Sunday, October 19, 2014

මූසල සිතුවිල්ලක් විඳපු හැටි.

ඊයෙ රාත්‍රියෙ සිට මහ මූසල හැඟීම් එක්ක ජීවිතය ගණුදෙණු කරනව කියල මට දැනෙනවා. මෙන්න මෙතන, මෙන්න මෙහෙමයි කියල කියන්නට බැරි තැනක රිදවුමක් දැනෙනව. කියන්නට බැරි වුනත් ගුප්ත සිතුවිලි මා අාක්‍රමණය කරමින් අතික්‍රමණයකට ගොස් හමාරයි. හැම හුස්මකටම කතා කරන්න බැරි වුනත් හැම හුස්මකම කතාවක් තියෙනව කියල මං විශ්වාස කරනව. අලුත් වෙන හැම හුස්ම පොඳකම ජීවිතේ අලුත් වෙනව කියන අධිෂ්ඨානයෙ මං පසුවෙනව.

ආදරණිය ඔබ, දන්නවද අකුරුවලට කතා කරන්න බැරි වුනාට වචන වලට පණ දෙන්න මං පුරුදුවුනේ නොතේරෙන දා ඉදන්.  ඒ ඉස්සර අම්මා රැකියාවකට විදේශගතවෙලා, පුංචි මං ගෙදර මිදුලෙ වැලි ගොඩේ ඉදගෙන කොස් ගහේ "අම්මා" කියල ලිවුවා. අක්ක ඇවිදින් කණ මිරිකල " හැදෙන පැලේ පොත්ත කෑව නේද  " කියල මට ගැහුව. ගහක පොත්තෙන් එලය රැකෙනව කියල මං දැනන් උන්නෑ. අම්ම නැති අඩුව අක්කට කවමදාවත් පුරවන්න බැරිවුනා මගෙ පුංචි හිතේ. හා හා පුරා කියල මට මතකයි මං කවියක් ලිවුවා මගෙ දහම් පාසලේ බිත්ති පුවත්පතට. එදත් ලිවුවෙ
"අනේ අම්මේ ඉක්මනින් ගෙදර එන්නකො" කියල. කොහොම වුනත් අම්මා ආවෙ මං ශිෂ්‍යත්වයත් ලියල අහවර වෙලා තවත් අවුරුද්දක් විතර ගියහම. එදා මට අර තරම් අම්ම ගැන ඕනි වුන් නෑ. ඒ මං අවුරුදු 3ක් 4ක් විතර අක්කගෙ අණසකට යටත්වෙලා ජීවිතේ උහුලගන්න පුලුවන් බරක් තනියම බාර අරගෙන හිටිය නිසා.

 අම්ම ගැන,මං ගැන මෙහෙම ලිවුවෙ අර ඊයෙ රෑ ඉදන් පැටලෙන මූසල සිතුවිල්ල තෝරා බේරාගන්න බැරිකමට. උදෑසනත් ඒකටම හරියන්න කළුකරගෙන. දැන් වෙලාව උදේ දහයයි දහයයි. ඒත් කළුවරම කළුවරක හෙමින් හෙමින් වැහි පොද වැටෙනව. මගේ හිත හිරිවට්ටන ගතියක් තියෙන්නෙ. අම්මව හොයාගෙන දුවගෙන ගිහින් අම්මගෙ උකුලෙ වැටිල හයියෙන් හුස්ම පාරක් අරක් පපුවෙ තියෙන මූසලකම් නැතිකරගන්න හිතුණ වාර අනන්තයි අප්‍රමාණයි.

