Friday, February 24, 2012

...හිතුවද....

පඩි නැතුව
පඩි නගින
මිනිස්සුත්...

මස් නැතත්
මස් තලන
මිනිස්සුත්....

පන නැතත්
පන පොවන
මිනිස්සුත්...

නෙත් නැතත්
ලොව දකියි
මිනිස්සු......

Wednesday, February 22, 2012

*** ආදරණිය අම්මේ ***

පෙරදිගින් නැඟෙන දිනිදුන්
අවරගිරෙන් සිඳු වැළදගෙන
හුරු පුරුදු ලෙස කණිසම්
වැදි වැදී හඩ තල තලා තව
දිනක් ගෙවිලා ගියා අම්මේ...

සමනල් සිහින හිත් අඩවියේ
තටු ගසා පියඹන්න හැදුවත්
සිරකාර පොඩි දෝණි තවමත්
කිරි සුවඳ ඉව කර කර ඔබෙ
ඔහෙ ඉන්නවා මගෙ අම්මේ...

සුළග ඇවිදින් සිඹින කොට
අත් බැඳන් සීතලට බැහැ
ඉන්න තුරුලේ ඔබ ළගින්
හිස හොවා ලැමෙ උන්නු
ලෙස පෙරදින වගේ අම්මේ...

සඳ මඩල වසාගෙන මුව
සිනා ඉහිරෙන මහ රැයට
තව තවා දෑත් දෙපා සීරුවෙන්
කියනවා තුන් පිරිත ජීවිතේ
කියාදුන් ලෙසම මගේ අම්මේ.....

බලාපොරොත්තුවේ මල් කිනිති
කිති කවා හදවත තුලම
මිලින වෙන්නට බැහැ කිය කියා
දඟකරනවා මගෙත් එක්කම
කියාගන්නට බැරි තරම් අම්මේ...

සිව්පද තාල තියමින් සීරුවෙන්
දිවි ගඟේ ගල් පර මතින්
නෙත් පියන් යා නොහැකි බව
මතුර මතුරා කියාදුන් අයුර
දැනුත් ඇහෙනවා මගේ අම්මේ....

අදුරු තිමිර පට ඉරාගෙන
පායනා පුන්සඳ වගේ අහසක
නගන්නට හසරැල් සිතාගෙන
පීදුනු ගොයම වාගේ ඔබ ළගක
වපුරනවා සරු අස්වැන්න අම්මේ....

සමනල් සිරස පුන්‍යවන්තව හදින්
නමදිනා බැතිමතෙක් විලසට
සිරිපතුල් ළග ඔබෙ වැඳ වැටී
දිරි අරන් දියතම දිනනවාමයි
කියාදුන් සෙත් පිරිතෙන්ම අම්මේ....



Tuesday, February 21, 2012

ඔබ එන්න...

අර නීල අම්ඹරේ
නිදි කිරන තරු වගේ
සඳක් වී පායලා ඔබ
එනතුරා මා බලා ඉන්නේ
තටු ගසා නෙත් දෙකේ.....

හිරවෙවී සුසුම් ගුලි
ලය පුරා තෙරපිලා
වැහි කදුළු කැට සැදී
සිප ගනියි පොලේ තල
නොආ හින්දා සඳ තාම.....

ඇබින්දක් ඇවිදින් විගස
ඔබ තුටින් කියනවා නම්
සිත පුරා හසරැලින් මට
ඉන්න තිබුණා තව දිනක්
නොදැන උන්නට ඔබත්.....

පින්න ඉහිරෙන උදෑසන
පිපි මලක් වෙලා හෝ
එන්න හනිකට ඇස ළගට
නිවා යන්නට මගෙ තනිය
මේ දැවෙන පාලුවෙන්.....

නිදිවරා වෙහෙස නොබලා
නුවර අහසක් යටක ඔබ
සොයා එන්නට බැරිකමට
වසන්තයෙ කවි මලක් මම
එවනවා සිත ලියා සුළගක.....

Sunday, February 19, 2012

දන්නවද.....

USA
CANADA
AUS
ඕනම Country එකක
ජීවත් වෙමුයි කිය කියා
එයා
මට බල කරනවා............

Asiaවල

Srilankaවෙ
ඕනම Village එකක
ජීවත් වෙනවා කිය කියා
ඔයා
ගැනම මම හිතනවා...............

western

විදිහට පුරුදු වෙච්ච
Girl කෙනෙක්
ගොඩේ විදිහට
හිතනවා කිය කියා
එයා නෝන්ඩි කරනවා.............

Paris

London
new york
කෘතිම සුවඳ
එයා
උජාරුවෙන් කිය කියා
මාව රවට්ටන්න හදනවා....

හුස්මක්

හුස්මක් ගානෙ
සැබෑ ජීවිත සුවඳ
ඔයා ළගින්
විඳ විඳ තවමත්
මම හදවතින්ම
ජීවිතේ එකතු කරනවා...........
*** ඔයා වෙනුවෙන් ***

Saturday, February 18, 2012

කෙටිකතාව හා කෙටිකතාවක්...



