Showing posts with label සිහින සිතුවිලි.... Show all posts
Showing posts with label සිහින සිතුවිලි.... Show all posts

Saturday, September 24, 2022

සිහිනයියේ

 අයියේ, 


ඔයාට ලියන්නැ කියලම හිතට තහංචි දාගත්තෙ මීට අවුරුදු දෙක තුනකට කලින්. මං ලියන එකම එක අකුරක්වත් ඔයා කවමදාවත් දකින්නෑ කියල හිත කිවුවා. ඒත් අතහැර දමපු හුගක් දේවල් ආයෙ ආයෙත් කරන්න ආසාවක් ඇතිවුනා. 


එදවස ඔයා කොහේ හෝ තැනක අජීවී වස්තුවක්, ඒත් අද,  ඔයා මං ගාව සජීවීව ඉන්නවා කියලා දැනෙද්දි මං සමහර වෙලාවට මටම කොනිත්තලා බලනවා. හීනයක්ද දකින්නෙ කියල එච්චරට සැකයි.


හැමදාම වගේ මහ ලොකු කාලයක් අපි මේ ලෝකෙ , මේ ආත්මෙ ඉන්නෙ නැහැ අයියෙ. වෙන වෙන ස්වරූප වලින් වෙන වෙන විදිහට මුණ ගැහෙන්නත් පුලුවන්. නැතිවෙන්නත් පුලුවන්. අපිට අපි අයිති වෙන්නත් පුලුවන්. අපිවත් නොදන්න වෙන වෙන අය ගාව තාවකාලික නැවතුමක නවතින්නත් පුලුවන් .


මහ පාරවල්වල රස්තියාදු වෙවි ඔයාව හොයපු දරුණු කටුක අතීතයක් මට තිබුණා. කවුරුවත් කොහොමටවත් පිලිගන්නැති හිතක් අදටත් මං ගාව තියෙනවා. ඒ ඔයා නිසා.


මේ ලෝකෙ පුදුම තැනක් අයියා . අද කඩවතට එද්දි බස් එකේ සිටි එෆ් එකේ අමිල අයියගෙ හඩින් ආරාධනා ස්වර දැහැන වැඩසටහන ප්‍රචාරය වෙනවා. ඒකෙදි අමිල අයියා කිවුව පුංචි වාක්‍යයක් මතක් වුනා. ආදරය, ප්‍රේමය, ස්නේහය, ලෙංගතුකම මේ මොන නමකින් කිවුවත් ඒ තැන්වල තියෙන්නේ බැදීමක්. 

ඇත්ත අයියා . ඒ බැදීම් පටන්ගත්ත තැන හොයනවට වඩා බැදීමට සාධාරණයක් කරන්න පුලුවන් නම් කොච්චර වටිනවද ? කියලා. මට හිතුනා මමත් එහෙම වෙනවා කියලා. 


මේ මොහොතෙම ඇම්බියුලන්ස් එකක් කෑගහගෙන යනවා ඇහෙනවා. කවුරු හරි ජිවිතේ ඉල්ලන කෙනෙක් ඒ. හරියට මම අයියගෙන් ජිවිතේ ඉලලනවා වගේ. පුරුද්දට වගේ හිතින් සුවපත්වේවා කියලා මිමිණුනා. මහා ලොකු දේවල්වල නෙමෙයි අයියා සතුට තියෙන්නේ , පුංචි සිංදුවක පද පේලීයක, ඔයාගෙ ඇස් දෙක ඇතුලෙ මාව පේන වෙලාවක, ලඟින් තියාගන්න ආස හිතෙන තත්පරයක ,කටහඩක, බැල්මක, කෙ⁣ටි පණිවිඩයක ආසාධ්‍ය ලෙඩ ගොඩකට ප්‍රතිකාර තියෙනවා අයියෙ.


දන්නවද , 

පුංචි කෙල්ලෙක් ආදරේ ගැන තේරෙන දවසක ඉදන් එක රූපයක් හෙව්වා කියන්නෙ. විශ්වාස කරන්න අමාරුයි. කොහොම විශ්වාස කරන්නද නේද ? ජීවිත කාලෙම එකට ඉන්නම් කියපු අයත් අපිත් එක්ක ජීවිතය බෙදාගනිද්දි රටේ ලෝකෙ තව තව අයට ආදරෙයි කිය කියා ආදරය බෙදායද්දි කොහොම විශ්වාස කරන්නද ? 


