Tuesday, January 31, 2012

ආදරණිය නන්දා...

ආදරණිය නන්දා..........


මේ විසල් පොළව මෙන්
ඉවසුවා නුඹ නන්දා
අර ගැබ්බරම අහස මෙන්
දුක් දරාගත්තා නන්දා.........

දැවටි දැවටී පුසී පැටියෙක්
වගේ ළග මාතර හාමිනේ
තනි රැක්කා නුඹ මහ ගෙදර
නිහතමානීවමම නන්දා....

ලතෙක් හදක් ඇති සංවේදි
ගැහැණියම වුනා නන්දා...
කොග්ගලට ඉර සඳ ඇවිත්
ගියද නුඹ බලා උන්නා නන්දා

" මළගම කළෙත් මගෙ මුදලින්ම "
යැයි කියද්දිත් නෑසුනා නන්දා...
නොවුවත් අපෙ පරපුරේ ඔබ
වටිනවා මහ හුගක් දැන් නන්දා......

... හිතන්න ඔබට බාරයි...

වසන්තය
උපවාසයක...
ගිම්හානය
දවා හලු කලාට
සියළු
ගස්වැල්
මල් පල......

දැන් ඉතින්

කදුළු ගෑස්
ඉල්ලා
හඩයි යොමා අත්
මහ පොළව
අහසින්.....

කෝටා ක්‍රමයට
දෙන්නම්ලු
අහස අද හෙට
නැත්නම්
වසන්තය
යට කරන්නම්ලු
ඒකාධිපතිත්වයේ
හස්තයට.....

Monday, January 30, 2012

*** සොදුර මේ නුඹ නමට ***



හැමදාම එකම ලෙස
ගඟ ගලා බසිනවා
නුහුරු නුපුරුදු තැනක
ගල් පරත් තියෙනවා....

ළග නැතත් සිත ළගක
ඇවිත් තනි රකිනවා
ගඟ රකින ඉවුරු ලෙස
මම නුඹව රකිනවා...

නිවා ගන්නට ගඟ වෙහෙස
මුව දොරක් සොයනවා
මුව දොරක් වෙලා නුඹ
හස මලක් ගෙනෙනවා....

ගඟ ගලාවිත් මහ සයුරෙ
දුක කියා වෙලෙනවා
මම ඇවිත් නුඹ ළගක
හිත නිවා ගන්නවා.....

        .... දිනිති ....

*** මගෙ දුවට ***



හිල් වෙච්ච අහස මෙන්
නොම සලන් කදුළු කැට....
හෙටත් අලුයම උදාහිරු එයි
හිනැහියන් නුඹ මගෙ දුවේ...

නෙක විලස හැඩ තියපු
රුව දිලෙන මලක් නුඹ
දේදුන්නෙ පාට ගෙන
බැහැ කරනු ජීවිතෙ පාට....

සියපතක් වුව පිපි එන්නෙ
ගඳ ගහන මඩ දියේ......
වැර අරන් අද දිනේ
හිනැහියන් නුඹ මගෙ දුවේ..........

කලු වලාවන් ඝන ඇවිත්
දුටුවේද පුන් සඳ වසන
ඒ ලෙසම යන දිවි ගමන
රලු පරලු ගල් බොහොම...

එකම කාසියෙ උඩ යටම
පෙරලෙනවා ලෝ දුක සැපම.....
නුවන් පොඩිකර නොම සිටින්
හිනැහියන් මනහරව ලද දෙයට........

Sunday, January 29, 2012

*** ලෙච්චමී ***



තුඩු අගින් නෙක තාල තියමින්
නැතත් බෙරපද නටයි දෑගිලි
රෙදි කඩක් හිස බැදන් ඇය
හදයි බේරෙනු පිනි සීතලෙන්.....

සර සරින් එයි දැවටිලා
මුණු මුණුව සුලගේ තැවරිලා
සිල් අරන් වගෙ බිම බලා යයි
ගලා ඇස උල්පත් දිය පාවෙලා...

උඩ බලනු බැරි නිල් කදු බ‍ඳේ
මැදහරියෙ ඇය නැවතිලා
නොපියා පියවෙන දෑස් පොඩිකර
ඉරමලෙන් ඔරලෝසු කටු මනිනවා ....

මිනින්දෝරුවො වගේමයි කූඩැල්ලො
මැන මැනම පතුල් යට සිට එයි
සිඹ සිඹා ඇගෙ ලේ සොලවනා
වගක් නැතිවම හුස්ම පිඹ පිඹ
යාවි ඇය තව දිවි සරි ගැන සිතා....

එකදිගට නද දේවි අතරැදි
වලලු පෙළ තනි මහහැරා....
රතු කරන් කට හපන විටයක
යාවි ගිනි කුස අමතකා.....

මල්ලවම පොරයක් වගේ මුලු
දවස තිස්සෙම ඔට්ටු වීලා
කඩාගත් දලු දීලා යයි ඇය
දිනක වේතනෙ අත හිරවෙලා....

පිච්ච මල් ගෙන දැවටුවත් හිස
දිවි ගමන සුවඳක් නෑ ගෑවිලා...
හැන්දැ වරුවට කෝවිලේ දණ ඔබා
යදියි ඇය පිහිටක් ඉල්ලලා....

*** සමාකරන් අප්පච්චී *** Part - 01

පළමු දිගහැරුම


 
          සුදු රෙද්දක් පොරවා ගත්තාසේ අවට සියල්ල මීදුමෙන් වැසී ඇත. ගස්වලට වැටී ඇති පිණි බිංදු අතින් අල්ලමින් මම මිදුලේ ඇවිද්දෙමි. හැමදාමත් අවුරුද්දට සැරයක් නුවරඑළියෙ එන අපි එහි සුන්දරත්වය හදවතින්ම විදගන්නෙමු. සෙරෙප්පු දෙකක්ද නොදමා තණකොළ උඩ ඇවිද යනවිට අපූරු සුවදායී බවක් දැනේ. නිවසේදී මට මෙලෙස එළියටවත් එන්නට සිතෙන්නේ නැත. ඒ.....රන්මුතු˜ බංගලාවෙන් එළියට එන අපි වාහනයට පය තබයි. එතනින් ඇරුනුකොට රන්මුතු සදකිරණි වික්‍රමසිංහට වෙන දෙයක් නැත.


අයියලා හතරදෙනා මට ලෝකයක් වටී. අප්පච්චී මහමෙරක බර හදවතේ තුරුල් කරගෙන ඇතිබව මා දන්නේය.
—රෝසමල˜ පිනිබාල හෙම්බිරිස්සාව හැදෙයි......
ලොකු අයියා මා අසල හිදියේය. අයියාට  හිනහාවී මා ඔහුට තුරුල් වුනෙමි. අයියා මගේ ඔළුව අතගාමින් නිවස දෙසට දෙපා එසවූයේය. ඒ අතරින් ඈතින් පේන කදු පංති දෙසට නෙත් යොමා එළිය දෙන්න කිරණ විහිදන හිරු රැස් දෙස බලමින් මම දෑසට සුන්දර හැගුම් එකතු කළෙමි.එය මට දරාගන්න බැරි හැගීමකි. හැමදාමත් ගස්වැල් ඉරහද තාරකා වලට මම පෙම් බැන්දෙමි.
—ඔය ආයිත් පොද වැටෙනවා....මං ආවෙ නැත්නම් රෝසමල තාම එළියෙ...ඉක්මන් කරමු....˜ කියා මා ඔසවාගෙන ඇවිත් සාලයේ පුටුවක් මතින් තබා මගේ නළලද ඉඹ ලොකු අයියා කුස්සිය දෙසට ගියේය.
—හීතලද මගෙ මැණිකට....


—නැහැ අප්පච්චි....


—අපි අද හවස ගෙදර යන්...,


—අනේ අප්පච්චි අපි අද මල්වත්තෙ යන්....


—හැමදාම යනවනෙ මැණික...


—මං ආසයි අප්පච්චි...


—පුතාගෙ සතුට මගෙත් සතුට....


එසේ කියමින් අප්පච්චි මා අසලම හිදගත්තේය. පිරිමි දරුවන්ම හතරදෙනෙක් හිටි අප්පච්චීට මාද පුතෙකි. කවමදාවත් දුවේ කියා ඔහු මට කියන්නේ නැත. අයියලාට මැණිකෙ නැන්දාට රෝසමල වූ මා අප්පච්චීට මගෙ මැණික විය.


    ලොකු අයියා දුම් දමන කෝපි කෝප්පයක්ද ඇතිව මා ගාවට ඇවිදින් හිද ගත්තේය. 


    —ලොකු පුතේ ඕක නිමලා දෙන්න...නැත්නම් මගෙ මැණික පුච්ච ගනියි....


    අප්පච්චී ලොකු අයියාට කීවේය. අවුරුදු දහහතක වයසක පසුවූවත් ඔවුන්ට මා තවමත් පොඩි දරුවෙකි.


    —කෝ ලොකු අයියෙ මද්දු අයියලා තාම නිදිද....?


    —තවම හතයිනෙ..,රෝසමල උදේ පාන්දර නැගිටලා මිදුල පුරා ඇවිද්දට ඒ තුන්දෙනා හොදට ගුලිවෙලා නිදි....


    —අනේ අහරවමු...,අපි යන් මල්වත්ත බලන්න...


    —උදේ පාන්දරම බැහැනෙ රෝසමල අපි තව ටිකක් ඉමු....එහෙම කියා චුට්ට චුට්ට කෝපි කෝප්පය පෙවූ ලොකු අයියා මුහුණ සෝදගන්න යැයි කියා ගියේය.මාද දිග අඩි තියමින් තරප්පු පෙළ දිවුවෙමි. අප්පව්චි — මගෙ මැණික වැටෙයි..කීවද මා දුවවිත් කාමරයේ ඇදේ පෙරලුනෙමි.


    —අනේ...අනේ..,මේ බලන්න ඉරත් පායලා....රෝසමල තාම නිදි...එහෙම කියා හිනැහෙනවා මට ඇසිණි.ඇස් ඇර බලද්දී ලොකු අයියාත්, මද්දු අයියාත්, දෙවෙනි අයියාත් චුටි අයියාත් එක පෙළට මගේ කාමරයේ ඇද අසල විය. දෙවෙනි අයියා මා ඔසවා ගනිද්දී මද්දු අයියා තුවායද රැගෙන බාත්රූම් එක දෙසට ගියේය.ලොකු අයියා අල්මාරිය අරිද්දීි චූටි මගෙ සෙරෙප්පු දෙක ළං කලේය. මුහුණ සෝදා ඔළුව පීරා ඔවුන් මගේ හැඩ බැලුවේය.


    —මෙයා රෝසමලටත් වැඩිය ලස්සනයි...,චුටි අයියා කීවේය. ඉතිං මේ අදරය මට ජීවිතයේ සුවද ගෙනෙයි.


    අප්පච්චි ඩ්‍රයිවින් සීට් එකේ හිදගත්තේය. ලොකු අයියාත් මාත් ඉදිරිපස හිදගත්තේය. මද්දුත් දෙවෙනිත් චූටිත් පසුපස හිදගත්තේය. අප්පච්චි මල්වත්ත දෙසට වාහනය පැදවූ අතර අවට ඇති නොයෙකුත් දේ ගැන මා විමසද්දී, 


    —රෝසමල කියවන්නෙ ගිරවියක් වගේ කිය චුටි අයියා කෑගැසුවේය.


    —ඉතිං මං හැමදාම එනවයැයි....,අවුරුද්දකට සැරයයි එන්නෙ...,ඔයාලනම් හැමදාම එනවා ඇති...,ගෙදරයි ඉස්කෝලෙ ගිය කාලෙයි විතරයි මං දන්නෙ....,


    අප්පච්චිගෙ මුහුණ වෙනස්වූයෙත්, ලොකු පිටුපස හැරී එකිනෙකාට මුහුණින් මුහුණ  බලා ගත්තේත් එක පාරටමය. මා අතින් වැරදි දෙයක් කියවුනාදැයි මා සිතුවෙමි. අම්මා ගැන මට මතකයක් නැත. අප්පච්චි කියන්නේ මා ඉපදෙන විට අම්මා මිය ගිය බවයි. එහෙයින් කිසිදිනක රන්මුතු බංගලාවෙ මට උපන්දින සාද නැත. එහෙත් එදිනට අපි කොහේ හෝ පන්සලකට යයි. හැමදාමත් මගේ උපන්දිනය දා අප්පච්චි මා තුරුල් කරගෙන මහමෙරක් තරමට කල්පනා කරයි. එහෙත් මතකයක් නැති අම්මා ගැන මට තේරුමක් නැත. අප්පච්චි අයියලා හතරදෙනා මගේ හුස්ම පොදය. ඉතිං මගේ අතින් වැරදි දෙයක් කියවුනාදැයි සිතමින් මගේ දෑසට කදුළු ඉනුවේය. නොදැනුවත්වම දෙකම්මුල් අතරින් ගලා යනවිට අප්පච්චි එක අතකින් මා තුරුල් කරගනිමින්,


    —මීට පස්සෙ මගෙ මැණිකට එහෙම වෙන්නෙ නෑයි කීවේය.
මල්වත්ත අසලට ඇවිදින් බසින තුරුත් අපි කිසිවෙක් කතා කලේ නැත.


