Wednesday, January 29, 2014

දන්නෙහිද නුඹලා

හිරු එළිය විත් වැදෙයි
නෙළුම් පොකුණේ පෙති මතට
සෙවනැල්ල යට ඉදන්
ජීවිතය හොයන උන් හැම තැනම.

සඳ කිරණ වැටෙන විට
වික්ටෝරියා උයන මැද
බඩ මහත උන්දලා
දඟලලා උඩ පනියි පේලියට

බිඳ දමා තාප්පය මේ බලන්
රෑ සිරිය කිවුවාට
දන්නවද අඬන පොඩි උන්
තාම ඉන්නවා පුරහල අවට.

Monday, January 20, 2014

"ආරුක්කු කවියක් යටට එන්න" තුතිය

පැද්දිලා වළාකුළු කොහේ හෝ යනෙන විට
ඉස්සිලා බලන් ඇති තාරකා හතර කොන
මාවතක් සොය සොයා ගගන මත සරණ සිතෙ
සරස්වති දුන් දෑවැද්ද මෙයයි මට...

තත්පරෙන් වෙනස්වෙන මිනිස් සිත ගාව
මතකයක් වී ඉන්නෙ කීයකින් කී දෙනෙක්මද
වරමකින් ලැබෙන කවි කමයි මඳහාස
නැවතුමක් බැහැ දෙන්න ගලන්නේ ඒ නිසයි

අයන්නක් ලියන්නට අතක් හුරු කළ පිනම
මවක් හට තව කොහිද ලබන්නට සැනසුමක්
පොතක් පෑනක් ගෙනත් දුන් සහෝදර ප්‍රේමයට
නව අරුත් බෑ දෙන්න මගෙ ලොවේ අක්කාට අයියාට...

හැමදාම එකම ලෙස ගලා යාවිද දිවි ගඟක්
දිය සිදී වේලිලා යනෙන බැව් දන්නවද
ඒ වගේ කර්කශව ගියපු දා මගෙ ලොවත්
රැකපු දෙවිවවරු අපමණයි හදවතට නැගෙයි දැන්

මලක් වී පිපෙනකොට දියත මත නිදහස්ව
නොවක් ගැරහුම් ලැබෙන බව දන්නවද
නොසෙල්වී හයියටම ඉන්න වෙර ගත්තාම
ගැහැණු හිත කිය කියා බිය වෙන්නෙ කුමකටද

ඇස් ඇරන් දකින කොට සිහිනයක් එකම ලෙස
එබෙනවා ලපටි දල්ලක් කොයිම හෝ දිනක ලොව
එකින් එක පෙති විදහා බලන්නට පොහොර දිය
දමපු අය තමයි මේ ඉන්නෙ ඇස් ඉදිරිපිට...

නංගියේ ලියාපුව එකතු කරපන් ඉතින් දැන්
දන් දුන්න ඇති නේද කාලයක් සයිබරයෙ
එහෙම කිවු  පළිගු කැට ඇස් ඇත්ති එදවසක
අක්කාට උපේක්ෂා තුති මලක් තියමි මම

අමායා නංගි ළග මගේ ඇස් නතර වී
මේ තුතිය ඔයාටයි කියනවා දැන් ඉතින්
සඳලි වී වත පොතේ මම ම වෙස් ගත්තාම
අලුත් වි විකසිතව පැමිණියා කවි හිතම..

පුංචියට ලියා යන පුංචි පද පේලි ළග
මහා ලොකු වදන් දී සවිය දුන් සර්ය මධුරංග
ඒ වඳන් සඳලි හා දොඩමළුව නිතරෝම
වාදයට ආවෙ නම් සිසුවාය සරසවියෙ...

"හිතට එන සිතුවිල්ල මරා යන්නේ මොටද
ඔන්න ඔහේ දානව කාට හෝ බලන්නට
මට එපා පොත් ලියා වදවෙන්න"
කියන විට බැන්න මල්ලියෙ ප්‍රසාද්
ඔයා අද නොවුන නම් මගේ ලග
මට කොහිද කවි පොතක්
මේ වගේ ලෝකයට පුදන්නට....

ඒ වගෙම නිලීකා නංගියේ ඔයාවත්
මතකයට ආවාය මේ දැනුත් හොදද මට
පියෙකුගේ පිය සෙනෙහෙ දැනෙනකොට
අප්පච්චි කියා මං කටපුරා කියද්දී
කිසිම දවසක විරසකව
නොගිය ඒ සහෝදර ප්‍රේමයට
හිස නමා තුති මලක් පුදනවා නිමේෂ් මං
ඔයාටත් ඔබේ ඒ සෙනෙහෙබර පියාටත්..

පාට පාටින් ලෝකයම පිරෙන්නේ
වෙනස් වී කාහටත් සුවය විඳගන්නමයි
ඒ වගේ විවිධ පැති තල වලින්
මගේ කවි බලා දුන් හැමෝටම ස්තුතියි...

