Wednesday, July 23, 2014

පැරදුමෙන් දිනපන් දුවේ.

නිමිත්ත -
------------------
"නාවික හමුදාව විසින් වටකරගෙන තිබෙන කාරයිනගර් ඌරි ගම්මානයේ මුල්ලක ජීවත්වූ පවුලක ඉපැදුනු දුවේ, ඇඟපත වෙව්ලන නුඹේ පියාට රැකියාවක් නැත. මවගේ කුලී රැකියාව විස්වාසකර ජීවත් වන පවුලකි,

දිළිඳුකමින් ජීවිතය ගෙන යන පවුලක අන්තිම දරුවා නුඹයි, නුඹ එකලොස් හැවිරිදි කුඩා මොට්ටුවකි, දුව පැන සෙල්ලම්කර ඉගෙනුම ලබාගත යුතු ළදැරියකි, මිනිසුන් නැති පාළු කැලෑබද පාරකින් දිනපතා පාසල් යන එන නුඹව ඉලක්ක කර නාවික හමුදා සෙබළුන් පැහැරගෙන ගියෝය. ඔවුන් තම ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට තැත්කළ විට නුඹ අඞා වැලපී තිබේ... විරුද්ධවී... ප්‍රතික්‍ෂේපකර තිබේ... නමුත් ඔවුන් නුඹව අතහැරියේ නැහැ, පිහිය පෙන්වා බෙලි කපනවා මරනවා යැයි තර්ජනය කර තිබේ, එම පාරෙන් ගිය වයසක පුද්ගලයකු නුඹේ අඞා වැලපීම දැක “කුමක්ද කරන්නේ පව් ඇයව අතහැරින්න“ යැයි ඉල්ලා තිබේ. නමුත් සෙබළුන් තර්ජනය කිරීමෙන් බියට පත්වූ ඔහුද එතැනින් ඉවත්ව ගොස් තිබේ."
____________________________________________

පෙරී එන හිරු රැස් යටින් නුඹ
වෙලාගත්තේ බියකරුම වලසෙක්
හැරී බලලා යන්න දන්නැති
දුවේ මලකට පිපෙන්නට තහනම්

කුසේ ගින්දර
ඇසේ පතුලෙන් නොදුටුවට
නුඹේ අම්මා කඳුළුයි දියකලේ
ඇයගෙ හද,
ගිනි ගන්නවා ඇති නොදැක්කට
නුඹේ බර,
ඈම පමණයි ඉහිලුවේ

"ඌරි" ගම් මැද ඌරු ගඳකට
නාස් හකුලන්නට බැරි යුගේ
කාසි බලයට නාකි හිවලට
හැකියි කන්නට තව මිදි වනේ

දෙව් සඳිසි මිත් කැළක් යැයි
කිය කියා පැන් කළ වත්කලේ
හව්හරණ නැති බිම් මලට ඇයි
පා පහස දී උඹ පොඩි කලේ

ලොවේ දහමක් කියා ඇත්නම්
අනේ පල දී උඹ පැලී මැරියන්
දුවේ වැරදුණ තැනින් නැගිටින්
අයුක්තියකට හෙට හඬ නගන්.


විස්තරය කියවන්න මෙතනින් 

Monday, July 14, 2014

සයිප්‍රසයේ ලංකාරාමයේ අතීතාවලෝකනය

" චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය...බහුජන සුඛාය අත්තාය හිතාය "

හිමිදිරියේම ලා හිරු රැස් දහරින් සම්බුදු සිරි පතුල් සිප නහවමින් දිනිසුරු පියමන් කරන්නේ ලොවම ආලෝකමත් කිරීමටමය. අතුපතර විදාලූ සුවිසල් තුරුහිසේ සිට භූමස්තකයෙහි පෙනෙන නොපෙනන තරමින් හිස ඔසවන්නා ලපටි පැලෑටිය තෙක් පළබර වන්නේ ලොවටම පුදන්නටය.. මිහිමව සනහාලමින් සිසිල ඛෙදමින් දිය කඳුරක් පවා ගලා බසින්නේ ලොවක පවස සංසිඳුවන්නටය.. ස්වභාවදහමේ සියලු සංසිද්දීන් තුලින් බැලූ බැල්මට ගම්‍ය වන්නේ සරල සුගම බවක් වූවත් ඒවා සාක්ශාත්වීම තුල ගැඹුරු හේතුඵලරූපී බවක් ඇත. එනම් හුදෙක්ම පරාර්ථචරියාවමය. එයින් ලොවට පුදනවා මිස ඉන් ලබාගන්නා දෙයක් නැති තරම්ය.

