Wednesday, February 26, 2014

*** නන්දේ ***


යාය පුරා එක නාදෙට
සී පද එන සද්දේ
ආලවඩන ඔය වදනට
මගේ ගතම පැද්දේ...
සාර සොබා මල් පීදි
ගම හිනැහෙන මැද්දේ
ආවා මං කැන්දාගෙන
මතක නේද නන්දේ...

එදා වේල එකට වැටී
කෑවා අපි සංතෝසේ
මෙදා රහට දිව පැටලී
මං වැටේද විස්සෝපේ...
දූලි සුලන් සීතල වැහි
මා වටකර සංසාරේ
නුඹ ළඟකින් නෑ ඒකයි
දරා ගන්න බැරි නන්දේ...

පුංචි එකී නැති ලමැදම
ගැස්සි ගැස්සි ඉස්සේ
රංචු රංචු සමනල් මැද
බඹරුන් එයි තිස්සේ...
ගහත් වැලත් වෙලා දෙකම
ඈ ඔතන්න අස්සේ
ඒ මැද්දෙන් දුරස්වෙන්න
දෙන්න එපා නන්දේ...

ගෙපිළෙ ඉදන් හූල්ලලා
පිච්චෙයි නුඹෙ හදවත
ඇස් දෙක බොර පාටවෙලා
වැහැරෙයි නුඹ හොඳටම...
කාසි පනම් ඈත රටින්
එකතු කරන් ජීවිතයට
පාඩු ගන්න මං එනවා
ඉන්න ඉතින් නන්දේ...

Thursday, February 20, 2014

දිය බිඳක් නැති ළපටි ගහකොළ කොච්චරක් ඇත මැළවිලා


සීත මීදුම කොහොමවත් නැති කොළඹ කොටුවේ ඔහෙ තනිවෙලා
පාට දන්නැති සිහින් සිරුරැති දෙකක් ළඟ මගෙ ඇස් කොටුකලා
කාගෙ කාගෙත් හඳිස්සියෙ යන ගමන් මළු ඔරවන් ගස්සලා
හිරිවැටී ගිය නිසා සියොළඟ නොකියාම නැවතුම සන්කලා

ඇඟේ උණුසුම එකට පොදියේ විඳින සැමියද ගුලිවෙල
හිතේ හැටියට සිහින මන්දිරෙ හිඳී ඉරියව් ගලපලා
හුස්ම ගන්නැති අත්වාරුවක් අසල බිත්තියෙ නවතලා
තරුණකම් අඩු මේ යුවල ළඟ පූස් පැටියෙක් හිරවෙලා

සේද සළු සුව යහන් මැද්දෙදි දැනෙන පුසුඹම එහි රදවලා
මැසි මදුරුවන් ගී ගයා නලවති කිරි සුවඳෙ ඉව විමසලා
යෝධයන් වැනි පවුරු බැඳගෙන වැලි කොට්ට ඉඟසුඟ හප්පලා
බේබිලා යන එන වාහනේ ජය සිව්කොනේ නද පතුරලා

ෂොපින් මල්ලක තේ කහට බිඳ දිව ඔසුව සේ සමවෙලා
සිනහ අහුලති හදවතින් එන හැඟුම් ඇතුළෙම හිරවෙලා
දවල් තරුවක් උරහිසක නරුමයෙක් දුවවිත් ගොරවලා
"තවත් වද දෙන්නැතිව යනවද" කිවුවෙ මව්ගුණ ගළපලා

අසිරිමත් රට දෙව්ලොවින් බට සුරඟනන් හැඩවැඩ කළා
පිළියමක් ඇති එතනෝල් ළග සූ සැටින් සංග්‍රහ බලා
පඩුපුලක් ඇත රස්නයක් නැති තෙත් හදක් යැයි පවසලා
දිය බිඳක් නැති ළපටි ගහකොළ කොච්චරක් ඇත මැළවිලා

Tuesday, February 18, 2014

සතර වරම් බල ඇත්තන් සතර දෙසින් බුරලාම
නිතර කොනහමින් ඇවිදිති ඇස් අඟ අපෙ රවටාම
කතිර ගසන දින ආවම නැති පෙම උන් උපදාම
දුරැර සියළු දුක් නැති කර යනහැටි දෙයි රඟපෑම


සැරද රජ තමෝ හිනැහෙයි පොඩි උන් නළවාන
නිබඳ එයට සැඟවෙයි හෙළු මුල් පිටු පොරවාන
වැවක වැඩි දියක් යන මඟ නම් වෙයි පිටවාන
එයද වැසුව දින ජලකඳ යයි හැම පෙරලාන.