    ලොව පුරා ප්‍රසිද්ධ රුසියානු ජාතික ඇන්ටන් චෙකොප් කියනවා “කෙටි කතාව වූ කලි ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කිරීමකි ” කියලා.  එහෙම කියන්නෙ ගැඹුරු මානුෂිය තලය විවරණය කිරීමක්.  සමහරවිට මට හිතෙන විදිහට කෙටිකතා කරුවාට පුලුවන් හරිම සංවේදීව කිසිවෙකුට හසු නොවන තලයක ඉදන් විවරණය කරන්නත් කියලා. මාත් ඉතින් දන්න තරම තමා.  :-p

කෙටි කතාවක් යන්න කුමක්දැයි තේරුම් ගන්න වඩාත්ම සුදුසුයි  "ජෝසෆ් බර්ග් එසන්වින්ගේ" අර්ථ දැක්වීම. ඔහුට අනුව කෙටි කතාවක මුලික ලක්ෂණ 7 ක් තියෙනවා.

01සංග්‍රහ වන යම් යම් සිද්ධි අතුරෙන් එකක් අභිබවා යන ප්‍රබල සිද්ධියක් තිබීම.
 
02 ඉස්මතු කර පෙන්වන එක් ප්‍රධාන චරිතයක් සිටීම. 
03 කතා වින්‍යාසයක් තිබීම. 
04ඒකීය ධාරණාවක් තිබීම. 
05සත්‍ය කතාවක් නොව කල්පිත කතාවක් වීම. 
06විස්තීරණත්වයෙන් තොර වීම. 
07සංවිධානාත්මක වීම. 
යන ලක්ෂණ තමා.

         හ්ම් මේ විදිහට හිතන්න ගියොත් කෙටි කතා ලියන්න එපාවෙයි අපේ අයට. දැන ගන්න ඕන් මං ලිවුවෙ. ඉගෙන ගෙන තියෙන විදිහට සම්ප්‍රදානුකුලව. හැබැයි වචන දෙක තුනකින් වුනත් කෙටි කතාවක් ලියන්න පුලුවන් කියලා මට හිතෙනවා. කෙටි වුන කතාවක් කෙටි කතාවක් වුනත් හැබැයි ඒකට යම් යම් රීති එහෙම නැත්නම් රාමුවක් තියෙනවා කියලත් මම හිතනවා... ඒ විතරක් නෙමෙයි අපිට කෙටි කතාවක් ලියනකොට එක එක කෝණවලට ලියන්න පුලුවන්. නමුත් ප්‍රධාන වශයෙන්

01 උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් හා
02 මධ්‍යම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් .
තමා ලියවෙන්නෙ.

උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණය කියන්නෙ ,.... මම..... කියන තැන ඉදන් තමා කතාව කියවෙන්නෙ. ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණය කියන්නෙ ඔහු හෝ ඇය හෝ කවුරු හෝ කෙනෙක් විසින් කතාව ඉදිරිපත් කිරීමක්.

යුරෝපයේ කෙටිකතාව ජනප්‍රිය වුනාට මුල් කාලයේදි ලංකාවෙ එච්චර ජනප්‍රිවුනේ නැහැ. මොකද ඒ යුග වල බුත්සරණ අමාවතුර පන්සිය පනස් ජාතක පොත.....ඊට පස්සෙ මාර්ටින් වික්‍රමසිංහ විසින් සාහිත්‍ය ලෝකයට දුන්න ගම්පෙරලිය වැනි නවකතා නිසා අපේ රටේ නවකතා සමාජය අතර බහුලව කියවුනා... නමුත් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින්ම ....ගැහැනිය....කෙටිකතාව ලියා සමාජයට දිමත් සමග තමා ඔන්න අපේ රටේ පාඨකතා කෙටිකතාව ගැන වැඩි අවධානයක් යොමු කරන්න ගත්තෙ..ගීද මෝපසංගෙ...ඇන්ටන් චෙකොප්ගෙ වගේ කෙටිකතා කියවන්න ඉංග්‍රිසි දන්න අය පුරුදු වුනා...
කොහොම වුනත් මාර්ටින් වික්‍රමසිංහ...ජි.බි..සේනානායක..ඩබ්ලිව්.ඒ ද සිල්වා වගේ ලේඛකයින්ගෙන් දිගටම අපේ රටේ කෙටිකතාව පෝෂණය කලා. අදත් අපේ සමාජයේ වත්මනෙහි ලේඛකයින් හැකි විදිහට කෙටිකතාව පෝෂණය කරනවා....

හ්ම්...අයියෝ මට බැහැ මීට වඩා ලියන්න...ඔන්න මම ලිවුව කෙටිකතාවක් පහල තියෙනවා..ඒකත් හදිස්සියෙ ලිවුවෙ..ඔන්න මම දන්නෙ නැහැ. ඉතුරු හරිය ඔයාලට බාරයි...

ජය...



..... පසුතැවීම......

මම තදින් දෑස පියා ගත්තෙමි. ඊයක වේගයෙන් සිත අතීතයට ගියේය.

“ මම මේ මලුවට යනවා එනවා
බෝ මුල් බෝ පත් මට පෑගෙනවා
සමාව දී මගෙ පවු අරවනවා
‍බෝ රජුනේ මට සමාව දෙනවා......”

               එක දිගට යකඩ කටින් එන බෝධි පුජා ගථා සැදැහැති පිරිස්ද හඩ නගා කියවයි. පුරුද්දට කියෙවුවාට මගේ සිත අහලකවත් මේ කිසිවක් නොරැදුණි. පහලවන සෑම සිතුවිල්ලක් පාසාම ඇය ගැන කෑගසා හිත මට කියයි. මා දානයකට වැඩියත්..බණකට වැඩියත්..පිරිවෙණේ ඉගෙන් ගන්නට ගියත් ඒ සියල්ලක්ම වසා ඇයගේ මුහුණ මා සිත සොරා ගත්තේය....