එවරස්ට් කන්දට නගින්න කිවුව නම් මං නගිනවා අයියෙ. මැරිලා පෙන්වන්න කිවුව නම් මැරෙන්න තරම් පුදුම හිතක් තියෙනවා. හැම ඇස් පිල්ලමකටම හේතුවක් තියෙන්න ඕනි කියලා ප්‍රශ්න කරන මට, මාවත් ප්‍රශ්නයක් වෙච්ච ලෝකෙක අයියට එහෙම හිතෙන එක සාධාරණයි. 


තිරිසන් සත්තු ගාව තියෙන අවංක ආදරේ මිනිස්සු ගාව නැහැ කියලා අපි කතාවට කියනවා. ඒක පිලිගන්න පුලුවන්. ඒත් මං කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලද්දි එහෙම අවංක ආදරේ තියෙන කෙනෙක් පේනවා. ඔයත් බලන්නකො අයියා.


කොළඹ අහස හරි දුප්පත්. මගෙ ගමේ වගේ නෙමෙයි. බුම්මගත්ත වලාකුළු ටිකක් , හරියට තාලයක් නැතිව කියවන ගෙම්ඹො ටිකක්, අල්ලපු කාමරේ පණ තියෙන මනුස්සයෙක් ඉන්නවද කියලවත් දන්නැති කොළඹ රට ගැන මට කැමැත්තක් නැහැ. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි නේද 😊😊😊


බළල් තඩියෙක්ගෙ ගාම්භීර හඬක, කණාමැදිරින්ගෙ තොරණ් එළි, ලස්සනම හදවතේ ගීතය කියන කඳු මුදුන. ආදරෙයි ආදරෙයි කියලා හැපෙන සුළඟ, වැල ගෙඩියකට වරකා ගෙඩියකට තටු ගහන වවුලන්, ඔය වගේ තව කොච්චර දේවල් තියෙනවද ? හරියට මට ඔයා ගැන කියන්න තියෙන දේවල් තරම්.


අමරසිරි පීරිස් ගායනා කරන්නෙ , කාලය කෙතරම් නපුරු ද කියලා. මටත් මගෙන්ම ප්‍රශ්න කරන්න තියෙන්නෙ ඒකමයි. 


බැදීම් කියන්නෙ තාවකාලික , සදාකාලික ඒවගේ වර්ග කරන්න බැහැ. හරියට අපේ මිනිස්සු කසාද, දික්කසාද , අනියම්, නියම්, අයථා අරක මේක කිවුවත් එ මනුස්සයො විතරයි ඒව දන්නෙ.


ලියන්න හිතපු කිසිම දෙයක් ලියාගන්න බැරිවුනා. අක්කෙ ආදරය ගැන ලියන්න කිය කියා කරදර කරන හේෂානි නංගිවත් මතක් වුනා. 


පෙරුම් පුරා දුකසේ ගලපාගත්, මේ බැදීම හුස්ම ඩිංග නවතින මොහොත වෙනකම්වත් තිබුණොත් හොඳටම ඇති අයියෙ. 


හැම බැදීමකටම ⁣හේතුවක් තියෙනවා. හේතුවක් නැතිව කිසිම ඵලයක් නැහැ. මහාචාර්ය සරත්චන්ද්‍රයන් මනමේ ලිවුවෙ, සිංහබාහු ලිවුවෙ තමන්ට තිබුණ බැදීම් අහිමි වුන තැනදි කියලා මං කියවල තියෙනවා. හිමි වීමට වඩා අහිමි වීම රසවත්. ඒක දන්නෙ අහිමිවීම්ව විතරක් හිමිවෙච්ච මිනිස්සු අයියා. මං වගේ 😊😊😊