     —එන්න රෝසමල මං අල්ල ගන්න ඔයාව...
ලොකු අයියා එසේ කියමින් මගේ අතින් අල්ලා ගත්තේය.

    වසන්ත කාළය බැවින් නුවරඑළිය මල්වත්ත මලින් බරවී තිබුණි. හිතට කියාගන්න බැරි හැගීම් ගොන්නක් එකතු විය.


    —බලනවකො අර කෑල්ල දිහා...එකපාරටම මද්දු අයියා කීවේය.


    —ෂා....මාර පැද්දිල්ල....චූටි අයියා පොහොර දැම්මේය.


    —චූටි.....ඔයා නම් හොදටම නරක්වෙලා..... ලොකු කී විට..,


    —ඇයි මං විතරක්...මද්දුත් එහෙමනෙ...,චූටි අයියා කීවේය.


    —දෙන්නම හැදිලා ඉවරයි ....කියමින් ලොකු අයියා මා අත තදට අල්ලා ගත්තේය. ඒ අතර තුර මද්දුත් චූටි අයියාත් අමනාපයට වාගේ  හිනැහෙමින් අප පසුපසින් ආවේය.


    —වාව්...හෙඳන් අවිත් වගේ..........ආයිමත් චූටි කාට හෝ ගැහැණු ළමයෙකුට විහිළුවක් කරන්න පටන් ගත්තේය.


    —ආනන්දෙ අය ගැහැණු ළමයි දැකලා නෑ....මද්දු අයියා හරහට කීවේය...
    —ආ.....ආ....ආනන්දෙ අය ගැහැණු ළමයි නොදැක්කට කමක් නෑ.....ලුම්බිණියෙ උපාසකයො වෙන්න ඇති.....


    —ඔප්කෝස්.....හොද හැදිච්ච උපාසකයො....ඒකනෙ හලෝ ලුම්බිණිය කියලා කියන්නෙ.....


    —අපොයි ඔව්.....මොකටද ඉතිං බලන්න තිබුණා ඉස්කෝලෙ ඇරුනම අර ගැ...හැ....ණු....


    —හෝව්....හෝව්.....ගාගෙන මද්දු අයියා චූටි අයියාවත් ඇදගෙන වෙනත් පැත්තකට හැරුණේය. දෙවෙනිත්  අප්පච්චිත් හෙමින් සැරේ මල්වල සුනදරත්වය විදගන්නා බව පසුපස හෑරී බැලු මට පෙනුණි.


    ලස්සනට පිපුනු රෝසමල් ගොඩක් ළග නැවතී මම හිනැහුනෙමි. ලොකු අයියා අසල බංකුවක හිදගත් නිසා මම රෝසමල් යාය මැදට ගියේය. රෝසමල් නාසයට ළංකර ගනිමින් සුවද විදගත් මහිතට අමුතු නැවුම් හැගුම් ගොන්නක් ගලාගෙන ආවේය. එහෙත් ඒ කිසිවක් වෙන්කර හදුනා ගන්නට මට ඇවසි නොවීය.


    —ඕ.....හෝ.....රෝසමල් මැද්දෙ එයත් රෝසමලක් වගේ.....එකපාරටම කවුරුන් හෝ කියන දෙයක් මට ඇසුණි. මම හැරී බැලුවෙමි.


    ලස්සන නිල්පාට ඇස්දෙක, අපිළිවෙලට විහිදුනු කොණ්ඩෙ, ලස්සන සුදු මුහුණ, උස.... උසට සරිලන මහත, මා වශීවී වාගේ ඔහු දෙස බලා හිදියේය. ඔහු යාන්තමට මා සමග සිනහ විය..


    —නැහැදිච්ච කොල්ලො රෝසමල මෙහෙ එන්න...කියමින් ලොකු අයියා මා ඔහුගේ සවිමත් අතට හිරකර ගත්තේය...


    මා ආපසු හැරී බලන විට අර පිරිමි ළමයා ඒ සිනහාවෙන්ම මුව පුරවාගෙන මදෙස බලා හිදියේය. මා පිටුපස බලනවා ලොකු අයියා දුටුවේය.


    —රෝසමල හොද නිති අය දිහා බලන්න එපා. ඒ අයට අම්මලා තාත්තල උගන්නලා නැද්ද මන්දා.....එසේ කියමින් ලොකු අයියා මා සමග මල්වත්තේ අනෙක් කොටසට ගියේය. 


    —රෝසමල.....මේ ඔයාගෙ ස්විටරය.....රෝස පදුරක පැටලිලා තිබුණා.....මා හැරී බලනවාත් සමග


    —මොකක්ද මේ වෙලා තියෙන්නෙ.....?හැසිරෙන්නවත් දන්නැද්ද.....එසේ කියමින් ලොකු අයියා අර පිරිමි ළමයාට රළු වූයේය.


    —මේ නංගිගෙ ස්විටරය එයා ඉදිය තැන ගහක පැටලිලා තිබුණා.ඔයාලා ගියාට පස්සෙයි මම දැක්කෙ....ඒක දෙන්න කතා කලේ.....වැරැද්දක් නම් සමාවෙන්න.....



    —මොකද සිහින අවුලක්ද?....කියපන්..... කියමින් තවත් පිරිමි ළමයි ටිකක් එතනට ආවේය..


    —මොකුත් නෑ මචං..... කියමින් ඔහු අර පිරිමි ළමයි සමග යන්න ගියේය.


         සි...හි....න.....

          මගේ හිත තුළ එය රැව් පිළිරැව් දුන්නේය. සත්තකිනම ඔහුට ඒ නම අපූරුවට ගැලපෙන්නේය. ඔහු සිහිනයක් ලෙසම මා ඉදිරිපට රැදී සිහිනයක් ලෙසම නොපෙනී ගියේය.


අර ඈත සඳ වගේ
කතා කරනවා 
නුඹේ ඇස්.....

ළගට වී සඳෙ
විදගන්න මට
සිතුනා හොදේ....


හමුවුනත් සඳ
අද මේ ලෙසේ
යලි දකිනු කෙසේ....


සිහිනයක් වී
සඳ හදවතේ
...සිහින.. නම
ලියවුනේ.....



____________ නැවත හමුවෙමු ______________



කෝමද මග අරින්නේ.....

හෙන්දිරික්කා මල් අරගෙන
සඳ ආවා හැන්දෑවට....
නිල් කලුවරෙ නෙත් ඇරගෙන
ඔබව සෙවුවා පුරුද්දටම..........

ඇස් වැසුනම සිහිනෙ දිගේ
ආල නුරා පාන්නේ
පාලු රැයේ සුවඳ සොයන්
මතක කරා දුවන්නේ...

පරළු රළුම හදක් මත්තෙ
තාම හඬා වැටෙන්නේ.....
මට ඉන්නෙත් නුඹම හන්දා
කෝමද මග අරින්නේ....


Saturday, January 28, 2012

,,,, මල් කරාබුව,,,,.

කලාබර
රුයිත
හේරා
හාරත්
ඔක්කොම
නුඹ ගාව කිය කියා
මතකද උඩ පැන්නා
දවසක් අපේ කාමරෙදි..

ඔන්න
අන්තිමට
තුරුම්පුව මගෙ
අතට ආවා
අද දවල්
කමිසෙ
හෝදනකොට
ඔයාගෙ....

අහස පොලව
ගැටලන්න
හිතනවද දැන්
මොකක්ද
කියලා...

ඊයෙ හවස
හතිදාගෙන
හෙව්වෙ මේක
වෙන්න ඇති
අද රෑට ඔයා ආවහම
දෙන්න මම
අරන් තිබ්බා
සාක්කුවෙ තිබුණ
.....මල් කරාබුව......


සමනලයා මැරුවෙමි

සමනලයාට
වෙඩි තැබුවෙමි.
මළගම
සදුදා හවස
*** විශේෂ ***
බඹරුන් නොපැමිණෙන්න
අවසන් ගෞරවයට
කිඹුල් කදුළු අතදරා
බිද සිඳ දැමූ මල්වලින්
තැනූ මල් වඩම් ගෙන....

නුඹෙ දිරිය මට නැති හැටි

යායාට වැටෙන
හිම පියලි උඩකත්
මම
සීරුවට ඇවිදනකොට.....


හීනියට උල්
කටු තුඩු උඩ
ඔබ
වේගයෙන්
දුවන්නේ කොහොමද
කර්කෂ
ගෙන්දම් පොලවෙම.........


තවමත්
අන්දුන්කුන්දුන්
මම....


ඇයි දන්නවද
නුඹෙ දිරියෙ
බිඳක්වත්
මට නැති හන්දා..........

*** මහ වැස්ස ***

දඩිබිඩි ගගා වීදුරු
ජනේල උඩට
ගහනවා ඇහුණා
තරහාකාර
පෙම්වතක් වගේ
පෙම්වතිය සොයා
ගෙන ආපු ලෙස...
මිනී මැරුමක්
ලේ විලක් මැද
සාක්කියක්
දෙන්න වෙයි කියා
හිතු නිසා
තවත් ගුලි ගැහුණා
මම
පොරවනය
ඇතුළට.........
නොනවතින
බෙරිහන් දිදි
එන සද්දයට
කන් දෙකේ ඇගිලි
ගසාගෙන
බැරිම තැන
ගියා බලන්න
පෙරලන්න
දොර ජනෙල්
තඩිබාන්නා දැක ගන්න....
අනේ බැලින්නම්
මොරගෙඩි තරම්
වර්ෂාව
සුළං මුහුණත වෙනස්වී
වැදෙනවා නොවැ
හරි හරියට.......

*** ආදරණිය අම්මේ ***

නාදයක් නැතිවම
ගොළුවෙච්ච ලිහිණිය
කට්ට කාන්තාරෙ
පිඩු සිගා යදිනවා
උගසට තියන්
රෝස කුසුම් හිනාව
මුව මඩලෙ
ඔබට කියන්න බැහැ අම්මෙ...............

රලු වෙවී ආව ගිම් තාපය
දරන්නට බැරි කමට
වසන්තය විලාප දෙද්දි
සිනාමල් හොයන්නට
ගිනිගන්න කතරට ඉගිලුනේ
සිහිල් වෙන්න ඉඩක්
දෙන්න ඇස කදුලට
ඔබ දන්නවා නේද අම්මෙ.............

සාර සියක් රජපෙල
මාල මුදු අරන් ආවත්
නිහඩවම සිල් ගත්ත
වස්සානය මිට මොලවන්
ජය මගුල් මල් යහන්
සිහින විමනක හිර කරන්
පරවෙන්න පෙර නුඹ පා කමල
පරසතු පලසක ඇවිද්දන්න
හීන ගොතනවා කියලා
ඔබ දන්නෙ නැහැ නේද අම්මෙ..........

රිදුම් දෙන පියාපත් තුරුල්
කරගෙන ගිම්හානයක තවම
හති දම දමා මහන්සියෙන්
කදුළු ගොතමින් හීන අහුලන සුයාමෙක
බලෙන් පියවන නෙත් සගල අතරින්
සිහිනයක් වෙලා ඇවිදින්
එකම එක පාරකට
මේ හිස අතගාල යන්න බැරිද අම්මෙ.......





Friday, January 27, 2012

මම මා දකිමි.

සැණින් වෙනස් වූයෙමි
ජීවිතය...
ඉතින් දැන් ගෙවන්නෙමි
කාලය...
ළගින් නුඹ හිඳින්නෙමි
පෙරලෙස...
මා මම ම දකින්නෙමි
ඔබ සමඟ.........
.

*** සුනිල් නමට ***

*** ලෙංගතුම සුනිල්ට ***

පුරුදු එළිය බිංගේ
පසු කල විට එනවා කිවුවට
හිතේ බැදුන මිතුරු සෙනේ
තාමත් ඒ විදිහමද කියනවද සුනිල්..........

