Showing posts with label පත්තරේ ලිපි. Show all posts
Showing posts with label පත්තරේ ලිපි. Show all posts

Thursday, October 20, 2016

දැළි පිහියෙන් කිරි කෑම

ලෝකය විශ්ව ගම්මානයකි. මෙය අපගේ සවන්පත්වලට බොහෝ කාලයක සිට ඇසෙන්නක් ය. විසිවන සියවසේ අග භාගයේදී පටන් ම මෙය ඇසුණා යැයි කිවහොත් එය අසත්‍යයක් නොවනු ඇත. ලෝකය විශ්ව ගම්මානයක් වී අප සියල්ලෝ ම එක ම ගම්වැසියන් වෙද්දී ඒ ගම්මානය තුළ අප ලබන ඵල ප්‍රයෝජන සහ අප ලබාගෙන තිබෙන ඉඩකඩ අතර බොහෝ සිතන්නට කාරණා ඇත.

මේ විශ්ව ගම්මානය හා අත්වැල් බැඳ ගත් කල ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික, සාහිත්‍ය එකී මෙකී නොකී නිමක් නැති සබ්බ සකල මනාවම අන්තර්ගත බව ඔබත් මමත් දනිමු. ඉදින් මේ තුළට එබී සාහිත්‍යයට ඇති තැන සහ ඉන් අප හරවත්ව උකහා ගන්නා යමක් ඇත්දැයි මොහොතක් හෝ ඔබ සිතුවා ද?
සයිබර් සාහිත්‍යය කිවු සැණින් බොහෝ යාවත්කාලීන නොවූ සාහිත්‍යධරයන්, ලේඛකයන් බියමුසුව, සහ යම් සැකයකින් ඒ දෙස බලන්නට පුරුදු වී ඇත. අප යන්නේ කාලය සමඟ ගමනක් නම් එහිදී මුණගැසෙන දෑ දෙස නොබලා යා හැකි යැයි මම නොසිතමි. හොඳ හෝ නරක සියල්ල සමඟ මනා ගනුදෙනුවක් ඇති කරගැනීම අපගේ දක්ෂතාව විය යුතුය.

සයිබර් අවකාශය යනු දැළි පිහියෙන් කිරි කනවා වැනි මාධ්‍යයක් යැයි කීවොත් වඩාත් නිවැරැදි ය. එවන් තැනකදීම සාහිත්‍ය ගැන අප විපරම් කළහොත් එදා සුළුතරයක් අතට නතුව තිබූ සාහිත්‍ය අද කා අතරත් ප්‍රජාතාන්ත්‍රවාදී අන්දමින් බෙදී ගොස් ඇත. තමන්ට ඇතිවන හැඟීම්, තමන්ට රිසි පරිදි කැමති අයුරකින් නිදහසේ මුදා හැරීමේ වරප්‍රසාදය සයිබරය තුළින් අප කාටත් එක හා සමාන අයිතියකින් ලැබී ඇත. මෙය වඩාත් හොඳ සාධනීය ගුණයකි. මන්ද යත්, යම් යම් බැරියර් දමාගෙන එක එක ගුරු කුලයන්ට යටත් ව පැවති ඒ ඒ අංග අද මුළු මහත් සමාජයට ම බෙදී යාම නිසා අලුත් නිර්මාණාත්මක දේ පිරි මිනිසුන් බොහොමයක් බිහි වී ඇති නිසාය. කොහේට හෝ සැඟවී මුල්ලකට වී වැළලී යන්න ගිය තමාද හඳුනා නොගත් තමාගේ හැකියාවන් වඩාත් සක්‍රීය ව ගුණාත්මක ව ඔප මට්ටම් කරගනිමින් සයිබර් අවකාශය පුරා නෑගම් යන හැකියාවන් පිරි මිනිසුන් අද බිහි වී ඇත. මෙය විශ්ව ගම්මානය තුළ අප ලද විශාලම ජයග්‍රහණයකි.

මේ ලිපියේදී මුඛ්‍ය පරමාර්ථය කරගනු ලැබුවේ අන්තර්ජාලය තුළ සැරිසරන බොහෝ පිරිස් දන්නා ඊ බුක් ගැන ය. ඉලෙක්ට්‍රොනික පොත් වන මෙහි ඇති වෙනස නම් කඩදාසි මත මුද්‍රණය කර නොමැති වීම ය. වෙනත් අයුරකින් පැවසුවහොත් පොතක් ලෙස නොපැවතීම ය. මෙය මූලිකව පරිගණක තිරය මත කියවන්නට හැකි වීම මෙන්ම දැන් වඩාත් දියුණු වී ජංගම දුරකථන වෙත ද පැමිණ ඇත. එපමණක් නොව විශාල පොත් සංඛ්‍යාවක් එනම් පොත් සිය දහස් ගාණක් වුව ඉතාම පුංචි මතක ධාරිතාවක ගබඩා කරගන්නට හැකි වීම මෙහි ඇති තවත් වාසියකි.

ඉඳින් මුද්‍රිත සාහිත්‍යයට තවමත් වැඩි නැඹුරුවක් ඇති ආසියාවේ පළමු ඊ නවකතාව වූයේ 1998 වර්ෂයේ මුදාහරින ලද සාධු ටෙස්ටමන්ට් යන ඊ නවකතාව ය. එහෙත් අවුරුදු 18 ක් ඉක්මවා ගොස් තිබුණ ද අද ඊ පොත් සඳහා තවමත් ආසියාවේ මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ඉඩක් නැති බව අප කවුරුත් දන්නෙමු. බොහෝ දෙනා තවමත් පොතක් කියවීමේ තෘප්තිය විඳින්නේ මුද්‍රිත මාධ්‍ය හරහා ය. එහෙත් අද ලෝකය ඊට වඩා දුර ගොස් ඇත. විශ්ව ගම්මානය ම ප්‍රයෝජනයට ගෙන ඔවුන් තමන්ගේ සිතැඟියාවන් සාහිත්‍ය ලෝකයට එක් කරති. කාලයත් සමඟ විශාල තරගයක නිරත වන අයෙක්ට පොත් සාප්පුවකට ගොස් පොතක් ගෙන කියවන්නට තරම් අවස්ථාවක් ඇතිවීම දුලබ තත්ත්වයට ලෝකයා කාර්යබහුලව ඇත. අද බොහෝ ජාත්‍යන්තර සාහිත්‍ය ඇත්තේ ඊ බුක් ලෙස ය. අපට කැමැති පොත අන්තර්ජාලය හරහා මුදල් ගෙවා හෝ නොගෙවා බාගත කිරීමේ වරම ඇත. එහෙත් ඒ වරමට අප තවමත් බිය වී ඇත්තේ ඇයි?

එදා කටින් කට පවත්වාගෙන ආ සාහිත්‍ය හෝ බොහෝ දෑ කඩදාසි සොයා ගැනීමත් සමඟ ලියන්නටත් මුද්‍රණ යන්ත්‍රය සමඟ අච්චු ගැසීමටත් පුරුදු වූහ. එනම් කාලානුරූපි ව සුදුසු අගෝපාංග යටතේ වෙනස්වීම ම ය. නමුත් අන්තර්ජාලය එසේත් නොමැති නම් සයිබරය පැමිණ මේසා කලක් ගිය ද අප තවමත් ඊ බුක්වලට නැඹුරු නොවන්නේ මන්ද? යමෙක් තර්ක කරනු ඇත්තේ මෙය වෙහෙසකර කාර්යයක් ලෙසය. නමුත් අද ලෝකයේ අලුත් පරම්පරාව මේ වෙනස්වීමත් සමඟ යම් තරමකට අත්වැල් බැඳ ගත්ත ද, ලංකාව වැනි රටක පිළිගත් ආයතන තුළ සාහිත්‍යයට අදාළ වගකීම් දරන තැන්හි ඊ බුක් සඳහා කිසිදු ධනාත්මක සිතුවිල්ලක් නැති බව නම් කිව යුතුමය. බාගදා එය එසේ වනු ඇත්තේ තවමත් යාවත්කාලීන නොවූ පිරිස් ඒ ආයතන තුළ සිටීම ද වන්නට පුළුවන.

පුස්තකාලයක ම දෑ ඔබට කැමති තැනකට රැගෙන ගොස් කැමති අයුරකින් කියවන්නට ඊ - බුක් හරහා මේසා හැකියාව තිබියදී අප ඒ සඳහා යොමු නොවීම එක්තරා අන්දමකට අභාග්‍යයකි. ඊ - බුක් කියැවීම සඳහා දැන් ඊ - බුක් රේඩෙර් ලෙස පරිගණකය තුළ කියැවීමට පහසු ලෙස මෘදුකාංගයක් ද සකසා ඇත.
ඉහත සියල්ල ම කියවා යද්දී යමෙක්ට සිතනු ඇත්තේ සාම්ප්‍රදායික පොත් ක්‍රමයට පයින් ගසන්නට තැනීමක් මේ මඟින් කරනවා කියා ය. එහෙත් මේ එවැන්නක් නොව, අප එදා වැලි පීල්ලේ ගල් ලෑල්ලේ ලියූවත් පසුකාලීනව පොත් පත් තුළ ලියන්නට යොමු වීම මේ සමානම ය. වෙනස මේ මඟින් මනා කාල කළමනාකරණයක් මෙන්ම පහසුවක් අපට ඇතිවීම ය. ඊ බුක්, ඊ සඟරා මෙන්ම නුදුරු දිනක ඇසින් කියවා බලන්නට නොව ශ්‍රවණය කරන්නට ද හැකි වනු ඇත. නුදුරේදීම e-book reader ක්‍රමයට ද පොත් එළි දැක්වීම් ලෝකය පුරා සිදු වනු ඇත.

විශ්වය ම මිටට කර අපේ දෝතට ලබා ගන්නට හැකියාව තිබියදී අප කුමට නම් මේ තාක්ෂණය හා උරණ වන්නේ ද? ඇවැසි වන්නේ කාලයට ගැළපෙන ලෙස අප හැඩගැසීමම නොවේ ද?