Saturday, February 15, 2014

අත් හැරුණ රෝස මල - දෙවන කොටස

පළමු කොටස මෙතනින්

දහස් වතාවකටත් වඩා ඔබේ ඇස් කතා කරනවා යැයි සිත සිත මා එතනම උන්නෙමි. 

ඔයාගෙ අතේ ඉඳුල් නැහැනෙ..මං අත හෝදගෙන එන්නම්...

එහෙම කියා ඔබ විහාර ගේ පිටුපස ඇති ටැප් එක වෙතට ගියේය. අත සෝදාගෙන ඇවිත් වතුර බිංදු කිහිපයක් මා දෙසට විසි කරන තුරුත් මා සිටියේ කුමක් සිදුවූවාදැයි සිතමින්ය.

ඒයි බයවුනාද...? යන් අර පැත්තෙ ඇවිදින්න...

එහෙම කියා ඔබ පාර පැත්තට අත දිඟු කලේය. එවිටම වාගේ මගේ දෑස ලස්සන විදේශිය තරුණ යුවලක් පන්සල දෙසට එනවා දුටුවෙමි. ඒ තරුණිය බොහෝම ආදරයෙන් අර තරුණයාගේ අතක එල්ලී පඩිපෙළ නැගීමට යයි. අනික් අත වූ කැමරාව පද්දවමින් ඇය තව මොනවදෝ කියනවා මම දුරට දැක්කෙමි. ක්ෂණයකින් මගේ හිතේ මාත් විසල් අයියා අතක එල්ලී ඇවිද යන චිත්ත රූප පෙළක් හිතේ මැවුනි.


හලෝ....සිහින ලොවින් බහින්න...

කියමින් විසල් අයියා මගේ අතින් ඇල්ලුවේය. ලෝභ කමින් ඔහුගේ අත මුදාහල මා ඔහු හා පාර දෙසට ගියෙමි. නුවර අහස හැමදාම වගේ වැහි බීරුමෙන් පිරිල තිබුණත් ලස්සනට පිපිල තියෙන කහපාට මල් කඩමින් පයින් ගස් අතරින් මම ඔහු ඇවිද ගියෙමි. සූරියකාන්ත මලට හුරු ඊට වඩා පුංචි ඒ ලස්සන කහපාට මලක් නහයට ලංකර බැලූවත් එයින් සුවඳක් හමා ආවේ නැත. ඒත් හරි අපූරු සුන්දරත්වයක් ඒ මලින් මම විඳගත්තෙමි.

ඒ ගමන මල දිහාබල බල ඉඹ ඉඹ මොනාද ඔබ තනියම හිතන්නෙ....? 

මොකුත් නෑ...

මොකුත් නැතිවෙන්න බෑ..හරි දැන් කියන්න මං කියපු දේට මොකද කියන්නෙ..

මොකක්ද...මට මතක නැහැනෙ...

දැන් ඔය ගුටි කන්න හදන්නෙ...

ආහ්..හිතේ ඇති..හරි ඔයාම කියන්න කීයක් ජාති කිවුවද දැන්...මං දන්නවයැ එයින් කෝකද කියල...

නිම්මි නංගියේ................

හරි හරි බලමු අයියා...

ආ....හරි....බලමු...ඒ කියන්නෙ ඔයා මට කැමතියි...

නෑ..නෑ...එහෙම එකක් නෑ....ඒත්...

ඇයි ඒත් කිවුවෙ...? කවුරු හරි ඉන්නවද ඔයාට...

මට කවුරුත් නෑ...ඒ වුනාට අම්මට මං හුගක් ආදරෙයි..

ඉතින් මං කිවුව අම්මට ආදරේ කරන්න එපා කියල... අම්මටත් ආදරේ කරන්න . මටත් ආදරේ කරන්න. ම්...ආදරෙයි නේද...?

මන්දන්නෑ අයියා...

මේ බලන්න නංගි...අර සුදු ලොකු බුදු පිළිමෙ දිහා බලන්න. ඒක දිහා බලාන මං කියන්නෙ. කවමදාවත් මං ඔයාව දාල යන්නෑ. මට පොරොන්දු වෙන්න. මට ආදරෙයි නේද.....?

අයියා කැමති දෙයක් හිතා ගන්න. 

