Sunday, June 29, 2014

පසුතැවුම් මොනතරම් රිදෙනවද

ගිම්හානෙ කොයි තරම් රළුදැයි
මලානික කුරුල්ලෙක්ගෙන් අහන්න
සන්තානෙ මොන තරම් දේ ඇතිද
තනිවෙච්ච හිතකින් දැනගන්න

කෝඩුකාර සමනලුන් නැති අවකාශයක
පුරුදුකාර මල් පිපෙයි පෑවිල්ලෙ
වැරදිකාර සිතුවිල්ල තියෙනකන්
සංසාර ගමන දිඟයි කැරකිල්ලෙ

අත්ලකට පුරුදු ස්පර්ශ වැදෙනකොට
හද පත්ල නින්නාදදෙයි ඇතුළතට
පත්‍රයකට පිනි බිඳක් වැටෙනකොට
සිනාසෙන්නෙත් ඒ වගෙයි පුරුද්දට

කවිකාර බැල්මක් තියෙන වලාකුළකට
අත වනා එන්නැයි කියන්නට පුළුවන්ද
මඳහාසෙ නැතිවෙලා යන දේදුන්නකට
රවා රවා ඉන්න එක හොඳ නැහැ නේද

පසුකරන් යන සෙවනැලි පේනකොට
හරි හමන් දුකක් එන්නේ කී දෙනෙක්ටද
මඟහැරුණු තැන් පසුපසින් කෑගසනකොට
දුවන් යන්නට බැරි අය කොච්චරද

Friday, June 27, 2014

සදා වැජඹෙන සිරි අසිරි මේකද..?

පුරසඳට ආවඩන මඟියෙක්
තරු එළිය දැක බැන වඳිති
මට සිලිටු කම් ගිය දෑතකට
කඩු කිණිසි හුරුයි හරියට

කුසගිනි කාටත් පොදු දහම
ඇවිලෙන විටදි ඉවසනු බැරිම
මදුවිත හිස් කරන කුසලානම
කෙළ ගිලිති දුගියට හැමදාම

මැදුරු මන්දිර සීත කාමර
උකුසු ඇස් කැරකෙන අතර
ලපටි දළු එන මල් පොකුර
කඩති අතකොළු සිතා බොහොවර

කිරි පැණි එක්ක සුර යහන් මැද
තිර රෙදි වලින් සැඟවෙයි දුඟද
කුණු කානු පල්ලක තියෙන එළියද
බොඳ කර සිනාසෙයි විල්ලුද

සොබා දම් නියතිය මොටද
සබාගැබ් මැද තිබෙයි අවජාත
සදා මනදොල පිනයි සාරෙට
අපේ සුරපුර මෙයයි අසිරිය

අතකින් කිසිත් නොගනියි
යටකින් කුරුමාණ අපමණයි
"අඩෝ මං පුතෙක් අරයගෙ" කියයි
සාදු කියමින් එහෙයියන් නැමෙයි

පින් කරයි වෙහෙර බැබලෙයි
අනාගතයක පපු නහර දියවෙයි
වැරදිලා කොතනකට යන්නද
පැරදිලා පොඩි උන් පෙරෙසේම

කැරකිලා රුයිතෙට ඔය බඹර
අනේ යන්නේ නැතිද ආපිට
සිංහයෙක් කැණහිලෙක් කර
සදා වැජඹෙන සිරි අසිරි මේකද..?

Saturday, June 21, 2014

නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට


ප්‍රේමයේ වර්ණය හොයන නෙක සිරිය පිරි උයන් මැද
බංකුවක් වෙලා මං නොකියන කතාවක් නොදැක්කද
සිනහවේ බරත් සම කදුළු හා රසයක් අතර මැද
දන්නෙ කවුරුද ඉතින් මොනතරම් සැඟවුම් මා ළඟද

නිල්, රතු පාට කමිසම යති සති මැද සහ මුලට
සුදු කහ පාට යති පෝයට සහ සෙනසුරාදට
බිම බලා පොඩි ඇස් තියෙන මල් පිපෙයි ඉරිදාට
අනේ මගෙ ඇඟ රිදෙයි බර උසුලලා හැමදාට