Wednesday, January 6, 2016

බැරියර් කැඩූ සයිබර් කවිය


      රසය ආත්මය කොටගත් වැකිය කවිය යැයි භාරතයෙ විශ්වනාථ පඪිවරයා විසින් පවසා ඇත. රමණිය අර්ථ ප්‍ර තිපාදය කරන වචන කවි යැයිද පැවසූවේ භාරතිය ජගත්නාථ නම් පඩිවරයෙකි. ඉදින් කෙසේ හෝ හදවතේ උපන් හැගුමක් අනෙකාට වඩා වෙනස් ලෙස දකිමින් සුන්දරව එකතු කරන්නේ නම් එය තව අයෙකු හට විද ගැනීමට හැකිය. කවියෙකුගේ හිත පුරා පෙළ ගැසුණ අපුර්වතම හැගිමක් කමනීය බවෙහි එකතුවක් ලෙස සමාජය තුළට තිළිණ කරන්නේ මහත් බැතියකිනි. 

එම කවෙහි රුව කවියාට කිව හැකි නම් කොතරම් දෙයක්දැයි රොබට් ෆ්‍රොස්ට් අසා සිටි. මන්ද යත් අන් අයෙකුට කවියෙහි මහා ආත්මය ස්පර්ශ කළ නොහැකි යැයි මෙහිදි ඔහු නොකියා කියන බැවිනි. සැබැවින්ම කවියක් තමාම විදිමෙන් මිස වෙන අන් කවර අයුරකින්වත් කවියෙහි රුව ගුණ කදම්බය ඥානනය කළ නොහැකිය. එහෙත් කවිය තුළ කවියාම විඳි රස සුවය සමාජයට දුන් පසු ඔහු කියවීමක් නොකරයි. ඒ අප්‍රමාණව , එය උපද්දැවීම තුළ කවියා එය විඳිමින්, සැනෙහෙමින්, සියළු රස නහර තුළට උරා ගෙන හමාර වූ පසු දායද කරන්නක් බැවිනි. 


එසේ නම් එම කවිය අනෙකා දැකීම තුළ විවිධාකරී හැඟීම් සමඟින් නානාප්‍රකාර කෝණයක් තුළට හැරෙමින් දකින්නට හැකි අවස්ථා එමටය. එතනදී ද කවියා කරන්නේ නිහඩ බවේ ප්‍රතිපත්තියම දැරීම යැයි මගේ පුද්ගලික අදහසය. මන්ද යත් සමාජය තුළ විචාරකයෙක් යැයි කියා ගන්නා පුද්ගලයකු නිර්මාණය වන්නේ මේ හරහාමය. 


සුසාධිත සාහිත්‍යයක් තුළ කවියට හිමිවන්නේ ප්‍රබලම ස්ථානයකි. එසේ වන්නේ එය මහා විශාල පොතක් කියවා ලබන තරමේ තෘප්තියක්, දැනුමක් එක කවියක් තුළ ගැබ් කර තබන්නට හැකි බැවිනි. කවියක අංග ලක්ෂණ කතා කිරීම මගේ අරමුණ නොවූවත් සඳස් හෝ නිසඳස් හෝ වේවා මේ තුළ ගලා යෑමේ යම් රිද්මයක් සහ සමාජයට මතුපිටින් කියනා දෙයට වඩා ගැඹුරු යථාර්තයක් පොවා තිබෙනවා නම් එය මුළු මහත් සමාජයක් වෙනස් කරලන්නට හැකි තත්වයකට වුවද පත්විය හැකිය. සෑම අවස්ථවකම කවියක් තුළ යටි පෙළ අරුත එසේ නොමැති නම් ව්‍යංගය තිබෙනා තරමට එම කවිය අලංකෘතය. සාධනීය ලෙස වින්දනයට නතු කරගත හැක. 


කවියෙහි එදා සහ අද අතර බොහෝ වෙනස්කම් ඇත. අතීතයට හිස නමමින් අප වත්මනෙහි සිට අනාගතයකට පා තැබිය යුතුමය. එබැවින්ම අද කවිය දික් විජය කරන්නට සයිබර් ලෝකය තුල බොහෝ අයට හැකි වී ඇත. මේ ලියුම්කරුද සයිබරය තුලින් කවිය දිගේ දිගේලි වෙමින් අතු මුල් නාරටි හොයමින් සොය සොයා යන්නෙකි. මේ නූතන තාක්ෂණික මෙවලම් නිසා එදා බැරියර් දමා යම් යම් පිරිස් අතර පමණක් සීමා වෙමින් තිබු බොහෝ දේ කැමති පුද්ගලයකුට මනාප අයුරින් කළ එළි බසින්නට අවස්ථාව උදා විය. සයිබරය ගත් විට, ෆේස් බුක්හි වැඩිපුරම කවි, කවි පිළිබද විවිධ කණ්ඩාම් ඇත. එමෙන්ම තනි තනිව සහ කණ්ඩායම් විශයෙන් බ්ලොග් අවකාශය තුළද කවි පළ කිරීමට හැක. විවිධ වෙබ් අඩවි තුළද මෙසේ කවි සඳහා බොහෝ ඉඩකඩ ලබා දී ඇත.


මේ නිසාම මේ ලියුම්කරුද කලක් සිට සයිබර් කවිය පිළිබඳව බොහෝ තෘප්තිමත්ව සිටින්නියකි. ඒ කෙසේ වෙතත් ඕනෑම දෙයක හොඳ මෙන්ම නොහොඳත් අප්‍රමාණව ඇත. එය තිසිදු තර්කයකින් තොරව පිළිගත යුතු සත්යමයකි. මෙයටද එම ඉරණම නැතුවා නොව.


මාගේ අරමුණ එයකක් නොව. එදා පුවත් පතක කවියක් පළ කර ගැනීමට බොහෝ වෙර විරිය ගත යුතුව තිබුණි. එහෙත් අද පුවත්වලද පිටු පුරා වෙන් කරන්නේ කිසිදු පැකිලීමකින් තොරවමය. මින් හැඟෙන්නේ නව තාක්ෂනය එක්ක අපද යාවත්කාලීන වී ඇති බව නොවෙද.. සයිබර් අවකාශය තුළ අප්‍රමාණ ඉඩකඩ ගනිමින් එකිනෙකා තම විවිධ කුසලතාවයන් ඔප් නංවති. ගායන, වාදන, ඇදීම, ලිවීම මෙකී නොකී බොහෝ දක්ෂතාවයන් සඳහා මෙය තෝතැන්නක් වී ඇත. 


ඉහතින් ඔබට මා කිවු කරුණට සමගාමීව මෙහිද කණගාටුවට කරුණ නම් පුවත් පතකට ෆිල්ටර් වී නිර්මාණයක් යද්දී සයිබරය තුළට කිසිදු පෙරහනයක් නොමැතිව පළ කිරිමට හැකිවීමය. මේ තුලින් යම් යම් හානිද සිදු නොවනවා කියා කියන්නට තරම් මාගේ හෘදය සාක්ෂිය පක්ෂපාතී නැත. 


එසේ වුවද මේ අතර බොහෝ දේ තෝරා බේරා කට පුරා කවියෙක් කියා කියන්නට පුලුවන් දක්ෂයින් සිටීමත් අමතක නොකළ යුතුමය. ඒ සදහා ප්රයථමයෙන් මා උදාහරණ ලෙස පහතින් කවි කිහිපක් සටහන් තබා ඇත්තෙමි. 


"අඹා සෙල් වඩුවන්ගෙ සිතැඟිය මගේ උකුලේ ගෙන ඉඩක් 
කියා සාලිය මවා ලෝකෙට කියන මුත් මම වෙන එකෙක් 
අශෝකා නුඹ මගේ කකුලට වගේ හිතටත් දෙන බරක් 
සමාවෙනු මම එදා ඉඳලම ප්‍රේමයට අකමැති ගලක්..


පලා පෙති ඇඳ වැසූ සඳ කඩ පහන නිරුවත් ගැහැනියක් 
හිනා වෙනවා දෙපස මුරගල් වෙලාවක හරි කෝලමක් 
දෙපා දැවටෙන දූලි අතරේ කොහේ රකිමිද පතිවතක් 
එදා මේ කරුමය නොවන්නට මාත් අද වැදගත් ගලක්..."
(සම්පත් කුරුප්පු ආරච්චි කවියාගේ " ගල් කල හිතක් " කවි පන්තියෙන් )


" වලාකුළු 
කොයි තරම් 
පෙරෙව්වත් 
සළුව 
සඳ කැමති 
පෙන්නන්නම 
හෙළුව !"
කැලුම් විජේවර්ධන කවියාගේ නිමැවුමකි.


"ඇස් දාහක හිවල් බැල්ම තද කරගෙන ඇස් දෙහෙකට
මනුස්සකම ආවෙ විමලෙ මස් ඉල්ලං පීරිසියට
මධුරාපුර ගිනි තියන්න හයියක් කෝ ගෑණු අපිට
තිබුණු භූමිතෙල් ඒකයි හලාගත්තෙ මං පපුවට "

"අග්නි පරික්ෂාවකට පසු "කවි පන්තියෙන් දිනේෂ් සිල්වා කිවිදුගේ..