ඇට, ලේ , මස්, නහර පුරා විතරක් නෙමෙයි කේෂ නාලිකා, අනු නාලිකා හැම අංශුවකම මේ තුප්පහි, අප්‍රිය, ජුගුස්සාජනක සිතුවිලි වෙලාගෙන. එකින් එක ලෙහල මොකක්ද කියල හොයාගන්න පුලුවන් වුනා නම් ප්‍රතිකාරයක් කරන්නට තිබුණ මට. කොහොම වුනත් ඒ හිතත් එක්ක උදේ මුහුණු පොත් සැරිසරනකොට #music #lanka ගෘප් එකේ අපේ #Tharu #Gmage අක්කා සිංදුවක් ෂෙයාර් කරල තිබුණ. මොබයිල් එකෙන්ම ඒක ඇහුව. වෙනදත් අහල තිබුණට අද හිතත් එක්ක ඒක තව තව අහන්න හිතුණ. ප්‍රේමයේ ගිිවිසුම් ලිහායෑමක්වත්, අහිමි වීමක්වත් විරහවක එළියක්වත් මං අසලක නැතිබව දිවුරා කිව හැක. එහෙත් මේ දුක්බර ගීතය මා වශී කරගත්තා. දැන් අනුමානව විසි තිස් පාරක් විතර ඇහුව. මේ දැනුත් අහන ගමන්.


කඳුළු මන්දාකිණියෙ ආදරයේ
නුඹේ ඇස් දෙක තමයි ආදරියේ
තාරකා දුන් කඳුළු ආලෝකේ
වේදනාවේ අඳුර දුරු කරනා
වේදනාවේ අඳුර දුරු කරනා
වේදනාවේ අඳුර දුරු කරනා...

කවමදාවත් සිනහ සඳකැන් නුදුටු ජීවිතයේ
කොපුළෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ...මකන්නද කෙලෙසේ

කඳුළු මන්දාකිණියෙ ආදරයේ.....

එළිය කඳුළක් දුන්න දෑසට අඳුර හුරු පුරුදුයි
නුඹට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි...ඒ පවත් මටමයි...

කඳුළු මන්දාකිණියෙ ආදරයේ....


බලන්න මොනතරම් දුක්බර වචන ටිකක්ද? හැම සංවේදී හදක පත්ලටම දැනෙනව නේද? ඒ සංවේදි රට ලියන අය අතුරින් #අමිල #තේනුවර අයියා කවදත් ඉදිරියෙන් මගෙ හදවතේ. වචන කතා කරන තත් රට #දර්ශන අයියගෙ. මහළු නොවූ ආදරයේ, විරහවේ හඩ #පණ්ඩිත් #ඩබ්ලිව් #ඩී #අමරදේවයන්ගෙ. ඉතින් මගේ මූසලකම තව තවත් හදවත වෙලාගනිද්දි මේ පදවලට මං අම්මව ගාව ගත්තෙ ඇයි කියන්නම්,

මුලින්ම හිත හොරාගත්තෙ

"කවමදාවත් සිනහ සඳකැන් නුදුටු ජීවිතයේ
කොපුළෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ...මකන්නද කෙලෙසේ"

මේ පද ටික මටමයි. මමයි ඒ ඇතුලෙ ඉන්නෙ. සිනහවෙන්න කොච්චර හැදුවත් දුෂ්කර ජීවිතයේ සිනහව උදුරගෙන යන හැටි අනන්ත අප්‍රමාණව මං විඳල තියෙනව. ඒක කවමදාවත් ලියා කියා අහවර කරන්න බැරි හැගීමක්. ඊලගට මගේ අම්මව මැවිල පෙනුන මට මේ වචන වලදි

"නුඹට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි...ඒ පවත් මටමයි..."

මගේ අම්මට කොයිතරම් ඈ රිසි දේ දුන්නත් ඒ මදියි කියන දේ මට හැමදාම දැනෙනව. විරහවේ ගීතයක් වුනත් මා විඳි විදිහ ඔබට කිවුවෙමි. එය ඔබට වෙනස් ලෙස දැනේවි. අහල බලන්න.

අහන්න මෙන්න මෙතනින් සිංදුව

Thursday, October 16, 2014

හිමි අහිමි වීම් ප්‍රේමයේ හැටිය.

