නමො තෙ මහමානව !!!
මේ මහා විශ්වය තුළ උපන් ඒ අසිරිමත් මිනිසා උන්වහන්සේමය. ඒ උත්තම අසිරිමත් සිරිමතාණන්ගේ එක් ආත්ම භවයක හදවත් නිවාසනහාලන විකාශනයක් කිවූයෙමි. ආනන්දයත් ප්‍රඥාවත් උපරිමයෙන් ලද බව නොසඟවා පවසමි.
පන්සිය පනස් ජාතක කතා අතර වෙසතුරු කතාවට ලැබෙන්නේ අපූර්ව තැනකි. ඒ අපූර්වත්යම සාමාන්‍ය ජන විඥානය තුළත් මහා ප්‍රඥා විද්වතුන් අතරත් තම තම නැණ පරිදිම තැන්පත් වී ඇත.
විවධ චිත්‍ර, ගීත, කතා, සිනමා, නාට්‍ය ආදි විවිධාකාර මාධ්‍ය ඔස්සේ වෙස්සන්තර ජාතකය අපි දැක ඇත්තෙමු. කියවා ඇත්තෙමු. අසා ඇත්තෙමු.
එළෙසින්ම මන දොළ පිනවා හදවත් ස්පර්ෂ කරමින් නිබඳ රසිකාකර්ෂණයක් ලබා ගන්නට සමත් කෘතියක් මම ද කියවා හමාර කලෙමි.
ඒ අන් කිසිවක් නොව ප්‍රේමරත්න සමරනායකයන් විසින් රචිත "මහාමානව" නම් අසමසම කෘතියයි. ප්රබන්ධයයි. නවකතාවයි. වරක් කියවූ විට නැවත නැවත කියවන්නට ආසා ඇතිවන පරිදි බෝසත් චරිතය අප හදවතට ඇද බැද තබන්නට එතුමා සමත් වී ඇත.
සැකෙවින් අප දන්නා පුවත අනුව නම් ඇත්තේ පැනයකි. ඒ පියෙක්ට තම දරුවන් දන් දෙන්නට හැකි ද ? කියාය. එපමණකුදු නොව බැල මෙහෙවරට අත පැන් වත්කර දිය හැකි ද ? යන්න ගැටලුවකි. බුදුබවට පෙරුමන් පුරන අසිරිමත් මිනිසුන්ගේ කතා පුවත් එලෙසින්ම දුර්ලබය. අතිශෝක්තයක් නොවූවත් ඒ මහා පාරමිතා බලයන් ගැන අපට අංශු මාත්‍රයකින් හෝ සසදා සිතාගන්නටවත් බැරි බව කිව යුතුමය.
සාරාසක්ඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරා අනන්ත වූ සසර ගමනක කෙළවර උන්වහන්සේත් දකිමින්, අපටත් දකින්නට ඉඩ හදාදෙන්නට කැපවූ මහාමානවයාණන්ගේ එක් ආත්ම විවරණයක් ප්‍රබන්ධයක් තුළට ගොනු කරන්නට ප්‍රේමරත්න සමරනායනයන් අතිදක්ෂ වී ඇත. ඒ හුරුව අද ඊයෙක ඇති වූවක් යැයි විශ්වාස නොකරමි. එතුමා විසින් සසර ප්‍රගුණ කළ යම් පාරමිතාවක් මෙයට පිටුවහල් වන්නට ඇති බව නොඅනුමානාය. මන්ද යත් මෙය එතරම්ම අතිශෝක්තයක් නොවන අසිරිමත් කෘතියකි.
ලද නිවාඩු සමය තුළ මා විසින් දිනපතා කියවූ පොත් ද මා දිවිය පුරා කියවූ පොත් ද ගත් කළ මේ කෘතිය ඒ කිසිවකට සමකළ නොහැක. බුදුන්ගෙන් දෙව්රමදී බණ පදයක් ඇසුවා නම් කෙතරම් නිවී පහන් වෙනවාදැයි දැන් අමුතුවෙන් සිතිය යුතු නැත.
වෙසතුරු කතා පුවත තුළ ප්‍රේමරත්න මහතා හුදෙක් බුදු බණකට පමණක් සීමා නොකරයි. එතුමා මේ මහා සසර පුරාම පුදුමුත්තර බුදුන්ගේ පටත් මෙතේ බුදුන් දක්වාම සමාජයම ආවරණය කර ඇත.
