඔවුන් ඔවුන් දේවාල බිමට යන්නේ මහත් වූ බැතියෙනි.

     
විසකුරු කාමයේ රකුසා වල් වැදී පිස්සු බල්ලෙකු සේ සිටින බව කිසිවෙක් නොදත්තේය..කෝවිල් මංගල්‍යය සියළුම ගම් වැසියන්ගේ පූජනීයත්වයේ මුදුන් මල් කඩක් බදුය. එදා කෝවිල් බිමේ සිනා පපා ඇවිද යන්නට සිඳුවේලි ඇගිලි ගැන්නාය.


   
ඉඳින් ඒ දිනය උදාවිය. ට්‍රැක්ටරයක නැගී බැති ගී ගයමින් ඔවුන් ‍ගියෝය. සියල්ලන්ගෙම නෙත් පැහැර ගන්නා සොදුරු සිතුවමක් සේ සිඳුවේලි උන්නේය.

    
පෙරුම් පුරා වසරකට වරක් තේරෙණදා පටන් ඇය ඇවිත් ගිය වැද පුදා පඩුරු දැම්ම දෙවියන්ගේ ඇස් වැසුවාද...නැත්නම් දෙවියන් ඕනෑකමින් නොබැලුවාද යන්න සිතන්නට නොහැකිය. පියාපතක් සේ දේවාල භූමියේ සැරිසැරූ ඇයවම මාන ගෙන සිට,

එන්න නංගි අතන ලස්සන වළලු තියෙනවා......

කියා ඔවුන් වෙනතක් පෙන්වීය. කිසිවක් නොදත් නැවුම් යුවතිය වළලු බලන්නට ගියාය. එළිය මුවා වෙන විටම එකෙක් අතකින් කට වසා ඔසවා ගන්නා විටම ඇය වැර යොදා පැන යන්නට ගත් සවිය හීනයක් පමණක් විය.

කිරිල්ලියක සේ දේවාල බ්මේ ඇවිද ගිය සිඳුවේලි සොයා නීලමෝගන් ගියේය. ඇස ගැටෙන මානයේ ලයිට් එළි මැද විපරම් කළත් ඈ නොදුටුවාය. දේවාලේ යකඩ කටින් ඇයට බැති ගී කණ්ඩායම සිටින තැනට එන්නැයි පණිවිඩයක්ද ගුවනට මුසුවිය.

එහෙත් ඒ වෙනකොටත් සිඳුවේලී තිරිසනුන් දෙදෙනෙකුට මැදිවී ජීවිතය බේරා ගන්නට යුද්ධයකය.

හිස් ලූ ලූ අත දිවුවත් හමු නොවූ සිඳුවේලි සොයා පොලිසියේ පොතක ලිවුවත් දින කිහිපයකට පසු ඇගේ සිරුර දේවාලයට යන මඟ මඩ වලක තිබී හමුවිය.



Monday, September 17, 2012

සමාකරන් අප්පච්චී අවසාන කොටස.



විශ්ව වාහනයේ මා පැත්තට ඇවිත් දොර ඇර
යන්න සිහින ඇතුලෙ ඉන්නවා...

ගැහෙන දෙපා වලින් හෙමින් හෙමින් සිහිනයියාගේ නිවසට මා ගියෙමි. මේසය අසල පුටුව මත වාඩ්වී අත්දෙක මුහුණ මත රදවා සිහිනයියා දිග කල්පනාවකය} මගේ හදවත සැළිණි}
සිහිනයියේ.... මම තොල් මැතුරුවෙමි. සිහිනයකින් අවදි වූවා සේ සිහිනයියාගේ දෑස් විසල් විය. ඇස්දෙක රතුවී තිබිණි.

රෝසමල ඔයා......

සිහිනයියාට විශ්වාස ගන්නට බැරිය.

මං හිතුවෙ ආයිත් කවදාවත් මට රෝසමලව දකින්න ලැඛෙන්නෙ නෑ කියලා....

සිහිනයියේ.....

කියමින් මා විසල් පපුවේ හිස ඔබා ගත්තෙමි. ඔහු මා තදට තුරුල් කර ගත්තේය.

මද වෙලාවකට පසු මා මුහුණ ඔසවා සිහිනයියා දෙස බැලීය.

 —කොහොමද මෙහෙම වුනේ......යැයි කියන බැල්මක් මා මුහුනේ රැදෙන්නට ඇත.