ප්‍රේමයේ මුදු සබඳකම් කොයිතරම් සිනිදුවට තිබුණත් පෑරවෙන හැටි දන්නේ ඔවුනොවුන්මය. ජීවිතය කියා හුස්මක් ඉහළට ඇද්දද අතරමංවෙන හුස්ම වාර කොයි තරම් ඇතිද කියාත් දන්නේ ඔවුන්මය. ලොව තියෙනතාක් කල් නතරවෙන්නැති සබඳකම් ළඟ හිමි අහිමිකම් අප්‍රමණව ඇත. ඒ සියල්ල එක ලෙස දකින්නට බැරිකමම පෘථජ්ජන අපේ ස්වභාවමය. ලැබීම් හෝ නොලැබීම් උරුම වීමත් ප්‍රේමයක ස්වභාවමය








Friday, October 10, 2014

යහමින් මිතුරුකම ඉගිලුවා, සකි සඳුනෙ නුඹ දුරට


වන්දනාවක් වගෙ මතක් වෙන අතීතෙන්
පනින්නට බැහැ කුමරු පැන ගිය ගල මතින්
ආඳ දොළ ගලා යනවා අදත් ආඳන් එක්ක
පෑගු දිය අපෙ දෙපා දැන් දුරයි ඒ දෙසට

රෙමුණෙ වැවෙ මල් පිපී අත වනනකොට
බෑ කියා ගලා යයි කළු ගඟේ දිය රැල්ල
සාදු කියමින් යන සමනලුන් සිරිපාදෙට
අදත් ඉගිලෙනව ඇති අපේ ගම මැද්දකින්

යායකට පැහී එන නිල් ගොයමෙ සුවඳකින්
හාදුවක් අරන් එන සුළඟවත් නෑ ළඟ පාතකින්
පාරුවක් තනාගෙන යන්න යන හිත අාපසට
බෑ කියා නවතන්නෙ නුඹ නිසා හීනියට

මොළවගෙන මිට අත් තියා එකක් උඩ එක
පෙරලගෙන කරපු සෙල්ලම මතකයිද උඹට
පහේ පන්තියෙ ඉලක්කම් අරගෙන වැඩිය
සිදාදියෙ ගිය නුඹ පාරවල් තව හොයනවද

සිනාවක සැඟවිච්ච අර්ථයක් දකින්නට
නොදන්නා දා හිනාවුන හැටි අපි මතකයිද
දන්න හිත් එක්ක හැප්පෙන්න බැරිකමට
යන්න ගියෙ වෙන්වෙලා ඒකමයි වෙනනතකට

පැහැදුල් සුරන් සිල්වත් වත්කම් පුරවගෙන යසට
මහනෙල් දෙනෙත් විය බාලෙදි නුඹ ළඟ රුවට
කහවන් කාසි මිටි බැද බැද ගෙයි පිරෙනකොට
යහමින් මිතුරුකම ඉගිලුවා,සකි සඳුනෙ නුඹ දුරට

* ප. ලි
කුමරු පැන = කළුතර - හොරණ, නෑබඩ පාර මතුගම- හොරණ බස් මාර්ගයේ රෙමුණෙ හන්දියට පේන කුමරුන් පැන්න ගලයි.

ආඳ දොළ = කුමරුන් පැන්න ගල පාමුලින් ගලා යන දොළයි

_____________________________________________

ගම් තුලානෙ ඉඩමක් ඉඩමක් ගානෙ දුව පනිමින් වැටවල් ගසා සීමාවක් නැතිවුන ළමා කාලෙය මා මිත්‍රෙයක් අද අහම්බෙන් මුහුණුපොතෙන් හමුවුණා. ඒත් මුදල් කොයිතරම් යාලුකම් අමතක කරනවද කියල මට ආයෙ ආයෙ මතක් කෙරව්වා ඒ හමුවීම. රිදිච්ච මගෙ හිතට නොරිදෙන්න කියල අකුරු ගැලපුව දුක වැහෙන්න.

මේ මහා ජීවිත ගමනෙ එකිනෙකාට මුණ ගැසී වෙන්වෙලා ගිය අය කොයි තරම්ද? එවන් තවත් එක් අයෙක් පමණක් නුඹ කියා සිතට පහදමින් මෙය නුඹේ ඇස ගැසේවායි මං තනිව පතමි.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...