Thursday, May 29, 2014

ආදරේ පිරෙයි..ඔබ එන්න ප්‍රියේ



සංසාර කෙතේ අස්වැන්න වෙලා
නුඹ බලා සිටී මුදු සිනා සලා
ඉසිඹුවක් ලබා මම ඇදෙමි සොයා
පෙම් කවක් ලියා මුළු හිතම පුරා...

සෙනහසින් අරුණැලි ගලා
පුබුදුවයි හැගුමන් නුරා
නුඹේ හදවත් ආරණ්‍යයේ
ගී ගයමි ගිරවිය වෙලා...

සදා පැදකුණු කරන බෝමැඩ
වගෙම ඔය හිත නැමදලා
නෙළා දෝතට ගන්න අවසර
එන්න පෙරඹර දසුනක් වෙලා



Thursday, May 15, 2014

මා මනස අතරමං කළ " මාගම් සෝලිය "



"කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි "
කල්පනා ලෝකය
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර

ආරම්භක පිටු අතරම මෙය දැමීමෙන් කියවන්නා එය දැකීමෙන් කර්තෘ කියන දේ ගැන තර්ක කිරීමට අවස්ථාවක් පාඨකයාට අහිමි කර ඇතැයි මං සිතමි. පන්සල කේන්ද්‍රීය සාධකය කරගනිමින් පවුලක් වටා ගෙතුන මොහාන් රාජ් මඩවලගේ මාගම් සෝලිය නැමති නව කතාව මා ප්‍රශුස්ථය කර ගනිමින් විවරණයක යෙදෙන්නට හදවතට එකඟ වෙමි.

1818 දී ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීම අරඹයා ඌව වෙල්ලස්ස කැරැල්ල ඇරඹිණි. ලොව දරුණුම ත්‍රස්තවාදීන්ද පරාජය කළ අප ශ්‍රිලංකා හමුදාව අද මෙන්ම එදාද අති බිහිසුණු ලේ ඟගක් මැද බැස තිර සාර අදිටනින් විමුක්තිය සොයා සටන් කළහ. වැටෙමින්ද වැඩෙමින්ද දන දන තුඩ තුඩ රැව් දෙමින් ගමක් ගමක් පාසා ඇවිලෙමින් එය විකාශනය විය. ඕනෑම අයෙකුගේ අවධානය නිතැතින්ම ඇදී යන්නට සලස්වන ඉතිහාසයයෙහි ලොම් ඩැහැ ගැන්වෙන දෙයක්ද කතාව ආරම්භයට පෙර මුල් පිටු ගොන්නට එකතු කරන්නට මොහු දක්ෂය. එම දැකීම් දිගේ ගියද අවසන හදවතෙහි ඉතුරු වන්නේ මෙලොවදී මිහිපිටදී සිදුවිය හැකිදැයි යන සිද්දිදාමයක් කරපින්නාගත් ප්‍රශ්ණාර්ථ ගොන්නකි. කාගෙත් කියවිල්ලට මාද මටම කියා පොතක් ගෙන හති දම දමා කියවා අහවර කලෙමි. මා දෙලොවක අතරමං විමි. ඒ මෙවන් ලොවක මේ දේවල් වේදෝ යන මනෝ විකාරයයි.

පුංචි රාලගේ අනාදරයට නතු වු ගෝමරී නම් බිරිඳත් තම දියණිය හා පවුල් කන සැමියාත් ගිහියෙක් වුද නමුත් පැවිද්දෙකු සතු යුතුකම්ද කරන ගනින්නාන්සේ කෙනෙකුත්ද මැණිකා, පුංචා, ටිකිරි ආදී දරුවන් සමඟින්ම පොඩිනා, ආරච්චිල, සුරඹා, සොබනී යන වෙනත් චරිතද මෙයට ඈදාගෙන ඇත. විවිධ දේ අතින් ලොව නොහිතන දේ වෙද්දී තම දියණිය සමඟ පවුල් කන පියා යන චරිතයට පුදුමයක් නොවේ යැයි යමෙක් තර්ක කළ හැක. එහෙත් එය උලුප්පා පෙන්වන විදිහට අප්පිරියා හිතේ. 