කුස පොත්ත ඇලී කොඳු ඇට
පෙළ එක්ක තියෙනවිට
උකුසු ඇස් රවට්ටා වටපිට
නෙලුම් ගෙදරින් ආවෙ නුඹ නේද සුනිල්.........

මහ කුමාරි හාමිගෙ රකුසු ඇස්
වලට බියවී මුතු බණ්ඩා හාමු
ගල් පිලිමයක් වගේ දුම් පයිපෙ
කටේ රුවාගෙන ගිය හැටි මතකද සුනිල්............

මඩොල් දූව වට කරක් ගැසු
උපාලිත් ජින්නත් අපි වගේමද
වෙලාවකට මට හිතුනා අහන්න
හදවත පුරෝගෙන නුඹ ළගින් හිටියම සුනිල්...............

නෙළුම් ගෙදර වලව්වවත්
ගල්වලේ ගෙදරත් අතරමැද
මිත්‍රත්වයේ සෙවනැලි අපි හංගා
පියවර මැන්න හැටි අමතක නැහැ නේද සුනිල්.............

දුක අලාභ අයස නින්දා මැද
සුදු පැහැ ලේන්සුවෙන් ඔතපු බත්
පෙට්ටිය තුරුල් කරගෙන දෙන්න
යන දවසෙ හිනාවුන හැටි මට කියන්න බැහැ සුනිල්.............

අවිහිංසක මලක්සේ නිර්ව්‍යාජ
මනු දහම් අපි ළගින් හමන කොට
බණ්ඩාර හාමුලා වැටකොටු බැන්ද හැටි
අදත් දැනෙනකොට හිත සවිමත් වෙනවා සුනිල්...........

නොසිදෙන සත් සමුදුර තරමට
අත්වැල් අලිලගෙන යන මිතුදමක
කම්පා නොවි අටලෝ දම් මගක
මතු මතුත් අපි යන්න යමු මේ විසල් ලොවෙම සුනිල්........


**** අඹ යහළුවෝ නිමල් ****


Thursday, January 26, 2012

*** සොඳුර නුඹ***

දන්නවද.......

කෝපි මල් හිනා කැන්දන
තරුපති එළිය මැද්දක
නීල දිගටි නෙත් සඟලක
නිද්‍රගත සප්නයක් වුනා________

මේඝවලා ගිරි සිරස සිඹ
චන්ද්‍රාලෝකය මිහිලක් ලමැද උඩ
ආලවඩන සිකුරු තරුව ගෙන
ජීවිත නෞවකාවට ගොඩ වුනා_________

දිය ඇල්ලක් වගේ කඩා වැදී
හදවත් දොවොල මැද වැඩ හිදී
මිණි වෙණ නද තත්සරණයදී
ආලයේ සප්ත ස්වරය නින්නාද වුනා_____________

සලිල රැල් නගා හද පුරවගෙන
සිහිලැති මදනලක හමාගෙන
පුන්‍යවන්ත සිතුවිල්ලක දැවටීගෙන
පින්සාර ස්නේහයේ නිරාමිස සැනසුම වුනා__________

_______ සංසාර සුවඳ දිග සොඳුර නුඹ මගෙ__________


එනවා නම් නුඹ...

හීන දකින 
සිතේ කොනක
හෙන්දිරික්කා මල්
සුවඳ තියන්නට
ඔබ එනවා නම්
මහ රෑ මැද්දට
පියවුන මගෙ ඇස්
අස්සට
සත්තයි කුමරනි
තුටුවෙයි මම
හිමු වුන බව
දැක නුඹ
සිහිනෙන්වත්...

*** ගබ්සාව ***

දෙගොඩ තලා යයි
කිරි කදුළ දැන්
හීතලෙන් ඇස් කොනක...

ගිනි ගහන මද්දහනෙ
කතුරු තුඩු අඬු එක්ක
වීසි කර දැම් නිසා මස් කැබල....

ඇත්තිනිය විළාපෙක
හදවතින් බුර බුරා
කියා ගනු බැරි ලසොව

සඳ නාපු කළුවරක
රාහු විත් ගුලි කරපු
අස්වැන්න පොඩිකලා රාගයේ.....

වුනා අමතක

අත් අල්ලන්
නගින විට මහගිර
වුනා මට අමතක
අරන් යන්නට
මහන්සියකට
වතුර අහුරක්
නුඹෙන් නොඉල්වා
ගෙන මට බොන්න


දැන් ඉතින් හිනාවෙන
නුඹෙ අතේ දිය බිඳෙන්
කෝම මම ඉල්ලම්ද
මගෙ නොවුන වතුර පොඳ


වුනේ වැරදීමක්ද
වුනේ අමතකමය
කෝම වුව සිත සිතා
ඉන්නවා මම තව බලා...

*** පමා වී වැහැපන් ***



නිල් අහස එකපාර
වෙස්ගත්ත කලුපාට
ලිහිණියෙක් කෑ ගසා
ඉගිලුනා හිස උඩින්

මග බලන කිරිසිනා
දෙතොලගම පොඩි පුතා
මතක් වී හද පුරා
උණුවුනා ලය පලා...

කීර කංකුන් වේලිලා
හාමතෙම අද තනිවෙලා
ඇවිද ගියෙ දන හිනැහිලා
ගිනි ගනියි සිත පෑරිලා...

හිල් වුනොත් මේ අහස
කිසිදු තෙතමනයක් නැතිව
මුහුණ මත පොඩි පුතුගෙ
සිනා මල පරවේවි.....

කටු ඇණුනු යටි පතුල්
පිරිමදින දෑත ගෙන
එක්කලා අහස වෙත
පමා වී වහින ලෙස....

____දිනිති____

නුඹ

අසෙනි වැස්සට තෙමි තෙමී මං
නුඹට සිතුවිලි එවනවා
සීත හිම කැට දිය වෙවී තව
උණුසුමට ආදරය බෙදනවා...

වලාකුළු අත හංගලා පෙම
රහස වාගෙම තියෙනවා
පාළු රැයකදි සඳක් සේ ඔබ
ලොවට ප්‍රේමය කියනවා.....

හාදු මල් වැහි දෙතොල් පෙති ළග
කිටි කිටියෙ තව විඳිනවා...
මගෙ නොවී නුඹ දුර ඉදන් තව
මටම ආදරෙ පුදනවා...

Tuesday, January 24, 2012

සඳට

සඳට මගෙ කවි
නැත්තෙ ඇයිදැයි
අමාවක දා සඳ අහනවා...

තරුත් එක්කලා
කරණ ගණුදෙනු
අතැර ආවොත් කවි ලියනවා...

අහස රවටා රවුම්
ගැහුවට සඳ
පොළවෙ සෙවනැලි වැටෙනවා...

කරන දඟකම්
නතර කලොතින්
සඳේ නුඹටම කවි  ලියනවා....
.

නොකියාම නුඹ ගිහින්...

නුඹත් තනිකඩව
මමත් තනිකඩව
බලා උන්නා
එකම අහසක් යටම...

මටත් කලියෙන්
අතැර ඉරහඳ
ගියේ කෙලෙසින්
මටත් නොකියා ඔහොම...

ඉකිලුමක් මම
හිර කරන් තව
බලා ඉන්නවා
නුඹ දකිනු මට බැරිකමට....

මේ විසල් මහ
පොළව උඩ මං
තනිවෙලා දැන්
විඳිමි නින්දා ගැරහුම්ම තව....

කාට කොහොමට
කියාදෙන්නද මම
අපි අපිට පෙම් කරන්
බලා උන් බව නොහිමු වූවත්....

මගේ සැනසුම නුඹයි...

හුගක් ඉස්සර
වගේ දවසක
එනව නම් නුඹ
හිනා අරගෙන
මගේ ළගකට
නැහැ නේද
මට මෙහෙම තනිකමක් හෙම...

කියාවත් නුඹ
ගියා නම් මට
මෙහෙම ගැරහුම්
නැහැනෙ අද
මට ලොවේ මෙතරම් දුකක්....

වැරදිලාවත් ආවොතින්
ආයෙමත් නුඹ ළගට
මගෙ ඉස්සර වගේ
අනේ සත්තයි කියමි මම
ලොවේ සැනසුම මට නුඹ ළගයි....

....නොකියාම ගියේ ඇයි....

පරවෙනා බව
දැන දැනත්
ගස පුබුදවයි 
මල් තව තවත්.....

හිමි නොවන බව
දැන දැනත්
තවත් පෙම්
කරමි මම
මහ හුගක්...

එදා වගෙම අදත්
හුස්ම ඇහිදියි
ඔබ මමත්
එකම එක
යටම අහසක්....

යන්න යන බව
කියා ගියෙ නම්
නැහැ නේද මට
මේ තරම් ලොකු
ලතැවුලක් අද......

මගේ හිත

පරණ කවි හිත
ගිහින් දැම්මා
ඊයෙ රෑ මම
මුහුද මැද්දට...

අනේ අලුයම
ගිහින් බැලුවිට
තියෙනවා එය
වැල්ල අද්දර...

පුරුදු විදිහට
යලිත් අරගෙන
ඇලෙවුවා මම
තිබුණු තැනටම.......

අප්පච්චී.......

සුද්දෝන කුලයේ
බෝසත් කම් ඇති
අප්පච්චී නුඹ
සංහිඳෙ මහ නුග ගහ වාගේ...

පොලවක් තරමට
ලතැවුල් විදගෙන
අහසක් තරමට
හසරැල් දෙන නුඹ
දොලොස් මහේ මහ පහන වාගේ......

නුඹට

ගිම්හාන කාලයේ
අග දවස් ගෙවෙන්නේ
මල් පිපෙන වසත් දින
මතු මතුව තියෙන්නේ...

අටවකට එන සඳම
පුරපසට මෝරා වැඩෙන්නේ...
හති දදා කුමට දුවමිද
හෙටත් ඉර නගින්නේ...

ආදරේ ඇබින්දක්
පිඩු සිගා යදින්නේ
හාමතේ නොතියපන්
සෙනෙහසයි සිදෙන්නේ....

අරුත් පදරුත් නැතත්
තවත් පද ලියන්නේ...
අවුල් වියවුල් මැදින්
නුඹ කියවා බලන්නේ...

සිහිනයක් ළගින් හිද
ඇයි එබී බලන්නේ...
පනාපිට ඇස් ළග ළගින්
ඇයිද තව නොඑන්නේ...

ජිවිතයෙ කඳු මුදුන
තවත් මම නගින්නේ...
දිනක් ලැබුණොත් නුඹට
අත්වැලක් මට ගෙනේනේ........

....පාසැල් කාලේ මතක බණක්....


අප්‍රිය මාතෘකාවකට මා දැමූ කොමන්ටුවක්....

මතක ඇති මම නම් මීට කලිනුත් කිවුවා අප්‍රියම කරපු කාලයක් පාසැල් කාලය කියලා...
ඒ ඇයි කියලා අද කියන්නම්.. 
මම තාත්තාව නොදැක හැදුනු දරුවෙක්... මගේ පන්තියෙ ළමයි හැමෝම මට හිනාවුනා හැමදාමත් තාත්තා නැති හින්දා.. මම බඩේ ඉන්නකොට වෙන කසාදයක් බැද ගත්ත තාත්තා පණ පිටින් ඉද්දි මම කිවුවා මැරුණා කියලා.. ඒ මට ඉස්කෝලෙ ළමයි අතරේ කොන් වෙන්න වුන නිසා...

  හ්ම් මොන්ටිසෝරි අධ්‍යාපනයක් නම් මම කියන්න දන්නෙ නැහැ.. මම කවමදාවත් ගිහින් නැහැ.. මට අ යන්න ලියන්න අත හුරු කලේ මගේ අම්මා....

මට අවුරුදු 4 ඉදන් අකුරු කියලා දුන්න මගේ ගුරුතුමා  අදත් පාසැල් යනවා.. ගුරුතුමෙක්ට වඩා දයාබර සොයුරෙක්..  මුලින්ම ඉස්කොලෙන් ගුටිකෑවෙ චිත්‍ර මිස්ගෙන්.. මට තාම මතකයි මට පාට කරන්න දිය සායම් නැතිව චිත්‍රෙ ඇදගෙන ගියාම අපේ මිස් පන්තියෙ තාප්පෙ උඩින් එළියට වීසි කලා... එදා පීරියඩ් දෙකම පන්තියෙන් එළියෙ... මට දුකක් දැනුනෙ නැහැ.. හැබැයි කෝපි කෝට්ටෙන් ගුටි කාපුවා අත්දෙක මැද්දට අල්ල අතගගා මම කදුලු පිස දාගත්තා...