සමාජය නමැති නිවෙස තුළ සිටින සියලුම මානව කණ්ඩායම් එයට එකතු කර ඇත. විප්ලව කරමින් සමාජවාදය කතා කරන රුසියාවද, ධනවාදය අර්ථකනය කරන මහා සමාජ සංස්ථාද, කුලීන කුලහීන සමාජ ස්ථරයද, ඒ මතින් ගැටෙන පීඩිතයාද එකී මෙකී නොකී සියල්ලන්ම ඇත.
එමෙන්ම රාජ්‍ය පාලනය තුළ අද්‍යතනයේ දක්නට සිටින මුග්ධ දේශපාලකයන්ද, රටත් රට වැසියාත් සුරකින ජන නායකයන්ද මේ මහාමානව පුරාවටම ඇත. විශ්වන්තර රජු එයට කදිම උදාහරණයකි. එමෙන්ම "කෝසිය" සිටාණන් වැන්නවුන්ද "නීලකේතු" බමුණන් වැන්නවුන්ද එදත් අදත් හෙටත් නොඅඩුව අප සමාජය පුරාම සිටිති. තම බලය ධනය උදෙසා මිනී මරා හෝ ජීවත්වන්නට සිතන්නවුන් බොහෝය.
"කුටිල" වැනි පීඩිත පන්තියේ සිට සමාජයෙන් බැට කා, හිස ඔසවන්නට සිතන උන්ගේ යටි හිතේ සඟවා සිටින වෛරයේත් පළිගැනීමේත් නාගයාද සිටින බව නොරහසකි. නමුත් සියල්ල ධර්මය ඉදිරියේ පරාජය ලබන බව සනාතන දහමකි. එය මහාමානව පුරාද නොඅඩුව ඇත.
"ජූජක" වැනි මහළු බමුණන් "අමිත්තතාපා" වැනි සුරූපී දියණියන් වැනි කතුන් විවාහ කරගන්නා යුගය අදටත් වෙනසක් නැතිවම පවතී. තම කුලය රැකගැනීමට එක් පසෙකින් වෙර ගනිද්ද රාගය, කාමය වැනි හැඟීම් නිසාම තම වයසද අමතක කර තිරිසන් වන මිනිසුන් සුලභය. ජීවිතය රැකගන්නට "අමිත්තතාපා" වැන්නවුන් එසේ මහල්ලන් සමඟ විවාහ වුවද ඔහුවද රවටමින් ශුද්‍රයකු සමඟ රහසින් සහවාසයේ යෙදී ගැබ් ගැනීම , එමෙන්ම ඒ ගැබ මහල්ලාගෙ කියා රවට්ටමින් මිල මුදල් සූරාකන ඇඹේණියන් මහාමානව කතාව තුල පමණක් නොව අප වටපිටාවේද සිටිති. ප්‍රේමරත්නයන්ගේ අපූර්වතම ලේඛණත්වයද එයමය. එදා අතීත දඹදිවට අදද හෙටද තුන් කල් ගැලපීමමය.
"මන්ද්‍රි" දේවියන් පාරමී පුරා එන්නේ වෙසතුරු කතා පුවතේ පමණක් නොව. වත්මනේද තම සැමියාගේ දියුණුවට නිවනට කැපවීම් කරන බිරින්දෑවරුන් ඔබ මා අතර ඕනෑතරම් සිටිති. තමන් හැරදා යන බව දැන දැනද තම සැමියාගේ හිත සුව පිණිසම හිතන්නවුන් නැත්තා නොවේ.
එහෙත් " මන්ද්‍රි" දේවියට මා කිසිම එවන් බිරින්දෑවරුන් සම නොකරමි. මන්ද ඇයට සම කතක් මේ විශ්වයේ කොතැනක හෝ නැති බව දන්නා බැවිනි. තම සැමියාගේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන්ම සාරසංඛ්‍ය කල්ප ලක්ෂය මුළුල්ලේම සියළු පීඩා ඉවසා දරානෙ ඈ ආවාය.