ඉහත කවි තුලින් ඔබට යම් නිගමනයකට එන්නට පමණක් සරලව පෙන්නුවා පමණි. පත්තර පිටු මත ඉඩකඩ සීමිත නිසා තවත් උදාහරණ දෙන්නට තරම් අවස්ථාවක් නොමැති බව මා දනිමි. 
මොවුන්ගේ සියළු නිර්මාණ කළ එළි බැස්සේ ෆේස් බුක් හරහාය. එසේ නැත්නම් ඩිජිටල් තිරය මතය. එහෙත් එදා මේ දෙය බහුතරයක් සාහිත්ය්කාරයින් යැයි කියා ගන්නා අය දුටුවේ පුස්සක් ලෙසය. එසේ නොමැති නම් යමෙක් කවි ලියනවා කිවු විට කොහේද කවි ලියන්නේ ෆේස් බුක් එකේද කියා අසා ඔවුන් දෙස සමාජ රෝගීන් දෙස බලනවා සේ බැලීමට ඔවුන් නොපැකිලි විය. තුඩ තුඩ දන අතර බැන බැන ගිය එවැනි සාහිතඥයන් ගැන අලුත් මෙවලම් හරහා බිහි වූ පරපුරට දුකක් ඇති වුවද ඔවුන්ගේ වෑයම ඔවුන් අත් නොහැරියහ. එය දිගටම කරගෙන ගියහ. මීට පසර හය හතකට ඉහතදී ෆේස් බුක් තුළ කවි ලියූ එවුන් දෙස පහත් මානසිකත්වයකින් බැලූ සිරිලක සාහිත විශේෂඥයෝ අද ඔවුන් ගැන වරුණා වනන්නට තරම් ඉදිරිපත්වන අවස්ථාද නැතුවා නොව. 
කවිය නැමැති කුඹුර පුරන් වී ගොස් තිබුණ කලක ෆේස් බුක් හරහා එය වපුරන්නට ඇප කැප වූ කවියන්ට පින්සිදු වන්නට අද කවි කෙතට සතිපතා තරමට කවි පොත් එකතු වෙති. එමෙන්ම ඒවා ගන්නටද ෆේස් බුක් තුළින්ම කවි කියවන්නට ලෙංගතු වූ රසිකයින් සිටිති. මගේ සිතැඟිවලට දැනෙනා පරිදි අද ෆේස් බුක් තුළ කවි ලියන ඔවුන් හට කවි පොත අලෙවි කරගන්නට බාධාවක් ඇත කියා කන්කෙදිරිගාන අවස්ථා නම් බොහොම අල්පය. එය අපේ සාහිත්යට යේ සාධනීය ධනාත්මක වර්ධනයකි. 
අද සමාජීයිය, සාහිත්යස, දේශපාලනීය සියල්ලෙහි පෙරලිකාර මූලිකත්වය මේ තාක්ෂණික මෙවලම හරහා සිදුවන බව දැන් බොහෝ දෙනා පිළිගෙන අවසන්ය. අතරින් පතර එකා දෙන්නා ගලක් ගැසුවද දැන් බොහෝ දෙනාගේ අත් එසවෙන්නේ අත්පුඩියක් ගසන්නටය. 
එදා කී බෝඩ් වීරයින් කියා හංවඩු ගැසූ උන් අද සමාජය පුරා යමක් කළ හැකි චරිත වී හමාරය. එය පිළිගන්නට මැලි වුවද පිළිගත යුතුමය. අද අපේ ගී කෙත පිරෙන්නේද ෆේස් බුක් තුළින් බිහි වූ නිර්මාණ කරුවන්ගෙන්ය. ඒ දෙස බලා සිට ගල් මුල් ගසා අවසන අර සාහිතඥයන්ද මේ තුළට දැන් දැන් සිදුරු තුලින් එබෙන්නට පුරුදු වී ඇත. එදා ඔවුන් සිතා සිටියේ ගැලෙන් ගිය අපි හැමදාම ගැලෙන් යා යුතුම මිස කාර් එකෙන් යෑම නුගුණය කියාය. එහෙත් සමාජය පරිවර්තනය වෙන දියුණු රටාව හා සමගාමීව අපද හුවමාරු වී වෙනස් විය යුතුමය. එවිට අපට නෙලා ගත හැකි ඵලවැල බොහෝමය.
සටහන - දිනිති දීපිකා.
අපමණක් තුති ‪#‎සිසිර‬ තාත්තාට ‪#‎ගයාන්‬ ‪#‎අබේසිංහ‬ මල්ලීට සහ‪#‎රංජිත්‬ ‪#‎සමරකෝන්‬ සොයුරාට
2015 10 29 ලක්බිම පුවත්පත 


ඔන්ලයින් බලන්න පත්තරේ


Saturday, June 20, 2015

මහින්දාගමනය අභිමානවත් ලෙස සයිප්‍රසයේදී සැමරූ වගයි


පොසොන් සුළගට හැපි හැපී එහෙ මෙහෙට දඟලන තුරු ලතා මැදින් මිස්සක පව්ව මසිතෙහි මැවේ. ඝණ්ඨා නාදය හා ශ්‍රද්ධා සිත් මුදුන් කරන් කුහුඹුවන් පෙළක් සේ ඒ වටා කැරකෙමින් හදවතේ බුද්ධාලම්බන ප්‍රිතිය වඩ වඩාත් තිවුර කරගන්නා බැතිමතුන්ද මට මැවෙමින් මැකෙමින් යයි. 

—සමණා මයං මහා රාජ
ධම්ම රාජස්ස ශ්‍රවකා
තමේව අනුකම්පාය
ජම්බු දීපා ඉධාගථා ˜

බුද්ධ වර්ෂ 236 දී පොසොන් පුන් පොහෝ දා මිස්සක පව්ව මුදුනතෙහි සිට මේ උදාන පාඨය නෑසෙන්නට අප තවමත් මිථ්‍යාදෘෂ්ඨිකයන් නොවී ඉන්නට තිබුණා යැයි කාට නම් පැවසිය හැකිද ? බල තණ්හාවේ උපරිමයට යමින් ජව සම්පන්නයේ සද්දන්ත්වය පෙන්වමින් අශෝක අධිරාජ්‍යයා චණ්ඩාශෝක වෙමින් තළා පෙළා මරා ලේ පිපාසිත හැඟුම් දොළදුකින් මෙන් පිනවීමම ඔහුට එපා වී ගිය දවසක සත් අවුරුදු සාමනේර නමකගේ වදනකට හිස නමන්නට තරම් මේ බුද්ධ ධර්මය ප්‍රබල විය. එතැන් පටන් අසූහාර දහසක් වෙහෙර විහාර තනවමින් ධර්මාශෝක නම් වූ එතුමාණන්ගේ ධර්මයේ මල් ඵල විඳින්නට අප ද වාසනාවන්තයෝ  වූහ. 

අශෝක අධිරාජයාණන්ගේ එකම පුතු වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස එදා මිස්සක පව්ව අභියසදී දේවානම්පියතිස්ස රජුන් හමු වී, එතුමන් තිසරණය සහිත පංච ශීලය සමාදන් කරවීමෙන් මෙරට ආරම්භ කරන ලද සම්බුද්ධ ශාසනය සමරනු වස්, සයිප්‍රසයේ ශ්‍රීලංකාරාමයේ පොසොන් පින්කම ජුනි මස 07 වන දින පාපෝස් නගරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ලදි. දාන ශීල භාවනාදී පින්කම් වලින්ද සමන්විත මෙම ආගමික වැඩසටහනෙහිදී සියල්ලන්ම නිවුනු සිතින් ධර්ම කරුණු අසා සිටියා කියතහොත් එය නිවැරදිමය. 

සිහිල් සුළං හමන මිගදාය, මහමෙවුනාව වැනි ශාන්ත පරිසරයක් තුල කිචි බිචි ගාන කුරුළු නාදයන් පරයා ඇසෙන සාදු නාදය අපට අපේම පින්බිමක ඉන්නා වැනිය. 

එදා මිහිදු මා හිමියන් සිරිලකට සම්බුද්ධ ධර්මය රැගෙන පැමිණියා සේම සයිප්‍රසයට ධර්මයේ පණිවිඩය රැගෙන පැමිණි සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායකාභිධාන මොරවක සෝරත අපේ ලොකු හාමුදුරුවන් සමඟ වහන්තරේ සිද්ධාර්ථ හිමියන් දෙසූ යුගාසන කාව්‍යමය ධර්ම දේශනය කාලෝචිතමය. 

එලොව මෙලොව දෙලොවටම වැඩදායී ලෙස ජීවිතය ගත කරන්නට හුරු වූ සහ හුරුවෙන මෙන්ම හුරු කරවන සිරිලක් වැසියන් සිටින සයිප්‍රසයේ බෞද්ධ සංගමය සමඟ එක් වී පාපෝස් නගරයේ සියළු කුදු මහත් පිරිස එකාවන්ව එක්වී පිදිය යුත්තන් පිදීම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ කළහ. 

සටහන - දිනිති දීපිකා.
 ලිමසෝල් / සයිප්‍රස්

2015 ජුනි 21 ඉරිදා ලංකාදීප පුවත්පත







Monday, May 18, 2015

සයිප්‍රසයේ අවුරුදු ගම්මානය.

2015 මැයි මස 03 වන දින ඉරිදා ලංකාදීපය. 

( වේදිකාව සඳහා යොදා ඇති ඡායාරූපය අපගේ එකක් නොව. එය ඔවුන් විසින් පැටලීමක් සිදුවී ඇතිව පලවී ඇත්තකි. අපේ වේදිකාවේ ඡායරූපය මෙයයි. 



කවර රටකට වුව, රටට අනන්‍ය වූ භාෂාවක් , සංස්කෘතියක් සහ හා බැඳුනු නොයෙකුත් උප සංස්කෘතීන් රාශියක් ඇත. එය නිසි ගෞරවය ලබමින් සීමාවන් හඹා යමින් විවිධ දෙස් විදෙස් තුළත් තම අභිමානය පෞඩව සනිටුහන් කරද්දී ජාතික හැඟීමකින් එවන් තැන්වල ජීවත්වන දනන් තම හැඟීම් තුළ කිදා බැස යති. එකට එකාවන් හමුවී, අත්වැල් බැඳ සිත් මල් තුළින් නැගෙන අපේ කම වගා කිරීම තම අරමුණ කරමින් එපසුපස යෑම සතු දනවන කරුණකි.

