Friday, May 4, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 04

     රැය පුරා නින්දත් සොරා ගන්නට සිහින ඔබ ඇවිත් තියෙන හැටි...මේ බොර පාට පිරිමි ඇස් දෙක මායාකාරීව මා සිත කීරි ගස්වා යන්නේ නොවෙද... සංසාර මංපෙතේ හිත පුරා ආල බැඳි බවක්වත් තිබෙන්නේද..?
 ආදරණීය සිහින...මේ චිත්තාවලියට පන දෙන්නට මට බැරිය. එහෙත් ජීවන ගීතයේ නොදන්නා තනුවක් ගැයෙන බව නම් මා හොදාකාරවම දන්න්නෙමි..නමුදු මුල මැද අග මට පටලැවිලි සහගතය.....


නන්නත්තාර සිතුවිලි වලින් ඇදේ එහා පසටත් මෙහා පසටත් පෙරලි පෙරලි මුළු රාත්‍රියම ගත කල මම අලුයම මුහුණ සෝදා ඇදුම් ඇදගෙන පහලට බැස්සේය....

Good Morning රෝස මල.......


අප්පච්චී සාලයේ ලොකු පුටුවේ වාඩිවී උදෑසන තේ එකත් බොන ගමන් අතැති පත්තරයෙන් නෙත් ඔසවා කීවේය.

Good morning අප්පච්චී.....

මා එසේ කියා අප්පච්චී නළලත සිම්ඹේය...

අද රෝස මල උදේම අවදි වුනේ...හිතට ඇල්ලුවද ෆැක්ට්‍රි එක....

විශේෂයක් නැහැ අප්පච්චි.. මං එලාම් එක තියලා අවදි වුනේ...

      
     දෙවියන් බුදුන් වඩින උදෑසන වුවද මා හා හා පුරා කියා අප්පච්චීට බොරුවක් කීවේය. අප්පච්චීගේ එකම දෝණිය නිමක් නැති සිතුවිලි ගොඩක රංගනයේ යෙදෙන බව නම් අප්පච්චී නොදන්නවා ඇත. දැනක් ඇස් ඉදිරිපිට දඟපා ගිය ඒ හිතුවක්කාර පිරිමි ඇස් දෙක සොය සොයා යන්නියක් බව අප්පච්චීට කෙසේ නම් කියන්නද...රන්මුතු සඳකිරණී වික්‍රමසිංහ නම් මා උමතු හීනයක ..සිහින..නම් සිහිනයක් දකිමින් හිදී.

කෝ..රෝසමල තේ බොන්නෙ නැද්ද...?

අප්පච්චී ගාව තවමත් හිටගෙන බව මතක් වුයේ එවිටය මට. තරමක් ලැජ්ජාවක් මතු නොවුනා කියන්නටම මට බැරිය. 

මේ බොන්න ඕනි අප්පච්චි. රස්නෙ නිසා ඉදියෙ...

අරන් එන්න මැණික මම නිවලා දෙන්නම්...

  මගෙ අප්පච්චී...නොදත් අම්මා ගේ සියල් වගකීම්ද ගෙන ඔබ තවමත් කිරි දරුවෙක් සේ මා රැකබලා ගනිමින් පිය සෙනෙහසින් ආදරයෙන් උණුසුම් කර තවන්නේය...තව තවා ජිවිතය ළග යෝධයකු සේ සිටින්නේය....

මෙන්න උදේ පාන්දර අලි බබ්බුන්ට කිරි පොවනෝ.....

චූටිගේ කටේ සද්දය පඩිපෙල දිගෙන් ඇසුණි..

නංගිට ඔහොමද චූටි කියන්නෙ ...අහ්...

අප්පච්චි රෝස මල හුරතල් කරාම හරිද..මේ අපිට මොකද වෙන්නෙ..

කට කොනකින් සිනාසුනු අප්පච්චි ඇස් වලින් චුටි අයියා හා කතාකරන බව මම දුටිමි.

මේ සෙනේවන්ත ආදරය ලබන මා අයියලා ළග අප්පච්චී ළග මා හුරතල් නොවී නම් කොහොමද...
____________________________________________________

 එක පාරටම මේසය මත තිබුණ දුරකථනය නාද දෙන්නට විය. 
හලෝ...

මැඩම්..  section 4 වල Line 2 එකේ ලමයෙක්ට සනීප නැතිවෙලා..

මේ එම අංශයේ වැඩ බලන පාලිකාවක් වන්නට ඇත. අප්පච්චීට අයියාට නොකියා මටම කතා කලේ ඇයි.. කුමක් පිළිතුර ලෙස දෙන්නද කියා සිතා ගන්නට බැරිව මා ගොලුවිය.