අද ලිංගිකත්වය ගැන කතා කිරීම එතරම් දෙයක් නොව. එය මෙලොව සත්වයා බිහිවිම අරඹයා එදා සිට අදත් හෙටත් ලොව පවතින තුරුත් සිදුවන්නකි. නමුත් මෙකී ක්‍රියාව ගැන ලිවීම ප්‍රමාණය ඉක්මවා ගියා යැයි මට සිතේ. ඕනෑම දේක සීමාවක් තිබිය යුතුය. එහෙත් ජුගුස්සාජනක ලෙස එකම දේ විවිධ චරිත වටා පුන පුනා ඉලිප්පීම මත පාථකයාගේ මනස දිගේ ගලා එන්නේ ඔක්කාරයකි. වල්ලී සහ ආරච්චිගේ පුතා දේවාලය තුල හැසිරෙන අවස්ථාව ලියා ඇති ආකාරයත් තව ඕනැ තරම් උදාහරණත් කතාව පුරාම ඇත. 



සම්ප්‍රදායික පන්සල යන රමුවෙන් පිට පැන ගත් පන්සලක වින්‍යසය ගෙතන මෙහි ධ්‍යාන ලබා ගත් ලොකු හාමුදුරුවන් අනාගතය දකිමින් පල්ලේගම හාමුදුරුවන්ව ගමින් පිට කර සටන් සදහා වෙහෙස වන්නට යවයි. මෙය පිලිගන්නට හැකිය. මන්ද චිරාත් කාලයක් ගමත් පන්සලත් බද්ධ වෙමින් බුදු දහමත් සිංහල ජනයාත් රකිනු ලැබුවේ ගමේ විහාරස්ථානයේ හිමි නම විසිනි. මෙකී හිමි නමද තම යුතුකම් ඉටුකලා යැයි මට සිතේ. එමෙන්ම උන්වහන්සේ නිවුණු මිනිස් දහමින් පරිපූර්ණ චරිතයකි. ලොකු හිමි ගැන කතාව තුලදි කිසිම අකැමත්තක් ඇති නොවේ. උන්වහන්සේ විය යුතු දේ වෙන්නට ඉඩ හසර තනා දී ඇස් පියාගත්තා යැයි මට සිතේ. නමුත් එතැන් පටන් පන්සල බාරගන්නා සුදු බණ්ඩා එසේත් නොමැති නම් ඇබිත්ත උන්නාස්සේගේ ක්‍රියා කලාපය කෙසේවත් පිළිගන්නට බැරිය. එම චරිතය මවද්දි මෙකී කතුවරයා පැටලිලා ගියාදෝයි මට නොසිතෙනවා නොවේයි. එහෙත් අපට පිළිගන්නට බැරි අධි තාත්වික ලොවක් කරා අප රැගෙන යන්නට වෙහෙසෙන කතුවරයා පාථකයා අතට දෙන්නේ උක් දණ්ඩකි. එය සපන වාරයක් පාසා පැණි රස අඩුවෙනවා සේ මෙයද කියවා යද්දී රසද්දීපනය හීන වී යයි.

