Wednesday, September 19, 2012

...නොවියලුණ කඳුලක්...


හරෝ හරා සාමී හරෝ හරා.......

ඈතින් අසෙන ගීතිකා හඬ ටික ටික සවන් පත් ළගට දැනෙමින් තිබුණි. අතුරු සිදුරු නැති කෝවිල් බිමේ අද අගිල් කපුරු සුවද මුළු මහත් විශ්වයේම තම අණසකට නතු කර ගත්තා සේය. ඊටත් පරයා එහෙන් මෙහෙන් ඇවිදි ගිටිස්සියන්, ලමිස්සියන්ගේ හිස කෙස්වල මාලා සදා ඔතා තිබෙන පිච්චමල් සුවඳ උවමනාවෙන් හුස්ම ගන්නට මතක් කරන්නා සේ සුවඳ නහයෙන් ඇද ඇද යනෙන මිනිසුන් නැතුවාම නොවේ.

අතරින් පතර කෙල්ලෙකුගේ කොන්ඩෙන් ඇද...තංගච්චී....යැයි කියන දඩබ්බර පිරිමි ළමයකු උසුලු විසුලු වලට ලක්වන්නේ තනියම සිටියොත් නම් පමණය....

    
තෙලේ බැදෙන උණු උණු වඩේ කඩ ළග අවුරුදු දහයෙ දොළහෙ කොල්ලො කුරුට්ටොය. මාල වළල අරුමෝසම කඩ ළග ගැහැණු ළමයින්ය.

    
මේ සෙයිලමඩු ගමේ වාර්ෂිකව පැවෙත්වෙන පුල්ලෙයාර් දෙවාලයේ මංග්‍යලයයි. නන් දෙසින් පැමිණි බැතිමතුන් හිතේ හැටියට දෙවියන් වැද පුදු ගනියි. පැත්තකින් බැති ගී කණ්ඩාම බැති ගී ගයයි. දේවාල බිමේම තවත් තැනක කුත්තු පෙන්වයි. මේ සියල්ල මැද තලයමානී බර කල්පනාවක.

      
ගමේ සියල්ලන් සමඟම ට්‍රැක්ටරයකින් දේවාලයේ මංගල්‍යයට ආවාට ඇය පිට්ටනියේ කොනක අනෙක් අයගේ බඩු බාහිරාදිය බලා කියා ගනිමින් තම සිත පතුලට කිමිදී නිමක් නැති සිතුවිලි සයුරේ ගැලෙයි.

   
අතීතයේ දවස් නිරායාසෙන්ම හදවත තුල චිත්‍රපටියක් සේ පෙළ ගැසෙයි.

අම්මා....අම්මා....අප්පා ආවෙ නැද්ද....

තාම නැහැ සිඳුවේලි....

මෙච්චර පරක්කු නැහැ නේද අම්මා වෙනදට...

අද ටිකක් වැඩියෙන් වැඩ කරනවා ඇති....

      
තලයමානීගේ ස්වාමියා නිවසෙන් ටිකක් ඈත වු ඔවුනගේම අක්කරයක පමණ ඉඩමක වගාවන් කරන්නේය.

  
මිරිස්, වම්බටු, මඤ්ඤොක්කා,මෑකරල්,දුම්කොල ආදී නොයෙත් දේ වගා කරති. සතියට දවස් දෙකක් ඉඩමටම ඇවිත් පලදාව කිරා ැන මුදල් ලබා දී යන වෙලෙන්දුන් ගමේම උන්නේය.

 
තලයමානී කොයිතරම් අත් උදවුවට යන්න හැදුවත් ඇයට ඉඩක් නැත. එවැනි වෙලාවල් වල‍ට ඇයට ලැබෙන පිළිතුර

  
තාම මට හයිය හත්තිය තියෙනවා. සිඳුවේලිගෙ අම්මා ගෙදර ඉන්න. කහට ටිකක් රත්කරගෙන බීඩීයක් බිවුවහම මහන්සිය යනවා මගෙ..... යනුවෙනි.

