Monday, January 30, 2017

නොරිදන්න තව

නිමිත්ත - වේසියක් ලෙස සමාජය විසින් හංවඩු ගැසූ , අහම්බයකින් හෝ කුසට එන කළල විනාශ කරමින්, සමාජයෙන් තල්ලු කළ තැන සිට ජීවිතය මැතිරූ කතක්
=============================================
අමාවකට කෙඳිරිලි හඬ මල් මතින් ඇසේ
පලා යන්න බැරි දේවල් කරණමක් ගැසේ
හදාගත්ත හිත වැටේ, දුක මතුවෙයි හිසේ
බදාගන්න ඉඩ දුන්නේ, ගිනි ගනියි කුසේ
කුරුළු පැටවු සිහින දකියි කණාමැදිරි එලි අතරේ
අරළු ගැටත් පැණි රහකට දැනෙයි වෙහෙස දිවි කතරේ
පරලු පාන් ගැන කවියක් කියාදෙන්න මගෙ මිතුරේ
සළෙලු වුනත් පෙම පුදුමයි යන තරමට උන් අතුරේ
ගෑණු ලෙඩේ හැදුන දාට හදවත කෑගසා
නෑර එකක් ඉමි පෙළකට සියල්ල ඉවසා
රෑක පැන්න හරස් ඉණිත් නිතරම ඉකිගසා
පාට දෙන්නෙ කවුරුද බන් අසයි හිතෙන් මුසා
ලිහෙන ඉරෙන ස‍ළුපිලි වල සුවඳ ටිකක් උරා
ඉරට හඳට කවි කිවුවට ඉන්න හැකිද දරා
අතට පයට වෙහෙස අරන් වැඩපල ටික කොරා
කුසට එකෙක් එන පාරට දැමුවෙමි සිතුවිලි මරා
ගෑණු හිතක් හෙල්ලෙනවා ඇඟිලි ගනියි හැම වාරෙට
පෑයු හඳක් කෝ අහසට කළුවරමයි හතර කොනට
පෑරු හිතක් පාර පාර එපා ඔබත් තළු මරන්ට
වේසකමත් රැකියාවක් කලේ ඔබයි කාසිවලට
#දිනිති 2017/01/30

Saturday, January 21, 2017

පැමිණි දේ පැණි රසයි.



නිතර මල්වල සුවඳ සොරකම්
කරන සුළඟක් වේය මනරම්
බඹර තුඩුවල ඊය හොඳනම්
මලත් සුළඟත් දෙකෙම සැනසුම්

මලින් මලකට ගියත් සමනල්
අතින් අල්ලන් කරයි ඇවටිල්
හිතින් බැදගෙන සුවඳ බඳවල්
උනුන් වැළපෙයි වසා කටවල්


මලට , සුළඟට බඹර, සමනල
ඇතිය එක එක ලෙසට හැඩතල
හිතට හුරුවට කරන වැඩවල
කුමට සොය සොය ඉතින් පසුතල

Wednesday, January 18, 2017

අම්මේ දෙව්ලොව ඔබ සතුටින් ද ?



අම්මේ කියාපන්, දෙව්ලොව ඔබ සතුටින්ද
දන්නා අදුණනා උදවිය ඔහෙ ඉන්නවද
නැන්දා ඇවිත් ගිය සතියේ දන්නවද
කෙල්ලට තවම කරදරදැයි ඇහුවාද

නින්දා වැස්ස දැන් වැඩි වැඩියෙන් එනවා
ඉන්නා තරම් නෑයන් වෙන අත දිවුවා
රවලා බලන ගැහැණුන් ගමෙ හිඟ නැතුවා
අම්මේ යන්න හිටියේ මං, උඹ ඉස්සර වූවා

ගස්සා පස්ස හන්දියෙ මැණිකෙගෙ අක්කා
උස්සා රෙද්ද ආවා තොවිලයෙ බෙර පළුව
මැස්සා වුනත් මොකටද නැති නම් කුණු ගොඩට
කැස්සා මාත් හයියෙන් වේලුන උගුර මැද


අම්මේ මහන්සිය නිමලා මෙහෙ එනවාද
නැත්නම් කාල නියගල අලයක් දුවන්නද
අරලිය මලක් වත් නොපිපෙයි සොහොන උඩ
විකසිත කුසුම පරවුයේ, පියෙකුගෙ ලිංග මැද

Tuesday, January 17, 2017

හදවතක් මගෙත්.



