Tuesday, October 30, 2012

ඊයෙ හැන්දෑවෙ දුටු අමුත්තිය හට



රන් මසු සොයා දීපංකර දනව්වේ
සත සත අහුල යන සමහරු මුලාවේ
ගත සතපලා යහනක උන් වෙලාවේ
හිත කොනහලා පදවැල් ලියවුනාවේ

හිමකැට ඇවිත් සිඹිනව දිව රෑ සයිප්‍රසයේ
මිණි කැට අතැර ආවේ මව් රට හඳිස්සියේ
තුඩ තුඩ ගැයෙන ගීයත් වෙනසයි කිරිල්ලියේ
තිය තිය අඩිය යනු කටුකයි දිවි සිඟන්නියේ...

මඟ දිග එකට ඇපලුත් දොඩනුත් මවලා
එක එක සිහින ඇන්දද උන් රවටාලා
යුරෝ එක්ක රුපියල් නෑකම් කරලා
කොහොමද පැංචියේ ආවේ හිත හදලා....

දුටු විට අලුත් කුසුමක් බමරුන් කැරකෙනවා
වටපිට කිසිම කෙනෙකුට එය වගකුත් නැතුවා
දඩිබිඩි කමින් ආ සේවෙත් මතකෙන් හරවා
උඩ ගෙඩි දේවි මිනිසුන් එක දෙක ඇස් සඟවා....

දුටු විට මුවැත්තියෙ ඔය වත අහම්‍බයේ
හද මත මැවුනි නව වසරක් අතීතයේ
නුඹ මෙන් මමත් නෑ වෙනසක් රුවැත්තියේ
දිරි ගෙන හොඳට ලොව දිනපන් පොඩිත්තියේ

Monday, October 22, 2012

මතකය එක්ක රිදවුම් මටමයි ඇත්තේ

  
කවියෙන් හුස්ම පිඹිනෙමි මම හිමිසඳුනි
ලියුමක් ලියන්නට බැහැ අතැගිළිරිඳුණි
තහනම් ගහක ගෙඩි කන ඔබ හිත මැවුනී
නොරටුන් මැදදි අසරණ කම තවදැනුණි
 මසුරන් අරන් එන්නට මා නැව් නැගුණේ
ගෙරවුම් තවම හීනෙන් නිතරම ඇසුණේ
තනිකම් අපුල ඔබ හට නැහැ නොවැ දැනුනේ
පැටවුන් ටිකයි උලලේනිට මඟ ඇරුනේ

කැහැපට ගසාගෙන සරමත් ඔබ හැන්දෑවේ
තනපට ලෙහෙන ගැහැණිය වැල්ලෙදි මා දුටුවේ
තම පිට වරද ගන්නට අකමැතිවයි ගැසුවේ
හෙමිහිට නොකියාම දුරු රට නැවතුම තැබුවේ

ගිනියම් කතර නැහැ සිහිලක් කිසි දවසේ
ඇරයුම් නැතත් අව් වැසි එයි රිසිසේ
දෑගිලි බැන්දෙ විඳිනට දුක සැප සමසේ
පෑවිලි එක්ක නියගයෙ රිදවුම්  තිස්සේ...

Saturday, October 20, 2012

යායුතුයි කෙළවර දකින්නට

ජීවිතය අද්ද අද්දා යයි
බරව සෑදුණ කකුල් වාගේ
හුස්ම ටික හැරමිටිය සේ
ඉහළ පහළට ඇදෙයි....
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට......

නෙත් ඉවුරු පුපුරු ගසමින් රිදෙයි
පිටාරය යන්නට කඳුළු සැරසෙයි
එක පිටට එක ඇස් පියන් ගසමින්
තවත් හංගන් ඉන්න දඟලයි...
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

දුක වුනත් සැපක් විලසට
හැප්පෙනා විට දිවිගමනෙ
සැප නැතත් ආ මඟ දිගට
ගැස්සෙනා හැටි හද දනියි...
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

ඉබාගාතේ නන් දෙස දුවන
සිතුවිල්ල දණ නොගසනා හැඩ
නිරපරාදේ ගෙවුන කාලය
දෙස බලා පසු තැවෙනු නොහැකිය
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

දිග් විජය නොකෙරුවත් පැතුමන්
මලක්වත් පිපිය යුතු නොවෙද හෙට
අස් කරල හිත කුණු වලින් දැන්
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

කතා නොකරන කණ්නඩිය වෙත
එබි දොඩමලු කම් කරයි
මුදා අහුමළු එක්ක හිත ලතැවුලෙන්
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට....