     
 
        පවුලේ එකම දියණිය සිඳුවේලිත්, එකම පුතු ප්‍රේමනුත් වේ. දරු දෙදෙනා කිලෝමීටර 2ක පමණ පාසැලට යන්නේ උදේට නීලමෝගන්ගේ බයිසිකලයෙනි. ඔහු දරුදෙදෙනා පාසැලට දමා එහෙමම වගා ඉඩමට යයි. නැවතත් දරු දෙදෙනා රැගෙන දහවල් බතට නිවසට එයි.


       
කාලය එසේ ගෙවී යද්දී සිඳුවේලී වැඩිවියට පත්විය. පෙනුමෙන් රුවෙන් හැඩකාර දියණිය රැකගැනීම දෙමාපියන්ගේ අරමුණ විය. ප්‍රේමනුන් සිඳුවේලිට වඩා දෙවසරකින් බාල නිසා ඔහු තවම සෙල්ලමේය.


      
සිඳුවේලි හැඩකාරියක්ය. අම්මාගේත් අප්පාගේත් රුව දෙකම සංකලනයක අපූරුවම සිත්ත්මක් ලෙස සිඳුවේලි දිනෙන් දින පිරිපුන් විය.


    
හදිසියට බීඩි මිටියක් ගෙන්න ගන්නවත් දැන් නීලමෝගන්ට සිඳුවේලිව කඩ පිලට යවන්නට බැරිය.

ඒ තලයමානීගේ ඇනුම් බැනුම් ඉවරයක් නොවන හන්දාමය.


ගෙමිදුලේ පිච්ච වැල යට බංකුවේ ඉදගෙන සිදුවේලි පොතක් කියවයි.

ඈ දුවේ කවදද දැන් පුල්ලෙයාර් දේවාලෙ මංගල්‍යය?

ලබන සතියෙ නේද අම්මා. ඔන්න අප්පට කියන්න මට නම් අලුත් ඇදුමක් ඕනි කියලා.

   
හරි බන්. තවම අප්පා සිදාදියට ගියෙ නැහැනෙ. ඒ එනකොට උඹට සල්වාරියක්ම ගෙනෙයි.

    
සෙයිලමඩු ගමේ ජනයාට වාර්ෂික කෝවිල් මංගල්‍යය ඔවුන්ගේ අවුරුද්දට හා සම වෙන්නකි. මංගල්‍යය තිබෙන දවසෙ දවල්ම විශේෂ කෑම සකසාගෙන රාත්‍රී ආහාරයටද බත් මුල් බැදගෙන හවස් වෙද්දී ඔවුන් ඔවුන් දේවාල බිමට යන්නේ මහත් වූ බැතියෙනි.

     
විසකුරු කාමයේ රකුසා වල් වැදී පිස්සු බල්ලෙකු සේ සිටින බව කිසිවෙක් නොදත්තේය..කෝවිල් මංගල්‍යය සියළුම ගම් වැසියන්ගේ පූජනීයත්වයේ මුදුන් මල් කඩක් බදුය. එදා කෝවිල් බිමේ සිනා පපා ඇවිද යන්නට සිඳුවේලි ඇගිලි ගැන්නාය.


   
ඉඳින් ඒ දිනය උදාවිය. ට්‍රැක්ටරයක නැගී බැති ගී ගයමින් ඔවුන් ‍ගියෝය. සියල්ලන්ගෙම නෙත් පැහැර ගන්නා සොදුරු සිතුවමක් සේ සිඳුවේලි උන්නේය.

    
පෙරුම් පුරා වසරකට වරක් තේරෙණදා පටන් ඇය ඇවිත් ගිය වැද පුදා පඩුරු දැම්ම දෙවියන්ගේ ඇස් වැසුවාද...නැත්නම් දෙවියන් ඕනෑකමින් නොබැලුවාද යන්න සිතන්නට නොහැකිය. පියාපතක් සේ දේවාල භූමියේ සැරිසැරූ ඇයවම මාන ගෙන සිට,

එන්න නංගි අතන ලස්සන වළලු තියෙනවා......