කිසිම දවසක නොදන්නා මාව
දන්න අදුනන කෙනෙක් ලෙස බදා වැළඳන්
පොත් වැඩේ සියළු නිර්මාණයන්
හැඩදමා නිමැවුමක් කළ මල්ලියේ මානව
නුඹ නොමැති නම් තනි මෙමං
කොහොම අද සිනා මල් නඟන්නද
"පුරුදු හිත අරන් මව් රටට
අක්කා එන්නකො" කියා
මගේ හිත නිදහස් කල පිනට
තුතියි මල්ලියෙ හුගක්...

තෙත් බවක් හිත් තුලින්
සොයන්නට බැහැ අද ලෝකෙ
විෂ ඝෝර  රළු කමයි
පැතිරෙන්නෙ හැම අතම
එවන් මිනිසුන් පිරුණු මේ පොළව මත
මිනිස්කම් සොය සොයා ගෙනාවේ ඇයයි මට...
සහෝදර ප්‍රේමයේ පිවිතුරක් ගැන
අවැසි නම් මේ ලොවට
නංගි නුඹ පවිත්‍රා යැයි කියනවා මම එවිට
එපමණක් මගේ බර දරාගෙන
ගිය ..යනෙන දෙයට මං මොනව නම් කියන්නද.

හුරු පුරුදු ගහ කොලද නොමැති දුරු ඈත රට
සබඳකම් හරි හිගයි මිනිස් හැගුමන් තියෙන
නොදන්නා මගෙ අකුරු දිගෙ ඇවිදිමින්
මහත් වූ සෙනෙහසින් පෙරවදන ලියා දී
නේක බහුශ්‍රැත අය මැද්දෙ අතින් ඇද ළගට ගෙන
"කිවිදියක් මේ ඇයයි නම දිනිති..."
තිගැස්මක් හදවතේ තියාගෙන
ඔබේ පා කමල් වැද ගනිමි මම ඉතින්
දයාබර ගුරු පියාණෙනි
සුවහස් නැණ පහන් දල්වන
අදත් මේ මෙතන අසුන්ගෙන
දිරිය ශක්තිය පුංචි මට දෙන
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
දයාබර ගුරු පියාණෙනි
ආයෙ ආයෙත් ඔබෙ පා කමල් වදිමි මං..

එපමණක් නොව සීතා මහේන්ද්‍ර මෑනියන්..
සචිත්‍ර මහේන්ද්‍ර අයියා සමඟ
ඒ සියල්ලන්වම එක පෙළට හදවතේ
ඉහළින්ම සිහිවේවි මෙමට..

කවි ලොවේ දිග්විජය කළ
කිවිවර බුද්ධදාස ගලප්පත්ති
දයාබර පියාණෙනි හදවතින් තුති
ඔබට ඒ බෙදාගත් සෙනෙහසට..

දැනෙන දේ හැගෙන දේ
නුඹ ඉතින් ලියාපන්
කාටවත් ඇවැසි ලෙස නොනැමියන්
කිය කියා ඔවදන් දෙමින්
දයාබරවම නංගියේ කියාගෙන
ඇවිත් ගොස් දිරිය ශක්තිය දුන්
අමිල තේනුවර අයියේ ඔයාටයි මගෙ තුතිය.

කොහේ හෝ යන අතරමං සුළඟක්ව
කැරකෙන්න නොදී මට
රැකවල් යෙදූ අය තව අපමණයි..
ඇස් රතුකරන් අඩන විට උණුසුම්ව
දුක බෙදාගන්නට දුවන් යන්නට
බයක් නැති බැදීමක් ඇතොත් මට
ඒ තමයි කුරුල්ලා...විකියා..සහ ගමයා...
නුඹලා මැද මං
එකම සහෝදරිය කරන් රැකගන්න ඒ ප්‍රේමයට
කුමක් නම් කියන්නද...

ලයාන්විත ඈ හඬින්
ගුවන් විදුලියේ මහ ගෙදරදී
සෙනෙහසින් වැළදගත්
උණුසුමේ හැගුමක් තියේවි නම් ඒ ප්‍රියන්තනී ගමගේ මිස්...
හිස නමමි මං ඔබ ළඟත්...

බයක් නැතිවම මහ සෙනඟ මැද
කෙළින් සිටගන්නට මට
හයිය හත්තිය පෙවුව
තරුණ සේවා සභාවට හා මේ පැමිණ සිටින
තරුණ සේවා නිළධාරීන් ආදි යෞවනයන්
සැමට මගෙ ප්‍රණාමය හිස නමා පුද කරමි.

ප්‍රේමයේ අපිරිමිත නිමැවුමක්
මට ගෙනත් දී
සෙවනැල්ල සේ ළඟ ළඟින් හිඳ
මඟ නොමඟ පෙන්වමින්
අතින් අල්ලා එක්ක යන
මගේ නුඹටත් ඒ අම්මටත්
තාත්තා නංගීහටත් සෙනෙහසින් හදවතේ
ආදරය පුද දෙමිය මං...