එලෙසම ලොවට දීම මිස ඉන් ගනු ගැන නොසිතන උත්තුංග පාරමිථාවේ පරාර්ථ සිතුවිල්ල ගැන ලොවට දේශනා කලේ අප ගෞතම සම්මා සම්බුදුරදුන්මය.. ඒ සම්බුද්ධත්වය ලබාගෙන ප්‍රථම ධර්මදූත කණ්ඩායම ලෙස රහතුන් වහන්සේලා සැට නමක් අමතමිනි.. —මහනෙණි බොහෝ ජනයාගේ හිත සුව පිණිස ගම් නියම්ගම් සිසාර ධර්ම චාරිකාවේ වඩින ලෙසද දෙදෙනෙකු එක මග නොයන ලෙසද උන්වහන්සේ දේශනා කල සේක.. බුද්ධ අනුසාශනාව එලෙසම ඉෂ්ට කරමින් අද්‍යතනයේද  බුදු පුතුන් එමග යන්නේය.. දේව වාදී යුරෝපයේ ග්‍රීක දෙවඟනගේ සුරතලිය වන් සයිප්‍රසයටද එවන් එක් බුදු පුත්‍රයාණෝ නමක් වැඩම කළහ. අපට දැනෙන ලෙස පැවසුවහොත් සයිප්‍රසයට බුදුන්ගේ දහම් පනිවුඩය රැගෙන ආවේ බුදු පුතෙක්මය..


මෙතැන් සිට ඇරඹෙන්නේ ඒ සදහම් චාරිකාවේ සුවඳ දිගහැරුමයි.. මොරවක සෝරත හිමියන් සයිප්‍රසයට ගොඩබැස්සේ අප මෙන්ම කිසිවක් සතුව නොවේ.. හිස් අතින් වූවත් උන් වහන්සේගේ සිත පිරී තිබුන්නේ උතුම් බලාපොරොත්තු ගොන්නකිනි.. ඒ 2005 වසරයි.. උන් වහන්සේගේ ආගමනයත් සමග සයිප්‍රසයට දහම් වසන්තයේ පෙරනිමිති පහල වන්නට විය.. 2005 වසරේ ජූලි මස 10 වන දින සයිප්‍රයසයේ සීතා උද්‍යානය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගියේ සදහම් සුවඳක් සොයමින් සිටියවුන් කෙතරම්දයි පසක් කරමිනි.. ඒ ආනුභාවයෙන්  සයිප්‍රසයේ බෞද්ධ සංගමයක්ද ස්තාපිත කෙරිනි.. ස්විස්ටර්ලන්තයේ වැඩවසන ස්වාමීන් වහන්සේ නමක් ඇතුලුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එදින සයිප්‍රසය බුදු සසුනේ තවත් කේන්ද්‍රස්ථානයක් විය.. සයිප්‍රසයට අමා වැසි වසින්නට වූයේ එතැන් සිටය..


සුදු වතින් සැරසුනු දස දහස් ගනනක් සෙනග පිරිවරාගෙන සීතා උයනේ ඉදිකල දම් මණ්ඩපයක බුදු සුවඳ පතුරවන මල් පිපුනි.. කුලී පදනමට ගත් ස්ථානයක බුදු කුටියක් නිමවා ලක්දිවෙන් වැඩම කල බුදු පිළිම වහන්සේ තැම්පත්කොට පුද සත්කාර සියල්ලද ඉටුකෙරිනි.. සෙත් පිරිත් සජ්ජායනා මැද රෝපණය කල පැලය අද නාඹර රුක්ෂයක් විලසින් අතු විහිදුවා නැගී සිටී.. මූල බීජය රෝපණය කිරීමේ සිට අතුපතර සිලිසිලිය නගමින් වැජඛෙන අද දින දක්වාම ඒ දෙස බලා සිටි මාගේ හිතට දැනෙන ශාන්තිය මෙපමනැක්යැයි කිව නොහැකි තරම්ය.. රටක බුදු සසුනක් පිහිටවීමේ එවන් පූජණිය මොහොතකට සම්පත් දායකත්වයෙන් ශ්‍රම දායකත්වයෙන් සහභාගීමට  වරම් ලැඛෙන්නෙ පෙර පිනක් නිසාම බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.. ඒ මොහොත මා සන්තානයේද සදාතනික දහම් සමරුවක් ලෙස තැම්පත්වී හමාරය.. එය මතක් වන වාරයක් පාසා සිත නිරාමිස ප්‍රීතියෙන් ඇලලී යයි..