මා එහෙම කියනවාත් සමඟ මගෙ දෑතම තදකර අල්ලාගෙන

මගෙ හොද නංගි
යැයි කීවේය.

කතා කර කර අපි ආපහු එනකොට හැමෝම යන්න සුදානම් වෙලා බස් එක පැත්තට එනව. මලිත් අක්කත්
"හරි මහන්සියි"
කියාගෙන සීට් එකක වාඩිවෙලා දෑස් පියාගත්තා. 

"මං ඔයා ගාවින් ඉඳගන්නවා"
කියමින් ඔහු මගේ අසල හිඳ ගත්තේය. ඉන් පසු බසය දළදා මාළිගාව බලා පිටත් විය.

මං ඔයාටත් එක්ක මල් ගත්තා. 

එහෙම කියමින් විසල් අයියා මගෙ අතට සමන් පිච්ච මල් වට්ටියක් දිගු කළෙමි. 

මම දෑතින්ම එය රැගෙන උඩ මළුවට නඟින සෙනඟ අතරට එකතු වුනෙමි. මා සමඟ එක පෙළට ඔහුත් පැමිණෙන බව මට දැනුනත් ගැහැණු සිතට දැනෙන කෝල බවට හා නුහුරු ගතියට ලැජ්ජා වී මම බිස බලාගෙනම පඩිපෙළ නැග්ගෙමි. එතරම් සෙනඟක් නොවූයෙන් කරදරයකින් තොරව මල් පූජා කරන්න පුළුවන් යැයි සිතමින් මම මල් අසුන වෙතට ගියෙමි. 

මමත් ඔයා ළඟින්ම මල් පූජා කරනවා

දඩබ්බර කොළු ගති පෙන්වමින් විසල් අයියා තනිවම කියවයි. මල් පූජා කර ඒ අසලම දණ ගසා වැඳ පඩුරක්ද දමා මම එළියට ආවෙමි.

නංගි අනික් අය දැම්ම එන එකක් නෑ අපි යං බස් එක නවත්තපු පැත්තට...

මමද ඔහුට කීකරු වී මඟට බැස්සෙමි. පොඩි දරුවෙකු රැකගන්නා සේ මගේ අතින් අල්ලා පාර පැන වැව අයින දිගේ උඩට ආවේය. අසල කඩයකට ගොඩ වැදී අපි කැසට් පීස් තේරුවෙමු.

මේක ලස්සනයි...

එහෙම කියමින් මම කරුණාරත්ත දිවුල්ගනේගෙ "මා ඔබත් එක්ක සුහද කතාවක්" සිංදුව තියෙන කැසට් පීස් එක ගත්තෙමි.

කීයද...? ඉන්න මං ගෙවන්නම්...
විසල් අයියා ඉස්සර වුනි.

නෑ..නෑ..මං ගාව තියෙනව..

පණ්ඩිතය නොවී ඉන්නව. හරි දැන් යමු. 

එක දිඟට වදින හෝන් සද්දයකින් මා කල්පනා ලොවින් මිදෙනවාත් සමඟම මගේ අතකින් අදින බවක් දැනුණි. 

මාමා කොච්චර හෝන් කළාද...මෙයා බස් හෝල්ට් එක ඇතුලෙ නිදි...

නෑ අයියා..තව වෙලාව තියෙන හින්දා ඉඳගෙන ඉඳියෙ. මං ආවෙ 10.10 ට විතර.

හා..හා ඒවයින් කමක් නෑ...එන්න නගින්නකෝ...

මා ඔබව අනුගමනය කරමින් බසයට නැග්ගෙමි. බසය පුරා ඒ තරම් සෙනඟක් නොවුවත් අසුනක් දෙකක් හැර අනික්වා සියල්ලේම සෙනඟ සිටියේය. තනි අසුනක වාඩි වු මා විසල් අයියා දෙස බැළුවෙමි.

මොන ලෝකෙද අර හෝල්ට් එකට වෙලා ඉඳියෙ...

අයියගෙ ලෝකෙ...

දෙයියනේ මගෙ ලෝකෙ හිටිය නම් මං දැන් එන වෙලාව බව දැන දැන නිදාගන්නවද...

නෑ අනේ..මට නුවර ගිය දවස මතක් වුනා...

අප්පෝ...මෙයාගෙන් කැමතියි කියල අහගන්න මම කාපු කට්ටක්...

යනව යන්න...

