Friday, August 11, 2017

මගේ අම්මා බිමින් තියපන්

කරන්ට් වැට ඇවිදලා ගිහින්වද
කළුවරේ සෙවනැල්ල ඇන්දේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද

හූයි හුයි හුයි කියා ගිනිමැල
නටයි වත්තේ හතර කොන
හූ තියාගෙන අලි පෙරළියයි
පලුගහෙත් පිට අතුල්ලාගෙන
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද

වීර ගහ ඇස් පියාගෙන
වීරෙ අයියත් අහක බැලුවා
බඩ ගගා උඩ පැන්න ඉරිඟුයි
අලියා සින්නක්කරට ගන්නේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා ඇයි මේ වගේ වෙන්නේ

හුස්ම හඩටත් සවන් සොලවන
අලියා අණසක තදින් පතුරයි
හුළං විතරක් වැඩිය ලෙංගතු
කුසත් හයියෙන් හූල්ලයි
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ

රාත්‍රියෙ තරු එළිත් නිහඩයි
ඇහේ කඳුළුයි බිමට පැන්නේ
ලේවායෙ ලුණු වෙලා නිතරම
දුකම විතරයි එතන මිදුණේ
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
======================
දන්ත දාතුන් වඩම්මන්නට
බුදුන් දැක මතු නිවන් දකිනට
අලි රජුනි මල් පුදා පින් දෙමි
මගේ අම්මා බිමින් තියපන්.

#දිනිති 2017/08/11

Saturday, August 5, 2017

දහදිය උල්පත්

සයුර වටකර ගත්ත කතරක
සුසුම් අහුරත් මුලාවෙනකොට
සියොතුනේ උඹලාට විතරද
සරන්නට හැකි ගගන හැමතැන

වාලුකාවල ඇතිතරම් මල්
පිපෙනවා තනි තනිව ගැහැණු හිත්වල
ඉසින්නට පිනි නැතත් කිසිවිට
කඳුළු දිය පිනිවෙලා වැටෙයි කැකුළු පෙති උඩ

ගිම්හානෙ හැමදාම නැතිබව
සෘතු මාරු කතන්දරවල අසා ඇතිමුත්
වසන්තය වඩාගෙන ආවෙ කවුරුද
සිහින දකිනා රැයකවත් තනියට

සඳුන්හර මිටින් ගෙන
ඉපදෙන්න බැරිවෙච්ච දුකමද
ලඳුන් කර උඩ ටොන් ගණන් බර
කතන්දර ඇත සිනහා හිඟවෙන

තැනින් තැනකට ගාල්වෙන එක
"උන්ගෙ කරුමෙයි" කියා කිවුවට
කතරෙ මැවෙනා දහදියේ උල්පත්
ගලයි මව්රටට හැරි හැරි

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...