කියා ඔවුන් වෙනතක් පෙන්වීය. කිසිවක් නොදත් නැවුම් යුවතිය වළලු බලන්නට ගියාය. එළිය මුවා වෙන විටම එකෙක් අතකින් කට වසා ඔසවා ගන්නා විටම ඇය වැර යොදා පැන යන්නට ගත් සවිය හීනයක් පමණක් විය.

කිරිල්ලියක සේ දේවාල බ්මේ ඇවිද ගිය සිඳුවේලි සොයා නීලමෝගන් ගියේය. ඇස ගැටෙන මානයේ ලයිට් එළි මැද විපරම් කළත් ඈ නොදුටුවාය. දේවාලේ යකඩ කටින් ඇයට බැති ගී කණ්ඩායම සිටින තැනට එන්නැයි පණිවිඩයක්ද ගුවනට මුසුවිය.

එහෙත් ඒ වෙනකොටත් සිඳුවේලී තිරිසනුන් දෙදෙනෙකුට මැදිවී ජීවිතය බේරා ගන්නට යුද්ධයකය.

හිස් ලූ ලූ අත දිවුවත් හමු නොවූ සිඳුවේලි සොයා පොලිසියේ පොතක ලිවුවත් දින කිහිපයකට පසු ඇගේ සිරුර දේවාලයට යන මඟ මඩ වලක තිබී හමුවිය.



Monday, September 17, 2012

සමාකරන් අප්පච්චී අවසාන කොටස.



විශ්ව වාහනයේ මා පැත්තට ඇවිත් දොර ඇර
යන්න සිහින ඇතුලෙ ඉන්නවා...

ගැහෙන දෙපා වලින් හෙමින් හෙමින් සිහිනයියාගේ නිවසට මා ගියෙමි. මේසය අසල පුටුව මත වාඩ්වී අත්දෙක මුහුණ මත රදවා සිහිනයියා දිග කල්පනාවකය} මගේ හදවත සැළිණි}
සිහිනයියේ.... මම තොල් මැතුරුවෙමි. සිහිනයකින් අවදි වූවා සේ සිහිනයියාගේ දෑස් විසල් විය. ඇස්දෙක රතුවී තිබිණි.

රෝසමල ඔයා......

සිහිනයියාට විශ්වාස ගන්නට බැරිය.

මං හිතුවෙ ආයිත් කවදාවත් මට රෝසමලව දකින්න ලැඛෙන්නෙ නෑ කියලා....

සිහිනයියේ.....

කියමින් මා විසල් පපුවේ හිස ඔබා ගත්තෙමි. ඔහු මා තදට තුරුල් කර ගත්තේය.

මද වෙලාවකට පසු මා මුහුණ ඔසවා සිහිනයියා දෙස බැලීය.

 —කොහොමද මෙහෙම වුනේ......යැයි කියන බැල්මක් මා මුහුනේ රැදෙන්නට ඇත.

අම්මා එදා මං ගෙදර එනකොට ගෙදර ඇවිත් ඉදියෙ.....මගෙත් එක්ක කිසි වෙනසක් නැතුව වෙනදා වගේ ඉදිය.... රෑ පපුව රිදෙනවා කියලා කිවුවා මම ඉක්මනට අම්මව හොස්පිටල් එකට ගෙනිච්චා අතර තුර අම්මා කියනවා ඇහුනා මං දිහා බලාගෙන ඇයි පුතේ උඹ එහෙම දෙයක් කලේ....උඩ අත්තක පිපුනු මල් අපේ දෝතට ගන්න බෑ පුතේ තේරුම් ගත්තෙ නැත්තෙ ඇයි මගෙ පුතේ....අම්මා ඊට පස්සෙ වචනයකවත් කතා කලේ නෑ....යන්තමට කෙදිරි ගාන සද්දෙ විතරමයි ඇහුනෙ....ඒත් අම්මව මාව දාලා ගියා නංගි....මම තනිවුනා.....