යනව යන්න නෙමෙයි..යං මතුගම..ආ....

අනේ අයියා මං අම්මට ආච්චි බලන්න යනව කියල ආවෙ....

හරි ඉතින් එන ගමන් දෙන්නම බහිමු. ආච්චිලගෙ ගෙවල් ළගින්. ඔයා ආච්චි බලල එනකම් මං බස් හෝල්ට් එකට වෙලා ඉන්නම්...

බසයට ගෝලයකු සිටියත් විසල් අයියා ඔහුට හවුල් වී සිටියේය. එහෙයින් මම මගේ පාඩුවේ දෑස වසා ගත්තෙමි. 

නංගි ...නංගි...මේ...ඇස් අරින්නකෝ...

ඇයි අයියා...

මේ හරිය ඉද්දමල්ගොඩ...අර අතන පාරෙන් අපේ ගෙදරට යන්නෙ..බහිමුද...

අනේ...අයියා...බයයි...වෙන දවසක යන්.

ඔහොම බය තිබුණොත් ඇති.. අපෙ අම්මා ඔයාව ගිලින්නෑ..

ඒ වුනාට මට බයයි..

හා..හා..අද එක්කන් යන්නෑ...හැබැයි අනික් දවසෙ එන්න ඕනි...

තව විනාඩි පහෙන් මතුගම...

එච්චර වෙලා ගියා...මට දැනුනෙත් නෑ...

දැනෙන්නෙ කොහොමද...ඔයා ඇස් පියාගෙන " කල්පනා ලොව මල්වනේ - සිහින රජ දහනේ"
 නේද...?
තාලයට කියමින් විසල් අයියා මගෙ අතින් ඇද්දේය.


ඔය සෙනඟත් ඉන්නවා..

ඉතින් මට මොකෝ...ඔයා මගෙ..බස් එක මගෙ..

ඔයාගෙ බස් එක වුනාට මට බෑ...

අප්පේ...මෙයාගෙ තියෙන අහංකාර කම. 

එහෙම කියාගෙන විසල් අයියා බසයේ ඉදිරි දොර වෙත ගියේය. මා බසය මතුගම නැවතුම් පළ තුළ නතර කළ පසුත් බසය ඇතුළටම වී හිඳියෙමි.

යං මොනා හරි බීල කතා කරමු...

අනේ මේ...මොනා හරි නම් බොන්න මට බෑ...

පිස්සි...හොදටම දන්නව මං එහෙම දේවල් බොන්නෙ නැහැ කියල..මේකි නම්...

කියා මගේ අතින් ඇදගෙන ස්නැක් බාර් එකක් තුළට ආවෙමු.

අපි ක්‍රීම් සෝඩා බී ඉන් එළියට ඇවිත් බුලත්සිංහල දෙසට ඇවිද ගියෙමු.

නංගි මං ඔයාට කියන්න හිටියෙ..

මොකක්ද අයියෙ...

තාත්ත නසීප නැතුව ඉස්පිරිතාලෙ..

ඇයි අයියෙ මට කලින් නොකිවුවෙ. අපි යං තාත්තව බලන්න..

දැං බෑ නංගි..ඔයාට පරක්කු වෙනවා. ඊලග ටර්න් එකට දැන් බස් එක ගහලත් ඇති.

ඒ වුනාට අයියෙ...

ඒ වුනාට නෙමෙයි..අපි ආච්චලගෙ ගෙදර ගිහින් දෙර යමු. ඔයාට තමයි හැමදාම මගෙ අම්මවයි තාත්තවයි බලාගන්න වෙන්නෙ. ඒ දෙන්නට ඉන්නෙ මං විතරනෙ.

අනේ කොච්චර ෂොක්ද.

හරි එහෙනම් අපි යන් දැන්....


මතු සම්බන්ධයි. 

( මෙය මා විසින් මීට වසර හයකට හතකට පමණ පෙර ලියූවකි. )





Thursday, February 13, 2014

අත් හැරුණ රෝස මල



   
     මම නංගී දෙස බැලුවෙමි. ඇය චතුස් පුතාව තුරුල් කරගෙන කිරි පොවයි.මාස 3ක් වයසැති සිගිති සුරතල් පුතා දෑත් දෙපා විහිදවමින් සතුටින් කිරි උරයි.  

