Tuesday, March 27, 2012

අවෙ නැති කමට නුඹ

රැලි නගා වැව් දියත්
කෝල කමින් ඉස්සිලා
අත වනා කතා කරනවා
සිපගන්න ඇබින්දක්
ආදරෙන් පෙර වගෙම
සුසිනිදුව හරි ලෙංගතුව...................

කරන්නට බැහැ ඉතින්
දඟ වැඩක් රිසි පරිදි
වලාකුළු බැම්ම ඇත
උලුප්පාගෙනම ඇස්
නොපියවා දිව රැයේ
මුරභටයො සේ ලගම.................

දිය යටක මින් රැලක්
නට නටා ගී කියයි
හිස වනා සළකුණක් දෙයි
දැවටෙන්න වෙලි වෙලී
නොසිදෙනා වැව්දියේ.....
එකවරක් ආලවන්තව
සසල නොකරම ඉතින්
තව කදුළු එනන්ට කලින්
වැව් දියට සොවින්.............

ගගනතම මැද ඉදන්
දිනිඳු කිති කවනවා
දරාගන්නට බැරිව
ඇඹරිලා හොදටම
වැව් දියම සලිතයි
අපමණට දැන්.....

මොහොතකටඋණුසුම්ව
තෙරපිලා වැළදගන්නට
බැරිව ඇය නෙත් අයා
දුක කියා සමිඳු දළදාව වෙත
වැහි කදුළු බිංදුවක්
තිලිණ කර වැව් දියට
මොහොතකින් සැගවුනා
නෙක දනන් ඇවිද යන
රජ වීදියේ විසල්
ගොඩනැගිලි අතර තනිව..............

නොපැමිණි හන්දා කුමරු
සිහින මිටියම කර තියන්
හමුවන්න ඇය වැව් දිය
ළගක පෙර ළෙසම
ස්නේහයෙන් නුවර මැද....................

*** දිනිති දීපිකා ***

Monday, March 26, 2012

...සුභ උපන් දිනයක් ....


 අද මාර්තු මාසෙ 26 වෙනිදා... පන්හිදෙන් හිතුවක්කාර සිතුවිලි ලියන මට ආදරණිය දවසක්... මගේ ආලවන්ත ආදරයට දෙවසරක් පිරෙනවා... හ්ම්..ජිවිතේ කඳු තරම් උස දුක ගොඩ ගැහෙද්දි..සමුදුරු තරම් කදුළු පිරෙද්දි...මාව දාලා නොගිය මගේ එකම ප්‍රේමය.... හැමදාම හැමවෙලේම හදවතට ආදරණිය බලාපොරොත්තුවක් ගේන මහා සැනසිල්ලක උපතක් දුන්න මගේ ප්‍රේමය... ඒ ආලවන්ත ප්‍රේමය අන් කවුරුන්ද...මගේ ආලවන්ත හුදකලාව http://dinithige.blogspot.com/ මිසක්.....
          
             මට මතකයි මීට අවුරුදු 4කට විතර කලින් අකීකරු අකුරු ලිවුවට මුහුණු පොතේ...හිතුනහම ලියනවා..නැත්නම් නොලියා ඉන්නවා වගේ.... එපමණක් නොවෙයි නේක පිඩාවන් මැද උඩුඟං බලා පිහිනන අවධියක දිවියට නැවුම් මුහුණු වරක් ලැබුණෙ ආලවන්ත හුදකලාව පටන් ගැනීමෙන්...
           