දුප්පත්ම මේ රාත්තිරයෙදි අද
පොහොසත්ම එක තරුවක් සොයා
නාදුනන සිතුවිල්ල එකතු කර
යවමි පූදින්න කැකුළක් වෙලා....
දකිමි එදිනට යායුතුම ගමනේ කෙළවර.....

Friday, October 19, 2012

***සොහොන් කොත් සංගමය බලා සිටී අලුත් සමාජිකයින් එනතුරු***

ඇවිඳ ගියෙමි...
නොනිමෙනා ගමන.
සබඳ,
දුක නොදැනුනාම නොවෙයි

පෙළින් පෙල අත් උස්සගෙන
සොහොන් කොත් යායකි.

ඒ පෙළට නේක වර්ණයෙ
මල්
ඇස් උලුප්පාගෙන
තනි රකිති.
සුළගින් ඇවිත්
සවන් සිඹින අතර තුර
රහසක් තියා යයි මල් පෙත්තක
එයද අනියතය විතරමය....

කෙනෙක් දෙන්නෙක් නොව
දිනපතා සිය ගණන් අය ඇ‍දෙති.
කුණු අතුල්වා ..නහවා...
සුවඳ ගල්වා යයි.
අවසන් හුස්ම පොද
වැඩිහිටි නිවාසෙක
හෙළමින්
පාර බලා උන්
මහ ගස්වල
පුරුක් ලියලා ඇවිත්
නේක සැරසිලි
අමතක නොකරම කරයි.

සඳට ඉරට ඔරොප්පුවෙන්
තර්ජනයක් කරන්නට මෙන්
හමා එන නලටත් සවි බලැති
වැටක් තනවා දල්වති තිරයක්
විසි හතර පැය පුරාවට සැමකල්හි...

එහෙට මෙහෙට වැනෙන 
පයිනස් ගස්
අතු ඉතිවල කොනින් කිති ගන්වා
කුළුණු අවුස්සයි.
එහෙත්,
නොසෙල්වී ‍බලා ඉන්නේ
හෙල්ලී..පැද්දි පැද්දී
ගාටමින්..දුවමින්
ඇවිදි යන දන දෙසය....
ඔබත් කවදද අපේ සංගමයට
බැදෙන්නේ සිතමින්.

Wednesday, October 17, 2012

***අඳුරු ජීවිතෙ ගිලෙන සංතාප මිනිසෙක් හමුවුණා*** _____________________________________


සොඳුරු බව සොය සොයා ගිය
හීතලම සිතුවිල්ල පාවෙනා විට
අඳුරු පැල්ලම් හුඟක් ති
දිළිඳු මිනිසෙක් හමුවුණා ඉඳිරියට

බුදුවෙයන් මගෙ අම්මෙ කියා ඔහු
පපුව මැද ගසා ඇත ලොකු අකුරු
වම් අතේ උරහිසට පහළ තැනකද
සිංහ මුහුණත ගොරවනා ලෙසට ඇත..

විසල් කන්දක් මුදුන පෙන්වා
අතින් අල්ලා ගන්න කීවා
හිතේ පැතුමන් දෑතෙහිම ගල්වා
ජීවිතේ ශිඛරය වගෙයි කිවුවා..

තෙත ගතිය නැතත් ඇස මුල පෙනෙන්නට
උණුවෙලා වැගිරෙන හදවතක් ඇත වැසෙන්නට
මිත ඔහුගෙ තතු ගැන පහදලා කියන්නට
වැය කළත් මදි කාලයක් ගෙන කවි ගොතන්නට

ඈත ඉස්සර කැඳැල්ලක පොඩි සංදියේ
උන්න බාලම කුරුල්ලා ඔහු නිදැල්ලේ
ගීත හඩ සිවුරුහන් කර කර හංදියේ
ඉන්නෙ ජීවිතෙ මඟ ඇරුණ ඇසිල්ලේ...

නවම් සුළඟට සීතල නැතත් හයියට
මැදින් මාසෙදි අඬනවලු ඉකිගසා හොඳටම
හොරු අරන් ගියා වාගෙම පෙම්බරිය
තවත් නෙත් තියනවා වසන්තයෙ මුලට....

කවි වලින් වසන්නට බැරි ඒ පුවත
මිමි වලින් හිතෙ ගනින්නට බැරිය
තඩි අකුරු හතර ඇත පපුව හාර යටට
ඒ මතින් ඔහු නිදති කළුවරලු දහවලද....

ජීවිතේ වැරදිච්ච ප්‍රේමයේ එකම මිනිසා
උඹ නොවෙයි සබඳ මේ අහස යට
තනිකමේ අපුල දත් විරහ හිත් ඇත කියා
සමුගත්ත මං කවක් ලියනව සිතා......

