Saturday, November 25, 2017

මලක මළගම

සැතක් කල හදක් අතැතිව
කන්ද නොසැලැයි අරඹකන්දේ
බතක් උයනට හිතක් නැතිවම
සද්ද නොකරම හඳත් පල්ලමට බැස්සේ

මන්න පිහියක් අතින් අරගෙන
ගෙදර වැට පොලු සීරුවෙන් තිබ්බේ
"කන්න දුන්නට ගහපියව් මට"
දෝංකාරෙක හඩක් ඇහුණේ

පියාඹා ගල්ගෙඩි ඇවිත් හැප්පී
එකින් එක උළු කැටයි බින්දේ
සියඹලා කොළ හොරෙන් හප හප
හිටිය කාරණ ගැනයි ඇහුණේ

රෙද්ද තදකර කොණ්ඩෙ උස්කර
අලුත් නෑනයි දොට්ට බැස්සේ
මගේ "තරු හැඩ" හෙව්ව උඹලට
"දෙයියො බලලා" කියනු ඇහුණේ

මලක් කිය කිය පෙතිත් මැද මැද
හුඟක් රැකවල් තිබුණ දවසේ
රැයක් කුමටද වෙන්න අතවර
කියා පරමල් ගැනයි ඇහුණේ

දැන් ඉතින් තව "කුමට පණනල"
කියා සද්දය අන්දෙසින් ඇහුණේ
මුදුන් ලීයට බරක් වැඩිවී
අක්කා දෙව්ලොව යන පාර දැක්කේ

ඉහට අත්දෙක ගස ගසා
දුවන් ආවට පලක් නැත්තේ
පිළුණු හොඳ්දක් කුමට කෑමට
කියා අක්කා ලියල තිබ්බේ.


--------------------------------------------------------------
තම පවුලේ එකම දියණිය අනාචාරයේ හැසිරෙන බව ගමපුරා ගිය කටකතාවක් හේතුකරගෙන ගම්මුන් විසින් නිවසට ගල් ගසන අවස්ථාවකි,
අවුරුදු 11ක් වයසැති ඇයගේ මල්ලී බිරාන්තව බලාසිටි අවස්ථාව හා සම්බන්ධය.


2017/11/25

Friday, November 17, 2017

මයිකල් ( අරයගෙන් තමා අහන්න වෙන්නෙ )



සයුර බලන බලන අත ඉස්සි ඉස්සි අඟර දඟරකම් කිරීම අපූරු දර්ශනයකි. අහසත් සයුරත් යාවෙන තැන කොතනදැයි ඇඟිල්ල දික්කර පෙන්වන්න පුලුවන් වුනත් ඒ වෙහෙස ගන්න අපි කවුරුත් කැමති නැහැ වගේම මයිකලුත් අකමැතියි.

මයිකල් කියන්නෙ වයස අවුරුදු තිහක තරුණයෙක්. හීන්දෑරි උස මෑකරල් පාත්තියක එල්ලෙන මෑකරලක් වගේ කියලත් හිතෙනවා. " කෝටු මෑ " කියල අන්වර්ථ නමක් දැම්මෙ කොල්ලො කුරුට්ටො දෙකේ තුනේ පන්තියෙදිමයි. එතනින් එහාට නම් දාන්න මයිකල් ඉස්කෝලෙ ගියෙ නැහැ.

මයිකල් මුහුදුබඩ පොල්වත්තට අහසින් පාත්වුනා නෙමෙයි. මයිකල්ගෙ මිත්තණිය එක්ක සොඳුරු මිහිරි මතක මයිකල්ට තිබුණත්, සුනාමියත් එක්ක සන්තකව තිබ්බ මිත්තණියගෙ ආදරයත් අහිමිවෙලා ගියා. පල්ලියෙ පියතුමා අම්මා, තාත්තා,ඥාතියා සහෝදරයා වෙද්දි පල්ලියෙම නවාතැන් ගන්න අවස්ථාව තිබ්බත් මයිකල් මඟ ඇරලා කොල්ලො කල්ලියට වැදුණා. ඒ හිතුවක්කාර කොලුකම නෙමෙයි. අතපය හතර ලොකුවෙද්දි අනුන්නේ නිකන් කන්න මයිකල්ගෙ හිත නැමුණෙ නැති නිසා.