           මට මතකයි අපි කවුරුත් ආදරේට දුකා අයියා කියන සුභාෂ් ගුණවර්ධන අයියා ...දුකාගේ බ්ලොග්... එක නමින් කරනගෙන යන බ්ලොග් එකේ විවිධ දේ මුහුණු පොතේ දකිද්දි මටත් ආසාවක් ඇතිවුණා... අද වගේ නෙමෙයි ඒ දවස්වල මම ජිවිතේ අමාරුම දවස් ටිකක් ගෙවමින් සිටියෙ. මට මතකයි ස්කයිප් එකෙන් කතා කර කර සුභාෂ් අයියට මම දුන්නු කරදරයක්. ඒ තියා අයියත් ඒක ඉදිය අයියගෙ යාලුවා රුවන් අයියටවත් මගෙන් කනක් ඇහිලා ඉන්න නැහැ...(දැන්නම් වැස්සටවත් කතා කරන එකක්යැ මම සුභාෂ් අයියා එක්ක)  ඉතින් ඔහොම ඉන්න දවසක අයියට මං කිවුවා මටත් බ්ලොග් එකක් ලියන්න ඕනි කියලා. නියමයි නංගි කියලා ඒ වෙලාවෙම බ්ලොග් ලියන ලින්ක් එක මට එවුවා... ඒ මතකය ඒ ආදරණිය කම් අදත් ඒ විදිහමයි.....

               ලියන දේ දකින අයට තේරුමක් නැති වෙන්න පුලුවන්..සමහරු කියයි ෆැන්ටසිය විතරයි කියලා... ඒත් එදා සුභාෂ් අයියගෙන් අහගෙන පටන් ගත්ත බ්ලොග් එක මගේ ආදරණිය මිතුරා වුනා..මගේ ප්‍රේමය වුනා...මගේ දුක වේදනාව තනිකම කාන්සිය මහන්සිය නැතිකලා.....ලියන හැමදේම දැම්මෙ නැතිවුනත් සුන්දරව ජිවිතේ දුක විද දරාගන්න මට අපුරුව තෝතැන්නක් වුනා...අදත් මුහුණු පොත වහලා දාලා වුනත් මම රිංගන්න ආලවන්ත හුදකලාවට. ඒ ගිහින් විවිධ මිතුරු මිතුරියන්ගෙ බ්ලොග් කියවමින් මම කාලය ගෙවාගන්නවා...

      ඉතින් කොහොම වුනත් පන්හි‍ඳෙන් ජිවිතයේ එක් පැතිකඩක් දිනන්නට යන ගමනක මේ බ්ලොග් කරණය මට කියා දුන්න ආදරණිය සුභාෂ් අයියේ හුගාක්ම ස්තුතියි ඒ සහෝදර ආදරණියකම්වලට..... ඒ වගේම දෙවසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමිණ් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුභ උපන් දිනයක් වේවා.....

Friday, March 23, 2012

..එක්වෙමු එකට අපි.....

අර පෙනෙන සමනොල සිරස මුදුනින්
පායා එන දිනිදුන් සදාකාලිකයි නම්
මහවැලි කැළණි වලවේ කළු ඟං
සරුසාර කරනවාමයි රත්රන් පොළව.....

ලොව මවිත කරමින් සීගිරිය අවුකන කලා
නිහඩවම විශ්මයෙන් සාඩම්බරව උන්නා නම්
රන්වැලි සෑය මුදුනින් මහ බෝධිය වටෙන්
තාම සෙත අරන් සිරිලක පුරා හමනවාමයි.....

අහිංසක වැදි ළදක් කපු වියමින් සිටිද්දී
තම්බපන්ණී කියාගෙන විජය ආවා තමයි
සොලොස් කලා ශිල්පයම දෝත දරා
සංඝමිත්තා තෙරණිය දායාද ගෙනාවාමයි...

එළාර කාළිංග මාඝ ප්‍රභාකරන්ලා මේ
බිම්කඩ දෙකඩ කරගන්න දැගලුවාමයි......
වීර පුරන් අප්පු දුටු ගැමුණු හසලක වගේ
අභීතයින් මේ පොළව සුරැක්කා නොවෙද....

නීල වර්ණ ගහ කොල මැද දිලිසෙන පසට
යටින් රන් රිදී මිනිරන් මැණික් තියෙනවාමයි
මස් කැබැල්ලකට ගිජු වුන බලු කුක්කෙකු සේ
කෙල හල හලා මව් පොළව ගිලගන්නට හදයි.....