ඊට පස්සෙ මම ගුටිකෑවෙ ඉංග්‍රිසි සර්ගෙන්.. ඉංග්‍රිසිවලට ගුටි කන එක සාමාන්‍ය දෙයක්නෙ ඉතින්... මගෙ කන මිරිකුවා සර්....

   හැබැයි දෙයක් කියන්න ඕනි...මම හැමදාම පන්තියෙ 1 හො 2 හෝ 3 ගන්නවාමයි.. එතනින් එහාට යන්නෙම නැහැ...
 
මම ඉස්කෝලෙ 10 වසරෙදි කරපු එක දෙයක් තමා ඉස්කෝලෙ වත්තට එහා පැත්තෙ වත්තට පැනලා රඹුටන් කඩපු එක... ඒක දවසක් ප්‍රින්සිපල්ට මාට්ටු වෙලා උදේ රැස්වීමක් වෙලාවෙ ස්ටේජ් එක උඩ දණ ගැස්සුවා අපි 5 දෙනෙක්ව.. හැබැයි හරිම ජොලි...

 O/L වලට චිත්‍ර විෂය පාස්වෙලා තිබුණම අපේ චිත්‍ර මිස් කිවුවා වලිසිංහ එගොඩ වෙලා නේද කියලා... එදා මම කිවුවා අපේ මිස්ට මිස් පීනන්න බැරිව නෙමෙයි ඉදියෙ කියලා....
 පාසැල් ජිවිතේ ලස්සනම දවස් තමා ක්‍රිඩා කාලෙ.. දෙයියනේ කියලා පන්තියෙ ඉන්න ඕනි නැහැ.. මම පාසැලේ 11 වසරෙ ඉදන්ම ප්‍රධාන ක්‍රිඩා නායිකාව... අවාසනාවකටද මන්දා බැරි කිසිම ක්‍රිඩාවක් තිබුණෙ නැහැ.. හැබැයි ඒ දේවල් වලින් අමතක වෙන්නෙම නැත්තෙ ජාතික තරග වලදි මම සුගතදාසෙ කාපට් උඩ මහ දවල් දිවුවෙ සපත්තු නැතුව.. දුවලා ඉවරවෙලා බලනකොට කකුල්වල දිය පට්ට ඇවිත්.. අමතකම නොවෙන්නෙ සමස්ත ලංකා වලින් ඇඹිලිපිටියෙ මහවැලි ක්‍රිඩාංගනයෙදි මීටර් 400 පලවෙනියා වුන එක. ඒවගේම එදාම උස පැනීමෙනුත් තුන්වන ස්ථානය වුනා. ඒ දවස් නම් ලස්සනයි...

තව තියෙනවා..ඔන්න A/L කාලෙ... මම ඒ මදිවට ශිෂ්‍ය නායිකාවක්.. හැබැයි අපෙ අම්මට සල්ලි නැහැ හැමදාම අපිට බස්වල යන්න එන්න දෙන්න.. අපෙ අම්මා මාසෙටම සීසන් එක අරන් දෙන්නෙ.. හැමදාම ඉස්කෝලෙ ඇරෙන්න විනාඩි 10 තියෙද්දි ලංගම බස් එක යනවා.. ආයෙ එන්නෙ පැයකින් විතර... මම කරන්නෙ තව යාලුවෙක් එක්ක..හොරෙන්ම ගිහින් බෑග් එක දානවා බස් හෝල්ට් එකට.. වෙලාවට පාසලේ ගේට්ටුව ගාව බස් හෝල්ට් එක... බස් එක එන වෙලාවට ෂේප් එකේ ගේට්ටුන ඇරෙගන එලියට එන විදිහට ඇවිත් නගිනවා බස් එකට... කරුමෙට ඕකත් අහුවුනා ප්‍රින්සිපල්ට.... සතියක් පාසැල් තහනම් කලා...

ඒ හැමදේටම වඩා ලස්සන ඉස්කොලෙ ඇරිලා අපි කට්ටිය  හති අල්ල අල්ල පිටේ බෑග් එකත් එල්ලගෙන දං කැළවල රිංගන එක... වල් සූරිය කාන්ත මල් කඩාගෙන එක අතක... ඒ මදිවට මගදි අහුවෙන උල්පතකින් හරි ඇලකින් හරි අපි කට්ටිය කට තියාගෙන වතුර බොනවා...සුදු ගවුම කාපු ජාතිවලින් පිරිල.

තව ඉස්කොලෙ කට් කරලා මල්වත්තෙ ගිහින්....මගෙ අම්මෝ කාපු පරිප්පුවක්...ලියන්න ගියොත් පොතක් වෙන්න ලිය තැහැකි.. වැවක් තියෙනව ඒ වැව වටේ පොරි දදා මාලුවන්ට රණ්ඩු වුන හැටි.. ඊට හපන්
 ඒවා ලියන්න බැහැ... ඕන් කිවුවා ඇති නේද... හැබැයි ඉදලා හිටලා... කැන්ටිමෙන් හොරටත් කෑවා... සන්නස්ගල සර්ගෙ සිංහල පංතියෙ විසේකාරම කෙල්ල මම තමා 2003 පන්තිවල... ජිවිතේ දුක ලිවුවෙ අඩුවෙන් ඒ කාලෙ... මලකඩ වතුර බඩ පිරෙන්න බිවුව හැටි ලියන්න බැහැ....මේ මදැයි...නේද... පස්සෙ දවසක ආයෙ ලියන්නම්.....

Monday, January 23, 2012

...සමාවෙනු මැන....

නුඹ නමට කවි ලියන එක ගැන
මං හුගක් පසුතැවෙනවා.....
තව තවත් මම දුකම පොඳි බැද
යනු කොහේදැයි හිතෙනවා...

තේරුමක් නැති සසර ගමනක
නැවතුමක් තව සොයනවා....
තේරුමක් ඇති බුදුන් කිවු මග
ඇරඹුක් යැයි දැනෙනවා....

සිනා කදුළැල් බෙදා ගනිමින්
අදත් මම ඉන්නවා..
සමාවෙනු මැන හෙටින් පසු මම
නුඹ දමා දුර ඇදෙනවා....

නිවී සැනසුනු දිනක් ආවොත්
නුඹ දකින්නට හිතනවා....
නිවී සැනසුන එවන් දවසක
කසාවත ඔබ නිවනවා.....

*** ආදරණිය අම්මේ ***



පදෙන් පදෙ මම ගොතා
හිතෙන දේ ගැන ලියනවා
බිදෙන් බිද නිසරු බව
මට හොදට දැනෙනවා....

වාලුකා කතරක්ය අම්මේ
නිවනු බැහැ මේ හුදකලා
දම් බිඳක් ගැන සිත සිතා
කල් ගෙවයි ඔහෙ තනිවෙලා....

සතර වරිගය බැහැ තමයි
කරන්නට මට එතෙර නම්
දුවෙක් වුනු හින්දමයි මේ
සසර ගිනි දැවි දැවිම තව....

බුදුන් පුදනට දෙවුරමට මම
යන්න හැදුවට දෙපා ගෙන
යදම් මෙන් ඔබ බැදී ළග
ඉන්නවා ඔසවන්න බැරි පය.....

එකම පාරක් මට ඉතින්
අතැර යන්නට මේ දිවිය
දෙනව නම් ඔබ අම්මෙ
සත්තමයි පින් ගොඩක්

කසාවත ළග නිවෙන හිත
වෙන තැනක නැහැ බැදී
ඔබේ බැමි ඔබ ලිහුව දාකට
ඇත්තමයි මට තුටුයි අම්මේ.....
 

...බට්ටිත්තගෙ කරච්චලේ...

බට්ටිත්තෙක් ඇවිදින්
ඉල්ලයි මගෙ හිත
කිචි බිචි ගානවා
හරි කරච්චලේ...

දොරකඩ පීදුනු
මී අඹ අත්තේ
ඇවිදින් එල්ලී
කරනා කරච්චලේ.....

ආවොත් අම්මා
වැලි අහුරක් ගෙන
නවතිනවා ඇත්තයි
නුඹෙ කරච්චලේ....

විගසින් කියනවා
බට්ටිත්තෝ මම
හිත දෙන්නම් මගෙ
නවතාපන් කරච්චලේ....

....සොයමි මං...

ගමන් මගෙ
ජීවිතේ....
හුස්ම හිරවී
වගේ....
මැරුණු මල්වැල
දිගේ....
සුවඳ සොයනවා නුඹේ......

සිහිනයක සිතුවිලි - 10

සිහිනයක සිතුවිලි 10


අද ජනවාරි 23


ලස්සනම ලස්සන දවසකට උදාවෙලා තියෙන්නෙ.... නොලියා ඉන්නට හැදුවත් කෝම නම් නොලියා ඉන්නද සිතුවිල්ල හදවතේ පණ ගැහැනෙ සිහිනයක....

හැමදාම වගෙ උරුම කම් මතින් ගෙවී යන දවසක හදපුරා සතුට බෙදාගන්න මග බලා ඉදියත් මම
දුක වගෙම සතුටත් දැනෙනවා හුගක් මට......

ඇස් දෙක පියාගෙන මුලු ජිවිතේම එකම එක තැනක නතර කරගෙන මේ ගෙවෙන සිහිනය මොකක්ද කියලා නොසිතෙනවා නෙමෙයි.....

මම දන්නවා මලක් පිපුනම සුවඳ රුව ලස්සන ලෝකෙට දිලා පරවෙලා යනවා... 
ඒත් ඒ මල බලා ඉන්න සමනලා වෙනස් කම් කර කර මල ළග ගැවසෙන කොට මලට දුකයි... කෑගහලා කියන්න බැරි හින්දා මල දුක ඉවසගෙන ඉන්නවා ඇති.....

කොච්චර ලියන්න ගත්තත් ලියා ගන්න බැහැ අද...... මහා ආත්මානුකම්පාවක් දැනෙනවා මට මං ගැනම....

හදවතට ලේ ගලන
මේ පුංචි නාල ටික
අරන් විසි කරන්නට
හිතෙනවා මට හුගක්....

ජීවිතේ ගමන් මගෙ
දැවටෙන්න බැරි කමට
මට ඉතින් නුඹ ළගක
දුක දැනෙයි පෙර ලෙසම....

මහා මුසල හැගුම්
වට කරයි මා නිතර
කියා ගන්නට නොහැකි
දේ බෝම හිර කරයි.....

හිමි අහිමි කම් ළගක
ගෙවෙන දිවි මගක
කෝම නම් කියන්නද
අහිමි වේදැයි මට නුඹව.........


ඔයා දැක්කොත් හිතයි අද වගේ දවසකත් මම මෙහෙම හිතන එක ගැන වැරදියි කියලා... 
ඒත් ඔයා උඩම උඩ අත්තක පිපුනු මලක්...
කවමදාවත් මට මගේ කරගන්න බැරි බව මම දන්නවා...


ආදරය මරලා දාන්න බැරි කමට මම තාම දගලනවා ඔයා ගාවම වෙලි වෙලි...

පුංචි දේටත් කදුළු එන මගෙ ඇස් දිහා නැවතිලා බැලුවොත් ඔයාට තේරෙයි..........


ඒත් මම දන්නවා කවමදාවත් ඔයාට ඒ තරම් නිවී සැනසිල්ලෙ වෙලාවක් නොතිබුණා කියලා........


මේ මගේ ලබා උපන් හැටි වෙන්න ඇති... 
මම දරාගන්න බලන්නම්...
සමහරවිට සිහිනය අකුරු කරන්න මට බැරිවෙයි..... අදින් පස්සෙ... ඒත් පුලුවන් වුනොත් ලියලා යන්නම්...


ඒ ඇයි දන්නවද වැරදීමකින් හරි කවමදාක හෝ ඔයා ඇවිත් කියවලා බලයි කියන පුංචි බලාපොරොත්තුවක් තාමත් හිතේ කොනක පුංචියට වගේ තියෙන හන්දා......

Sunday, January 22, 2012

පියාඹා යමි ඉතින් මම...

රිවි කිරණ නැවුම් දිනකට
ඇවිත් දෙන හැටි සුභ පැතුම්...
තව දිනක් දිවි මගේ මට
සිහිනයක් පුබුදන්න ඉඩ ලැබුණු.....

