Sunday, January 27, 2013

*** ජීවිතේ ලියාදෙමි දුරුත්තට ***




ඇබින්දෙන් එහෙ මෙහෙ දුවන සිතිවිල්ලකට
නිමිත්තක් ඇතිද ඇහැරෙන්න හදවතක මැදට
සුනංගුව හුඟක් තැන් පිරිමදියි සීරුවට
වැරැද්දක් නොම වෙන්න එයම වෙයි හේතුවට...

වසන්තය නැති වුනත් හමා යන පවන ළඟ
අසන්නට බොහෝ පණිවිඩම ඇත හිත් අඟක
එහෙ මෙහෙන් තටු ගසන කුරුල්ලෙකු දුටු විටක
සිල් බිඳින් නෑ එහෙත් උණුසුමයි සියොළඟම...

රෝම කූපත් ඉස්සිලා සීත සෘතුවට රවනකොට
ග්‍රීක ජාතික කවිත් කියවෙන්නෙ අහම්බෙට
කාකි පාටින් කබායක් පොරවගෙන ඉන්න මට
රෑක සුමිහිරි ගී කියන්නට හිතෙයි මදනලට...

වා කවුළු හැම තැනම වසා ඇත හිරවෙන්ට
මා සොයා පැමිණෙන්න බැහැ නේද සඳවතට
පිපෙන මල් හිඟ වුනත් සුවඳ ඇත මැදියමට
නොදුන් කවියක් කාටවත් ඇත ඔබට පුදන්නට....

ඇවිස්සෙන හැඟුම් පැතුම් වී එබෙනකොට
කනස්සලු හිතින් කම්මුලත් නටනකොට
හතරකොන සිර කරන් පපුව මැද ඔබ සිටිනකොට
ඇත්තමයි ජීවිතේ ලියා දෙමි මම ඉතින් දුරුත්තට....



Thursday, January 24, 2013

නොරටක උන්න මුත් ඇයි වෙනසක් අපි ගැන හිතන්නට



නිමිත්ත -
පිටරට අයට මොන සැපද යැයි ලංකාවෙ වාසය කරන මිතුරෙකුගෙන් ලැබුණ දෙයක් හේතුවෙනි.
_______________________________________________________

ඉරමල එක්ක තඹුරුත් මැලවී යන හින්දා
හිත්වල නැගෙන පැන කළුවර අරගත් හන්දා
පෙරකල පින පවම පරිසන් දෙනවද මන්දා
කවි පෙළ ලියමි දුරු රට සැපයක් නැති හන්දා...

අලුයම අයිස් කැට එක්කම මුහුණත් දොවලා
හිල්වුණ මේස් දෙක බැනියම ඇඟපත සිඹලා
දඟලන බඩේ පණුවන් හට සරදම් කරලා
කහවණු එවයි හුඟ දන පිටරට දුක් විඳලා...

මහතුනි හිතන්නේ අප රුක යැයි මුදල්වල
එනමුදු පසුම්බිය හිස් අපගේ බොහොම කල
දවසින් දවස හිරු සඳු වෙනසයි ගගන තල
දෙකකුල් දෙඅත් තව තව වැළපෙයි මැඳුරුවල...


ලයිසන් නැතුව  තම්බති බිත්තර පපුවේ
ඇහුවොත් මව් රටින් සතුටින් යැයි කිවුවේ
ලැබෙනව හොඳ කලක් සිත සිත දින ගෙවුවේ
එනමුත් තනිකමයි කලකිරුමයි ආවේ...


මැරුණම කවුරු කවුරුත් යන්නේ සිව් රියනකට
ඉපදුණ නිසයි මේ හැම ලැබුණේ දිවි ගෙවන්නට
තරහක් නොමැත වදනක් ඇත මාහට කියන්නට
සකියනි අපිත් මිනිසුන් ඇයි වෙනසක් මනින්නට....

Tuesday, January 22, 2013

*** උමතු සඳ ළඟයි ප්‍රේමය ***



දුරුතු සඳ මනමාල වී
මුදුන් අහසෙම නැංගුරම් දාලා
පුරුදු අකුරුම ඇවිස්සී
කවි මලක් හිත් වැටෙන් පැනලා....

බුරුතු ගානට වැටෙන හිම කැට
කෙනිත්තුමකට ඉස්සිලා
කූරු පයිනස් ඉති පේලියට
සිනාසෙනවා නැවතිලා....

නිමෙන දැල්වෙන පහන් සිළු
නෑ කණාමැදිරියො ගෙනල්ලා
සිවුරුහන් හඩ තාලයක් මැද
පළගැටියො දුර ඉගිල්ලීලා...

ගෙවුනු වස්සානයට පීදුණු
ඇපල් මල් බිම ඉහිරිලා
සිපගත්ත මුත් ආදරෙන් පෙර
සමනල්ලු තටු වට්ටලා...

රැලි නැතත් හෝ හඬත් හොර
සමුදුරත් නෙත් හංගලා
අහංකාරෙන් උමතු තරුපති
වැළඳගයි ස්නේහෙන් ඉපිලිලා...

ආලකම් හැම සඳට විතරයි
හුඳකලා හිත වැළපිලා..
දුම් දමන කෝපි බඳුනක්
කවියකින් හිත සැනසුවා...

රැයට අධිපති සඳම විතරද
විරුද්ධව හිත කරැලි ගැසිලා..
ලොවට රහසින් උමතු සඳ ළග
නැවතුමට ඉකිබිඳුම ඇහැරිලා.....

Wednesday, January 2, 2013

* අතැර යන්නැති මතක බණ *

කළු ග‍ඟේ දිය රැලිති මැද
වියරු දිය සුලිය පුදුමයි
පාවෙලා සැහැල්ලුවෙ ආව
හල් ගෙඩිය ගෙන හැංගුවා ...

ජබොග් ගා නැගුණ සද්දෙන්
පිළිහිඩුව සිල් බිඳි බවයි
හොටය හප්පා කුඹුක් අත්තක
කෑ ගැසිල්ලක් නැති
මාලුවෙක් අවසන් 

ගමන නම් ගියාමයි....

නොන්ඩි ගහ ගහ වගේ පැද්දී
කොකෙක් මානා ඉන්න අතරේ
සමබරය ඉහිලුම් නැතිව ලීයක්
දිය කඳට හිස නමා ගත්තා....

හිරුට අමතක වෙච්ච තැන්
ඉඳහිටක සඳ බලා යනවාමයි
සාඳු කියමින් සිරිපතුල් වැඳ
ඇ‍ඳෙන දිය වුව නපුරු වෙනවාමයි...

ගල් තලාවක තවම ඉහිළුම්
නොදෙන ඉකිහඬ ඇසෙනවා
මල් මදාරා නැති වුනත් ඇය
එ'හිමි ඒ දැයි මඟ බලනවා...

වැලිපිළා ළය නැගෙන දුක් ගිනි
අකුරු අතරක අතරමංවේ

සැඟවිලා ගිය හල් ගෙඩිය ගැන
ගසක් පාමුල කඳුළු රැඳු....

පිනි ජම්බු මලක රොන්
දිය උඩක රංගන කලේ
හු නැතත් ළඟ බට කූඩෙ

අදත් ඇස් තෙත් කලේ...


ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...