ඇස් කන් පියන් වසාගෙන තව උන්නොත්
කරකවයි උන් ඇට නැති දිවක් සේ හැම පැත්ත
අමතකද ගඩාබි සදාම් හුසේන් මරන්නට
එලපු දැල එලන්නටයි මේ සැරසුම කියා...

සුනිලා නිමල්කා චැනල්4 මුරුගයන්
පන්නා දමා එඩිතරව බැදන් ඇත්වැල්
දිරි අරන් ඉගිලෙමුද අපි එකම රෑනක
වටු කුරල්ලන් සේ මේ කූට දැල ඉරන්......

Thursday, March 22, 2012

...ගොවියා....


දුරුත්තම මුළුල්ලේ
කපා වියලා දමා
හති හෙමින් නිවා
සැරසෙයි මහමෙරක්
සියල් දුක් දරා
හේන් සරු කෙරූ ගොවියා....

යල මහ කන්න තෝරා
නුවර කලා වැව් හාරා
දිය මං තනා පාදා
රකියි දෙවියන් සදිසි
ජලය සකියෙක්ය ගොවියා.....

නාකපන අක්වැස්ස
නිල් වැස්ස සමසේ
දරා මිහිකත නැමැද
සියක් ඵලමල් දරන
ගොඩ මඩ දෙකම
අතැගිලි වලින් පිරිමැද
මෙත්තා කරුණා
සිව්බඹ විහරණය
වැපිරුවේ දයාවෙන් ගොවියා....

පියරජු බුදුන්ගෙත් පෙරකල
වප් මඟුල් පෙරහැර ගියත්
මල්වතු ඔය දිගේ ඇවිදින්
රත්රන් කරල් හසරැල් බෙදත්
අව් වැසි ගිනි සම දරන්
රජරට තවම පොහොසත්
ඉදහිටක පැල්කවි ඇසෙත්
කහට බැඳි දත් පෙලෙන්
සිනාසි දරාගයි පීඩාම ගොවියා.............

ගොජිරි බජිරි තරහට ආවමුත්
සෙත් පතා මුමුණා කෙම්
තබා තනියට නොයෙක් අතු ඉති
පැන්නුවේ මැසි මදුරු උවදුරු
කුසගිනි නිවන බත බුලත
වස විස පොවනු පව යැයි
දැන හොදින් එදවස ගොවියා...............

කාබයිට් මැලතයින් නොයෙකුත්
නෙක ඊරි මස් උරා මෙදිනා
දත නියවන් බලා හිඳ මුහුදට
කෑදර කමින් සුද්දන්ට ඉහමොළද
හිරකර ණයකට හුස්ම ඩිංගත්
හිමි කරා අවසන වස බෝතලයක්
දුප්පත් කමේ පතුලම සිඹ
තීන්දුව දුන්නෙ එලෙසින ගොවියාට....

කේඩෑරි වී බොල් වුන සිනාමල්
උදුර ගත් රජරට සුවඳ පොඳට
තාම මිහිකත ගම්බාර දෙවි
හිමිකම සකියනි නොවෙද ඒ ගොවියාට....................

*** දිනිති දීපිකා ***

Sunday, March 18, 2012

දළදා වැඳුම

නැඟ එන හිරුට පෙරඹර එළියක් ගෙනෙති
මද නල හමා බුදු සිසිලක් දියත දෙතී
පසඟ පිහිට තේවා හඬ ලඟින් බැතී
වැඳ දළදාව අරඹන යන ගමන් ඇතී......

Thursday, March 15, 2012

*** ඇය ***

වශිකෘත වචනයෙන්
නොකියවුවත්,
අලංකෘත කතාවෙන්
තොර වුවත්,
සියළු සිතුවිලි ක්‍රියාවට හරවා

*** ඇය ***

ආලවන්තව
ස්නේහයෙන්
මෘදු මොලොක්ව
පිරිමදිනවා
මහිත...සේම මහිස...
මහා ආදරයකින්...අපිරිමිත දයාවෙන්........