මහාමානව කතා පුවතේ අප දන්නා වෙසතුරු කතා පුවතම වෙනත් මානයකින් හිතන්නට ප්‍රේමරත්න සමරනායක මහතා අවස්ථාව දී ඇත. එනම් තම සැමියාගේ දාන පාරමිතාව සම්පූර්ණ වීමට දරු දෙදෙනාද , ඇයවද දන්දීම ඇය දනී. එය දැනගන්නේ සෘද්ධිමත් "අච්චුත" බමුණාගෙනි. එසේ දැන එය පූරණය කරන්නට ඇය මහෝපකාරී වෙන්නේ දරු දෙදෙනාටද ඒ බව පවසමින්ය. "සහලෙය" "කෘෂ්ණජිනා" නම් දෙදෙරුවන් ද තම පියාණන්ගේ බුද්ධත්වයට උපකාරී වීම පිණිසම අපව ජූජකට දන්දෙන්න කියා සිරිපතුල් සිඹ ඉල්ලති. මන්ද්රී දේවියද එසේමය.
අනාගත බුදුවරයෙකුගේ දාන පාරමිතාවට තමන්ට දායකවෙන්න ලැබීමම වාසනාවක්යැයි පවසමින් දරුවන් ජූජක හා යන්නේ සතුටිනි. මන්ද්‍රීද යන්නට සැරසෙන්නේ සතුටිනි.
සාමාන්‍ය ජනයා මෙන් භූමාට දෙවිවරුන් දොස් කියන්නේ මෙසේ බිරිඳ දරුවන් දන්දෙන්නට හැකිදැයි අසමිනි. ඒ පුහුදුන් මිනිසුන්ගේ ස්වරූපය "භූමාට" දෙවියන්ගෙන් "වන" දෙවියන්ගෙන් අපට පෙන්වීමට කතුවරයා සමත් වී ඇත.
වෙස්සන්තර ජාතකයට දී ඇති නව අර්ථකතනය තුළ කියවන්නාගේ හද කම්පා නොකර සිටින්නට එතුමා සුවිශේෂී ලෙසම දක්ෂ වී ඇත. කිසිවෙකු කෙරෙහි ද්වේෂයක්, තරහක්වක් නොඋපදියි. එයද මේ කතුවරයාගේ මනා ප්‍රතිභාවේම අංගයකි.
මන්ද්රී දේවියගේ කවි ලිවීමෙහි හැකියාව මෙන්ම ඇය තම ආධ්‍යාත්ම දියුණුවත් සමඟ තමන්ගේ පරිනතභාවියද පෙන්නුම් කිරීම සමරනායක මහතාගේ කවීත්වයේම විශාල සුහුරු බවමය. එළු සඳැස් ලකුණ, ගී විරිත ආදියෙන් මනාව කවි මෙහි ඇත. එපමණක් නොව වෙස්සන්තරය ගැන ලංකාවේ විවිධ පන්සල් වෙහෙර විහාර වල ඇති සිතුවම්වල පින්තූරද සුදුසු පරිදි පොත තුළට ගෙන ඇත. එතුලින් පෙනෙන්නේ මහාමානව ලියන්නට සමරනායක මහතාගේ සුදානම් වීමමය.
යමෙක් තම ජීවිතය තුළ කෙසේ හෝ කියවිය යුතුම පොතක් ලෙස මහාමානව යෝජනා කරමි. විවිධාර්ථයන් කියමින් සම්මාන සහතික දෙන්නේ මොනතරම් අවරගනයේ කොළ ගොඩවල් වලටද කියා වරක් දෙවරක් නොව කිහිප වරක්ම මට සිතුණි.
සමරනායක මහතාණෙනි, සෝවියට් රුසියාවද, මෑත පෙරදිගයද, යුරෝපයද , ඈත ඈත දඹදිවද, අනාගත කලියුගයද ඔබතුමා සුහුරුව ගෙන මනාව යුෂයන් පෙරා පදම බලා අපට පිළිගන්වා ඇත. ඒ අමෘතය බොනවාද නැද්ද යන්න පාඨකයාගේ පින, පව අනුව සිදුවන්නකි. මන්ද යත් මෙවන් අනගි කෘතියක් කියවීමට වාසනා ගුණයද තිබිය යුතුම බව මගේ හැඟීමය.
කතෘ ප්රකාශනයක් ලෙස සමාජගත කර ඇති මහාමානව කෘතියේ අලංකාර කංචුක නිර්මාණයත් සිත් බැදගන්නා පොතේ නිමැවුමත් තවත් සුන්දරත්වයක් වෙසතුරු පුවතට බද්ධ කර ඇත.