ඈත රට තනිවෙලා යයි දැනෙන්දී
මව් රටේ සුවඳ යාකළ "ශ්‍රී ටීවී" නාලිකාව
කොහොම නම් අමතක කරන්නද...
අනුර හෙන්නායක මා මිතුර
ඔබට මේ තුති මලක්...

මගේ ගැන ලෝකයට කියන්නට
"ආරුක්කු කවියක් යටට එන්න"ට
කියා සැමටම ආරාධනා කළ;
නවලිය, අද, ලංකාදීප
පුවත්පත් කතුවරුන් ඇතුළු සියල්ලන්ටම
මගෙන් තුති මින් පුද කරමි.

තරු පිරුණු අහස් ගැබ මත
එකම තරුවක් වෙන වෙනම
කොහොම නම් මං කියන්නද
ඒ වුනත් මතක් වෙන තරු කැට
අතර අමතක තැනුත් ඇති.
එපා වෙන්නට අමනාපයක්
කිසිම විට මා එක්ක.

රසික නානායක්කාර...
කැළුම්..උමන්දා..තිලිණි අක්කා..
හර්ෂ අයියා..ප්‍රනීත් අයියා..
බිම්සර මල්ලී...කවීෂා නංගී...
ඔයාලට තුතියි මහ ගොඩක්.
සයිබර් අහසයට දුටු නොදුටු
නුඹලා සැමට හිස නමා අචාර
කරමි මම දැන් ඉතින්.







" ආරුක්කු කවියක් යටට එන්න " ඉතින් කවි පොත දොරට වඩින මොහොතට එන්න කිවුවට පසු වදනක් ලියන්න මට බැරි වුනා. එදා ඒ මොහොතෙ හඳිස්සියෙම ලියාගෙන පැවැත්වූ ස්තුති කතාව මගෙ අතට හමුවුනා. එය ඔබ වෙනුවෙන් පලකරන්න මට හිතුණ. 

නානාවිධි ලෙස මට උදව් උපකාර කළ ඔබ සියල්ලන්ටම අප්‍රමාණව ආදරෙයි. හැමෝටම තෙරුවන් සරණයි.

දැන් අහයි කවි පොත ගන්නෙ කොහොමද කියල...

ඉතින් කවි පොත ගන්න පුලුවන් ගුණසේන පොත් සමාගමේ කොළඹ කොටුව ශාඛාවෙන්. එය කියවා බලා ඔබට දැනෙන දේ මට කියන්න. එය මට අපූර්වතම ශක්තියක් වෙයි.










Wednesday, January 15, 2014

සඳට වුව දුක හිතෙනවද...?



ඉතින් ආයෙත් අහසට සඳ නැගන්
ඔච්චමයි හරි මැදින් හදවතට
නෙතින් නෙත බලා වරු ගණන්
ගෙවුන හැටි පුදුමයක් තාම මට

හිම පොකුරු ඇස් පියාගෙන
සිඹිනවා අතු ඉතිත් මල් ථලද
මම මෙතන හිස නවාගෙන
ආයෙමත් කවි ලියනවා දුකට

අයාලේ යන තුනී නල රැල්ලකට
බිඳින්නට හැකි වුනත් සිතුවිල්ල
පමාවේ නම් වළාකුළු එන්න අහසට
දකින්නට හැකියි නුඹටත් සඳ මඬල

පේන තෙක් මානයේ දුර අනන්තෙට
ශ්වේත කඳු විතරමයි පේළියට
කාත් කවුරුත් නැති හිත් අඟිස්සට
පෝය හඳ වුනත් සුවයක් තනිකමට

හිතුමතේ ඉඟිල්ලෙන සිහින අතරින්
ජීවිතේ අත වනනවා කඳු මුදුනතින්
කෑගසා වැටී යන තාරකාවක් වෙමින්
මාවතේ අතරමඟ නවතින්න බෑ ඉතින්

තෙතමනය දැනෙනවිට කම්මුලට
අතගසා නිකට මත හිඳිමි ඒ වෙලාවට
ගැඹුරු තැන් පෙනෙනකොට දිවි මඟට
සඳට වුව දුක හිතෙනවද රෑ මැදට..

_______2014/01/15_______



( ඡායාරූපය අන්තර් ජාලයෙන් )

Friday, January 3, 2014

" ආරුක්කු කවියක් යටට එන්න "

ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු දැක්කහම..

හුගාක් ලියන්න පුලුවන් මොහොතක නෙමෙයි මං ඉන්නෙ... ඒත් බ්ලොග් ලෝකෙ හැමදාම දුක සැප බෙදාගත්ත ඔයාලට පුංචි ආරාධනයක් කරන්නයි මගේ මේ සුදානම...

මගෙ කුළුදුල් කවි පොත එළි දක්වන මංගල දිනය ජනවාරි 05 වෙනිදට යෙදිල තියෙනව. ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයෙදි උදේ 10 ට. ඊට සමගාමීව මගේ අලුත්ම ගීත නිර්මාණ දෙකකුත් ඔබට පිදෙනව. 

පුලුවන්කමක් තියෙනව නම් ඔයාටත් එන්න කියල පුංචි ආරාධනාවක් මගෙන්...