#දිනිති 2020/09/24

Tuesday, June 4, 2013

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

සිහින කියන්නෙ බිඳෙන දෙයක්...
ඔව්...ඒත් ඇස් ඇරගෙන සිහින දැක්කම බිදෙන්නෙ නැහැ කියල මං තර්ක කරනව.. ඒ වෙලාවට ඔයා
....අනෙ මගෙ පිස්සි කියල මට හිනාවෙනව...
එකම චැට් හිස්ටොරිය....කතා කරන කෝල් එකක වචන ගැන ඔයා යන්න ගියහම ආයෙ එනකම් මට කඩපාඩම් වෙන තරමට මතකයෙ ගැවසෙනව...
හැම පුංචි අකුරක් ගානෙම..වචනයක් ගානෙම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම මං තනියම හිතනව කියල ඔයා දන්නෙ නැතුව ඇති...
ඒත් ඇත්ත ඒකයි...
අර දවසක් මගෙ හොඳම යාලුවන්ගෙ කෙනෙක් කුරුළුම කියල තිබුණ මේ ෆේස් බුක් එකේ දකුණෙන් යන නිවුස් ෆීඩ් එක බලන්නෙ ඇස් පිල්ලම් ගහන වෙනසටත් ඔයා ගැන මඟ ඇරෙයි කියල වගේ කියල...
මාත් ඒ වගේමයි..හැම වෙලාවකම ඇස් දෙක තියෙන්නෙ නිවුස් ෆීඩ් එකේ... ආදරය කියන එක මේ තරම් හදවතක හැඟුම් දළුලනව කියල මං අත් විඳල තිබුණෙ නැහැ...
දැන් ඉතින් ඔයා කියයි මේක පලවෙනි ආදරය නෙමෙයිනෙ කියල...ඔව් මං ඒක පිළිගන්නව..මං කැමතියි අහන්න පිවිතුරු වෙන්නෙ පළවෙනි ආදරයම විතරද...?
ඇයි අපිට බැරිද හදවතින්ම කිසිම වැරැද්දක් සිතුවිල්ලකින්වත් නොකර ආදරය කරන්න..
හැම කෙනාගෙම හා හා පුරා කියල පටන් ගන්න හැම දේම හරි යන්නෙ නැහැ...
ඒක එහෙම වුනා නම් මේ තරම් ලස්සනට ආදරය කරන අය ලෝකෙ නැහැ...
මං දකින්නෙ එහෙමයි... බොහොම අතලොස්සකට විතරයි පළවෙනි ආදරය හරි යන්නෙ... ඉතින් ඒ කොහොම වුනත් ජීවිතේ හැරවුම් ලක්ෂය වෙලා ඔයා ඇවිදින්...

"මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරි බත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්...."

මං අපේ ආදරයෙත් පළවෙනි පහන පත්තු කරන්නම්. ඕනම සුබ දේකට අපි අදහන ආගම අනුව පහනක් පත්තු කරල ආශිර්වාද ලබා ගන්නව..මාත් ඒ වගේම බුදුන් දෙවියන්ට කියල මේ ආදරේ රැකගන්න පිහිට ඉල්ලන්නම්... කිරිබත් කියන්නෙ අපේ සංස්කෘතියෙ සුබ කටයුත්තකට අනිවාර්යෙන්ම අවශ්‍ය වත් දෙයක්... අළු කොබෙයියන්ට විතරක් නෙමෙයි හැම සතා සිවුපාවටම නොවෙයි මේ ලෝකෙට දෙන්න පුලුවන් නම් කිරිබත් හදල මම දෙන්නම්..ඇත්තමයි... ඒ තරම් මේ ආදරය වෙනුවෙන් මට දේවල් කරන්න පුලුවන් කියල මට හිතෙනව.... ඒ තරම් පේ වෙන්න මට පුලුවන්.....උදේ හවස පහන් පැලට පහන් පත්තු කරන්නම්... මං ඉල්ලන්නෙ මේ ආදරේ රැකදෙන්න කියල විතරමයි.

දැන් ආයෙමත් ඔයා කියයි අනේ මෝඩියෙ මං ඔයාට ඉන්නවනෙ කියල...
ඒක හරි...ඒත් කෙල්ලො කියන්නෙ හරි පුදුම විදිහට සියුම්ව තමන්ගෙ ආදරයෙ චුටිම වෙනසත් දරාගන්න බැරි ජාතියක්.....
ඔන්න කියන්න එපා අපොයි කෙල්ලො ගැන මට කියන්න එපා කියල...
ඇයි දන්නවද ඔයා එහෙම කියන්න කලින් මං මෙහෙම කියන්නම්...
අතේ ඇඟිලි එක සමාන නැහැනෙ..ඒ වගේම හැම කෙල්ලෙක්ම එක වගේ නැහැ..ඒත් පිරිමියෙක්ට වඩා කෙල්ලෙක් හැම වෙලේම තමන්ගෙ කෙනාගෙන් ආදරය හොය හොය ඒ ආදරය අහිමි වෙයි කියන හිතේ පුංචි ගැස්මකින් ඉන්නෙ.
තමන්ගෙ පෙම්වතා දිහා වෙන කෙල්ලෙක් බැලුවත් පොඩි ඉරිසියාවකින් හිත හෙල්ලෙනව... ඒක ස්වබාවයෙන්ම වෙන දෙයක්...