අද මගේ නංගි ආදර බර බිරිදකි. සෙනෙහෙබර මවකි. ඇය දරු සුරතල් බලයි. ඇගේ කැදැල්ල දැන් සම්පුර්ණ යැයි මම සිතමි. මට වඩා අවුරුදු 4ක් බාල වුවද ඇය අද පතිනියක් වී හමාරය. මා තවමත් අම්මාගේ සුවදට ඉව අල්ලමින් ඇගේ තුරුල්ලේ දැවටෙන්නට ප්‍රි කරමි.  

මට අතීතය සිහිවේ.  

ආදරණීය ඔබ මා ළග සිටියානම් අද මමද බිරිදක්, මවක් යැයි මට හිතෙන්නෙමි.  

එහෙත් කාළය බොහෝ දේ වෙනස් කලේය. මා දුරු රටක රැකියාවට ගියේ ඔබ විවාහ වූවා යැයි සැලවීමෙන්ය. ඉතිං අතීතය හරි අවුස්සා මිහිරි රසයක් විදින්නට හැකිනම් කියා මට සිතෙන්නෙමි.
 
  ....ඒයි නිම්මියේ...මොනාද කල්පනා කරන්නෙ... 
මා පියවි සිහියට ආවෙ අක්කාගේ හඩිනි. ඇය දොරකඩ සිට මට කතා කරයි. මම ගල් පඩිය උඩට වෙලා නංගී දෙස බලා සිටිමින්ම හිත දුර ගොස් ඇති බව වැටහුනේ පසුවය


...මොකුත් නෑ හලෝ...පොඩි එකා දිහා බලන් හිටියා...


...ඇයි ඔයාට ආස හිතුනද...?  ඒක තමයි අම්මා හැමදාම කියන්නෙ කසාදයක් බදින්න කියලා...ගෑණු ළමයෙකුට තනියම ඉන්න බෑ...


...ඔය බොරු අක්කා...මට අම්මා ඉන්නවා...ඔයාලා ඉන්නවා...ඉතිං මට තනි නෑ...


  ඔයා හිතන්නෙ අම්මා හැමදාම ඉන්නවා කියලද?...එයා හැමදාම ඔයාගෙ තනි රැකලා හරි යන්නෙ නෑ. ඔයා අවුරුදු 2කට වතාවක් ලංකාවට එනවා මාසයක් ඉදලා ආපහු යනවා. අනික් කලෙ අම්මා තනියමනෙ..දැන් අපි අම්මව බලාගන්න ඕනි කාලෙ...


   මම ඇස් උස්සා අම්මා දෙස බැලුවෙමි.ඇයගේ මුහුණේ එය අනුමත කරන සලකුණක් ඇද්දැයි සෙවුවෙමි..එහෙත් එවෙනි වෙනසක් නැතත් අක්කා කිවුවෙ සත්‍යයක් යැයි මට සිතුණි.



 ..දැන් නිම්මි කොයිකාලෙ විතරද බදින්න ඉන්නෙ...?


  අම්මාගේ පැනයෙන් මා අසරණ වූවා පමණක් නොවේ, මගේ හිත අතීතය අවුස්සන්නට වූයේය..අද මගේ නංගී මවක් වී ඇති ලෙස ඔබ ආදරණිය පියෙකු වී ඇතැයි සිතමි
 එහෙත් සියල්ල ගැන පෙරපර ගලපන්නට මම වෑයම් කරමි. ඔබට රිසි හෝ නිරිසි වූවත් මට මහමෙරක් තරම් සදිසි ප්‍රේමය ගැන ලියන්නෙමි. ආදරණිය කතා කරන ඇස් දෙක ගැන මට කල්පයක් තරමට ලිවිය හැකි වුවද මගේ ජීවිතයේ සදානුස්මරණ සිහිවටනය වූ ...මගේ ප්‍රේමය ...ගැන මම ඔබට අකුරු කරන්නෙමි...





මහ හුගක් පෙරුම් පුරලා

පිපෙන්න අර අදින පෙම් කැකුළ

අතැගිලි අතරින් රූරා වැටෙන්න

ඔන්න මෙන්න යැයි මට හිතෙනවෙ...

වැටෙන්න පෙර පෙම් කැකුලු

දෝතින් නෙලන්න ඇයි ඔබ නාවෙ

නොපිපී පරවී කඩා වැටෙන විට

ඇහිදින්නද ඔබ බලා හිදින්නේ...

ඔබටත් හිමි නැති මටත් අහිමි

සුවදැති පෙම් මල් කැකුලු

දෑස් අගින් දිලිසෙන කදුලැලි අතරින්

බොදවුන සිතුවම ලෙසින් පෙනේවිද...?