අම්මා එදා මං ගෙදර එනකොට ගෙදර ඇවිත් ඉදියෙ.....මගෙත් එක්ක කිසි වෙනසක් නැතුව වෙනදා වගේ ඉදිය.... රෑ පපුව රිදෙනවා කියලා කිවුවා මම ඉක්මනට අම්මව හොස්පිටල් එකට ගෙනිච්චා අතර තුර අම්මා කියනවා ඇහුනා මං දිහා බලාගෙන ඇයි පුතේ උඹ එහෙම දෙයක් කලේ....උඩ අත්තක පිපුනු මල් අපේ දෝතට ගන්න බෑ පුතේ තේරුම් ගත්තෙ නැත්තෙ ඇයි මගෙ පුතේ....අම්මා ඊට පස්සෙ වචනයකවත් කතා කලේ නෑ....යන්තමට කෙදිරි ගාන සද්දෙ විතරමයි ඇහුනෙ....ඒත් අම්මව මාව දාලා ගියා නංගි....මම තනිවුනා.....

එසේ කියා සිහිනයියා හොදටම අඩමින් මැණිකෙ නැන්දාගේ ඡායාරූපයක් අතට ගත්තේය. කාත් කවුරුත් නැතිව මට හිත හදා ගන්න බැරි වුනා නංගි. අන්තිමට කැම්පස් එකේ පයිනල් එකත් ලියන්න බැරිවුනා...ඔයත් නැතිවුන මට අමිමත් නැතිව තව මොනා දිනන්න කියලද නංගි....ඒ හිංදා මං විභාගෙ අත් ඇරලා දැම්මා. ඇරත් ගැන ඒතරමට උනන්දුවක් මට තිබුනෙ නෑ....දැං මම පොඩි ළමයි ටිකකට උගන්නවා...
ඇයි අයියෙ එහෙම වෙන්න ඉඩ දුන්නෙ....ඔයා ආයිමත් විභාගෙ කරන්න අයියා....

දැන් ගැන හිතෙන්නෑ....යන්තම් ජීවත්වෙන්න ඕන නිසා මම ළමයි කිහිප දෙනෙක්ට උගන්නන්නෙ.....දුක අපිට අමුතු දෙයක් නෙමේ නංගි....

අයියත් එක්ක මාත් ඉන්නවා.....

එපා රෝසමල ඔයාට මේ දුක් විදින්න බෑ....විශ්ව හරි හොදයි....ඔයාට ගැලපෙන්නෙ විශ්ව වගේ කෙනෙක් නංගි....

නෑ....මට ගැලපෙන්නෙ ඔයාව.....

දැන් අපි පොඩි ළමයි නෙමේ රෝසමල....

දන්නෑ....මම දන්න එකම දෙය මං අයිති සිහිනයියට විතරමයි....
තේරුමක් නෑ නංගි....

මං යනවා අයියා .....එසේ කියා මා විශ්ව අසලට පැමිණ වාහනයට නැංගේය... නිවසට එන අතරතුර මොකද වුනේ....කියාවත් විශ්ව මගෙන් නොඇසුවේය.


 කතා බහකින් තොරව ඇවිදින් නිවස අසලට මා ගෙනවිත් දමා මං යනවා සදකිරණි....කැමති තීරණයක් අද ගන්න.....කියා විශ්ව ආපසු ගියේය.

කෝ විශ්ව....අප්පච්චී මගෙන් ඇසීය.

හදිසි වැඩක් කියලා ගියා.....එසේ කියමින් තරප්පු පෙළ නැග මා මගේ කාමරයට වැදුනේය.

මට මැණිකෙ නැන්දා ගැන දුක හිතුනේය. දන්නදා හිද මට සෙනෙහස ආදරය කල එකම ගැහැණු චරිතය වූයේ ඇයයි. ඇයට මා බොහෝ හිතවත්ය. ඇය සිහිනයියාගේ මව බව දැන ගත්දා හිද මා ඇයට තවත් ලෙංගතු විය. එමෙන්ම ඇයට ජීවත්වන්නට කියා තිබුණ රැකියාවද අහිමි වූයේ මා හින්දාය. වාවාගන්නට බැරි දුකකින් ඇය මිය යන්නට ඇත. මට මගේ හිත දොස් කීවේය. සිහිනයියාට හෝ මම යුතුකම ඉටුකල යුතුය. අසරණ මිනිසුන්ට මෙසේ වූයේ මා නිසාය. අප්පව්චී මට සමාව දේ දෝයි සැකය. එමෙන්ම විශ්ව ඔබ කුමක් හෝ කරයි යන බලාපොරොත්තුවක් මහිත ඇත.