යනෙන මග දිග පෙර වගේ
මතකමයි හිත හුරු පුරුදු
අතු ඉති නැමී මල්බරව
සලයි සෙමෙර ආසිරි සොඳට....

ගුවනතෙම විහිදමින් තටු
පරිදි රිසි දැන් ඇවිද යමි
සැහැල්ලුව හිත පුරා තවරගෙන
කිරිල්ලිය තටු ගසයි සිත් පරිදි......

සිහිනයක සිතුවිලි - 09

සිහිනයක සිතුවිලි 09

අද ජනවාරි 21



*** මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මං විතරද ***


හ්ම් ඇත්තමයි එහෙම අහන්න හිතෙනවා මට ඔයාගෙන්...
ඔයා අහයි ඒ මොකද කියලා...
ගසට පොත්තක් වගේ දැවටි දැවටි වුන්නත් දවසක ගසටත් පොත්ත වදයක් වෙන කාලයක් එයි කියලා මට හිතෙනවා....


එහෙම නැත්නම් ගහේ එතුන වැල වගේ උන්නත් දවසකට ගහට හිතෙයි අනේ මට ඕනි විදිහට ඉන්නවත් මේ වැල ඉඩ දෙන්නෙ නැහැ කියලා.....


බලන් ගියාම ඒක ඇත්තක් වෙන්න ඇති...හේතුව නොලියා ඉන්නම්..සිහිනය ඔයා නොබලන හින්දා නෙමෙයි...මේ සිහිනය ඇතුලෙ ඔයා හැමදාම පූජනීය හින්දා....


ඒ පුජනීය තැනින් ඔයාව අයින් කරන්න බැහැ...හදවත් කුසුමෙ බැතිබරව මලක් පහනක් පුජකරලා ලබන නිරාමිස සතුටක් මම ලබනවා සිහිනයක සිතුවිලි ලියලා...


මේ ගල් ගැහෙන සීතල මැද්දට වෙලා උණුසුම් සිතුවිලි ඔයාගැන පුරවගෙන ඉන්න මට ඇයි ඇත්තටම එහෙම අහන්න හිතුනෙ...


ආපහු මගෙම හිත ඒකම අහනවා...මේ මනෝ ලෝකෙන් අවදිවෙලා යන්න ඕනි...ඔයා කියනවා වගේ මට පිස්සු... හැමදාම කියන දේ ඒකනෙ..


දන්නවද
ඉර හැරෙන හැරෙන පැත්තට හැරි හැරි සුරියකාන්ත මල්ල ඉර මත්තෙම නැහෙනවා... මමත් ඔයා ගැනම හිත හිත ඔයා ළගම තාමත් රැදෙනවා........


ඇත්තටම ඇයි මට ඔයාව එපා නොවෙන්න...........
ඔයාට කතාබහ කරන්න ..හිනාවෙන්න..දුක සැප බෙදාගන්න කොයිතරම් නම් අය ඉන්නවද... ඒත් මට... ඔයා නැත්නම් කවුරුත්ම නැහැ නේද....?
ඇත්තමයි ඒක දැනුනෙ අද මට....


ඒකයි අහන්න හිතුනෙ මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද කියලා...


මේ හැමදේකින්ම මිදිලා මම සිහින ලොකෙන් අවදි වෙන්නම් අද හෙටකම..ඒත් අර හැමදාම කියනවා වගේ කවමදාවත් එපා වෙන්නෙ නැති තරමට ආදරය තියෙනවා මම ගාව..


ඔව් රත්තරන් මේ පපුව පැලිලා යන්න තරම්....
නහරයක් නහරියක් ගානෙ දුවන්නෙ ඔයාට තියෙන ආදරය පුරවගෙ මේ රුධිරය... අද නැතත් කවමදාහරි දවසක ඔයා ඇවිත් දැක්කොත් මගේ හිත තේරෙයි ඔයාට..එතකන් මම බලා ඉන්නම්.... මේ ආදරෙත් පරිස්සම් කරගෙන...


ප්රේමයට පූදින්න
ඉඩ සදනු
නේක සැනසුම
මට ඇතිව
නුඹේ පපුමත
කුමරුනේ
වැතිරෙන්න ඒ මතට
ආදරෙන්...

සෙනේහෙන් ළග

දැවටෙන්න
ඉතිං මට අවසර
විසික් කර තැවුල්
සෝ සුසුම්
හිනැහෙන්න
ආදරෙන්

ජීවිතයෙ හැම සුව
විදගන්න
මට ඉතිං අවසර
සංසාර ප්රේමයේ
අසවැන්න ළග
නවතින්න ඉඩ දෙන්න

(ජීවිත කාළයේම දුක්විද මා ළැබූ එකම සැනසුම නුඹයි...)

Saturday, January 21, 2012

පෙම්බර මව්රට...

මගේ හිත

වාගේ එදාමයි
තවමත් මගේ හිත
සූරිය මලක්
හැරෙන ඉර දෙසට සේ
වෙලෙනවා නුඹට
හැපි හැපී තවත්....

ආවොතින් රැගෙන
යලි යලිත් ජිවිතය
හැකිය නැවතුමක්
තබන්නට සුසුමකට....

ලෙස පුරුදු ඉරහඳ තාරකා
යයි තවත් මහලු කරමින්
නැති වුනත් සෝ ලතැවුලක්
එබෙයි ඉඳහිට සිත් මඩලට
අරුමයක පෙමක් වී නුඹ.....

රස්නයෙන් ගිනි ගහන
කතර මැද වලුකාවක
බැහැ තවත් ඉනු හුදකලා
නිවා සතපනු මේ පිපාසා....

පෙමක වගතුග

සරින් සෙමින් ගලනා
ගඟ නොඒ නැවත
මලින් සිනිදු දැනෙනා
දිවි මගක් මෙනී.....

ගියත් කියා සිත පෙම
ඇස් වලින් බදා
බලන් තවත් නැත සිත
වඳනකින් හලා...

‍සැරෙන් සෙමන් විට විට
දිය වෙනස් දැනී
දිනෙන් දිනත් ළග අප
ගං දියක් වැනී...

ඉවුරු දෑල නොම විරසක
සිප සිප මිතුදමම බැදී
ළගින් ළගින් අත්වැල් රැක
ලෙංගතුව හිදී.....

විඳින විඳින සෝ ලතැවුල්
මිනි මැණික් සරී...
අරුම ඉපිල පෙන්වයි පෙම
ගං දියක නැගී.....

Friday, January 20, 2012

ආදරණිය අප්පච්චිට....

මායිමේ ඉදන්.... 1987/10/25
ආදරණීය සුදු දෝණිට...............

තල් වැට ගිනිබත් වෙලා. ඒ ගින්න ඇවිලුණේ අපි කවුරුත් අතින් නෙමෙයි. රුදුරු ත්‍රස්තවාදීන් මේ අහිංසක මිනිසුන් ඉන්න ගම්මානෙට නපුරු අවි ප්‍රහාර වලින් ගහන වෙලාවෙ රතුපාට ගිනි දැල් නගිමින් ඒ ගෙවල් දොරවල් උඩු හුලගට අහුවෙච්ච අළුදූවිලි විතරක්ම වුනා. ජීවිත රකින්න අපි පුලුවන් තරම් උත්සහා ගත්තා දුවේ.. මේ මිනිස්සුත් හිස් ලූ ලූ අත දිවුවා. ඇදගෙන ඉන්න ඇදුමවත් ඉතුරුවකට නැතිව අසරණ වෙච්ච මිනිස්සු හාමතේ කැලේ වැටිලා හිටියා. අහිංසක කිරි දරුවො තුරුල්ලෙ තියාගෙනම සමහර අම්මලා දිව්‍යලෝකෙ ගිහින්. මේවා දකිනකොට මගෙ හිත පත්තුවෙනවා දුවේ. තව කොයි තරම් කාලයක් මෙහෙම කාලෙ ගෙවෙයිද...

‍මගෙ දූට මෙහෙම කියන්නෙ අප්පච්චි හුගක් ආදරේ හින්දා.. මම දන්නවා මගෙ දූ දවසක මේවා තේරුම් ගනියි.. දු දන්නවද ගෙදරක ලිප් ගල් 3ක් මැද්දෙ උයන බතක රසයි මේ කල්දේරම් බතයි හරියට අහසට පොළව වගේ.. මේ පුංචි මල් කැකුලු අද අසරණ වෙලා... කඳවුරු වලට ඒ සමනල් ලෝක සීමා වෙලා.. ඒ පුංචි පැටවු දකිද්දි මගෙ දූ මගෙ හිතට එබෙනවා...

 දු දන්නවද අතට ගන්න බත් කට කටට ගන්න හදනකොට වෙඩි සද්දෙකට බෝම්බ සද්දෙකට ගැස්සිලා වීසි වෙලා යනවා.  වෙන මිනිස්සු ඇස් පියාගෙන සිහින දකිනකොට මේ නොකළ වරදකට දඩුවම් විදින පැටවු ඇස් පනාපිටම නපුරු හීන දකිනවා..කදුළක ලුණ රස කදුළක බර කරදිය වගේම ඇති මේ හිත්වල... මේ අහිංසක ළමයි පවු නේද සුදු දෝණි... අප්පච්චි අසාධාරණ නැහැ කියලා මගෙ දෝණිට තේරෙයි....

  ඔයාගෙ අම්මා කිවුවා ඔයා ගේ පුරාම කෑ ගහනවලු. අප්පච්චි කවදද එන්නෙ කිය කිය අහ අහා අම්මගෙ කන් දෙක ළග එකම කරච්චලයයිලු ..ඒත් මගෙ දුව දන්නවද මගෙ දුවට වගේම මේ පැටවුන්ටත් බයක් නැතුව හුස්ම ගන්න පුලුවන් බිමක් හදන්න අප්පච්චිත් මේ එකතු වෙලා ඉන්නෙ. මේක අහක දාලා එන්න බැහැ මගෙ දුවේ.
            
වෙන මිනිස්සුන්ගෙ පපුව පැයකට 72 වාරයක් ගැහෙනකොට මේ මිනිසුන්ගෙ ඒවගේ දහදොලොස් වාරයක් වැඩියෙන් ගැහෙනවා ඇති..

දන්නවද සුදු දුවේ මිනිස්සු අඬගෙනම ඉපදුනාට ජිවිත කාලය පුරාම අඩාගෙනම ජිවත්වෙන්න ඕනිද.? රත්තරන් ගානට මිළාඩික වෙච්ච සිනහව ඇබින්දක් හරි මේ මිනිස්සුන්ට දෙනවනම් එදාට අපිට හදවතින්ම හිනා වෙන්න පුලුවන් නේද.......

  අ යන්න ආ යන්න ලියපු පොත්පත්වල අලුවත් හොයාගන්න නැති මේ දරුවන්ට පාසැල් සිහිනෙ මිරිගුවක් වගේම වෙලා... මම වගේම අනික් සොල්දාදුවොත් ඉඩ ලැබෙන පුංචි වෙලාවල් වලදි මේ අයට කතන්දර සිංදු කියලා දෙනවා. මම මගෙ දුවටත් කියලා දෙන්නෙ නිවාඩුවට ආවහම. ඒවා තමා. ඔන්න ඇස් දෙක රතු කරගෙන කදුලු පුරවගන්න එපා සුදු දු... එයාලට ආදරය කරන්න මගෙ දුටත් පුලුවන්. දුව ලොකු වුනාම තේරෙයි.

කඳවුරේ කම්බි වැටේ එල්ලිලා මේ අය හොයනවා දුවේ ලෝකය බලන්න. එහෙම මල් දිහා බල බලා මේ ගමන නතර කරන්න බැහැ මගෙ දුවේ........... ඒක නිසා මගෙ කෙලි පොඩ්ඩ අම්මා ගාව ආදරෙන් දග කරන්නෙ නැතුව ඉන්න.

 දුව ලොකු වුන දවසක දූට මේවා තේරෙයි තව හොදට. දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගෙ දුවට.
අප්පච්චි

මතක පුස්තකය වගේ ළගම තියන් රත්තරන් වගේ අදත් මම පරිස්සම් කරනවා අප්පච්චි මේ අකුරු. මේ අකුරු නෙමෙයි මගෙ අප්පච්චිගෙ හදවතින්ම ආපු නැගුනු දෝංකාරයන් කියලා දැන් මට හිතෙනවා....

