Tuesday, January 26, 2016

අපේ ඒ මහා කන්ඳට

පහළ සිට බැලූ කළ හිස නවාගෙන
මුහුණෙ කඳුළැලි හංගගෙන
නොයා බැරි හන්දා නම්
ගිහින් එන්නකො කිය කියා
අපේ ඒ මහ කන්ද මට
අත වනපු හැටි තවම මතකයි
පුහුලන් පුරවගෙන හිටි කජු ගහේ අතු
එක පොඳියෙ එකටම තුරුළු වීගෙන
අදින් පසු කවුරුන්ද දුක සැප අහන්නේ
මහා ශබ්දය පිට කරන් ඉකියකින්
සමු දුන්නෙ මටම විතරද ?
කැන්ද ගහ තරහක් නැතිවාම
හැලප කන්නට කියා කොළ
දරට කියමින් වියලි අතු ගන්න
ඔහුගෙ බඳ මම දෙපයින්ම පාග පාගා
තැලූවත් රැකවරණයෙන් මා බලා
ගත්ත හැටි අමතකම නැහැ අදත්
බටදොඹ ගහේ ඇඹුල් පැණි රසට
ලොබ බැදන් කෙළ හැලූ
රඹුටන් ගහේ ලේනුන් අත නිකටෙ තියාගෙන
අාපහු එනව නේදැයි අසමින්
බලා හිටි හැටි අද වගෙම මතකයි
මහා වැස්සට හෝදගෙන ගියත් මහ කන්ද
බොහෝ දුක් පීඩා පිස දැම්මා මගේ හිස මත
එදා වාගේ දණ නමා නුඹ කරට නඟින්නට
මෙදා පාරත් මම එනව දුක සැප අසන්නට
එතෙක් තරහක් නොගෙන පෙර ලෙසට
මගේ අම්මව බලාගනු මැන ආදරෙන් හොඳටම.

Thursday, January 21, 2016

ගඟක සැනසුම සයුරම ද ?

සියුම් ඉසියුම් තැනද දැනගෙන
රැවුම් ගෙරවුම් බැනුම් විදගෙන
නැවුම් සැනසුම් පැතුම් අරගෙන
හෙමින් ගලනව ගඟක් තතුදැන

පෙත්තො හඳයොද ලූලො කනයොද
කිඹුලො දිය නයි රවුම් සුලි මැද
පොල් පුවක් හල් ගෙඩි කරට බැඳ
ගඟක් යන්නේ දෙපස ඇස් මැද

සිහින් ඉඟරැලි සිඹින පාසිද
හෙමින් සිපගත් සුමුදු සුළඟද
හිතින් විඳගත් පැතුම් පොදි මැද
ගඟක සැනසුම සයුර විතරද ?

Friday, January 15, 2016

හැර නොයමි නුඹ මං නංගියේ

සසර බියකරු මංසන්ධියේ
අපල හිඟ නැහැ නංගියේ
විපුල මිණි කැට නැති පංගුවේ
උඩට පිපියන් උඹ ඔය දියේ
සත් රුවන් බුදුවරු ද පිටදෙන
කපුටු බෝගහ රැකවලේ
හිඹුටු මාදං කොහිල කටුවැල්
උඹට පෙම්වත් ගී ගයන්නේ



ඇතින්නිය මහ බර අඳින
සිගිත්තිය මගෙ හදවතේ
කැහැටු තනයෙන් කිරිශිරා පෑදී
ලපටි මල්පෙති ඇස් අැරේ
දුක සැපට එක කවිය කියනා
බලවත්ම හදවත නුඹේ

සිකිපිලින් සැරසුනු අංගනාවෝ
ඇස්වලින් පහරයි ලද සැණේ
පිලිවෙලින් උඹ ඔය වංගියේ
හැරවියන් නිසි ලෙසින් පන්තියේ
සිහිනයෙන් හෝ නුදුටු හිස්තැන්
අවදියෙන් ඇත මයෙ නංගියේ