දැන් ඉතින් මූණ හතරැස් කරගෙන ස්ක්‍රින් එක දිහා බලාගෙන මට ඇද කරන්න එපා හොඳද...
මැටි පූසා...

ආදරය කරන කෙල්ලෙක්ගෙ ලෝකෙ දේවාලය එහෙ නැත්නම් පූජනීයම තැන තමන් ආදරය කරන කොල්ල ගාව..
ඔය ඉතින් දැන් ඔයා විතරක් නෙමෙයි මේක කියවන අයත් කියයි අම්ම අප්පච්චිත් ඒ තැන නැද්ද කියල...
මට ඒකට කියන්න තියෙන්නෙ ඒ ආදරයයි මේ ආදරයයි ජීවිතයට වෙනස් කියල විතරයි.
ඉතින් තමන්ගෙ ආදරයෙ හිමිකරුව දෙවියෙක් වගේ සලකන...ඒ තරමට ගරු කරන කෙල්ලො අදත් මේ ලෝකෙ ඉන්නව...
එහෙම උන් ඉපදිලා නැහැ..එහෙම නැත්නම් මැරිලා කියල කියනව මං අහල තියෙනව...ඒත් නිවාඩුවෙ නිදහසේ හෙව්වොත් මේ අපි අතරම ඉන්නව...වෙනස තියෙන්නෙ අපි උඩින් අතපත ගානව වගේ ලෝකෙ දකින එකයි හැම වෙලේම එහෙම අය නැහැ කියල ඉන්න සෘණ අදහසයි නිසයි එහෙම වෙන්නෙ....වටිනා දේවල් දුර්ලභයි කියල අහල නැද්ද...
ගැහැණු ළමයින්ගෙ අහිංසක ප්‍රාර්ථනා...තමන්ගෙ හදවත සුවපත් කරන්න පුලුවන් දේවතාව ඔහු නම් ඔහුනේ ආයාචනා කරනව කවමදාවත් කටුක විරහ වේදනා සිත් තැවුල් නම් ගෙනෙන්නට එපා කියල... ඒ දේට අපි කවුරුත් බයයි තමයි...
මං දන්නව ඔයා එහෙම කරන්නෙ නැහැ කියල...මට සැක මං ගැන තමයි..

" මගෙ ආදරයේ දෙවොල් බිම නුඹයි..
ඒ දේවාලේ දේවතා නුඹයි
මගෙ ජිවිතයට බැල්ම හෙලන
මා හද සුවපත් කරවන දේවතා නුඹයි
කවදාවත් ගෙනෙන්ට එපා
කටුක විරහ සිත් ලතැවුල් නම්... "

දන්නවද ගිම්හානයක ඉදල ඉදල වේලිලා කර කුට්ටම් වෙච්ච පොළවකට වැටෙන වසන්තයෙ දිය බිංදු කොයිතරම්ද කියල... ඒ සිහිලැල් සුවය විස්තර කරන්න බැහැ..
දිවිගමනට වසන්තය එනව කියන්නෙ මං වගේ කෙල්ලෙක්ගෙ නම් හිතේ උපදින හැම හැගීමම මුහුණෙන් ඉදන් පිට පනිනව... ඔව් ඇත්තමයි... මේ අවසන් වසන්තය කියල මං දන්නව... ඒ වසන්තයට පායපු ...ඇවිදින් නතර වුන සඳවත ඔයා...ජීවිත කාලෙදිම වින්ද අනන්ත අප්‍රමාණ දුක් වලට... කළුවරේම ගෙවපු දවස්වලට හරියන්න ආලෝකයෙ සෙවනැල් ගෙනාපු ඔයා ගැන මං කොහොම නම් විස්තර කරන්නද..ජීවිතේම කඳුළු විඳපු කෙනෙක් විතරයි දන්නෙ හිනාව කොයිතරම් වටිනවද කියල...ඇත්තමයි කෙල්ලෙක්ගෙ ලෝකයකට හැමදාම රැකවරණයක් ඕනි..තනියම ජිවත් වෙන්න බැහැ කොයිතරම් හයිය හිතක් තියෙන කෙල්ලෙක්ට වුනත්..මං ඔයාගෙන් ඉල්ලන එකම එක දේ මේ සඳවත කවමදාවත් මගෙ අහසින් මැකිල යන්න එපා...මේ සිහින මං දකින්නෙ ඇස් දෙක ඇරගෙන...ඒක නිසා මේ ආදරයෙ නැවුම් සිහින මං සැබෑකරගන්නව...ඒත් ඒ ඔයා මගෙ ළග ඉඳියොත් විතරයි...
අනේ පිස්සියෙ..මේකි නම් මැටි මෝඩියෙක්ම තමා... මං නැතිවෙන්නෙ නැහැ හොල්මන....