වරෙක මට මගේ හිත
“..... මොකද්ද උඹ කරන්නේ......”

යැයි තරවටු කළේය. ඒ සෑම වෙලාවකම ආනාපානා සතිය වඩන්නට මම පටන් ගත්තෙමි. එයද තත්පරයක තරමවත් මට රැදෙන්නට බැරි වූවාය. ඊයම් බාරු වැනි බර අඩි තියමින් ඇය හිත් මළුවේ ඇවිද්දේය.

“.... බැදීම් අත් අරින්න නේද ආවෙ......”

තවත් මොහොතක මසිත මට වද දුන්නේය. එහෙත් සංසාරය පුරාවට ඇය හා බැඳුනු ඒ ආධ්‍යාත්මික සංසාර සුවඳ මගේ හිත මට මතක් කළේය. ඇය මුදු සිතින් මසිත පිරිමදින... මහිස පිරිමැද්දා වගේම හිතට සුවය දැනුනේය. ඇසිපිය වසා මා නන්නත්තාර සිතුවිලි යායක හැමදාමත් අතරමං වුයෙමි.

“.....තේරුම් නොගන්නෙ ඇයි.....”

යලිත් මගේ සිත ප්‍රශ්න කලේය. මා තේරුම් ගන්නට උත්සහා ගත්තේය. එහෙත් ඇය නොඑන තැනක් නොවුයේය.

නෙත් යුග පියවෙන සිහිනයට පවා ඇය ආවාය. ....කාත් කවුරුත් නැති මට ඉන්නේ ඇය සේම ඇයට ඉන්නේ මා පමණක් යන සිතුවිලි වල මා කිමිදුනෙමි. නිශ්චිතව ඇය දිනුවේය.

       ඉදින් අවසන මා පැරදුනි. බුදු ගෙයි විහාරයට ගොස් උතුම් වු සිවුරට වැද නමස්කාර කර මලසුන මත තබා සෝමපාලගෙන් ඉල්ලාගත් සරම ඇදගෙන මා අභිනික්මන් කලෙමි. බුර බුරා නැගෙන සිතුවිලි වලට පණ දෙන්නට මම ආවෙමි. මහ පාන්දර කලුවරේම මහ ගේට්ටුවෙන් එළියට යාමට නොහැකි නිසා මා පිටුපස කම්බි වැටෙන් රිංගා පාරට ආවෙමි. ඇවිදින් සිත තුල නලියන ඇගේ රුව ගැන මතක් කරමින් පියවර තැබුවේය...

.... ඇගේ වත මා දුටු විට කේසේ වේද.....

යන සිතුවිල්ලම වදදෙමින් සිතමින් මා දස දහස් වාරයකටත් වඩා ඇය ඉදිපිරිටට ගොස් සිතින් නතර වුයෙමි. තව පැය දෙකකින් තුනකින් මා ඇය අසල නේදැයි සිතමින් උන්නේය. හදවත මැදම ලබ්ඩබ් සද්දයත් තදින්ම ශබ්ද නගන බව මට වැටහුනේය.  අත තිබුණු මාරු කාසි ටික කොන්දොස්තරට දී මා ටිකට් පතක් ඉල්ලන විට කොන්දොස්ත අමුතුම ආකාරයට මා දෙස බැලුවේය.....

“ මට හොදට දැකලා පුරුදුයි “
 කියා බුලත් විටට රතුවි ඇති තොල් සඟල පෙරලමින් සිනාසුනේය. එතන නොරැදී පසුපසම අසුනකට ගොස් මා වාඩිගත්තේ

“ පුජ්‍ය පක්ෂය සඳහා පමණයි “
   යන අසුන පෙනි පෙනිය. ආනන්තරිය පාපකර්මයට සමාන පාප කර්මයක් මා කරගත් බව මගේ හිත දොස් කීවේය. එහෙත් හදවත ඇතුලෙහි අසරණව ඇගේ නෙත් මැවෙන අයුරු මට කිසිවෙකුට පෙන්වන්නට බැරි වුයේය.

   අවසන නිවස අසලින් බැසගත් මා ගැහෙන හදින් දොරට තට්ටු කලේය. තවමත් අලුපාටට අලුයම බැවින් ඇය අවදි වී නොමැති යැයි සිතමින් නැවතත් මා දොරට තට්ටු කලේය.

“ මගෙ පුතේ ඇයි උඹ මෙහෙම ගමනක් ආවේයි“
අසමින් ඇය පපුව අල්ලා ගත්තාය.  එක පාරටම ගැස්සුනු මා නැවතත් වත්මනට ආවේය.

   අදට හරියටම ඇය මියගොස් වසරකි. මා පුද්ගලික පන්ති කරමින් ජිවිතය ගෙවා ගන්නෙමි. බොහෝ දරුවන්ගෙන් මා මුදල් නොගනියි. ඒ මේ අහිංසක දරුවන් මායිම් ගම්මානයක ජිවත්වන නිදහසේ හුස්ම ගන්නට සිතුවා විතරක්ම නිසාය.

   මේ මායිම් ගමේම කුරිරු ත්‍රස්තවාදින්ගෙන් ස්වාමියාත් දරු 3න් දෙනෙකුත් අහිමි වී ගිය මගේ  ....අම්මා.... රැකගැනීමට මා ශාසනය අතහැර ආවත් ඇයට එය දරාගත නොහැකි ශෝකයක් වී ඇය පපුවේ නහරයක් පුපුරා යන්නම යන්න ගියේය.