එසේ කියා සිහිනයියා හොදටම අඩමින් මැණිකෙ නැන්දාගේ ඡායාරූපයක් අතට ගත්තේය. කාත් කවුරුත් නැතිව මට හිත හදා ගන්න බැරි වුනා නංගි. අන්තිමට කැම්පස් එකේ පයිනල් එකත් ලියන්න බැරිවුනා...ඔයත් නැතිවුන මට අමිමත් නැතිව තව මොනා දිනන්න කියලද නංගි....ඒ හිංදා මං විභාගෙ අත් ඇරලා දැම්මා. ඇරත් ගැන ඒතරමට උනන්දුවක් මට තිබුනෙ නෑ....දැං මම පොඩි ළමයි ටිකකට උගන්නවා...
ඇයි අයියෙ එහෙම වෙන්න ඉඩ දුන්නෙ....ඔයා ආයිමත් විභාගෙ කරන්න අයියා....

දැන් ගැන හිතෙන්නෑ....යන්තම් ජීවත්වෙන්න ඕන නිසා මම ළමයි කිහිප දෙනෙක්ට උගන්නන්නෙ.....දුක අපිට අමුතු දෙයක් නෙමේ නංගි....

අයියත් එක්ක මාත් ඉන්නවා.....

එපා රෝසමල ඔයාට මේ දුක් විදින්න බෑ....විශ්ව හරි හොදයි....ඔයාට ගැලපෙන්නෙ විශ්ව වගේ කෙනෙක් නංගි....

නෑ....මට ගැලපෙන්නෙ ඔයාව.....

දැන් අපි පොඩි ළමයි නෙමේ රෝසමල....

දන්නෑ....මම දන්න එකම දෙය මං අයිති සිහිනයියට විතරමයි....
තේරුමක් නෑ නංගි....

මං යනවා අයියා .....එසේ කියා මා විශ්ව අසලට පැමිණ වාහනයට නැංගේය... නිවසට එන අතරතුර මොකද වුනේ....කියාවත් විශ්ව මගෙන් නොඇසුවේය.


 කතා බහකින් තොරව ඇවිදින් නිවස අසලට මා ගෙනවිත් දමා මං යනවා සදකිරණි....කැමති තීරණයක් අද ගන්න.....කියා විශ්ව ආපසු ගියේය.

කෝ විශ්ව....අප්පච්චී මගෙන් ඇසීය.

හදිසි වැඩක් කියලා ගියා.....එසේ කියමින් තරප්පු පෙළ නැග මා මගේ කාමරයට වැදුනේය.

මට මැණිකෙ නැන්දා ගැන දුක හිතුනේය. දන්නදා හිද මට සෙනෙහස ආදරය කල එකම ගැහැණු චරිතය වූයේ ඇයයි. ඇයට මා බොහෝ හිතවත්ය. ඇය සිහිනයියාගේ මව බව දැන ගත්දා හිද මා ඇයට තවත් ලෙංගතු විය. එමෙන්ම ඇයට ජීවත්වන්නට කියා තිබුණ රැකියාවද අහිමි වූයේ මා හින්දාය. වාවාගන්නට බැරි දුකකින් ඇය මිය යන්නට ඇත. මට මගේ හිත දොස් කීවේය. සිහිනයියාට හෝ මම යුතුකම ඉටුකල යුතුය. අසරණ මිනිසුන්ට මෙසේ වූයේ මා නිසාය. අප්පව්චී මට සමාව දේ දෝයි සැකය. එමෙන්ම විශ්ව ඔබ කුමක් හෝ කරයි යන බලාපොරොත්තුවක් මහිත ඇත.

විශේෂඥ වෛද්යවරයකු ලෙස වැඩිදුර අධ්යාපනය ලැබීමට විශ්ව විදේශගතවන බව අප්පච්චීට දැනගන්නට ලැබිණි. ඉන් මා බොහෝ සතුටු වූවත් අප්පච්චිගේ තීරණය හමුවෙහි මගේ සතුට දෙපා මුල ඉහිරිණි.

වෙඩින් එක අරගෙන දෙන්නත් එක්ක යන්න පුළුවන්නෙ....දිනක් විශ්ව අපේ නිවසට පැමිණි දිනක අප්පච්චී කීවේය..

නෑ....අන්කල් සදකිරණි ඉදපුදෙන්....මං ගිහින් එන්නම්....