ඉන්න මම එන්නම්...

නැහැ මැඩම්. මම මේ කිවුවෙ ඒ ළමයව බෙහෙත් ගේන්න යවන්නද කියලා අවසර ගන්න..

නැහැ ඉන්න කෝකටත් මං එන්නම්...

එසේ කියා රිසිවරය තැබූ මා හට දැන් තිබෙන්නේ එය කොයිතරම් දුරට හරිද වැරදිද කියා සිතන එකය. එමෙන්ම ලොකු අයියාගෙන් හෝ අප්පච්චීගෙන් නොඅසාම මා එතෙන්ට යන්නට සිතා කාමරය ඇර එළියට ආවේය.

එක දිගට හෝ සද්දයට මැෂින්වල වැඩ කරන සේවක සේවිකාවන් හිස බිමට නැඹුරුකරගෙන තම තම රාජකාරි වලය. මා නුහුරු වුවත් උඩ ගසා ඇති පුවර බලමින් අවශ්‍ය තැනට ලගාවිය.

අදහන්න...මේ මගේ නම් දෛවයම නොවන්නේද...අර කතාකරන ඇස් දෙක මලානික වී පියවි නොපියවී හිස අමාරුවෙන් කෙලින් කරගෙන සිටී.

මැඩම් මේ අසනීප කෙනා. චලන.

ච...ල...න....

මොහු චලන වෙන්නේ කෙසේද...මේ සිහිනය. ලෙඩ දෑස ඇර මා දෙස බැලුවත් ඔහු අඩුම තරමින් සිනහවක්වත් නොවු‍යේය.

යමු බෙහෙත් ගේන්න..එක්ක එන්න.. වාහනේ ළගට...

හොදයි මැඩම්..

කියා කියනවා ඇසුනාට එය ඇසීමටවත් මා එතන රැදී නොසිටියේය. මා අප්පච්චීගේ කාර්යාලයට හිස පෙවුවිට අප්පච්චී දොරට පිටුපා දුරකථනය කන තබාගෙන සිටියේය.

එහෙමම හැරී ලොකු අයියාගේ කාමරයට ඇතුල්වන විට..

රෝසමල....

කියා ලොකු අයියා පුටුවෙන් නැකිට්ටේය.

ලොකු අයියෙ ලමයෙක් අසනීපවෙලා. එයාට බෙහෙත් ටිකක් අරන් දෙන්න වෙයි....

ඒකට ස්ටාෆ් එකේ කෙනෙක් එක්ක කම්පැනියෙ වාහනයක් යවන්න...

මං ලොකු අයියගෙ කාර් එක අරන් යන්නද...

පිස්සුද රෝසමල ඔයාට...

අනේ ලොකු අයියෙ..අප්පච්චිට කියන්න එපා...මාත් ආසයි....

‍බැහැ...බැහැ...හදිසියෙ මොනවහරි වුනොත්...

බයවෙන්න එපා ලොකු අයියෙ..මං ගිහින් එන්නම්...කෝ යතුර දෙන්නකො...

රෝස මල ඉන්න මාත් එන්නම්....

අනේ ලොකු අයියෙ......

මං ගිහින් එන්නම් අයියෙ..බයවෙන්න එපා...

එසේ කියන ගමන් මා ලොකු අයියාගේ මේසය මත තිබු යතුර කැරැල්ල අතට ගෙන...

ටක්ගාලා එන්නම් ලොකු අයියෙ...

අප්පච්චි දැන ගත්තොත් හොදටම බනියි....

ඔයා කියන්න එපා...මං ඉක්මනට එන්නම්..බායි....

අඩියට දෙකට වාහනය තියෙන තැනට යනවිටත් ඔවුන් පැමිණ තිබුණේය. මේ මා තනිවම වාහනය ගෙන යන පළමු අවස්ථාවය. අප්පච්චී රියදුරු පාසලට යවා මට ලයිසන් අරන් දී තුබුණත් කවමදාවත් නිවසෙන් පිට වාහනයක් රැගෙන ගොස් නැත. නිවසේ සියල්ලන්ටම වාහන තිබුණත් මටම පමනක් නොතිබුණි.
   ලොකු අයියාගේ කාරය ධාවනය කරමින් ළගම පුද්ගලික රෝහලට මා ඔහු රැගෙන ගියේය. අංශ පාලිකාවගේ විමසිලිමත් නෙත් නොදුටුවා නොවේ මම.  ඒත්...

