Sunday, August 30, 2015

ලණු ඇඳයි - තාත්තයි


පෝය දවසට හඳත් ආවම පරණ ලණු ඇද හඬනවා
කාට කාටත් නොමැති දුකකින් පපුව රිදෙනව කියනවා
බලා ඉන්නට බැරිව හඳ දෙස විදුලි එළි ගැන අහනවා
කොහේවත් සඟවන්න බැරි දුක් කන්ද ඇඳ උඩ තියෙනවා



එකින් එක කොටු තුළට පුරවා ලණු ඇදේ හැඩ පෙනෙනවා
දිනෙන් දිනයට වාරු නැති හිත කියපු කව් ගී දන්නවා
පොතින් පත නැති දැනුම් සයුරක් ඇදේ සැතපී සිටිනවා
ලොවින් උත්තම පදවි අරගෙන පියෙක් තනියම නිදනවා

පාලු මකනට රෑට තරුවැල් ඇවිත් දුක සැප අහනවා
බාල කෙලි ඇස් කරකවාලා බලන හැටි එහි හැදෙනවා
තාර කළුවෙන අමාවක දා හීන් සීපද ගැයෙනවා
රෑට සීතල එද්දි බීඩිය උණුහුමක් ළඟ තියනවා

කාටවත් නැති සේද ඇතිරිලි ලණු ඇදේ සුව සදනවා
ලෝබයක් නැති දරු සෙනේ පපු මැදින් උඩහට දුවනවා
ප්‍රේමයක් නැති යුඟ දිවියෙ දැන් සොලොස් වසරත් පිරෙනවා
පාදමක් නැති ගෙයක් වාගේ බිරිඳ ගිය හැටි හිතනවා

සෙමක් හිරවුණ බවක් කියමින් ඉකිලුමත් සිර කරනවා
පවක් කරනැති බවක් වූවත් උරුම කරුමෙයි කියනවා
දතක් සෙලවෙන විටදි ඇතිවන හැඟුම් එලෙසම විඳිනවා
පියෙක් තනියම දරුවො නලවන අයුරු ලණු ඇද දන්නවා

ගින්දරක් හද ඇතුළෙ සිරකර නොහිම් දරු පෙම බෙදනවා
බුදුබවක් නැති දිඟු මඟක් එළි පෙහෙළි කරමින් සිටිනවා
කප්පරක් දුක් නොවිද සසරින් එතෙර වෙනු ඈ පතනවා
කරඬුවක් නැති ඇත් රජෙක් අද ලණු ඇදෙන් සිරි බලනවා

3 comments:

  1. මං හිට්නාන්නේ දිවුල්ගේනේ ගේ අප්පච්චි සින්දුවට පස්සේ අහපු හොඳම පිය ගුණ කවිය

    ReplyDelete
  2. අනේ මන්දා මේ නිර්මාණ වලට කොහොම වචනයක් ලියන්න ද කියලා... හරිම අගෙයි.. තාම හිත අඩනවා... මොනවා තිබුණත් දැන්ම තාත්තට කෝල් ඒකක් දෙනවා... වෙන වචන මොකට ද???

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...