ලෝකය තරඟකාරිත්වයට මාරුවීමත් සමග ගෝලීයකරණය හා සමගින් සමස්ත ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වීමත් සමග අප සැමගේ සයිප්‍රස් ආගමනය යනු විවිධ රැකියාවන් තුලින් තම තමන්ගේ ආර්ථිකය සවි බල ගැන්වීමේ ඒකායන අරමුණ මුදුන් පමුණුවා ගැනීම වුවද අප තුල ඇති නිසග හැකියාවන් විදහා පෑමට කිසි විටෙකත් පසුබට නොවීම සතුටට කරුණකි.

බත බුලත පිරි සිරිලක අතමිට හිඟ කම තදින් නොතිබුණ යුගයක් තිබුණද සංවර්ධනයේ ඉලක්ක වෙත ධාවනය වන ජීවන ගමනක තම දේශ සීමා පසු කර මාතෘ භූමියටත්, එහි තමන්ගේ සහ තමන් නමින් සිටින්නවුන්ගේත් මුව මත හසරැලි පුබුදවන්නට වැර ගන්නා පිරිස් අද වන විට මෙහිද බොහෝය. මධ්‍යධරණී මුහුදින් වට සයිප්‍රසය නැමැති පුංචි  දූපතේ සිනාපිරි තෝතැන්න සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමයයි. ඇත්තෙන්ම අපට නම් එය කතරට වට වැසි බිඳක් බඳුය. මන්ද බෞද්ධාගමික හා සිංහල සංස්කෘතියේ පුනර්ජීවනයේ කෙන්ද්‍රස්තානයද එයම වන බැවිනි.තමන් ආවේ විවිධ රැකියාවන් තුළින් ආර්ථිකය ජය ගන්නට වුවද හැකියාවන් ද පොහොසත්ව ළෙලදෙවන්නට අමතක නොකිරීම අපේ භාග්‍යයකි.

සිල්සුවඳ පතුරුවමින් සෑම මසකම ගුණ දම් පිරුණු මිනිසුන් සමාජයට දායාද කිරීමට දේශගුණික විපර්යාසයන් හමුවේ වුව නොසැලී අධිෂ්ඨාන හා වීර්ය පාරමිතා සපුරමින් කටයුතු කරන සයිප්‍රසයේ ප්‍රධාන සංගනායක මොරවක සෝරත අපේ ලොකු හාමුදුරුවන් අපට මහත් ශක්තියකි.උන්වහන්සේගේ අනු දැනුම හා මග පෙන්වීම මත සයිප්‍රසයේ අවුරුදු ගම්මානය" මෙවරද උත්සවශ්‍රීයෙන් පැවැත්වීම අප සැම ලද ජයග්‍රහණයකි.

සයිප්‍රසයේ අවුරුදු ගම්මානය කිවු සැණින් දැන් සිරිලක් වාසීන් පමණක් ලොව පුරා විසිරී සිටින සියළු ලක්වැසියන් පෙරුම් පුරා බලා සිටින්නට තරම් පුරුදු වී ඇත. ඒ මන්ද යත් එදා අපේ හෙළ සංස්කෘතියේ සියළු දේ කැටි කරගනිමින් සැදුම් ලත් විශේෂ අවුරුදු ගම්මානයක් මේ යුරෝපයේ මැවෙන නිසාමය. හෙළයේ මහා මංගලයේ අවුරුදු නෑගම් එන සිව් දෙස දන කදමලු බැදන් මහ ගෙදරට පැමිණීමත් සමඟ අවුරුදු චාරිත්‍ර මහ ගෙදරදී සිදුවූයේ දෙස් විදෙස් ආරාධිතයින් අතිනි. නැකතට ලිප ගිනි මොළවා සෞභා්‍යෙය් සංතේකයෙන් හදවත් පුරවාගෙන සාදා පිළියෙල කරගත් සියල්ලෙහිම අග්‍රබාගය අප ගෞතම සම්මා සම්බුදුන් හට බුද්ධ පූජාව තබමින් ආරම්භ වූ අප අවුරුදු ගම්මානයේ, විශාල කඹ ආධාරයෙන් තනාගන්නා ඔංචිල්ලා දෙක සහ ඒ මත ඔංචිලි වාරම් ගයමින් රෙදි හැට්ට ඇද හිස මල් ගවසා එහෙට මෙහෙට පැද්දෙන ලලනාවන් හරිම සුන්දර දසුනක් ගෙන දුන්නේය.  මේ අතර විදෙස් රටවල යුවතියන්ද අපේ ස්ස්කෘතියට ඇද පැළද ගෙන පැමිණ මේ රසයේ උපරිමය අත් විඳීම කාටත් සුපුරුදු දසුනක් වුවද හදවත පුරා දිවෙන අපේකම තුලින් දැනෙන වින්දනය වචනයෙන් කිව නොහැකි තරම්ය

මහ ගෙදරට නුදුරින් තනන වී බිස්ස යට සිට පංච දමන, ඔළිද කෙලින ළමා ළපටියෝ විතරක් නොව රබන් සුරල් වයමින් ආසියාවේ අන්‍යනතාව ලොවට පෙන්වීම ආඩම්බරය මුසු හැඟීමක් විය. . සියළු නැකැත් චාරිත්‍ර හැකි උපරිමයෙන් ඉෂ්ට සිද්ද කළ සයිප්‍රසයේ ලක්වැසියෝ පැළ සිටුවීම පමණක් නොව දෙමාපිය වන්දනාව ද අපේ ලොකු හාමුදුරුවන්ගේ ඒ මධුර ස්වරයෙන් ඇසෙන මාතෘ ප්‍රේමයෙන් පිතෘ ප්‍රේමයෙන් හදවත් තෙත් වී ඇස් වලින් ගලා යන ස්නේහයේ මුසු කඳුළු වැල්  මුළු අවුරුදු ගම්මානයම මීයට පිම්බා සේ නිහඩතාවයක ගිල්ලී සියල්ලෝම හදවතින් මව් රටේ තම නිවෙස්වල දෙමාපියන් අසල වැද වැටී හෙලන සුසුමේ බර මෙපමණ යැයි මේ ලියුම්කරුටද කිව නොහැකි තරම් තදින් දැනීම මහා පුදුමයකි.

සිරිලක දේශීයත්වයට ලැදී ශ්‍රී ලාංකික කලාකරුවෙක් වන මහින්ද  පතිරගේ ( පුරෝහිත ) නම් කලාකරුවා මෙවරද සයිප්‍රස් අවුරුදු සිරිය ඔප නැංවීමට පැමිණි බව දනවනුයේ හද පිරි සතුටිනි. ඔහුත් සමඟද අවුරුදු සිරි බෙදා හදාගනිමින් ගත කළ මෙවර අවුරුදු ගම්මානයටද සයිප්‍රසයේ ශ්‍රිලංකාරාමය සහ බෞද්ධ සංගමයෙන් ඉෂ්ඨ සිද්ද වූ වගකීම් ඒ අයුරින්ම ලාංකියන්ට දීම කෘතගුණ සැලකිය යුතුමය.  විවිධ නගරවල වැසියන් විවිධ අංගයන් බාර ගනිමින් එකාවන්ව මේ අත්වැල් බැදගෙන නිමාව දුටුවේ හෙළයේ ඒ මහා මංගල්ලයේ සිරි අසිරියමය.


දිනිති දීපිකා - සයිප්‍රස් සිට





Monday, July 14, 2014

සයිප්‍රසයේ ලංකාරාමයේ අතීතාවලෝකනය

" චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය...බහුජන සුඛාය අත්තාය හිතාය "

හිමිදිරියේම ලා හිරු රැස් දහරින් සම්බුදු සිරි පතුල් සිප නහවමින් දිනිසුරු පියමන් කරන්නේ ලොවම ආලෝකමත් කිරීමටමය. අතුපතර විදාලූ සුවිසල් තුරුහිසේ සිට භූමස්තකයෙහි පෙනෙන නොපෙනන තරමින් හිස ඔසවන්නා ලපටි පැලෑටිය තෙක් පළබර වන්නේ ලොවටම පුදන්නටය.. මිහිමව සනහාලමින් සිසිල ඛෙදමින් දිය කඳුරක් පවා ගලා බසින්නේ ලොවක පවස සංසිඳුවන්නටය.. ස්වභාවදහමේ සියලු සංසිද්දීන් තුලින් බැලූ බැල්මට ගම්‍ය වන්නේ සරල සුගම බවක් වූවත් ඒවා සාක්ශාත්වීම තුල ගැඹුරු හේතුඵලරූපී බවක් ඇත. එනම් හුදෙක්ම පරාර්ථචරියාවමය. එයින් ලොවට පුදනවා මිස ඉන් ලබාගන්නා දෙයක් නැති තරම්ය.

එලෙසම ලොවට දීම මිස ඉන් ගනු ගැන නොසිතන උත්තුංග පාරමිථාවේ පරාර්ථ සිතුවිල්ල ගැන ලොවට දේශනා කලේ අප ගෞතම සම්මා සම්බුදුරදුන්මය.. ඒ සම්බුද්ධත්වය ලබාගෙන ප්‍රථම ධර්මදූත කණ්ඩායම ලෙස රහතුන් වහන්සේලා සැට නමක් අමතමිනි.. —මහනෙණි බොහෝ ජනයාගේ හිත සුව පිණිස ගම් නියම්ගම් සිසාර ධර්ම චාරිකාවේ වඩින ලෙසද දෙදෙනෙකු එක මග නොයන ලෙසද උන්වහන්සේ දේශනා කල සේක.. බුද්ධ අනුසාශනාව එලෙසම ඉෂ්ට කරමින් අද්‍යතනයේද  බුදු පුතුන් එමග යන්නේය.. දේව වාදී යුරෝපයේ ග්‍රීක දෙවඟනගේ සුරතලිය වන් සයිප්‍රසයටද එවන් එක් බුදු පුත්‍රයාණෝ නමක් වැඩම කළහ. අපට දැනෙන ලෙස පැවසුවහොත් සයිප්‍රසයට බුදුන්ගේ දහම් පනිවුඩය රැගෙන ආවේ බුදු පුතෙක්මය..