පාසැල් ගමනත් හතරෙ පන්තියෙදි වගේ නැවතුණේ හරියට රැල්ලකට අහුවෙලා ගිලිච්ච බෝට්ටුවක් වගේ. නටබුන් මුහුදු පතුලෙ තිබ්බත් මල කකා තියෙන යකඩයක් වගේ මයිකල් ආදරය සෙනෙහස අහිමිව තනිකම අත්වින්දා.

වැල්ලෙ පොල්ගහක් යටට වෙලා තනියම මුහුද දිහා බලන් ඉද්දි, සිවුරුහන් කර කර රැල්ලට සිංදු කියන මයිකල් වැල්ලට මුළු ජීවිතයම දුන්නා වගේ. හැම වැලි කැටයක්ම මයිකල්ගෙ දෙපාවල වෙලි වෙලි ආදරෙයි නොකිවුව කියන්න බැරිතරම්.

මුහුදු හුළඟක ගසාගෙන එන පිළී ගඳ ගඳක් විදිහට නෙමෙයි දැනුණෙ. මයිකල් හරිම ආසාවෙන් හුස්ම ගන්නෙ වැල්ලෙදි. ලුණු රසය ජීවිතේ රහ තමයි කියල මයිකල් දැනගත්තෙ ළදරු කාලෙදිමයි. ඒ කරෝල වේලල තමන්ගෙ බඩ පුරවපු මිත්තනිය නිසා.

" මොකද මයිකල් උඹ මුහුද හින්දන්න වගේ කල්පනා කරන්නෙ."

මයිකල්ගෙ ඇතුල් හිත මයිකල්ගෙන්ම අහද්දි ඒ සංවාදය හරියට අම්මෙක් පුතෙක් වගේ

" මොකුත් නැහැ "
" මොකුත් නැතිවෙන්න බැහැ ගොයියෝ "

" මං කිවුවනෙ මොකුත් නැහැ කියල "

" ඔය උඹේ මුහුණෙන් පේන්නෙ "
" මුහුණෙන් පේනව නම් මගෙන් අහන්නෙ මොකටද "
" මේ උඹ හැරෙන්නෙ වැල්ලටද රැල්ලටද කියල මට කියන්න එපා "

එකම තර්කය දෙන්නා දෙපැත්තෙ ඉදන් කියා ගන්නවා වගේ.
----------------------------------------------------------------------------

මයිකල් වැල්ලෙ කාටත් එක වගේ. මා දැලක් අදින්න අඬගැහුවත් හා කියල යනවා. වාඩියක් මුරකරන්න කිවුවත් හා කියනවා. බෝට්ටුවක යං කිවුවත් හා කියනවා. මාළු කඩේ බලාගනින් කියල කඩේ මරිසා අක්කා කිවුවත් හා කියනවා.

මයිකල් දැනන් ඉදියෙ හා කියන වචනය විතරයි. ඒ නිසාම මයිකල්ට මුදල් අගහිඟය නැතිතරම්. එහෙම වුනා කියල ඕන හැටියෙ මුදලක් තිබුණෙත් නැහැ. එදා දවස කාටවත් බරක් නොවි ජීවත්වෙන එක මයිකල්ගෙ පුරුද්ද වුනා.

දවසක් මරිසා අක්කගෙ කඩේ බලාගන්න ගිය වෙලවක මරිසා අක්කා යන්න කලින් කතාවට අල්ල ගත්තා.