දැන් කොහොමත් තීරණය කරපු දේවල්නෙ....තව මොකටද කල් දාන්නෙ....කවද බැන්දත් ඔය දෙන්නනෙ....අපි හොද නැකතත් බලල අද හෙටම වෙඩින් එක ගමු....
අප්පච්චී එසේ කීවේය.

ඉතිං හදිසියේම රන්මුතු බංගලාටව මංගල අසිරිය වැඩියේය. සේවකයෝ ලහි ලහියේ ගේදොර වටපිටාව සුද්ද පවිත් කලේය. අප්පච්චී නානප්රකාර ඇදුම් ආයිත්තම් ගෙනවිත් දී මගේ හැඩ බැලීය. විටෙක මට දුක සිතුණි. වෙන කිසිවෙක් ගැන නොව මා ගැනමය. විශ්ව මේ කිසි දෙයක් ගැන මාහා දොඩන්නේ නැත. සිහිනයියා මට ලබා දෙනවායැයි කියා පොරොන්දුවූ විශ්ව දැන් මාව අයිති කරගන්නට සැරසෙන්නේ යැයි මට හැගෙන්නේය. මම දෙවෙනි අයියා සොයා ගියේය...

ඇයි රෝසමල....?

මට බෑ විශ්ව එක්ක රට යන්න....

එහෙම කියලා කොහොමද....?

මං ඔයගොල්ලො එක්කම ඉන්නම්....අප්පච්චිට කියන්න මට බැ විශ්ව එක්ක යන්න කියලා.....

අනේ රෝසමල දැන් හැම දෙයක්ම ලැහැස්ති කරලනෙ....

ඔයාලා කවුරුවත් මට ආදරේ නෑ නේද....?

ඔයාට ආදරේ හින්දා තමයි අපි මේ හැමදේම කරන්නෙ....

බොරු කියන්න එපා දෙවෙනි අයියෙ.....ඔයත් මට කිවුවෙ බොරුනෙ.....සිහිනයියා හොදින් කිවුවා.....සිහිනයියා හොදින්ද....මැණිකෙ නැන්දත් නැතුව අද සිහිනයියා අසරණවෙලා දෙවෙනි අයියෙ....දැන් ඔයගොල්ලන්ට ඕන ඉක්මනට මාව ගෙදරින් පන්න ගන්න නේද...

රෝසමල.....ඔයා අපේ ජීවිතේ....ඇයි මෙහෙම කියන්නෙ....ඔයාට සිහින ගැන එහෙම කියන්න වුනේ ඔයාගෙ හිත හදන්න.....මං දන්නවා....ඒත් අප්පච්චි ගැන හිතලා එහෙම කියන්න වුනා රෝසමල...

මම මැරෙනවා....මට බෑ.....විශ්ව එක්ක දැන්ම මැරි කරන්න....එසේ කියා මා දෙවෙනි අයියාගේ කාමරයෙන් පිටවිය. කාමරයට වී හිදින විට අප්පච්චී පැමිණ විශ්ව බව පැවසීය....

යන්න පුතේ ඔය දෙන්නත් එක්කම ගිහින් වෙඩින් රින්ග් දෙක අරගෙන එන්න....

මට බෑ අප්පච්චි මගෙ ඔළුව රිදෙනවා....

මගෙ මැණික යන්න තව දවස් දෙකයිනෙ තියෙන්නෙ...

ඇදගෙන හිදි ඇදුම පිටින්ම මා තරප්පු පෙළ බැස්සේය. විශ්ව කොට කලිසමකින් හා ටීෂර්ටයකින් සැරසි සිටියේය. එසේ හිදින විට ඔහු කඩවසම් පිරිමියෙක් යැයි මට හිතුණි. මා දුටු ඔහු

ඔහොම හොදයි අපි යන් සදකිරණි.....එසේ කියා විශ්ව මා සමග පිටත්විය.

අපි ස්වර්ණ මහල් එකට ගොස් විශ්ව මට පමණක් මුද්දක් ගත්තේය. ඔහුට තිඛෙන බව ඔහු පැවසීය. එතරම් කතා බහක් මා සමග නොවූ හෙයින් මම විශ්ව හා කතා කරන්නට සිතුවේය.