මහන්සිය කොයිතරම් කීවත් අසන්නෑ කවුරුවත් කිසිමවිට
හාන්සිය විතරක්ම ඉල්ලනා හැටි යන එන බවක් නොකිවුවට
කොනිත්තන විට සමහරක් දිග නියපොත්ත අරගෙනම හයියකට
නාඩ ඉඳියත් මං ඉකි ගැසෙයි පෙනෙන දුර සිටිනා මගෙ සොඳුරියට

රැය එද්දි සියොළඟම මගෙ ගැහෙනවා එක සීරුවට‍
මහත උන්දලා අපුල්ලයි කුණු පිට උඩ පෝලිමට
කෙලෙහි ගුණ නොදන්නා උන් පයින් පාගා පදමකට
කෙළත් විසිකර යනෙන එක කොහෙන් ආවද උනුන්හට

එකම මල් විවිධ වෙස් ගෙන ඇදෙයි එලෙසට බඹරු එක්කම
"අනේ මෙහෙමත් ලෝකයක්" කියා යයි ඇස් මගෙ නළලටම
අතැර මැද යම් දුරක් තිබුණත් මගේ පෙම්වතිය සමඟම
කතාවෙයි මිනිස්සුන් කරන තරමක් රැවටුම තමන්ටම

උයන්පල්ලා විසිල් කරමින් ගැස්සෙනා උන් හදවතට
ගවුම් කර ඉස්සිලා යන හැටිත් පුදුමයි ඒ වෙලාවට
සියුම් තටු ගසමින් ඉඟිළිලා එන කුරුල්ලන් රෑනකට
නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට

Tuesday, June 10, 2014

සීදේවී

ඇපල්වත්තෙ මාගරට්ගෙ බාල දුවත් සීදේවියි
කුරුඳුවත්තෙ අස්වැන්නට හුඟක් පරාදයි
දහය දොළහ අතර රෑට නිතර නිතර බිසී වැටෙයි
හැපෙන රසය මස් පිරිලා කටු යට හින්දයි

ගාන මොනරු කී දෙනාද
ටැක්සි එකට හයර් දෙන්නෙ මාසෙ අඟට
පාන ලීලෙ කොයි වගේද
දස්සි ඇයයි දත් ගලවන ගජරාමෙට

තොල් සායම් නිය දේදුණු
රතට රතේ රතු කිකිළි
කුණු කාණුවෙ ගඳ වැහෙන්න
පැරිස් යනව හරි පුසුඹයි

ඕකි එක්ක මොන කතාද, යන්න එපා කිය කියා
එහා ගෙදර චන්ද්‍ර අක්කා රකුසු මුහුණ දික්කලා
පන්දාහයි හයදාහයි ගාන ඩබල් සැප අනුවයි
නාකි හිපොටු මනමාලයො නිතර නිතර සෙවල පෙරයි

"හිතේ ඇත්තෙ පත්තිනි" යැයි නිතර ගැයෙන තාලයයි
ගතේ ඉතින් "හොරිත් ඇතෙයි" පිටින් වහපු සෝබනයයි
පුතේ අනේ ඔය හැතිරිට අහුවෙන්නට එපා එපා එපා තමයි
අතේ සතේ නැතිම දාට කොයි කාටත් සීදේවිගෙ පිහිටමයි

ළමයි ටවුමෙ ඉස්කෝලෙට දාගන්නට
වීල් එකක් පාර්ක් එකේ ගාල් කොරන්ට
ණයක් ,අලුත් රස්සාවක් හදාගන්නට
කොයි කාටත් සීදේවියි ඉන්නෙ ළඟකට

"උලත් එකයි පිළත් එකයි ළමයි මොටද බන්
මාස දෙකේ, තුනේ බඩත් හිස් කරනව මන් "
වැඩකාරයො කොයි කවුරුත් දණ ගැහුවා බන්
කොහොම වුනත් සීදේවිත් අපේ එකෙක් බන්