අප්පච්චි අද ඔයා ළගක නැහැ. හොරු අරන් ගිහින් වගේ. පාලු සොහොනක තනියම නිදා ගන්න මගෙ අප්පච්චි වගේ අප්පච්චිලා තව ඉන්න ඇති කියලා දැන් මට හිතෙනවා.  ලේ විලක් වෙලා රතුපාටින් දිලුනෙ මේ පොළව අප්පච්චි වගේ විරුවන්ගෙ රුධිරයෙන්. ඒ උඩක අද සුළගට යන්තම් වැනෙන පොපි මල් අතරින් පතර පිපෙනවා තමයි අප්පච්චි.

  තමන් ගැනම නොසිතපු හසලක ගාමිණි වගේ විරුවො මේ පොළවට මැණික් මිනිරන් වගේ වටින්නෙ ඇයි කියලා ඔයාගෙ දුවට තේරෙනවා දැන් අප්පච්චි..........ඒකයි ඔබ නැතත් මම මේ තරම් දරාගෙන ඉන්නෙ...

ජීවිතේ කියන්නෙ හමුවීම් වෙන්වීම් කියලා මගෙ අප්පච්චිම මට දවසක කියලා දුන්නා ඔඩොක්කුවෙ තියාගෙන මගෙ ඔලුව අත ගගා... ඒ දවස්වල හිනාවෙවි අහගෙන ඉදියා විතරමයි නේද මම අප්පච්චි... අද ඔයාගෙ දුවට ඒ හැමදේම තේරෙනවා මගෙ අප්පච්චී.

     සමහරු කියයි රස්සාවක් නැති කමට මිනිස්සු හමදුවට ගියා කියලා.. තව අය කියයි කාත් කවුරුත් නැති කමට හමුදාවට ගියා කියලා.. ඒ කොහොම ගියත් ඒ හැමෝම එකතුවෙලා රකින්න හැදුවෙ රැක්කෙ මේ මුතු ඇටය නේද අප්පච්චි....

ඔයා දිව්‍යලෝකෙ ඉදන් දුව දිහා බලාගෙන ඉන්න.. ඔයාගෙ දුව අද ලොකු රස්සාවක් කරන්න ඉගෙන ගන්නවා. ලොකු රස්සාවක් කිවුවෙ මගෙ අප්පච්චි මේ පින්බිමටම වටිනා දෙයක් කරන්න දුගේ හිතේ තියෙනවා අප්පච්චි...

   විශාලා මහ නුවර වගේ තුන්බියක්ම නාවට දැන් මේ මිනිස්සු අතපය දිග ඇරලා මගතොට ඇවිදිනවා අප්පච්චි.... හුලං පොදටත් උකුසු ඇස් වගේ විමසිලිමත් වෙච්ච මිනිස්සුන්ගෙ ඇස් දැන් පරඩැලුන් වගේ අහිංසකව තියෙනවා

  දන්නවද අප්පච්චි මම නම් පාරතොටේ ඇවිද යන්නෙ හරි උජාරුවෙන්. අහංකාර කමට.. අප්පච්චි හදලා දුන්න ලෝකය කියලා මතක් වෙනකොට මේ ඇගට අලුතෙන් රුධිරය ගලාගෙන ඇවිත් තැන්පත් වෙනවා අප්පච්චි....

      සමහර වෙලාවට දුක එනවා අර ඉර මුදුන් වෙන වෙලාවට ඇස් නිලංකාර වෙලා ගිහින් කදුලු බිංදුවක් දෙකක් එනවා වගේ... ඇයි දන්නවද අපිට නැතිවුන අප්පච්චිගෙ අඩුව කාටවත් පුරවන්න බැහැයි කියලා දැනෙනකොට. පෙරහැරක යන හස්ති රාජයෙක් වගේ අප්පච්චි ගැන අභිමානය අනික් පැත්තෙන් ඇවිත් හිතට එඹෙනවා....

 ඒත් අප්පච්චි අන්තිමටම මම මේ ටික විතරක්ම කියන්නම්...

තල්වැට ගිනි ඇවිලිලා
දූවිලි ගියෙ හුලගේ...
හෙමිහිටවත් නෑසුනි
සුසුමන් සද්දේ...
බැහැ අමතක කරන්නට
කිසිදා ඔබ ගැන දිවියේ....

පැරදුනෙ සතුරො අප්පච්චියෙ
අපි ලබා දිනුම්
මල් පිපිලා පලබර වුනෙ
අප සැමගෙ පැතුම්...

දැන් නම් නැතිවුනත්
පෙරවගෙම උදම්
අමතක කරනු කෝමද
ඔබ පණය අපේ.....

මගෙ රට බෙදා දෙන්නට
බැරි බව කීවෙ නුඹයි...
ඔබටත් මටත් ඇති
එක උරුමෙ මෙයයි...

තවකෙක් මරා තවකෙක්
රජ කරන රටයි
ඔබ ගැන ඔවුන් නොසිතන
බව මගෙ හිතම කියයි......


කවදද නුඹ ළග හිඳින්නෙ...

හද කුසුමෙ පිපුනු කුසුම
නුඹ විතරයි මටම ඉන්නෙ...


සිත් මඩළට සඳවතක්ම
නුඹ විතරයි මගෙම වෙන්නෙ....


ලියන ලියන කවි පදයට
නුඹ විතරයි ඇවිත් යන්නෙ...


මගෙම වෙලා මටම වෙන්න
කවදද නුඹ ළගින් ඉන්නෙ....

මට මගෙම වෙන්න...

ඇස ගැටෙන මානයක
පිපි මලක් ඔබ වෙන්න...
හඬ ඇසෙන මානයක
රස කවක් ඔබ වෙන්න...

දිවි දියඹෙ පැද යන්න
හබලක්ව  ඔබ එන්න..
රළු කටුක බිම් මගක
මුදු සුමදු පලසක් වෙන්න...

හිත ළගට සිතුවිල්ලක්ව
නුඹ අරන්න හෙට එන්න
මට මගෙම වී දැවටෙන්න..
නුඹ මටම හිමිවෙන්න......

Thursday, January 19, 2012

*** ඔබට ***

සුවඳ සුදු මල්වැල් එපා
ගෙන එන්න
සරසවන්නට මගේ මළගම.....

පුරුදු සුවඳින් නුඹේ

ඇබින්දක් අරගෙන
ළග ඉන්න මොහොතකට...

පැන් වඩා පින් පෙත්

පුදන්නට එපා
මගේ මළගම දවසෙ එන්නට....

පුරුදු කදුළැලි ටිකක් මගෙ
තියා ඇත ඇස්
කොනක ඔබට බැහැ විඳගන්න

පුදා බැතියෙන් ස්නේහයෙන්
හද සතපවා වුන්නු තැන
එපා කාටත් දෙන්න කිසිදින.....

අපි අපේ වෙමු..

__________නෙත ළගක හිඳින__________
__________නලියන එළිය නුඹ__________

__________අතරමං වුනු සිතට__________
__________තරු ළකුණ නුඹ__________

__________මගෙ නොවී තව__________
__________මගෙ ළගක නුඹ__________

__________අපෙ වෙලා අපි__________
__________ලංවෙමුද හෙට__________

ආදරය හිත ගාව..

හිම තුහින සිප වැළද
රිවි කිරණ හිඟ බෝම
තුරු මඩුලු පෙරසේම
තව දිනක නැග ඒම....

රල ඇවිත් දඟපාන

වෙරළතක පෙම්හීන....
ගංඟාවෙ මුණු මුණුව
සයුර ළග ලෙංගතුව....

කිචි බිචිය විහඟ කැල
පෙම් බදින අතු අගක
ගුලිගැහෙන හිතලගක
මන බදියි නුඹ දසුන....

පෙර පුරුදු වසත් කල
නුඹ වගෙම මනමාල
ඉඟි කරයි හිත ගාව
ආදරයෙ සුව බොහොම.....

Wednesday, January 18, 2012

අත්තටු රිදුනා පමණයි...part 5

     අත්තටු රිදුනා පමණයි. part 5. The End.

එතැන් පටන් මා සුවය ලබා නිවසට පැමිණෙන තුරුම නදුනි හැමදා වාගේ මා සමග හිදියේය. ඇය මගේ සැප සතුට කෙසේ වෙතත් දුක කදුළ ළග තනි රැක්කේය. දැහැන්ව අමතක කරන්න යැයි ඇය මට නොකියා කීවේය. නමුත් දිය යට ඔබන රබර් බෝලයක් සේ දැහැන් මගේ හිත උඩට එයි. ආයෙම කවමදාවත් දැහැන්ව මම බලන්නේ නැත කියා හිතා ගත්තද ඔහු නොදකින එක දවසත් මට හීනයක් නොදකින රැයක් සේය.
    නමුදු මොනම අන්දමින් හෝ දුක දරාගෙන දැහැන්ගෙන් ඈත් විය  යුතුය. එමෙන්ම සිතුමිණි නංගීටද දුකක් දෙන්නට මට බැරිය. දැහැන්වත් ඔහුගේ පෙම්වතියවත් ඈත් කර තබන්නට මට ඇවසි නැත. නමුත් මගේ මේ අකීකරු හිත දැහැන්ටම ආදරය කරන්නට දගලයි.
    ඉතිං ඊට සතියකට පමණ පසු මම නදුනි සමග දැහැන්ගේ ජ්ෙඬී එකට ගොඩ වැදුනේය. නිශ්චිත අරමුණක් මා තුළ නොතිබුණද නදුනි දුරකථන ඇමතුම සම්බන්ධ කර ගැනීමට දුරකථන කුටියට ගියේය.
   —සෙව්මි...කියන්න පැටියො දැන් ඔයාට සනීපද...
දැන්නම් ගතේ කිසිම අසනීපයක් නැතත් ඔබ දැකීමෙන් මගේ හිතේ අසනීපය සුව වූ තරම මෙපමණ යැයි මට කියන්නට බැරිය.
   —කවුරු මොනා කීවත් මට ඔයා නැතුව බෑ සෙව්මි...මගේ ආදරය ඔයා...මට සිතුමිණී එපා...එයා මට ආදරේ නෑ..හරියට වද දෙනවා....
එක පාරටම දැහැන් කියවා ගෙන ගියේය. ඉතිං මේ අවනඩුව කාට කියන්නද... ගැහැණු හිතක් වූ මගේ හිතද දැහැන් අසල අසරණ විය. නමුත් මා දැහැන්ට ඒ බව නොඅගවා....
   —දැහැන් ඔයාගෙ සතුට සිතුමිණි...ඔයා බොරු කරන්න එපා ඔයාගෙ හිතට...මට දුක දැනෙන්නෙ නෑ දැහැන්...ඒ මම විතරයි ඔයාට ආදරය කලේ...ඒ හින්දා ඔයයි සිතුමිණියි හැමදාම හොදින් සතුටින් ඉන්න දැහැන්....
   —සෙව්මි...මේ අහන්න...මට තේරෙනවා...ඒත් මට ඔයාව ඕන...මට සිතුමිණිව එපා...එයාට වෙන බෝයි කෙනෙක් ඉන්නවා. ඒත් එයාට මං ගාව සමාව තිබුන හින්දා මෙහෙම වුනේ...නමුත් දැන් මා ගාව සිතුමිණිට සමාවක් නෑ සෙව්මි...
  —දැහැන් මම කැමති නෑ ආයිමත් ඔයාලා දෙන්නා අතර මං හින්දා ප්‍රශ්න ඇති වෙනවට...ඒ හින්දා හැමදාම හොදින් ඉන්න මං යනවා...
කියා නදුනිද දමා මා මගට බැස්සේය. දැන්නම් හයිය කර ගෙන තිබූ හිත මහා වැස්සක් සේ කඩාගෙන වැටුනි....දැහැන්...අනේ මං ඔබට ආදරය කරන තරමක් ඔබ දන්නේ නැත. ජිවිතයේ මට දිනන්නට දෙයක් තිබුනේ නැත. තිබුණා නම් තිබුනේ එකම එක දෙයකි. එනම් ඒ ඔබවය. ඔබේ ආදරයය. නමුත් මට පවක් කරන්නට බැරිය. කිසිවෙකුට දුකක් දෙන්නට බැරිය. දුක මා ගාව තබා අනෙක් අයට සතුට ඛෙදන්නට හැකි නම් එය මගේ සතුටය.