ඇයි විශ්ව ඔයත් මෙහෙම වෙන්න ඉඩ දුන්නෙ...

කොහොම වෙන්නද සදකිරණි.....

ඔයා කිවුවෙ මට සිහිනයියව දෙනවා කියලනෙ....ඔයත් ආත්මාර්ථකාමියි විශ්ව.....

මං....මං කවමදාවත් ආත්මාර්ථකාමිවෙලා නෑ සදකිරණි....ඔයාට තේරෙයි......

මොනා තේරෙන්නද...මේ වෙන දේවල් හොදටම ඇති.....

ඔයා මං ගැන දන්නෑ....

එසේ කියා විශ්ව ඉදිරිපස බලා වාහනය පැදවුයේය. නිවස අසලදී ඉන් බැසීමට පෙර ඔහුගේ ජංගම දුරකථනය මට දුන්නේය.

ඔයාට ඕනවෙනවා තියා ගන්න....

මොකටද.....?මම ඇසීිය.

ඒක වැඩක් නැහැනෙ.....ගෙදර අය ඇහුවොත් කියන්න අමතකවෙලා ඔයාගෙ අතේ....අයිත් ආවම දෙන්නන් කියලා....

ඉතිං ජීවිතය ගැන මට කලකිරී තිබුණි. කරකියා ගන්නට කිසිම දෙයක් නැති තැන මා කාමරයට වී හැඩුවෙමි. ලොකු අයියා මා තුරුල් කරගෙන කී දෙය මහිත රැව්පළිරැව්දේ.

අද රෑ එළිවුනාම රෝසමල ලස්සන මනමාලියක්...

යන්න ලොකු අයියෙ.....

ඇයි රොසමල තරහා ගියාද....?

නැත කියා සිනහාවී මා කාමරයට ආවේ මීට පැය භාගයකට පසුය. දැන් වෙලාව රාත්‍රී 10.00 පමණ ඇත. අප්පච්චි කීවේ ඉක්මනට නිදා ගන්න....නැත්නම් හෙට මුහුණ කැතවේවි කියාය...

                නිදන්නට නොව වස ටිකක් බී සදාකාලික නින්දකට යන්නට මට සිතේ.. හඩා දොඩා අවසන මා තීරණයකට ආවේය.. එනම් හෙට උදය වනතුරු මා ජීවත්නොවන්න කියාය. මන්ද යත් විශ්ව කොතරම් හොද පිරිමියෙකු වුවත් මට සිහිනයියා තරමට ඔහු නොවටී. සිහිනයියා යනු මගේ ජීවිතයයි.. හුස්ම පොද මට ජීවිතය කියා දෙයි. ඉතිං ඇට ලේ මස් නහර වලට කා වැදුන මගේ ආදරයට අසාධාරණයක් කිරීමට වඩා එයද තුරුළු කරගෙන මරණයට යෑම මට සැපතකි. අප්පච්චි අයියාල මට සිහිවේ. කලක ඔවුන් මගේ ජීවිතය විය. එහෙත් සිහිනයියා මගේ සංසාර ප්රේමයයි... මේ සංසාර වන්දනාවේ සිහිනයියා ළග නවතින්නට බැරිවූ මා ආදරය තුළ මහිත සගවා මියැදෙන්නෙමි. ජාති ජාතිත් ඔබ මගේ වන්නට යැයි මම පතමි.

අප්පච්චි ගෙනත් දුන් මගුල් සාරිය මා ඇස ගැටුනි. එය අතට ගෙන මා සිවිලිමේ රදවා ඇති විදුලි පංකාව උඩ රැදවීය.. මට සමාවන්න අප්පච්චි.... සිතමින් එය ගෙල වටා රදවන්නට යද්දී එකපාරටම දුරකථනයක සද්දයක් මට ඇසුනි. එය ආවේ මගේ කන්නඩි මේසය උඩ තිබුන විශ්වගේ ජංගම දුරකථනයෙන් බව මට සිහිවිය. තවත් ටිකක් නාද වන්නටදී මම තරහෙන් එය සම්බන්ධ කර ගත්තේය...


                සදකිරණි මම විශ්ව...