තමන් ශීලයේ පිහිටමින් අනෙකාවද ශීලයට යොමුකරවන්නට මහ හෙලි කරමින් ක්‍රිස්තියානිය මූලික කරගත් රටක සමාජයක ඇවිදීම උඩුගං බලා පිහිනීමකි.. බැලූ බැලූ අත කඳු මිස පල්ලමක් දක්නට නොලැබිණි.. එහෙත් ඒ අවදානමට මනා සූදානමකින් යුතුව ඉවසිලිමත්ව බුද්ධිමත්ව අපේ හාමුදුරුවන් පිය නගන සැටි ලෝකවාසී සියලු බෞද්ධයන්ට අපූරු ආදර්ශයකි..


සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය පන්සල බව නොරහසකි.. අවිඳු අඳුර දුරලමින් එයින් දැල්වුන බුදු දහම නම් පහන්සිලේ ආලෝකය අද විශ්වය පුරාම විහිදෙමින් පවතී.. ලක්දිවේ චතුර ධර්ම කථිකයන් වහන්සේලා මෙන්ම අර්ථයෙන් දහමෙන් පෝශිත ස්වාමීන් වහන්සේලාවද සයිප්‍රසයට වැඩම කරවමින් එදා මෙදා තුර සිදුවූ විදු ඇස අවදිකරවීමේ මහා ක්‍රියාදාමය අද සුවහසක් ජනී ජනයාගේ ආලෝකයටම හේතුවී ඇති බව පැහැදිලිය..
එපමනක් නොව කලා රස හඳුනන ලක්දිවේ දක්ශ පරිනත කලාකරුවන් කැන්දාගෙනවිත් වසරකට වරක් පවත්වන සිංහල අවුරුදු ගම්මානය මුලු ලෝකයේම ජීවත් වන්නන්න්ට පමනක් නොව සිංහල අවුරුද්ද නාඩගමක් කරගෙන ඇති ලංකාවටද කදිම ආදර්ශයකි.. ලක්දිවේ පවා වියැකී දියැවී ශේෂවී යන ජන ක්‍රිඩා ජන ගායනා ඇතුලු සියලු හරවත් තෙදවත් හෙළ දේශීය අභිමානය සයිප්‍රසයේ ලංකාරාමයට හිමිවී ඒතුල ආරක්ෂාවී ඇති බව ආඩම්බරයෙන් පවසන්නට අවශ්‍යමය.. ඒ අරුමය පිළිබඳ තුඩ තුඩ රැව් පිලිරැව් දෙමින් දනන්ගේ ප්‍රසාදය හිමිවන විට රහසින් කඳුලක් පිස දමමින් සතුටු වන අවස්ථා මෙය ලියන මටද නැතුවාම නොවේ..


මේ වසරේ දසවන වරටත් වස් ආරාධනාවට සූදානම් වී සිටින සයිප්‍රසයේ ශ්‍රිලංකාරම දායකයින් අද තමන්ගේම කියන තැනක හයියට විරාජමානව ස්ථාපිත වී හමාරය.. කුලී පදනමේ බර කලක සිට කර තියාගෙන යමින් තමන්ටම කියා තැනක්ද ගන්නට තරම් මෙහි සිටින ශ්‍රිලාංකිකයින්ගේ එකමුතුවත් ධෛර්යයත් සමත්විය.. 


අව්වට වැස්සට දියවෙන යෞවනත්වය පමණක් නොව වින්ටර් සම්මර් ඍතු වලට දෑත්වල පිපෙන කර ගැට රටාවලින් ඔවුන් මේ පුදබිම සවිමත් කරවු බව කවුරුත් දනිති.. සමගියේ සවියෙන් අර්ථ සම්පන්න පුෂ්පයක් ඇත්නම් ඒ සයිප්‍රසයේ ශ්‍රිලංකා බෞද්ධ සංගමයයි.. නොහැක්කක් නොමැති බව ඔවුන් බොහෝ අවස්ථාවල පෙන්වා දී හමාරය.. ඒ සියල්ලට පෙරගමන්කරු වන්නේ පන්සලේ වැඩ වසන නායක ස්වාමීන් වහන්සේත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාත්ය..