මෙතැන් සිට ඇරඹෙන්නේ ඒ සදහම් චාරිකාවේ සුවඳ දිගහැරුමයි.. මොරවක සෝරත හිමියන් සයිප්‍රසයට ගොඩබැස්සේ අප මෙන්ම කිසිවක් සතුව නොවේ.. හිස් අතින් වූවත් උන් වහන්සේගේ සිත පිරී තිබුන්නේ උතුම් බලාපොරොත්තු ගොන්නකිනි.. ඒ 2005 වසරයි.. උන් වහන්සේගේ ආගමනයත් සමග සයිප්‍රසයට දහම් වසන්තයේ පෙරනිමිති පහල වන්නට විය.. 2005 වසරේ ජූලි මස 10 වන දින සයිප්‍රයසයේ සීතා උද්‍යානය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගියේ සදහම් සුවඳක් සොයමින් සිටියවුන් කෙතරම්දයි පසක් කරමිනි.. ඒ ආනුභාවයෙන්  සයිප්‍රසයේ බෞද්ධ සංගමයක්ද ස්තාපිත කෙරිනි.. ස්විස්ටර්ලන්තයේ වැඩවසන ස්වාමීන් වහන්සේ නමක් ඇතුලුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එදින සයිප්‍රසය බුදු සසුනේ තවත් කේන්ද්‍රස්ථානයක් විය.. සයිප්‍රසයට අමා වැසි වසින්නට වූයේ එතැන් සිටය..


සුදු වතින් සැරසුනු දස දහස් ගනනක් සෙනග පිරිවරාගෙන සීතා උයනේ ඉදිකල දම් මණ්ඩපයක බුදු සුවඳ පතුරවන මල් පිපුනි.. කුලී පදනමට ගත් ස්ථානයක බුදු කුටියක් නිමවා ලක්දිවෙන් වැඩම කල බුදු පිළිම වහන්සේ තැම්පත්කොට පුද සත්කාර සියල්ලද ඉටුකෙරිනි.. සෙත් පිරිත් සජ්ජායනා මැද රෝපණය කල පැලය අද නාඹර රුක්ෂයක් විලසින් අතු විහිදුවා නැගී සිටී.. මූල බීජය රෝපණය කිරීමේ සිට අතුපතර සිලිසිලිය නගමින් වැජඛෙන අද දින දක්වාම ඒ දෙස බලා සිටි මාගේ හිතට දැනෙන ශාන්තිය මෙපමනැක්යැයි කිව නොහැකි තරම්ය.. රටක බුදු සසුනක් පිහිටවීමේ එවන් පූජණිය මොහොතකට සම්පත් දායකත්වයෙන් ශ්‍රම දායකත්වයෙන් සහභාගීමට  වරම් ලැඛෙන්නෙ පෙර පිනක් නිසාම බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.. ඒ මොහොත මා සන්තානයේද සදාතනික දහම් සමරුවක් ලෙස තැම්පත්වී හමාරය.. එය මතක් වන වාරයක් පාසා සිත නිරාමිස ප්‍රීතියෙන් ඇලලී යයි..


තමන් ශීලයේ පිහිටමින් අනෙකාවද ශීලයට යොමුකරවන්නට මහ හෙලි කරමින් ක්‍රිස්තියානිය මූලික කරගත් රටක සමාජයක ඇවිදීම උඩුගං බලා පිහිනීමකි.. බැලූ බැලූ අත කඳු මිස පල්ලමක් දක්නට නොලැබිණි.. එහෙත් ඒ අවදානමට මනා සූදානමකින් යුතුව ඉවසිලිමත්ව බුද්ධිමත්ව අපේ හාමුදුරුවන් පිය නගන සැටි ලෝකවාසී සියලු බෞද්ධයන්ට අපූරු ආදර්ශයකි..


සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය පන්සල බව නොරහසකි.. අවිඳු අඳුර දුරලමින් එයින් දැල්වුන බුදු දහම නම් පහන්සිලේ ආලෝකය අද විශ්වය පුරාම විහිදෙමින් පවතී.. ලක්දිවේ චතුර ධර්ම කථිකයන් වහන්සේලා මෙන්ම අර්ථයෙන් දහමෙන් පෝශිත ස්වාමීන් වහන්සේලාවද සයිප්‍රසයට වැඩම කරවමින් එදා මෙදා තුර සිදුවූ විදු ඇස අවදිකරවීමේ මහා ක්‍රියාදාමය අද සුවහසක් ජනී ජනයාගේ ආලෝකයටම හේතුවී ඇති බව පැහැදිලිය..
එපමනක් නොව කලා රස හඳුනන ලක්දිවේ දක්ශ පරිනත කලාකරුවන් කැන්දාගෙනවිත් වසරකට වරක් පවත්වන සිංහල අවුරුදු ගම්මානය මුලු ලෝකයේම ජීවත් වන්නන්න්ට පමනක් නොව සිංහල අවුරුද්ද නාඩගමක් කරගෙන ඇති ලංකාවටද කදිම ආදර්ශයකි.. ලක්දිවේ පවා වියැකී දියැවී ශේෂවී යන ජන ක්‍රිඩා ජන ගායනා ඇතුලු සියලු හරවත් තෙදවත් හෙළ දේශීය අභිමානය සයිප්‍රසයේ ලංකාරාමයට හිමිවී ඒතුල ආරක්ෂාවී ඇති බව ආඩම්බරයෙන් පවසන්නට අවශ්‍යමය.. ඒ අරුමය පිළිබඳ තුඩ තුඩ රැව් පිලිරැව් දෙමින් දනන්ගේ ප්‍රසාදය හිමිවන විට රහසින් කඳුලක් පිස දමමින් සතුටු වන අවස්ථා මෙය ලියන මටද නැතුවාම නොවේ..


මේ වසරේ දසවන වරටත් වස් ආරාධනාවට සූදානම් වී සිටින සයිප්‍රසයේ ශ්‍රිලංකාරම දායකයින් අද තමන්ගේම කියන තැනක හයියට විරාජමානව ස්ථාපිත වී හමාරය.. කුලී පදනමේ බර කලක සිට කර තියාගෙන යමින් තමන්ටම කියා තැනක්ද ගන්නට තරම් මෙහි සිටින ශ්‍රිලාංකිකයින්ගේ එකමුතුවත් ධෛර්යයත් සමත්විය.. 


අව්වට වැස්සට දියවෙන යෞවනත්වය පමණක් නොව වින්ටර් සම්මර් ඍතු වලට දෑත්වල පිපෙන කර ගැට රටාවලින් ඔවුන් මේ පුදබිම සවිමත් කරවු බව කවුරුත් දනිති.. සමගියේ සවියෙන් අර්ථ සම්පන්න පුෂ්පයක් ඇත්නම් ඒ සයිප්‍රසයේ ශ්‍රිලංකා බෞද්ධ සංගමයයි.. නොහැක්කක් නොමැති බව ඔවුන් බොහෝ අවස්ථාවල පෙන්වා දී හමාරය.. ඒ සියල්ලට පෙරගමන්කරු වන්නේ පන්සලේ වැඩ වසන නායක ස්වාමීන් වහන්සේත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාත්ය..

ධර්මය පිපාසිත දනන්ගේ විඩාව සංසිදුවමින් පුස්තකාලයක්ද මනාව කලමණාකරනය කරමින් ධර්මඥනය ඛෙදීමේ කර්තව්‍යයද මෙහිදී සිහිපත් කළ යුතුමය. එයින් ඵල නෙලා ගත්තෝ සිය දහස් ගණනකි. මනා ගිහි පැවිදි සම්බන්ධයක් පවත්වා ගනිමින් සියල්ලන්ගේම අධා්‍යාත්මය පෝෂණය කරමින් කාර්ය බහුල ජිවිතවලට සැනසිල්ලේ අමා වැසි පුරා වසර නවයක් පුරාවට වැස්සිනි. දිනෙන් දින මේ කර්තව්‍යය වැඩි දියුණු වුවා මිස අඩු වුයේ නැත. ගිහියන්ගේ දිවි මග සාධනීයව ඉහළ ස්තරයක රඳවන්නට දිවා රෑ නොබලා වෙහෙසවන පෑලැම්පිටියේ මහින්ද පොඩි හාමුදුරුවන්වද මෙහිදී නමස්කාර පූර්වකව සිහි කළ යුතුමය.


මෙලොව අවිද්‍යාව ඇසුරු කරන බහුතරයක් සහ නොයෙකුත් ප්‍රාතිහාර්ය වදන් පවසමින් දනන් මං මුලා කරවන මිනිසුන් පිරි යුගයක මේ බුදු පුතුන් සයිප්‍රසයේ ශ්‍රිලංකාරමය තුල සිදු කරන හරවත් සමාජ සත්කාරයන් අභිමානනීයය.. ප්‍රශංසනීයය.. ඇගයුම් කළ යුතුමය.. විදේශිකයින් පවා පැමිණ දහම් සුවඳ විඳගෙන යන සයිප්‍රසයේ පිංකෙත චිරාත් කාලයක් පවතීවායි යන්න අප කාගේත් පැතුමය.. පැහැදුණ වුන්ගේ පැහැදීම වැඩි කරමින් නොපැහැදුණ උන්ගේ පැහැදීම ඇති කරමින් සම්බුද්ධ ශාසනය පවතින තාක් කල් මේ බිමද පවතීවා...

වසර නවයක සාංවත්සරික පිය සටහන් සවිස්තාරාමකව ලිවීමට හැකි වුවත් එය ඔබට මෙසේ පෙළ ගස්වා තබමින් මෙම සටහන මා නිම කරමි. තෙරුවන් සරණයි.
01)   2005 වසරේ ජුලි මස 10 වන දින තෙරුවන් වැඩ සිටින පන්සලක් ආරම්භ වීම


02)   2005 වසරේ පළමු වරට සඟරුවනක් සයිප්‍රසයේ වස් වැසීම ඇරඹිම.