Sunday, October 14, 2012

***ආරුක්කු කවියක් යටට එන්න ***


අතරමං සිතුවිල්ලක
මතක මන්තර ගොතන
කටකාර වචන
හොරකම් කරන
ආරුක්කු කවියක් යටට
එන්න...

වචන වලින් ඇන ඇන
හදවතේ ගැඹුර කොනහන
මනමාල නල විත් කළඹන
කෙහෙරැලිත් සිල් බිඳින
මන්දාරමට ලොබ බැදන්
ආරුක්කු කවියක් යටට
එන්න.....

නිඹරට අත වනන
කණාමැදිරි එළි එබිකම් කරන
කලාවට බර නැටටුක්කාර
ඕකිඩ් මල් වියනක් මැදින්
‍නුරාවට ඇස් පියන් වැසෙන් නැති
සුරාවට කිසි ලොල් කමක් නැති
ආරුක්කු කවියක් යටට
එන්න....

අත්පුඩි ගසන තුරු පත් ළඟක
පැද්දිලා රහස් බලමින් ඇස් පියන
හැංගිච්ච දෙමලිචි පැටවු දෙන්නෙක්ට
සුව යහන් තනන
ආරුක්කු කවියක් යටට
එන්න....

දම් පැහැති සළු ඇදන්
ඇඟ හිරි මැලි කඩන වළා රෑනක්
හොරෙන් හොරෙන් අඩි තිය තියා
පුරුද්දක් නැති පුරුදු කවියක
අලුත් වචනයක්, අකුරු හතරෙන්
දෝත මැද ගුලි කරන්නට
ආරුක්කු කවියක් යටට
එන්න....

සේන් ගගේ රැලි පිට රැලි ඇදී යතී
මාත් හිතත් මුහුදු හතින් වෙන් කෙරෙතී
පාන් පැල ළගින් ආරුක්කුවක් ඇතී
හීන් සීරුවට එනවද කිසි කෙනෙක් නැතී...

Saturday, October 13, 2012

***ජීවිතේ හිනස්සමු කවියකින් හැඩ තළ නෙළා ***



උල්කාපාතයකින් විසික් වෙන
කැට කැබැලි වගේ
බිදී විසිරී ගියපු සිතුවිලි..,
තාර පාරක අහුවෙච්ච
ටොනික් පියනක් වගේ
තැලී පොඩිවී ගියපු සිතුවිලි...
පණ ගන්න දඟලන විට
කවියකින් පුළුවන්ය

හුස්ම පිඹ පිඹ හයිය දෙන්නට....

නගින විට මහගිරි දඹ

අත්වැලක් වී සිටින්නට
සිත් අහස් කුස මුදුනක
හත්දින්න තරු පොකුරක්ව
සිනාසී පාර කියන්නට
ගැවසෙන විට ඔබ ඇවිත්...,
පොඩි කර කර උන්නු
ඇස් මායිමට
දෝතටම කවි මල් පොකුරු අරගෙන.....

පෑන් තුඩගින් කළලයක් අඳින

මුහුණු අත්පා වදන් වෙන
ප්‍රසූතය දරුවෙක් වී ලොවට එන
අපූරුම කවියක් දෙන්නම්
ලෙංගතුව කිති කැවුනු සිතින් මමත්....

උස් පහත් වෙන කම්මුලකට

මඳනලක් විත් සිඹින මැදියමට
කිවුල් දිය පිරි මධ්‍යධරණියට
පුදන්නම් කවිය එතෙර කරන්නට...

හදවතේ අහුමුළුත් හෝදලා

සෙත් පිරිත් කර රඳවලා
සිහිනයට නෙත් පියවලා
ළඟ එන දුරුත්තට හිනැහිලා
කවි වලින් හැමතැනම සරසලා
ජීවිතේ හිනස්සමු කවියෙන්ම
හැඩතළත් අපි නෙළා.....

Thursday, October 11, 2012

ජීවිතේ හැටි ඔහොමයි

හඳිසියෙම නංගීගෙ ගෙදර ගිය විට
කුස්සි පොඩ්ඩේ පොල් අත්තෙ
හිල් මතින්
අහස් කුස ඇය බලනවා
කිසිම කම්පනයක් නොවුවත් ඇස අයින
කඳුළු බිඳු දෙක තුනක් බිම හලනවා...

ගිනි අරන් හම්බන්තොට සුළඟ
නංගිගේ කම්මුලක් කොනිත්තනවා
දිවුල් ගහයට තනිවෙලා ඇය

පතන් බිම සුව
හිතින් අතගා බලනවා...