කංචුක නිර්මාණය මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ.
ඉතින් තම ධනය, කාලය , දැනුම වැය කරමින් ඔබතුමා කළ මෙම නිර්මාණයට මම පුණ්‍යාණුමෝදනා කරමි.
( බණ පොතක් කියා නොසිතන්න. මෙය සුන්දර මානව කතාන්දරයක අලංකෘත නිමැවුමක්මය. )
දිනිති දීපිකා
2020/04/16
Monday, May 11, 2020
Wednesday, November 13, 2019
පිපීගේ සිහිනය
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනිපිරියට " පිපී " කියල පූස් පැටියෙකුත් හිටියා. ඒ මිනිපිරියගෙ නම තමයි " හීන කුමාරි."
ඔන්න ඉතින් කාලය ඔහොම ගෙවිලා යද්දී, හීන කුමාරිට අවුරුදු හතක් විතර වෙනවා. මෙයාගෙ වයසක ආච්චියි සීයටයිත් දැන් හොඳටම වයසයි. මේ මිනිපිරී දවසක් අහනවා,
" ඇත්තටම ආච්චියේ, සීයෙ, කෝ මගෙ අම්මයි, තාත්තයි "
කවදාහරි මිනිපීරී ඕක අහන බව දැනගෙන ආච්චියි සීයයි කතා කරගෙන හිටපු විදිහට කතාව කිවුවා.
" මෙහෙමයි දුවේ. ඔයාව මේ කන්ද මුදුනෙ මාලිගයට අපට ගෙනත් දුන්නෙ සුළං කුමාරියි, සුළං කුමාරයයි තමා. ඒ දෙන්නට නිතරම ලෝකෙ පුරා ගමන් යන්න තියෙන නිසා ඔයාව අපට හදාගන්න දුන්නා. වයසක අපි දෙන්නටත් කවුරුත් නැති නිසා අපි ඔයාට " හීන කුමාරි" කියල නම තියල හදාගත්තා. "
" එහෙනම් ඇයි අම්මයි තාත්තයි මාව බලන්න එන්නැත්තෙ? "
" ඒ අයට ලෝකෙටම හුළං බෙදාහරින්න තියෙනවනෙ දුවේ. "
" ආච්චියි සීයයි මේ මාලිගයෙ නැතිවෙච්ච දාකට මං මොකද කරන්නෙ ? "
" ඒක අපි ඔයාට කියල දෙන්නම්කො. තවම ඔයා පුංචියිනෙ. "
--------------------------
කාලෙ ඔහොම ගෙවිලා තව අවුරුද්දකින් හීන කුමාරි වයසට ගියා. ආච්චියි, සීයයි එයාව අර අහස උසට තියෙන මාලිගයෙ උඩම තට්ටුවට එක්කගෙන ගියා. ගිහිල්ලා ඒ දෙන්නම හීන කුමාරිගෙ අතින් අල්ල ගත්තා. අල්ලගෙන මෙහෙම කියනවා
" හීන කුමාරි..අපේ චූටි දුවේ.. අපි දෙන්නා මැරිලා ගිය දවසට ඔයා මේ කාමරේ මෙන්න මේ කවුළුව ගාවට ඇවිත් ඇස් දෙක පියාගන්න. ඊට පස්සෙ ඔයා හිතන පතන දේවල් ඔයාට ඉෂ්ට සිද්ධ වෙනවා. හැබැයි අපි ජීවතුන් අතර ඉන්නකම් නම් මේ දේ කරන්න එපා. "
කියල ආච්චියි සීයයි හීන කුමාරිගෙ ඔළුව සිපගත්තා.
--------------------------
හීන කුමාරිට යාළුවොත් කවුරුත් නැහැ. එයාට හිටිය එකම යාළුවා පිපී විතරයි. දවසක් හීන කුමාරිට ඕනි වුණා පූස් පැටියව එයාට ලැබුණෙ කොහෙන්ද කියල බලාගන්න.
ආච්චිගෙනුයි සීයගෙනුයි ඇහුවම කිවුවෙ පූස් පැටියවත් සුළං කුමාරයයි, සුළං කුමාරියි ගෙනත් දුන්නා කියලමයි.