03) ශීල භාවනා වැඩසටහන් ආරම්භ කිරීම
      ( සෑම පොහෝ දිනක්ම සයිප්‍රසට නිවාඩු දිනයක් නොවුවත් සෑම මසකම පොහොයට සමගාමීව එළඹෙන ඉරු දින පැවැත්වේ. දැනට පසොලොස්වක දින 84 ක් මෙය නොකඩවා ක්‍රියාත්මක කර ඇත.)


04) ලංකාරාම පුද බිමට බෝධින් වහන්සේ නමක් වැඩම කරවීම


05) සමාධි පිළිම වහන්සේ නමක් වැඩම කිරිම.


06) ගර්භ නිධානයත් අටවිසි බුදු මැදුර විවෘත කිරීමත් එක දා සිදු විය


07) දැනුම කුශලතාවය දියුණු කරවන්නට පුස්තකාලය පිහිටුවීම


08) දුකේදී මෙන්ම ඇවැසි අවස්ථාවක පන්සල උපදේශන මධ්‍යස්ථානයක් වීම


09) විවිධ හේතුන් මත අසරණ වුවන්ට හැකි සීමාවේ සිට පිහිට වීම


10) ගුවන් අනතුරින් මියගිය අයට පුන්‍යනුමෝදනා කිරිම ( ලොවම කම්පා කරවමින් සයිප්‍රස් ජාතිකයින් 

එකසිය පනහක් පමණ ජිවතක්ෂයට පත් කරවමින් සිදුවු ගුවන් අනතර)

11) සයිප්‍රසයේ කඨින මහා පිංකමත් වීථී සංචාරය කරමින් කෙරන කඨින පෙරහරත් සෑම වසරකම නොකඩවා සිදු කිරිම. දැනට වසර නමයක් සිදු කර ඇති අතර දසවන වස් ආරාධනාව මෙම මස සිදුවේ. )


12) සයිප්‍රසයෙ ශ්‍රි ලංකාරාමය තුළ දහම් පාසැල ක්‍රියාත්මක වීම (දෙස් විදෙස් සියළුම දරුවන්ට )


13) දෙවන බෝධි රෝපණයද ලිමසෝල් නගරයේ අපේම බිම් කඩක රෝපණය කිරිම.

සටහන - දිනිති දීපිකා


2014/ජුලි 13 ඉරිදා සිළුමිණ  

මෙන්න ඔන්ලයින් බලන ලින්ක් එක මෙතනින්







2014 ජුලි 14 සදුදා ලක්බිම.  



මේ අපේ පන්සලේ ඡයාරුප කිහිපයක්.





අපේම කියන පන්සල



සමාධි ප්‍රතිමාව



බෝධින් වහන්සේ.



චෛත්‍ය වහන්සේ සහ අටවිසි බුද්ධ මන්දිර

                                    ආගමික වැඩසටහනකදි




                                                දහම් පාසැලේ අවස්ථාවක්.


            දහම් පාසැල් දරුවන් සමඟ ස්වාමීන් වහන්සේලා


                    

 අපේම තව ඉඩමක තවත් බෝධින් වහන්සේ නමක් රෝපණයකිරිම.

Tuesday, October 22, 2013

නරකයි නරකයි කියන ෆේස් බුක්


කා අතරත් නරක යැයි සම්මත ව පවතින සමාජ ජාල වෙබ් අඩවි අතරින් වර්තමානයේ දී වඩාත් කතාබහට ලක් වනුයේ ෆේස් බුක් (face book ) නම් සමාජජාල වෙබ් අඩවියයි. මේ පිළිබඳ සාකච්ඡා කිරීම මාගේ අරමුණ බව ආරම්භයේ දී ම පවසනු කැමැත්තෙමි. එසේ වුව ද ඊට පෙර අන්තර්ජාලය සහ සමාජ ජාල යන්න පිළිබඳ ව කෙටි විග්‍රහයක් සිදු කරගැනීමට මම අදහස් කරමි.
ලෝකය වර්තමානයේ දී විශ්ව ගම්මානයකි. එය ඇත්තය. අප විසින් අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. වර්තමානයේ ලංකාවේ පිටිසරබද ගම්මානයක සිට අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට මුහුණට මුහුණලා කතා කිරීමට තරම් දියුණු සන්නිවේදනයක් මානව සංහතිය වෙත පවතී. අතීතයේ දී හූ හඬකින් නොඑසේ නම් ඝණ්ඨා නාදයකින් පිරිසක් එකතු කිරීමට උත්සාහ කළ යුතු වුව ද වර්තමානය වන විට එක් වචනයක් සමාජ ජාල වෙබ් අඩවියක පළ කිරීමෙන් එය ම සිදු කරගැනීමට පුළුවන. එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට කිසියම් වූ තොරතුරක් සන්නිවේදනය සඳහා යොදාගන්නා ඉහළ ම ක්‍රමවේදය අන්තර්ජාලය බව අවිවාදිත ය.

අන්තර්ජාලය යැයි කිවූ සැනින් වර්තමාන ලාංකික - විශේෂයෙන් වැඩිහිටි - බොහෝ පිරිසකගේ ඇග කිළිපොළන සුළු "අපොයි හරි ම නරක තැනක් "යැයි කියැවෙන සුළු තත්ත්වයක් පවතින බව පෙනී යයි. මෙසේ අන්තර්ජාලයට ඔවුන් බිය වන්නේ කුමක් නිසා ද? ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර අන්තර්ජාලය යන්නෙහි තාක්ෂණික පසුබිම මෙසේ විග්‍රහ කළ හැකි ය. අනෝන්‍යය වශයෙන් එකිනෙකට සම්බන්ධ වූ පරිගණක එකතුවකට අන්තර්ජාලය යැයි විවහාර කරනු ලැබේ. එය ලෝකය පුරා විහිදුණු විශ්ව ව්්‍යාප්ත වියමනක් වන අතර ඉන් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත් ය. එසේ වුව ද වඳුරකු අතපත් දැළිපිහියක් මෙන් අන්තර්ජාලය පරිහරණය කිරීමේ දී ඒ ඒ පුද්ගලයන්ට විවිධාකාර වූ අවශ්‍යතා මතු වී ඇති සෙයක් පෙනේ. ඒ හේතුව නිසා ම පෙර කී පරිදි, බොහෝ දෙනෙකුට තවමත් "අනේ අපොයි" කියවෙන නරක තැනක් බවට පත් වී ඇති බව පැහැදිලි ය.

ඕනෑ ම දෙයක හොඳ හෝ නරක රඳා පවතිනුයේ එය භාවිත වන ක්‍රමය අනුව බව සත්‍යයකි. අන්තර්ජාලය තුළ ද විවිධ වෙබ්පිටු පවතී. ඉනුත් වර්තමානයේ දී බොහෝ දෙනාගේ අවධානයක් යොමු වී ඇත්තේ සමාජජාල වෙබ් අඩවි වෙතට ය. සමාජ ජාල වෙබ් අඩවියක් යනු අන්තර්ජාල සමාජයක් තුළ ගැවසෙන නොයෙක් මිනිසුන්ගේ අදහස් සහ මතිමතාන්තර එක ම තැනක දී ගැටෙන, විමසෙන ස්ථානයකි. එහි දී විවිධ මිනිසුන් හඳුනාගැනීමට අපට අවස්ථාව ලැබේ. විවිධ අදහස් හුවමාරුකිරීමට අවස්ථාව ලැබේ. අප අවට සාමාන්‍ය සමාජය මෙන් ම මෙම සමාජය ද විෂම ය. විවිධාකාර ය. වෙනසකට ඇත්තේ පුද්ගල සිරුරු අභිමුඛයේ මෙම අදහස් හුවමාරු සිදු නොවීමත් ඒ සියල්ල ඩිජිටල් තිරයකින් වැසී පැවතීමත් පමණි.
සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ අවධානය යොමු කිරීමේ දී 


Face book" Twitter, Google plus, LinkedIn  වැනි වෙබ් අඩවි අනෙකුත් සමාජජාල වෙබ් අඩවි අතරින් ප්‍රමුඛ ස්ථාන ගනී.

මෙකී ප්‍රවේශයෙන් පසු ප්‍රස්තුතය වෙත අවධානය යොමු කිරීම උචිත බව හඟිමි. එනම් සෑම කෙනාට ම නරක වූ ෆෙස්බුක් තුළ වුව ද බොහෝ දෙනා නොදන්නා නමුත් යහපත් භාවිතයන් ද පැවතීම පිළිබඳ විග්‍රහයයි. 2004 පෙබරවාරි මස දිනෙක මාර්ක් සකබර්ග්