අදත් හෙටත් මියෙන තුරුත් මා සිතුවිලි අතරම සැරිසරන්නෙකුම වේද ? අතහැර ආ ශාසනයට නැවත යන්නටද බැරිය.

      අතරින් පතර අදටත්
..... හීරලුවෙකු.....
        කියා ඉදහිට කියයි. මා ඉදින් දැන් තැවෙමි. දැවෙමි. මගේ නික්මයාමට හේතු ඇයට කියන්නට තිබුණා නම්.... එකම පාරක් හෝ මගේ අම්මාට මා අතින් තේ එකක් හෝ සාදා දෙන්නට තිබුණා නම්....මේ හිතට මේ තරම් වදයක් නොවනු ඇත. එමෙන්ම මා එලෙස පිටමන් වී නොආවා නම් ඇය අදද ජිවත්වන්නට ඉඩ තිබුණා නොවෙද...?

නිමි.

දිනිති දීපිකා.


...බසයට යට වී පුතු මියගිය මවක‍ගෙ හදක්...

"ගඟ දෙගොඩින් කොක්කු ගියා
පුතු මාගේ  නිදියනවා"
කියා ඉතින් ඒ නැලෙවුව
සාවි දුකෙන් සඳ මඩලෙම....

සීත කදුළ කොඳ මලකට
හැඩ දැම්මා වැටෙන බරට
සඳ සිසිලස විඳි සාවුන්
අතැර ගියා සඳ උණුසුම....

සැදූ මගක මල් වියනක්
දමා නිදන පුතු අතගෙන....
හඩා දුකට පපුව බදා
පොළව සිඹියි පුතු ඉල්ලා...

ගසක මලක් වෙන් කෙරුවම
කිරි කදුලක් ගසෙන් වැටේ....
කිරි කල හත දොවා දුන්නු
ලැම ලසොවින් ගිනි ඇවිලේ...

මෙරක් සිහින හද රදවා
නමින් පුතා විජිත තනා....
කිරුළ ගෙනත් පළදන්නට
දෙනෙත් නොවෙද මඟ බැලුවේ...

මහලු දෙඅත් උඩ අහසට
දිගු කරමින් කියයි සොවම...
ගිනිබත් කල ඇගෙ සිහිනය
මවු ලැමැදක් පැලු බසයෙ......

Tuesday, February 14, 2012

පළමු පෙම්වතා නමට



ලඳු දෙවටි දිග දං පඳුරුවලට
කෑ ගසන බටිත්තෝ තාම එනවද....
ඒ ළගින් ගී ගයපු නුඹ හදට
මගේ හඩ තවමත් ඇසෙනවද....

සිලි සිලි නදින් හමාගෙන යන
නල තවම ඔබ විදිනවද....
සුළග යට ආදරෙන් ගුලිවෙච්ච
ඒ මතක තව මැවෙනවද....

ගම්මානෙ සුවඳ අතහැර මම
කොලොම්තොට දන්නවද...
එනවා කිවු ඔබ එයි කිය කියා
මග බලනවා දන්නවද.....

... දිනිති...

Thursday, February 9, 2012

*** මා මිතුරන්ට ***

පෙළ පෙළ පද සොඳම
කලතුරින් ම'සිත වෙහෙස
පිය ගඳ සිහිල් නල
රත් පියුම් මල් සිඹින.....


තුඩ තුඩ දන පවස
කියැටි අභිමත වු රසය
සිරි හස් දල පළඳනය
වැනි මිතු කැල ඔබය....


සුනිල් පැහැ වූ අඹර
සිසි උවන හදගැබ හොබන
සුවදැති සඳුන් දසතක විසිර
ජයමඟුල් හඬ සකි කැලය.....

*** සමාකරන් අප්පච්චී *** Part - 02

          

 අලුයම එක දිගට වදින ඔරලෝසුවේ හඩට විවර නොවු දෙනෙත් පොඩි කරමින් අවදි වන්නට මා උත්සහා ගත්තේය. කම්මැලි සිතුවිලි හද පොරකන විට ආයෙමත් පොරවනයේ හරි බරි ගැසී මම ගුලි වුයෙමි.
        .. කෝ රෝසමල නැකිටින්න... කියමින් මැණිකෙ නැන්දා මා යටිපතුල් කිති කැවුවේය. 

... බලන්න 10 ත් පහුවෙලා., හැමදාම කියනවා නේද මෙච්චර වෙලා නිදා ගන්න එපා කියලා, කෝ අහන එකක්යැ...

අම්මා නැති ගෙදර ඇය අම්මා වී මට සැර වැර කරයි... සේවිකාවක් වුවත් ඇයට සේවිකාවකට හිමි තැනට වඩා තැනක් .... රන්මුතු ... බංගලාවේ ඇයට හිමිය.

... දීග ගිය දවසක තේරෙයි....

          ඇය තවත් කියවයි.  අපොස සාමාන්‍ය පෙල ලියා නිවසේ නතර වූ දා සිට ඇය මේ දෙඩවිල්ල මතුරයි... මන්තරයක් සේ එක දිගට ජප කිරිල්ල මට පුරුද්දකට ගොස්ය. කොට්ටය අරන් කන් දෙක තද කරගෙන මම තවත් උන්ඩි වුයෙමි...

  ... අනේ ඇත්තමයි ගැහැණු ලමිස්සියෙක් හැදෙන හැටි... ලොකු හාමු තමා මේ හැමදේම කරන්නෙ....


   අවදි වෙනකම් ඇය මේ ගාථාව නතර කරන්නේ නැත... ඉදින් මම ඇද උඩ හිට ගත්තේය...