    මා නදුනිද දමා ගෙදර දුවගෙන ආවේ ඇති තරමට ඇදේ පෙරළී ගෙන අඩන්නට කියා හිතාගෙනය. නැත්නම් මේ දුක් පොදි බැද තබා ගතහොත් දරා ගන්නට බැරිව මා ළය පැළී මිය යනු ඇත. මා නිවසට ඇතුල්වන විට
   —සෙව්මි...මොකද පුතේ...කියාගෙන අම්මා ඇසුවේය.
   —මොකුත් නෑ අම්මා...
   —මොකුත් නැති වෙන්නෙ කොහොමද...ඔය කඩාගෙන බිදගෙන දුවන්නෙ...
   —මගෙ ඔළුව කැක්කුමයි අම්මා...ඒකයි...
   —ඉදින් මං පැනඩෝල් 2 ක් අරගෙන එන්නම්....එසේ කියා අම්මා ගිය අතර මමද මගේ කාමරයට ඇතුළු විය. ඒත් මොහොතකින් අම්මාත් කාමරයට ආවේය.
   —ඔය ඇදුම් පිටින්ම ඇදේ පෙරලෙන්නද හදන්නෙ...ඇදුම් මාරු කරලා මූණ ටිකක් හොද ගනින් පුතේ...
   —මට බෑ අම්මා...කියා ඈ අත තිබුණ පැනඩෝල් දෙකද බී මා ඇදට වැටුනේය. අම්මා මා අසලින් ඇදේ කොනක වාඩිවී ඇගේ අතැගිලි මගේ හිසමත රටා ඇන්දේය. මට සුවයක් දැනුනද එය මට වවා ගත නොහැකි විය. හැඩුම අළුත් වූයේ ඉබේමය.
—    මොකද පුතේ මේ...ඉතිං අඩන්නෙ...
අම්මා එසේ ඇසුවත් මා කිසිවක් නොකියා ඇගේ ළමැදට තුරුල් විය. එදා වාගේම ඒ ළමැදේ උණුසුම රැකවරණය වෙනසක් නොවුනි. පුංචි සන්දියේ දැනුන ඒ අපූරු සුවද දැනුද අම්මාගේ හදවතින් ගලා එයි. වෙනස්වන ලෝකය හමුවේ සියළු දේ වෙනස් වුවද මවකගේ සෙනෙහස නොවෙනස් බව මට දැනුනි. අම්මා මා තුරුල් කර ගත්තේය. මට ඇඩෙන්නේ හේතු ගණනකටය. එහෙත් අම්මාට මේ කිසිවක් කියා ගන්නට මට බැරි විය. නමුදු මේ මොහොතේ මා ඇගේ උණුසුමට තව තවත් තුරුල් විය.
  දැහැන් මම මේ විද දරා ගන්නේ ජීවිතයේ මා විදින ලොකුම දුක වන්නට ඇත. මට ඔබගේ ආදරය අහිමි වීමෙන් මගේ ජීවිතයේ පරම සතුට මට අහිමි විය. එදවස වාගේම අදද මට කියන්නට ඇත්තේ —මගේ සද ඔබ..˜ කියාය. කිසිම දිනක ඔබ මගේ කර ගන්නට මට ඇවසි නොවු වග දැන්ද මම දිවුරා කියමි. එහෙත් ආදරය හමුවේ මා මෙතරම් අසරණ වූයේ ඇයි දැයි මාද දන්නේ නැත. ඔබේ සතුට හමුවෙහි මම මගේ ජීවිතයම අවමගුලක් කරගෙන කිසිවෙකුට නොපෙනෙන පාළු සොහොනක මිහිදන් වෙමි. මගේ ජීවිතය ඔබම විය. මගේ ආත්මය ඔබ විය. මගේ සිනහව ඔබ විය. කියන්නට නොදත්තද මගේ සන්තක හැමදේම ඔබම විය. එහෙත් මම හිත හදා ගන්නට තීරණය කළෙමි. ඒ මම ගැන සිතා නොවේ. මා වෙනුවෙන් මෙපමණ දුකක් උහුලන අම්මා ගැන සිතාය. ජිවිතයට පිරිමියෙකුගේ හව්හරණක් ඇවැසි යැයි සම්මතයේ වුවද මම එය පිළි නොගනිමි. නමුදු ජීවිතයකට ආදරය ඇවසියි කියා මා පිළිගන්නෙමි. මගේ ආදරය ඉල්ලා කොපමණ අය පසු පස ආවද මගේ ආදරය ඔබේ දෙනෙත් මුල නතර විය. එය හුදෙක් නිදහස් නිකළැල් පිවිතුරු ප්‍රේමයක් පමණක් කියා මම ඔබට කියමි.ආදරය ජීවිතයට මෙතරම් බලගතු යැයි මා දැන උන්නේ නැත. නදුනී නිතර නිතර කියන්නා සේ මා අහිංසක බව ඇත්තය. නමුත් දැහැන් අසලදි හිත තද කර ගනින් කියා ඇය මට අනන්තවත් බනින්නේය. එහි සත්‍යතාවයක් ඇත. එහෙත් මට එකම දෙයක් පැහැදිලිව කිවිය හැක. ඒ මේ තුන් ලෝකය පීරා සෙවුවද මට දැහැන්ට ඇර වෙන අයෙකුට ප්‍රේම කරන්නට බැරිය.්
 දැහැන් ඔබ සිත් මායිමට වී ඉනු මැන...

—අහස් ගැබට දෙනෙත් යැවුවෙමි
 සද කුමරු නැත නෙත් මායිමේ
 හැමදාමත් සදේ තනියට හිදි
 පුංචි තරුව නම් පායා ඇතේ
 හරියට ඒ මං වාගේ...
 සද ඇති රැයයි
 අහස හරි ලස්සනයි
 මගේ හිත නම් දුකින්
 දුර ගිය නිසා සෙනේ හිත
 දැනුත් ඉදහිට මතක් වෙයි මට
 අපි අපට පෙම් කළ තරම්
 ආදරෙන් මා ළග උන්නු ඔබ
 එදවස නෑ ආයෙත් එන්නේ
 අනේ නුඹ ළග උන්නා නම්
 මට හැකිය දුක විදගන්න
 ඔබේ පපු තුරුලේ
 තව එකම සැරයක් උණුසුම විදගන්න
 පිං පිරුවා මදි වෙන්න ඇති
 පවු කලේ මං හින්දා
 එපා ඔබ කළුවරක තනි වෙන්න
 ඔබේ ඒ කුල කුමරි
 කර ගන්න සදහටම ඔබේ
 හිත් කොනේ දුක තද කරන්
 අනේ ඔබ දමා යන්නට
 සැරසෙන්නෙ මේ දැන් මං
 මොහොතකට මට දෙන්න
 ඔබේ ඇස් මත තනිවෙන්න
 දුකක් නැතිව මට මැරෙන්න
 පාළු සොහොනෙ තනි වෙන්න


The End.

පුංචි නංගියේ....

මල් සුවඳට
වෙරලු ගහේ
හිත ඇදුනට
බාලොලියේ
පිච්ච සුවඳ
ගෙදර වැලේ
නුඹ ගාවයි
තවම නගේ....

දං බෝවිටි
ඉපනැල්ලේ
ඇවිඳ ගිහින්
දඟ කෙරුවට
සමනල්ලුන්
එන්නේ නැහැ
නුඹ ගියාම
සුවඳ දිගේ
වෙරලු මලේ....

මල් පැස ළග
හිනාවෙන්නෙ
නැවුම් කළෙන්
දිය නා ගත්
පුංචි නංගියේ....
ඉතින් එපා
සිඹ බලන්න
වෙරලු මලේ
සුවඳ එහෙම
කල එනතුරු
ඉවසාපන්
පුංචි නංගියේ.......

ඔබ සිහිවුනි....

හිම පොකුරු
ඇඟ ඇවිත්
වදිනකොට....

තෙත පවන
කන ළගින්
සිඹිනකොට...

සීත වතුරට
දෙපා දමමින්
ඇවිද යනවිට....

උණුසුමට ඔබ
ආවා නොදැනීම
මගෙ මතකයට.....

Tuesday, January 17, 2012

සිහිනයක සිතුවිලි - 08

අද ජනවාරි 17....හවස 6.42 යි.

සිත් අහසට සඳක් ඇවිත්
පෙරඹර ලෝ එකලු කරන්
පෙම් සිතකට නතුවීලා
සැනසෙනු බැහැ වහන්වෙලා...

මානස විල හිස් වීලා

කොඳ මල තව තනිවීලා
පතිනි වෙන්න හිනාවෙලා
සඳක් නමට පේ වීලා.....

අහිමි වෙච්ච පළමු පෙමට
දුක දැනුනත් ඉඳහිටකදි
 
නැවුම් පෙමක් දළු දමද්දි
බැහැ ඉන්නට වසන් වෙලා.....


මුහුදු හතෙන් දුරක ඉදන්
අර අහසෙම සඳ නමටම
වාන් දමන පෙම් දියරැලි
යන්න කියමි සිත නොරිදා......

ඉතින් දැන් ඔයා බලන්න ආවොත් හිතයි ඇයි මේ කියලා නේද.... 
දන්නවද අද දවසත් පුරුදු විදිහටම තමා ගෙවුනෙ...ඒත් ඔයා දන්නෙ නැහැනෙ...වස්සානය ගෙවෙන බව දන්නවා වුනත් මගෙ වසන්තයෙ නුඹම හැර වෙන කාටවත් මම මගෙ හිතට එන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා..... කින්නර සිහිනයක් දකින මගෙ හිත වටේම රඟන්න එනවා එක එක විදිහෙ කින්නර වෙස් ගත්ත අය... ඒ විතරක්ද සමනල පියාපත් පෙන්නුවට ඒ හැමෝම ළග බඹර විස දළ තියෙන බව මම දන්නවා... ඒ දේවල් දැනෙන්නෙ මතක් වෙන්නෙ මට නුඹ කියලා දුන්නු අපුරු පාඩම් මතක් වෙනකොට....

මතකද හිතුවක්කාර මම හැමදාම බැනුම් අහනවා ඔයා ගාවදි.... හැබැයි කොච්චර බැන බැන හරි ඔයා කියලා දෙන්නෙ හරි දේ.... මේ විෂම ලොවේ පොළවෙ පය ගහලා ඉන්න එහෙම නැත්නම් කකුල් දෙනෙක් හිටගෙන ඉන්න ඔයා මට දෙන දිරිය මිල කරන්න බැහැ රත්තරන්.....

ජිවිත කාලෙම කලේ හීන දකින එක... ඒ හීන හැබෑ කර ගන්න එක... ඔයත් මම හැබෑ කරගන්න දගලන හීනයක්.... දන්නවද මම දවස් ගණන් කරනවා ඔයා ගාවට එන්න.. දවස් 730 ගෙවාගන්න හැටි හිතනවා... තවම දවස් 37 යි ගෙවිලා තියෙන්නෙ.. එක තත්පරයක් ඔයා ගාව ඉන්න දෙනවනම් මට ඒ දවස් ටික දවස් නෙමෙයි... ඒත් එහෙම වෙන්නෙ නැහැ... මේ හැම දේම දරාගන්නෙ.. ජීවිතේ ගීතයක් විදිහට ගයන්න ඕනි හින්දා.........

ජීවිතේ ගඟක් විදිහට ගලාගෙන යන්න ඕනි හින්දා... දවස් ගානක් තිස්සෙ උ‍ණ රෝගෙන් පෙළුනත් මේ හිත නොලිවුවොත් මය බරක්.... ඒ වගේද.............පාලු කනත්තක වගේ දැනෙන තනිකමට මම මොකද කරන්නෙ... පන්හිදට ලෙංගතු වෙවි යතුරු පුවරුවෙන් ‍පණ දෙනවා මිසක්.......

වෙලාවකට මම කලුවරට හරි ආසයි... අදත් වැහි බීරුමත් එක්ක කලුවරම දවසක් තිබුණෙ.. එහෙම කලුවර ළගදි මගෙ දුක් වත මට හංග ගන්න පුලුවන්.................

ඒත් හැමවෙලේම දිය යටක ඔබන රබර් බෝලයක් වගේ ඔයාම හිත උඩට එනවා.... අතීතෙ ඔයා ගාව ඉදලා ගෙවපු දවස් මතක් වෙනවා......

පපුව පුරාම යන මගේ මේ දුප්පත් සිතුවිල්ලට දෙන්න නමක් ඔයා ගාව නැතුව ඇති... ඒත් දන්නවද අර මම හැමදාම කියනවා වගේ රලු නපුරු කම් තියෙන ඔයාගාව ලස්සන සොදුරු මිනිසෙක් ඉන්නවා.... පුංචි පුංචි හදිස්සිකම් තිබුණත් ඔය හිත වගේ ලස්සන හිතක් හොයා ගන්න ටිකක් අමාරුයි මට නම්..................