" ඈ බන් මයිකල් උඹ කසාදයක් බදින් නැද්ද "
හිනාවකින් සංග්‍රහ කරපු මයිකල් මාළු කූරියන්ට අයිස් ලංකරලා මැස්සො පන්නන්න ගත්තා.
" උඹෙන් විහිළුවට නෙමෙයි ඇහුවෙ "

" හිතාගන්න බැ බන්. "

" හිතල බලපන්. අර පල්ලියට යන පාරෙ කොනේ කඩ කෑල්ල තියෙන්නෙ. ඒක පිරිසිදු කරගෙන මොකක් හරි පටන් ගෙන ගෑණිත් එක්ක ජිවත්වෙයන්. උඹත් තනියමම මැරිල යන්නද හිතන්නෙ."

පිළිතුරක් නොදී නිහඩ වුනා මයිකල්.
--------------------------------------------------------------------------------

දැන් ඉතින් මයිකල්ගෙ ඔලුවෙ කසාදයක් ගැන එක එක විදිහෙ නැට්ටුවො, බෙර කාරයො, කස කාරයො පෙරලි කරනවා.

මයිකල් දවසක් හැන්දෑවෙ පොල්වත්තෙ පවුල් පන්සල් වෙච්ච කිහිප දෙනෙක් ගාවට ගියා.

මයිකල් - " කසාදෙ ගැන මොකද හිතෙන්නෙ "
එක අයෙක් - " අරයගෙන් අහලා තමා කියන්න වෙන්නෙ "

මයිකල් - " කසාදයක් බදින්න කියල. මොකක් වෙයිද දන්නෑ‍ෙ "
තවෙකෙක් - " අරයගෙන් අහලා තමා කියන්න වෙන්නෙ "

මයිකල් - " මරිසා අක්කා කසාදයක් බැදපන් කිවුවා. මොකෝ මාමෙ "
තවකෙක් - " අරයගෙන් අහලා තමා කියන්න වෙන්නෙ "

මයිකල් - " ගෑණියෙක් ගනින් කිය කියා කියනව හන්දියෙ කඩේ අක්කා. අනේ මන්දා බන් අයියෙ. උඹට මොකෝ හිතෙන්නෙ"
තවකෙක් - " අරයගෙන් තමයි අහන්න වෙන්නෙ. "


ඕවගේ ගමේ කසාද බැන්ද හැම පිරිමියා ගාවට වගේ ගියාට මයිකල්ට ලැබුණෙ එකම උත්තරය.

ආපහු වැල්ලට ගිහින් රැල්ලට බැන බැන වැලි වලින් කකුල් දෙක වහගත්තු මයිකල් තමන්ටම මෙහෙම කියාගත්තා.

මටත් වෙන්නෙ ඔය සෙතේම තමා. අරයගෙන් තමා අහන්න වෙන්නෙ ඉතුරු ජීවිත කාලෙම කසාදයක් බැන්දම. මේ තනිකඩකම මළකඩ කෑවත් මං මෙහෙමම ඉන්නවා කියල මයිකල් කසාද සිහිනය අත්හැරලා එදා රෑට මුහුදු යන්න ලැහැස්ති වුනා.

---------------------------- නිමි ------------------------------

Wednesday, November 1, 2017

ප්‍රේමයේ විවේකය ඔබට සුහදාණෙනී




ඔබේ පැමිණීම මා
අමන්දානන්දයට පත්කළ
ඒ අරුමැති හෝරාව
තදින් කොනිත්තාත්
අමතක කළ නොහැකිය.

හිත වට බමන
සෑම චිත්තාවලියකම
අංශුමාත්‍රිකව හෝ ඔබ සිටී

ගිලිහෙන, ඇමිණෙන, දළුලන
සියළු හෘදයානන්දනය
ඔබම බව පුන පුනා මින්පසු
නොකියමි.

වැස්සක චමත්කාරයකත්
සීතලක අසීමිත ඕනෑකමකත්
අතරමැද සිට අතවනන දවසක
ඔබ තුරුල්කරගමි.

ඝනැති පොරෝනයක් යට
සිනිදුවට ඔබ මා විතරක් දැවටෙන
සිහිනයක එතෙක් පාවෙමි.

ඉතින්, ප්‍රේමාන්විත සුහදාණෙනි,
ඔබට විවේකය,
ආදරේ අතරමැද හිස් තැනක සිට.


2017/10/30