Saturday, June 27, 2015

තාත්තා ගල් බිදිනවා

අරඹකන්දට ගල් වළට හිරු වළලු වැටුණාට
සරඹ සන්දර්ශන වගේ තාත්තේ ඈතට
ඉහළ ඉස්සෙන කුළු ගෙඩිය අරන් දෑතට
වැටෙන අතරේ බිමට කියන කවි දැනෙනවා හදවතට

ගල්ලින්න හයියකට පසාරුව කරනවා
පපු කැනතු අස්සටම ගිරි ශිඛරෙ වැදෙනවා
කිරි ගහේ කිරි වරල වසර ගණනක් ගෙ‍ෙ
වැහිලිහිණි පැටික්කිය මාර ගහයට නිදනවා

හාර හාරා බඩ බොකුත්
සොය සොයා ගල් කුලේ ඇතුළටම
දමන වෙර අනන්තෙට පේනවා
සීර සීරා දාඩියෙහි වැහි
මුළු ගත තෙමනෙවා
පාට පිච්චුණු ඔබේ සිරුරෙන්
දේදුන්නෙ වර්ණයන් මැවෙනවා
ඒ දිගේ සිහින අල්ලන්
අහස මුදුනට ඇතැඟිලි යොමනවා

බිදින්නට නම් පර්වතේ
ඇට නහර කැඩී පොඩිවී යන්න
වෙඩි දමා තැළිය යුතුමයි හිසට
පිට දිගේ රිදෙන්නට
සැත්කමක් තනියමම කරන් යනකොට
ලේ නහර නැවතුණොත්
වතුර බිදු ඉස ඉසා බලනවා
යකඩෙකට වුනත් මහන්සිත් දැනෙනවා

අවසානෙ පොල් මුඩු අරන්
පපුවෙ හිල වසනවා
සංසාරෙ අවසානෙට ඇසෙන්නට
"බෝරෙ " යැයි කෑ ගහනවා

කණ් අඩිය පුපුරන්න ගල් කුළත්
නෙතු පියන් මහ පොළව සිඹිනවා
පැන් බිඳක් සොයන්නට බුලත් කහටක
රහට විවේකය ඔබ බලනවා

ගිනියමට දැවි දැවී තුරු පතුත් හැකිළිලා
මැදියමට රිදි රිදී කරගැටක තෙල් හලනවා
හැරවුමක හැඩරුවක් අන් නෙතක සොයනවා
පිළිරුවෙන් පිළිරුවට තාත්තා ගල් බිඳිනවා
_____2015/06/27_____දිනිති දීපිකා_____

Saturday, June 20, 2015

මහින්දාගමනය අභිමානවත් ලෙස සයිප්‍රසයේදී සැමරූ වගයි


පොසොන් සුළගට හැපි හැපී එහෙ මෙහෙට දඟලන තුරු ලතා මැදින් මිස්සක පව්ව මසිතෙහි මැවේ. ඝණ්ඨා නාදය හා ශ්‍රද්ධා සිත් මුදුන් කරන් කුහුඹුවන් පෙළක් සේ ඒ වටා කැරකෙමින් හදවතේ බුද්ධාලම්බන ප්‍රිතිය වඩ වඩාත් තිවුර කරගන්නා බැතිමතුන්ද මට මැවෙමින් මැකෙමින් යයි. 

—සමණා මයං මහා රාජ
ධම්ම රාජස්ස ශ්‍රවකා
තමේව අනුකම්පාය
ජම්බු දීපා ඉධාගථා ˜

බුද්ධ වර්ෂ 236 දී පොසොන් පුන් පොහෝ දා මිස්සක පව්ව මුදුනතෙහි සිට මේ උදාන පාඨය නෑසෙන්නට අප තවමත් මිථ්‍යාදෘෂ්ඨිකයන් නොවී ඉන්නට තිබුණා යැයි කාට නම් පැවසිය හැකිද ? බල තණ්හාවේ උපරිමයට යමින් ජව සම්පන්නයේ සද්දන්ත්වය පෙන්වමින් අශෝක අධිරාජ්‍යයා චණ්ඩාශෝක වෙමින් තළා පෙළා මරා ලේ පිපාසිත හැඟුම් දොළදුකින් මෙන් පිනවීමම ඔහුට එපා වී ගිය දවසක සත් අවුරුදු සාමනේර නමකගේ වදනකට හිස නමන්නට තරම් මේ බුද්ධ ධර්මය ප්‍රබල විය. එතැන් පටන් අසූහාර දහසක් වෙහෙර විහාර තනවමින් ධර්මාශෝක නම් වූ එතුමාණන්ගේ ධර්මයේ මල් ඵල විඳින්නට අප ද වාසනාවන්තයෝ  වූහ. 