මෙලොවෙහි වටිනාම දියරය මව් කිරිය. එයද කිසිදා දරුවෙක් නොවඳපු එහෙත් දරුවන් වඳන්නට උදවු දුන් පොඩිනා නැමැති ගැහැණියට අසීමිතව උරුම වේ. ලොව මවිත කරන රහස් බෙහෙත් තනමින් ඇය මුදල් උපයා ගන්නවා පමණක් නොව බිංදු තනිකරම ජිවත්වන්නේ මව් කිරෙන් පමණි. වෙන යම් අහරක් කිසි විටක ඔහුට නොදෙයි. ඔහුගේ පුරුෂ ලිංගය ස්වාභාවිකත්වය පරයා යමින් විහිළුවක් තරමට පත්වී ඇත. එහි හොඳම සිනා යන තැන නම් පොඩිනා පසුව රහස් බෙහෙතක් තනා පිරිමින්ට එම බෙහෙත අලෙවි කිරිමයි. අද සමාජයේද මෙවැනි චරිත ඇත. තම ලිංගේන්ද්‍රිය ගැන සෑහිමකට පත් නොවු කළ විවිධ වෙද හෙදකම් කරමින් ඒ ගැන සෑහීමකට පත්වෙන්නට වෙර දරණ අවස්ථා නැතුවා නෙවෙයි. වාජීකරණ බෙහෙත් ගැන අදද පුවත්පත් වල ඕනෑ තරම් දැන්වීම් ඇත. එහෙත් මෙතන සිදුවන විහිළුව නම් මෙය මව්කිරෙන් තැනීමය. දොවන්න දොවන්න උණන කිසිදා නොසිදෙන මව්කිරි හරියට මැජික් ඇල්ලක් වැනිය. එක දිගටම කඩා වැටේ. කළයක් දෙකක් නොව ඇතිවෙනතුරු දොවා තැබිය හැක. මේ තරම් දුරට පාඨකයා නූල් බෝලයක මෙන් පටලවා අතරමං කලේ මන්දැයි මට සිතා ගන්නට බැරිය.
එහෙත් මේ සියල්ලන්ගේම ප්‍රධාන අරමුණ මාකටින් විය හැක. අද හොදට විකුණන්නට පුලුවන් දේ ලිංගිත්වය වු නිසා මොහු එය විකිණිමට යොදා ගත්තාදැයි සැක සිතේ. ඕනෑම දෙයක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔසවා තබන්නට ගිය විට එම පුද්ගලයා අසාර්ථක වේ. මොහාන් රාජ් මඩවල නැමැති මේ කතුවරයාද නොගැලපෙන ලෙස ලිංගිකත්වය කරපින්නාගෙන උස්සා තබන්නට යෑමෙන් ඔහු අච්චාරුවක් කර ගත්තා දැයි මට සිතේ.

යථාර්තය ඉක්මවා ගිය රීතියක් ඔස්සේ යමින් මෙය රචනා කරමින් එදා වෙල්ලස්සේ අහිංසක ගැමියන් ගැන වැරදි රූපයක් සමාජය ඉදිරියේ මවා පෙන්වීම දුක්ඛදායක කරුණකි. අනික් දෙය නම් කතාව ආරම්භ වීමට පෙර 1818 කැරැල්ල ගැන කියන තරම් කිසිවක් කතාව තුල නැත. අවසාන හරියේදි යන්තම් කතාවට එය ඔබා ඇත. අසාර්ථක ෆැන්ටසියක සිට විකෘති, සමාජ විරෝධී, පාඨක මනස නිවී සැනසී සන්තෘෂ්ඨියක් ලබනවා වෙනුවට අප්‍රිය වී අප්‍රසාදය වැපිරී කියවු අපරාධය යැයි යන හැගීම ඉපදීම දුකට කරුණකි.

ප්‍රාථමික ලිංගික අරගලයක් ගෙනයමින් අභුත විකාරයක් තුල හිරවූ කර්තෘ තුමා ඔහුගේ ප්‍රථම නවකතාව හොඳම හොඳ මාකටින් න්‍යායක් බව පමණක් සඳහන් කළ යුතුය. එය පොත මුද්‍රණය කළ දින සිට අද වන තුරු ඔහු දක්ෂ ලෙස හසුරුවා ගෙන යන්නට මෙහි ගැබ් කර ඇති දේ මනා ලෙස පිටිවහල් වී ඇත. පාඨකයා සර්ව බලධාරියා කියමින් ඔහු ඇරඹුමේම අත පිස දමා ගන්නේ එබැවිනි.


Tuesday, May 6, 2014

හිතන්න...ඔබට බාරයි.

ජීවිතය කියන්නෙ නවාතැනක්..සංසාරෙ කියන්නෙ ගමනක්.. මේ ගමන යනවිට අපි විවිධ විෂම විපර්යාසයන් මැද ඉපදීම, ඇවිදීම, මිය යෑම ආයෙමත් ඉපදීම ලෙස නානප්‍රකාර ලෙස යන්නෙමු. කොහේ හෝ සංධිස්ථානයක ගැලපුමක් ලෙස මේ මනුසත් ලොව උපත ලබා ඇත. එහි ඇරඹුමේ සිට අවසන දක්වා වැඩෙමින්ද, වැටෙමින්ද අප යන්නෙමු. හමුවෙන, ලැබෙන,දැනෙන, වැරදෙන, හරියන මේ කෝකත් හිමි අහිමි කම යැයි බොහෝ දෙනා කියන ඇත. එහෙත් හිමි අහිමි කමටද හඬක් නඟන්නට අයිතියක් ඇද්දැයි දැන් මට සිතෙන වාර අනන්තය. එය ඔබටත් එසේම යැයි මා සිතමි.