හීන කුමාරිට ලොකු ආශාවක් ආව මේ සුළං කුමාරියි, සුළං කුමාරයයි කවුද කියල දැනගන්න. එයා දවසක් පිපීගෙන් ඇහුවා.
පිපී කිවුවෙ,
" මං ඇස් දෙක අරිනකොටම හිටියෙ ඔයාගෙ ළඟ " කියල.
" ඔයාව ගෙනත් දුන්නෙත් සුළං කුමාරයයි, කුමාරියි " කියල ආච්චියි සීයයි කියන්නෙ.
" මටත් එහෙම තමයි හීන කුමාරියෙ කියල තියෙන්නෙ. "
"ඉතින් කවුද දන්නෙ ඒක ඇත්තක්ද කියල "
" අපිට බොරු කියල මොකකටද හීන කුමාරියෙ "
--------------------------
හැමදාම රෑට නිදාගන්න ගියාට හීන කුමාරිගෙ හිත හරිම නොසංසුන්. පූස් පැටිය කොච්චර කිවුවත් වැඩිය හිතන්න එපා කියල. එයාට ඕනි වුණේම සුළං කුමාරයයි, සුලං කුමාරිවයි කවුද කියල බලාගන්න. පිපී හිටියෙත් හීන කුමාරි ගැන බයකින්මයි. එයා කොයි වෙලේ මුරණ්ඩු වෙයිද දන්නෑ කියල.
අහස උසට තියෙන මාලිගයක කොච්චර දේවල් තිබ්බත් නැති දේකටම හීන කුමාරි දුක් වුනා. සුළං කුමාරයයි, කුමාරියි දකින හීනයක්ම හිත හිතා හිටියා.
--------------------------
ඔන්න එක දවසක් හීන කුමාරි කන්නෙ නැතිව බොන්නෙ නැතිව මේ ගැන හිතන්න ගත්තා. පිපී බලෙන් වගේ හීන කුමාරිගෙ කටට කෑම ජාති දානවා. ඒත් හීන කුමාරි දවස් දෙකක් විතර ඔහොම ඉද්දි,
මාළිගයෙ සද්දයක් නැති බව දැනුන පිපී මාළිඟෙ පුරා ඇවිදලා බැලුවා. ඒ බලද්දි වයසක ආච්චියි සීයයි පේන්න නැති බව දැක්කා. ඒ අයගෙ ඇඳ උඩ ලියුමක් තිබුණා. පූස් පැටිය ඇවිත් හීන කුමාරිට මේක දුන්නා,
ආච්චියි සීයයි මාළිඟයෙන් පිටට ගිහින්.ඒ අතර හීන කුමාරිට හිතුණා ආච්චියි සීයයි දවසක් කියල දුන්න දේ කරල බලන්න.
ඒත් පිපී ඒකට අකමැති වුනා.
" අපිට කිවුවෙ ආච්චියි සීයයි මැරුණම නේද ඒක කරන්නකියල. අපෝ මට නම් බැහැ හීන කුමාරියෙ ඒක කරන්න "
ඔය විදිහට දෙන්නා බහින් බස් වෙද්දි හීන කුමාරිව එක පාරටම වැටුණා. පූස් පැටියා බය වුනා. එයා හිතුවෙ දවස් දෙකක් විතර නොකා නොබී හිටිය නිසා හීන කුමාරිට කලන්තෙ හැදුනා කියලා. එයා දුවගෙන ගිහින් වතුර ටිකක් ගෙනත් හීන කුමාරිගෙ මුහුණට ඉස්සා.
ඒත් ඇස් ඇරියෙ නැහැ. පිපී ගියා ආච්චියි සීයයි ආපහු ඇවිත්ද කියල බලන්න එයාලගෙ කාමරයට. ඒ යනකම් හිටිය හීන කුමාරි
එකපාරටම ඇස් ඇරලා මාලිගයෙ උඩට දුවගෙන දුවගෙන ගියා. හීන කුමාරි ගිය අඩි සද්දෙ ඇහිලා පිපී ආපහු ආව. පිපීත් හීන කුමාරි පස්සෙන් ගියා.