*** මවුට නොදෙවෙනි මතෘභූමී ***

ලෙයට කා වද්දවා
උපත දී කරදඩු උස් කරපු
පුන්‍යවන්ත හිරු සඳු
දෙපළ ළඟ ළදරුවෙකු මෙන්
ගෙවුන යටගියාවක මතක
කැන්දන් එන්නේ

*** මව්වත් ප්‍රේමයේ බිරිදයි ***

සුරකින්නට ජාත භූමිය
වැර දුන්න මගෙ දෙපා
අහිමි වුවත් මෙදා,
තුටින් හසරැල් ගෙනෙයි
........ඈ......
ලේන කුලේ සිට ආ ලෙහෙනිය සේ
සෙවනැල්ලක වෙලි වෙලී.....
 

Wednesday, March 14, 2012

*** මගේම හිත ***

කිසිවෙක්ට
නොපෙනෙන
අඳුරු ගල් ලෙනක
සඟවාපු
මේ මගේ හිත......

ලොවට
පෙනෙන්නට
සඳක් සේ
දිලිසෙන.....
වසන් වී
සයුර සේ
උණු කඳුළු
වගුරන
මේ මගේ හිත....

ඔහු ගැනම
සිත සිතා
මවා පෑම් කර
විශ්වයටම,
තවමත්
ඒ නෙත් ළග
බවුන් වඩන
මේ මගේ හිත....

අසන්නට එපා
කවිකමට
පදරුත් ගෙනෙන,
තවමත් වසන් වී
සිටින ‍අරුමැති
***
ඔහු ***
මගේ ප්‍රේමයේ
ගැඹුරුම
උච්ච ස්වරයයි.
නොලියවු කවි ලියන
මේ මගේ මගේම හිතයි......
 

Tuesday, March 13, 2012

*** දුම්බර බරක් වී ඇත්තේ ***

 
දුම්බර කන්ද නම ගෙන හිනැහෙන රූබර ලදුනේ...
දුක්බර කදුළු හංගාගෙන ඇයි නෙතු වැලපෙන්නේ...
සුන්දර කමට සිරිලක මැද නුඹ වැජඹෙන්නේ...
අන්ඩර කපටි නුඹෙ ගෝමර ටික ගලවන්නේ..

නිල්ල නිලේ එක යායට දිලිසෙන්නේ..
ඇල්ල වගේ කදු යායම හිනැහෙන්නේ....
මල්ල උගේ එක යාමෙට පිරවෙන්නේ...
කල්ල මරේ හොරු ගහකොල උදුරන්නේ...

මීදුම මැදින් හමනා සුළගට මල් පිබිදෙන්නේ...
දිනිදුන් එක්ක විහඟුන් තරගෙට නද දෙන්නේ...
වී ටික ඉසා හෙල් මළු යායට බැබලෙන්නේ...
මේ ටික විකුණා කන්නට උන් පොර කන්නේ....

Sunday, March 11, 2012

*** බක්මහ කුමරියක් වූ හන්දා ***



ගම්මානෙ හැඩ කරපු කහපාට මල ඇයයි

හන්තානෙ පිස ඇවිත් සුළං වැදුණා තමයි__________

දොලොස් මසකට වරක් වසනත්තේ මංගල්‍යයයි

සුන්දරම පිච්චමල කුමරි ඔටුනක් පැලැන්දුවයි_________

කොණ්ඩ දෙක ගොතාගෙන දුව පැනපු කෙලිත්තියි
පංච කල්‍යාණිය වෙලා මුල් පුටුවෙ රුවැත්තී ඇයයි_______________

වාසනා අවාසනා ඇගෙ වටෙම කැරකුණා සත්තමයි
මැම්බර්ට හිත ගියේ ඇය ගැනම නොව රුවටමයි________________

කොළඹ හතෙ මාළිගාව මවා පා ඈ එක්ක යන්නයි
රන් රිදී සත් දවස් මගුල් ගැන ඇයට පොඳි බදින්නයි___________

දිනෙන් දින ගෙවී කාලයක් ගියෙ මාස දෙක තුනකටයි
නොදැනුවත්ම ඇය ඇවිත් ගම ගැබිණියක් වූ බවයි______________

මුව වසා මව්පියන් ඇය ගැන දුක් හදේ තෙරපවයි
කිසිවෙක්ට නොකියාම මහවැලිය යටක ඈ හැංගුනයි_____________


Monday, March 5, 2012

* මගෙම මගෙ නුඹට ***

මල් පිපී හිනැහෙනා සේපාලිකා
සුවඳ දිගෙ එන හුස්මකට
මුසුවෙලා සිත ආදරෙන් පියඹලා
දුරක ඔබ ඉන්න තැනකට...