මා මේ කියන්න යන්නේ සොඳුරු සෞන්දර්යාත්මක පැතිකඩක් නොව. අඳුරු දුක්බර යථාර්ථයක කැඩපතකි. මා උදාහරණයට මා ගනිමි. මගේ අම්මා කෙසේ හෝ මාසෙ මුලදීම පාසැල් යෑම සඳහා මට මාසික වාර ප්‍රවේශ පත්‍රය ( සීසන් එක ) අරන් දෙමි. එය නොපිරිහෙලා පුරා වසර 12 ක් ඈ අතින් සිදු විය. ඉඳින් කුසට අහරක් වැටුණද නොවැටුණද මගේ පාසැල් ගමන ස්ථිරය. අසනීපයක් නැහැදුනා නම් එය අනිවාර්යය. අපේ භාෂාවෙන් කිවුවොත් බුදු ෂුවර්ය. පයට සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක් තිබුණා නැතා දෙවියනේ කියා අපේ පාසැලේ ගේට්ටුව අපිට විවෘතය. උදෑසන රැස්වීමේදි අනන්තවත් මහ පොළව මහපට ඇඟිල්ලෙන් හාර හාරා උන්නු අවස්ථා අපමණය. එය ආපසු හැරි බලද්දී සිනහ යන්නේය. නිදහස් අධ්‍යාපනයේ පියාට පින්සිදු වන්නට අච්චු පොත් ටික නිළ ඇඳුම ලැබෙද්දී අකුරු කරන සිහිනය අපට සිහිනයක් නොවුණි. හැක වෙර යොදා දුප්පත් මව් පියන් වෙහෙස ගත්තේ තමන් නොදැකපු ලෝකයට තම දරුවන් ඔසවා තබන්නටය. ඒවා සාර්ථක විය. ඒ අහිංසක දුප්පත් අම්මලා තාත්තලා සිනහ විය. සතුටු විය. ඒ ඔවුන්ගේ දරුවන් සිප් කිරි බී නැණැති දනන් වී සමාජගත වන හන්දා.


එහෙත් අද අපේ රටේ නිදහස් අධ්‍යපනයක් ඇද්දැයි මට සිතේ. එය හුදෙක් ව්‍යාපාරයක් බව නොකියාම බැරිය. ජනාකීර්ණ කොළඹ සහ නගර අපි අපමතක කරමු. එහෙත් ඈත දුර හම්බන්තොට වැනි ප්‍රදේශයක දුප්පත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තම දරුවාට අකුරු ඉගැන්වීම අද සිහිනයක් වී හමාරය. මෙවැනි තත්වයක සිට එම දෙමාපියන්ගේ දරුවන් සමාජයට එද්දී මොනතරම් විපර්යාසයන් අනාගතයේදී වේදැයි මට සැක සිතේ.


මේ හොඳම සත්‍ය සිද්දියකි. දරුවා තුන්වන වසරේ ඉගෙනුම ලබයි. ඔහුට තිබෙන එකම සපත්තු දෙක දැන් දාන්නට බැරිය. ඒ පුංචි කකුල් තරමක් දික් වී ඇති නිසා. අම්මාට සපත්තු දෙකක් අරන් දෙන්නට බැරිය. හරියට කන්න නැතිව ඉන්න හිටින තැනත් මහ වැස්සට ගංගාවක් සේ වතුර පිරෙද්දී අර අම්මාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නට හැකියාවක් නැත. " අනේ අම්මෙ බනින්න එපා. මට මේ සපත්තු දෙක දාගෙන යන්න බැහැ. මේ මගෙ චුටි ඇඟිල්ල බලන්න. රිදෙනව." දරුවා දිය පට්ට ඇවිති ඇති කකුළ් දෙකම තම මවට පවසමින් පවසා ඇත. එහෙනම් පුතා හෙට සෙරෙප්පු දෙක දාගෙන යන්න කියා අම්මා පවසා ඇත. පහුවදා සෙරෙප්පු දෙක දාගෙන ගිය පුතුට පන්තියේ ගුරුවරිය සෙරෙප්පු දාගෙන එන්නට එපා කියා ඇත. පසු දිනත් දරුවා එසේ ගිය විට අම්මාට එන්න කියා ඇත පාසැලෙන්.. අම්මා කාරණය දන්නේය. එහෙත් ඇයට කරන්න දෙයක් නැත. අවසන ඇය දරුවාට පවසා ඇත්තෙ පුතේ ඔය සපත්තු දෙක අමාරු වුනත් දාගෙන යන්න. මයෙ පුතා පන්තියෙදි සපත්තු දෙක ගලවගෙන ඉන්න. මිස්ට කියන්න අම්මට සපත්තු දෙකක් අරන් දෙන්න විදිහක් නැහැ කියල. මෙහෙම මේ සිද්දිය වෙද්දි අහම්බෙන් මා ඒ මවට දුරකථනයෙන් කතා කලෙමි. ඒ මා ඇයට කාලයක් තිස්සේ උදව් උපකාර කරන බැවිනි. සිද්ධිය පැවසූ විට අවශ්‍ය සපත්තු දෙක මිළදී ගැනීමට මා මුදල් යොමු කලෙමි.