පෙර සමෙන් වැසුණු හැඟුමන් ලයේ
අර සමන් ගිර වගේ පැතුමන් නුඹේ
දුර නිවන් මඟ, අත්වැල මේ භවේ
හැර නොයමි නුඹ මං නංගියේ
අද මේ දැනුත් කළුවර ඇත සඳ වටේ
මද සිනා ඇති හෙට පිපෙයි කෙකටිය වැවේ

Wednesday, January 6, 2016

බැරියර් කැඩූ සයිබර් කවිය


      රසය ආත්මය කොටගත් වැකිය කවිය යැයි භාරතයෙ විශ්වනාථ පඪිවරයා විසින් පවසා ඇත. රමණිය අර්ථ ප්‍ර තිපාදය කරන වචන කවි යැයිද පැවසූවේ භාරතිය ජගත්නාථ නම් පඩිවරයෙකි. ඉදින් කෙසේ හෝ හදවතේ උපන් හැගුමක් අනෙකාට වඩා වෙනස් ලෙස දකිමින් සුන්දරව එකතු කරන්නේ නම් එය තව අයෙකු හට විද ගැනීමට හැකිය. කවියෙකුගේ හිත පුරා පෙළ ගැසුණ අපුර්වතම හැගිමක් කමනීය බවෙහි එකතුවක් ලෙස සමාජය තුළට තිළිණ කරන්නේ මහත් බැතියකිනි. 

එම කවෙහි රුව කවියාට කිව හැකි නම් කොතරම් දෙයක්දැයි රොබට් ෆ්‍රොස්ට් අසා සිටි. මන්ද යත් අන් අයෙකුට කවියෙහි මහා ආත්මය ස්පර්ශ කළ නොහැකි යැයි මෙහිදි ඔහු නොකියා කියන බැවිනි. සැබැවින්ම කවියක් තමාම විදිමෙන් මිස වෙන අන් කවර අයුරකින්වත් කවියෙහි රුව ගුණ කදම්බය ඥානනය කළ නොහැකිය. එහෙත් කවිය තුළ කවියාම විඳි රස සුවය සමාජයට දුන් පසු ඔහු කියවීමක් නොකරයි. ඒ අප්‍රමාණව , එය උපද්දැවීම තුළ කවියා එය විඳිමින්, සැනෙහෙමින්, සියළු රස නහර තුළට උරා ගෙන හමාර වූ පසු දායද කරන්නක් බැවිනි. 


එසේ නම් එම කවිය අනෙකා දැකීම තුළ විවිධාකරී හැඟීම් සමඟින් නානාප්‍රකාර කෝණයක් තුළට හැරෙමින් දකින්නට හැකි අවස්ථා එමටය. එතනදී ද කවියා කරන්නේ නිහඩ බවේ ප්‍රතිපත්තියම දැරීම යැයි මගේ පුද්ගලික අදහසය. මන්ද යත් සමාජය තුළ විචාරකයෙක් යැයි කියා ගන්නා පුද්ගලයකු නිර්මාණය වන්නේ මේ හරහාමය. 


සුසාධිත සාහිත්‍යයක් තුළ කවියට හිමිවන්නේ ප්‍රබලම ස්ථානයකි. එසේ වන්නේ එය මහා විශාල පොතක් කියවා ලබන තරමේ තෘප්තියක්, දැනුමක් එක කවියක් තුළ ගැබ් කර තබන්නට හැකි බැවිනි. කවියක අංග ලක්ෂණ කතා කිරීම මගේ අරමුණ නොවූවත් සඳස් හෝ නිසඳස් හෝ වේවා මේ තුළ ගලා යෑමේ යම් රිද්මයක් සහ සමාජයට මතුපිටින් කියනා දෙයට වඩා ගැඹුරු යථාර්තයක් පොවා තිබෙනවා නම් එය මුළු මහත් සමාජයක් වෙනස් කරලන්නට හැකි තත්වයකට වුවද පත්විය හැකිය. සෑම අවස්ථවකම කවියක් තුළ යටි පෙළ අරුත එසේ නොමැති නම් ව්‍යංගය තිබෙනා තරමට එම කවිය අලංකෘතය. සාධනීය ලෙස වින්දනයට නතු කරගත හැක. 