විශේෂඥ වෛද්යවරයකු ලෙස වැඩිදුර අධ්යාපනය ලැබීමට විශ්ව විදේශගතවන බව අප්පච්චීට දැනගන්නට ලැබිණි. ඉන් මා බොහෝ සතුටු වූවත් අප්පච්චිගේ තීරණය හමුවෙහි මගේ සතුට දෙපා මුල ඉහිරිණි.

වෙඩින් එක අරගෙන දෙන්නත් එක්ක යන්න පුළුවන්නෙ....දිනක් විශ්ව අපේ නිවසට පැමිණි දිනක අප්පච්චී කීවේය..

නෑ....අන්කල් සදකිරණි ඉදපුදෙන්....මං ගිහින් එන්නම්....

දැන් කොහොමත් තීරණය කරපු දේවල්නෙ....තව මොකටද කල් දාන්නෙ....කවද බැන්දත් ඔය දෙන්නනෙ....අපි හොද නැකතත් බලල අද හෙටම වෙඩින් එක ගමු....
අප්පච්චී එසේ කීවේය.

ඉතිං හදිසියේම රන්මුතු බංගලාටව මංගල අසිරිය වැඩියේය. සේවකයෝ ලහි ලහියේ ගේදොර වටපිටාව සුද්ද පවිත් කලේය. අප්පච්චී නානප්රකාර ඇදුම් ආයිත්තම් ගෙනවිත් දී මගේ හැඩ බැලීය. විටෙක මට දුක සිතුණි. වෙන කිසිවෙක් ගැන නොව මා ගැනමය. විශ්ව මේ කිසි දෙයක් ගැන මාහා දොඩන්නේ නැත. සිහිනයියා මට ලබා දෙනවායැයි කියා පොරොන්දුවූ විශ්ව දැන් මාව අයිති කරගන්නට සැරසෙන්නේ යැයි මට හැගෙන්නේය. මම දෙවෙනි අයියා සොයා ගියේය...

ඇයි රෝසමල....?

මට බෑ විශ්ව එක්ක රට යන්න....

එහෙම කියලා කොහොමද....?

මං ඔයගොල්ලො එක්කම ඉන්නම්....අප්පච්චිට කියන්න මට බැ විශ්ව එක්ක යන්න කියලා.....

අනේ රෝසමල දැන් හැම දෙයක්ම ලැහැස්ති කරලනෙ....

ඔයාලා කවුරුවත් මට ආදරේ නෑ නේද....?

ඔයාට ආදරේ හින්දා තමයි අපි මේ හැමදේම කරන්නෙ....

බොරු කියන්න එපා දෙවෙනි අයියෙ.....ඔයත් මට කිවුවෙ බොරුනෙ.....සිහිනයියා හොදින් කිවුවා.....සිහිනයියා හොදින්ද....මැණිකෙ නැන්දත් නැතුව අද සිහිනයියා අසරණවෙලා දෙවෙනි අයියෙ....දැන් ඔයගොල්ලන්ට ඕන ඉක්මනට මාව ගෙදරින් පන්න ගන්න නේද...

රෝසමල.....ඔයා අපේ ජීවිතේ....ඇයි මෙහෙම කියන්නෙ....ඔයාට සිහින ගැන එහෙම කියන්න වුනේ ඔයාගෙ හිත හදන්න.....මං දන්නවා....ඒත් අප්පච්චි ගැන හිතලා එහෙම කියන්න වුනා රෝසමල...

මම මැරෙනවා....මට බෑ.....විශ්ව එක්ක දැන්ම මැරි කරන්න....එසේ කියා මා දෙවෙනි අයියාගේ කාමරයෙන් පිටවිය. කාමරයට වී හිදින විට අප්පච්චී පැමිණ විශ්ව බව පැවසීය....

යන්න පුතේ ඔය දෙන්නත් එක්කම ගිහින් වෙඩින් රින්ග් දෙක අරගෙන එන්න....

මට බෑ අප්පච්චි මගෙ ඔළුව රිදෙනවා....

මගෙ මැණික යන්න තව දවස් දෙකයිනෙ තියෙන්නෙ...

