Monday, September 12, 2016

හැරවුමක්

බයිසිකලයේ යකඩ ගොඩ උඩ
හයේ කණිසමෙ පස්ස තිබ්බා
වේලපහ නැහැ වෙලාවට මම
ගරාජයෙ දොර ඇරල දැම්මා
මුහුණු ඇද කරගත්තු එක එක
පුදුම වාහන රවන් හිටියා
රුහුණු කිරි මීපැණිත් එක්කම
බෙදන හැටි මම දැනන් උන්නා

දවල් බත බංකුවක් උඩ
කන්න ඉදගත් පොඩිම කොල්ලා
අවුල් හිතකින් මගේ දෙස
බලා මොනවද ඇහෙන් කිවුවා,
මජන් පොඩ්ඩක් ගෑ වෙච්ච වතෙ
අලුත් ලස්සන කියා කියලා
පරණ වාහන හදන බාසත්
උකුසු ඇහැ කරකවල දැම්මා

ගිලන් ඇද උඩ නිදන අම්මගෙ
රුවත් හද යට තදට තියලා
රුවන් මහතගෙ කාර් එක
අදම ඕනැයි යකා නැටුවා
දුම් ගඳයි, කළු තෙලුයි, ඩීසල්
ගඳට පෙට්‍රල් සුවඳ දැනුණා
හම් පටිය ඉණ වටේ හන්දා
ඇවැසි තැන ආයුධය වූවා

කළුවරත් මැද තරුවලත් එළි
වැහි වලාකුළු ණයට ඉල්ලා
හරියටම වැඩ ඉවර වුනු විට
ගෙදර යන්නද මමත් ඇහුවා
ටිකක් හිටපන් වාහනේ අඩු
පාඩු මොනවද හොදට බලලා
යන්න ඉඩ දෙමි එතෙක් මෙතනින්
ඉන්න බැරිදැයි ලොක්කා ඇහුවා

ඉහ කණත් රත් වෙලා ඇඟ ලේ
ගොජ ගොජව නටනවා දැනුනා
නාකි හිවලට පයින් ඇනලා
ගෙදර එන්නට අම්මෙ හිතුණා
ලඳක් බන් උඹ මොකද මේ හැටි
යකඩ බඩු අල්ලගෙන ඉන්නේ
සුමුදු අත් දෙක දියන් මා හට
සුර සැපය පෙන්නන්න කිවුවා

ඉතින් ඉවසල බැරිම තැන තව
ටිකක් ඉවසන ගතිය බුදු බණක තිබුණේ
අනේ අම්මේ වේස බල්ලට
මදන ගායයි ඉහේ තිබුණේ
ගැහැණු, පිරිමින් කියා මොකටද
වැඩේ වෙනවා නේද ඇහුවේ
හිතට ආවෙම මුගේ තට්ටය
පළල දුවපන් ගෙවල් පැත්තේ

අතට අහුවුණ යතුරු පෙට්ටියෙ
ලොකුම නියනක් අතට ගත්තේ
නාකියා තෝ යන්න දෙනවද
මැරුම් කනවද කියා ඇහුවේ
ආයෙ රස්සා එතන නැහැ මම
ගෙදර ආවම හිතට ගත්තේ
අම්මා එක්කම ගෙදර දොරකඩ
යකඩ වැඩපල අදයි ඇරියේ

Friday, September 9, 2016

අතීතය - වත්මන - නංගි සහ මම

පරපුරෙන් පිළිවෙලට ආපු දන් සීට්ටුව
අම්මගෙ ඉහ ඉද්දරක තියෙනවා
පන්සලේ නමට ඇති ඉඩ කඩම් කුඹුරු මැද
කුස්සියේ ලිප අතීතය දන්නවා

ගිලන්පස ගෙනියන්න සීනි කොච්චර ද
පැත්තකින් නංගි ඇල් වතුර ගිලිනවා
හතර පෝයට සිල් නැතත් උතුරු සළුවෙන්
වහගත්ත කුණු කයක් බොහෝ උන් දරනවා

පුංචි දා විසි කරපු පන්සලේ දානෙ මලු
දෙස බලා හීල්ලුව පොඩි උනුත් ලොකු වෙලා
අව්ව වැස්සට කිසිම වෙනසක් නැතිව
බල්ලා පන්සලෙ බුර බුරා ඉන්නවා

හන්දියේ කඩේකට මලු පිටින් පූජාවෙන
දැහැත් වට්ටිය අතින් අත ගැටෙනවා
නංගියේ පන්සලේ පොල් වත්තෙ බිම වැටුණ
අතීතයෙ අපි තාම ඉන්නවා


ඝණ්ඪාර කුළුණ ළඟ සොරකමෙහි අනුහස්
තඩිම තඩි ලොකු අකුරු නටනවා
හැන්දෑවෙ දේවාලෙ දෙවියො ඇවිදින්
සිකිපිලින් ඔළු මතට තළනවා

