Tuesday, August 31, 2010

මග බලා ඉමි රත්තරන්.................

කලූ කරන් නිල් අහස නුඹ
වහින්නට දගලන වැස්ස නම්..
වැහි දියෙන් මං තෙමෙන්නට
මග බලා ඉමි රත්තරන්

බිමට වැටෙනා වැස්ස වී නුඹ
ඉරි තැළුන බිම යලි තනයි නම්
ආදරේ මහ වැස්ස ළග නුඹෙ
තෙමී සැනසෙන හිතැත්තිය මං...

වැටෙන වැහිදිය බරක් නැත්නම්
උහුලනා මහ පොළව මට...
ආදරේ බර බරක් වේවිද
මහ පොළව සේ පෙම් කරන සද...


Sunday, August 29, 2010

වුන වැරැද්ද කියන් පුතේ...

කරදිය මහ වලල්ලෙනුත්..
නුඹ එතෙරට පැන ගියාට...
ඇස් පියෙවෙන ඇසිල්ලකට...
පුත නුඹ එනවද මහ ගෙදරට....

පැල්පතෙ මගෙ පිල්කඩ උඩ...
කහට බැදුනු දත් අතරින්
සිනාසිසී මග බලන්නෙ...
නුඹ එනකම් මා පුතුනේ...

ශිල්ප සතර ණැන නුවණැස..
නුඹට දීලා ලොකු කෙරුවත්...
මෙහෙම අපිව දාලා යන්න...
වුන වැරැද්ද කියන් පුතේ...

Friday, August 13, 2010

මළ ආදරයක.....

තවත් අවැසි නැත
අටුවා ටීකා තිප්පිනි...
නිමාවක තිත
ආදරය අසලිනි...

නොහඩන්න සිත
කියන්නට බැරිවුනි...
අසන්නට කැමති නැත
වෙන් වෙච්ච හේතු ගැන...

මිහිදුම් සලුවක් මත
සිහින තිබු නිසාවෙනි...
ඉරමල පොළව මත
පීදෙන විගසටම බොදවුනේ...

ආදරයේ සොහොන් කොත
ළගට වී තනි රකින්නට...
හිත අවසර ඉල්ලුවවට...
නැහැ මගෙන් සමාවක්...

Friday, August 6, 2010

දුක් කවිය අහවර වෙයි ලියා.....

දුක් දුන්න පෙම ගැන හිතා
දුක් ගැනම මං කවි ලියා
දුක් වින්ද ඇති යැයි සිතා

දුක් කවිය අහවර වෙයි ලියා

දුන්නා නම් අභිමන් සදා
දුන්නා බැතිමන් හැමදා
දුන්න මුත් ඔය හිත එදා
දුන්නෙ එහි අඩුවක් තියා

දුරක යන බව කියා
දුරින් හිද නුඹ කියා
දුවන හිත ගෙන මෙදා
දුරස් වූවා නුඹ දුක තියා

Thursday, August 5, 2010

කවිය පැටලී ගියත් මගෙ... ජීවිතය පටලා ගනු නම් බෑ....

නුඹ නැති අඩුව මට දැනෙනවා

අපෙ සිහින පිබිදිච්ච
සොදුරු ඒ ගම් මැද්දෙ
නුඹ නොපෙනි හැංගිච්ච
බව තාම දන් නැද්ද

එක්ව ගිය මගතොටේ
තනිව යන්නට බැරිව
මං බලා ඉන්දැද්දි
නුඹ කොහේදැයි අහනවා

අපි අපිට අතරමං වී
නුඹ කොහෙද මා කොහෙද
අතීතෙන් එන ඔඛෙ සුවද
තාම මට දැනෙනවා

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...