අශෝක අධිරාජයාණන්ගේ එකම පුතු වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස එදා මිස්සක පව්ව අභියසදී දේවානම්පියතිස්ස රජුන් හමු වී, එතුමන් තිසරණය සහිත පංච ශීලය සමාදන් කරවීමෙන් මෙරට ආරම්භ කරන ලද සම්බුද්ධ ශාසනය සමරනු වස්, සයිප්‍රසයේ ශ්‍රීලංකාරාමයේ පොසොන් පින්කම ජුනි මස 07 වන දින පාපෝස් නගරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ලදි. දාන ශීල භාවනාදී පින්කම් වලින්ද සමන්විත මෙම ආගමික වැඩසටහනෙහිදී සියල්ලන්ම නිවුනු සිතින් ධර්ම කරුණු අසා සිටියා කියතහොත් එය නිවැරදිමය. 

සිහිල් සුළං හමන මිගදාය, මහමෙවුනාව වැනි ශාන්ත පරිසරයක් තුල කිචි බිචි ගාන කුරුළු නාදයන් පරයා ඇසෙන සාදු නාදය අපට අපේම පින්බිමක ඉන්නා වැනිය. 

එදා මිහිදු මා හිමියන් සිරිලකට සම්බුද්ධ ධර්මය රැගෙන පැමිණියා සේම සයිප්‍රසයට ධර්මයේ පණිවිඩය රැගෙන පැමිණි සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායකාභිධාන මොරවක සෝරත අපේ ලොකු හාමුදුරුවන් සමඟ වහන්තරේ සිද්ධාර්ථ හිමියන් දෙසූ යුගාසන කාව්‍යමය ධර්ම දේශනය කාලෝචිතමය. 

එලොව මෙලොව දෙලොවටම වැඩදායී ලෙස ජීවිතය ගත කරන්නට හුරු වූ සහ හුරුවෙන මෙන්ම හුරු කරවන සිරිලක් වැසියන් සිටින සයිප්‍රසයේ බෞද්ධ සංගමය සමඟ එක් වී පාපෝස් නගරයේ සියළු කුදු මහත් පිරිස එකාවන්ව එක්වී පිදිය යුත්තන් පිදීම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ කළහ. 

සටහන - දිනිති දීපිකා.
 ලිමසෝල් / සයිප්‍රස්

2015 ජුනි 21 ඉරිදා ලංකාදීප පුවත්පත







Friday, June 5, 2015

දිවියක ගමන

කොපුලත රැදෙන සිහිලස් උණුසුම් පහස
ලවණත රසය දැනිලා යයි බැස විගස
උරමත ගැහෙන ඉස්සෙන බර කඳෙ රහස
කවිමත නොමැත සසරක උහුලන වෙහෙස

පෙරපස නැගෙන හිරුටත් උරුමය බැස යාම
අහසක කොහෙද අපිටම අයිතිය පැතිරීම
මඳහස රකින පිනිබිඳ මොහොතින් වියලීම
දස අත දුවන ගමනක කොතනද නැවතීම

විනිවිද පෙනෙන හදවත් නැතිවිට හමුවීම
සිද බිද යෑම අත්වැල් නැවතිය බැහැ කෝම
කඩු තුඩ මතට ගෙල තියමින් නිති හිනැහීම
ලෙස දැක ගත හැකිය දිගු මේ ගමනක යෑම

Monday, June 1, 2015

ඔලිව් ගස දුක්බරව

අතර පතරින් රොස්වෙච්ච බත් හට්ටියක අඩියක් තරම්
හරවගෙන හිස පහළටම අද ඔලිව් ගස අමනාපයෙන්
සතර අත ඇවිදලා නම නොදන්නා කුරුලෙකු ඇවිත්
කොනිත්තා නිය තුඩෙන් ඇන්නා සොඳුරිට හොරෙන්

ඇගේ අත පතන් ඇරයුම දී තවම හරියට සති පහයි දවසයි
හිතේ හැටියට කියන්නට බැරි වෙච්ච ලතැවුම රිදීමයි
කොහේ හෝ ඇවිදලා යන එන විහඟයින් පිරි කාලයයි
අනේ ඈ රැක ගන්න වැළපෙන හදවතේ දුක මහ මෙරයි

අලුයමම ඈ පිපෙන පිනි බිදි විසික් කරමින් මගේ මුහුණට
කිතිකවන එක හරිම සුවයයි වැළඳගන්නේ පුදුම පෙමකින්
දෙළොවකම තිබු හිත එකක් කරමින් ඈ හා වසන්නට
සිහිනයට මගෙ වැට බදින්නට කුරුල්ලෙක් ඇයි තරහකින්

සුදෝ සුදු පොඩි සුවඳ මල් පිරි ඇගේ සියොළඟ බදා ඉන්නට
ඔහුම තරමට වෙන කෙනෙක් මේ තුන් ලොවට නෑ උපන්නට
නියේ පහරක් වැදී සීරුණු ඇගේ බඳ මැද පෙනෙන තරමට
අනේ ඉපදී මියෙන තරමක් දැනේ සෙනෙහස පිච්ච පඳුරට.