ඉන්පසු නැවත සතියකින් පසු මම එම මවට කතා කළෙමි. ඒ දරුවා දැන් සතුටෙන් පසැල් යනවද කියා අසන්නටය. අනේ අද දරුව පාසැල් ගියෙ නැහැ. ඒ මොකද කියා මා ඇසු විට ඉස්කෝලෙන් රුපියල් දෙසීයක් ගෙනෙන්න කියල. මේ වහිනව මෙහෙ හොදටම. දරුවව මම වෙන ගෙදරකට පිටත් කරල යවල තෙමෙන ගේ ඇතුලෙ මං ඉන්නෙ. ඊයෙ රැ ඉදන් උයාගෙන කෑවෙ නැහැ. උයන්න දේකුත් නැහැ. මුළු ගේම ගංවතුර වගේ..මැටි බිත්තිය දැන් වැටෙයි කියන බයකින් ඉන්නෙ. ඈ පැවසුවේ මෙයට සමාන වඳන්ය. ඉකි ගස ගසා හූ කිය තියා ඇයි මටම මෙහෙම වෙන්නෙ කිය කියා ඈ පැවසූ දේ අසා සිටින්නට මගෙ හදවත වාරු නැහැ. එහෙත් මා ඇයට කිවුවෙ අඩන්න එපා. ජිවත්වෙන්න තියෙන හයිය දියවෙලා යනව. කොහොම හරි ජිවිතේට මුහුණ දෙන්න කියාය.


ඉතින් මම අසන්නේ මෙයයි...


සපත්තු දෙක දාන්න බැහැ දරුවගෙ කකුළ ලොකු නිසා දිය පට්ට එනව. සෙරෙප්පු දෙක දාල යැවුවම දරුවගෙ අම්මව ඉස්කෝලෙට ගෙන්වනව. ප්‍රින්සිපල් ලගට දරුවව ගෙන්නල තරවටු කරවනව. ඊලග දවසෙ දරුව බැනුම් අහන්න බැරි නිසා ඉස්කෝලෙ යන්න බැහැ කියනව.



ඊට පස්සෙ හැමදාම රුපියල් පනහයි, විස්සයි , සීයයි, දෙසීයයි අරක මේක. සතියෙ දවස් පහට මොනව හරි පස් දෙයක් තියෙනව. . ඉන්න ගේ දණක් වතුර පිරෙද්දි දරුවගෙ ඉස්කෝලෙන් රුපියල් දෙසියක් ඉල්ලද්දි ඒ අම්මගෙ තත්වය කොහොම ඇද්ද...



ඇයි අද දරුවෙක්ට නිදහස් අධ්‍යපනය ලබාගන්න අවස්ථාවක් නැත්තෙ... මෙහෙම බිස්නස් මට්ටමට අධ්‍යාපනය වැටුනෙ ඇයි...හැමදේම යමක් කමක් තියෙන මිනිස්සුන්ට විතරමද.. ලෝකෙට කෑගසා කියන ආශ්චර්යය මෙයමද.. ලෝක තරුණ සමුළුව හම්බන්තොට පවත්වද්දි හම්බන්තොටම අනාගතයෙ තරුණයෙක් වෙන්න ඉන්න දරුවෙක්ට උරුමය වී තියෙන්නෙ මේකද...? හිතන්න ඔබට බාරයි.