      මේ මුලු රාත්‍රිය පුරාම මා නිදි වර්ජිත කරමින් සක්මනේ යන රුවයි. ඒ කතා කරන ඇස් දෙකයි. කෙසේ නම් මා අවනත නොවී යන්නද මා සිතැගි වලට.....

____________________________________________________

     පුරුදු පරිදි මගේ කාමරයේ ඇද මතට වැටී කලුවර රැය යටක හිද ඇස් පියා ගත්තේය...

සිහින ..නුඹ කෙසේ නම් චලන වන්නේද...

අංක 23/2 
අභයාරාම පාර 
නාරාහේන්පිට.

මේ ඔහු පදිංචි ලිපිනයයි. මට කට පාඩම් සිටියේය.

     සිහින....මේ පෙලන හැගීම් ගැන කියන්නට ඇවැසියි මට ඔබට. එහෙත් ඔබ නන්නාදුනන අයකු ලෙස හිදියි. මා කෙසේ නම් පිළිගන්නද සිහින... එදා හිතුවක්කාරෙට රෝසමල කියා මගේ ස්විටරය ගෙනත් දුන් නුඹේ ඇස් මට අමතක නොවේ... එහෙත් ඔබ මෙලෙස මා පෙලන්නේ ඇයි....

පරිස්සමෙන් මා ආ නිසා ලොකු අයියා අප්පච්චීට කිසිවක් නොකියා තිබුනේය. නිවසේ සියළු විදුලි පහන් නිවා ඇත. හැමදෙනාම නිදි සුව විදිනු ඇත. එහෙත්...මාත් මගේ සිතුවිලිත් යුධ වදිමින් අවදිව ඇත. ටක් ටක් ගාන හොරා කටුව නිහඩතාවය බින්දත් මගේ සිත එයට වඩා කෑගසා සිහින නමින් නේක සිහින ගොතමි...සිතුවිල්ලෙන් සිතුවිල්ලට බැදී ඔහු මට නොතේරෙන මේ පටලැවිල්ල ළග රඟති. 

සිහින....අමතකද මම ඔයාගෙ රෝස මල කියලා....ඇයි දැන් මා නන්නාදුන්නියක් කර හිදින්නේ....

වැටෙන කදුළක රැදුන සිහිනය
ගඟක් වී ගලනා දිනක් එයි නම්
එවන් කදුළක් නොවෙයි සිය
දහස් කදුළැලි සලන්නම්.....

දැනෙන ගින්දර පපු මතක ඇති
සිසිල් සුළගක් වී හමයි නම්
එවන් ගින්දර කොයිතරම් සැර
තියා ගන්නම් සිසිලක් පතා....

හෙලන සුසුමක බරැති සොව
සැනසුමක් වී ලැබෙයි නම්
එවන් සුසුමන් කොයිතරම් වුව
දරා ගන්නම් හසරැල් පතා......

 

***දිනිති***
04/05/2012


_________මතු සම්බන්ධයි__________ 

6 comments:

  1. මම මේ කතාවේ මුල ටික කියවලා නෑ. ඒ නිසා කතාව තේරුම් ගන්න ටිකක් විතර අමාරුයි. :(

    ReplyDelete
    Replies
    1. ඉඩ තියෙන වෙලාවක කියවන්නකො මධුරංග...‍ඒ කොටස් 3 ත් තියෙනවා..මම හුගක් පරක්කු වෙලා දාන නිසා කට්ටියට කතාව අමතක වෙනවා.... :-(
      ආයෙ නම් ඒ වැඩේ කරන්නෙ නැහැ..ඉක්මනට දානවා.

      Delete
  2. මම මේ කොටස කියවලා කල්පනා කළේ ඇයි දිනිති නවකතාවක් ලින්නෙ නැත්තේ කියලා. මේ කතාව තුළ භාෂා රිති, භාෂා ප්‍රයෝග ලස්සනට අනුගමනය කරල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ අයියෙ හිතට එන දන්න අකුරු ගැගහලා වචන එකතු කරලා ලියන මගෙ සිතුවිලි තමයි මේ...මේවා කියවලා අයියලා කියන මෙහෙම දිරිය වදන් වලින් මට තව තව අකුරු ගැට ගහන්න ආස හිතෙනවා...

      බොහොම ස්තුතියි අයියෙ.

      Delete
  3. මං වැඩියත්ම ආසා ඔයා කතාවට යටින් ලියන කවිය කියවන්නයි.අද කවිය හරි ස්වීට් අක්කියෝ.ඉක්මණට ඊළග කොටස දෙන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දානව මගෙ නංගියෙ..පරක්කු කරන්නෙ නැහැ. පරක්කු කලහම ඔයාලට කතාවත් මතක නැති වෙනවා....

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....