ඇදගෙන හිදි ඇදුම පිටින්ම මා තරප්පු පෙළ බැස්සේය. විශ්ව කොට කලිසමකින් හා ටීෂර්ටයකින් සැරසි සිටියේය. එසේ හිදින විට ඔහු කඩවසම් පිරිමියෙක් යැයි මට හිතුණි. මා දුටු ඔහු

ඔහොම හොදයි අපි යන් සදකිරණි.....එසේ කියා විශ්ව මා සමග පිටත්විය.

අපි ස්වර්ණ මහල් එකට ගොස් විශ්ව මට පමණක් මුද්දක් ගත්තේය. ඔහුට තිඛෙන බව ඔහු පැවසීය. එතරම් කතා බහක් මා සමග නොවූ හෙයින් මම විශ්ව හා කතා කරන්නට සිතුවේය.

ඇයි විශ්ව ඔයත් මෙහෙම වෙන්න ඉඩ දුන්නෙ...

කොහොම වෙන්නද සදකිරණි.....

ඔයා කිවුවෙ මට සිහිනයියව දෙනවා කියලනෙ....ඔයත් ආත්මාර්ථකාමියි විශ්ව.....

මං....මං කවමදාවත් ආත්මාර්ථකාමිවෙලා නෑ සදකිරණි....ඔයාට තේරෙයි......

මොනා තේරෙන්නද...මේ වෙන දේවල් හොදටම ඇති.....

ඔයා මං ගැන දන්නෑ....

එසේ කියා විශ්ව ඉදිරිපස බලා වාහනය පැදවුයේය. නිවස අසලදී ඉන් බැසීමට පෙර ඔහුගේ ජංගම දුරකථනය මට දුන්නේය.

ඔයාට ඕනවෙනවා තියා ගන්න....

මොකටද.....?මම ඇසීිය.

ඒක වැඩක් නැහැනෙ.....ගෙදර අය ඇහුවොත් කියන්න අමතකවෙලා ඔයාගෙ අතේ....අයිත් ආවම දෙන්නන් කියලා....

ඉතිං ජීවිතය ගැන මට කලකිරී තිබුණි. කරකියා ගන්නට කිසිම දෙයක් නැති තැන මා කාමරයට වී හැඩුවෙමි. ලොකු අයියා මා තුරුල් කරගෙන කී දෙය මහිත රැව්පළිරැව්දේ.

අද රෑ එළිවුනාම රෝසමල ලස්සන මනමාලියක්...

යන්න ලොකු අයියෙ.....

ඇයි රොසමල තරහා ගියාද....?

නැත කියා සිනහාවී මා කාමරයට ආවේ මීට පැය භාගයකට පසුය. දැන් වෙලාව රාත්‍රී 10.00 පමණ ඇත. අප්පච්චි කීවේ ඉක්මනට නිදා ගන්න....නැත්නම් හෙට මුහුණ කැතවේවි කියාය...

                නිදන්නට නොව වස ටිකක් බී සදාකාලික නින්දකට යන්නට මට සිතේ.. හඩා දොඩා අවසන මා තීරණයකට ආවේය.. එනම් හෙට උදය වනතුරු මා ජීවත්නොවන්න කියාය. මන්ද යත් විශ්ව කොතරම් හොද පිරිමියෙකු වුවත් මට සිහිනයියා තරමට ඔහු නොවටී. සිහිනයියා යනු මගේ ජීවිතයයි.. හුස්ම පොද මට ජීවිතය කියා දෙයි. ඉතිං ඇට ලේ මස් නහර වලට කා වැදුන මගේ ආදරයට අසාධාරණයක් කිරීමට වඩා එයද තුරුළු කරගෙන මරණයට යෑම මට සැපතකි. අප්පච්චි අයියාල මට සිහිවේ. කලක ඔවුන් මගේ ජීවිතය විය. එහෙත් සිහිනයියා මගේ සංසාර ප්රේමයයි... මේ සංසාර වන්දනාවේ සිහිනයියා ළග නවතින්නට බැරිවූ මා ආදරය තුළ මහිත සගවා මියැදෙන්නෙමි. ජාති ජාතිත් ඔබ මගේ වන්නට යැයි මම පතමි.