... මේන් මං නැකිට්ටා...දැන් හරිද....


පුරුදු විදිහටම සිනාවක් මුව දරාගෙන ඇය බලා හිදින්නේය. 

....වැටෙයි රෝස මල කෝ එන්න මුහුණ හෝදන්න යන්න.....

  ....මට බැහැ.....

එහෙම්ම ඇද උඩ වාඩි වී කිරි වීදුරුව බිවු මා ඇය වතත් සිපගෙන බාත් රූම් එකට වැදුනෙමි.

......... රෝස මල.....රෝස මල.............

ආයෙමත් මැණිකෙ නැන්දාගේ හඩ ඇසෙන්නේය. 

.... මං ගේම් එකක් ගහනෝ .....

එන්න පහලට බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියලා....

          මේ උදය වරුවේ රන්මුතු බංගලාවට එන්නට කිසිවෙක් නැත. ලොකු අයියා අප්පච්චි සමග ව්‍යාපාර කටයුතු වලට ගොස් ඇත.. දෙවෙනි අයියා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නවා ඇත... 
    හ්ම්... මද්දු මෙවරත් චූටි ලබන වරත් පිළිවෙලට උසස් පෙළ ලියනවා ඇත...

කවුරුන්ද ආවේ..... මා තවමත් කාමරය මැදට වී කල්පනා කරයි... ලොකු නැන්දා එන්න විදිහක් නැත. ඇය මේ දිනවල විදේශ ගතවී ඇත... 

පුරුද්දට වේගයෙන් පඩිපෙල දුවගෙන පහලට ගියෙමි...


... මගෙ මැණික...වැටෙයි...හෙමින් එන්න රත්තරන්........

 පුදුමයකි... අප්පච්චී සාලයේ සිට පුරුදු පරිදි හඩ තැලුවෙහිය. 

..මගෙ අප්පච්චී... කියමින් මම ඔහු වටා දෑත දමමින් වැළද ගත්තේය... 

  මට මෙතරම්ම සතුටක් දැනෙන්නේ හැමදාමත් මා අවදි වන්නටත් පෙර නිවසින් යන අප්පච්චී යලිත් මධ්‍යම රාත්‍රියත් පසු වී නිවසට එනවිට මා නින්දේ බැවිනි....


... ඔන්න මගෙ මැණික ලැහැස්ති වෙලා එන්නකො....

.... අප්පච්චී..කොහේ යන්නද....


....මං කිවුවනෙ එදා මැණිකට ආයෙ තනියක් පාලුවක් දැනෙන්න දෙන්නෙ නැහැ කියලා.....

       මගෙ අප්පච්චී... එදා මම දුර දුක නොසිතා කියු දේ ඔබට මේ තරම් දැනී ඇද්ද... රන්මුතු බංගලාවේ සියළු යස ඉසුරු ඔහු මට ලබා දෙන්නේය... මවක් ගැන මතකයක්වත් නැති මට මව්පිය සෙනෙහේ සමව දෙන්නට තරම් මුදු මොලොක් වූයේ කෙසේද...,? පියෙකුගේ හදවත විනිවිද දකින්නට නොහැකි වුවත් ඔහුගේ අපිරිමිත දාරක ස්නේහය ඒ ඇස් තුල දිලිසෙමින් තිබෙන බව මට පෙණිනි...


... අනේ අප්පච්චි මං නිකන් කිවුවෙ.....

.... මගෙ මැණික ගැන මම දන්නවා... කෝ එන්න ඇදුම් මාරු කරගෙන...

   හිතාගන්නට නොහැකි සිතුවිලි සමුදායක් කරලින්නාගෙන මා ඉහල මහලයට නැග කාමරයට වැදුනෙමි.

 ..... අප්පච්චී... මේන් මම ආවෝ.... 

 දිගු කල්පනාවක උන් අප්පච්චිගේ දැහැන් බිදිමින් ඔහු ඉදිරිපස ගවුම් සාය කරකවමින් කැරකුනෙමි...

ලස්සන කහපාට මල් තිබෙන මේ ගවුම අප්පච්චි පසුගිය සතියේ මට ගෙනත් දුන් එකක්ය....

.... මගෙ දූ හැඩයි....


  අප්ච්චිගේ දු හැඩ බව අප්පච්චි හරිම ආඩම්බරයෙන් හැමදාමත් දොඩවයි... ඒ විසල් පපුවට තුරුල් කරගනිමින් සෙනෙහස බෙදයි. 

... කෝ මැණිකෙ නැන්දට කියලා එන්න.....

අප්පච්චි එසේ කිවත්,

... මැණිකෙ නැන්දෙ මං යනෝ....
කියමින් කෑගසා මම අප්පච්චි අත එල්ලී වාහනය දෙසට ආවෙමි.


 තටු ලැබුණ කිරිල්ලිය සේ මම අප්පච්චී සමග වාහනයේ වටපිට බලමින් ගියෙමි... අද අප්පච්චී කිසිම කතාවක් නැත. මේ මුණිවත මට නුහුරුය. 


... කියන්නකො අප්පච්චි අපි කොහෙද යන්නෙ...?
 මම අප්පච්චි දෙස හැරි ඇසුවෙමි...

.... මගෙ මැණික අද ඉදන් අපිත් එක්ක වැඩ කරමු....


... අපෝ අප්පච්චි එච්චර ලොකු වැඩ මට කරන්න බැහැ...


... මැණිකට අපි ඉන්නවනෙ...