—        ඇයි විශ්ව ඔයා හිතුවෙ මම දැන්මම මැරුණා කියලද....නෑ

                හිතුවක්කාර වෙන්නෙපා....

                මං හිතුවක්කාරයි තමයි විශ්ව...ඒත් ඔයාට ආදරය කරන්න මට බෑ...


—        කියවන්න වෙලා නෑ සදකිරණි... තව විනාඩි ගානකින් මම ලංකාවෙන් පිටවෙනවා. සිහින බලාගෙන ඉන්නවා. හැමදේම දෙවෙනි අයියා දන්නවා. ඔයාට ඔයාගෙ සිහිනව මං ලබලා දුන්නා.. දෙවෙනි අයියට කියන්න බැරිවෙයි...සිහින හැමදේම කියයි...මං යන්නම් සදකිරණි. බුදුසරණයි.
එසේ කියා විශ්ව දුරකථනය විසන්දි කලේය. මට කිසිවක් නොවැටහේ. නැවතත් දුරකථනය නාද විය. හනිකට එය අතට ගත් මා දුටුවේ අපේ නිවසේ දුරකථන අංකය සටහන් වී ඇති ලෙසය.

         —රෝසමල....සිහින එළියෙ බලන් ඉන්නවා ...යන්න නංගි....

         —දෙවෙනි අයියේ....

         —යන්න රෝසමල....මම මෙහෙ බලාගන්නම්....ඔයා යන්න නංගි....

         කියන්නට බැරි සතුටක් මට දැනිනි... හැම අමතක කර හෙමින් හෙමින් අඩි තබා මා පහල මාලයට බැසීමට ගියේය... එහෙත් මද දුරක් යනවිට මා දුටුවේ අප්පච්චි අවදිව සාලයේ ලොකු පුටුවේ හිදින බවය} අඩපන වූ දෙපයින් යුතුව මම ආපසු හැරී කාමරයට ගියෙමි. දැන් ඉතිං කුමක් කරන්නේද....? එළියට යන්නට වෙනත් මගක් නැත.

       හදිසියේම මනෙතට හසුවුයේ විශ්වගේ දුරකතනයයි. මහා දිනුමක් ලද එකියක සේ මම එයද රැගෙන පඩිපෙළ බැස්සෙමි.

        —මගෙ මැණික....මොකෝ මේ රෑ....කොහෙද යන්නෙ...?

        —අප්පච්චි....විශ්ව මොබයිල් එක දාලා ගිහින්....ඒක ගෙනියන්න ඇවිත්....

        —දෙන්න මං දීලා එන්නම්  පුතේ....


     —නෑ අප්පච්චි....ගේට්ටුව ගාවටනෙ....මං දීලා එන්නම්....

     —පුතාගෙ ආසවනෙ....දීලා එන්න....

          අප්පච්චි දන්නේ නැත... අප්පච්චිගේ දුව ඇගේ ආසාව වෙනුවෙන් අප්පච්චිවද දමා දිගු ගමනක් යන්නට යන බව. ඒත්....හිත සතුටින් අප්පච්චි කියූ දේ ගැන මට දුක සිතුනත් දෙවරක් හිතන්නට තරම් කාලයක් නොවුනි. එහෙයින් මා අඩියට දෙකට ගේට්ටුව ගාවට ගියෙමි. මුර අන්කල් ගේට්ටුව විවෘත කල විට හනිකට පැනගත් මා එළියට ආවිට දුටුවේ ගේට්ටුවට මදක් එහායින් නවතා තිබූ වෑන් රථයකි. අසල සිහිනයියා හිදියේය. මා දුටු ගමන් මගේ අතින් අල්ලාගෙන වාහනය තුලට ගිය සිහිනයියා එයට ආපහු යන ලෙස කීවේය.