ආයෙත් ඔයා කියන්නෙ ඕක තමා...ඔය වචන අහගන්නනෙ මං හැම තිස්සෙම දඟ කරන්නෙ.. මං විශ්වාස කරනව ඔයාව....මගෙ ආදරය...හැමදාම මං ළග තියෙන්න කියල.....

"මගෙ ජීවිතයේ වසන්තය නුඹයි...
ඒ වසන්තයේ ලැගුම් සඳ නුඹයි
ඝන අදුරින් මා මුදවන
විදිනා දහසක් අණවින
සරාසඳ නුඹයි
කවදාවත් මකන්නට එපා..
මේ ආදරෙයේ නැවුම් සිහින නම්''

****** සත්තටම ඔයා මට නිවනක්..ආදරයේ නිවන මට ඔයා විතරමයි *****

__________________________________________________
( මං ආස කරන රටාවට අකුරු කරන මගෙ මිත්‍රය Kurulu හැමදාම මාව අවුස්සනව... ඒ නිසාම මේ හිතිවිලි හිර කරගෙන ඉන්න මට බැරිම නිසා ගැලපුවා )


ගීතය මෙතනින් රස විඳින්න...http://www.youtube.com/watch?v=jPqGK21LdSU

Friday, July 13, 2012

Sunday, June 10, 2012

මා ප්‍රිය සිත්තරාණෙනි....

මගෙම ඔබට

__________ඔබට___________
( ඒ මට ජිවත් වෙන්න හුස්ම ගෙනාවට )

කිසිම පාටක් සොයන්නට නැති
බොඳවෙලා ගිය ජීවිතේ
නින්ද නැතිමුත් වැසෙන ඇස් යට
එකම සම්පත ආදරේ......

හුස්ම ගන්නට මතක් කර දුන්
පුසුඹ හින්දම දිවි මගේ
නුඹත් නැති හෙටක් කුමටද
සොඳුර ඔබමයි ජීවිතේ....

රැයේ පිපෙනා සියළු මල්වල
ඉලිප්පුනු නෙත් අතින් වහලා
ලොවට රහසින් ළගට ආවේ
සඳයි ඔබ තරු කැටත් මකලා....

විල් දියේ හැඩ වැටුණු සඳවත
දකින විට මුව ඉස්සිලා
බදාගෙන මම සිම්බ හැටි
තවම සිත්තම් හිත පුරා....

ගී ගයන්නට විහඟු නැති මේ
අඳුර රජයන වෙලාවේ
කවි ලියන්නට පද අරන් එන
සොඳුර කවිකම් වුනානේ.....

යන්තමට රතුපාට වුන නෙත්
සඟල ළග තනිවුනානේ
එදා වගෙම අදත් ලෝකය
දකින්නේ ඒ ඇස් නිසානේ.....

සෙත් පිරිත් හඩ ඈත ඇසුනට
සිල් බිඳින්නෑ අවේලාවේ
සිත් තොසින් මට හුස්ම ගන්නට
ළගින් ඉනුමැන හැම වෙලාවේ.....

අතට අසුවන සෑම තැනකම
පන්හිඳත් ඔබ ගැනම කිවුවේ
ඇත්තමයි මට හුස්ම ගන්නට
ඔබයි පණ නල ගෙනාවේ....

_________________________දිනිති_____




Wednesday, May 16, 2012

ඔබ හිරු නේද..?

මේ වෙන්ව යාම නපුරක් නොවෙද
උන් තවම නුඹව සොයනව සොදුර
රූ හිනැහෙන්නේ සඳතරු එකට
උන් එළිය වින්ද දිනකර නේද......

කැණි මඩල අපේ සවි නැති බිත්ති
පුපුරා ගියෙ අපිටත් නොදැනි
ඇස් බැදන් කිරපු තරාදි පඩිය
අද දන්නේ නෑ කදුළැලි බරම...


ආදරයෙ අපුල සිදුරක් වුවද
ජීවිතයෙ කරුමෙ මුන්ටම නේද
යලි හදා ගන්න පුලුවන්නම් වරද
මේ පැටවු ඉතින් අපෙමයි නේද....

( 1වෙනි කවියෙ 03 වෙනි පේලිය වෙනස් විය යුතුයි. ඒකයි යුනිකෝඩ් විදිහටත් දැම්මෙ. )

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...