...මට බැහැ අප්පච්චි. මම ගෙදර තනියම ඉන්නවා කිවුවට සමාවෙන්න.. මට නම් බැහැ අප්පච්චි...


.... මේ හැමදේම මැණිකටත් අයිතියි.. ලොකු කෙනෙක් විදිහට දකින්න අකමැති නිසයි මැණිකව ගෙදර තිබුබෙ....


මගෙ අප්පච්චි..ඔබ වරදක් කර නැත. මෙතරම් සංවේචිව දොඩන්නට තරම්. මා හිතට ආපු දේ කියෙවුවාට මේ රෝස මල අප්පච්චිගේ අයියලාගේ එකම සම්පත බව දන්නේය. 


ආයතනය ඉදිරිපිටින් වාහනය නවත්තන තුරුත් නිසොල්මනේ ආ මා වාහනයේ දොර අරින්නට මැලි වෙද්දී, එකපාරටම ලොකු ඇවිදින් දොර විවර කර...


... ‍රෝස මල.... කියමින් මා දෑත ගන්නට හැදුවෙමි. කදුලු පුරවාගත් නෙතින් මම ලොකු දෙස බැලුවෙමි.


... කෝ කෝ රෝස මලට කදුලු පුරුදු කරන්න බැහැ...එන්න යන්න...


කියමින් ලොකු අයියා අතින් අල්ලාගෙන ... සඳකිරණි... ඇගලුම් ආයතනය ඇතුලු වුයෙමි...


එක දිගට ඇසෙන මැෂින් ශබ්ද පසු කරමින් කාර්යාල කාමරයට යාමට ඇත.


එහෙත් අතරමැද ඈතින් පිරිමි රුවක ඡායාවක් මට පෙනුණි.
දෑස් උස්සා බලන්නට බැරි කමට මගේ වමත අල්ලාගෙන යන ලොකු අයියාගේ පසු පස මම ඇවිද ගියෙමි.


සත්මහලක සුව දුන්නා
දිවිගමනේ හැමදා..
සතර වරම් දෙවි පිහිටයි
අප්පච්චී රුකදේවා..


සිත් මඩලට සුව කැන්දා
අප්පච්චී ළග වුන්නා...
සඳ මඩලක සුව දැනුනා
අප්පච්චි ළග ඇතිදා...


විසල් පොළවෙ මහ ගස්වැල්
අප්පච්චී පණ දුන්නා..
එවන් ගසක් දෙස බලමින්
නිහඩව වතම රන්දා.....





Sunday, February 5, 2012

*** සොදුර මේ නුඹ නමට ***

කටු ඇනුණා
වගෙම හිත
නොරිදෙනවා නෙමෙයි මට.....

වැර දෙන්න
ළග ඉදන්
බැරි එකයි තියෙන දුක...

පසුපසින් සෙවනැල්ල 
මමයි
නුඹෙ හැමදාම පෙරසේම....

වැට බැදන් සිත
පතුලෙ
සඟවපන් මා හුරුසේම...

දිරි අරන් පණ
දියන්
හෙට ලොවේ සුදු සිහිනෙ....

මල් පිපෙන දවසකට
මතු
සත්තමයි මම යනවා දුර ඈත....


*** අප්පච්චී ***

ගිනි ගන්න ඉර මද්දහනෙ
දැවි දැවී යන අපුරුව හිත
රිදි රිදී දුක පිරෙන අන්දම
සැගෙවුවා ඇස මලක් අද්දර.....


සළු පිලි ඇදන් නිල්ල නිලෙ හැඩ
වෙලා උන්නත් නිල් ගොයම් ටික
ඇවිළිලා පරඩැල් වෙච්ච විට
ඉරිතැළුණු කම්මුල් පිරිමදියි නිති...........


හිනැහිලා හසමල් ගෙනා ඇලවේලි
පරවෙලා පෙති සිඹින විට මිහිකත
සනසලා හිස අත ගගා ළග හිද
පණපොවා දෙයි සිත් විල මැදම....


පැසව පැසවා සැරව එන වණයක්
වගෙම දුක පලිදරන් හිටියත් වෙලී
අලුත පීදෙන කුඹුරු යායක් වගෙ
නම නොලිවු පදවැලක් අප්පච්චී........


Saturday, February 4, 2012

.....නිදහස් දා මට හිතෙන දේ.....

                                     
                         
                         *** පින්බර මව්බිමේ සුළගත් සුවද දේ ***


            හැමෝම අහන්නෙ ඇයි නිදහස ගැන සිතුවිල්ලක්..නිසදැසක් කවියක් නොලිවුවෙ කියලා...

 හ්ම්....ඒකට දෙන්න ඕනි උත්තරේද....

ලියන්න මට හිතුනෙ නැහැ කියන්න බැහැනෙ ඉතින්...ලියන එක මගෙ හුස්ම පොද වගේ....


ඒත් පුද්ගලිකව මම ලියන්න උනන්දු වුනේ නැහැ..කැමති වුනේ නැහැ... 

ඒ ඇයි දන්නවද..

ඉස්සර මගේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මේ කියන හැම ජනයම එකට ජිවත්වුනේ...

 එකට හුස්ම ගත්තෙ...

මගේ රටට  එළාර..මාඝ..වැනි සතුරු ආක්‍රමණ ආවහම එකම ශ්‍රිලාංකිකයො විදිහට ඒවට මුහුණ දුන්නෙ... 

එපමණක් නොවෙයි නේද...

