Tuesday, September 6, 2016

හෙටයි හොඳ කුසුම්

කළුවෙච්ච අත් දෙකට කරගැටත් රවනවා
ගැලවිච්ච තැන් වලින් බඩ වියත පිරෙනවා
ඇඹරිච්ච නණ එක්ක අතැගිලිත් රිදෙනවා
තැම්බිච්ච අව්වටත් දැන් වෙහෙස දැනෙනවා

බාටා කඩයක් ළඟ පියැස්සක ඉඩෙ නැවතිලා
බාධා වෙන්නට එපා,යන හඬ එයි කැරකිලා
කාට කාටත් බයාදුවෙ සිනහවක් දල්වලා
පාට පාටින් සපත්තුත්, කුඩ හදමි පේවිලා

හයි හීල්ස් දාපු කණ්ණඩිය කළුම කළු නෝනගේ
දෙයියොවත් දන්නෙ නැහැ කොච්චි පරදින සැර ඇගේ
හයිය හත්තිය තියෙන ලොකු උන්ගෙ පුරාජේරුව තොගේ
ඉරුණු ගැලවුන තැන් මැහැහුවත් බැහැ උන් හරි රගේ

ලයිට් බිල් වතුර බිල් අතර, කෙල්ල ගවුමක් ඉල්ලලා
ෆයිට් කර කර ඇඟිලි තුඩු යයි ඉතා වේගෙන් වෙව්ලලා
රයිට් කියමින් දිවුවා මතකයි ජීවිතේ දුර හති හළ හළා
බයිට් ඩිංගක රහ බලන්නත් බැරි තරම් හිත බරවෙලා

ලෝක ධර්මය වගේ පාටින් තියෙන කුඩයක් ඉහළලා
සෝක වෙන අඩි නැති සෙරෙප්පුවෙ කඳුළු පිහිමින් හැඩකලා
කෝක කිවුවත් පැත්ත මාරුව තියෙන රටකම ගල්වෙලා
සෝමෙ අයියත් ඡන්දෙ ඉල්ලුව බාර් එක ළඟ රජවෙලා

පොඩි එකී තව කිරි උරයි මගෙ එකීගේ පපුවෙ ලැගලා
තඩි බඩක් උස්සගෙන ආවා ලොකු එකී මඟ වැරදිලා
කඩි ගුලක් වගෙ වත්තෙ එවුවොත් කයි කතන්දර වැඩිවෙලා
අඩි ගගහා යමු කුසුම් අපි "හෙටයි හොඳ" හිත රවටලා



3 comments:

  1. හැම කෙනෙක් පිටිපස්සෙම මොකක් හරි කතාවක් තියනව!

    ReplyDelete
  2. හොඳ කවි කතාවක්

    ReplyDelete
  3. හැමකතාවකම පිටිපස්සේ මේ කතන්දර ටිකට අමතරව තව කතාවක් තියනවා බොහෝ විට මීවිත එක්ක..

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...