හීන කුමාරි නැවතුණේ අහසෙ ගෑවෙන කවුළුව ගාව. නැවතිලා බලද්දි පිපිත් ඉන්නවා. පිපී කකුළෙ වෙලි වෙලී හීන කුමාරිට කිවුවා
" අනේ කවුළුව නම් අරින්න එපා. ආච්චියි සීයයි මැරිලා නැහැ. ඒ අය දැන් ආපහු එනවත් ඇති. අපි ඒ අය එනකම් ඉමු කියල."
ඒ වුනාට හීන කුමාරිට කවුළුව ඇරලා එයාගෙ හිතට හිතෙන දේවල් හිතන්න ඕනි වුණා. ඒ විතරක් නෙමෙයි ආච්චියි සීයයි කියපු විදිහට සුලං කුමාරයයි, කුමාරියි ඇත්තටම එයාගෙ අම්මයි තාත්තයි ද කියල බලන්න ඕනි වුණා.
පිපී ගවුමෙ එල්ලිලා " එපා " කියද්දි හීන කුමාරි කවුළුව අරින්න හැදුවා. පිපීට වඩා ශක්තිමත් වෙච්ච හීන කුමාරි කවුළුව ඇරියා. සුදු පාට පුළුන් ගුලි ගුලි මාලිගේ ඇතුළට එනවා පිපී දැක්කා. ඒ සුදු පාට ඇතුළෙ හීන කුමාරි හැංගෙනවත් පිපී දැක්කා.
පිපී " හීන කුමාරී " කියල කෑ ගැහුවා. ඒත් ඒවා එයාට ඇහුණෙ නැහැ. එයාව පුළුන් ගුලි එක්ක තව තව ඇතුළට යනව විතරයි දැක්කෙ.
පිපී අඬ අඩ හීන කුමාරිට ඇඬ ගැහුවත් එක පාරටම හයියෙන් කවුළු පියන් වැහුණා. ඒත් එක්කම පිපී නිදාගෙන හිටිය සයනයෙන් අඩි ගානක් උඩට විසික් වුණා.
ඇස් පිසදාල වටපිට බලද්දියි පිපී දැක්කෙ තමන් නිදාගෙන ඉන්නෙ හීන කුමාරි ගාවම කියල. ඒ තද නින්දට දැකපු හීනයක් විතරයි කියල පිපීට තේරුණා.
නිමි
Wednesday, May 22, 2019
Thursday, January 10, 2019
අප්පච්චි ඊයෙ රෑ යන්නටම ගිහිල්ලා
========================
මේ තරම් වැහි දරුවො අහස් අම්මට බරදැයි අසා
හැමදාම මිහීකත අසන පැනයකි හිත වසා
රෙද්දක්ද, සරමක්ද වෙනසක්ම නොපෙන්වා
උන් ටිකත් එක පාර පනින හැටි පුදුමයි ඇස් ගසා
========================
මේ තරම් වැහි දරුවො අහස් අම්මට බරදැයි අසා
හැමදාම මිහීකත අසන පැනයකි හිත වසා
රෙද්දක්ද, සරමක්ද වෙනසක්ම නොපෙන්වා
උන් ටිකත් එක පාර පනින හැටි පුදුමයි ඇස් ගසා
තුරු මඬුලු තැනින් තැනකට හිස නමා
මුමුණාවි නෙක කතා ගම්ගොඩේ හැටි ගොතා
කේලමක දිඟ පළල මනින්නට මිම්මක් නැති නිසා
සුළං කිරිලියො යයි, ඇවිලෙනා ගින්නට පිඳුරුත් දමා
දහදියක මිළ ගණන් කැඳවන්න බැරි නිසා
වැව පහළ ගොයම් පැල ඉකිගසයි ලය පලා
කරන්නට දෙයක් නැහැ දරන්නට බැහැ කියා
ගඟත් ඉස්සී මුහුදට ගියා රිසි අතට මාවත් සොයා
ඉල් මහේ පිපිණු මලකින් නටුවෙන්ම උදුරලා
අහස් අම්මා ශාප දෙයි හරි වැරදි නොවිමසා