තටු ඇවිත් සිතුවිල්ල මුසුවෙලා

වාතලය සිප ගන්නකොට
හිත ළගක ඔබ ඇවිත් වැතිරිලා
මගෙ වෙලා මගෙ ළගක.....

තරු පොකුරු සිනා සී පේවෙලා
නුබ ගැබක ඉන්නකොට
සඳ වෙලා ඔබ ඇවිත් නැවතිලා
හද මැදින් ආදරය පුරෝගෙන....

තුන් පිරිත දිවි මගේ මතුරලා
සෙත් කවිය ලියනකොට
සඳ කිඳුරු පෙම් සුවඳ දැනෙනවා
ජීවිතයෙ ඔබ ඉන්නකොට.....

Friday, March 2, 2012

*** ඔබ...මම ***

මතකයට ඔබෙ බිඳක් ආවද
සීත රැයකදි සපථ වුනු හැටි
අපි අපෙන් දුර ඈත සිටියත්
ආදරේ මහ විසල් අහසක්.....


නෙතින් නෙත යා කරන් අපි
අපිට කිවු සෙනෙහසක මහිමය
හිමිදිරියෙ නැගි දිනිඳු අතරට
මුසු කලා අපි පෙමින් වෙලෙමින්...


රළ ඇවිත් දැවටෙමින් වෙරළත
යන්න යන විට ඈත සයුරට
ඔබ දමා මම ආවෙ ලසොවින්
කියන්නට බැරි පෙමක් සමඟින්...


තාම ඉරහඳ යටක ගෙවෙමින්
ඉක්මවා යන යොවුන් දිවිමඟ
කාසි කහවනු නොමැති හින්දම
ගොලුවෙලා අපි අපේ හිත්ළග....


යලිත් මතුදින පිපෙන ඉරමල
ළඟක හමුවෙන පැතුම් අතැතිව
වෙන්වෙලා ගිය පෙම්වතුන් අපි
දෛවයේ සරදම් ළගක හිනැහෙන.....

Thursday, March 1, 2012

*** මේ ඔබටමයි ***

ගිරි ශිඛරෙන් දිනිඳු ඇවිත්
නැවුම් දිනක මල් පිබිදේ
හිරු මඩලේ බල මහිමෙන්
බුදු සමිඳුගෙ සරණ ලැබේ....


දහක් දෙවිඳු මිහි මඩලේ
සිරිමා බෝ මැඩ සෙවනේ
බැල්ම හෙලා මුව මඩලේ
සෙමෙර සලා ඔබ සුරැකේ...

රුවන් පුරෙන් සමන් දෙවිඳු
කතරගමින් ඇවිත් ළගින්
තිස්තුන් දෙවි පිහිට ලැබෙන
තබන අඩිය මලින් පිරෙයි....

සිරි දළදා හිමි සරණින්
බුදු දම් සඟ මහිමෙන්
රන්වැලි සෑ රැස් කිරණින්
සිවු දෙවිවරු ඉන්න ළගින්.....

පියෙන් පියට නැග දිරියෙන්
සෙමින් ඔබට ජය හිමිවේ
දොහොත් මුඳුන් තබා නිතින්
සෙත් පතමින් ළග දැවටේ....

තුන් පිරිතෙන් තොල් මතුරා
සඳ හිරු ළග කල් ගෙවමින්
පැතුම් සියලු සපල වෙන්න
හදින් ඔබට තිළිණ ඇතී.....


ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...