(Mark Zuckerberg ) නම් පුද්ගලයාගේ ප්‍රධානත්වයෙන් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය අමෙරිකාවේ හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමා කරමින් ආරම්භ විය. නමුත් අද වන විට ලොව පුරා මිලියන 845ක පමණ වන පරිශීලක සංඛ්‍යාවකගෙන් සමන්විත මෙම සමාජජාල වෙබ් අඩවිය ශී්‍ර ලාංකිකයින් අතර ද ප්‍රසිද්ධ වචනයකි. ඕනෑ ම අවශ්‍යතාවක් සඳහා අතීතයේ දුරකථන අංක හෝ ලිපිනය ඇසූ ලාංකිකයා අද විමසන්නේ "ඔයා ෆේස්බුක් එකේ ඉන්නවා ද" යනුවෙනි. එතරම් දුරට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය අද ලාංකික සමාජය තුළ ව්‍යාප්ත ව පවතී.
මෙවැනි ජනප්‍රිය ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය පිළිබඳ මාධ්‍ය තුළින් අප දකින්නේ අසන්නේ ඒ තුළ සිදුවන අවභාවිතයන් පමණි. සුභාවිතයක් පිළිබඳ ප්‍රචාරයක් නැති තරම් ය. නමුත් ෆේස්බුක් සමාජජාලය තුළ විවිධ සමූහයන් (Group) නිර්මාණය කරමින් සමාජීය මෙහෙවරයන්හි නිරත වන පුද්ගලයන් බොහෝ ය.
එයින් මුල්තැනක් ගන්නේ පරිගණක සම්බන්ධ ව පැන නගින ඕනෑ ම ගැටලුවකට එසැණින් පිළිතුරු ලැඛෙන "පරිගණක උදව්" සමූහයයි. (
https://www.facebook.com/groups/ pariganakaudau/&   )  පරිගණකයක පවතින ඉතා කුඩා දෝෂයක සිට සංකීර්ණ දෝෂයක් දක්වා විවිධ ගැටළුවලට පිළිතුරු කිසිදු අයකිරීමකින් තොර ව ම මෙම සමූහයෙහි සිටින්නන් විසින් අනෙක් අය සමග හුවමාරු කරගැනීම දක්නට ලැබේ. 2011 මාර්තු 15 වන දින මෙම සමූහයේ ආරම්භය සිදු වූ අතර මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් සමග විවිධ පරිගණක ගැටළු සම්බන්ධ සංවාදයන් සිදු කෙරෙන පරිගණක තක්සලාවක් බවට පත් ව තිබීම පැසසුම් සහගත ය. සියල්ලට ම වාණිජමය වටිනාකමක් එක් කරන වටපිටාවක තම පෞද්ගලික කාර්යයන් සිදු කරන අතර අනෙක් අයට උපකාර කරන මෙම සමූහය පිළිබඳ මෙම ලිපියේ සඳහන් නොකිරීම යුතු නොවේ. මෙම සමූහය 2012 වසරේ දී බලංගොඩ මැදගංඔය ඉතා දුෂ්කර පාසැලකට පරිගණක විද්‍යාගාරයක් තනා දෙන්නට තරම් ශක්තිමත් සමූහයක් බව සටහන් කළ යුත්තේ සමාජජාල වෙබ් අඩවි අවභාවිතයන් ගැන පමණක් පවසන අයගේ දැනගැනීමට ය. එසේ ම එම පරිගණක විද්‍යාගාරය තනා දීමෙන් ප්‍රබෝධමත් වූ මෙම සමූහයේ සාමාජිකයින් ඉදිරියේ දී තාක්ෂණික රැකියා බැංකුවක් පිහිටුවීමත් අන්තර්ජාලයෙන් මුදල් ගෙවීම මගින් පරිගණක උපාංග විශ්වාසනීය ව මිළයට ගැනීමට අවකාශ සැලසීමත් අවසාන වශයෙන් ලංකාවට පමණක් අදාළ සමාජජාල වෙබ් අඩවියක් දක්වා ගමන් කිරීමටත් කටයුතු කරමින් පවතින බව අපේක්ෂා සහගත ව පැවසිය යුත්තකි.

පුරාතනයේ දී ගැමියා තම පාලුව, කාන්සිය මග හරවා ගැනීමට නිර්මාණය කළ පැල්කවි, ගොයම් කවි, පාරු කවි ඇසුරින් ගැමි සාහිත්‍යයක් නිර්මාණය වූ ආකාරයට ම නව තාක්ෂණික යුගයේ ෆෙස්බුක් හෙවත් මුහුණු පොත  මාධ්‍ය කොට ගනිමින් තම හුදෙකලා සිතිවිලි කවි බවට පෙරළමින් හා ඒවා රසවිඳීම් සිදු කරන පසුබිමක් අද්යකතනයේ අද්‍යතනයේ දී ගොඩනැගි ඇත. එවැනි කවි රසවිඳින්නන්ගෙන් සමන්විත ෆේස්බුක් කවි සමූහයන් ද විශාල සංඛ්‍යාවක් විසිර පැතිර පවතී.
      යුරෝපයේ ජීවත් වෙමින් ෆේස්බුක් හරහා ශ්‍රීලාංකික කවි කිවිඳියන්ගේ කවි නිර්මාණ රස විඳිමින් ද කවි පබඳිමින් ද සැරිසරන කවි රසිකයෙකු මෙම සෑම සමූහයකට ම පිවිස කවි කිවිඳියන්ගේ නිර්මාණ අධ්‍යනය කරමින් ඔවුන් සමග සුහද වෙමින් අපූරු අදහසක් සිතේ ඇති කරගත්තේ ය. සිංහල සඳැස් කාව්‍යය සඳහා ම පමණක් වෙන් වූ කවි සමූහයක් ෆේස්බුක්හි ඔහුගේ නෙත නොගැටුණ ද සඳැස් කවිය පිළිබඳ නිසි ප්‍රතිභාවක් ඇති බොහෝ කවි කිවිඳයන් පිරිසක් ෆේස්බුක්හි ඔහුට හමු විය. මේ සියලු දෙනා ම එක් කරමින් ඔවුන්ට සඳැස් කවිය ගැන සහ සඳැස් කවියේ වපසරිය ගැන සංවාද කිරීම තුළින් ඔවුන්ගේ කුසලතාවන් නංවාලීමට අතදීම මූලික අරමුණු කරගනිමින් 2011 සැප්තැම්බර් මස 23 වැනි දින සඳැස නමින් කවි සමූහයක් නිර්මාණය කළේ ය. https://www.facebook.com/groups/331992303541896/)   මෙය ෆේස්බුක් සැරිසරන කවි කිවිඳියන්ට අපූරු අත්දැකීමක් වූ අතර සඳැස කවි පිටුව සඳැස් කවි සඳහා පමණක් ම වෙන් විය. සඳැස් නිසඳැස් කවියෙහි විෂමතා විමසමින් මුල් අවස්ථාවේ දී ඒ පිළිබඳ දැනුම හුවමාරු කරගනිමින් සංවාද ඇතිකළ මෙම සමූහයේ සාමාජිකයන් විසින් කවිපති සේන අම්බලංගොඩයන් සමග එක් වී සරසවි මඳහස කාව්‍යමය පුවත්පත ද පවුරු ජාත්‍යන්තර ගුවන්විදුලිය සමගින් සඳැස් මිණිආර කාව්‍ය විචාර වැඩසටහන ද වැනි නැවුම් වැඩසටහන් දියත් කරන ලදී. එමෙන් ම 2012 වසරේ දී සමස්ත ලංකා කවි සංගමය සමග එකතු වී නවක කවි කිවිඳියන් දිරිමත් කිරීමේ අරමුණින් සමිමාන උත්සවයක් ද පැවත්වී ය. මේ වසරේ ද සඳැස් කවි කිවිඳයන් එක් කරගනිමින් කාව්‍ය ග්‍රන්ථයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කරමින් පවතියි.

කවියෙහි උන්නතිය තකා කි්‍රයාත්මක වන තවත් සමූහයක් නම් මහ කොළඹ කවි පිටුවයි. 2011 නොවැම්බර් මාසයේ දී ආරම්භ වූ මෙම සමූහයේ අරමුණ වූ කලී ආධුනික කවියන්ට ප්‍රවීණයන්ගේ සෙවණේ කවි ලියන්නට හුරු කිරීමත් සඳැස් - නිසඳැස් යන දෙආරෙන් ම කවි ලියන කවියන් එක්කොට සිංහල කවියේ ප්‍රගමනය සඳහා අඩිතාලමක් දැමීමත් ය. ආධුනික කවියන් මෙම සමූහයේ මෙහෙයැවීමෙන් කවියෙහි බුහුටිකම් දක්වන්නේ ෆේස්බුක් සමාජජාලයෙහි ඇති සුභාවිතයන් මොනවට පැහැදිලි කරමිනි.
ඉනුදු ඔබ්බට ගිය 2011 මැයි මාසයේ දී ආරම්භ වූ රූ සහෘද සංසදය වූ කලී ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියෙහි ඩිජිටල් තිරයෙන් පිටතට ව්‍යාප්ත වී සමාජ උන්නතිය වෙනුවෙන් කැප වූ සහෘදයන්ගේ එකතුවකි. ඛෙල්ලන්විල මෙත් සෙවණෙහි දරුවන් උදෙසා ප්‍රජා සත්කාර වැඩසටහනක් ද සමූහය තුළ ලිවීමෙහි සමත්කම් ඇති පිරිස් දිරිමත් කරමින් ඔවුන්ගෙන් සිය දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් මුතු අහුර කාව්‍යය  ග්‍රන්ථය එළිදැක්වීම ද මහරගම පිළිකා රෝහලේ වාට්ටු තුනක තීන්ත ගා පිළිසකර කිරීම ද ලේ දන් දීමේ වැඩසටහන් ද මහතෝරව පාසලේ දරුදැරියන් වෙනුවෙන් පොත් පත් - කෑමබීම  හා ආදරයත් රැගෙන නෑගම් යාම‘ වැඩසටහනක්ද මෙම සමූහයෙන් සිදු කළ අතිවිශාල සමාජ මෙහෙවරයන් අතරින් කිහිපයකි. සාමාන්‍යය සමාජයේ අඩුවෙන් කතාබහට ලක්වන මෙවැනි වැඩසටහන් දෙස් විදෙස් සාමාජිකයන් එක් කරගනිමින් තව දුරටත් ඉදිරියේ දී සිදුවනු නොඅනුමාන ය.