හිතේ හයියත් අවසානෙ නැතිවෙච්ච බව ලියා
අපේ අප්පච්චි ඊයෙ රෑ මැහි තෙලට ජීවිතෙ පුදා
මුමුණාවි නෙක කතා ගම්ගොඩේ හැටි ගොතා
කේලමක දිඟ පළල මනින්නට මිම්මක් නැති නිසා
සුළං කිරිලියො යයි, ඇවිලෙනා ගින්නට පිඳුරුත් දමා
දහදියක මිළ ගණන් කැඳවන්න බැරි නිසා
වැව පහළ ගොයම් පැල ඉකිගසයි ලය පලා
කරන්නට දෙයක් නැහැ දරන්නට බැහැ කියා
ගඟත් ඉස්සී මුහුදට ගියා රිසි අතට මාවත් සොයා
ඉල් මහේ පිපිණු මලකින් නටුවෙන්ම උදුරලා
අහස් අම්මා ශාප දෙයි හරි වැරදි නොවිමසා
හිතේ හයියත් අවසානෙ නැතිවෙච්ච බව ලියා
අපේ අප්පච්චි ඊයෙ රෑ මැහි තෙලට ජීවිතෙ පුදා
Wednesday, November 14, 2018
මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා
මොනර පිල්වල හැඩය බල බල මොනර නැටුමකට හිටියා
" සළඹ" පත්තිනි දුන්න දවසෙම නැවත අරගෙන ගිහින් තිබුණා
දුවන සලෙළුන් හිතින් අස්කර ආයෙ ආයෙත් අඩිය තිබ්බා
තිත්ත කළුවර එක්ක එළියට නටන නැටුමට හුස්ම වික්කා
" සළඹ" පත්තිනි දුන්න දවසෙම නැවත අරගෙන ගිහින් තිබුණා
දුවන සලෙළුන් හිතින් අස්කර ආයෙ ආයෙත් අඩිය තිබ්බා
තිත්ත කළුවර එක්ක එළියට නටන නැටුමට හුස්ම වික්කා
තෙවෙනි ඇස කිය කියා බහුතර පිරිමි කලවා පොටෝ ගැහුවා
තිරේ දිලිසෙන විටදි සළුවෙන් තට්ටමත් බේරිලා පෙනුණා
"අනේ නොදකින් " කියා බහුතර ගැහැණු පිරිමින් බනිනවා ඇහුණා
ඇත්තමයි ඒ මමයි කියලා අඳුරනා කවුරුත්ම නොහිටියා
තිරේ දිලිසෙන විටදි සළුවෙන් තට්ටමත් බේරිලා පෙනුණා
"අනේ නොදකින් " කියා බහුතර ගැහැණු පිරිමින් බනිනවා ඇහුණා
ඇත්තමයි ඒ මමයි කියලා අඳුරනා කවුරුත්ම නොහිටියා
ගියේ ආවේ බස් දෙකක මහ සෙනඟ පොඳියට පිරිල හිටියා
ඒකේ රියදුරු තවත් හයියෙන් සද්දෙ හොඳහැටි වැඩිකලා
"අනේ අම්මපා මෙහෙම ගෑනුත් " කියන හඬවල් මටත් ඇහුණා
ඇත්තමයි ඒ නැටුමෙ නැටුවට මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා
රෙද්දෙ තුත්තිරි හොය හොයා උන් අපේ අම්මට බනිනවත් ඇහුණා
කන්දෙ විස්තර දන්නෙ නැතුවට උන්, කටින් කඳුවල මිම්ම දුන්නා
ඔහොම නට නට ගන්න සොච්චම වේලටත් මදි හිතින් ඇඩුවා
වේදිකාවෙදි රෑට නැටුවට ජීවිතේ කටු තුඩු උල්ව ඇනුණා
පසුවදන -
සංගීත ප්‍රසංගවල නර්තනයට සහභාගීවන තරුණියක් එම සංගීත ප්‍රසංග ප්‍රචාරය වන පොදු මගී ප්‍රවාහන බස්රථයක ගමන් කරද්දී ඇයට ඇසුණ සිද්ධියක් හා සම්බන්ධය.