අප්පච්චි ගෙනත් දුන් මගුල් සාරිය මා ඇස ගැටුනි. එය අතට ගෙන මා සිවිලිමේ රදවා ඇති විදුලි පංකාව උඩ රැදවීය.. මට සමාවන්න අප්පච්චි.... සිතමින් එය ගෙල වටා රදවන්නට යද්දී එකපාරටම දුරකථනයක සද්දයක් මට ඇසුනි. එය ආවේ මගේ කන්නඩි මේසය උඩ තිබුන විශ්වගේ ජංගම දුරකථනයෙන් බව මට සිහිවිය. තවත් ටිකක් නාද වන්නටදී මම තරහෙන් එය සම්බන්ධ කර ගත්තේය...


                සදකිරණි මම විශ්ව...

—        ඇයි විශ්ව ඔයා හිතුවෙ මම දැන්මම මැරුණා කියලද....නෑ

                හිතුවක්කාර වෙන්නෙපා....

                මං හිතුවක්කාරයි තමයි විශ්ව...ඒත් ඔයාට ආදරය කරන්න මට බෑ...


—        කියවන්න වෙලා නෑ සදකිරණි... තව විනාඩි ගානකින් මම ලංකාවෙන් පිටවෙනවා. සිහින බලාගෙන ඉන්නවා. හැමදේම දෙවෙනි අයියා දන්නවා. ඔයාට ඔයාගෙ සිහිනව මං ලබලා දුන්නා.. දෙවෙනි අයියට කියන්න බැරිවෙයි...සිහින හැමදේම කියයි...මං යන්නම් සදකිරණි. බුදුසරණයි.
එසේ කියා විශ්ව දුරකථනය විසන්දි කලේය. මට කිසිවක් නොවැටහේ. නැවතත් දුරකථනය නාද විය. හනිකට එය අතට ගත් මා දුටුවේ අපේ නිවසේ දුරකථන අංකය සටහන් වී ඇති ලෙසය.

         —රෝසමල....සිහින එළියෙ බලන් ඉන්නවා ...යන්න නංගි....

         —දෙවෙනි අයියේ....

         —යන්න රෝසමල....මම මෙහෙ බලාගන්නම්....ඔයා යන්න නංගි....

         කියන්නට බැරි සතුටක් මට දැනිනි... හැම අමතක කර හෙමින් හෙමින් අඩි තබා මා පහල මාලයට බැසීමට ගියේය... එහෙත් මද දුරක් යනවිට මා දුටුවේ අප්පච්චි අවදිව සාලයේ ලොකු පුටුවේ හිදින බවය} අඩපන වූ දෙපයින් යුතුව මම ආපසු හැරී කාමරයට ගියෙමි. දැන් ඉතිං කුමක් කරන්නේද....? එළියට යන්නට වෙනත් මගක් නැත.

       හදිසියේම මනෙතට හසුවුයේ විශ්වගේ දුරකතනයයි. මහා දිනුමක් ලද එකියක සේ මම එයද රැගෙන පඩිපෙළ බැස්සෙමි.

        —මගෙ මැණික....මොකෝ මේ රෑ....කොහෙද යන්නෙ...?

        —අප්පච්චි....විශ්ව මොබයිල් එක දාලා ගිහින්....ඒක ගෙනියන්න ඇවිත්....

        —දෙන්න මං දීලා එන්නම්  පුතේ....


     —නෑ අප්පච්චි....ගේට්ටුව ගාවටනෙ....මං දීලා එන්නම්....

     —පුතාගෙ ආසවනෙ....දීලා එන්න....

          අප්පච්චි දන්නේ නැත... අප්පච්චිගේ දුව ඇගේ ආසාව වෙනුවෙන් අප්පච්චිවද දමා දිගු ගමනක් යන්නට යන බව. ඒත්....හිත සතුටින් අප්පච්චි කියූ දේ ගැන මට දුක සිතුනත් දෙවරක් හිතන්නට තරම් කාලයක් නොවුනි. එහෙයින් මා අඩියට දෙකට ගේට්ටුව ගාවට ගියෙමි. මුර අන්කල් ගේට්ටුව විවෘත කල විට හනිකට පැනගත් මා එළියට ආවිට දුටුවේ ගේට්ටුවට මදක් එහායින් නවතා තිබූ වෑන් රථයකි. අසල සිහිනයියා හිදියේය. මා දුටු ගමන් මගේ අතින් අල්ලාගෙන වාහනය තුලට ගිය සිහිනයියා එයට ආපහු යන ලෙස කීවේය.

