Saturday, February 23, 2013

වසන්තය එනව ඇත්තයි.



රාත්‍රිය නම් විසේකාරයි
එහෙත් ආදරණීයමයි
සලුපිලි ලිහන් ගහකොළ
අතපය විහදන්නෙ ඒකයි....

සඳ දිය නහවලා මල්
පෙති දෙපෙති විහිදයි
රෑ කුරුල්ලන් හිඟ මුත්
'හ්ම්' හඩ වුනත් මිහිරියි...

තණ පලස්වලට නොරිදා
පිනි බිංදු ඇස් අරියි
කණාමැදිරියො ලතාවට
රංඟනය අරඹන්නෙ ඒකයි...

වළාකුළු හුවමාරු වෙන
ගමනාන්තද නොනවතියි
එකිනෙකට නෙතු සල
කඳු පන්ති සඳ සිප ගනියි...

හිරුත් නොදුටුව අහුමුලු
විටක තරුපතිට හමුවෙයි
එහෙත් නොකියම හෙමින්
පිරිමඳියි නොරිදෙන්නෙ ඒකයි...

ලා එළිය දළු දමන මැදියමයි
හදවතක් පුබුදුවන හැඟුම් බෝමයි
සිනිඳුවට පිරිමැඳ පෙරාගත්තොත්
වසන්තය හිමිවෙනව ඇත්තයි...

Wednesday, February 20, 2013

ආදරණීය හදවත් ඇති මිනිසුනේ

                සිනාසෙනකොට වළ ගැසෙන කම්මුල් හිමි ඈ වාසනාවන්තියකි. පිටට මුදාහල කෙහෙ රොඳක් සුළග ඇවිදින් සිඹ ඉස්සී පැද්දී යද්දී ඈ රුවැත්තියකි. මලක් වගේ මුදු හිතක් ඇත්තිය හසරැල් පිරුණු මුවඟින් නිතරම සිටින බව මට විශ්වාසය. මේ ජීවිත ගමන් මගේ ඈ හමු වූවා තමයි. ඒ සයිබර් ලෝකයේදී.. කවමදාවත් හැබැහින් නොදැක්කත් ඒ සොඳුරු වත ඡායාරූප වලින් දකින මට ඇගේ ගැන කොහොම නම් කියන්නද... එක දිගට රණඩු කෙක්කක් වගේ මා එල්ලෙන් ඈ සමඟය.. සමහර විට හිත රිදෙයිද දන්නෙත් නැහැ නේද කියල හිතුනත් ඇයත් මං වගේම රණඩු කර සතුටු වන සිතක් ඇත්තියක නිසා විරසක නොවන බව පැහැදිලිව මා තේරුම් ගත්තාය...

                දහස් ගණන් මිනිසුන් හමුවන අන්තර්ජාලයේදී නංගියෙක් නැති මට ඇයත් මගේම නංගියෙක් විය. මේ ඒ සොඳුරු රුවැත්තියයි..
                                සිංහල භාෂාවේ මොන තරම් ලස්සන වචන තිබුණත් ලියාගන්නට බැරි තරම් හිත හිරවෙන එක අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතීතය එක්ක හිත හූර හන්දාමය. එහෙත් ඔබට මෙය කිව යුතුමය. මේ පුංචි නංගි කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හදාරන්නියකි. හැමදාම ඔලුව කැක්කුමයි කිය කියා හිටිය ඇය මිග්‍රෙන් වලට ප්‍රතිකාර ගත්තත් දිනෙන් දින වැඩි වුන හිස රදය නිසා ඇය MRI පරීක්ෂාවකට ලක්විය. එතනිදී තහවුරු වුනේ ඇයට පිටියුටරි ග්‍රන්ථියේ ඉඳිමුවක් බවය.  එහෙම පිටියුටරි ග්‍රන්ධිය ඉඳිමුවක් ඇතිවීම සම්බන්ධව සහ ඒ පිළිබද අවධානම් තත්වය ඔබට මෙතනින් කියවා දැන ගත හැක.
http://goo.gl/V8L0u

ඉතින් විස්තර කියවල ආව නේද...තේරෙනව නේද මේ නංගි ගැන ඔයාලට... ඇයවත් ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි කියල තමයි වෛද්‍ය නිර්දේශය. ඒ සදහා අපට තියෙන්නෙ මාසයක් වගේ කාලයක්...

              මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අත්වැල් බැදගමු... සන්තක වත්කමම අපි ඉල්ලෙන්නෙ නැහැ. දවසට වියදම් කරන රී ලෝඩ් එකකට දාන රුපියල් 100 ක්... එහෙම නැත්නම් ඔබ චොක්ලට් එකක් අයිස් එකක් කන මුලදක් වගේ දෙයක් විතරයි. එක දවසකට ඔය දෙයක් නැති වුනාට ඔබට පාඩුවක් නැහැ නේද.. එයින් තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරෙනව නම්.... මං දන්නව ඔයාලට බැරි නැහැ කියල....පුලුවන්.. කොයිතරම් සමාජය නරකයි..කුහකයි..විෂමයි කිවුවත්... තවමත් දුකේදී විපතකදී උණුවෙන...පිහිට වෙන හදවත් අපේ මිනිස්සුන්ට ඉතුරවෙලා තියෙනව... මේක කියවල අහක බලාගෙන වෙන පිටුවකට යන්න එපා... ඇය වෙනුවෙන් එකම එක රුපියල් සියයක් දෙන්න කියල මං ඉල්ලනව..  
 කවමදාවත් සයිබර් අහසෙදි මම ඔයාලගෙන් කිසිම විදිහකින් මෙහෙම දෙයක් ඉල්ලල නැහැ. එහෙත් ඈ වෙනුවෙන් මම ඉල්ලනව. ආදරණීය මිනිසුනේ අපි ඇයව රැකගමු... අපිට පුලුවන් ඒ දේ කරන්න... 

මේ පිළිබද වැඩි විස්තර මෙතන තියෙනව බැංකු ගිණුම් සහ සියල්ලම. 


ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  

 
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.





Sunday, February 17, 2013

සීගිරිය රැකි බඹර රැහේ නායකයෙක් තම බඹර පුතු අමතන ලඳි

( එදවස සීගිරියෙහි ආරක්ෂාව සැපයූ සේනාසංවිධානය මෙකළ බඹර රංචුව යැයි මතයකි. අවාසනාවකට උනුන් අල්ලා කැළයට ගිහින් දමා ඇත. එහි ප්‍රථිපලයක් ලෙස සීගිරි චිත්‍ර නොදන්නා කෘමින්ගේ හානියට මුහුණ පා ඇත.)
_________________________________________________

 එකෙක් පාඟා මරා දමමින්
තවත් කෙනෙකුන් නැගී සිටිනා
පුරුද්දක් හැමදාම තිබුණා.
එතනදියි ම'පුතුනි හැරවුම් ලක්ෂය වෙලා
බොහෝ රැලි පෙරලිලා එන්නේ...

සිව්කොනම දේශයක රකින එක
නිරිඳෙක්ගෙ යුතුකමක්මය.
කිළිපොළා ඇවිලෙන දේශානුරාගය
එහෙව් වැසියන් හටත් උරුමය.

දුවා දරුවන් හැඬි දැඩිව ඇත්නම්
හිතේ සතුටින් දන් දුන් නිසයි අදත්
මෙ'බිම සතුටින් තියෙන්නේ.

දිව රැයේ නෙතු පියා නොගෙනම
කොහෙන් ඒවිද සතුරා බලන්නේ
එහෙව් නිරිඳෙක් රැකපු හන්දයි
ලොවේ මවිතය තවත් ඇත්තේ.

හිසත් ඇළකර ඔහොම හිනැහී
එපා පුතුනී බලන්නට ම'දෙස
මස්තකය පර්වතයෙ නන් සැපින්
සුව සඳන සුරපුරක් වැන්නේ.

තටු ගසා ඇලිමැලි නොවි පුතුනි
මානගෙන නෙතු හිඳිනු මැනවි
අවි උඹේ සිහි මඳ නොකර.
එහෙම වුවොත් උඹට හැකිවෙයි
නීල දිඟු ඇස් සොඳුරු ලාලිත ළඳුන්
සිනාසෙන මෙබිමම රකින්නට.