ධර්මය පිපාසිත දනන්ගේ විඩාව සංසිදුවමින් පුස්තකාලයක්ද මනාව කලමණාකරනය කරමින් ධර්මඥනය ඛෙදීමේ කර්තව්‍යයද මෙහිදී සිහිපත් කළ යුතුමය. එයින් ඵල නෙලා ගත්තෝ සිය දහස් ගණනකි. මනා ගිහි පැවිදි සම්බන්ධයක් පවත්වා ගනිමින් සියල්ලන්ගේම අධා්‍යාත්මය පෝෂණය කරමින් කාර්ය බහුල ජිවිතවලට සැනසිල්ලේ අමා වැසි පුරා වසර නවයක් පුරාවට වැස්සිනි. දිනෙන් දින මේ කර්තව්‍යය වැඩි දියුණු වුවා මිස අඩු වුයේ නැත. ගිහියන්ගේ දිවි මග සාධනීයව ඉහළ ස්තරයක රඳවන්නට දිවා රෑ නොබලා වෙහෙසවන පෑලැම්පිටියේ මහින්ද පොඩි හාමුදුරුවන්වද මෙහිදී නමස්කාර පූර්වකව සිහි කළ යුතුමය.


මෙලොව අවිද්‍යාව ඇසුරු කරන බහුතරයක් සහ නොයෙකුත් ප්‍රාතිහාර්ය වදන් පවසමින් දනන් මං මුලා කරවන මිනිසුන් පිරි යුගයක මේ බුදු පුතුන් සයිප්‍රසයේ ශ්‍රිලංකාරමය තුල සිදු කරන හරවත් සමාජ සත්කාරයන් අභිමානනීයය.. ප්‍රශංසනීයය.. ඇගයුම් කළ යුතුමය.. විදේශිකයින් පවා පැමිණ දහම් සුවඳ විඳගෙන යන සයිප්‍රසයේ පිංකෙත චිරාත් කාලයක් පවතීවායි යන්න අප කාගේත් පැතුමය.. පැහැදුණ වුන්ගේ පැහැදීම වැඩි කරමින් නොපැහැදුණ උන්ගේ පැහැදීම ඇති කරමින් සම්බුද්ධ ශාසනය පවතින තාක් කල් මේ බිමද පවතීවා...

වසර නවයක සාංවත්සරික පිය සටහන් සවිස්තාරාමකව ලිවීමට හැකි වුවත් එය ඔබට මෙසේ පෙළ ගස්වා තබමින් මෙම සටහන මා නිම කරමි. තෙරුවන් සරණයි.
01)   2005 වසරේ ජුලි මස 10 වන දින තෙරුවන් වැඩ සිටින පන්සලක් ආරම්භ වීම


02)   2005 වසරේ පළමු වරට සඟරුවනක් සයිප්‍රසයේ වස් වැසීම ඇරඹිම.


03) ශීල භාවනා වැඩසටහන් ආරම්භ කිරීම
      ( සෑම පොහෝ දිනක්ම සයිප්‍රසට නිවාඩු දිනයක් නොවුවත් සෑම මසකම පොහොයට සමගාමීව එළඹෙන ඉරු දින පැවැත්වේ. දැනට පසොලොස්වක දින 84 ක් මෙය නොකඩවා ක්‍රියාත්මක කර ඇත.)


04) ලංකාරාම පුද බිමට බෝධින් වහන්සේ නමක් වැඩම කරවීම


05) සමාධි පිළිම වහන්සේ නමක් වැඩම කිරිම.