අඳනකඩ ඇදන් ක්‍රිකට් පිටි සිරි මවන
හිමිවරුන් තවම එහි වැඩ වසනවා
බඳුනකට ගන්න බැරි ජීවිතේ අතරමං
කවි කතා උඹ එක්ක මම හොයනවා

පෝය දොළහට පන්සලේ සල්පිලේ
යකඩ කටකින් වතගොතය ඇහෙනවා
පැත්තකින් බිම ඉදන් ඒ දෙසට කණ යොමන
අපිත් උන්නද මම තාම හොයනවා

Tuesday, September 6, 2016

හෙටයි හොඳ කුසුම්

කළුවෙච්ච අත් දෙකට කරගැටත් රවනවා
ගැලවිච්ච තැන් වලින් බඩ වියත පිරෙනවා
ඇඹරිච්ච නණ එක්ක අතැගිලිත් රිදෙනවා
තැම්බිච්ච අව්වටත් දැන් වෙහෙස දැනෙනවා

බාටා කඩයක් ළඟ පියැස්සක ඉඩෙ නැවතිලා
බාධා වෙන්නට එපා,යන හඬ එයි කැරකිලා
කාට කාටත් බයාදුවෙ සිනහවක් දල්වලා
පාට පාටින් සපත්තුත්, කුඩ හදමි පේවිලා

හයි හීල්ස් දාපු කණ්ණඩිය කළුම කළු නෝනගේ
දෙයියොවත් දන්නෙ නැහැ කොච්චි පරදින සැර ඇගේ
හයිය හත්තිය තියෙන ලොකු උන්ගෙ පුරාජේරුව තොගේ
ඉරුණු ගැලවුන තැන් මැහැහුවත් බැහැ උන් හරි රගේ

ලයිට් බිල් වතුර බිල් අතර, කෙල්ල ගවුමක් ඉල්ලලා
ෆයිට් කර කර ඇඟිලි තුඩු යයි ඉතා වේගෙන් වෙව්ලලා
රයිට් කියමින් දිවුවා මතකයි ජීවිතේ දුර හති හළ හළා
බයිට් ඩිංගක රහ බලන්නත් බැරි තරම් හිත බරවෙලා

ලෝක ධර්මය වගේ පාටින් තියෙන කුඩයක් ඉහළලා
සෝක වෙන අඩි නැති සෙරෙප්පුවෙ කඳුළු පිහිමින් හැඩකලා
කෝක කිවුවත් පැත්ත මාරුව තියෙන රටකම ගල්වෙලා
සෝමෙ අයියත් ඡන්දෙ ඉල්ලුව බාර් එක ළඟ රජවෙලා

පොඩි එකී තව කිරි උරයි මගෙ එකීගේ පපුවෙ ලැගලා
තඩි බඩක් උස්සගෙන ආවා ලොකු එකී මඟ වැරදිලා
කඩි ගුලක් වගෙ වත්තෙ එවුවොත් කයි කතන්දර වැඩිවෙලා
අඩි ගගහා යමු කුසුම් අපි "හෙටයි හොඳ" හිත රවටලා



Sunday, September 4, 2016

ඒ මහා බය අදටත් තියෙනවා.

හිතන්නත් බැරිම මොහොතෙදි
පාසැලේ කොටු දැලෙන් එබිලා
වෙරළු අහුරක් මෙමට පාලා
ආදරේ හැටි මේ වගේමයි
කිවුව ඇස් දෙක මැවෙනවා

බිදුණු වීදුරු කැබලි වාගේ

දස අතේ විසිරිච්ච සිතුවිලි
නුඹේ නොඉදුල් විකසිතව ගිය
හදවතේ හැටි අහනවා
එදා වාගෙම ආදරේ බර දැනෙනවා

හොරණ නගරෙට ඉහළ අහසේ

සරණ විහගුන් කෑගසනු ඇහුනේ
පරණ හැගුමන් අලුත් කර කර
අපේ පෙම යලි යලිත් ලිවුවේ

බිදෙන් බිද මීවිතට කිට්ටුව

හිස් කරද්දී පෙම් සිහින ඔක්කොම
දවා අළුවී දුම් කැරලි මැද
නුඹේ උවනත තමයි මැවුනේ

ඉකිගසන්නට උරහිසක් නැති දා

මගෙ කියන්නට ප්‍රේමයත් නැතිදා
පොරබදින හුස්මකත් දැල්වෙන
ආදරේ ගිනි තමයි තිබුණේ

අතීතයෙ හිල්වෙච්ච හදවත

හිතින් වහගෙන සයනයට වැද
දම්මියේ මම තාම බෝඩිමෙ
නුඹේ සිතුවම පාට කරනවා
නැතිවෙලා ගිය බැල්ම හොයනවා

ආදරේ හැටි මේ වගේමයි

කියන්ට එන්නට හිතෙනවා
සමාවෙන්නැයි නුඹ කියයි මට
මහා බය අදටත් තියෙනවා

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...