කවියෙහි එදා සහ අද අතර බොහෝ වෙනස්කම් ඇත. අතීතයට හිස නමමින් අප වත්මනෙහි සිට අනාගතයකට පා තැබිය යුතුමය. එබැවින්ම අද කවිය දික් විජය කරන්නට සයිබර් ලෝකය තුල බොහෝ අයට හැකි වී ඇත. මේ ලියුම්කරුද සයිබරය තුලින් කවිය දිගේ දිගේලි වෙමින් අතු මුල් නාරටි හොයමින් සොය සොයා යන්නෙකි. මේ නූතන තාක්ෂණික මෙවලම් නිසා එදා බැරියර් දමා යම් යම් පිරිස් අතර පමණක් සීමා වෙමින් තිබු බොහෝ දේ කැමති පුද්ගලයකුට මනාප අයුරින් කළ එළි බසින්නට අවස්ථාව උදා විය. සයිබරය ගත් විට, ෆේස් බුක්හි වැඩිපුරම කවි, කවි පිළිබද විවිධ කණ්ඩාම් ඇත. එමෙන්ම තනි තනිව සහ කණ්ඩායම් විශයෙන් බ්ලොග් අවකාශය තුළද කවි පළ කිරීමට හැක. විවිධ වෙබ් අඩවි තුළද මෙසේ කවි සඳහා බොහෝ ඉඩකඩ ලබා දී ඇත.


මේ නිසාම මේ ලියුම්කරුද කලක් සිට සයිබර් කවිය පිළිබඳව බොහෝ තෘප්තිමත්ව සිටින්නියකි. ඒ කෙසේ වෙතත් ඕනෑම දෙයක හොඳ මෙන්ම නොහොඳත් අප්‍රමාණව ඇත. එය තිසිදු තර්කයකින් තොරව පිළිගත යුතු සත්යමයකි. මෙයටද එම ඉරණම නැතුවා නොව.


මාගේ අරමුණ එයකක් නොව. එදා පුවත් පතක කවියක් පළ කර ගැනීමට බොහෝ වෙර විරිය ගත යුතුව තිබුණි. එහෙත් අද පුවත්වලද පිටු පුරා වෙන් කරන්නේ කිසිදු පැකිලීමකින් තොරවමය. මින් හැඟෙන්නේ නව තාක්ෂනය එක්ක අපද යාවත්කාලීන වී ඇති බව නොවෙද.. සයිබර් අවකාශය තුළ අප්‍රමාණ ඉඩකඩ ගනිමින් එකිනෙකා තම විවිධ කුසලතාවයන් ඔප් නංවති. ගායන, වාදන, ඇදීම, ලිවීම මෙකී නොකී බොහෝ දක්ෂතාවයන් සඳහා මෙය තෝතැන්නක් වී ඇත. 


ඉහතින් ඔබට මා කිවු කරුණට සමගාමීව මෙහිද කණගාටුවට කරුණ නම් පුවත් පතකට ෆිල්ටර් වී නිර්මාණයක් යද්දී සයිබරය තුළට කිසිදු පෙරහනයක් නොමැතිව පළ කිරිමට හැකිවීමය. මේ තුලින් යම් යම් හානිද සිදු නොවනවා කියා කියන්නට තරම් මාගේ හෘදය සාක්ෂිය පක්ෂපාතී නැත. 


එසේ වුවද මේ අතර බොහෝ දේ තෝරා බේරා කට පුරා කවියෙක් කියා කියන්නට පුලුවන් දක්ෂයින් සිටීමත් අමතක නොකළ යුතුමය. ඒ සදහා ප්රයථමයෙන් මා උදාහරණ ලෙස පහතින් කවි කිහිපක් සටහන් තබා ඇත්තෙමි. 


