Monday, January 30, 2017

නොරිදන්න තව

නිමිත්ත - වේසියක් ලෙස සමාජය විසින් හංවඩු ගැසූ , අහම්බයකින් හෝ කුසට එන කළල විනාශ කරමින්, සමාජයෙන් තල්ලු කළ තැන සිට ජීවිතය මැතිරූ කතක්
=============================================
අමාවකට කෙඳිරිලි හඬ මල් මතින් ඇසේ
පලා යන්න බැරි දේවල් කරණමක් ගැසේ
හදාගත්ත හිත වැටේ, දුක මතුවෙයි හිසේ
බදාගන්න ඉඩ දුන්නේ, ගිනි ගනියි කුසේ
කුරුළු පැටවු සිහින දකියි කණාමැදිරි එලි අතරේ
අරළු ගැටත් පැණි රහකට දැනෙයි වෙහෙස දිවි කතරේ
පරලු පාන් ගැන කවියක් කියාදෙන්න මගෙ මිතුරේ
සළෙලු වුනත් පෙම පුදුමයි යන තරමට උන් අතුරේ
ගෑණු ලෙඩේ හැදුන දාට හදවත කෑගසා
නෑර එකක් ඉමි පෙළකට සියල්ල ඉවසා
රෑක පැන්න හරස් ඉණිත් නිතරම ඉකිගසා
පාට දෙන්නෙ කවුරුද බන් අසයි හිතෙන් මුසා
ලිහෙන ඉරෙන ස‍ළුපිලි වල සුවඳ ටිකක් උරා
ඉරට හඳට කවි කිවුවට ඉන්න හැකිද දරා
අතට පයට වෙහෙස අරන් වැඩපල ටික කොරා
කුසට එකෙක් එන පාරට දැමුවෙමි සිතුවිලි මරා
ගෑණු හිතක් හෙල්ලෙනවා ඇඟිලි ගනියි හැම වාරෙට
පෑයු හඳක් කෝ අහසට කළුවරමයි හතර කොනට
පෑරු හිතක් පාර පාර එපා ඔබත් තළු මරන්ට
වේසකමත් රැකියාවක් කලේ ඔබයි කාසිවලට
#දිනිති 2017/01/30

2 comments:

  1. අපූරුයි අක්කෙ. වචන ටික නං සැර වැඩිද මංද. හැබැයි මල් හතයි හොදේ. අපූරුයි. ජීවිතයක් කියවපු හැටි නං. ජය

    ReplyDelete
  2. ලස්සන කවි පෙලක් ...

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....