                                   අල්මාරියේ වූ සියලු ඇදුම් එළියට අදිමින් මා ඇදුමක් සෙවුවෙමි. ලා නිල්පාට මල් වැටුන පිනපෝ ගවුමට මගේ හිත ගිය බැවින් ඒකට ගැලපෙන ටී ෂර්ට් එකක් සෙවුවෙමි. මට අහස් නිලට හුරු ටී ෂර්ටයක් තිබුනා මතකය. ඒත් එය කොහිදැයි නිච්චියක් නැත. හැම තැනම හෙවුවද එය හමුවුනේ නැත. තවත් විපරම් කර
 

...අම්මා...මගෙ අර නිල්පාට ටී ෂර්ට් එක දැක්කද...?


...ඇයි ඒක අර වැල් තියෙන්නෙ...ඔයා පෙරේදා පන්ති ඇදලා තිබුනෙ. ගමන මං හේදුවා.



මා පෙරේදා පන්ති ඇන්දේ ටී ෂර්ටය මට නිකමටවත් මතක් වූයේ නැත


..දැන් ඔය කොහේ යන්නද ලැහැස්ති වෙන්නෙ...?


..අම්මා මං ආච්චි බලන්න ගිහින් එන්නම්...


     අම්මාට ආච්චී බලන්න යනවා කීවට මගේ හිත උඩ හිටියේ විසල් අයියාය. විසල් අයියාගේ බසය හැමදාම දහයාමාර වන විට අපේ ගේ ළග ඇති බස් නැවතුමෙන් යයි. බස් නැවතුම් පලට විනාඩි 10යක දුරක් යායුතුය. ඉතිං මා කලබලයෙන් ලැහැස්ති වූයේ විසල් අයියා මග ඇරෙයිදෝ යන හිතේ සැකයෙනි. ඇදුම් අදින අතරතුර මම දහස් වාරයක් හිතෙන් දෙවියන් යැද්දෙමි. විසල් අයියාගේ බසය මට මග ඇරෙන්න එපා යැයි කියමිනි.



...හදිස්සියෙ දුවන්නෙ අතේ සල්ලි තියෙනවද...? 
 මා ගේට්ටුව ගාවට ගියාටත් පසු අම්මා නැවතත් ඇසුවේය...


...ඕන්නෙ නෑ...අම්මෙ..මගෙ අතේ තියෙන ගාන හොදටම ඇති...


...ආච්චිට මොනාහරි අරන් යන්න පුතේ...


...හා අම්මේ... 

කියාගෙන ගේට්ටුවත් වසා පාරට පැන ගතිමි. දැන් මට ප්‍රශ්න වලට උත්තර බදින්නට ඇවැසි නැත. ඒත් අම්මා රවටා මා ආදරය පසු පස්සේ දුවනවා නේදැයි යන සිතුවිල්ල හිතට ආවද විසල් අයියා මතක් වී හැම අමතක කලෙමි.


                   මා විනාඩි 10 ක් පමණ යාමට ඇති දුර විනාඩි 5ක් තරම් අඩු වෙලාවකින් ආවායැයි සිතුනේ අතබැදි ඔරලෝසුව දුටු විටය. දහයාමාරට තවත් විනාඩි 20 ක්ම ඇත. මෙතරම් කලබලයෙන් දිවුවෙ ඇයිදැයි මම සිතමි. ඒත් බැරි විමකින් හෝ 10.30 කලින් බසය මතුගම බලා ගියොත් මට විසල් අයියා මග ඇරෙනවායැයි සිතා මම හිත හදාගත්තෙමි.


      මට විසල් අයියා හමුවු හැටි සිහිවෙමි. ලස්සන කතා තරන ඇස් දෙකට මා වශී වූයේ බහිරව කන්ද පන්සලේදීය. මගේ යාලුවා මලිති අක්කාගේ ගෙදර අයත් සමග බහිරව කන්ද පන්සලට දානයක් රැගෙන ගිය අවස්ථාවෙදීය.එදා අපි නුවර ගියේ විසල් අයියාගේ බසයෙනි. විසල් අයියා බසයේ අයිතිකරු වූවත් ඔහුගේ මාමා රියදුරු වශයෙන් කටයුතුකලේය. අපි දානය පිළිගන්වා අවසන් වූ පසු අවට සිරි නරඹමින් පොටෝ ගැසුවෙමි. කවදත් දගකාර කෙල්ලක වූ මා එකපාරටම අතවූ කැමරාවෙන් විසල් අයියාගේ පින්තූරයක් ගත්තෙමි. ඉන්පසු කිසිවක් නොවූ ලෙස ඈතින් පේන නුවර වැව දිහාත් මාළිගාවත් ඇතුලු නුවර නගරයේ සිරි නැරඹුවෙමි.