නපුරු දුදනන් ඇවිත් පරදා
ගත්තොතින් උදුරලා උනුනතට
අපේ දහඳිය හෙලු මෙබිමම
හඬා වැළපෙයි සත්තමයි පුතුනේ....

Thursday, February 7, 2013

හිතට එනවට ලියන කවි

බයක සෙවනැලි පිටක නැතිමුත් ඇතුළු හදවතෙ ඇවිදිතී
හෙටක අරුණලු දකිනු රිසියෙන් තව තවත් හිත් දොඩවති
එහෙත් සමහර ඵලත් අහිමිව ගසුත් හිටි ගමන් වැටෙති
කාට කිව හැකිද අත්විදි අදුරු මූසල නැවත නොඑතී

බෝගසක කොළ බිමට විතරයි හැරි හැරී රඟ දෙවන්නේ
බෝ සතුන් හට සිල් සුවඳ මතක් වන්නට කලක් යන්නේ
ටයර් දර සෑයවල් ගස් බැදපු හැටි ඇස් අපෙ දුටුවනේ
එහෙත් ඟං දියෙ පාවෙලා යන තවත් ගෙඩි කවුද දන්නේ

ඉරේ තැවරෙන රක්ත වර්ණය පෙනි පෙනිත් ජවයෙන්ම සිටිති
සඳේ සිහිලැල් ගුණය කිසිදින අධිරජුන් ඔබ හටත් නොදෙති
මඩේ සිටවු ලීයකින් කිසි ප්‍රායෝජනයක්ද නැති වෙති
එහෙත් ඇට නැති දිවක් හිමි වුන් රටේ ඉහළම තැනක හිඳිති

උතුරු සුළගින් හමා එන සුව දකුණටත් උරුමයම වන්නේ
පයට පෑගෙන දූවිලුත් පිස දෙන්න සමහරු දිවයි දෙන්නේ
තණ බුදින ගවයන් කොහොම සාලයේ නම් අපි රඳව ගන්නේ
හෙටත් හිරු එන එක එනවමයි වරද කවුරුද අනෙ සොයන්නේ

මගේ උරුමය මටයි උරුමය කිය කියා ගර්ජනා කරතී
රටේ ගහකොළ උඳුර ගන්නට නීතියක් මොකටදැයි සිතතී
ඔබේ හුස්මත් මගේ හුස්මත් එකම තාලෙට උඩ යට යතී
අනේ දෙවියනෙ කියනු බැහැ හෙට කාලයට ලොව නැවතුම් නැතී

Sunday, February 3, 2013

*** රාහු අපලය ගමට ඇවිදින් ***

එකෝමත් එක අතීතේ දවසක
නිදි කුම්බ අතු හිරි වට්ටවා
තණපලා කොළ කඩ කඩා ගිය
දෙවැට ළඟ නියර අද අඩනවා...

අහස් තලයම සිඹින
විසල් පොල් ගස් දෙකක්
අතර මැද පිහිටි තැනිතලා
බිම කොහේදැයි හිතනවා....

නිල්ල නිලනා ගොයම් යායේ
අස්වැන්න නෙළු ඉපනැල්ලෙ
සිටවාපු උණ ගස් යුඟල ගැන
මතක සිහිනයක් වෙනවා...

වෙල් මුකුණුවැන්න කෝ
කරටි දිය හබරලත් නැහැ
ඇලක් තිබුණද සළකුණක්වත්
සොය සොයා ඇස් දුවනවා...

රාහු අපලෙට වැටෙකෙයියා මල්
සුවඳ එක්කම ඉස්ගෙඩියො ඇල්ලුව
අලුත බිම ඉහිරිච්ච ගොඩපොරය
ගෙඩිත් හිත යට රඟනවා...

කබරයෙක් දියබරියෙක් දිනක
නාගයෙක් වුව හමුවෙනා තැන්
වෙරළු ගහ යට ගොරක අතුවල
එල්ලිලා හිටි හැටි දැනෙනවා...

කොහේදෝ පස් කඳු ඇවිත්
නෑයො වෙන්නට ගමට පහළින්
තිබුණ සියළුම උරුමෙ හංගන්
නපුරු මන්දිර තනනවා....