මමත් ඉන්නේ මඩේමයි
පැටවුන්ට දෙන්න බැරි අසූචියි
උඹේ පැටවුන් කිරි උරද්දී
දුකේ බැහැ මහ ඊරියේ

පැදුරෙ උණුහුම හොයා හොයා

තාම පැටියෙක් මගෙ, බත් පිඩක් ඉල්ලයි
අඳුරෙ අතපත ගාන සසරක
දික්ගැසුම් පොලියක්ය කර්මය

පුල්ලි පුල්ලිය රටා හැදිලා

නුඹේ සියොළඟ එලිය වැටිලා
තල්ලු කර කර පේලි හදලා
දිනෙන් දින උඹෙ ළගයි මරණෙට

මමත් මැරෙනවා උඹත් මැරෙනවා

මරන්නට බැරි කෙලෙස් ගිණුමයි
කෑ ගසාගෙන උඹේ පැටියා
උඹව හොයනවා ඊයෙ දැක්කා

ඊරියක් වුන කුසල අකුසල

දනිමි මනසක් උසස් වුන මම
පූරුවේ තව අත්හරින්නට බැරි
ස්නේහෙ දාරක මහමෙරයි බං

උඹේ ඇස අඟ කඳුළු කැළලක්

දිටිමි රැයකදි ලයිට් එලියෙන්
ලොකු කෙලි මගෙ මේ පාර පැන්නේ
දහය වසරට ගෝරි හරියට


"සත්ව ඝාතක, සත්ව ඝාතක "
වචන හරියට දරුණු අවියක්
කුස් පිරෙන්නට ඇස් පියන් මම
අස් කරමි උඹෙ හුස්ම ඩිංගත්

චුන්ද සූකර දරුණු සසරක

පහුණු පෝයට ලොකු සමිදු දෙසුවේ
කරුණ දැන දැන වීසා ගැහුවට
කාසි වෙනසද බඩගින්නකට
ඉතින් ඊරියෙ උදේ හවසට
මගේ හදවත නුඹට කිවුවේ
නැතත් අවසර උඹෙන් කිසිවිට
හෙටම මේසෙක උඹ, පිපෙයි කරියක

තිත්ත බව දැන දැනම කසායක්

බොන්න වෙනවා දිනක ලෙඩකට
ඇත්ත මම ඌරො මරනවා
පණ පිටින් මැරි මැරී හැමදින

Tuesday, January 3, 2017

ජීවිතය සීතලද මේ හැටි

නුවරඑළියේ මල් තරම්
හැඩවුනා නම් අපේ ජීවිත
පතනෙ ඉස්සී පිපෙන්නේ
සුසුම් නොව මුතු පබළු දිස්නෙට

කැරට් යායට ලියදි පිරුණට
කැරට් විසි දෙක නොවෙයි ජීවිත
කරන්ට් නැති වෙච්ච හදවත්
කොයිතරම් හමුවෙයිද මඟතොට

ලීක්ස් ගස්වල සුවඳ බෙද බෙද
ලක්ස් කැටයක් ගනියි දෝතට
බීට් අලවල රතු නෙමෙයි ඒ
යෞවනියො හෙළු කඳුළු පැහැයය

ගෝව ගෙඩි ගෙඩි හෙට්ටු කර කර
තෝර ගත්තට මුදලාලි හයියට
ගෝව කොළ වගෙ ගැලවිලා විසිවෙයි
තෝරා දෙන්නට බැරිම පැතුමන්

වසන්තය මෙහෙ ගතකරන්නට
දසන්තයෙ උන් ඇවිත් යනවිට
අසන්නට හිත නැමෙයි නිරතුරු
"මහත්තයො ජීවිතය සීතලද මේ හැටි "