"අඹා සෙල් වඩුවන්ගෙ සිතැඟිය මගේ උකුලේ ගෙන ඉඩක් 
කියා සාලිය මවා ලෝකෙට කියන මුත් මම වෙන එකෙක් 
අශෝකා නුඹ මගේ කකුලට වගේ හිතටත් දෙන බරක් 
සමාවෙනු මම එදා ඉඳලම ප්‍රේමයට අකමැති ගලක්..


පලා පෙති ඇඳ වැසූ සඳ කඩ පහන නිරුවත් ගැහැනියක් 
හිනා වෙනවා දෙපස මුරගල් වෙලාවක හරි කෝලමක් 
දෙපා දැවටෙන දූලි අතරේ කොහේ රකිමිද පතිවතක් 
එදා මේ කරුමය නොවන්නට මාත් අද වැදගත් ගලක්..."
(සම්පත් කුරුප්පු ආරච්චි කවියාගේ " ගල් කල හිතක් " කවි පන්තියෙන් )


" වලාකුළු 
කොයි තරම් 
පෙරෙව්වත් 
සළුව 
සඳ කැමති 
පෙන්නන්නම 
හෙළුව !"
කැලුම් විජේවර්ධන කවියාගේ නිමැවුමකි.


"ඇස් දාහක හිවල් බැල්ම තද කරගෙන ඇස් දෙහෙකට
මනුස්සකම ආවෙ විමලෙ මස් ඉල්ලං පීරිසියට
මධුරාපුර ගිනි තියන්න හයියක් කෝ ගෑණු අපිට
තිබුණු භූමිතෙල් ඒකයි හලාගත්තෙ මං පපුවට "

"අග්නි පරික්ෂාවකට පසු "කවි පන්තියෙන් දිනේෂ් සිල්වා කිවිදුගේ..

