Saturday, August 1, 2015

අන්දරේ තවමත් හිනාවෙනවා ඇති


කටින් කට පතලව ගිය නමක්, වේද රජුවෙත කන්ද උඩරට 
මැතින් ඇමතින් සිනා ගන්වා තමා වෙත හරවාවි බැල්මට 
ඉහින් කණ්වල රක්ත වර්ණෙන් නිති රජුගෙ උවනත පිරෙනකොට 
ඇසින් ඉඟිකර සිනා කවියක් කියන ඔහු  නමය අන්දරයට

දකුණු ලක් රට කිරලවැල්ලේ දෙපොලකම ඔහු උපන් කිවුවට 

පුරුදු වයසට අකුරු දැනගනු පිනිස යැවුවලු ගැටමාන්නෙට 
හොරෙන් පැනලා ගෙදර ඇවිදින් ගුටිත් කාලා වැස්සෙ තිබ්බට
අම්ම අප්පට දුක හිතෙන්නට කවිය කිවුවලු බොහොම සද්දෙට

කුඩා කල සිට අලස ගති ඇති අන්දරේ හට පිය පස විසින්
කියා පාඩම් කරව ගන්නට බුද්ධ ගජ්ජය බැරි වුනි රිසින්
දමා අතහැර නොතිබ්බත් ඔහු මුඛරි හිටිවන කවි කිවු ඇසින් 
හඬා වැලපෙන අයත් යහමින් සිට තළයි අත්පුඩි එක ලෙසින් 

”සද්ද විද්ද පළඟ පතිර” නාමවලින් පිදුම් ලබා 
කන්ද උඩින් පහතරටට ගියෙ දවසක් ඔහු හේබා 
වස්ත්‍ර භරණ රජුන් ලෙසින් සැරසී සිටියට සෝබා
අන්ත්‍ර වෙලා ගිහින් අතරමඟදි හිටිවන කවි බඹා 

කරගම්ආර වැව් මත්තේ එක කොනක සිට 
කරනම් ගැසූ විලසට ඔහු ඇත පිළිරුවට 
සියඹල පලු වීර ගස් යට සුව විඳිනකොට
තවමත් සිනා යනවා ඇති අන්දරේ හට

ප. ලි. 
අන්දරේගෙ සොහොන උඩට වෙලා නෙළුම් ඇට කකා සියඹලා කරල් කකා අතීතයේ දවසක් සිටි අන්දම හඳිසියේ සිහිවීමෙන් පසු ඔහු ගැන උපන් සතුටට ලියූවකි. 


( ඡායාරූපය අන්තර්ජාලයෙනි )



2 comments:

  1. අන්දරේගේ සොහොන මං තාම දැකලා නෑනේ

    ReplyDelete
  2. කවියත් අගෙයි.... විස්තර ටිකත් අගෙයි.. මේ පැත්තේ ගියායෑ.......

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....