එසේ ම ෆේස්බුක් සමාජජාලයෙහි ඇති —වයි˜ නමැති කණ්ඩායම (https://www.facebook.com/groups/why.socialnetwork/) - රණවිරු උත්තමපූජා නමින් ආබාධිත රණවිරුවන්ට අවශ්‍යය උපකරණ ලබා දීමේ වැඩසටහනනක් දියත් කරන ලද්දේ 2012 වසරේ ඔක්තෝම්බර් මස 29 වන දිනය. කිසි ම විටෙක ප්‍රති උකාරයක් බලාපොරොත්තු නොවෙමින් ම විවිධ වයස් කාණ්ඩවලට අයත් පිරිසකගේ එකතුවෙන් සවිමත් වී පිදිය යුත්තන් පිදීම සැබැවින් ම සාකච්ඡාවට බඳුන් විය යුතු සමාජ සත්කාර්යයන් නොවේ ද?
මීට අමතර ව "අපි"යනුවෙන් ඇති සමූහය ද පසුගිය දිනවල විවිධ සමාජ සත්කාර්යයන් දියත් කළ සමාජ සමූහයකි. (https://www.facebook.com/groups/we.unity/?fref=ts එම සමූහය විසින් සිංහල අවුරුද්දට තෑගි බෝග ගෙන දෙහිවල වැඩිහිටි නිවාසයකට  නෑගම් යෑම මෙන් ම එවැනි ම තවත් නිර්මාණශීලි සමාජ සත්කාර්යයන් රැසක් ඉටු කර ඇත.

වර්තමාන ගෘහණිය ආහාර පිසින්නට නොදන්නා වෙළඳපොලේ ඇති දෑට මුදල් වියපැහැදම් කරන බව පවසමින් දෙස් නගන වැඩිහිටි පරම්පරාවට පිළිතුරු දෙන්නට මෙන් ෆේස්බුක්හි "රස සරණිය" බොහෝ තරුණියන්ට මහගෙදර කුස්සිය වූ බව නොකිව මනා ය. (https://www.facebook.com/groups/rasasaraniya/)එය ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොර ව ම තමන් පිසින කෑම බීම පමණක් නොව එවේලෙහි ම පැන නගින ගැටළුවලට එසැණින් පිළිතුරු ලැඛෙන සමූහයකි. දෙස් විදෙස් කෑම බීම පිළිබඳ දැනුම හුවමාරු වන මෙම සමූහය අලුත් අත්දැකීම්වලින් සපිරි රසවත් මුළුතැන්ගෙයක් බඳු ය.
සයිබර් අවකාශයේ බුදුදහම ගැන වැරදි ප්‍රචාරයන් සිදුවනවා සේ ම ඒ කිසිවකට මැදිහත් නොවී තමන් දන්නා බුදු දහම අන්‍යයන් හා ඛෙදා හදාගනිමින් නිහඬ සේවයක් සිදු කරන ගරුතර ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකි. පටු ආගමික දෘෂ්ඨීන්ට හසු ව වල්මත් වී සැරිසැරුවත් යහපත් සමාජ කර්ත්‍යයන් සිදු වන බව ද මෙනයින් පැවසීම සාවද්්‍යය නොවේ. ලොව ප්‍රථම ෆේස්බුක් බෞද්ධ ගුවන්විදුලිය වූ "දහම් ගගන " රේඩියෝව ගරුතර ස්වාමීන්වහන්සේ නමකගේ මූලිකත්වයෙන් ආරම්භ වීම මීට කදිම නිදසුනකි. එය දැනටත් විකාශය වන අන්තර්ජාල රේඩියෝවකි. (http://dahamgagana.com/ 

  සිංහල භාෂාව යනු මඳක් සංකීර්ණ අක්ෂර වින්‍යාසයක් ඇති භාෂාවකි. ලේඛනයේ දී නිවැරදි ලෙස අකුරු භාවිත කිරීම අක්ෂර වින්‍යාසයයි. මෙහි දී ප්‍රධානතම සංකීර්ණ භාවිතය වන්නේ න, ණ, ල, ළ අක්ෂර නිවැරදි ව භාවිත කිරීමයි. මෙම අකුරු වැරදියට භාවිත කිරීමෙන් වචනයක සමස්ත අර්ථය ම වෙනස් විය හැකි ය. එබැවින් සිංහල ලේඛනයේ දී මේ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.
වර්තමානයේ බොහෝ දෙනෙකු විසින් සිංහල බස සදොස් භාවිතයක යොදනු දක්නට ලැබේ. ෆේස්බුක්හි දැන් ගොඩනැගී ඇති සයිබර් සාහිත්‍යයේ සිංහල ලිවීම ඉතා බහුල ව යෙදෙන බැවින් —බස නොමරා බස යොදන හැටි උගනිමු˜ යන මැයෙන් ආරම්භ වූ සමූහයකි —සිංහල වියරණ සහ පදරුත් ˜ (https://www.facebook.com/groups/SinhalaBasha/?fref=ts ) නම් සමූහය. පරිණත පිරිස් කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවෙමින් වුව ද මෙම සමූහය තුළ තම දැනුම ඛෙදාහැරීම මෙහි ලා විශේෂයෙන් ම සඳහන් කළ යුත්තකි.

අද බිහිවන දරුවා තමා අවට පරිසරය පිළිබඳ ඉතා අල්ප අවධානයක් යොමු කිරීම තත්කාලීන යාන්ති්‍රක ජීවිතවල ඇති අභාග්‍යය සම්පන්න භාවයේ ප්‍රතිඵලයකි. මේ තත්ත්වයට පිළියමක් ලෙස ආරම්භ වූ         "සාමාන්‍යය දැනීම සහ බුද්ධි පරීක්ෂණය " නම් සමූහය කිසිදු නොගැළපෙන දෙයක් පළ නොකරන්නා වූ ද බොහෝ දෙනාට තමන් නොදන්නා බොහෝ දෑ පිළිබඳ දැනුම ලබාගැනීමට තෝතැන්නක් සේ කි්‍රයාත්මක වන ෆේස්බුක් සමූහයකි.
ෆේස්බුක් රැකියා බැංකු නමින් ආරම්භ වී ඇති සමූහයන් බොහෝ සංඛ්‍යාවකි. විවිධ පුද්ගලයින්ගේ සම්බන්ධතා භාවිත කරමින් රැකියා අවස්ථා පිළිබඳ කදිම වේදිකාවක් මෙමගින් නිර්මාණය වී ඇත. එහි දෙස් විදෙස් රැකියා පිළිබඳ තොරතුරු සහ රැකියා අවශ්‍ය අයගේ විස්තර පවතින අතර මෙසේ නව රැකියා අවස්ථා ලබාගත් අය ලියුම්කරුට ෆේස්බුක්හි මුණගැසී ඇත. මෙයට අමතරව ලංකාවෙහි ඈත දුෂ්කර ගම්මානවල දුවා දරුවන්ට පාසැල් වලට පොත් පත්  ඇදුම් පැළදුම් පුස්තකාල තනා දීම් ආදී නොයෙකුත් දේද සිදුවී සහ සිදුවෙන බවද නොරහසකි.

 ඉහත සියල්ල ම නරක යැයි සම්මත ෆේස්බුක්හි ශි්‍ර ලාංකික අපට එකිනෙකා හා සුහදත්වයෙන් නිර්මිත සමූහයන් කිහිපයකි. මීට අමතර විදේශයන්හි කි්‍රයාත්මක සමූහයන් ද බොහෝ සංඛ්‍යාවක් පවතී. එසේ ම පෞද්ගලික ව තම ෆේස්බුක් ගිණුමෙහි සමාජයට ඉතා යහපත් දෑ පමණක් ඛෙදා හරින පුද්ගලයින් පිළිබඳ ව ද ලියුම්කරුට අත්දැකීම් පවතී.
 දැන් තවත් ප්‍රශ්නයක් මතු වනු ඇත. මෙම සමූහයන්ට කිසිදු ආරක්ෂණ වැඩපිළිවෙලක් නොමැති සමාජසේවා වැඩපිළිවෙළ බව යමෙකුට හැගෙනු ඇත. නමුත් තාක්ෂණික වශයෙන් එකී සියලු ආරක්ෂණ කි්‍රයාමාර්ග මෙම සියල්ලක් සමගම භාවිත කළ හැකි ය. තෝරාගැනීම් කිහිපයක් තුළින් තමාට රිසි ආරක්ෂණ කි්‍රයාමාර්ගයක් ගැනීමට හැකියාව පවතී. එසේ ම අන් අය පිවිසීම සීමා කිරීම ද ඉනුදු ඔබ්බට යමින් වෙනත් අයෙක් තමන්ගේ පෞද්ගලික ගිණුමකට ඇතුළුවීමට තැත් දරන අවස්ථාවක දී අයි පී අංකය (
Internet Protocol ) විද්යු ත් තැපෑලෙන් එවීමේ තාක්ෂණයක් ද පවතී.. එබැවින් කිසිදු ආරක්ෂණ වැඩපිළිවෙලක් නැතැයි පැවසීම සත්‍යය නොවන බවත් පවතින ආරක්ෂණ කි්‍රයාමාර්ගයන් නිසි පරිදි භාවිත නොකිරීම පමණක් සත්‍යය බවත් පැහැදිලිය.
 තරගකාරී ලෝකයත් සමග දියුණු සන්නිවේදන ක්‍රම හා ලෝකය සමග ගනුදෙනු කළ යුතු වේ. එහි දී හුදෙකලා ව සිටීම යනු සිතිවිලි මාත්‍රයක් පමණි. එය භාවිත කරන පිළිවෙල නිසි පරිදි දැනගත යුතු ය. සියල්ල නරක යැයි සිතමින් බැහැර කිරීම ද කළ නොහැක්කකි. ඕනෑ ම දෙයක් නිසි ආකාරයෙන් භාවිත කරන විට ඕනෑ ම අයෙකුට වැරදීම් අවම වීමත් අන්යැයන්ගේ නිර්දය විවේචනයන් අවම වීමත් වැළැක්වීම අසීරු ය.

සටහන - දිනිති දීපිකා  2013/10/22 රිවිර

http://www.rivira.lk/epaper/daily/tue/2013/10/22/index.html#20/z 

( ඉතින් මේ වගේ පළමුවෙනි පත්තර ලිපිය. නොයෙක් අඩුපාඩුකම් ඇති. )



ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...