ඉහත කවි තුලින් ඔබට යම් නිගමනයකට එන්නට පමණක් සරලව පෙන්නුවා පමණි. පත්තර පිටු මත ඉඩකඩ සීමිත නිසා තවත් උදාහරණ දෙන්නට තරම් අවස්ථාවක් නොමැති බව මා දනිමි. 
මොවුන්ගේ සියළු නිර්මාණ කළ එළි බැස්සේ ෆේස් බුක් හරහාය. එසේ නැත්නම් ඩිජිටල් තිරය මතය. එහෙත් එදා මේ දෙය බහුතරයක් සාහිත්ය්කාරයින් යැයි කියා ගන්නා අය දුටුවේ පුස්සක් ලෙසය. එසේ නොමැති නම් යමෙක් කවි ලියනවා කිවු විට කොහේද කවි ලියන්නේ ෆේස් බුක් එකේද කියා අසා ඔවුන් දෙස සමාජ රෝගීන් දෙස බලනවා සේ බැලීමට ඔවුන් නොපැකිලි විය. තුඩ තුඩ දන අතර බැන බැන ගිය එවැනි සාහිතඥයන් ගැන අලුත් මෙවලම් හරහා බිහි වූ පරපුරට දුකක් ඇති වුවද ඔවුන්ගේ වෑයම ඔවුන් අත් නොහැරියහ. එය දිගටම කරගෙන ගියහ. මීට පසර හය හතකට ඉහතදී ෆේස් බුක් තුළ කවි ලියූ එවුන් දෙස පහත් මානසිකත්වයකින් බැලූ සිරිලක සාහිත විශේෂඥයෝ අද ඔවුන් ගැන වරුණා වනන්නට තරම් ඉදිරිපත්වන අවස්ථාද නැතුවා නොව. 
කවිය නැමැති කුඹුර පුරන් වී ගොස් තිබුණ කලක ෆේස් බුක් හරහා එය වපුරන්නට ඇප කැප වූ කවියන්ට පින්සිදු වන්නට අද කවි කෙතට සතිපතා තරමට කවි පොත් එකතු වෙති. එමෙන්ම ඒවා ගන්නටද ෆේස් බුක් තුළින්ම කවි කියවන්නට ලෙංගතු වූ රසිකයින් සිටිති. මගේ සිතැඟිවලට දැනෙනා පරිදි අද ෆේස් බුක් තුළ කවි ලියන ඔවුන් හට කවි පොත අලෙවි කරගන්නට බාධාවක් ඇත කියා කන්කෙදිරිගාන අවස්ථා නම් බොහොම අල්පය. එය අපේ සාහිත්යට යේ සාධනීය ධනාත්මක වර්ධනයකි. 
අද සමාජීයිය, සාහිත්යස, දේශපාලනීය සියල්ලෙහි පෙරලිකාර මූලිකත්වය මේ තාක්ෂණික මෙවලම හරහා සිදුවන බව දැන් බොහෝ දෙනා පිළිගෙන අවසන්ය. අතරින් පතර එකා දෙන්නා ගලක් ගැසුවද දැන් බොහෝ දෙනාගේ අත් එසවෙන්නේ අත්පුඩියක් ගසන්නටය. 
එදා කී බෝඩ් වීරයින් කියා හංවඩු ගැසූ උන් අද සමාජය පුරා යමක් කළ හැකි චරිත වී හමාරය. එය පිළිගන්නට මැලි වුවද පිළිගත යුතුමය. අද අපේ ගී කෙත පිරෙන්නේද ෆේස් බුක් තුළින් බිහි වූ නිර්මාණ කරුවන්ගෙන්ය. ඒ දෙස බලා සිට ගල් මුල් ගසා අවසන අර සාහිතඥයන්ද මේ තුළට දැන් දැන් සිදුරු තුලින් එබෙන්නට පුරුදු වී ඇත. එදා ඔවුන් සිතා සිටියේ ගැලෙන් ගිය අපි හැමදාම ගැලෙන් යා යුතුම මිස කාර් එකෙන් යෑම නුගුණය කියාය. එහෙත් සමාජය පරිවර්තනය වෙන දියුණු රටාව හා සමගාමීව අපද හුවමාරු වී වෙනස් විය යුතුමය. එවිට අපට නෙලා ගත හැකි ඵලවැල බොහෝමය.
සටහන - දිනිති දීපිකා.
අපමණක් තුති ‪#‎සිසිර‬ තාත්තාට ‪#‎ගයාන්‬ ‪#‎අබේසිංහ‬ මල්ලීට සහ‪#‎රංජිත්‬ ‪#‎සමරකෝන්‬ සොයුරාට
2015 10 29 ලක්බිම පුවත්පත 


ඔන්ලයින් බලන්න පත්තරේ


Sunday, January 3, 2016

ජීවිතේ කොටසක්ය මේ

සේලයින් බිංදුවක් මේතරම්
සංයමෙන් පහළට වැටෙන්නේ කොහොමද ?
සිරිංජර් කටුවකට ඔය තරම්
ආදරේ යවන්නේ මොන හිතකින්ද

මිලිග්‍රෑම් වලින් උඩ යට යන ඉලක්කම්
හදවතට කොච්චරක් කතා කියනවද
හැම තැනම හිනාවෙන අඬන මුහුණුම
එක පාර ඩෝං ගාන සද්ද ගේන
රුධිර පීඩන මානය දන්නේම
අතකින් අතකට මාරුවෙන්නට
උණ කටුව කියන්නේ සීතලේ
ගුලිවෙන්න ඕනි බව නිතරෝම

හැගුම් අහිංසක බව දැනෙන්නට නම්
අතින් අල්ලන් ඇස් පතුලකට එබෙන්න
මිනිස් කැළ මැද උමතුවෙන් උපන් උන්
හා ගෙවෙන වෙලාවල් මේ යන්නෙ
පිස්සෙක් කියන්නේ මිනිහෙක්ට
මිනිහෙක් කියන්නේ පිස්සෙක්ට
පිස්සෙක් එක්ක මිනිසෙක් ඉන්නවා කියන්නේ
ඔය දෙක අතර මැද නින්දකට