කලබලෙන් ආ තනි අලියා
පලු ගසේ පිට උලනවා
බයේ ගැස්සුන නංගි
ගෙපැල අතහැර දුවනවා..

කුසට හරියට මාස පහ දැන්
පිරුණ විතරයි ඇය දන්නවා
මහී කතටත් බරක් වේදැයි
ඇයම තනියම හිතනවා...

කිවුල් දිය බොන්න බැරිමුත්
අප්පිරිය කර කර ගන්නවා
ඇවිද ගෙන ගියෙ වැව් ඉසව්වට
නාන කාමරෙ උන් යුගය මැවෙනවා...

බලන්නට ඇවිත් හොර රහසෙ මං
මටත් මං ගැන ලැජ්ජ හිතුණා..
අකීකරු දියණියක් වී නුඹ
කදුළු විතරක් අපිට දුන්නා....

විදුලි පංකා සුව යහන් මැද
ගෙවුන කාලයෙ මතක එනවා
කරන්නට දෙයක් නැහැ නංගි
ජීවිතේ ඔහොමයි හිතෙනවා...

Friday, October 5, 2012

SvvetZara කියන නිර්මාණ හොරකම් කරන කොනාව සොයා දෙන්න.....

දුකට හඬන්නට බැරි හින්දා
පද ගලපාගෙන ලිවුවා
ඒ පදයත් හොරු අරගත්දා
කවිය නොදෙන්නට මට සිතුණා....

දුකින් වුනත් පුරුදු විදිහට බ්ලොග් එකෙන් ලියන්න හිතුණෙ සයිබර් අවකාශය පුරා හරිම සතුටින් මුදාහළ කවි ඒ සයිබර් අහසෙම වෙන කෙනෙක් එයාගෙ නමින් සයිට් ගණනාවක ප්‍රසිද්ධ කර තිබීම නිසයි...අද ඊයෙ නෙමෙයි අවුරුද්දක් දෙකක් තිස්සෙ කරගෙන ගිය දෙයක් දැකගන්න ලැබුණෙ අද...එපමණක් නොවෙයි එයා බුකියෙ හුගක් අයගෙ කවි එයාගෙ වගේ දාගෙන තියෙනව..අපි දන්න හිතවතුන්ගෙ ඒවම....

SvvetZara කියන නමින් අනංමනං සයිට් එකේ  

http://ananmanan.com/modules.php?name=Forums&file=viewtopic&p=176250

ඒවගේම 

http://www.sl-spirit.com/forum/viewtopic.php?f=44&t=398&start=0&sid=89141ca0a25cb39f97e3491c19965bc2

තව මෙන්න මේ සිංහලයද මොකද්ද එකේ

 http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9342.0

යන තව බොහෝ තැන්වල ඇති. පබ්ලිෂ් කර ඇති නිර්මාණ වලින් භාගෙට භාගයක්ම මගේ...මේ අකීකරු අකුරු කියල බුකියෙ ලිවුවෙ මම..ඒ වගේම කලින් මගේ බ්ලොග් එකේ නම වුනත් අකීකරු අකුරු. ඒ ගැන දන්න අය ඉන්නව...

ඒ කොහොම වුනත් මම හුගාක් වේදනාවෙන් ඉන්නෙ. මට නිර්මාණයක් දෙකක් ගත්තට කමක් නැහැ. මං ළග තියා ඉන්නව වගේ නෙමෙයි ඒක සමාජය අතරෙ බෙදෙනකොට රස විඳින අය වැඩියි. නමුත් ඒ නිර්මාණය අනුන්ගෙ කරගන්න එක හෙළා දකිනව..ඒ තරම් දුකක් නිර්මාණ කාරයෙක්ට නැහැ.

ඉතින් ඔබ දන්නව නම් මේ 

SvvetZara 
          කියන නමින් ලියන නිර්මාණ කොල්ලකරුව කරුණාකරල එයාට කියන්න මම මේ සම්බන්ධව නීතිමය පියවර ගන්නව කියල. මොකද මගෙ සීඩී එකේ තියෙන නිර්මාණ ඉදන් එයාගෙ නමින් දාගෙන...

වැඩිය ලියන්න බැහැ. ආයෙ සයිබරයෙ කවි නොලියවෙයි හුගක් දුරට. ඒත් මට මෙන්න මේ කෙනාව හොයා ගන්න උදවු කරන්න ඔබ දන්නව නම්..එහෙම නැත්නම් මේ සයිට් කරන ඇඩ්මින්ලව හරි දන්නව නම් මට කියන්න.

ස්තුතියි..දුකින් යුතුව අද පොස්ට් එක කාලෙකින් දැම්මෙ.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...