06) ගර්භ නිධානයත් අටවිසි බුදු මැදුර විවෘත කිරීමත් එක දා සිදු විය


07) දැනුම කුශලතාවය දියුණු කරවන්නට පුස්තකාලය පිහිටුවීම


08) දුකේදී මෙන්ම ඇවැසි අවස්ථාවක පන්සල උපදේශන මධ්‍යස්ථානයක් වීම


09) විවිධ හේතුන් මත අසරණ වුවන්ට හැකි සීමාවේ සිට පිහිට වීම


10) ගුවන් අනතුරින් මියගිය අයට පුන්‍යනුමෝදනා කිරිම ( ලොවම කම්පා කරවමින් සයිප්‍රස් ජාතිකයින් 

එකසිය පනහක් පමණ ජිවතක්ෂයට පත් කරවමින් සිදුවු ගුවන් අනතර)

11) සයිප්‍රසයේ කඨින මහා පිංකමත් වීථී සංචාරය කරමින් කෙරන කඨින පෙරහරත් සෑම වසරකම නොකඩවා සිදු කිරිම. දැනට වසර නමයක් සිදු කර ඇති අතර දසවන වස් ආරාධනාව මෙම මස සිදුවේ. )


12) සයිප්‍රසයෙ ශ්‍රි ලංකාරාමය තුළ දහම් පාසැල ක්‍රියාත්මක වීම (දෙස් විදෙස් සියළුම දරුවන්ට )


13) දෙවන බෝධි රෝපණයද ලිමසෝල් නගරයේ අපේම බිම් කඩක රෝපණය කිරිම.

සටහන - දිනිති දීපිකා


2014/ජුලි 13 ඉරිදා සිළුමිණ  

මෙන්න ඔන්ලයින් බලන ලින්ක් එක මෙතනින්







2014 ජුලි 14 සදුදා ලක්බිම.  



මේ අපේ පන්සලේ ඡයාරුප කිහිපයක්.





අපේම කියන පන්සල



සමාධි ප්‍රතිමාව



බෝධින් වහන්සේ.



චෛත්‍ය වහන්සේ සහ අටවිසි බුද්ධ මන්දිර

                                    ආගමික වැඩසටහනකදි




                                                දහම් පාසැලේ අවස්ථාවක්.


            දහම් පාසැල් දරුවන් සමඟ ස්වාමීන් වහන්සේලා


                    

 අපේම තව ඉඩමක තවත් බෝධින් වහන්සේ නමක් රෝපණයකිරිම.

Tuesday, July 8, 2014

ලොවේ හැටි ඔහොමයි.

පැතලි වැතිරුණු නෙලුම් කොලයට
ඇඟිළි ඇන ඇන පිනි බිඳක්
කැරලි ගසමින් සිනහ එක්කොට
සරැලි නංවයි ලද ඉඩෙන්..

අසල ගැවසුණ දිගැටි හොටකින්
නිසල දිය වෙත පහර ගැසුමෙන්
සසල පත්‍රය බියෙන් වෙව්ලා
ගසල දැම්මා උඩඟු කරුවන්.

එසැණ ළඟකින් ඇවිඳ ගිය නල
විගස අත්පුඩි තාල තියමින්
කරන්නට බැරි හරිය මේ මට
කරපු විහඟට තුති නඟයි

සියල් හැරවුම් එකම ලෙසකට
දරාගෙන සිටි දිය කඳම්බය
විසල් ලෝකයෙ රැදුණු පැතිකඩ
ඔන්න ඕකයි කීවෙ නිහඩව.

Thursday, July 3, 2014

කට කහනවට


හේමමාලා කොණ්ඩෙ අස්සක සඟවගෙන ආ වට දතක්
කිසිම දවසක අල්ලන්න බැහැ වුනෝතින් නුඹ නම් ළඳක්
හතර පේරුව දණ ගසාගෙන කියන විට පම්පෝරියක්
අතුරෙ යන බොදුනුවන් අපෙ නොදුටුවේ ඇයි සැණකෙලි බිමක්


දන්ත කුමරුගෙ අතින් අල්ලා නටන රෂියන් සුදු කතක්
තිසර තණපට තිබුණ එකවත් කියන්නට බැරිවෙන සැකක්
පුංචි සමනල පැටවු ඉගිලෙන විටදි මළුවෙන් දිස්නයක්
දැකපු උන් දණ ගසා වදිනවා හැරි හැරි පුදුම ගතියක්

වැවේ සැනහුනු මාළු ඇවිදින් මත් වෙලා ඇස් පියවෙන බවක්
අනේ කවුරුත් දන්නෙ නැහැ නිතර ඇහෙනා පිරිතේම බලයක්
ඇසේ රිදවුම් දරා බහිරව කන්දෙ පිළිමය හිටියට රැයක්
වනේ වන හතුරෙකුටවත් ඔය ලෙස වෙනු එපා කිසිදු නපුරක්

සිව් දෙසින් සීරුවෙන් හිටියට මහා හිමිවරු පුටුවට බරක්
ඇස් ඇරන් හිස දන් දුන් මද්දුම කුමරුට වුනේ නම් කැළලක්
ගුණේ පිහිටයි ඇතා නිතරම ඉන්නෙ දම්වැල් දමා ගොන්නක්
ලොකු පුතා රජවෙච්ච දවසට දායි ඔතනම තව පාටියක්

Tuesday, July 1, 2014

එන්න ගීතයක් අහමු..