      .....ඔයා හරිම දගයි... 

මගේ කණ ගාවින් ඇසුණ කටහඩකින් මම හැරී බැලුවෙමි. විසල් අයියා හිනාවේගෙනම මා දෙස බලා හිදියි


 ....නංගි මං ඔයාට ආදරෙයි... 

එකපාරටම විසල් අයියා කී දෙයින් මම බිරාන්ත වී ගියෙමි. මට කිසි දෙයක් හිතා ගන්නට පවා නොහැකිය...


 ...ඇයි බයවෙලා...මං කිවුවෙ ඇත්ත. හැමදාම උදේට බස් එක හොරණ යනකොට මම දකිනවා ඔයා ඉස්කෝලෙ යන්න පාරෙ අනික් පැත්තෙ ඉන්නවා. කොච්චර ආසාවෙන්ද ඔයත් එක්ක කතා කරන්න බලා ඉදියෙ. හැමදාම හිතින් ආදරෙ කලේ. අද ඔන්න ඔයාටත් කිවුවා...මොකද කියන්නෙ...?


   එතකොටම වාගේ හිනැහීගෙන මලිති අක්කා ආවේය.


  ...මොකද නිම්මි ඔයාට පැනලා යන්නවත් කතා කළාද විසල්...



   මලිති අක්කා මට වඩා අවුරුදු 5ක් පමණ වැඩිමල් වුවද ඇය මගේ යෙහෙලියයි. ඇය රැකියාව කලේ ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේය


 ...මේ විසල්ගෙ බස් එකේ තමයි අපි හැමදාම හවසට වැඩ ඇරිලා එන්නෙ...


 ...අම්මෝ බලන්නනි මලිති අක්කලගෙ කට්ටියගෙ කටවල් වල සද්දෙ...


  ..හා...හා..අපේ සද්දෙ පරදින්නත් එක්ක ඔයාගෙ එකම විලාපයයි. බලන්න ඕනි කොහොම හරි ඔක්කොම ටික පටව ගන්න ලස්සන...


 ....එහෙම කියන් එපා. අපිත් ජීවත්වෙන්න ඕනි...ලීසිං ගෙවන්න ඕන...තව කීයක් ජාතිද... 
විසල් අයියා උත්තර බැන්දේය..


 ...ඇති...ඇති.. දැන් යමු බත් කන්න.. 
කියමින් මලිති අක්කා ඉස්සර විය. විසල් අයියා මාහා පෙළට වැටුනි.


   ...නංගි මං කිවුවෙ ඇත්ත. ඔයා දැක්ක දා ඉදන් මට මොකක්ද හුරු පුරුදු ගතියක් දැනෙනවා... විතරක් නෙමෙයි මගේ හිතේ හිටපු කෙල්ලව දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් හම්බවුනා.


 හැමදේටම කියවන කෑගහන මගේ කටට උත්තර නොවීය. මා විසල් අයියාගේ පා දෙස බලමින් ඔහු හා දාන ශාලාව දෙසට ගියෙමි.


 ..අපි දෙන්නටම එක පිගානකට ඛෙදා ගන්න....
 තවත් මට ළංවී කියූවෙන් මගේ මුලු ඇගම හීගඩු නැංවීය. විතරක් නෙමෙයි කන්පෙති රතුවී මුහුණට ලේ පුරා ඇතැයි මට සිතුණි. ඇගට හොදටම දහඩිය දමා තිබුණි.


   ...මොකද ඔහොම බලන් ඉන්නෙ...? ඇත්ත මං කිවුවෙ.


මට කරකියා ගන්නට දෙයක් නැත. සරණක් සොයමින් මගේ ඇස් මලිති අක්කා සෙවුවේය


...ඇයි නිම්මි කන්නෙ නැද්ද...? මොකද නිකන් බයවෙලා වගේ...?


...මට දෙන්නට උත්තරයක් හොයාගන්නට බැරිවිය.