       —මේ කොහෙද යන්නෙ.... කියාවත් මා නොඇසුවේය.. මේ මගේ ප්‍රේමයයි. කප්සුවහස් කල් පෙරුම් පිරූ මට මගේ ප්රේමය මට ලැබුණි. විසල් පපුවට හිස තියාන මම දෑස පියා ගත්තෙමි. අප්පච්චි මට සිහිවිය. ඔහු මා ගේට්ටුව ළගට බව දන්නේය. ආපසු නිවසට නොගිය නිසා දැන් මාව හොයනවා ඇත. අප්පච්චි මා කොහේ ගියාවත්ද කියා ඔබට කියන්නට බැරිවීම ගැන මට දුකකය. එහෙත් මා මිය ගියද  මගේ ප්රේමය මිය යන්නට දෙන්නේ නැත.


සමනල ගිරිහිස තරමට වටිනා...
බුදු සමිදුන් තරමට හිත නිවනා...
කදුළක් දුටු විට හිත ළග රැදෙනා....
අප්පච්චියෙ මට ඔබ ප්රාණ සමානා...

ඔබ මා දෙතැනක සැතපුම් දහසකි...
දුවන්න බෑ මට බාධක එමටය...
කියාගන්න බැරි තරමට ලතවෙන හිත ගෙන...
තුරුල් වෙන්න හිතෙනවා රෑ හීනෙන් නුඹ ළග....

අතපත ගෑවට දැනෙන්නෙ නෑ මට.....
ඇස් ඇර බැලූවට ඔබ නෑ මා ළග....
හදතුළ තෙරපෙන සිතුවිලි පොදි බැද....
කවදද එන්නේ කියන්න මාහට...



පසුව ලියමි...........

        මා සිහිනයියා හා ගිය බව දැන ගත් අප්පච්චි මාස ගනනකට නිවසින් එළියට ගොස් නැති අතර දෙවෙනි අයියා විවාහ උත්සවය කැන්සල් කල බව සියල්ලන්ටම දන්නවා ඇත. අප්පච්චිට වූ ලැජ්ජාව ගැන මුලින් තදින් හිතුවද දැන් අප්පච්චි කියන්නේ ලගදි දිනක මා බලන්නට ඔහු එන බවය. සිහිනයියා නැවත විභාගය ලියා වෛද්යවරයකු විය. එය මැණි‍ෙක නැන්දාගේ සිහිනය සැබෑවීමක්ය.  මඩේ පිපුන නෙළුම සුවද හමන්නට පිපෙයි.  නිවසේ වැඩකටයුතු දැන් මට පුරුදු අතර එහෙත් මගේ උදවුවට කියා තවත් ගැහුණු ළමයෙක්ද හිදියි. විශ්ව තවමත් විදේශ ගතව ඇති අතර ලොකු අයියාත් මද්දු අයියාත් විවාහකයන් වී ඇත..

          මේ සියල්ලන්ටම වඩා මට මෙසේ උදවු කරන්නට පෙළඹී ඇත්තේ දෙවෙනිත අයියාත් විශ්වත්...සිහිනයියාත් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එකම සිසුන්  හා යාළුවන් වීමය... පසුව සිහින සියල්ල අතැර දැමූ විට මේ සියල්ල ක්‍රියාත්මක කර ඇත්තේ විශ්වත් දෙවෙනි අයියාත්ය. එකම නංගීව එලෙස පිටත් කර යැවීමට මුලදී මුලදී අකමැති වූවත් එසේ නොකලොත් අප්පච්චී වෙන කෙනෙකුට හෝ නංගි දෙන බව දැනගෙන ඔවුන් මෙලෙස සියල්ල කර ඇත...

.....ඉදින් සමාවන්න අප්පච්චී...

නිමි. THE END.

මෙවැනි පිස්සු කතා සැබෑ ලෝකයේ නැතැයි කියාද සමහරුන් කියති...මා නවකතා ලියන්නට දන්නෙ බොහෝ අඩුවෙනි..ඉතින් මේ සියල්ලම මම මගේ හිතේ මවා ගත් දෙයක් පමණි..


මගේ බ්ලොග් එක මට අහිමී වී බොහෝ දිනක් සිටියෙමි...ඒ සදහා ඔබ සියළු දෙනාගෙනම් සමාව ඉල්ලමි...දැන් ආයෙමත් සියල්ල හරිය...සමාකරන් අප්පච්චී කතාවද මෙතනින් අවසන්ය....