"ගැහුණු ළමයි කවදත් අහංකාරයි. ඒත් පිරිමි ළමයෙක් අහංකාර වුනාම තරහයි ..දුකයි..රිදෙනව. ඔව් අයියෙ මටත් හොඳටම දුකයි.

ඔහොම ලොකු කම් පෙන්වන්නෙ කාටද ඔයා..?
ඔයාටනෙ....
මං නිසාම හොදයි නේද...
ඔව් ඔයා හින්දම තමයි...
අනේ යනව යන්න....
මං තියනවා...
හා... බුදුසරණයි.

හප්පේ ආයෙමත් පපුව රිදෙන්න ගන්නව. රෑ එළිවෙනකම් ආයෙ රෑ වෙනකම් දකින සිහින ඔක්කොම කඩා වැටෙනව. මොකක් හරි හේතුවක් හදාගෙන කතාකරන්න අවස්ථාවක් ගන්නෙ මං කොච්චර අමාරුවෙන්ද.. ඒ අවස්ථාවත් විනාඩියක්වත් නැහැ. මේකා නම් පුදුම පිරිමියෙක්.. ගලක්ද මන්දා පපුවෙ තියෙන්නෙ. මං මටම කියාගන්නව.
කොච්චර මෙලෙක් කරන්න හැදුවත් තව තවත් ගනන් උස්සන හැටි.

නටාගන්නව. මං අද ඉදන් මොනම හේතුවකටවත් කතා කරන්නෙ නැහැ. ඔයාව හමු වුනත් මඟ අරිනව. ඔව් ඇත්තමයි. එයාට විතරක්ද ලොකු කම් පෙන්වන්න පුලුවන්. හුහ් .. මටත් පුලුවන්. හරි බලමුකො කවුද දිනන්නෙ කියල. දවසක ඔයාටම කතා කරන්න වෙයි. එතකන් මං ඉවසගෙන ඉන්නව. දින සති මාස අවුරුදු ගණන් ගියත්. මගෙ හිත රිදෙයි ඉතින් ඇතුලින්..මගෙ ඇස් ඔයා පස්සෙ පන්නයි. මං දන්නව මගෙ හිතේ තියෙන හැම දේම මුහුණෙන් පේනව කියල. ඒ වුනාට කමක් නැහැ. මං දරාගන්නව ගන්නවමයි.
ඔන්න ඉතින් මං මගෙ හිතටම කියා ගත්ත"

අද වත්මනේ ඉදන් සිහිවෙද්දි පුදුමත් හිතෙනව. ඒ අහංකාර ප්‍රථම ආදරේ. අපි කාගෙත් නොමැරෙන සිහිවටනයක්. එකී ප්‍රේමයේ වියෝව ගැන සරල දැනෙන බසින් මේ සුගායනීය ගීතයෙහි පද රචනය ධම්මික බණ්ඩාරයන්ගෙන්ය. සුමියුරු සංගීතය ඩෙනිෂ්ටර් පෙරේරාගේය. එදත් අදත් කවදත් මා වශීවන ගායන හඬ අමරසිරි පීරිස්ගේය. වචනින් වචන මා පැහැදිලි කරන්න යන්නේ නැත. මගේ ප්‍රථම ප්‍රේමයේ වචන අතරින් ඔබ ඔබේ ප්‍රථම ප්‍රේමය සිහියට නංවා ගන්න. ඔබෙ ්මනසින් ඔබ විදියි කියා මා සිතමි.

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....

පාසැලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේලියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්..

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....

මතක ගොක්කොළ රැහැන් අතරින්
යලි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලියා මල් මිටක්...

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....



ගීතය මෙතනින් අහන්න. මේ යූ බටේ..