සොබාදහමින් ලැබුණ සුනාමිය වගේ දුක් කරදර වලදීත් අපි හැමෝම එකට අත්වැල් බැදගත්තා නේද....

එදා වගේම අදත් එකම ජාතික කොඩියක නේද අපි ඉන්නෙ...

පුරා අවුරුදු 30 ක සාපලත් යුද්ධයත් නිමා වෙලා කොයිතරම් ලස්සන රටක් අපිට ආයෙමත් උරුම වෙලාද...

එදා යුද්ධයට දස දහස් ගණනින් රණවි‍රැවො ජිවිත දන් දිලා නේද අපේ මව්බිම රැකගත්තෙ...අතීතෙත් එහෙම නේද...

ඒත් අද අපේ මිනිස්සු ආයෙමත් එක එක දේ පස්සෙ ගිහින් භේද බින්න වෙනවා....

ආගම්..ජාති..වශයෙන් ආයෙමත් බුර බුරා නග්ගන්න හදන ගිනිදැල් නොදකිනවා නොඇසෙනවා නෙමෙයි මටත්...

ඒත් ඒ සෑම දෙයක් දිහාම මම දරණ මතය වෙනස්ම වු දෙයක්....

ඒ නිසයි පුරුදු විදිහට මගේ නිහඩබව...

            මගේ රට ඉන්දියන් සයුරේ මුතු ඇටය වුයේය... පෙරදිග ධාන්‍යාගාරය වූයේය... එදා සියළු ජාතීන් එක්ව මගේ මව්බිම අස්වැද්දුවේය....අහස සිඹින වෙහෙර විහාර තැණුවේය... සමුදුර පරදන වැව්දිය තැණුවේය... ඒ සැබෑ ශ්‍රිලංකිකයා අදද අප ළග සිටින්නේය..වෙනස අද අපි නොමැරෙන්න ආ උන් ලෙස හැසිරීමය....

     අපි හැමෝම මැරෙන්නට ඉපදුනු මිනිස්සු.... නොමැරෙන්න ආ කවුරුත් නැහැ නේද... ජීවත්ව ඉන්නා කාලයේදී කරන හොද නරක එහෙමත් නැත්නම් කුසල අකුසල දෑතේ ගුලිකර ගෙන මැරෙණදාට අරන් යන්නෙ... ඉදින් නොමැරෙන්න ආ ලෙස ජිවත්වන්නට වැර වෑයම් ගන්නේ කිමද...


       වෛරය වපුරා..ද්වේෂය වපුරා ලබාගන්නට දෙයක් නැහැ.... සිරිලක් මෑණියන්ට ඇයගේ කොයි දරුවත් දරුවාය... ඒ සිරුරුවල දුවන්නේ රතුපාට ලේමයි.... ඉදින් සිරිලක් මෑනියන්ව රැක ගැනීම ඇගේම දුවා දරුවන්ට බාරයි නේද......




             දන්නවද මගේ රටෙන් ගවුගානක් ඈත ඈත ඉන්න මට මගේ රටේ වටිනාකම කියන්න බැහැ..

මව්බිම පැත්තෙන් හමාගෙන එන සුළං පොදටත් මම ආදරෙයි මහ හුගක්...

මේ නොරටුන් මැද්දෙ ඉන්නකොට...මේ රටවල ස්වේදිශිකයන්ගෙන් ලැබෙන මදි පුංචිකම් දැනෙනකොට මගෙ රටේ හිගා කන එකත් සැපයි කියලා නොහිතෙනවා නෙමෙයි...

      කොයිතරම් වටින රත්තරන් පොළවක්ද මගේ රට...

මුතු මැණික් මිනිරන් පිරුණු පුන්‍යවන්ත බිමක් නේද මගේ රට..... 

ඒත් අද ඔබ ඒ පින්බිම ගැන කොහොමද හිතන්නෙ...

පක්ෂ පාට ජාති ආගම් වලට මුලාවෙලා කේසර තේජසක උරුමයක් හංගන්න හදනවා නේද.....


අතීතයේ වගේ ....එක මවකගෙ දරු කැල බැවිනා...යමු යමු වී නොපමා.....

 ඒ කොයිම වුනත් වචනයට සිමා වෙච්ච නිදහසක් භුක්ති විදින අපට

....සියොතුන් රෑනක් සේ ඉගිලෙන දිනක් ඔබට ලැබේවායි මගේ පැතුම... 



මේ මගේ රට ගැන මම ලිවුව ගීතයක්
http://www.facebook.com/photo.php?v=301518359896104

http://www.youtube.com/watch?v=Dva-9ynoalk&feature=youtu.be&fb_source=message 






 

Friday, February 3, 2012

*** අඹ ගසක කතාවක් ***

මොනවද මුත්තේ බිම හාරන්නේ.....
ඇඹ ඇටයක් නොවැ හිටවන්නේ....

අල්ලපු වත්තට මායිම වෙන්නේ....
මෙහා වත්තටත් ලෙංගතු වන්නේ.....

පුංචි දවස්වල සෙල්ලම් ගේනේ....
දිමියන් එක්කලා නෑගම් යන්නේ....

අඹකොල තොප්පිය හිස දැවටෙන්නේ.....
ගැට කඩමින් ලුණු පොගවන්නේ...

කැකුලු පැටවු නෑ සීමා දන්නේ....
දෙපසක දරුවන් සෙනේ විදින්නේ...

දවසින් දවසට යෞවන වෙන්නේ....
වැඩිහිටි සිත්වල ලොබ ඇතිවන්නේ.....