මතකද ඔය උරහිස උඩ මගේ හිස තියාගෙන මාව තුරුල් කරගෙන නිදා ගන්නකොට ඔයා මට බනිනවා පොඩි එකෙක් වගේ කියලා..... ඒත් එහෙමවත් බැනුම් අහන්න දැන් ඔයා ළගක නැහැනෙ...

කතා කරන ඔය ඇස් දෙක බලන්න මම කොච්චර ආසද... ඒත් ඔයා තවමත් මට ඉඩක් දුන්නෙ නැහැ නේද... මට ඒක මතක් වුනේ අද තනියම කාමරේට වෙලා ඉන්නකොට... 

වෙලාවකට ඔයා ආත්මාර්ථකාමියිද කොහේද.....ඒත් මම වගේම සීතලේ මහ රෑ මැද්දටත් ඔයත් තනියම කියලා දැනෙනකොට කදුලක් වැටෙනවා කම්මුල් රත් කරගෙන....

මේ කදුළු වලට නැවතුමක් තියන දවසක් එයි නේද මගෙ රත්තරන්... එතකන් හීන දැක දැක මම ඉන්නම් මේ විදිහටම........

 

මට කොයින්ද....

නුඹට වගේ
ළගින් ඉන්න
තරු මල් හෙම
මට කොයින්ද....

හිතේ තනිය
ලියා යන්න
පන්හිද ළග
කල් මරන්නෙ...

මේ හීතල
තුහින යටින්
හමන පවන
ඇවිත් යන්න.....

හිතේ තියෙන
සෙනෙහෙ බිදක්
ඔහුට ගිහින්
බාර දෙන්න...

මදැයි වෙච්ච දේ..

හදිස්සියෙම පණ දාගෙන
අනේ ඉතින් මම දිවුවා
ඇගේ ලගින් වාඩිවෙලා
බසයේ එකටම උන්නා....

රෑ මැද්දට හැමදාකම
සිහිනෙ වෙලා ඈ හිටියා
එහෙවු සෙනේ හංගාගෙන
නිහඬවතින් ළග හිටියා...

පොතක් අරන් පෙරලාගෙන
ඇය උන්නා මුණිවතින්ම
නුගේගොඩට ළංවෙද්දී
නැගිටලා ඇය ඉඩ ඉල්ලුවා....

පරම ප්‍රේමෙ හිතේ තියන්
ඇය සමග මම බැස්සා
බෝ ගහ ළග ඇය එනතුරු
පෙම්වතා මග බලා හිටියා....

අනේ ඉතින් හද පුච්චන්
ගිය මගේම මම ආවා...
ඉදලා ඉදලා පෙම් කලාට
මේවා මටම හොද පාඩම්.......

කොහොම කියන්නද....


සඳ දිය වැටිච්ච
තරු මල් යායම
කොතරම් සොදුරුද
හිතන්න සොදුරේ..

සෙනෙහස උතුරන
සඳකැන් දහරින්
නැහැවෙන ප්‍රේමය
දුටුවද සොඳුරේ.....

තුන්සිත පිවිතුරු
පෙම්බර සඳවත
නුඹයි කියන්නෙ
කොහොමද සොඳුරේ........

මෙහෙකාරිය



එකිනෙකා පරදමින්
එකම හිස් ගොඩක් වී
අහස සිප ගන්නා
සිමෙන්තියෙන් වැඩ දැමූ
දේදුනු පාට තාප්ප බිත්ති
වට කෙරුණු......

සිර මැදිරි සම උස් යකඩ
මුරකාවල් මැදින්
වටවෙච්ච හිස් අහස වැළඳ
තැනු මාළිගාවක නොනිදන
වෙලාවක සිරවෙච්ච
මුවැත්තිය...

දර කෑලී අඟුරු දැලි නැති
ලිපක් ළග ඉදෙන රස මසවුළු
සුවදක් නැතිව සුවඳක් ගන්න
වෙර ගන්න බොජුන් හල්
කුස්සියක තනිවෙන විට
හීයක වේගෙන් දුවයි හිත
අම්මගෙ කැකුලු බත ළග...

ඇපල් දොඩම් මිදි එක්ක
මේසයක හිද අනුභව කරන
හාම්පුතු දකිනකොට
වෙල් ඉපනැල්ලෙ ඇවිද
ගිරාපලා කංකුන් කඩා
පිට පොත්තටම ඇලුණ
කුස වේලකින් පිරිමහන
අප්පච්චිගෙ දෑස......

කහවනු කාසි අතමිට උරුමයක්
නැති කමට ඔච්චම් පාන දා
පොල්පිති අස්වයින් හදන්
ගම්මානෙ දුවන මල්ලිගෙ ඇස්
පාදන්න වැර ගන්න
විලංගු නොබැඳි මුත්
දෙපා බැරි බැරිව ඔසවා
විසල් පුරයක හුදකලාවෙම
කදුළු මිල කරයි ඇය.......

Monday, January 16, 2012

නුඹ තුටින් උන්නාදෙන්...

මුදු සුළග ඉතින් තව
නැහැනෙ ඇවිත්...
මග බලන් ඉතින් මම
රැදෙමි දුකින්...

නෙත් ඇරෙන සරින්

නුඹ රුවම සොයයි
සිත් මඩල ළගින්
නුඹ හෙමින් එබෙයි.....

මේ නපුරු දවස්
තව හුගක් තියෙයි...
සිත සවිය අරන්
නුඹ තුටින් හිඳින්.......

සඳට

විසල් පෙමක් අතැතිව
තරු පිරි ගඟනතට
නෙත් යොමා කදුළැලි
හංගගෙන හිනැහෙනවා
ළගට යන්නට බැරිකමට
උණුසුමක් හද දරාගෙන
මහ පොළව හැමදාම..............

දස දහස් තරු පිපෙන රැයට
මත් බඹර වෙස් ගන්න සඳ
අබැටක් තරම්වත් නොසිතුවෙද
පපු කුහරෙ හාර හාරා මේ
පොළව විඳිනා දඩුවමක් තව.............

ලෙහා සළු නුඹේ ඇවැසි නැහැ සඳේ
නිරුවතින් තරු ළගක දවටන්න....
මුදු මලක් වගේ හිත අරන් දැන්
යන්න යන්නම් දුර දුරට විගසින්ම
නොරිදවා තව මල් පෙති ළගක
නැවතියන් නුඹ එකම එක
තරු මලක් ළග සැනසිලා අද අදම.............

*** අක්කා කසාද බැන්දා ***



ලැසි ගමනින්
රන් රිදී අභරණ
පළදවා මුලු සිරුර
යන්න යයි අක්කා
බරණැසට උදෑසන.....

ඇතුල් ගිනි පිට නොදී
පිට ගිනි ඇතුල් නොකොට
ඉන්න යැයි කියමින්
අම්මා මතුරනවා
තුන් සරණ වගේ කනට
අක්කාට වහ කඳුරු මෙනි...

කිරි කල 7ක් පොවා රැකි පුතු
වගේ තවත් ඇය කැරකෙයි
අක්කා වටා සරණ බන්ධනය
දෙව් ලොවක් කර ගන්න
කියමින් ලය මතට අත තියන්........

අජානිය අස්ව පිටින්
මුල්ම දා ගෙදරට ආ
බරණැස් කුමරු ගැන
සිත නොපිහටවු තාත්තා
තවමත් කුස්සියේ
පිල ළග ඉදගෙන
වක් වෙලා දෑත
නිකටට තබන්
හිතනවා වෙන්න ඇති
නොදන්නා ශ්ලොකයන්
පහදා දෙන්න බැරි කමට
තම ලෙයින් හැදු දියණියට.........

අෂ්ඨක තැලිපිලි නැති
හතර වරිගයක් නොදත්
ගමන ඇය ගියා දැන්
බායි කියලා නළල සිඹ මගෙ....

      

සමුගන්න ඉඩදෙන්න..

නීල ඉදුවර දෙනෙත් හංගන්න
පෑල දිග අහසින්ම බැසයන්න...
නුරා හැගුමන් එපා ගෙනඑන්න...
ආල පිරි සිත යන්නෙ මියැදෙන්න.......

මධුරමැයි ආදරේ කිවු දවස් පරදන්න

කිනිති පොඩි මල් බිඳන් හිනැහෙන්න...
සඳ ළගට තාරකාවන් විත් නවතින්න...
මඟ ගෙවා ආ ලකුණු මකාගෙන යන්න....

මන කමනි සියොළගම ගිනිගන්න
අනෝරා වැසි මැදින් තනිවෙන්න
සසැලි සයුරේ සිතුවමම ඔබ වෙන්න
දැන් ඉතින් මට යන්න ඉඩ දෙන්න....
 

Sunday, January 15, 2012

සිහිනයක සිතුවිලි - 07

අද ජනවාරි 15 ඉරිදා දවසක්

කහම කහපාට හැන්දෑවට
සුවඳ අරන් හෙන්දිරික්කා
මල් ආවත් තනිකම වට
හිත ළග මගෙ නවතින්නට...

හෙමින් සැරේ නුඹෙ තුරුලේ
උන්නු සුවඳ හිත එබෙනවා...
නුඹගෙ ළයට හිස සතපා
දුක් හිත බර නිවා ගන්න හිතෙනවා.....

හැමදාමත් අහස බලා
දේදුන්නක පාට අරන්
මගෙ සිහිනය තව අදිනවා
නුඹේ නමට හිත මැද්දෙන්........

සේපාලිකා මල් සුවඳින්
සඳ කිරණේ එළි අතරින්
මගේ සොදුර නුඹ වඩින්න
පාළු හිතේ අදුර මකන්.....

පුරුදු විදිහටම හීනෙ ගෙත්තම් කරන්න ආවත් හිත පෙලන මේ නපුරු තනිකම මාව අලස කරනවා........
දන්නවද දවස් 2ක 3කින් හීනෙ ලියා යන්න බැරි වුනාම හීනෙ දිහා බලා ඉදපු 1 කෙනෙක් මට මෙහෙම කිවුවා.. අක්කි හීන බලන එක නවත්තලා වගේ....මම දෙපාරක්ම අක්කිගෙ පිටුවට ආවට සිහිනෙ තිබුණෙ නැහැ කියලා.....
              ඔන්න ඉතින් අමාරුවෙන් වුනත් මම අද සිහිනෙ ලියනවා... සමහරුන්ට වැඩක් නැති බොළද දේවල් වෙන්න පුළුවන්......
          ඒත් දන්නවද හිත දුකින් තැවුලෙන් තියෙන වෙලාවක නිකමට හිතලා බලන්න බොළද දේ තුලත් අපූර්වත්වයක් තියෙනවා නේද කියලා.........

            මම දන්නවා ඔයා වැරදීමකින්වත් මගෙ හීනෙට ගොඩ වදින්නෙ නැහැ කියලා... 

      ඉස්සර ජිවිතේ හරිම සැහැල්ලුයි කිසිම බරක් දුකක් නැහැ..මට මතකයි....
           මුලු හන්තාම සිප ගෙන සුළගට ඇග හිරුවැටෙද්දිත් නුවර පොලිසිය ගාවින් හති දදා පුෂ්පදාන කන්ද නැග්ග හැටි.....
              බහිරව කන්ද මුදුනට වෙලා ඈතින් පේන නුවර විදිය දිහා බල බලා අපි යාලුවො කට්ටිය කියෙවුව හැටි.... පුලුන් පිඩක් සේ කිසිම දෙයක් නොදැනුන ඒ කාලෙ මොන තරම් ලස්සනද.....
   ඒ විතරක්ද ඔයා ළගින් ඉදපු දවස් ඒ වගෙම සුන්දරයි.... මතකද දවසක් අපි දෙන්නා හොදටම නාකපන වැස්සක තෙමුන හැටි... වගක් නැතිව ඒ වැස්සෙම පාර අයිනෙ කඩේකට ගිහින් අයිස් කාපු හැටි......
         ඒ දවස් මතක් වෙනකොට අද ඔයා මගෙ ළගින් නැති එක කියන්න බැහැ කොච්චරද කියලා.... 
           පැය ගානක් තිස්සෙ හිතුවත් අද නම් මට සිහිනයක සිතුවිලි ලියාගන්න සිතුවිල්ලක් එන්නෙම නැහැ.... පෑවිල්ලකට අහුවෙච්ච පොළව වගේ මගෙ හිත....හරිම හිස්.............

           පුරුදු විදිහට මම වෙන දවසක එන්නම්..... කවමදාහරි ඔයා බලලා යන්න....පුලුවන් වුනොත්...