 .....දග මල්ලට මොකද වුනේ...?  
කියමින් මලිති අක්කා මගෙ අතින් ඇද්දේය. විසල් අයියා දුරසිට බලා හිදින බව මම යටැසින් දුටුවෙමි.


...මලිති අක්කා...මෙ....මේ...විසල් ...යි...යා...


...ඇයි විසල් ඔයාව ගිලිනවා කිවුවද...? ඕකගෙ හැටි මං දන්නෙ නැද්ද...? ඔය කට ඇරියොත් ඉවරයි.


... නිම්මි මෙ බත් කන්න.. 
කියමින් මලිති අක්කාගෙ අම්මා මා දෙසට බෙදූ බත් පිගානක් දික් කලේය..එය අතට ගත්තද මගේ අත වෙවුලමින් තිබුණි. තරතියා ගන්නට දෙයක් නැතිව වටපිට බැලූවිට විසල් අයියා මා ළග බව දැක්කෙමි.


 ...එන්න යන්න ...බස් එකට ගිහින් කමු... 
කියමින් ඔහු මගේ අතින් ඇදගෙන ගියේය...


 ...ඉතිං මුහුණ දිහි බලාගෙන ඉන්නෙ කවනවා මටත්...

 මා තවත් බියපත් වුනෙමි. නිවසේදී නම් බත් කන්නට බෑ කියමින් ඇදේ ගුලිවී සිටිනවිට අම්මා බත් පංගුව ඛෙදා ගෙනවිත් මට කවයි...දැන්..මට තව කෙනෙක්ට බත් කවන්නට සදුවී ඇත. කුමක් කරන්නදැයි සිතමින් මම ඇස් දෙස බැලුවෙමි...


   විශ්වාස කරන්න.. කතා කරන ඇස් දෙක ලස්සනට දිලිසෙමින් තිබුනි. ඇස්වලින් කතා කරනවා විතරක් නොවෙයි හිනාවෙනවාත් කියා මට සිතුණි.


...ඔය හොදි දාලා අනලා මටත් කවන්නකෝ... 
විසල් අයියා මට පෙරැත්ත කරයි. මම බත් පිගාන දෙසම බලා හිඳියි
 
 ...හා මට කවන්න එපා...මං මෙ පැත්තෙන් කන්නම්...ඔයා ඔය පැත්තෙන් කන්න.  

එහෙම කියා ඔහු අත දමා බත් අනන්නට ගත්තේය. මම දෑතින් බත් පිගාන තද කර ගත්තෙමි.


 ...මං ඔයාව කන්නෙ නෑ...ඔය පැත්තෙන් අනාගෙන කන්න.. 

කිසිවක් නොවූ ගානට ඔහු මගේ දෑත මත ඇති බත් පිගානෙන් බත් අනාගෙන කන්නේය. හිටිගමන් බත් පිඩක් අතට ගත් ඔහු
 

...ඔයාටනෙ කවන්න බැරි එහෙනමම් ඔන්න මං කවනවා කට අරින්න... 
කියමින් ඔහු මගේ මුවට බත් පිඩ ළං කලේය. කිසි දෙයක් හිතා ගන්නට නොහැකිව මගේ දෑසට කදුලු ඉනුවේය.


  ...ඕකට අඩන්න ඕනි නෑ...කට අරින්න බැරි නම් මටත් එපා...මං යනවා... 

එහෙම කියා ඔහු යන්නට සැරසුනි. සැනින් මගේ අතින් ඔහු වැලැක්වුයේය. ඔහු පුදුම වුනු දෑසින් මා දෙස බලා ලස්සන හිනාවකින් මුව පුරවාගෙන යලිත් මගේ මුවට බත් පිඩ ළං කලේය. කීකරු වූ දරුවෙකු මෙන් මගේ මුව විවර වී බත් පිඩ කෑවෙය. ඔබ දගකාර දෑස්වලින් මා දෙස බලා හිනැහෙමින් උන්නේය.


 ...ඉතිං කියන්න...දැන් මට ආදරෙයිද...?  

ඔහු යලිත් ඇසුවේය..මම කිසිවක් නොකියා ඔබ දෙස බැලුවෙමි... ඇසඒවල ලස්සන මට කියා ගන්නට බැරි තරමට චමත්කාර බවකින් පිරි ඉතිරී තිබුනි.


( මෙය මා මීට වසර හයකට හතකට ඉහතදී ලියුවකි. _
______මතු සම්බන්ධයි ____