නඩු හබ කියමින් ගස පෙරලන්නේ
කදුලක් වැටුනත් ගස සමුගන්නේ....

පත්තිනි දෙවියන් උපන් කියන්නේ
බැල්මෙන් නැහැ හෙලා බලන්නේ......

සමගිය සාමය වැපිරුව අස්වැන්නේ
කෙලෙසෙද ඒ ලෙසෙ හැංගෙන්නේ....

කුහක වෛරයට ගස බිලිදුන්නේ
කවුරුදු ආයෙත් ගස් සිටවන්නේ....

Thursday, February 2, 2012

*** නියමුවානෙණි ***

චණ්ඩ රල හා ඔට්ටු කරමින්
නොපෙනෙනා තොටමුණට පදවන්න
ප්‍රදීපාගාරයක දිලෙන එළියක්
සොය සොයා තනිව වෙහෙසව
නවුකාව ගෙන නුඹ නියමුවානෙණි......


ඝන මේඝවලා කරයි තරවටු
ඉන්ද්‍රචාපය වසා ගෙන යයි
සමුදුර ලමැද ගිනිගෙන දැවෙයි
උදම් රල වෙස්වලා රඟදෙයි
දිරි අරන් පැදයන්න නියමුවානෙණි....

දිනක් එයි විලිබරව ලජ්ජාවෙන්ම
හැකිළිලා යන්නට රල පෙරලට
සිනාසී හදවතින් තොටමුණ දකින
කිත් කිරුළ ජය පැනින් නැහැවෙන
හෙටක් එනතුරු පැදයන්න නියමුවනෙණි...........


..... දිනිති .....

*** ඇය වෛශ්‍යාවක්ලු ***

වත්සුණු පාට සායම්
උලාගෙන මුව කමල
සරසවන් දෙව්ලියන්
පරදවන් රැයේ තනියට
මග තොටින් එබෙන්නේ....

ඒ වුනත් පුසුඹ ගැන
සිතුවෙ නැහැ කිසිම
අත්තික්කා මල් වගේ
කරදාසි මලෙ රුව
විතරමයි ගැවසුනේ...

වංගුවෙන් හැරෙනවිට
නියොන් එළියට දිලෙන
නාදල්ලෙ පාට ගෑවුන
තොල් සගල සොලවමින්
මිලක් දෙන්නට වෙහෙසුනේ.........

නා කියා ගෙට ආපු දාකට
සුදන වෙන සළෙල වුන්
පිස දමා දැලි කුණු ඉතින්
කරයි අත දිගු ඇයට නෙක
නිගා කරමින් හැමදිනේ....

බුදුන් සිටි කල අම්බපාලිය
නොවුනමුත් වෙන්න බැහැ
මග්දලාවේ මරියා කොයිම
පටාචාරාවක්ද නුඹත් අද
කිසාගෝතමියක්ද සිතුනේ.....


*** එනවාද දුයිෂෙන් ***

තවත් බැහැ මට
බලා ඉන්නට
අනේ වියපත් වෙලා
වසත්කල හොදටම...

හිස් අතින් මම
යනු කෝම
සීත සෘතුවත් අලසව
ගෙවී යනවිට....

කදු මුදුන් ගස්
කොලන් යට
දියවෙලා යයි හිම
ටික ටිකෙන්....

එනවාද නුඹ අද
හෙටක දුයිෂෙන්
කැලෑමල් සුවඳවත් අරගෙන
මගෙ සිතට............

Wednesday, February 1, 2012

කියා යනු මැන

රෝස දම් රතු පැහැ පලස් අතුරා
බිම දිගේ....
නීල නෙත් හොරා ගෙන මල් වියන්
බැදි ගසේ....
හීන නම් තව දුර වුනත් වසත්
කල මගේ.....
ආයෙ ඇවිදින් යන්න එනවද ඔබ
සකුරා මලේ......

දිගටි සිනහව ඇස් පොඩි කරන් සැලුවෙ
පෙර දිනේ....
සිගිති සිහිනෙක සිත තියෙන පොඩි ලමෝ
අපි වුනේ....
හැපෙන සියොළගම වෙලි වෙලී තියෙන
සුවඳක් වුනේ....
මතක මංපෙතෙ එකම පාරක් ඇවිත් යනවද
සකුරා මලේ....

සකේ බොනවා මම පාලු අතරට ඔබ
මතකය පුරා....
මගේ හිත ගත් මල ඔබම මගෙ
පණ සමකරා.....
සිතේ තරහක් නැහැ කිසිම දින සෙනේ
හදවත පුරා.....
එකම පාරක් කියා යනවද මගෙම නුඹ
අනේ සයොනාරා......


*** මම තවම කවි ලියනවා ***

කොල හැලුණු ඇහැල ගහ යට
මම බලන් ඉන්නවා
අද නැතත් මල් පිපී කහපාට
හිනැහෙතැයි හෙට සිතනවා....

මතක හසරැලි අරන් සිත මතට
තවම නල හමනවා
නුඹ නැතත් ඇහැල ගහ යට
මම තවම ඉන්නවා...

කෙහෙරැල්ලෙ නුඹ සගවාපු ඇහැල
මල් පෙත්ත අඬනවා
ඇහැල ගස ළගින් නුඹෙ සුවඳ
මට හොඳට දැනෙනවා.....

සිල් අරන් වගේ ඇහැල ගහ
නිහඩවම ඔහෙ ඉන්නවා
ඇහැල ගස යට ඉදන් මම
නුඹට කවි ලියනවා.........