       —මේ කොහෙද යන්නෙ.... කියාවත් මා නොඇසුවේය.. මේ මගේ ප්‍රේමයයි. කප්සුවහස් කල් පෙරුම් පිරූ මට මගේ ප්රේමය මට ලැබුණි. විසල් පපුවට හිස තියාන මම දෑස පියා ගත්තෙමි. අප්පච්චි මට සිහිවිය. ඔහු මා ගේට්ටුව ළගට බව දන්නේය. ආපසු නිවසට නොගිය නිසා දැන් මාව හොයනවා ඇත. අප්පච්චි මා කොහේ ගියාවත්ද කියා ඔබට කියන්නට බැරිවීම ගැන මට දුකකය. එහෙත් මා මිය ගියද  මගේ ප්රේමය මිය යන්නට දෙන්නේ නැත.


සමනල ගිරිහිස තරමට වටිනා...
බුදු සමිදුන් තරමට හිත නිවනා...
කදුළක් දුටු විට හිත ළග රැදෙනා....
අප්පච්චියෙ මට ඔබ ප්රාණ සමානා...

ඔබ මා දෙතැනක සැතපුම් දහසකි...
දුවන්න බෑ මට බාධක එමටය...
කියාගන්න බැරි තරමට ලතවෙන හිත ගෙන...
තුරුල් වෙන්න හිතෙනවා රෑ හීනෙන් නුඹ ළග....

අතපත ගෑවට දැනෙන්නෙ නෑ මට.....
ඇස් ඇර බැලූවට ඔබ නෑ මා ළග....
හදතුළ තෙරපෙන සිතුවිලි පොදි බැද....
කවදද එන්නේ කියන්න මාහට...



පසුව ලියමි...........

        මා සිහිනයියා හා ගිය බව දැන ගත් අප්පච්චි මාස ගනනකට නිවසින් එළියට ගොස් නැති අතර දෙවෙනි අයියා විවාහ උත්සවය කැන්සල් කල බව සියල්ලන්ටම දන්නවා ඇත. අප්පච්චිට වූ ලැජ්ජාව ගැන මුලින් තදින් හිතුවද දැන් අප්පච්චි කියන්නේ ලගදි දිනක මා බලන්නට ඔහු එන බවය. සිහිනයියා නැවත විභාගය ලියා වෛද්යවරයකු විය. එය මැණි‍ෙක නැන්දාගේ සිහිනය සැබෑවීමක්ය.  මඩේ පිපුන නෙළුම සුවද හමන්නට පිපෙයි.  නිවසේ වැඩකටයුතු දැන් මට පුරුදු අතර එහෙත් මගේ උදවුවට කියා තවත් ගැහුණු ළමයෙක්ද හිදියි. විශ්ව තවමත් විදේශ ගතව ඇති අතර ලොකු අයියාත් මද්දු අයියාත් විවාහකයන් වී ඇත..

          මේ සියල්ලන්ටම වඩා මට මෙසේ උදවු කරන්නට පෙළඹී ඇත්තේ දෙවෙනිත අයියාත් විශ්වත්...සිහිනයියාත් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එකම සිසුන්  හා යාළුවන් වීමය... පසුව සිහින සියල්ල අතැර දැමූ විට මේ සියල්ල ක්‍රියාත්මක කර ඇත්තේ විශ්වත් දෙවෙනි අයියාත්ය. එකම නංගීව එලෙස පිටත් කර යැවීමට මුලදී මුලදී අකමැති වූවත් එසේ නොකලොත් අප්පච්චී වෙන කෙනෙකුට හෝ නංගි දෙන බව දැනගෙන ඔවුන් මෙලෙස සියල්ල කර ඇත...

.....ඉදින් සමාවන්න අප්පච්චී...

නිමි. THE END.

මෙවැනි පිස්සු කතා සැබෑ ලෝකයේ නැතැයි කියාද සමහරුන් කියති...මා නවකතා ලියන්නට දන්නෙ බොහෝ අඩුවෙනි..ඉතින් මේ සියල්ලම මම මගේ හිතේ මවා ගත් දෙයක් පමණි..


මගේ බ්ලොග් එක මට අහිමී වී බොහෝ දිනක් සිටියෙමි...ඒ සදහා ඔබ සියළු දෙනාගෙනම් සමාව ඉල්ලමි...දැන් ආයෙමත් සියල්ල හරිය...සමාකරන් අප්පච්චී කතාවද මෙතනින් අවසන්ය....