ඒකේ රියදුරු තවත් හයියෙන් සද්දෙ හොඳහැටි වැඩිකලා
"අනේ අම්මපා මෙහෙම ගෑනුත් " කියන හඬවල් මටත් ඇහුණා
ඇත්තමයි ඒ නැටුමෙ නැටුවට මගෙ හිතෙත් පොඩි සිහින තිබුණා
රෙද්දෙ තුත්තිරි හොය හොයා උන් අපේ අම්මට බනිනවත් ඇහුණා
කන්දෙ විස්තර දන්නෙ නැතුවට උන්, කටින් කඳුවල මිම්ම දුන්නා
ඔහොම නට නට ගන්න සොච්චම වේලටත් මදි හිතින් ඇඩුවා
වේදිකාවෙදි රෑට නැටුවට ජීවිතේ කටු තුඩු උල්ව ඇනුණා
පසුවදන -
සංගීත ප්‍රසංගවල නර්තනයට සහභාගීවන තරුණියක් එම සංගීත ප්‍රසංග ප්‍රචාරය වන පොදු මගී ප්‍රවාහන බස්රථයක ගමන් කරද්දී ඇයට ඇසුණ සිද්ධියක් හා සම්බන්ධය.
2018/11/14
Thursday, August 9, 2018
කවි කියන්නෙ කවියන්ගෙ කඳුළු
රිඳුණු පෑරුණු තුරු අඟිසි අස්සේ
මතක වේලුණු ලකුණු ඔස්සේ
බුහුටි සිතිවිලි ඔතා රිස්සේ
ඔහේ පාවෙයි වලා තිස්සේ
මතක වේලුණු ලකුණු ඔස්සේ
බුහුටි සිතිවිලි ඔතා රිස්සේ
ඔහේ පාවෙයි වලා තිස්සේ
ළඟින් තැවරුණු සුවඳ කුසුමක්
හෙමින් සිම්ඹත් තැවුල් නිවුනේ
අතින් සන්කර වැටෙන වැස්සේ
කොපුල් මැද්දක කවි ද ලිවුවේ
හෙමින් සිම්ඹත් තැවුල් නිවුනේ
අතින් සන්කර වැටෙන වැස්සේ
කොපුල් මැද්දක කවි ද ලිවුවේ
පෙමාදර පිනි දියර සිහිලේ
තෙමාලන කවි පොකුරු ඇතුලේ
වෙලීගෙන පොඩි අකුරු තුරුළේ
හඬන කවියන් වෙස්වලා ගත්තේ
තෙමාලන කවි පොකුරු ඇතුලේ
වෙලීගෙන පොඩි අකුරු තුරුළේ
හඬන කවියන් වෙස්වලා ගත්තේ
Thursday, July 26, 2018
අම්මා
ආදරේ ගැන හොඳටෝම අඳුරගෙන
ජීවිතේ මුල ඉදන් පහද පහදාදෙන
හාමතේ වැටීගෙන හදවතම දන්දෙන
සාගරේ කොයිතරම් පුංචියි ද "අම්මා" ළඟ
හිසේ සිට ගිනි අරන් ඇවිලෙද්දි
"පුතේ " කියලා සීතලට හිත තවන
අතේ ඇති වත්කමක් කිසිදාක නොබලන
හිතේ හයියට අම්මගේ කළු ගලුත් වෙඬරු වෙන
"පුතේ " කියලා සීතලට හිත තවන
අතේ ඇති වත්කමක් කිසිදාක නොබලන
හිතේ හයියට අම්මගේ කළු ගලුත් වෙඬරු වෙන
මුසාබස් දෙස් දොවොල් නෑහිච්ච ගාණකට
අසා ලිවු සටහනෙත් වැරිදි හරි ගස්සවන
පුරා පුන් පොහොයටත් හඳ ඉතින් පරද්දන
සදා හද බිත කැටයමකි අම්මගේ දරු පෙම
අසා ලිවු සටහනෙත් වැරිදි හරි ගස්සවන
පුරා පුන් පොහොයටත් හඳ ඉතින් පරද්දන
සදා හද බිත කැටයමකි අම්මගේ දරු පෙම
සනුහරේ විටින් විට අලුත්වෙයි කවි කතා
කළුවරේ කඳුළු බොයි ඇය සොඳුරු ගීතයක්.
ලෝකයම සමු අරන් ගියත් දවසක මගෙන්
ආදරේ කියා දුන් මියුලැසිය රැඳීයන් හැමදාම
කළුවරේ කඳුළු බොයි ඇය සොඳුරු ගීතයක්.
ලෝකයම සමු අරන් ගියත් දවසක මගෙන්
ආදරේ කියා දුන් මියුලැසිය රැඳීයන් හැමදාම
Subscribe to:
Posts (Atom)